Logo
2021 මැයි මස 14 වැනි සිකුරාදා

මෙතෝදිස්ත සභාවේ රිච්මන්ඩ් විදුහල

නලින් ද සිල්වා


රිච්මන්ඩ් විදුහල සමග මට විශේෂ සම්බන්ධයක් නැහැ. පේරාදෙණියේ ජයතිලක ශාලාවේ පළමු වසරේ මගේ කාමර සගයකු ඇතුළු මිතුරන් ගණනාවක් ඒ පාසලේ ඉගෙනුම ලබා තියෙනවා. එවැනි සම්බන්ධකම් වෙනත් පාසල් සමගත් තියෙනවා. රිච්මන්ඩ් විදුහලේ ඉතිහාසය ගැන මට ලියන්න හිතුණේ දැනුම ලබා ගැනීමේ ක්‍රමයක් ලෙස මනුෂ්‍ය නොවන ප්‍රාණීන්ගේ ද උපකාරය ලත් තවත් අවස්ථාවක් සඳහා උදාහරණයක් ලෙස එය ඉදිරිපත් කළ හැකි නිසයි. එහෙත් ඒ විදුහලේ ම ආදි ශිෂ්‍යයන් යම් පිරිසක් ඒ දීර්ඝ ඉතිහාසයට උරුමකම් කීමට අකමැති බව පෙනී යනවා. රිච්මන්ඩ් ආදි ශිෂ්‍යයන් අතර භේදයක් ඇති කිරීමට මට අවශ්‍ය නැහැ. එහෙත් මා දන්නා කරුණු කිහිපයක් සඳහන් කිරීම අවශ්‍ය කියා මා හිතනවා.

රිච්මන්ඩ් ඉතිහාසය ගැන මා දැන ගත්තේ අවුරුදු තුන හතරකට පමණ පෙර. සමහර විට ඊටත් වැඩි වෙන්න පුළුවන්. අප නාථ දේව මණ්ඩලයෙන් දැනුම ලබා ගැනීම ගැන සඳහන් කළ පසු කිහිප දෙනකු ම ඒ අයගේ අත්දැකීම් මට කිවුවා. රිච්මන්ඩ් ඉතිහාසය ඉන් එකක්. 2015 දී මහින්ද රාජපක්‍ෂ පරදින බවට කණ්ඩායම් තුනකින් ම කල් තියා දැන ගන්න ලැබුණා. මා ඒ ගැන ලියල ඇති. එක් කණ්ඩායමක් ඒ ගැන කතා කිරීමට නාරාහේන්පිට අභයාරාමයට ගිය නමුත් ඔවුන්ට මහින්ද හමුවීමට අවස්ථාවක් ලැබුණේ නැහැ.

මනුෂ්‍ය නොවන ප්‍රාණීන්ගෙන් දැනුම සංස්කරණය කර ගැනීම දැනුම සංස්කරණය කිරීමේ එක් ක්‍රමයක් පමණක්. ඊයේ පඬි නැට්ටකු කියා තිබුණා මා හැම තැන ම ඒ ක්‍රමය යොදා ගන්නවා කියා. ඔහුට සිංහල නොතේරීම ගැන මට කරන්න දෙයක් නැහැ. මා ඒ ක්‍රමය හැම තැන ම යොදා ගන්නේ නැති නමුත් එහි ඇති වැදගත්කම කියන්න උත්සාහ කරනවා. එලෙස දැනුම සංස්කරණය කර ගත්තේ යැයි කියන්නන් අතර වංචාකාරයන් ඉන්න පුළුවන්. බටහිර විද්‍යාඥයන් අතර වංචාකාරයන් නැහැ කියා හිතනවා ද? ඔය ඊනියා පර්යේෂණ සඟරාවල වංචාවෙන් ලබා ගත් ප්‍රතිඵල සහිත පත්‍රිකා කීයක් පළවෙනවා ද? මොන පරීක්‍ෂාවක් තිබුණත් කණෙන් රිංගා යන්නන් බටහිර විද්‍යාවේ ඉන්නවා. බයිඩන්ගේ ගෞරවයට පාත්‍ර වු විශේෂඥයකු කොවිඩ් එන්නතක් ගැන බොරු කියා ඇති බව සඳහන් වී තිබුණා.

මා දන්නා තරමින් රිච්මන්ඩ් කතාව පටන් ගන්නේ 1956න්. ඒ අවුරුද්දේ රිච්මන්ඩ් විදුහලේ සඟරාවේ විදුහල හා 1814 දී පැමිණි මිෂනාරීන් සමග සම්බන්ධයක් තිබූ බවට කෙටි සටහනක් පළ වී තිබෙනවා. එය දුටු රිච්මන්ඩ් ආදි ශිෂ්‍යයෙක් ඒ ගෑන උනන්දුවක් දක්වා තිබෙනවා. ඔහු ඒ පිළිබඳ ව කළ විකිපීඩියා සටහනක් ආධ්‍යාත්මික ව දැනුම ලබා ගන්නා අයකුට දැන ගන්න ලැබී තියෙනවා. ඒ මහතා ධම්මික වෙද මහතාට වඩා වෙනස්. ආවේශයකින් නොව පුද පූජා පවත්වා දැනුම සංස්කරණය කරන කෙනෙක්. රාමනුජන් දැනුම සංස්කරණය කළෙත් ඒ ආකාරයට.

ඒ මහතා අර කලින් කී ආදි ශිෂ්‍යයාට කතා කර ආධ්‍යාත්මික ව රිච්මන්ඩ් ඉතිහාසය සෙවීමට කැමැත්ත පළ කර තියෙනවා. අදාළ ආදි ශිෂ්‍යයා ද එයට එකඟ වී ඇති බැවින් ඒ ක්‍රමයට ඉතිහාසය දැන ගෙන තියෙනවා. අවශ්‍ය ලිය කියවිලි ලන්ඩන් විශ්වවිද්‍යාලයේ පෙරදිග හා අප්‍රිකානු අධ්‍යයන පිළිබඳ ආයතනයේ (SOAS) පුස්තකාලයෙන් ද ලැබී තියෙනවා. 1876 දී සිදු වී ඇත්තේ විදුහල උසස් වීමක් බවත් විදුහලේ ආරම්භය 1814 දක්වා දිව යන බවත් සාධක (මූලාශ්‍ර) සහිත ව පෙන්වා පොත් පිංචක් ද නිකුත් කර තිබෙනවා. එහි දී රිච්මන්ඩ් විදුහලේ ආදි ශිෂ්‍යයකු වූ මහාචාර්ය පී වී ජේ ජයසේකර මග පෙන්වීමක් කර ඇති අතර මහාචාර්ය කේ ඩී පරණවිතාන කෘතියට පෙරවදනක් ලියා දී තිබෙනවා.

එම කෘතියෙහි මුල් පිටපත 2014 විදුහලට වසර දෙසීයයක් පිරුණු දා එවකට ජනාධිපති මහින්ද රාජපක්‍ෂට පිරිනමා තියෙනවා. ඔහු එදා ඉඳල රාජපක්‍ෂල ඉගෙන ගත්තෙ රිච්මන්ඩ් විදුහලේ කියල නැහැ. ඒත් ඒ වෙනුවට කියල තම පියාත් (ඩී ඒ රාජපක්‍ෂ මහතා) රිච්මන්ඩ් විදුහල පැරණි ම පාසල බව කියා ඇති බව. එහෙත් තවත් ආදි ශිෂ්‍යයන් කණ්ඩායමක් අදාළ පර්යේෂණයේ දී නිසි ක්‍රමවේදය අනුගමනය කර නැති බැවින් එකී ඉතිහාසය පිළිගත නොහැකි බව කියා තියෙනවා. ලෝකයේ හාඩිලා විරලයි. හාඩි රාමනුජන් සම්බන්ධයෙන් ඒ කතාව නොකීවේ හාඩි බුද්ධිමතකු නොවූ බැවින් ද?

ඒ කෙසේ වෙතත් පසුව මෙතෝදිස්ත සභාව රිච්මන්ඩ් ඉතිහාසය 1814 දක්වා දිව යන බව පිළිගෙන තියෙනවා. රිච්මන්ඩ් විදුහලේ ආදි සිසුවකු වූ පසුව මෙතෝදිස්ත සභාවේ සභාපති පදවියට පත් වු ආසිරි පෙරේරා පූජකතුමා ඒ බව නිල වශයෙන් ම පිළිගත් බවට ලිපියක් දී තියෙනවා.

පසුගිය සැප්තැම්බරයේ රිච්මන්ඩ් ආදි ශිෂ්‍ය කණ්ඩායමක් ආදි ශිෂ්‍ය මහින්ද රාජපක්‍ෂ හමු වු අවස්ථාවේ මහාචාර්ය පී වී ජේ ජයසේකර දී ඇති ලිපියක පිටපතක් ද අගමැතිතුමාට ලබා දී තියෙනවා. පී වි ජේ මට වඩා අවුරුදු කිහිපයක් ජ්‍යෙෂ්ඨ බව ද පරණවිතාන මට අවුරුද්දකින් කණිෂ්ඨ බව ද ඔවුන් මගේ මිතුරන් බව ද සඳහන් කළ යුතුයි. එහෙත් මේ තොරතුරු ලැබුණේ ඔවුන්ගෙන් නො වෙයි.

රිච්මන්ඩ් ඉතිහාසය පමණක් නොව වෙනත් ඉතිහාස ද අප හදාරන්න ඕන. එහි දී දැනුම සංස්කරණය කෙරේවි. විවිධ ක්‍රම ද යොදා ගැනේවි.





Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'