Helabima

පින් පුරන්න නන් දෙසින් අනුරපුරේට - මිහින්තලේ පිරෙයි





මෙවර පොසොන් පොහොයෙ රටපුරා පුද බිම් වල ජනතාව පිරි ඉතිරි ගියේය. පසුගිට වසර දෙකේදී පොසොන් සැමරීමට නොහැකි වීමට ප්‍රධාන බාධකය වූයේ කොවිඩ්ය. නමුත් මෙවර අනුරාධපුර මිහින්තලය සැදැහැවතුන්ගෙන් පිරි ගියේය. අනුබුදු මිහිඳු මහා රහතන් වහන්සේගේ ලංකාගමනය සිදුවූ පොසොන් පුර පසළොස්වක පොහෝ දිනය ආගමික වතාවත් සඳහා මෙලෙස ජනතාවගෙන් පිරි ගියේය.  ඒ අනුව මහනුවර ශ්‍රී දළදා මාලිගාව, පොලොන්නරුව පුදබිම, කැලණිය රජමහා විහාරය, කළුතර බෝධිය, කතරගම කිරි වෙහෙර, ආදී පුදබිම් හි බතිමති විශාල සංඛ්‍යාවක් පැමිණ සිටි අයුරු දැක ගැනීමට හැකි විය.  පසුගිය වසර දෙකේදීම වන්දනා මාන කිරීමට නොහැකි වූ සැදැහැවතුන්ගෙන් මෙවර වෙහෙර විහාර වල පිරි ඉතිරි ගියේය. 

මෙවර ජාතික පොසොන් උත්සවය අනුරාධපුර අටමස්ථානය සහ තන්තිරිමලේ පුදබිම කේන්ද්‍ර කර ගනිමින් සංවිධානය කර තිබු අතර දේශය මිත්‍යාවෙන් මුදා ගනිමු යන්න මෙවර ජාතික පොසොන් උත්සවයේ තේමාව විය. අනුරාධපුරයට පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් පැය 24පුරා ක්‍රියාත්මක ජිවිත ආරක්ෂක සේවාවක් ද ශ්‍රී ලංකා නාවික හමුදාව ක්‍රියාත්මක කර තිබු අතර වැව් අමුණු අශ්‍රිතව ජීවිතාරක්ෂක කණ්ඩායම් යෙදවූ බව පොලිසිය පැවසුවේය.

පවතින අර්බුද හමුවේ වුවද පොසොන් සැමරුම සඳහා කටයුතු සූදානම් වෙමින් පවතී.

මෙවර එය පැවැත්වෙන්නේ 2330 වන වරටයි. මිහින්තලාව , අටමස්ථානය හා තන්තිරිමලය පුදබිම් කේන්ද්‍ර කරගෙන පොසොන් උත්සවය පැවැත්වේ. මෙවර පොසොන් පොහොය ජුනි මස 14 වනදාට යෙදී තිබේ. ඒ අනුව ජුනි මස 11 වනදා සිට 17 වනදා දක්වා පොසොන් සතිය වශයෙන් නම් කොට ඇත. 2022 වසරේ පොසොන් උත්සව තේමාව වන්නේ “ වෛරය පිටු දකිමු ,, යන්න යි.

පොසොන් උත්සවය පිලිබඳව සාකච්ඡාකරන දෙවන රැස්වීම (25) අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී රැස්විය. ඒ අටමස්ථානාධිපති නායක හිමිපාණන් වහන්සේ සහ අටස්ථාන විහාරස්ථාන භාර නායක ස්වාමීන්වහන්සේ ඇතුළු මහා සංඝරත්නයේ මූලිකත්වයෙන්.

වෙන වසරවල දී පොසොන් උත්සවයට සහය දැක් වූ බොහෝ ආයතන වලට මෙවර එය සිදු කිරීමේ නොහැකි තත්ත්වයක් පවතී. එහෙත් කෙසේ හෝ යම් මට්ටමකින් පොසොන් උත්සවය පැවැත්වීම පොසොන් කමිටුවේ අරමුණ වී තිබේ. එම නිසා පොසොන් කමිටු සභාපති අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ජනක ජයසුන්දර මහතා සඳමන් කරන්නේ ප්‍රතිපාදන වලින් තොරව අදාල ආයතන වලින් යම් සහයක් ලබා ගැනීමට අපේක්ෂා කරන බවයි. මීට අමතරව පරිත්‍යාගශීලීන් හරහා මුල්‍ය දායකත්වයක් ලබා ගැනීමට ඇති හැකියාව පිලිබදව ද සාකච්ඡා කෙරිණි.

චාරිත්‍රානුකූලව පොසොන් උත්සවය සිදුකරන ආකාරයට අනුව ජුනි 10 වනදා සවස ඉසුරුමුණි විහාරයෙන් පැන් පෙරහැර ආරම්භ කර ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ අබියසට ගමන් කළේය. එදින රාත්‍රීයේ සිට මහ මෙව්නා උයනේ පිහිටි විශේෂ පිරිත් මණ්ඩපයේ දී සති පිරිත ආරම්භ කෙරිණි.

පොසොන් පොහෝ දිනය යෙදෙන ජුනි 14 වනදා ශීල සමාදානයන් ඇතුළු ආගමික වතාවත් රැසක් සංවිධානය වී තිබිණි. අටමස්ථානය කේන්ද්‍ර කරගෙන සිල් සමාදන් වන 20000 ක පමණ පිරිසට පොහෝ දා හීල් දානය සැපයීම සුපුරුදු පරිදි මහජන බැංකුව මගින් මෙවරත් සිදුවිය. දහවල් දානය සැපයෙන්නේ මැදවච්චිය , නාච්චාදූව, තලාව , නොච්චියාගම හා මධ්‍යම නුවරගම් පලාත ප්‍රාදේශියලේකම් කොට්ඨසයන් හී පිරිස් වල සංවිධානයෙනි. මිහින්තලා පුදබිමෙහි ශීල් සමාදන් වන පිරිසට දහවල් දානය සැපයීම කහටගස්දිගිලිය, ගලෙන්බිදුනුවැව , හොරොව්පතාන , තිරප්පනේ හා රැඹෑව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ප්‍රාදේශිය ලේකම්වරුන් හරහා සංවිධානය වී තිබේ.

අපහසුතා ඇතත් , වාර්ෂිකව පොසොන් උත්සවයේ දී රුවන්වැලි මහා සෑය අබියස හා මිහින්තලා පුදබිමෙහි පවත්වන හේවිසි පූජාව ද කෙසේ හෝ පවත්වන බවට පොසොන් කමිටුවේ දී තීරණය කලින් තීරණය කර තිබිණි. ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියස හා අනෙකුත් විහාස්ථානවල ධර්මදේශනා , ධර්ම සාකච්ඡා ඇතුළු ආගමික වැඩසටහන් රැසක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

දන්සැල් කිහිපයක් ද මේ වන විටත් නගර සභාව තුල ලියාපදිංචි වී සිටී. පොසොන් සතිය වන ජුනි 11 වනදා සිටි 17 වනදා දක්වා දිස්ත්‍රික්කයේ සියලුම සුරා සැල් හා මස් කඩ වසා තැබීමට තීරණය කර ඇත.
මෙම කාලය තුල ඉන්ධන පිලිබදව අර්බුදය පවතින නිසා වන්දනාවේ පැමිණෙන පිරිස් තමන්ට අවශ්‍ය ඉන්ධන ඒ ඒ ප්‍රදේශවලින්ම රැගෙන එන්නේ නම් එය ඉන්ධන නොමැති වීමෙන් ඇතිවන අපහසුතා මගහරවා ගත හැකියි. සෑම ප්‍රදේශයකටම ඉන්ධන සීමා සහිතව ලැබෙන බැවින් පැමිණෙන විට ඉන්ධන රැගෙන ඒම අනිවාර්ය කරුණක් සේ සැලකිය යුතුව ඇතැයි ද පොසොන් කමිටුවේ දී මින් ඉහතදී තීරණය කර තිබිණි.




Copyright © 2014-2022 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us