Logo
2021 මැයි මස 18 වැනි අඟහරුවාදා

ධීවරයන්ගේ කතා වස්තුව

නලින් ද සිල්වා


මියන්මාහි අත්අඩංගුවට පත් ධීවරයන් දොළොස් දෙනා නිදහස් කෙරිලා. මෙරට ජනමාධ්‍ය ගැන මට ඇත්තේ දැඩි විරෝධයක් හා කළකිරීමක්. බොහෝ ජනමාධ්‍ය හා ජනමාධ්‍යවේදීන්ට මා ගැන ඇත්තේ ද සුහද හැඟීමක් නොවෙයි. අත්අඩංගුවට පත් වේලේ සිට මෙරට ජනමාධ්‍යයට එය විශාල ප්‍රශ්නයක් වුණා. ඔවුන් අපෙන් ප්‍රශ්න කළා. අප එනම් මියන්මාහි ලංකා තානාපති කාර්යාලය ධීවරයන් නිදහස් කර ගැනීමට කිසිවක් නොකරන්නේ ය යන මතය රටේ ඇති කිරීමට ඔවුන් උත්සාහ ගත්තා.

මෙරට මිනිසුන් විශේෂයෙන් ම සිංහලයන් බලා සිටින්නේ අනෙකකුට දොස් පැවරීමට, හැකි නම් අනෙකා නැති කිරීමට. විදේශීය තානාපති සේවය සම්බන්ධයෙන් බොහෝ දෙනකුට ඇත්තේ හොඳ ආකල්පයක් නො වෙයි. ජනතාව, විශේෂයෙන් ම ජනමාධ්‍යවේදීන් හිතන්නේ තානාපති සේවයේ ඉන්නේ පිං පඩි කාරයන් කියා. තානාපති ඇතුළු සියල්ලන්ගේ ම අවශ්‍යතාව දරුවන්ට ඉගැන්වීම, හොඳ වැටුපක් ලබා ගැනීම ආදිය කියා ඔවුන් හිතනවා. දෙරණේ ජනමාධ්‍යවේදියකු තාරක බාලසූරියට පැවසුවේ තානාපති සේවයෙන් වැඩක් සිදු නොවේ ය කියා.

ජනමාධ්‍යවේදීන්ට ජනතාව වෙනුවෙන් කතා කිරීමට ප්‍රශ්න ඇසීමට වරමක් ලබා දුන්නේ කවුදැයි මා දන්නේ නැහැ. ජනමාධ්‍යවේදීන් එක්කෝ යම් ආයතනයක පඩියට (පිං පඩියට වෙන්නත් පුළුවන් විශේෂයෙන් ම රජයේ ආයතනවල) වැඩ කරන නැත්නම් යූ ටියුබ් හරහා කීයක් හරි හොයා ගන්නා ස්වයං රැකියාවල යෙදෙන්නන් වෙන්න පුළුවන්. ඔවුන්ට ජනතාව වෙනුවෙන් ප්‍රශ්න අහන්න බලය දී ඇත්තේ කවුද?

ධීවරයන් අත්අඩංගුවට පත් වූ විට මේ ඇතැම් ජඩමාධ්‍යවේදීන් අපෙන් ප්‍රශ්න කළේ ඔවුන් හිතූ පරිදි අප පිං පඩි කාරයන් බව හෙළිදරවු කිරීමට. මියන්මා කියන්නේ වෙනස් විධියකට වැඩ කරන රටක්. ඔවුන් අප පමණටවත් ඉංගිරිසි රාජ්‍ය සේවය අනුගමනය කරන්නේ නැහැ. ලිපියකට පිළිතුරක් ලබා ගැනීම ඉතා අමාරු වැඩක්. ධීවරයන් අත්අඩංගුවට පත් වූ විට අදාළ තානාපති කාර්යාලයට ලිඛිත ව දැන්විය යුතු නමුත් කිසිවකු අපට ඒ බවක් දැන්වූයේ නැහැ. අපට තොරතුරු ලබා ගැනීම ඉතා අසීරු කාර්යයක් වුණා. එහෙත් මෙරට ජනමාධ්‍ය හිතුවේ අපට සියලු තොරතුරු ලැබී අප නිහඬ ව සිටිනවා කියා. ලෝකයේ අනෙක් රටවල් මෙන් මියන්මා අපට තොරතුරු ලබා දෙන බවයි ජනමාධ්‍ය විශ්වාස කළේ. අප මියන්මා වැඩ කරන අන්දම විවේචනය කරන්නේ නැහැ. ඒ ඔවුන්ගේ විධිය.

කොවිඩ් නිසා තානාපති කාර්යාලයටත් ගමන් බිමන් අපහසු වුණා. ඒ තිබිය දී පෙබරවාරි පළමුවැනි දා හමුදා ආණ්ඩුවක් පිහිටුවනු ලැබුවා. ධීවරයන් අත් අඩංගුවට පත් වූයේ ඉන් සති දෙකකට පමණ පසුව. රාජ්‍ය නිලධාරීන් සමග සංනිවේදනය කිරීම තවත් අඩාළ වුණා. එය එහෙම තමයි. ඒ ගැන කරන්න දෙයක් තිබුණේ නැහැ. එහෙත් මා කිසිවකුට කිසිවක් නොකියා මගේ අසමත්කම ගැන පමණක් කිවුවා.

එහෙත් ඒ අතර අප හැකි පමණින් අපට කළ හැකි වැඩ කරගෙන ගියා. රාජ්‍ය නිලධාරීන්ට කතා කිරීමට උත්සාහ කළා. ඔවුන්ට ලිපි එකක් පිට එකක් ආදී වශයෙන් යැවුවා. මේ අතර මා විදේශ අමාත්‍යාංශයේ කිසිවකුට නොදන්වා ධීවරයන් අත්අඩංගුවට ගැනීම පිළිබඳ ව ඇතැම් විට තෙරිඳු නමින් හැඳින්වෙන සිතගු ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයේත් කුලපති මහානායක ස්වාමීන් වහන්සේට ආරාධනය කර සිටියා ධීවරයන් නිදහස් කිරීමට මැදිහත් වන ලෙස. එය මගේ තනි කැමැත්තට කළ දෙයක්. උන්වහන්සේට මියන්මා ආණ්ඩුව සමග හොඳ සම්බන්ධකමක් තියෙනවා. අර රජු සංඝයා වහන්සේ සම්බන්ධය යම් ආකාරයකට හරි මියන්මාහිත් ක්‍රියාත්මක වෙනවා. ලංකාවට විශේෂ ගෞරවයක් ඇති උන්වහන්සේ මගේ ආරාධනය එක සිතින් පිළිගත්තා. මා උන්වහන්සේට සියලු විස්තර ලිපියකින් දන්වා සිටියා. මෙරට මහානායක හිමියන් නම් හිතන්නේ මා මියන්මාහි ලංකා තානාපතිකමට සුදුසු නැහැ කියා.

මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ද ප්‍රශ්නයට මැදිහත් වුණා. මගේ අස්වීම පිළිබඳ ප්‍රකාශය එතුමාගේ හිතට බලපා තිබුණා. එතුමා ලංකාවේ මියන්මා තානාපතිතුමා මගින් මියන්මා රජයෙන් ධීවරයන් නිදහස් කරන ලෙස ඉල්ලා සිටියා. අප දිගින් දිගට ම අපේ කාර්යයන් ඉටු කළා. එහි දී තානාපති සේවයේ කිහිප දෙනා දිවා රෑ නොබලා කටයුතු කළා. විශේෂයෙන් ම උපදේශන නිලධාරිනිය මියන්මා රාජ්‍ය නිලධාරීන් සමග නිරන්තරයෙන් කටයුතු කළා. එමෙන් ම මියන්මාහි ශ්‍රී ලාංකිකයන්ගේ සංවිධානයේ සභාපතිතුමා අප සමග සහායෝගයෙන් කටයුතු කළා.

අපට මියන්මා රාජ්‍ය නිලධාරීන්ගෙන් මේ සම්බන්ධයෙන් ලැබී ඇති පළමු ලිපියෙන් කියැවුණේ ධීවරයන්ට මියන්මා නීතිය යටතේ නඩු පවරන බවයි. අප එවිට නැවතත් ඒ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ ධීවරයන් නිදහස් කරන ලෙසයි. එහෙත් ධීවරයන් අත්අඩංගුවට පත් වීමෙන් පසු තම වරද පිළිගෙන තිබුණා. ඔවුනට විරුද්ධ ව නඩු පැවරීම අනිවාර්ය කටයුත්තක් වුණා. මෙරට එක්තරා නගරාධිපතිවරයකු නම් අප වෙත දන්වා තිබුණේ ධීවරයන් දියවැලකට හසු වී මියන්මා දේශයට ගොස් සිටි බවයි. ධීවරයන් ඒ බව දැන සිට නැහැ. ඔවුන්ට නගරාධිපතිවරුන්ට මෙන් දියවැල් ගැන අවබෝධයක් නැතිව ඇති.

නඩු තීන්දුව දීමට තිබුණේ මාර්තු අවසන. තානාපති කාර්යාල නිලධාරීන් හා ශ්‍රී ලාංකික සංවිධානයේ සභාපතිතුමා හැකි අයුරින් ධීවරෆයන් සමග සම්බන්ධකම් පැවැත්වුවා. සභාපතිතුමා දෙවරක් ම ධීවරයන් බැලීමට ඔවුන් රඳවා ගෙන සිටි පොලීසියට ගියා. නඩු තීන්දුව අනුව දහදෙනකුට අවුරුදු තුනහමාර බැගිනුත් දෙදෙනකුට අවුරුදු පහමාර බැගිනුත් සිර දඬුවම් නියම කෙරුණා.

මේ අවසාන අවස්ථාවේ මා තවත් දෙයක් මගේ හිතුමතයට කළා. මා මියන්මා හමුදා රජයේ ජාත්‍යන්තර සහයෝගිතාව පිළිබඳ ඇමතිතුමා මුණ ගැසුනා. ලංකාව මියන්මා හමුදා රජය පිළිගෙන නැහැ. එබැවින් හමුදා රජයේ ඇමතිවරයකු හමුවීම ප්‍රශ්නයක්. මා අපේ විදේශ අමාත්‍යංශයෙන් ඒ සඳහා අවසරයක් ගත්තේ නැහැ. එය මගේ හිතුමතයට කළ තවත් වැඩක්. එය නිල හමුවීමක්වත් නිල නොවන හමුවීමක්වත් නොවෙයි. යමක් එක්කෝ නිල හමුවීමක් නැත්නම් නිල නොවන හමුවීමක් වෙන්න ඕන ඇරිස්ටෝටල්ට අනුව. මා ඇතැම් අවස්ථාවල ඇරිස්ටෝටල්ට පිටින් යනවා. ඇමතිතුමා මට කියා සිටියේ මහානායක හාමුදුරුවන් වහන්සේ ද රජයට ධීවරයන් පිළිබඳ කතා කර ඇුති බවත් රජයට උන්වහන්සේගේ අනුශාසනා ඉවත දැමීමට නොහැකි බවත් විදේශ අමාත්‍යංශය ධීවරයන් නිදහස් කරන ලෙස ස්වදේශ කටයුතු පිළිබඳ අමාත්‍යංශයට නිර්දේශ කරන බවත්. ඒ සඳහා අප්‍රේල් දහහත්වැනි දාට යෙදෙන මියන්මා අවුරුදු උත්සවයේ දෙන පොදු සමාව යොදා ගන්නා බවත්. ඊනියා ප්‍රජාතන්ත්‍රවාදියකු කියනවා ද මා හමුදා රජයේ ඇමතිවරයකු මුණ ගැසීම වරදක් කියා.

එහෙත් අපට තවත් ප්‍රශ්න කිහිපයක් ඉතිරි වී තිබුණා. එකක් මියන්මා ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් ධීවරයන් නිදහස් කළ බවට සහතිකයක් ලබා ගැනීම. ධීවරයන්ට ගමන් බලපත්‍ර නැහැ. තානාපති කාර්යාලයට පුළුවන් තාවකාලික ගමන් බලපත්‍ර ලබා දෙන්න. එහෙත් ඔවුන් මියන්මා දේශයට පමිණ ඇති බව පෙන්වීමට වීසා නැහැ. ඒ වෙනුවට තමයි අර නිදහස් කළ බවට සහතිකයක් අවශ්‍ය. එය නැතිව ගුවන් සමාගමක් ඔවුන් භාර ගන්නේ නැහැ. දැන් ඒ සහතිකය ලැබී තියෙනවා. එහෙත් ඔවුන්ට ගුවන් ගමන් ප්‍රවේශ පත්‍ර ලබා ගැනීමට මුදල් අවශ්‍යයයි. එය ධීවර අමාත්‍යාංශය ගෙවාවි. එහෙත් ධීවර අමාත්‍යංශයට මුදල් ගෙවන්න ටිකක් කල් යනවා. මුදල් අද යැවුවත් මියන්මා බැංකු නීති අනුව අපට ඒ මුදල් ලබා ගැනීමට සති කිහිපයක් ගත වෙනවා. මා ලංකාවට ඒමට පෙර පින්වතකු සමග කතා කර ණයක් ගෙන අවශ්‍ය ප්‍රතිපාදන සම්පාදනය කළා. ධීවරයන් තව දින කිහිපයකින් ලංකාවට එන්න ඕන. අප ඔවුන් සඳහා ආණ්ඩුවේ නිරෝධායන පහසුකම් ද සූදානම් කර තිබෙනවා.

දැන් අරුණ හා මෝනින් පුවත්පත් හැරෙන්න අනෙක් ජනමාධ්‍ය ධීවරයන් ගැන කතා කරන්නේ නැහැ. ඔවුන්ගේ බලාපොරොත්තු බිඳ වැටිලා. ධීවරයන් නිදහස් නොකළා නම් තානාපති පට්ට ගහන්න තිබුණා.අපරාදෙ!





Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'