Helabima

දිනකට සංචාරකයෝ 2000ක් - රවී නවීන් අර්ජුන කැඩෙයිද ? - සතියේ දේශපාලන කොලම

අශන්ති වරුනසුරිය


සංචාරකයින්ට රටතුළට එන්න ලේසියි 

ඉකුත් සඳුදා හවස සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඇමතුමක් ලැබී ඇත. 

" ප්‍රසන්න "

" ඔව් ජනාධිපතිතුමා " 

" කටුනායක ගුවන් තොටුපොලේදී ලංකාවට පැමිණෙන සංචාරකයින් හා ශ්‍රී ලාංකිකයන්  අපහසුතාවයට පත්වීම වළක්වන විදියේ ක්‍රමයක් හදන්න ඕනේ" 

" මම කොහොමත් හෙට කටුනායකට යන්න දාගෙන තියෙන්නෙ. හෙටම ඒ ගැනත් බලන්නං ජනාධිපතිතුමා" යි ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා පිළිතුරු දුන්නේය.

මෙරටට පැමිණෙන සංචාරකයින් වැඩි කාලයක් කටුනායක ගුවන්තොටුපොළ පරිශ්‍රය තුළ රඳවා තබා ගැනීම වළක්වමින්  කඩිනම් පී.සී.ආර් පරීක්ෂණ වාර්තාවක් නිකුත් කිරීමේ අරමුණෙන් නවීන තාක්ෂණයෙන් යුත් පර්යේෂණාගාරයක් කටුනායක ගුවන් තොටුපොළ පරිශ්‍රය ආසන්නයේ ඉදි කෙරුනේ සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ මඟ පෙන්වීම අනුවයි. පැය තුනක් වැනි කෙටි කාලයක් තුළ පී.සී.ආර්  පරීක්ෂණ වාර්තාවක් නිකුත් කළ හැකි මෙවැනි නවීනතම පර්යේෂණාගාරයක්  ආසියානු රටක ගුවන්තොටුපල පරිශ්‍රයක් තුල ඉදි කෙරුණේ පළමු වතාවටයි. මෙම පරීක්ෂණාගාරය නිරීක්ෂණය කිරීම සඳහා අමාත්‍යවරයා පසුගිය අඟහරුවාදා ගුවන්තොටුපල පරිශ්‍රයට පැමිණියේය.  

ඉදිරි කාලය තුළ මෙරටට පැමිණෙන සංචාරකයින්ගේ වැඩිවීමක් පෙන්නුම් කළ හැකි හෙයින් එක ඉක්මනින් මෙන්න පර්යේෂණාගාරය කටයුතු ආරම්භ කළ යුතුව ඇතැයි එහි දී  අමාත්‍යවරයා සඳහන් කළේය. 

දිනකට  සංචාරකයෝ 2000ක් 

" දැන් සංචාරකයෝ ලංකාවට එන්න පටන් අරන් තියෙන්නේ. මේ වෙනකොටත් දවසකට  තුන් හාරසියයක්  සංචාරකයෝ පැමිණෙනවා. ඉස්සරහට දෛනික සංචාරක පැමිණීම 1500- 2000ත් අතර ප්‍රමාණයකට වර්ධනය වෙන්න පුළුවන්.දැන් යුරෝපීය රටවල ශීත සෘතුව පටන් ගන්නවා. ඒ නිසා මේක තවත් කල් දාන්න එපා" අමාත්‍යවරයා ගුවන්තොටුපල සභාපතිවරයාට කීය.

ඒ අනුව  එළැඹෙන විසි වෙනිදා නව පර්යේෂණාගාරය කටයුතු ආරම්භ කිරීමට තීරණය විය. 

පරීක්ෂණාගාරයේ නිරීක්ෂණ කටයුතු අවසන් කල අමාත්‍යවරයා කටුනායක ගුවන්තොටුපොලට  පැමිණියේ  පෙරදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කී පණිවිඩයක අනුවයි. ඒ වන විටත් රේගු අධ්‍යක්ෂකවරයා, ආගමන විගමන පාලකවරයා, සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගමේ සභාපතිවරයා ඇතුළු නිලධාරීන් එතැනට පැමිණ සිටියහ.  

 " ඊයේ ජනාධිපතිතුමා මට කතා කළා. අපේ ගුවන්තොටුපල දැන් විවෘත කරලා.කටුනායක ගුවන් තොටුපොළ හරහා ලංකාවට පැමිණෙන සංචාරකයින් ශ්‍රී ලාංකිකයින්ට බාධාවකින් තොරව පැමිණීමේ ක්‍රමවේදයක් සකසන්නයි ජනාධිපතිතුමා උපදෙස් දුන්නා. මෙරටට පැමිණෙන සංචාරකයින්ට හෝ ශ්‍රී ලාංකිකයින්ට බාධාවක් වෙන විදියේ යමක් සිදුවෙනවා නම් ඒ දේවල් නතර වෙන්න ඕනේ. "  උපදෙස් දුන් අමාත්‍යවරයා ගුවන් තොටුපොළ පරිශ්‍රයද නිරීක්ෂණය කළේය.

 

P.P කිට් එක අඳින්න එපා කිවුවේ ඇයි ?

ගුවන් යානයකින් බැස ඩියුටි ෆ්‍රී ෂොප් හරහා පැමිණෙන ගුවන් මගීන්ට පළමුව හමු වන්නේ ශ්‍රී ලංකා සංචාරක අධිකාරිය තොරතුරු මධ්‍යස්ථානය හා විදේශ මුදල් හුවමාරු කර ගැනීම සඳහා ඇති බැංකු කිහිපයයි.   සංචාරක සංවර්ධන අධිකාරියේ තොරතුරු ආයතනය හැර එම කොටසේ තිබූ කිසිදු  ආයතනයක සේවකයෙක් පී.පී. කිට් ( ආරක්ෂක ඇඟලුම් )ඇඳ සිටියේ නැත. නමුත් සංචාරක අධිකාරියේ තොරතුරු මධ්‍යස්ථානය නිලධාරීන් පී.පී කිට් ඇඟලාගෙන සිටියේය.

මෙය දුටු ඇමතිවරයා " පීපී කිට් ඇඳලා ෆ්ලයිට් වල යන්න එපා කියන්නෙ, ඒ ඇඳුම් වලින් සංචාරකයින් පිළිගන්න එපා කියන්නේ  සංචාරක සංවර්ධන අධිකාරිය සභාපතිතුමියයි.  ඒ උනාට මෙතන ඔයගොල්ලෝ ඇරෙන්න කිසිම කෙනෙක් පීපී කිට් ඇඳලා නැහැ ."  කී ඇමැතිවරයා නැවතත් මේ " මේ අයගේ ෆොටෝ එකක් අරගෙන මට දාන්න. ඔයා කිව්වට ඔයාගේ අය මෙහෙමයි කරන්නේ කියලා සභාපතිතුමියට යවලා පෙන්නන්න" යි සිනහසෙමින් පැවසීය. ඇමතිවරයාගේ ප්‍රකාශයට එතැන සිටි සියලු දෙනා සිනාසුනි. 

Zoom තාක්ෂණය ඔස්සේ ප්‍රාදේශීය සභා, නගර සභා සභාපතිවරු සමග "ගම සමඟ පිළිසදරක් " වැඩපිළිවෙල සම්බන්ධයෙන් සාකච්ඡාවක් ඉකුත් බදාදා පැවැත්විණි. " අපිට කොවිඩ්  එක්ක ඉස්සරහට යන්න වෙනවා. කොවිඩ් කියලා වැඩ නොකර ඉන්න බැහැ. ඒ නිසා ගමේ ආර්ථිකය නංවන්න, ගම සංවර්ධනය කරන්න ගම සමග පිළිසඳරක් යටතේ ඉදිරිපත් වුනු යෝජනා අපි ක්‍රියාත්මක කරන්න ඕනෑ."  එහිදී අමාත්‍යවරයා සියලුම පලාත් පාලන ආයතන  ප්‍රධානීන්ට දැනුම් දුන්නේය.

එජාපය තොරතුරු එකතු කරයි 

මෙහෙම ඉදල හරි යන්නේ නැහැ. මේක කවද ඉවර වෙයිද කියන්න බැහැනේ. ඒ නිසා zoom වලින් හරි තොරතුරු එකතු කරමු" එජාප සභාපතිවරයාගේ ඒ යෝජනාවට සියල්ලෝම කැමති විය. 

ඒ අනුව දැනට එක්සත් ජාතික පක්ෂය ගම් මට්ටමේ ක්‍රියාකාරීන්ගේ තොරතුරු රැස්කිරීමට පටන් ගෙන. "එහෙනම් සුදුදා ඉදලම මේක පටන් ගමු. ලබන සතියේ ඉදලා මේ ක්‍රියාවලිය ප්‍රාදේශීය සභා, නගර සභා සහ මහ නගර සභා, පළාත් පාලන ආයතන මෙන්ම මැතිවරණයට තරඟ කළ අපේක්ෂකයන්, ආසන සංවිධායකවරුන් සහ තරුණ නියෝජිතයන් හරහා සිදු කරන්න" රනිල් වික්‍රමසිංහත් එළෙස එය තහවුරු කළේ කොහොන් හරි පක්ෂේ ගොඩ දා ගත යුතු නිසාය. ගම් මට්ටමින් පක්ෂ ක්‍රියාකාරීන් ගේ තොරතුරු රැස් කිරීමෙන් පසු එක්සත් ජාතික පක්ෂයට නව සාමාජිකයන් බඳවා ගැනීම ලබන මස සිට අරඹන ලෙස පක්ෂ නායක සහ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දැනුම් දුන්නේය.

රනිල්ගේ ඉල්ලීමට චීනෙන් කොවිඩ් යන්ත්‍ර 

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි එජාප සභාපති වජිර අබේවර්ධන මහතා පසුගිය සඳුදා දහවල් චීන තානාපති කාර්යාලයට පැමිණියේ චීන කොමියුනිස්ට් පක්ෂය විසින් පරිත්‍යාග කරනලද වෛද්‍ය උපකරණ බාරගැනීමටය. එක්සත් ජාතික පක්ෂය සහ චීන කොමියුනිස්ට් පක්ෂය අතර පවතින දිගු කාලීන මිත්‍රත්වයේ ප්‍රතිඵලයක් ලෙස මෙම වෛද්‍ය උපකරණ පරිත්‍යාග කිරීම සිදුවිය. 

මෙරට කොරෝනා රෝගීන්ගේ ප්‍රයෝජනය වෙනුවෙන් භාවිත කරන මෙම වෛද්‍ය උපකරණ බාරගැනීම සඳහා තානාපති කාර්යාලයට පැමිණි වජිර එහි උපදේශක චේන් මහතා ප්‍රමුඛ නිලධාරීන් මුණගැසී සාකච්ඡා කිරීමෙන් අනතුරුව චීන කොමියුනිස්ට් පක්ෂයේ බැනරය ප්‍රදර්ශනය කරමින් සමූහ ඡායාරූපයකටද පෙනී සිටියහ. 

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය ආරම්භයේ සිට මේ දක්වා ශ්‍රී ලංකාවට ලබාදුන් සහයෝගය පිළිබඳව චීන කොමියුනිස්ට් පක්ෂයටත්, චීන තානාපති කාර්යාලයටත් එක්සත් ජාතික පක්ෂයේ සහ එහි නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ස්තූතිය පළකර සිටි වජිර අතීතයේදී ද චීනය විසින් අවස්ථා ගණනාවකදීම මෙවැනි පරිත්‍යාගයන් සිදුකර ඇති බව සිහිපත් කළේය. 

චීන කොමියුනිස්ට් පක්ෂය එක්සත් ජාතික පක්ෂය කෙරෙහි විශ්වාසය තබා පරිත්‍යාග කරන ලද මෙම වෛද්‍ය උපකරණ රෝහල් වෙත බෙදාදීමට මේ වනවිටත් සැලසුම් කර ඇතැයි ද වජිර වැඩිදුරටත් එහිදී පැවසීය.

රට විපතට පත්ව තිබෙන මේ මොහොතේ එක්සත් ජාතික පක්ෂයේ කාර්යභාරය කුමක්දැයි එම ස්ථානයට පැමිණ සිටි මාධ්‍යවේදියෙකු නැගුව පැනයකට පිළිතුරු දෙමින් වජිර තවදුරටත් කියා සිටියේ “අතීතයේ රට විපත්වලට මුහුණ පෑ සෑම අවස්ථාවකදීම රටේ වගකිව යුතු ප්‍රධානතම දේශපාලන පක්ෂය ලෙස එක්සත් ජාතික පක්ෂයත් එහි නායකත්වයත් වගකීමෙන් යුතුව ක්‍රියාකර ඇති බවයි. එමෙන්ම කොරෝනා ව්‍යසනයේදීද ජන ජීවිත ආරක්ෂා කරගෙන රට ඉදිරියට ගෙනයාමට රජයට අවශ්‍ය කරන මග පෙන්වීම කරුණු 21 ක් ඉදිරිපත් කරමින් පෙන්වා දී තිබෙනවා.“

පසුගිය සැප්තැම්බර් මස 6 වෙනිදා පැවැති එජාප 75 වෙනි සංවත්සරයෙන් පසු පක්ෂය ශක්තිමත් කිරීමේ පුළුල් වැඩපිළිවෙලක් රට පුරා ක්‍රියාත්මක කිරීමට තීරණය කෙරිණි. 

විවිධ වැඩසටහන් හා සැලසුම් ඔස්සේ ක්‍රියාවට නංවන මෙම වැඩපිළිවෙලේ පළමු පියවර වනුයේ රට පුරා සිටින එජාප ක්‍රියාකාරීන්, පාක්ෂිකයන් හා පක්ෂයට අනුබද්ධ සංවිධාන දැනුවත් කිරීමේ සමුළු 75 ක් ZOOM තාක්ෂණය ඔස්සේ පැවැත්වීමය. 

මේ අනුව පසුගිය සිකුරාදා (17) ආරම්භ කෙරෙන එම සමුළු සහ  එදිනට යෙදී තිබෙන හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතාගේ  උපන්දිනය වෙනුවෙන් එජාපය ක්‍රියාවට නංවන වැඩකටයුතු සම්බන්ධව විශේෂ සාකච්ඡාවක් නායක රනිල්ගේ ප්‍රධානත්වයෙන් බදාදා දහවල් ZOOM තාක්ෂණය ඔස්සේ පැවැත්විණි. 

මෙම සාකච්ඡාවට රුවන්, වජිර, රංගේ, අකිල, සාගල, ෂමල් ඇතුළු පක්ෂයේ ප්‍රධානීන් පිරිසක් එක්වූ අතර ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා පක්ෂය වෙනුවෙන් සහ රට වෙනුවෙන් සිදුකර තිබෙන මෙහෙවර පිළිබඳව එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාගේ උපන්දින වැඩසටහන පිළිබඳව දිස්ත්‍රික් මට්ටමේ ක්‍රියාකාරීන් දැනුවත් කරන ලෙස නායක රනිල් මෙහිදී උපදෙස් ලබාදුන්නේය.

ජේ.ආර්. ජයවර්ධන මහතා එක්සත් ජාතික පක්ෂයට සහ රට වෙනුවෙන් සිදුකර තිබෙන මෙහෙවර හා එජාප 75 වෙනි සංවත්සරයේදී ප්‍රකාශයට පත්කරන ලද පරිසර ආරක්ෂාව සම්බන්ධයෙන් 17 වෙනිදා විශේෂ ප්‍රකාශයක් නායක රනිල් වික්‍රමසිංහ මහතා රට හමුවේ තැබීමටද තීරණය වූ අතර සවස 5.00 සිට 6.00 දක්වා එම වැඩසටහන ZOOM තාක්ෂණය ඔස්සේ ක්‍රියාත්මක කිරීමට තීරණය කරන ලදි.

17 වෙනි දා සැලසුම් කර ඇති වැඩසටහන සහ, පැවැත්වීමට යෝජිත සමුළු 75 පිළිබඳව නගර සභා, ප්‍රාදේශීය සභා කොට්ඨාශ 4917 ම පාක්ෂිකයන්, ආසන සංවිධායකවරුන්, දැනුවත් කළ යුතු ආකාරය පිළිබඳව රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නේය.

රටපුරා ක්‍රියාත්මක කිරීමට සැලසුම්කර තිබෙන සමුළු 75 සාර්ථක කර ගැනීම සම්බන්ධව පක්ෂයේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් තවත් විශේෂ සාකච්ඡාවක් ලබන 21 වෙනි අඟහරුවාදා උදේ 9.00 ට පැවැත්වීමට එහිදී වැඩිදුරටත් තීරණය කරනු ලැබීය

රවී නවීන් අර්ජුන කැඩෙයිද ?

රවී කරුණානායක අර්ජුන රණතුංග නවින් දිසානායක පක්ෂයෙන් කැඩී යන බවට රාවයක් පසුගියදා  පැතිරිණි.  

එකපාරම දත්ත මැකීම 

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සිදු වීමට අදාළව චෝදනා ලැබූ දුමින්ද සිල්වා ගෙන් කටඋත්තර ගැනීමට ගිය විමර්ශන නිලධාරීන්ට ඔහු පවසා තිබුණේ, ඒ සිදුවීමට අදාළ කිසිවක් තමාට මතක නැති බව ය. එකල ඔහු සිංගප්පූරු මවුන්ට එළිසබෙත් රෝහලේ ප්‍රතිකාර ගත් අතර හිසට වෙඩි වැදීම නිසා ප්‍රතිකාර ගනිමින් සිටියේ ය. එම පිළිතුර සත්‍යය ද අසත්‍යය ද යන්න දන්නේ ඔහුම පමණක් වුවත්, එය අදාළ චෝදනා ප්‍රතික්ෂේප කිරීමට හැකි පිළිතුරක් වූ බව පැහැදිලි ය. මෑතක දී ජනාධිපති සමාව ලබා නිදහස් වී සිටින ඔහුගේ මතකය පිළිබඳ ප්‍රශ්නයක් ඇති බව නම් දැනගන්නට නැත. ඒ කතාව මනසේ දත්ත මැකී යාම ගැන ය. ඒත් මෑතක සිට රජයේ වගකිව යුතු ආයතනවල දත්ත මැකී යාම් ගැන වාර්තා වෙමින් තිබේ. පුදුමයට කරුණ වන්නේ මේ දත්ත මැකී යන්නේ ආන්දෝලනාත්මක ගනුදෙනු, සිදුවීම් ආදියේ වීම ය.

මාස කිහිපයකට පෙර ශ්‍රී ලංකා මුහුදු සීමාවේ දී ගිනි ගැනීමට ලක් වූ ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව සම්බන්ධ ප්‍රශ්නයේ දී ද එම නැව සමඟ හුවමාරු කර ගත් පණිවුඩ මැකී යාමේ සිදුවීමක් වාර්තා වූ අතර, එමඟින් අප රටට හිමි විය යුතු වන්දි මුදල් ලබා ගැනීමට ප්‍රශ්නයක් මතු වූ බව වාර්තා විය.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත ගබඩාවේ තිබූ ‘ටෙරා බයිට්’ දෙකක දත්ත මැකී යාමක් ද සිදුව තිබේ. එහි දත්ත ගොනු ලක්ෂ 11ක් අතුරුදහන් වී තිබේ. මෙය ද බරපතළ සැක උපදවන කරුණක් වී ඇත්තේ, කොවිඩ් 19 වසංගතයත් සමඟ ජනාධිපතිවරයා හා සමීපව කටයුතු කරන ව්‍යාපාරිකයකු  මෙරටට ‘රැපිඩ් ඇන්ටිජන්’ කට්ටල ගෙන්වීම හා ඒ හරහා මහා පරිමාණ ලෙස රෝගීන් ගසා කන බවට චෝදනා එල්ල වී තිබිය දී ය.

කොවිඩ් ආසාදිතයන් හා මරණ සම්බන්ධයෙන් වන දත්ත පිළිබඳව බරපතළ ගැටලුකාරී තත්ත්වයක් ඇතිව තිබේ. සැබෑ ප්‍රමාණවලට වඩා අඩුවෙන් සංඛ්‍යා දත්ත වාර්තා කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති අතර, වරෙක ගම්පහ දිස්ත්‍රික්කයේ සහ නැඟෙනහිර පළාතේ මෙසේ පරස්පර සංඛ්‍යා හෙළි විය. ඉහළ හමුදා නිලධාරියකු සහ විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනකු මෙම දත්ත වෙනස් කිරීමට සම්බන්ධ බවට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයකු විසින් චෝදනා කර තිබිණි.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත ගබඩාවේ තිබූ ‘ටෙරා බයිට්’ දෙකක දත්ත මැකී යාමක් ද සිදුව තිබේ. එහි දත්ත ගොනු ලක්ෂ 11ක් අතුරුදහන් වී තිබේ. මෙය ද බරපතළ සැක උපදවන කරුණක් වී ඇත්තේ, කොවිඩ් 19 වසංගතයත් සමඟ ජනාධිපතිවරයා හා සමීපව කටයුතු කරන ව්‍යාපාරිකයකු  මෙරටට ‘රැපිඩ් ඇන්ටිජන්’ කට්ටල ගෙන්වීම හා ඒ හරහා මහා පරිමාණ ලෙස රෝගීන් ගසා කන බවට චෝදනා එල්ල වී තිබිය දී ය.

මේ පිළිබඳව වෛද්‍ය පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර සිටියේ, “ජාතික ඖෂධ නියාමන අධිකාරියේ, රාජ්‍ය ඖෂධ සංස්ථාවේ හා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ සභාපතිවරුන් ඖෂධ ව්‍යාපාරිකයන් හා එක්ව කොවිඩ් වසංගතය ජාවාරමක් කර ගෙන ඇති බව” ය. රැපිඩ් ඇන්ටිජන් ඒකාධිකාරයක් පවත්වාගෙන යන එක්තරා ව්‍යාපාරිකයකුට ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා හා නිලධාරීන් යටත්ව සිටින බව ද ඔහු පෙන්වා දුන්නේ ය. රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයක මිල රුපියල් 2,000.00ට වඩා ඉහළ මිලක් මෙරට තුළ අය කරද්දී, ඊට වඩා ඉහළ ගුණාත්මක අගයකින් යුතු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයක් සියලු ලාභ සහිතව රුපියල් 600.00කට කළ හැකි බව ද ඔහු පෙන්වා දුන්නේ ය.

මේ හෙළිදරවු කිරීම් නිසා මේ වන විට ඔහුට එරෙහිව අමාත්‍යාංශ මට්ටමෙන් හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මට්ටමෙන් විමර්ශන ආරම්භ කර තිබේ. 

එකදිගට ඇල්ලූ සහල් 

වී, හාල්, සීනි ඇතුළු අත්‍යවශ්‍ය ආහාර මිල ගණන්  වේගයෙන් ඉහළ නැංගේ ය. ආහාර ද්‍රව්‍ය පමණක් නොව ඉන්ධන, බස් ගාස්තු, ත්‍රිරෝද රථ ගාස්තු, සබන් කැටය, බෙහෙත් ටික, සිමෙන්ති ටික, වයර් එක ආදී හැම දෙයක් ම වැඩි වුණේ ය. මේ සියල්ල වැඩි වූයේ කොරෝනා වසංගතය අස්සේය. 

කොරෝනාවලින් බැට කන අතරතුරේ දී ය. හාල් වැඩි වන්නේ, හාල් මෝල් හිමියන්ගේ මාෆියාවෙන් බව ආණ්ඩුව කියයි. සීනි මිල වැඩි වන්නේ, සීනි ආනයනකරුවන්ගේ මාෆියාවෙන් බව කියයි. ගෑස් මිල වැඩි වන්නේ, ගෑස් ගෙන්වන පෞද්ගලික ආයතනයේ වැරැද්දෙන් බව කියයි. බස් ගාස්තු වැඩි කරන්නේ, පෞද්ගලික බස් හිමියන් බව කියයි. කිරිපිටි වැඩි වන්නේ ද, ඒවා ආනයනය කරන සමාගම්වල වැරැද්දෙන් බව කියයි. මේ මිල වැඩි වීම් හැම එකක් ම සිද්ධ කරන්නේ පෞද්ගලික ජාවාරම්කාර වෙළෙන්දන් යැයි කියයි. 

ආණ්ඩුව පටන් ගත්ත දා ඉඳලා ඔය කතාව දිගින්දිගට ම කියයි. රජයේ මාධ්‍ය හා ආණ්ඩුවට හිතවත් පෞද්ගලික මාධ්‍ය හරහා ද ඒක ම කියවයි. අන්තිමේ දී ජනතාව හිතන්නේ ද එයයි. ඒ කියන්නේ, “ආණ්ඩුව උපරිම උත්සාහ කරනවා මිල අඩු කරන්න. ඒත් මේ ජාවාරම්කාරයෝ ඒකට ඉඩ දෙන්නේ නැහැ” කියා ය. මේ වන විට ජනතාව තුළ ගොඩනැඟී ඇති සහ තව දුරටත් ගොඩනඟන්න උත්සාහ දරන මතය එයයි.

සීනි මිල වැඩි වීමේ චෝදනාව ද දිගින්දිගට ම එල්ල කරන්නේ, පෞද්ගලික ව්‍යාපාරිකයන්ටය. පොළොන්නරුව ලොකු ම හාල් මෝල් තුන වැටලීමට අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්වරයා ද මැදිහත් වුණේ ය. කොළඹින් ලොරි පෝලිමක් ගිහිල්ලා මහා විශාල මාධ්‍ය සංදර්ශනයක් පැවැත්වූයේ ය. මේ දවස්වල දිනපතා ඒ සංදර්ශන පෙන්වන්නේ ය. එහෙත්, ආණ්ඩුව ම මෙයට පාර කැපූ බව දන්නේ ටික දෙනෙකි. වී සඳහා සහතික මිලක් නියම කොට ඇත්තේ ය. 

ආණ්ඩුව දිගින්දිගට ම හැම ප්‍රශ්නයක දී ම ඇඟ බේරා ගන්නට වැරැද්ද වෙන කෙනකු මත පටවන බවට විපක්ෂය චෝදනා කරමින් සිටි. සියල්ල අස්සේ කොරෝනා වැඩි වූ වේගය අඩාල වෙමින් කොරෝනා ආසාදිතයින් මෙන්ම මරණ අඩු වන බවක් දක්නට තිබේ. එය ලංකාවට හොද සලකුණකි. සියල්ල සමඟ නව කැළණි පාලම ඉදිවීම යන සංවර්ධන කටයුතු රට පුරා සිදුවෙමින් තිබීමත් නිවහල් සංවර්ධිත දේශයකට හොද සලකුණකි. 

දේශපාලන කොලම



Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us