Helabima

අප අවට සමාජයේ පවතින නිර්මාංශ ආහාර රටාවන් වර්ග

සජිනි වික්‍රමසිංහ


නිර්මාංශ ආහාර රටාවක් අනුගමනය කිරීමට වර්තමානයේ බොහෝ දෙනා හුරුව තිබෙනවා..ඔබත් ඇතැම් විට නිර්මාංශ ආහාර රටාවක් අනුගමනය කරනවා ඇති..නමුත් ඔබ නිර්මාංශ ආහාර රටාවක් අනුගමනය කරනවා නම් ඔබගේ සිරැරේ නිසි ක්‍රියාකාරිත්වය සදහා අවශ්‍ය වන නිසි පෝශණය ලැබෙනවාද,විවිධ නිර්මාංශ ආහාර රටා අතරින් ඔබ අනුගමනය කරනු ලබන්නේ කුමන රටාවද යන්න සහ ඉන් ලැබෙන පෝශණය ඔබට ප්‍රමාණවත්ද යන්න පිළිබදව සැලකිලිමත් වීම ඉතාමත් වැදගත් වනවා..

ඔබට තෝරාගත හැකි නිර්මාංශ ආහාර රටා වර්ග

ලැක්ටො ඕවෝ නිර්මාංශ ආහාර රටාව (Lacto-ovo vegetarian diet)


ලැක්ටෝ සහ ඔවෝ ලෙස ලතින් බසින් හදුන්වනු ලබන්නේ කිරි සහ බිත්තර යන්නයි.. වඩාත් සාම්ප්‍රදායික නිර්මාංශ ආහාර වේලක් ලෙස මෙම ආහාර රටාව හැදින්විය හැකි අතර මෙම ක්‍රමය අනුගමනය කරන පුද්ගලයන් මස්,මාලු අඩංගු ආහාරයන්ගෙන් වැළකී කිරි, බිත්තර තම ආහාර වේලට එක් කර ගනු ලබනවා...ඒ අනුව මෙම ආහාර රටවා අනුගමනය කරන පුද්ගලයන්ගේ ආහාර වේල තුළ බිත්තර, කිරි, චීස්, බටර්, යෝගට්, ක්‍රීම්වර්ග, අයිස් ක්‍රීම් සහ අනෙකුත් කිරි නිෂ්පාදන ඇතුළත් වන අතර මස් සහ මාංශ ආහාර අඩංගු නොවේ..

 

ලැක්ටො නිර්මාංශ ආහාර රටාව( Lacto-vegetarian diet )

මෙම ආහාර රටාව අනුගමනය කරන පුද්ගලයින් කිරි, චීස්, යෝගට් සහ අයිස් ක්‍රීම් වැනි කිරි  ආශ්‍රිත සියලු නිශ්පාදන ආහාරයට එක්කර ගනු ලබන අතර මස් , මාලු , බිත්තර වැනි සියළුම සත්ව ආහාර ගැනිමෙන් වැළකෙනවා.

 

ඕවෝ නිර්මාංශ ආහාර රටාව (Ovo-vegetarian diet )
මෙම නිර්මාංශ ආහාර රටාව අනුගමනය කරන පුද්ගලයන් කිරි සහ සත්ත්වමය ආහාර සියල්ල අතහැර  බිත්තර සහ ශාකසාර ආශ්‍රිත ආහාර පාන පමණක් ලබා ගනු ලබනවා.

ෆ්ලෙක්සිටෙරියන් ආහාර රටාව (Flexitarian diet)


ෆ්ලෙක්සිටෙරියන් ආහාර රටාව අනුගමනය කරන පුද්ගලයන් අධික මාංශ සංයුතියක් සහිත ආහාර සහ අධික නිර්මාංශ ආහාර ගැනීමෙන් වැළකී සාමාන්‍ය ආහාර රටාවක් අනුගමනය කරනවා. වැඩි වශයෙන් ශාකමය ආහාර සදහා ඔවුන් ප්‍රමුඛත්වය ලබාදෙන අතර සුලු වශයෙන් මස්, මාලු හෝ කිරි, බිත්තර අඩංගු ආහාර එක්කර ගනු ලබනවා.ඔවුන් ශාකමය ආහාර වලින් වැඩි ප්‍රෝටීන ප්‍රමාණයක් ලබාගැනීම අරමුණු කරන අතර, සකස් කරන ලද ආහාර (processed foods)  සහ සීනි අන්තර්ගත ආහාර වර්ග ඔවුන්ගේ ආහාර වේලෙන් අඩු කිරීමට උත්සාහ කරනු ලබනවා.

 

පෙස්කටේරියන් ආහාර රටාව (Pescatarian diet)


මාලු ඉතාලි භාශාවෙන් pesce  ලෙස හදුන්වන අතර  Pescatarian යන වචනය ඒ ආශ්‍රයෙන් නිර්මාණය වූවක් ලෙස සැලකිය හැකියි. පෙස්කටේරියන් ආහාර රටාව අනුගමනය කරන පුද්ගලයන් ශාකසාර ආශ්‍රිත ආහාර වලට අමතරව මාලු වර්ග තම ආහාර වේල සදහා එක්කර ගනු ලබන නමුත් මස් වර්ග සහ ඒ ආශ්‍රිත කිසිදු නිශ්පාදනයක් ඔවුන් තම ආහාර වේල සදහා එක්කර ගන්නේ නැහැ..

 

වීගන් ආහාර රටාව  - (Vegan diet)


වර්ථමානයේ නිතර අසන්න ලැබෙන Vegan ආහාර රටාව අනුගමනය කරන පුද්ගලයන් මස් වර්ග, බිත්තර, කිරි, මාලු ආදී සියලුම සත්ත්ව ආහාර ගැනීමෙන් වැළකී සිටිනවා.බොහෝ විට වීගන් පුද්ගලයන් මී පැණි පවා ආහාරයට ගන්නේ නැති අතර ඔවුන්ගේ ආහාර වේල් ශාකමය ආහාර මත පමණක් පදනම් වී තිබෙනවා.  පලතුරු, එළවළු, ධාන්‍ය, සහ රනිල කුලයට අයත් ආහාර වර්ගයන් ආහාරයට ගැනීමට ප්‍රමුඛත්වය දෙන අතර  වීගන් ආහාර රටාවේදි බොහෝ විට සත්ත්ව කිරි වෙනුවට ශාකසාර කිරි වර්ග,පැලෑටි පදනම් කරගත් බිත්තර ආදේශක සහ ටෝෆු, කොස් වැනි ශාක පදනම් කරගත් ආහාර ප්‍රධන වනවා. තවත් විශේෂ කාරණයක් වන්නේ  මෙම වීගන් ආහාර රටාව අනුගමනය කරන පුද්ගලයන් සත්ත්ව හම් , ලෝම ආශ්‍රිත ඇගළුම් ,පාවහන්, ආලේපන වර්ග ආදි සියලුම දේ භාවිතයෙන් වැලකී සිටිනවා.


ආහාර රටාවක් තෝරා ගැනීමේදි අන් පුද්ගලයන් අනුකරනය හෝ රැල්ලට යාම සුදුසු වන්නේ නැහැ..ඔබ ලබාගනු ලබන ආහාරයෙන් ඔබගේ සිරැරට අවශ්‍ය නිසි පෝශණය ලැබෙනවාදැයි ඔබ සැලකිලිමත් විය යුතුයි.. එමනිසා වඩාත් සුදුසු වන්නේ ඔබගේ ජීවන රටාවට සුදුසු රටාව තෝරා ගැනීමයි..සියලු ක්‍රමයන් අත් හදා බලා ඔබට ගැලපෙන ආහාර රටාව තෝරාගැනීම වඩාත් නුවණක්කාරි වනවා සහ ඔබ තුල යම්කිසි පෝශණ ඌණතාවයක් තිබෙනවා නම් හෝ ආහාර වේල සම්බන්ධයෙන් යම් ගැටළුවක් වේ නම් ඒ සදහා වෛද්‍ය උපදෙස් ලබාගෙන කටයුතු කිරීම වඩාත් සුදුසු බවයි හෙළබිම අපගේ අදහස වන්නේ.. 

සජිනි වික්‍රමසිංහ  
2021/9/19

 



Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us