Helabima

ලෝක ඉතිහාසයේ දරුණුම වසංගත රෝග

රොශානි අබේරත්න


ලෝකයේ ගමන් මඟ වෙනස් කරමින් ප්‍රජාවගේ ආරක්ෂාවට දරුණු තර්ජන එල්ලකරපු විවිධ වසංගත වර්ග ලෝක ඉතිහාසයේ වරින් වර දකින්න ලැබුණා. දරුණු කොරෝනා වසංගතයට මුහුණ දෙමින් ඉන්න අපිට වසංගතයක භයානකකම, සමාජීය බලපෑම වගේ කාරණා ගැන පැහැදිලි අවබෝධයක් මේ කාලයේ ලැබෙමින් තියෙනවා. ඉතින් එහෙම කාලවකවානුවක මේ වසංගතය වගේම, සමහරවිට ඊටත් වඩා දරුණු වසංගත ගැන කරුණු කාරණා ටිකක් සොයා බලන එක වැදගත් කාරණයක් බව අපි හිතුවා. ලෝක ඉතිහාසයේ කරුණු පිරික්සද්දී දැනගන්න තියෙන වසංගත වර්ගනම් බොහොමයි. හැබැයි අපි මේ කරුණු සඳහන් කරන්නෙ මරණ අනුපාතය අතින් ඉතාම ඉහලින් ඉන්න වසංගත කිහිපයක් ගැන වගේම තවමත් ක්‍රියාශීලි, ඒ කියන්නෙ අවසාන ප්‍රතිපලයක් තවමත් කියන්න බැරි, නිශ්චිත ප්‍රතිකාරයක් හොයාගෙන නැති වසංගත වර්ග දෙකක් ගැනයි. වර්තමානයේ අපි මුහුණ දෙමින් ඉන්න කොරෝනා වසංගතයත් මේ ලැයිස්තුවට ඇතුලත්. 

1. කළු මරණය හෙවත් මහාමාරිය

ලෝක ඉතිහාසයේ වසංගත රෝගයක් නිසා සිදුවුණු වැඩිම පුද්ගල මරණ සංඛ්‍යාවක් වාර්තා වෙන්නෙ මේ වසංගත රෝගය හේතුවෙන්. මහාමාරිය වසංගත රෝගයක් විදිහට සැලකෙන මේ වසංගත රෝගය කළු මරණය, The Great Mortality හෙවත් මහා මරණය වගේ විවිධ නම් වලිනුත් හඳුන්වන්න යෙදෙනවා. වර්ෂ 1347 සිට 1351 දක්වා කාලසීමාව ඇතුලත ඇතිවුණු මේ වසංගත තත්වය ප්‍රධානවම බලපෑම් ඇතිකරේ යුරෝපා, ආසියානු සහ උතුරු ඇමරිකානු රටවලට. මේ භයානක උණ වසංගත තත්වය නිසා සිදුවුණ මරණ සංඛ්‍යාව මෙපමණයි කියල කිසිම නිවැරදි ගණනය කිරීමක් සිදුකෙරිල නැහැ. කෙසේවෙතත් දල වශයෙන් මිනිස් ජීවිත මිලියන 75 සිට 200 දක්වා ඉතා විශාල ප්‍රමාණයක් මේ දරුණු වසංගතය විසින් බිලි අරගෙන තියෙන බවට විශ්වාස කෙරෙනවා. වසංගත රෝගයේ ප්‍රධාන ලක්ෂණ වෙන්නෙ තද උණ, හිසරදය, ඇඟපත වේදනාව, වමනය වගේ සාමාන්‍ය ලක්ෂණ. හැබැයි නිසි ප්‍රතිකාරයක් නොලැබුනොත් රෝගය වැළඳිලා දින 8ක් වගේ කෙටි කාලයක් ඇතුලත රෝගීන්ගෙන් 80%ක්ම මියයන බව තමයි පැවසෙන්නේ. ශරීරය පුරා සැරව පිරුණු ගෙඩි පුපුරා සෑදුණු විශාල තුවාල සමඟ ලේ වමනය, අධික කැස්ස සමඟ ලේ වමනය සහ වඩාත්ම දරුණු අවස්ථාව වන පණ පිටින් සිටියදීම ඇඟිලි සහ කකුල් කළුවී කුණුවීයාමෙන් අධික වේදනාවට පත්වී මරණය සිදුවීම කියන අවස්ථා තුනම මේ මහාමාරිය වසංගතයේ දක්නට තිබුණු බව පැවසෙනවා. මේ අවසාන අවස්ථාව නිසාම තමයි මෙය කළු මරණය විදිහටත් හැඳින්වෙන්නේ. රෝගය පාලනය කිරීමට බෝවන රෝග ගැන විද්‍යාත්මක දැනුමක් නොතිබුණු එම වකවානුවේ මේ වසංගත තත්වය පාලනය කෙරුණේ මිනිසුන් වෙන්කරතැබීම මඟින්. නිරෝධායනය නමැති සංකල්පය ලෝකයට බිහිවන්නට හේතුවුනේ මේ කළු මරණය කියන දරුණු වසංගත තත්වය බවට තමයි අදටත් සැලකෙන්නේ.    

2. ස්පාඤ්ඤ උණ

Spanish Flu හෙවත් ස්පාඤ්ඤ උණ කියල කියන්නෙ ලෝකයේ දෙවනියට වැඩිම මරණ සංඛ්‍යාවක් සිදුකිරීමට හේතුවුණ වසංගත රෝගය. ඒ වගේම විසිවන සියවසේ රෝගයක් නිසා සිදුවුණා වැඩිම මිනිස් ජිවිත සංඛ්‍යාවක් බිලිගැනීම විදිහටත් මේ ස්පාඤ්ඤ උණ වසංගතය සැලකෙනවා. ලෝකය පුරාම පැතිරුණ මේ දරුණු වසංගත රෝගය ඇතිවෙන්නේ 1918 ඉඳලා 1920 කාලය ඇතුලත. මේ වසංගත රෝගය නිසා මිනිස් ජීවිත මිලියන 20 සිට 50 දක්වා ප්‍රමාණයක් මියගිය බවට ඇස්තමේන්තු කරලා තියෙනවා. වසංගතය පැතිරීම ආරම්භවූයේ පළමු ලෝක යුද්ධය වසාන වෙමින් තිබුන සමයේ වීම නිසා සෙබළුන්ගේ මානසික මට්ටම යහපත්ව තබාගැනීම සහ චිත්ත ධෛර්යය ඉහල නැංවීම අරමුණුකොටගෙන රෝගය පිලිබඳ නරක ප්‍රවෘත්ති පැතිරීම පාලනය කරනු ලැබුවා. නමුත් ස්පාඤ්ඤයේ මෙවැනි වාරණයන් නොවූයෙන් පුවත්පත් නිදහසේ වසංගතය පිලිබඳ තොරතුරු වාර්තා කළා. රෝගය ආරම්භ වුණේ ස්පාඤ්ඤයෙන් නොවුණත් රෝගයේ වැඩිම බලපෑමට නතුවුනේ ස්පාඤ්ඤය කියලා වැරදි මතයක් මේ ඔස්සේ සමාජගත වුණා. ඒ නිසා මේ වසංගතය ස්පාඤ්ඤ උණ ලෙස නම්කෙරුණු බවයි සැලකෙන්නේ. මේ වසංගත රෝගයේ ලක්ෂණ සාමාන්‍ය උණ, හෙම්බිරිස්සා තත්වයක ලක්ෂණම තමයි. නමුත් රෝගය උත්සන්න වීමේදී රෝගියා නිල්පැහැ වීමට පටන්ගෙන පෙනහළු වලට දියර පිරි ඉක්මනින් මරණයට පත්වෙන අවස්ථා දකින්න තිබුණා. ප්‍රතිකාර හෝ එන්නත් ගැන ලොකු දැනුමක් නැති ඒ වකවානුවේ මේ වසන්ගතයත් අවසාන කරන්න පුළුවන් වුණේ නිරෝධායනය, මුහුණු ආවරණ පැළඳීම සහ පොදු ස්ථාන වසාදැමීම වගේ පියවරයන් මඟින්. 

 

3. ජස්ටීනියානු වසංගතය

ජස්ටීනියානු වසංගතය කියල කියන්නෙත් මහාමාරිය රෝග තත්වයක්. මහාමාරිය රෝගය ලෝකයට තර්ජනය කරපු පළමු අවස්ථාව විදිහට තමයි මේ ජස්ටීනියානු වසංගතය සැලකෙන්නේ. නමුත් වසංගතය නිසා මියගිය ප්‍රමාණය සලකා බැලීමේදී මේ වසංගතයට හිමිවෙන්නේ තුන්වන ස්ථානය. ජස්ටීනියානු වසංගතය ඇති වෙන්නෙ ක්‍රිස්තු පූර්ව 541 දී යුරෝපය සහ කොන්ස්තන්තිනෝපලය අවට රටවල් වලයි. මුලින්ම ඉන්දියාව හෝ චීනයේ රෝගය හටගෙන වෙළෙඳ නැව් හරහා යුරෝපයට රෝගය සංක්‍රමණයවුණ බවට තමයි කරුණු සඳහන් වෙන්නේ. ක්‍රි.පූ. 541 – 549 අතර වසර කිහිපයක කාලයක් සක්‍රීයව ජනතාවට පහරදුන්නු මේ වසංගතය නිසා මිනිස් ජීවිත මිලියන 15 – 100 අතර ප්‍රමාණයක් ලෝකයට අහිමුවුන බවට සැලකෙනවා. මේ රෝගයෙත් පවතින්නේ කලින් කියපු මහාමාරිය රෝග ලක්ෂණ වුණත් ප්‍රධානවම මහාමාරිය රෝගයේ Bubonic අවස්ථාවේ ආසාධනයන් තමයි මේ වසංගතය පුරාවට පෙන්නුම් කෙරුණේ. මේ වසංගත රෝගය ජස්ටීනියානු වසංගතය විදිහට නම් කෙරෙන්නේ එවකට රාජ්‍ය කරපු ජස්ටීනියන් නම් අධිරාජ්‍යයෙකුගේ නමින්. වසංගත රෝගයන් ගැන කිසිම අවබෝධයක් නොතිබුණු මේ කාල වකවානුවේ රෝගය පාලනය කෙරුණේ ස්ව-ප්‍රතිශක්තීකරණය මඟින් සහ රෝගීන් සහ මියගිය පුද්ගලයින් සමඟ සම්බන්ධවීම සම්පූර්ණයෙන්ම නැවැත්වීමෙන් බවයි සැලකෙන්නේ. 

4. HIV/AIDS 

HIV/AIDS වසංගතය කියල කියන්නෙ තවමත් සක්‍රීයව ලෝකයට පහරදෙන වසංගත තත්වයක්. ඒ වගේම වසංගතය හේතුවෙන් ලෝකයේ සිදුවූ මරණ ප්‍රමාණය අනුව මේ HIV/AIDS වසංගතය තියෙන්නෙ ලැයිස්තුවේ හතරවෙනි ස්ථානයේ. 1981 වසරේදී ආරම්භවුනු බවට සැලකෙන මේ වසංගතය නිසා මේ වනවිට මිනිස් ජීවිත මිලියන 35කට අධික සංඛ්‍යාවක් අහිමිවෙලා තියෙනවා. නිලවශයෙන් හඳුනාගත් පළමු HIV/AIDS අසධිතයා සොයාගැනෙන්නේ 1981 වර්ෂයේදී ඇමරිකාවේදී. මේ දක්වා කතා කරපු අනෙක් වයිරස තරම් මේ වයිරසය පැතිරීමේ වේගයක් නොපෙන්වන්නේ මෙය ලිංගිකව සම්ප්‍රේෂණයවන රෝගයක් වීම නිසා. එනම් මූලික වශයෙන් ස්පර්ශයෙන්, හෝ ශ්වසන මාර්ගය හරහා බෝවීමක් සිදුවෙන්නේ නැහැ. නමුත් ලිංගික සම්බන්ධතාවයකට අමතරව රුධිර සම්ප්‍රේෂණය මඟින් හෝ උපතේදී මවගෙන් දරුවාට මේ වයිරස රෝගය අසාධනය වියහැකියි. තාක්ෂණය සහ වෛද්‍ය පහසුකම් මෙතරම් දියුණු 21 වෙනි ශතවර්ෂයේ මේ දක්වාම මේ වයිරසයට එරෙහි කිසිඳු ප්‍රතිකාරයක් සොයාගන්න විද්‍යාඥන් අපොහොසත් වෙලා තියෙනවා. 

5. COVID-19 

වසංගත රෝග ගැන තොරතුරු විමසීමේදී මේ covid-19 හෙවත් හැමෝම කොරෝනා නමින් දන්න වයිරසය ගැන කතා නොකරම බැහැ. 2019 නොවැම්බර් මාසයේදී චීනයේ වූහාන් නගරයෙන් ආරම්භවුණු මේ වයිරසය අද දක්වාම ලෝකයට තර්ජනයක් වෙමින් පවතිනවා. මෙය ලෝකය පුරාම පැතිරුණු වයිරසයක්. රෝගයේ ප්‍රධාන ලක්ෂණ වෙන්නෙ සාමාන්‍ය උණ හෙම්බිරිස්ස ලක්ෂණ. ඊට අමතරව ගඳ සුවඳ නැතිවීම සහ රස නොදැනීමත් මේ රෝගයට ආවේණික ලක්ෂණයක්. වයිරසය ආසාධනයවන රෝගීන් මියයෑම සිදුවෙන්නේ නියුමෝනියා තත්වය දක්වා රෝගය උත්සන්න වීමෙන්. මේ කියවන මොහොතේත් මේ දරුණු covid -19 වයිරසය නිසා මිනිසුන් මියයමින් පවතිනවා. මරණ ප්‍රමාණය අතින් මේ වසංගතය තවමත් පවතින්නේ 8 වෙනි ස්ථානයේ වුණත් වසංගතයේ අවසානය ගැන තවමත් නිශ්චිත පැහැදිලි කිරීමක් නොමැති නිසා ඉදිරියේදී මේ වසංගතයට හිමිවෙන ස්ථානය ගැන අපිට තවමත් ප්‍රකාශ කරන්න බැහැ. විවිධ රටවල් මඟින් වයිරසයට එරෙහි එන්නත් නිෂ්පාදනය කරමින් වෙළඳපොළට නිකුත් කරනවා. මේ එන්නත්, සමාජ දුරස්ථභාවය, මුහුණු ආවරණ කියන හැම ක්‍රමවේදයක් මඟින්ම මේ වයිරසය සාර්ථකව පාලනය වෙලා නැවත සාමාන්‍ය ජීවන රටාවකට පිවිසෙන්න අපි සියල්ලන්ටම හැකිවෙන දවසක් නුදුරු අනාගතයේදීම උදාවේවා යන්නයි අපේ ඒකායන ප්‍රාර්ථනය. 



Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us