Helabima

ලොග්ගල්ඔය කුඩා ජල විදුලිබල ව්‍යාපෘතියට නීතියෙන් ආරක්ෂිත ගඩයා හා දුම්බර පෙතියා බිලි දීම

සජීව චාමිකර


කෘෂි රසායනික භාවිතය, වාසස්ථාන විනාශ කිරීම හා විසිතුරු මත්ස්‍ය කර්මාන්තය සඳහා ස්වාභාවික පරිසරයෙන් අල්ලා මිරිදිය මසුන් බහුල ව අපනයනය කිරීම යන ප්‍රධාන හේතු සාධක මත අද වන විට මෙරට මිරිදිය මත්ස්‍ය විශේෂ දැවැන්ත වඳවීමේ අනතුරකට මුහුණපා සිටී. 2020 වසරේ මිරිදිය මසුන් පිළිබඳ රතු දත්ත ලේඛනයට අනුව ලංකාවේ වාර්තා වන මිරිදිය මත්ස්‍ය විශේෂ 97 න් ආවේණික විශේෂ සංඛ්‍යාවට සමාන ප්‍රමාණයක් එනම් මත්ස්‍ය විශේෂ 61 ක් වඳවීමේ අවධානමට ලක් ව සිටින බව හඳුනාගෙන තිබේ. එය 63% ක් පමණ වන ඉහළ ප්‍රතිශතයකි. තර්ජනයක් නොමැති ව සුලභ ලෙස වාර්තා වන මිරිදිය මසුන් ලෙස හඳුනාගෙන ඇත්තේ විශේෂ 29 ක් පමණි. වඳවීමේ අවධානමට ලක් වී ඇති විශේෂ 61 න් 12 ක් දැඩි ලෙස වඳවීමේ තර්ජනයට ලක් ව සිටින මසුන් වේ. විශේෂ 29 ක් වඳවීමේ තර්ජනයට මුහුණපා ඇති අතර අවධානම් හා ආසන්න තර්ජිත මට්ටමේ මිරිදිය මත්ස්‍ය විශේෂ 20 ක් වෙති.

මෙවන් තත්ත්වයකට මෙරට මිරිදිය මත්ස්‍ය විශේෂ මුහුණ දීමට බලපා ඇති ප්‍රධාන හේතු සාධක අතුරෙන් වාසස්ථාන විනාශ කිරීම විවිධ ආකාරයට සිදු වේ. ඒ අතුරෙන් අද වන විට තෙත් හා අතරමැදි කලාපයේ මිරිදිය මසුන්ගේ වාසස්ථාන විනාශ කිරීමට හේතු වන ප්‍රධාන සාධකයක් ලෙස කුඩා ජල විදුලි බලාගාර ව්‍යාපෘති හඳුනාගෙන තිබේ. දියපහරවල විශාල ප්‍රදේශ වියළි තත්ත්වයට පත් කිරීම මගින් මිරිදිය මසුන්ගේ වාසස්ථාන සම්පූර්ණයෙන්  ම විනාශයට පත් කිරීම කුඩා ජල විදුලි බලාගාර මගින් සිදු වේ. සමහර දියපහරවල කිලෝමීටරයක පමණ ප්‍රදේශයක සිට කිලෝමීටර 5 ක් පමණ දක්වා සීමාවන් තුළ සම්පූර්ණයෙන් ම දිය දහරාවන් වියළි තත්ත්වයට පත් කිරීමට කුඩා ජල විදුලිබලාගාර ව්‍යාපෘති හේතු සාධක වී ඇත. 1996 වසරේ සිට ඉදි කළ මේ ආකාරයෙන් ක්‍රියාත්මක වන කුඩා ජල විදුලි බලාගාර 120 ක් පමණ තෙත් හා අතරමැදි කලාපීය ප්‍රදේශවල ස්ථාපිත කර ඇති අතර එම බලාගාර මගින් මෙගාවොට් 220 ක පමණ විදුලි බලයක් නිෂ්පාදනය කරයි. එය මෙරට සමස්ත විදුලිබල නිෂ්පාදනය වන මෙගාවෙට් 2495 න් 9% ක ප්‍රතිශතයකි. නමුත් එමගින් බොහෝ ගංගා පරිසර පද්ධතිවලට, දේශීය ජෛව ප්‍රජාවට හා මිනිසුන්ට සිදු කර ඇති හානි කර බලපෑම සුළුපටු නොවේ. 

මෙම බලාගාර ව්‍යාපෘති පවත්වා ගෙන යාම සඳහා මධ්‍යම පරිසර අධිකාරයෙන් ලබා දෙන කොන්දේසි සහිත අනුමැතීන්වල, බලාගාරයට ජලය ලබා ගැනීම සඳහා දිය දහරාවන් හරස් කර සකසන වේලි වලින් පහළට ප්‍රමාණවත් ජල ධාරිතාවක් ගලා යාමට සලස්වා එම දියපහරවල පරිසර පද්ධති සුරක්ෂිත කිරීමට පියවර ගත යුතු බවට සඳහන් වුව ද වියළි කාලගුණයක් පවතින කාල වකවානුවල උපරිම විදුලිබල ධාරිතාවක් වැඩි කාලයක් තුළ නිෂ්පාදනය කර වැඩි ආදායමක් ලබා ගැනීම සඳහා මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කරන සමාගම් විසින් වේල්ලෙන් පහළට ජලය ගලා යාම අවහිර කර උපරිමයෙන් ජලය ගබඩා කර විදුලිය නිෂ්පාදනය සිදු කරයි. එම සමාගම් උපරිම ලාභ ලබා ගැනීම උදෙසා මෙම ක්‍රියාවලීන්වල යෙදෙන නමුත් ඒ පිළිබඳ සොයා බැලීමට කිසිදු රාජ්‍ය ආයතනයක් කටයුතු නොකරයි. එහි අවසන් ප්‍රතිඵලය මිරිදිය ජලජ ජීවීන් බොහෝ ප්‍රමාණයක් වඳවීමට ලක් වීමයි. මේ නිසා පරිසර තුළිතතාවය ක්‍රමයෙන් බිඳ වැටෙමින් පවතී.

මේ ආකාරයෙන් ශ්‍රී ලංකාවට ආවේණික, ඉතා ම දුර්ලභ, සීමිත ව්‍යාප්තියක් ඇති නීතියෙන් ආරක්ෂිත මත්ස්‍ය විශේෂ දෙකක වාසස්ථාන සම්පූර්ණයෙන් ම විනාශ කරමින් ක්‍රියාත්මක කිරීමට නියමිත අලුත් ම ව්‍යාපෘතිය ලොග්ගල්ඔය කුඩා ජල විදුලිබල ව්‍යාපෘතියයි. කඩුවෙල, කොරතොට, තුනන්දහේන, අංක 679 ජේ දරන ස්ථානයේ පිහිටුවා ඇති ලොග්ගල්ඔය කුඩා ජල විදුලිබල ව්‍යාපෘති පුද්ගලික සමාගම මගින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සැලැසුම් කර තිබේ.

මෙගාවොට් 1.2 කක ජල විදුලිබල ව්‍යාපෘතියක් ලෙස මෙය ස්ථාපිත කිරීමට සැලැසුම් කර ඇත්තේ බදුල්ල දිස්ත්‍රික්කයේ, මීගහකිවුල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ගොඩයාගම ගම්මානයේ පිහිටි මහවැලි ගඟේ අතු ගංගාවක් වන ලොග්ගල්ඔයේ ය. නමුණුකුල කඳුවැටියෙන් ආරම්භ වන ලොග්ගල්ඔය විශාල ජෛව ප්‍රජාවකට වාසස්ථාන සපයන සුවිශේෂී දියපහරකි. මෙම දියපහර හරහා මීටර 49 ක් දිග හා මීටර 2 ක් උස වේල්ලක් ඉදි කර ඝන මීටර 3600 ක ජලාශයක් මගින් ජලය එක් රැස් කර එම ජලය දියපහරේ කිලෝමීටර 2 ක් පමණ පහළ ඉදි කරන විදුලි බලාගාරය වෙත යොමු කර ටර්බයින් මගින් මෙගාවොට් 1.2 ක විදුලි ධාරිතාවක් ජනනය කිරීමට සැලැසුම් කර තිබේ.

 

ආරක්ෂිත මසුන් වැනසීම

ලොග්ගල්ඔයේ මෙම ව්‍යාපෘතිය සඳහා යොදා ගැනීමට යෝජිත ප්‍රදේශය ලංකාවට ආවේණික, වඳවීමේ තර්ජනයට මුහුණපා ඇති නීතියෙන් ආරක්ෂිත මත්ස්‍ය විශේෂ දෙකක සුවිශේෂී වාසස්ථානයකි. 1917 වසරේ දී මත්ස්‍ය විද්‍යාඥ ඩේවිඩ් ස්ටාර් ජර්ඩන් හා අස්ථී විද්‍යාඥ එඩ්වින් චැපින් ස්ට්‍රාක්ස් විසින් නාමකරණය කර විද්‍යා ලොවට හඳුන්වාදුන් Labeo fisheri නම් විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන ගඩයා නැතහොත් කළු ගඩයා ලෙස හඳුන්වන විශේෂය හා 1991 වසරේ දී මත්ස්‍ය විද්‍යාඥ මොරිස් කොට්ලට් හා වර්ගීකරණ විද්‍යාඥ රොහාන් පෙතියාගොඩ විසින් නාමකරණය කර විද්‍යා ලොවට හඳුන්වාදුන් Systomus martenstyni නම් විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන දුම්බර පෙතියා මෙම ප්‍රදේශයෙන් වාර්තා වේ. ජාතික ජලජීවී සම්පත් පර්යේෂණ හා සංවර්ධන ආයතනය (නාරා ආයතනය) මගින් සිදු කළ පර්යේෂණ මගින් මේ බව තහවුරු කර ගෙන තිබේ.

සිප්‍රිනිඩේ (Cyprinidae) කුලයට අයත් වන ගඩයා ඉංග්‍රිසියෙන් Green Labeo හා Mountain Labeo යන නම් වලින් හැඳින්වේ. මෙරට කීර්තිමත් සත්ත්ව විද්‍යාඥයකු වන පී.ඊ.පී. දැරණියගල විසින් මෙම විශේෂය 1929 වසරේ දී Labeo gadeya නමින් නම් කර ඇති අතර ඔහුගේ වාර්තාවලට අනුව මහනුවර හා මාතලේ ප්‍රදේශවල ජීවත් වන බවට සඳහන් කර තිබේ. ලංකාවේ වනජීවී පර්යේෂකයකු වන ප්‍රදීප් සමරවික්‍රම විසින් 2011 වසරේ දී මහනුවර, ගැටඹේ ප්‍රදේශයෙන් මෙම විශේෂය වාර්තා කළ අතර එම ස්ථානයේ ද කුඩා ජල විදුලිබලාගාර ව්‍යාපෘතියක් සඳහා මහවැලි ගඟ හරහා වේල්ල ඉදි කිරීමේ දී මෙම මත්ස්‍යයින් මිය ගිය බවට වාර්තා කිරීමත් සමඟ ම එම ව්‍යාපෘතිය නතර කිරීමට හැකියාව ලැබුණි. ගාල්ල, වනජීවී සංරක්ෂණ සංගමයේ මධුර ද සිල්වා ප්‍රමුඛ පර්යේෂණ කණ්ඩායමේ වාර්තාවලට අනුව හසලක, සුදු ගඟෙන් ද ගඩයා වාර්තා වී තිබේ. 2009 වසරේ දී ලොග්ගල්ඔයෙන් පළමු වරට නාරා ආයතනයේ පර්යේෂකයින් විසින් ගඩයා වාර්තා කර ඇත. ලංකාවට ආවේණික මෙම විශේෂය 1999 රතු දත්ත ලේඛනයේ වඳවීමේ තර්ජනයට ලක් වූ විශේෂයක් ලෙසත් 2007 හා 2012 වසරවල ප්‍රකාශිත රතු දත්ත ලේඛනවල දැඩි ලෙස වඳවීමේ තර්ජනයට ලක් වූ විශේෂයක් ලෙසත් 2020 වසරේ රතු දත්ත ලේඛනයේ වඳවීමේ තර්ජනයට ලක් වූ විශේෂයක් ලෙසත් සඳහන් කර තිබේ.

මෙම බලාගාර ව්‍යාපෘතියෙන් විනාශයට ලක් වීමට නියමිත සිප්‍රිනිඩේ කුලයට ම අයත් දුම්බර පෙතියා ඉංග්‍රිසියෙන් Martensty's Barb ලෙස හැඳින්වේ. මෙම විශේෂය පළමු ව සොයා ගෙන ඇත්තේ මහවැලි ගඟේ අතු ගංගාවක් වන කළු ගඟේ, පල්ලේගම ප්‍රදේශයෙනි. රොහාන් පෙතියාගොඩ මහතාගේ වාර්තාවලට අනුව දුම්බර පෙතියා, නකල්ස් කඳුකරයේ මහවැලි ගඟේ අතු ගංගාවක් වන අඹන් ගඟේ, සුදුගුණේ, පල්ලේගම, පුවක්පිටිය හා මීමුරේ යන ප්‍රදේශ වලින් වාර්තා වී තිබේ. නාරා ආයතනය මගින් සිදු කරන ලද පර්යේෂණවලට අනුව 2018 වසරේ දී ලොග්ගල්ඔයෙන් මෙම ව්‍යාපෘතියට යොදා ගැනීමට නියමිත ප්‍රදේශයෙන් දුම්බර පෙතියාන් 450 ත් 500 ත් අතර ගහනයක් වාර්තා වන බවට හඳුනාගෙන තිබේ. 1999, 2007 හා 2012 වසරවල ප්‍රකාශයට පත් කළ රතු දත්ත ලේඛනවල මෙම විශේෂය දැඩි ලෙස වඳවීමේ තර්ජනයට ලක් වූ විශේෂයක් ලෙස නම් කර ඇති අතර 2020 රතු දත්ත ලේඛනයේ වඳවීමේ තර්ජනයට ලක් වූ විශේෂයක් ලෙස නම් කර තිබේ.

ගඩයා සහ දුම්බර පෙතියා යන විශේෂ දෙක ලංකාවට ආවේණික, ඉතා ම සීමිත ව්‍යාප්තියක් සහිත දුර්ලභ විශේෂ වීම නිසා පනත් දෙකක් යටතේ මෙම මත්සයයින්ට නීතිමය ආරක්ෂාව ලබා දී තිබේ. සංශෝධිත 1996 අංක 2 දරන ධීවර හා ජලජ සම්පත් පනතේ 30 හා 61 වගන්ති යටතේ ප්‍රකාශිත 1998 ජූලි 16 වන දින අංක 1036/13 දරන ගැසට් නිවේදනයට අනුව මෙම විශේෂ දෙක ම 1 වන උප ලේඛනය යටතේ අපනයනය තහනම් මත්ස්‍ය විශේෂ දෙකක් ලෙස නම් කර ඇත. පනතේ 49(1) උප වගන්තියට අනුව මෙම සතුන් අපනයනය කරන පුද්ගලයකු මහේස්ත්‍රාත් අධිකරණයක් ඉදිරියේ වරදකරුවකු කරනු ලැබූ විට රුපියල් 2000 ක දඩයකට යටත් කළ හැකි ය. ඒ මගින් බලාපොරොත්තු වන්නේ ස්වාභාවික පරිසරයෙන් මෙම සතුන් ඉවත් කිරීම වැළැක්වීම ය.

2009 අංක 22 දරන පනතින් අවසන් වරට සංශෝධිත 1937 අංක 2 දරන වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ 31(අ) උප වගන්තියට අනුව 6 වන උප ලේඛනය යටතේ ගඩයා හා දුම්බර පෙතියා ආරක්ෂිත මත්ස්‍ය විශේෂ ලෙස නම් කර ඇත. එම විශේෂ මරණයට පත් කිරීම, තුවාල කිරීම, අල්ලා ගැනීම, අල්ලා ගැනීම සඳහා ඕනෑ ම ආකාරයක උපකරණ භාවිතා කිරීම, සතෙකුගේ කොටසක් සන්තකයේ තබා ගැනීම ඇතුළු සියලු ක්‍රියා තහනම් වේ. එවන් ක්‍රියාවකට මහේස්ත්‍රාත් අධිකරණයක් ඉදිරියේ වරදකරුවකු වන පුද්ගලයකු රුපියල් 10,000 ත් 20,000 ත් අතර දඩයකට හෝ වසර 2 ත් 5 ත් අතර සිරදඬුවමකට හෝ මෙම දඬුවම් දෙකට ම යටත් කළ හැකි ය.

 

විශාල ජෛව ප්‍රජාවක් අවතැන් කිරීම

මේ ආකාරයේ නීතිමය ආරක්ෂාවක් ලබා දී ඇති මත්ස්‍ය විශේෂ දෙකක පැවැත්ම සම්පූර්ණයෙන් ම විනාශ වන පරිදි කුඩා ජල විදුලිබල ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා අනුමැතිය ලබා දීමට මධ්‍යම පරිසර අධිකාරිය ඇතුළු කිසිදු රාජ්‍ය ආයතනයකට හැකියාව නොමැත. මේ වන විට මෙම ව්‍යාපෘතිය සඳහා මූලික පාරිසරික විශ්ලේෂණ වාර්තාවක් සකස් කර ඇති නමුත් එම වාර්තාවෙන් මෙම මත්ස්‍ය විශේෂවලට සිදු වන බලපෑම පිළිබඳ ව කිසිදු ඇගයීමක් සිදු කර නොමැත. ඒ අනුව පෙනී යන්නේ පාරිසරික අනුමැතිය ලබා ගැනීමට පමණක් මෙම අසම්පූර්ණ වාර්තාව සකස් කර ඇති බව ය.

නාරා ආයතනයේ වාර්තාවලට අනුව මෙම ප්‍රදේශයේ දුර්ලභ හා ආවේණික ජලජ ශාක ලෙස Lagenanda praetermissa වැනි අතිඋඩයන් ශාක හා Cryptocoryne walkeri වැනි කෙටල ශාක විශේෂ වාර්තා වන බව සඳහන් වේ. මීට අමතර ව සීමිත ව්‍යාප්තියක් සහිත, ලංකාවට ආවේණික, මත්ස්‍ය විශේෂ ලෙස ගඩයා හා දුම්බර පෙතියාට අමතර ව 2008 වසරේ දී රොහාන් පෙතියාගොඩ ඇතුළු පර්යේෂණ කණ්ඩායම විසින් ඛ්මඉමජ් සබිමක්රසි නමින් විද්‍යා ලොවට හඳුන්වා දුන් දුම්බර කරඇඳයා ද මෙම ප්‍රදේශයෙන් වාර්තා වේ. මෙම මත්ස්‍ය විශේෂය 2012 රතු දත්ත ලේඛනයේ දැඩි ලෙස වඳවීයාමේ තර්ජනයට මුහුණපා ඇති විශේෂයක් ලෙස නම් කර තිබූ අතර 2020 රතු දත්ත ලේඛනයේ වඳවීමේ තර්ජනයට ලක් වූ විශේෂයක් ලෙස දක්වා ඇත. මෙම දුර්ලභ විශේෂවලට අමතර ව ලංකාවට ආවේණික මස් පෙතියා (Systomus spilurus), ගල් පාඩියා (Garra ceylonensis), කඳුකර ඉරි අහිරාවා (Schistura notostigma) හා පරඩැල් කනයා (Channa kelaartii) වැනි මත්ස්‍ය විශේෂ ද වාර්තා වේ.

 

ගඟකට ගඟක් ලෙස පැවතීමේ අයිතිය සුරක්ෂිත කළ යුතුය

ලංකාවේ වැඩි වන විදුලිබල අවශ්‍යතාවය සපුරාලීම සඳහා මෙවන් සුවිශේෂී වනජීවී වාසභූමි විනාශ කරමින්, දුර්ලභ ජීවීන්ගේ රැකවරණය අහිමි කරමින් සිදු කරන කුඩා ජල විදුලි බලාගාර ඉදි කිරීම වෙනුවට දැනට තිබෙන මහ පරිමාණ ජල විදුලි බලාගාරවල කාර්යක්ෂමතාව වැඩි කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම මෙන් ම එම බලාගාර හා සම්බන්ධ ජලාශවල ජලපෝෂක ප්‍රදේශ සුරක්ෂිත කිරීම සහ එම ජලාශ රොන්මඩින් පිරීයාම වැළැක්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම තුළින් තවදුරටත් සුවිශේෂී ජලජීවී වාසභූමි කුඩා ජල විදුලිබලාගාර වෙනුවෙන් විනාශ වීම වැළැක්විය හැකි ය. එපමණක් නොව කුඩා ජල විදුලි බලාගාර නාමයෙන් සමාගම් විසින් සිදු කරන පොදු භාවිත සම්පත් වන ගංගා, ඇළ, දොළ ඇතුළු ජලජ පද්ධතීන් විනාශ කිරීමේ ක්‍රියාවලිය නතර කිරීමට පියවර ගත යුතු ව ඇත.

ගඟකට ගඟක් ලෙස ගලා යාමට හා ඒ ආකාරයෙන් පැවතීමට ඇති අයිතිය සුරක්ෂිත කළ යුතු ය. ඒ මගින් ගංගාවකින් රැකවරණය සපයන විශාල ජෛව ප්‍රජාවකගේ සුරක්ෂිතතාව ඇති කළ හැකි ය. පිරිසිදු පානීය ජලය ලබා දීම පමණක් නොව වාරි ජලය සැපයීම මගින් කෘෂිකර්මාන්තයේ සුරක්ෂිතතාව ඇති කරන මෙම ජල මූලාශ්‍රවලට බලපෑමකින් තොර ව පැවතීමට ඇති අයිතිය සුරක්ෂිත කළ යුතු ය. ඒ සඳහා මානව කේන්ද්‍රීයව පරිසරය දෙස බලන ද්‍රෘෂ්ඨිකෝණයෙන් පරිභාහිර ව පරිසර කේන්ද්‍රීය ව පරිසරය දෙස බැලිය යුතු ය.

ඒ ආකාරයෙන් පරිසරය දෙස බැලීමේ ප්‍රතිඵලයක් ලෙස 2017 වසරේ දී නවසීලන්තයේ වැන්ගනුයි ගංගාවට නෛතික පුද්ගලභාවය එරට අධිකරණයෙන් ලබා දී තිබේ. එපමණක් නොව එම වසරේ දී ම ඉන්දියාවේ ගංගා හා යමුනා නම් ගංගාවලට අදාළ නඩු තීන්දුවේ දී වැන්ගනුයි ගංගාවට අදාළ නඩු තීන්දුව පූර්වාදර්ශ කර ගෙන එරට අධිකරණය සඳහන් කර ඇත්තේ ගංගාවකට දූෂණයෙන් තොර ව පැවතීමට ඇති අයිතිය ද සුරක්ෂිත කළ යුතු බව ය. 2018 ජූලි මාසයේ දී බංග්ලාදේශය එරට සියලූ ම ගංගාවලට නෛතික පුද්ගලභාවය ලබා දී තිබේ. මේ සියල්ල පාදක කර ගෙන අප රටේ සියලු ගංගාවලට ද නෛතික පුද්ගලභාවය ලබා දිය යුතු ව ඇත. එවිට අධිකරණය ඉදිරියේ පුද්ගලයකු ලෙස පෙනී සිටීමේ හැකියාව ගඟකට හිමි වීම පමණක් නොව ඒ තුළින් ගඟකට ගඟක් ලෙස ගලා යාමට ඇති අයිතිය හා එම අයිතිය තුළින් ගංගාවක් විසින් සියලු ජීවීන්ට ලබා දෙන රැකවරණය සුරක්ෂිත කිරීමට කුඩා ජල විදුලිබලාගාර නාමයෙන් ගංගාවකට නිදහසේ ගලා යාමට ඇති අයිතිය අහිමි කිරීම පාලනය කර ගත හැකි වනු ඇත.

 

 

කුඩා ජල විදුලිබලාගාරයෙන් වැනසීමට නියමිත ලොග්ගල්ඔය

 

නීතියෙන් ආරක්ෂිත වඳවීමේ තර්ජනයට මුහුණපා ඇති ගඩයා

 

නීතියෙන් ආරක්ෂිත වඳවීමේ තර්ජනයට මුහුණපා ඇති දුම්බර පෙතියා







Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us