Helabima

මායාවරුන් දෙවියන්ගේ ආහාරය ලෙස සැලකූ ලොව ජනප්‍රියම ආහාරය

සජිනි වික්‍රමසිංහ


ලොව ජනප්‍රියම ආහාරය බොහෝවිට චොකලට් වියහැකියි.ලොකු කුඩා භේදයකින් තොරව  එය ලොවපුරා ඉතා ජනප්‍රියයි."ඔබ දුකින්, කලකිරීමෙන් සිටිනවා නම් හෝ මානසික පීඩාවකින් සිටිනවා නම් එය මගහැරීමට ඇති හොදම ක්‍රමය චොකලට් පෙත්තක් ආහාරයට ගැනීමයි" යන්න බටහිර සමාජයේ ජනප්‍රිය මතයක්.චොකලට් යනු ඇත්තටම මොනවාද..? ඒවා පැමිණෙන්නේ කොහෙන්ද..සහ චොකලට්වල ඉතිහාසය පිලිබදව ඔබ දන්නවාද..?

චොකලට් යන නාමය චොකොල් ( ‘Chocol,’) යන මායාවරුන්ගේ භාශාවෙන් බිදි පැමිණ තිබෙන අතර උණු පානයක් යන්න ඔවුන් චොකොල් ලෙස හදුන්වා තිබෙනවා. චොකලට් සෑදීමේ ප්‍රධාන අමුද්‍රව්‍ය වන්නේ කොකෝවා බීජයයි. Theobroma cacao යන විද්‍යාත්මක නාමයෙන් හදුන්වන කෝකෝවා ශාකයේ ගෙඩිවලින් බීජ ඉවත්කර දින 9ක් පමන ආලෝකයට නිරවරණය කර පැසීමට ඉඩ දෙන අතර පසුව සතියක් හෝ දෙකක් හොදින් හිරු එළියේ වියළා බැද කුඩුකර චොකලට් කුඩු සාදා පසුව එම කුඩු භාවිතයෙන් චොකලට් සාදා ගන්නවා.

චොකලට්වල ඉතිහාසය

චොකලට්වල ඉතිහාසය වසර දහස් ගණනක් ඈතට දිවයන අතර කි. පු. 1900 දි පමණ ප්‍රථම වරට චොකලට් නිපදවා තිබෙනවා..ලොව ප්‍රමුඛ චොකලට් නිපදවන සමාගමක් වන නෙස්ට්ලේ ආයතනය චොකලට් නිශ්පාදනය ආරම්භයට වසර 3500කට පමණ පෙර සිට ලොව බොහෝ පැරණි ශිෂ්ඨාචාරයන්හි චොකලට් ආහාරයට ගෙන තිබෙන බවට සාක්ශි හමුවී තිබෙනවා..නමුත් ඒ කාලයේදි එය චොකලට් යන නාමයෙන් හදුන්වා දී නොමැත.පුරාවිද්‍යාත්මක සොයාගැනීම් වලට අනුව මුල් ශිෂ්ඨාචාරයන් තුල කොකෝවා භාවිතයට ගෙන තිබෙන අතර එම සොයා ගැනීම්වලින් පෙනී යන්නේ ක්‍රිපූ 1700 දී පමණ කොකෝවා ඇට වලින් චොකලට් සෑදීමට එම ශිෂ්ඨාචාරයන් හි මිනිසුන් දැන සිටි බවයි. එමෙන්ම මායා සහ ඇස්ටෙක් ශිෂ්ඨාචාරයන් හි ද වැදගත් චාරිත්‍ර වලදී කොකෝවා බීජ භාවිතා කර පානයක් සාදා ඇති අතර එය ‘chocolatl’ ලෙස හදුන්වා ඇත. මායාවරු කොකෝවා බීජ ඉතා වටිනා ද්‍රව්‍යයක් ලෙස සලකා ඇති අතර එම බීජ මුදල් ඒකකයක් ලෙස ද භාවිතා කර තිබෙනවා.එමෙන්ම ඔවුන් කොකෝවා ඇට ආශ්‍රිතව නිපදවන පානයන් "දෙවියන්ගේ ආහාරයක්" ලෙසටයි හැදින්වූයේ..ඉතා ධනවත් මායාවරුන් හට පමණක් එම බීම පානය කිරීමේ වරප්‍රසාදය හිමිව තිබෙනවා. චොකලට් යුරෝපයට හදුන්වා දී තිබෙන්නේ ක්‍රිස්ටෝපර් කොලොම්බස් වන අත‍ර ඔහුගේ දේශගවේශණයෙන් පසුව ස්පාඤ්ඤයට එන විට කොකෝවා බීජ ගෙනවිත් එවකට රජ් වූ ෆර්ඩිනන්ඩ් රජුට (King Ferdinand) පිළිගන්වා තිබෙනවා.

එයින් සියවස් දෙකකට පසුව ජෝසප් ෆ්‍රයි නම් ඉංග්‍රීසි ජාතිකයා ප්‍රථම ඝන චොකලට් වර්ගය නිපදවා තිබෙන අතර ඉනුත් වසර 25 කට පමණ පසු ස්විට්සර්ලන්තයේ  හෙන්රි නෙස්ලේ (Henri Nestle) විසින් 1875 දී උකුකල කිරි යොදා පළමු බාර් චොකලට් වර්ගය නිපදවා තිබෙනවා.පසුව ලොව පුරා රටවල් සියල්ලට රසවත් චොකලට් බෙදා හරින ජනප්‍රිය වෙළද නාමයක් ලෙසට නෙස්ට්ලේ සමාගම ප්‍රචලිත වී ඇත.ලොව ජනප්‍රිය චොකලට් වර්ග අතර ඩාර්ක් චොකලට්, මිල්ක් චොකලට්, චොකලට් කුකීස්, සහ නොයෙකුත් චොකලට් රසගන්නවන ලද පානයන් ද වනවා..

චොකලට් සෞඛ්‍යට හිතකර ආහාරයක්ද?

 චොකලට් ආහාරයට ගැනීමෙන් මානසික ආතතිය දුරුකර යහපත් මනෝභාවයන් ගොඩනැගෙන බව පර්‍යේෂණ මගින් තහවුරු වී ඇති අතර අධි රුධිර පීඩන තත්ත්වයන් පාලනයටද විශේෂ‍‍යෙන් ඩාර්ක් චොකලට් උපකාරි වන බව පැවසෙනවා.යකඩ, මැග්නීසියම්, තඹ, මැන්ගනීස්, පොටෑසියම්, සින්ක් සහ සෙලේනියම් වැනි අත්‍යවශ්‍ය ඛනිජ වර්ග ද චොකලට් වල අඩංගු වනවා.එමෙන්ම ඉතා වෙහෙසකර දවසක් අවසානයේ වැයවූ ශක්තිය නැවත ලබාගැනීමටද චොකලට් පෙත්තක් ආහාරයට ගැනීමෙන් හැකිවනවා මෙන්ම ඩාර්ක් චොකලට් ආහාරයට ගැනීම මගින් කුරුලෑ ඇතිවීම පාලනය කරගැනීමටද හැකියාව ලබෙනවා.

ශරීරයට අහිතකර වන අවස්ථා

ඕනෑම ආහාරයක් ප්‍රමාණය ඉක්මවා ලබාගැනීම ශරීර සෞඛ්‍යයට අහිතකර බලපෑම් එල්ල කරන්නක් වන අතර එය චොකලට් සදහාද පොදුවනවා. ඔබ චොකලට් අධික ලෙස ආහාරයට ගැනීම මගින් එහි ඇති කැෆේන් සහ සීනි හේතුවෙන් සිරැරේ බර වැඩි වීමේ අවධානම ඉහළ නංවන අතර දියවැඩියාව වැනි සංකූලතා මතුවිය හැකියි.එමනිසා  චොකලට් ආහාරයට ගැනීම සීමා සහිතව කල යුතුයි.

චොකලට් පිළිබද රසකතා..

  • චොකලට් යන නාමය උණු පානයක් යන චොකොල් ( ‘Chocol,’) යන මායාවරුන්ගේ භාශාවෙන් බිදි පැමිණ තිබේ.
  • ඇස්ටෙක්වරු මෙම තිත්ත රසැති පානය "Xacoatl" ලෙස හදුන්වා තිබෙනවා.
  • වරක ඉතිහාසයේ චොකලට් රත්‍රං කුඩු වලට වඩා වටිනවා යැයි සලකා ඇත.
  • 1971 වසරේදි තිරගත වූ Willy Wonka and the Chocolate Factory නමැති චිත්‍රපටය සදහා ජලය, චොකලට් සහ ක්‍රීම් ආශ්‍රයෙන් සත්‍ය චොකලට් ගගක් නිපදවා තිබේ.
  • වයිට් චොකලට් සැබෑ චොකලට් නොවන අතර ඒවායේ ඝන කෝකෝ අඩංගු නොවේ.
  • 1930 දී අහඹුවක් ලෙස රූත් වේක්ෆීල්ඩ් (Ruth Wakefield) විසින් චොකලට් චිප් එකක් නිපදවා තිබෙන අතර පසුව ඇයට සිය දිවිය පුරාවටම චොකලට් ලබා ගැනිමේ අරමුණින් එහි වට්ටොරුව නෙස්ට්ලේ සමාගම වෙත ලබාදී තිබෙනවා.
  • මොන්ටෙසුමා නමැති ඇස්ටෙක් අධිරාජ්‍යයා දිනකට චොකලට් ගොබ්ලට් 50ක් පරිබෝජනය කර තිබෙනවා.
  • මිනිස් ශරීර උෂ්ණත්වයට වඩා අඩු උෂ්ණත්වයක දියවන එකම ආහාරය චොකලට් වන අතර එමනිසා එය ඔබගේ කටේදීම දිය වී යනවා.
  • ඇස්ටෙක්වරු සහ මායාවරු ආතතිය දුරුකර ගැනීම සදහා චොකලට් පානය කලේ ආතතිය නමැති වචනය හදුණාගැනීමටද පෙර සිටයි.
  • කුඩා චොකලට් චිප් එකක් ආහාරයට ගැනීමෙන් අඩි 150ක් ඇවිදීමට ශක්තිය ලබාදෙනවා.
  • චොකලට් සුවද ආඝ්‍රානය මගින් මනස සැහැල්ලු වන අතර ආහාරයට ගැනීමෙන් මානසික ආතතිය සමනය වනවා.
  • කොකෝවා ගෙඩිය පාපන්දුවක හැඩය ගන්නවා.
  • චොකලට් වල අඩංගු  phenylethylamine එන්සයිමය මගින් මොළයෙන් සතුටින් සිටීමට උපකාරි වන හෝමෝනය (pleasure  hormones) ශ්‍රාවය වීමට උපකාරි වන අතර එය ආදරය වැනි හැගීම් ඇතිවීමට හේතු වනවා.
  • ලොව විශාලතම චොකලට් බාර් එක රාත්තල් 12,770 ක් බරින් යුතුයි.
  • 2013 දී බෙල්ජියම චොකලට් රසැති මුද්දර නිපදවා තිබෙනවා.


Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us