Helabima

ආදරවන්තයින් දාලා යන යශ්ගේ කතාව





" කියා දෙන්න ආදරේ තරම්" ටෙලිනාට්‍යය මේ දවස්වල එහි රංගනයෙන් ඔබ හමුවට එන දෙවැනිට ඒ කියන්නෙ අනර්ඝට පණ පොවන යෂ් වීරසිංහ සමඟින් කතා බහට අවතීර්ණ වෙන්නට හිතුවා.  

යෂ්, මේ දවස්වල කෙල්ලන්ගෙන් බේරුමක් නෑ කියන්නෙ ඇත්තද?

ගැහැනු ළමයි විතරක් නෙවෙයි, ඇන්ටිලා ආච්චිලා මේ හැමෝම දෙවැනිට පුදුම විදියට ළංවෙලා. ඉතින් දෙවැනිට පණ පොවන මට ඒ හැමෝගෙම ආදරේ විඳගන්න සිද්ධ වෙලා තියෙනවා.

ඒ අතරෙ ගැහැනු ළමයින්ගෙ ආකර්ෂණය වැඩියි කියලයි දැනගන්න ලැබෙන්නෙ.ඇත්තටම ඇයි කෙල්ලො මේ තරමටම නපුරු චරිතවලට කැමති ?

ඒක මටත් තියෙන ලොකු ප්‍රශ්නයක්.  අද කෙල්ලො මාරම විදියට නපුරු චරිත වලට පෙම් කරන්න පටන් අරගෙන. මේ වෙලාවෙ මගෙ මතකයට එනවා  මීට කලින් මම කරපු  කේසර ගෙ  චරිතය. කේසර අනර්ඝ වගේ නෙවෙයි, සෑහෙන නපුරු චරිතයක්. හැබැයි ඒ තරම් නපුරු චරිතයක් වුණත් කෙල්ලො පිස්සුවෙන් වගේ මට ආදරේ කරන්න ගත්තා. එහෙම වෙන්නෙ ඇයි කියලා තේරුම් ගන්න බැරි වුණාට ආදරේ කරන කොල්ලට වඩා විලන්ට තමයි වැඩි දෙනෙක් කැමැති. මං හිතන්නෙ අද සමාජය අමුතුවෙලා. හැමදේම වෙනස් වෙවී යන සමාජ ක්‍රමයක් තුළනෙ අපි ජීවත් වෙන්නෙ.  ඒ හින්දම වෙන්න ඇති කේන්ති යන, සැර පරුෂ කොල්ලන්ව අද ගැහැනු ළමයි වැඩියෙන් හොයන්නෙ. 

මේ යන විදියට පෙම්වතියක් හොයාගන්න ඇත්ත ජීවිතේදිත් විලන් කෙනෙක් වෙන්න වෙයි වගේ?

ඒ වගේ වෙන ලකුණු තමයි අද සමාජයෙ වැඩියෙන් පේන්න තියෙන්නෙ. මොනව කරන්නද කෙල්ලන්ගෙ ආසාව ඒක නම් කොල්ලන්ට අනිවාර්යයෙන් වෙනස් වෙන්න වෙනවා.

යෂ්ට ආදරවන්තියක් නැද්ද මේ දවස්වල ?

දැනට නම් නැහැ. හැබැයි ඉතින් පෙම්වතියන් හතර දෙනෙක් විතර හිටියා. මොකද ඒ අය කරන්නෙම මාව දාලා යන එකනෙ. 

"කියා දෙන්න ආදරේ තරම්" ටෙලිනාට්‍යය ගැන මොකද හිතෙන්නෙ ?

කියාදෙන්න ආදරේ තරම්... හි මගේ චරිතය අනර්ඝ. ඒ කියන්නෙ දෙවැනි. ඒ වගේ පිටපතක් ලිව්ව මහේෂ් අයියා ගැන පුදුම ගෞරවයක් මගෙ හිතේ තියෙන්නෙ. ඒ චරිත අප තුළින් ඉස්මතු කර ගන්න අධ්‍යක්ෂ විදියට ධනුෂ්ක අයියා දරන වෑයම ගැන තියෙන්නෙත් අසීමිත ගෞරවයක්.

ඔබ මීට පෙර කරපු රංගනයන් එක්ක අනර්ඝ ගෙ චරිතය සංසන්දනය කළොත් මොන වගේ හැඟීමක් ද මතු වෙන්නෙ?

මං රංගනයෙන් ඉතාමත් සීමිත වැඩ කොටසකට සම්බන්ධ වුණු කෙනෙක්. ඇත්තටම කියන්න සතුටුයි, මම මෙතෙක් සම්බන්ධ වුණු ටෙලිනාට්‍යය චරිත අතරින් අතිශයින්ම ජනප්‍රිය වුණු ජනප්‍රිය කාණ්ඩයේ ඉහළින්ම තිබෙන චරිතය තමයි අනර්ඝ. මට මගෙ රංගන ජීවිතේ ඉහළම ප්‍රතිචාර ලැබුණු චරිතය. ඒ ගැන මාරම සතුටුයි. 

රස්තියාදුකාර අනර්ඝ ගැන මොකද හිතෙන්නෙ?

 පොඩි රස්තියාදුකාරයෙක් වුණාට දෙවැනි කියන්නෙ හරිම සංවේදී චරිතයක්. මහේෂ් අයියා අතින් ලියැවිලා තිබුණු අනර්ඝ අම්මා තාත්තවත් මායිම් නොකරන නාහෙට නාහන චරිතයක්. හැබැයි ඉතින් පිටපතට අමතරව රංගන ශිල්පීන් වන අප විසින් එකතු කර ගන්න පොඩි පොඩි දේවල් ටිකක් එක්ක තමයි මේ තරම් ජනතාව ආදරේ කරන රෙදිමෝල වත්තෙ දෙවැනි බිහිවෙන්නෙ. ඒ වෙනස්වීම් එක්ක එකඟ වෙලා ඒ චරිතය සාර්ථකව රඟපාන්න අධ්‍යක්ෂ ධනුෂ්ක අයියා වගේම පිටපත් රචක මහේෂ් අයියත් උපරිම  සහයෝගය ලබා දුන්නා. ඒ සහයෝගය ගොඩක් වටිනවා.


එවන් චරිතයක් ප්‍රතිනිර්මාණය කිරීමට ලැබීම ගැන මොකද හිතෙන්නෙ?

ඇත්තටම සතුටුයි. මං මේ වෙනකොට මහ ගොඩක් නිර්මාණ කරලා නැහැ. දහයක් එකොළහක් වගේ කරලා තියෙන්නෙ. ඒ නිර්මාණවල මට ලැබුනෙ එකකට එකක් වෙනස් චරිත. ඒ චරිත අතර මට හමුවුණු වෙනස්ම චරිතය තමයි රෙදිමෝල වත්තෙ අනර්ඝ. ඒ වගේම මිනිසුන්ට ගොඩක් දැනුණු චරිතයක් මේක. මට මේ චරිතය ප්‍රතිනිර්මාණය කරද්දි රෙදිමෝල වත්තෙ ටයිට් එකට වැටෙන්න සිද්ධ වුණා. ඒ අයගෙ භාෂාවෙන් කියනව නම් උන්ගෙම එකෙක් වෙන්න වුණා. ඒ වත්තෙ ගෙවල්වලට ගිහින් ඒ අයත් එක්ක එකට කාලා බීලා, ඒ ජීවන අත්දැකීම් එකතු කරගෙන තමයි මේ චරිතයට මේ තරම් සාධාරණයක් කරන්න මට පුළුවන් වුණේ.




Copyright © 2014-2022 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us