Helabima

ආණ්ඩුවේ සුද්දාකරණය සහ ගෙවුනු සතියේ දේශපාලනයේ තිරයෙන් පිටුපස කතා

අශන්ති වරුනසුරිය


ඉන්දීය ලේකම් මතක් කළ සබඳකම 

ඉන්දීය විදේශ ලේකම් මෙරට සංචාරයකට පැමිණලා අවසානයේදී ජනාධිපතිවරයාවත් මුණ ගැසිනි.

"ජනාධිපතිතුමනි ඉන්දියාවටයි ලංකාවටයි 60,70කාලේ ඉතාමත් සමීප සම්බන්දකමක් තිබ්බා. අන්න ඒ විදියට අපි ආපහු ඉන්න ඕන." ඉන්දීය විදේශ ලේකම් පැවසිය

"ඔව් අනිවාර්යෙන්ම. ඒවගේම ඔබේ අගමැතිතුමාට මෙරට සංචාරයක් සඳහා එන්න කියන්න. මම ආරාධනා කල බව කියන්න" ජනපති ගෝඨාභය රාජපක්ෂද පිළිතුරු දෙමින් පැවසුවේය.

"ඔබේ ගෞරවනීය ආරාධනයට ස්තුතියි. අනිවාර්යෙන්ම මම කියන්නම් "ඉන්දීය ලේකම් එසේ ප්‍රතිචාර දැක්වීය.

රෝහිතගේ දේශපාලන ආගමනය 

පසුගියදින කිහිපය පුරාම අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත් ආචාර්ය රෝහිත රාජපක්ෂ ගැන විටින් විට කතා බහට ලක් විය. ඔහු ද වෙනදාට වාඩා සමාජ ශීලි කටයුතු වල නිරන වන අයුරක් ද දක්නට තිබිණි. ජනතාවගේ හිත සුව පිණිස බොහෝ වැඩ කලද ඔහු කවදාවත් කැමරාවක් රැගෙන ගිය අයෙකු නොවුයෙන් බොහෝ දෙනෙක් ඔහු කළකි දෑ නොදත් නිසාවෙන් පසුගිය දා කොවිඩ් වෙනුවෙන් සිදු කල දේ තරමක් කතා බහට ලක් විය 

රාජපක්ෂ පවුලේ වෙනම හැඩයක් මවන්නෙකු වූ රෝහිත කලාවට බෙහෙවින් ප්රිය කරන්නෙකු වූ අතර වෙනම ගමනක් යන්නෙකු ලෙසින් දැකිය හැකි චරිතයකි. එසේ වී තිබියදී ඔහුගේ ගමන් වෙනස් වී දේශපාලන ආගමනයකට අවතීර්ණ වනවාදැයි සක සංකා මතු වෙන වැඩ කිහිපයක් කරලියට එක වර පැමිණියේය.. 

රෝහිතත් ජන්දෙට එනවාලු, වයඹ මහා ඇමැතිකමට ඉල්ලන්න යනවා".. කතාව එලෙස දිග්ගැස්සිණි.. 

එලෙස කතා පැතිරෙද්දී නැවතත් රෝහිත බඩු තොගයක් ද රැගෙන කුරුණෑගල ප්‍රදේශයේ පැමිණ තිබිණි. බෙහෙවින්ම ජනතාවට ලෙන්ගතු වෙමින් ජනතාවගේ ගැටලු සොයා බලන අවස්ථාවකදී මෙකී කසුකුසුව නැවතත් මතු විය.

එතැන් සිටි මාධ්යවේදීන්ගේ අරමුණ තේරුම් ගත රෝහිත " මම දේශපාලනේට එන්නේ නැහැ. සමාජ සේවා කටයුතුවල නිරත වන්නේ පසුගිය මහා මැතිවරණයේ දී සිය පියාගේ ජයග්රහණයට දිස්ත්රික්කයේ ජනතාව දැක්වූ සහයෝගය නිසා. ක්රියාකාරී දේශපාලනයට පැමිණීමට මට කොහොමත් අදහසක් නැහැ. මම ජනතාවට සේවය කරන්නේ එහෙම කිසිම අනාගත අරමුණක් තියාගෙන නෙමෙයි" යනුවෙන් සිනාසෙමින් කිවේය.

පසුගියදා එක දිගට ඔහු එළඹෙන පළාත් සභා මැතිවරණයේ දී වයඹ පළාත් මහ ඇමැති ධූරයට තරඟ වැදීමට තමන් සූදානම් වන වාර්තා පිට වාර්තා පල විය. එලෙස පලවන වාර්තා ප්රතික්ෂේප කරමින් ඔහු සියල්ලන්ටම සිනහවකින් සංග්‍රහ කරමින් එම ස්ථානයෙන් පිටත් වුයේ කුරුණෑගල ජනතාවගෙන් දැනගත් ගැටළු වලට පිළියම් රැගෙන නැවත එන බවටද පොරොන්දු වෙමිනි. “මම මේවා කරන්නේ මට ජන්දේ ගන්න නෙමෙයි” රෝහිත සුපුරුදු සිනහව දමා එතනින් නික්මිණි

ඔව් ඉතින් මතකද ජනාධිපතිවරණය වෙලේ රෝහිත වේදිකා වලත් නැගගෙන කතා කළා. අන්තිම මොහොතේ මහින්ද ලොක්කට බැකප් එකට ස්ටේජ් නැග්ගට මෙයා ජන්දේට ආවේ නැහැනේ .. නාමල්ටත් මිනිස්සු එක එක ඒවා කියද්දී රෝහිත එහෙම නැගලා කතා කල එකෙත් වෙනම එකක් තිබ්බා නේ.. එතන සිටි තරුණයෙක් රෝහිත යන දෙස බලමින් එසේ පැවසුවේ රෝහිත ද දේශපාලනයට අවතීරණ වුවහොත් වෙනම සෙට් එකක් ඔහු සමඟද සිට ගනු ඇති බවට ඉඟියක් දෙමිනි..

"මම දේශපාලනය කරන්නේ නැහැ, ඒත් හැමවෙලේම සාමාන්ය ජනතාවට උදව් කරනවා. පසුගිය කාලයේ ජනතාවට දුන් පොරොන්දු වලට අපි වගකියන්න ඕන, මම කරන්නේ ඒ වගකිම ඉටුකිරීම. දුන් පොරොන්දු ඉටු කරනවා... යනුවෙන් රෝහිත අපට ද පැවසුවේය.

වජිරගේ සංචාරකයෝ හදන වැඩේ 

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන ගාල්ල එක්සත් ජාතික පක්ෂ ප්රධාන කාර්යාලයේ "සංචාරක ව්යාපාරය කඩා වැටීම නිසා ඒ ආශ්‍රිත රැකියාවල නියුතු ලක්ෂ සංඛ්යාත පිරිසකට රැකියා ආදායම් මාර්ග අහිමිව ගොස් ඒ කණ්ඩායම දැඩි දුෂ්කරතාවලට මුහුණ පා සිටින බැවින් ඔවුන්ට සහන සැලසීම සඳහා රජය වහා පියවර ගතයුතු බව පැවසීය.

මේ ගැන වැඩිදුරටත් අදහස් දක්වමින් 'ප්‍රධාන කාරණයක් පිළිබඳව රජයේ අවධානය යොමු කිරීමට කැමතියි. විශේෂයෙන් වසර දෙකකට ආසන්න කාලයක් මේ රටේ සංචාරක ව්යාපාරය හරහා රැකියා කරන ලක්ෂ සංඛ්යාත පිරිසකගේ රැකියා මේ වනවිට සම්පූර්ණයෙන්ම අහිමි වී තිබෙනවා. ඔවුන් රජයට බරක් නොවී විදේශ විනිමය උපයන ගමන් තමන්ගේ රැකියාවන් කරගෙන ගිය අය බව කිව යුතුයි. 

උදාහරණයක් ලෙස බලන විට මුළු මහත් රට වටේම තිබෙන්නේ මුහුද. ඒ වගේම  සංචාරක ව්යාපාරය නිසා රට වටේම හෝටල් ඉදිකර තිබෙනවා. මේ ඉදිවෙලා තිබෙන හෝටල්වලට පැමිණෙන සංචාරකයන් හරහා තමන්ගේ ජීවිකාව කරගත් විශාල පිරිසකගේ ජීවිත අද සම්පූර්ණයෙන්ම අනතුරට ලක්වෙලා තිබෙනවා. මේ නිසා හෝටල් හිමිකරුවන් විශාල වශයෙන් කඩා වැටීමට ලක් වෙලා තිබෙනවා. ඒ වගේම එයින් නඩත්තු වෙන කණ්ඩායම්, විශේෂයෙන්ම උපාධිය ලබාගෙන විශ්ව විද්යාලවලින් එළියට ඇවිත්, විවිධ භාෂාවන් කතා කරන අය මගපෙන්වන්නන් හැටියට ක්රියා කළ දහස් ගණනක් ශ්‍රී ලංකාව පුරා විසිරිලා ඉන්නවා. ඒ සියලුදෙනා රටට බරක් නොවී, ඒ වගේම තමන්ගේ දරුවන්ගේ අනාගතය දියුණු කිරීම සඳහා රැකියාවල නිරත වූ පිරිස්. මේ හෝටල් අවට ඉන්න ත්රී රෝද රථ හිමියන් ඇත්තවශයෙන් ජීවත් වුනේ රටට පැමිණෙන විදේශිකයන් ප්‍රවාහනය කරමිනුයි.

ඒ වගේම මේ හෝටල්වලට අවශ්‍ය කරන ආහාර පාන සැපයූ කණ්ඩායම් වැනි සියලු අංශ අද බරපතල ඛේදවාචකයකට පත්වෙලා තිබෙනවා. මේ තත්ත්වය ගැන රජය කිසිදු අවධානයක් යොමු කරන බවක් අපට පෙනෙන්නට නැහැ. ඒ නිසා සංචාරක කර්මාන්තයෙන් විදේශ විනිමය උපයා දුන් පිරිසට වහාම රජය සහන සැපයිය යුතුව තිබෙනවා. සමහර හෝටල් හිමියන්ගේ බැංකුවල තිබෙන ණය සම්පූර්ණයෙන් වර්ෂයක් දෙකක් ඒවාට පොලී අය කිරීමෙන් තොරව නව වැඩපිළිවෙලක් යටතේ සහන ලබාදිය යුතුයි. ඒ වගේම සංචාරක ව්යාපාරයේ සිටින සියලු දෙනාට සහන සැලසීමේ නව වැඩපිළිවෙලක් වහාම ක්‍රියාවට  නැංවිය යුතුයි. යනුවෙනුත් පැවසීය

වොයිස් කට් නොදෙන ඇමති 

මිනුවන්ගොඩ ආසනයේ 2014 ඔබට අය වැයෙන් වැඩසටහන ඉකුත් සෙනසුරාදා ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. මෙම අවස්ථාවට අමාත්‍ය බන්දුල ගුණවර්ධන, පාර්ලිමේන්තු  මන්ත්‍රි සාගර කාරියවසම්, මධුර විතානගේ, ජගත් කුමාර මහත්වරු සහභාගි වූහ.  බන්දුල ගුණවර්ධන ඇමතිවරයා වාහනයෙන් බැස  ප්‍රාදේශීය සභා කාර්යාලයට ඇතුළු වන විට එතැන සිටි මාධ්‍යවේදියෙක් " ඇමතිතුමා වොයිස් කට් එකක් ගන්න ඕනේ" කීවේය.

" මේ දවස්වල මම ආණ්ඩුව වෙනුවෙන් වොයිස් කට් දෙන්නෙ නැහැ." යි සිනහ සෙමින් කී අමාත්‍යවරයා ප්‍රාදේශීය සභා කාර්යාලයට ඇතුළු විය. ආණ්ඩුව වෙනුවෙන් වොයිස් කට් දෙන්නැතැයි කී අමාත්‍යවරයා රැස්වීමේදී  රටේ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් හා රජයට එරෙහි වැඩපිළිවෙළ පිළිබඳව අගනා අදහස් දැක්වීමක නිරත විය.

" ආණ්ඩුවට විරුද්ධව විවිධ බලවේග ක්‍රියාත්මක වෙනවා.ඔවුන් ආණ්ඩුවට එරෙහිව විවිධ උපක්‍රම භාවිත කරන්නේ ආණ්ඩුව වට්ටන්න. ඒකට ඉඩ දෙන්න එපා. මේ ආණ්ඩුව නොතිබුණානම් කොවිඩ්  වසංගතය සමඟ මීට වඩා දරුණු තත්වයකට රට  පත්වෙන්න ඉඩ තිබුණා. මරණ වැඩි වෙලා, කන්න බොන්නවත් නැති විශාලාවක් බවට පත්වෙන්න ඉඩ තිබුණා."  යැයි එහිදී අමාත්‍යවරයා සඳහන් කළේය. 

රැස්වීම අවසානයේ පැමිණි පිරිසට ප්‍රාදේශීය සභා සභාපතිවරයාගේ කාර්යාලයේ තේ සූදානම් කර තිබිණි. තේ බොන අතරතුර වත්මන් තත්ත්වය පිළිබඳ කතාබහක් ඇති වීය. 

" පැන්ඩෝරා එකත් රාජපක්ෂලාටම බැර කරන්නයි සූදානම් වෙන්නේ" ජගත් කුමාර මන්ත්‍රීවරයා කීය.

" විපක්ෂයට කෝකටත් තෛලය වෙලා තියෙන්නෙ රාජපක්ෂවරු.විපක්ෂයට රාජපක්ෂවරුන්ට පහර දෙනවා ඇරෙන්න වැඩපිළිවෙළක් නැහැ. නිරූපමා රාජපක්ෂ ඇත්තටම මහින්ද මහත්තයා එක්ක හිටියේ නැහැ.94 දේශපාලනයට ආවා විතරයි. එතන තියෙන්නේ දේශපාලන ප්‍රශ්නයකට වඩා ව්‍යාපාරික ප්‍රශ්නයක්" ප්‍රසන්න රණතුංග ඇමතිවරයා කීය. 

" සංචරණ සීමා වූයේ ඊයේ ඉවත් කලා විතරයි ගුරුවරු ආයෙත්  උද්ඝෝෂණ කරන්න ලෑස්ති වෙනවාලු. ගොවීන් උද්ඝෝෂණ කරන්න යනවාලු. උද්ඝෝෂණය කරන්න සුදුසු වෙලාවක් නෙවෙයි රටේ තියෙන්නෙ." මධුර විතානගේ මන්ත්‍රීවරයා පැවසීය.

 "   ඒක ඇත්ත. මේ වෙලාවේ පේන්න තියෙන්නේ මස් රාත්තලම ඉල්ලන සිද්ධියක්.පවතින තත්වය ඇතුළේ ප්‍රශ්න විසඳ ගන්න කටයුතු කරන බවක් පේන්න නෑ." සාගර කාරියවසම් මන්ත්‍රීවරයා පිළිතුරු දුන්නේ ය. 

ගුරුවරුන්ගෙ ප්‍රශ්නයෙන් දේශපාලන උවමනාවන් ඉටු කරගන්න හදන පිරිසක් තමයි මේ පිටිපස්සේ ඉන්නේ. අමාත්‍ය මණ්ඩල අනු කමිටුව ප්‍රශ්නෙට පැහැදිලි විසඳුම් දුන්නා. වසංගත තත්ත්වය තුළ හැකි උපරිමය කරන අතරේ පියවරෙන් පියවර ප්‍රශ්නේ විසඳෙන බව ඔවුන්ට දැනුම් දුන්නා. එයාලා කැමති නැහැ ඇත්තටම ප්‍රශ්නයට විසඳුම් ලැබෙනවා ට. තමන්ට හිතවත් ආණ්ඩුවක් බලයට ගන්න හිඟන්නාගේ තුවාලේ කරගෙන තියෙන්නෙ මේ ප්‍රශ්නේ  "ප්‍රසන්න රණතුංග ඇමතිවරයා ද කීය.

මේ අතර පසුගිය 03 වෙනිදා ප්‍රංශයේ  පැවැත්වෙන  අන්තර්ජාතික ප්‍රංශ සංචාරක වෙළඳ ප්‍රදර්ශනය සඳහා එක්වීමට සංචාරක  අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ප්‍රංසය බලා පිටත් විය. එහිදී රටවල් කිහිපයක සංචාරක අමාත්‍යවරුන් හත් දෙනෙක් සමඟ සාකච්ඡා කිරීමට අමාත්‍යවරයාට අවස්ථාව ලැබිණි. පෘතුගාලය ඊජිප්තුව ජෝර්දානය  ග්‍රීසියි ප්‍රංශය වැනි රටවල් ගණනාවක සංචාරක අමාත්‍යවරු එහි පැමිණ සිටියහ. ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබඳව එහිදී අමාත්‍යවරයා අනෙකුත් සංචාරක අමාත්‍යවරුන් සමග පැහැදිලි කළේය. " ලක්ෂ එකසිය විස්සකට වැඩි  පිරිසක මේ වනවිට එන්නත් කරනයට ලක් කරලා අවසන්. ඒ නිසා ලංකාව සුරක්ෂිත රටක් විදිහට පෙන්වා දෙන්න පුළුවන්. ශ්‍රී ලංකා ජනාධිපතිවරයා එන්නත්කරණ වැඩපිළිවෙළ කෙරෙහි විශ්වාසය තබා කටයුතු කළා. ඒ නිසයි ලෝකෙ ප්‍රධාන රටවල් අභිබවමින් එන්නතකරන වැඩපිළිවෙල ඉදිරියට එන්න ශ්‍රී ලංකාවට හැකි වුණේ. මේ වන විට තරුණ සහ පාසල් දරුවන් එන්නත් කිරීමේ කටයුතු අඛණ්ඩව  ක්‍රියාත්මක කෙරෙනවා.ඒ නිසා ලංකාව කියන්නේ සංචාරකයින්ට සුරක්ෂිත රටක්." ඇමතිවරයා එහිදී සදහන් කළේය.

අමාත්‍යවරයාගේ අදහස් දැක්වීම පැමිණ සිටි අනෙකුත් සංචාරක අමාත්‍ය වරුන්ගේ ඇගයීමට ලක්වූ අතර ලංකාවේ සංචාරක ව්‍යාපාරය වර්ධනය කිරීම සඳහා හැකි සියලු සහාය ලබාදීමට ඔවුහු එකඟ වූහ.

කරු සජිත්ට කී රහස

ගුරු වෘත්තීය සමිති අරගලයට විසදුම් ලබාදීමට රජය කටයුතු කර නොතිබීම නිසා සියලුම පක්ෂ එක් කරගනිමින් සර්ව පාක්ෂික හමුවක් පසුගිය සතියේදී අභයාරාමයේදී පැවැත්විණි. විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස අභයාරාමයට පැමිණෙන විට හිටපු කතානායක කරු ජයසූරියද එහි පැමිණ සිටිය්ය. සාකච්ඡව පැවැත්වුනේ විහාරස්ථානයේ ඉහළ මාලයේය. ලී පඩිපෙලකින් නැග ඉහළ මාලයට යාමට සජිත් සහ කරු පැමිණියේ එකටය. සජිත් තරප්පුපෙලේ එක් පඩියක් තබන විට කරු සජිත්ගේ කරට අත දමාගත්තේ ඉහළ මාලයට යාමටය.

‘‘කතානායකතුමා එන්න. අපි දෙන්නම උඩට යමු’’සජිත් කීවේය. ‘‘ඔබතුමා ඉස්සරවෙලා යන්න. මම පිටිපසෙන් එන්නම්‘‘කරු පැවසුවේය.

‘‘නෑ.. නෑ.. ඔබතුමා මාත් එක්කම එන්න’’සජිත් යළිත් කිවේය.

‘‘මම ඔබතුමා එක්කම එනවා. ඔබතුමා ඉස්සරවෙන්න. මම පිටිපස්සෙන් එන්නම්’’කී කරු සජිත් සමගම ඉහළ මාලයට පැමිණියේය.

මේ අතර විපක්ෂ නායක කාර්යාලයේදී සජිත් වෘත්තිය සමිති නියෝජිතයෝ හමුවූහ.

‘‘සමගි ජන බලවේගයේ නායයා ලෙස තමන්දල මහලේකම්තුමාලඒ වගේම  විපක්ෂයේ පක්ෂ නායකයින් ද වෘත්තීය සමිති නායකයින් ද සතිපතා එක්ව වැඩබිමේ සහ වෘත්තීය සමිති ක්ෂේත්‍රයේ ගැටලු සාකච්ඡා කිරීමේ මධ්‍යස්ථානය බවට විපක්ෂ නායක කාර්යාලය පත් කරමු යැයි ද විපක්ෂ නායකතුමා එහිදී යෝජනා කළ අතර ඉදිරියේ දී බිහි වන සමගි ජන බලවේගයේ රජයක් යටතේ රටේ ජාතික හා ආර්ථික මරමස්ථාන පිළිබඳව සියලු තීන්දු තීරණ ගනු ලබන්නේ කම්කරු ප්‍රජාවත් වෘත්තිය සමිති සියල්ලත් සමග සාකච්ඡා කොට ඔවුන්ගේ පූර්ණ එකඟතාවයන්ට අනුකූලව වන බවට ලිඛිත සහතිකයක් තමන් ලබා දෙන බවද විපක්ෂ නායකතුමා පැවසීයගදේශීය සහ ජාතික සම්පත් සුරක්ෂිත කිරීම තම ප්‍රමුඛතම ප්‍රතිපත්තියයි’’සජිත් වෘත්තීය සමිති නායකයින්ට සහතිකයක් දුන්නේය

බෝල ඩලාගේ සුද්දාකරණයට නිලධාරීන්ට උණ ගැනිලා 

අභිනවයෙන් ජනමාධ්‍ය අමාත්‍යධූරයට පත්වූ ඩලස් අලහප්පෙරුම පසුගිය දා කසේ අතට ගෙන ආයතන වල නිලධාරීන්ට රතු එළියක් ලබා දුන්නේ "මගේ මිනිහා, මට ජන්දේ දුන්න එකා, අපේ අයට ජන්දේ දුන්නා කියලා වැඩක් නැහැ, වැඩේ වෙන්නේ නැත්නම් ගෙදර " යනුවෙන් පවසමිනි. "ෆීල්ඩ් එකේ ඉන්නේ සේරම යාළුවො තමයි. යාළුකම එළියේ තියා ගමු. වැඩේ හරියටම කරමු."වැඩ පටන් ගත්ත දවසෙමත් ආයතන ප්‍රධානීන් හමුවූ අවස්ථාවේදී ඩලස් පොඩි වෙඩිල්ලක් ද තැබුවේය. ඔහු මිත්‍රශීලි වුණත් වෙනම ලයින් එකක චරිතයක් බව හැමෝම දනිති. කලාකරුවෙකු, ගී පද රචයකු ලෙසින් ද  වෙනස්ම රටාවක් මවන්නෙකි. එනිසාම කලාවට බෙහෙවින්ම ආදරේ කරන්නෙකු මෙන්ම විෂය දන්නා කෙනෙකි. එනිසාම කලාකරුවන් සහ මාධ්‍යවේදීන්ට ඔහු සමඟ ගණුදෙණු පහසුය. 

දේශපාලනයේදී වෙනම අදහස් දරන්නෙකු ලෙස ලේබලයක් ගසා සිටින්නකු වූ ඩලස් උස මහතට සරිලන කුඩා පෙණුම හිමිකම් කියන්නෙකු වූ නිසාම බොහෝ දෙනා ඩලා නමින්ද "බෝල ඩලා" නමින්ද හඳුවන්නට පුරුදුව සිටී. මොනා කිවුවත් සිනහවකින් ඕනෑම දෙයක් භාරගැනීමේ ගතියක්ද ඔහුට වේ.  "ඩලස් නම් යාළුවා තමයි. ඒත් යාළුකමට මෙලෝ දෙයක් කර ගන්න බැහැ. යන්න ඕන සිස්ටම් එකේ යන්න ඕන."  අධ්‍යක්‍ෂවරුන් කිහිප දෙනෙක්ම මෙලෙස බොහෝ දේ පවසා ඇත. මේ නිසාම ඔහුට කියන්න තියෙන දෙයක් නොකියා ඉන්නට බොහෝ දෙනා පෙළබි සිටී. "ආණ්ඩුව තියෙන කාලෙත් අක්කාට වැඩ නැතුව ගෙදර හිටියා. ඒත් ඩලා අඩුම ගානේ අක්කගේ වැඩක්වත් කතා කරලා කලේ නැහැ. අඩුම ටීවී ප්‍රෝග්‍රෑම් එකක් වත් ඉල්ලුවේ නැහැ. ඉතින් කොහෙද අනිත් ඒවා... ". තව කෙනෙක් එසේ කිවේය. 

බිම්මට්ටමේ ඔහොම කියවෙද්දී පසුගියදා රාජ්‍ය මාධ්‍ය අමාත්‍යංශය යටතේ ඇති ආයතන එක දිගටම පාඩු ලබන බවට කරළියට ආවේය. අධික සේවක පිරිසක් සිටීම වැටුප් ගෙවීම් මෙන්ම එකී ආයතන වල වියදම් අහස උසට නගිද්දී ඩලස් සේවා දිගු නොකරන්නැයි ද බදවා ගැනීම නවත්තන්නැයි ද නියෝග ලබා දී තිබිණි. එමෙන්ම ස්වාධීනයි පැවසෙන ආයතනයක සභාපතිවරයෙකුට බොහෝ චෝදනා එල්ල වුවත් එය යට ගියේය. ටෙලි නාට්‍ය මංකොල්ලයන් සිදුවන අයුරුත් තමන්ගේ නාට්‍ය වැඩි මිලට විකාශනය කර ගන්නා බවටත් තවත් නොයෙක් දේවලුත් විටින් විට වාර්තා විය. මේවා අගමැති  මහින්ද රාජපක්ෂගේ කණටද ගියත් අදාල පුද්ගලයා අගමැති සහ බැසිල් ලොක්කාව ශේප් කරගෙන ඇති බව ද වාර්තා විය. කෙසේවෙතත් පසුගිය කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් මේ ගැන ප්‍රශ්න කළ අතර ඩලස් ඊට දැඩි ප්‍රතිචාරයක් එල්ල කළේ අනර්ථකාරී කරන්නන් ගෙදර යවන බවට පවසමිනි.

අගමැති යනු "අනේ" කියූ සැණින් හිත උණුවෙන මිනිසෙකි. ඔහුගේ ඒ අනුකම්පාව දිනා ගැනීමට මෙවරද අදාල නිලධාරියා කටයුතු කර ඇති බව අද වන විට හෙළබිම අපිට වාර්තා වේ. "ඩලස් ලොක්ක කැබිනට් එකේදී කිවුවනේ හොයලා බලනවා ගෙදර යවනවා කියලා. අන්න අපේ ලොක්කා හොස්පිටල් ඇඩ්මිට් වෙලා. සමහර විට ගෙදර යන්න වෙන බව දන්නා නිසා ඉන්ෂුරන්ස් එක ක්ලෙම් කර ගන්නත් වෙන්නත් ඇති" අදාල අයනතයේ සේවකයෙක් එසේ කිවේය. "ලඟදි ගෙදරත් මළ ගෙයක් වුන නිසා දැන් ලෙඩත් වෙලා, මහින්ද ලොක්කා "පව් ඔය මනුස්සයට හරියට කරදර ඒ නිසා මේ වෙලේ ගෙදර යවන්න එපා" කියලා කියව ගන්න තමයි ඕක කරන්නේ" තව කෙනෙක් ඊට අතුපතර හෙලීය. ඒ වුණාට මේක මාර අපරාදයක් කනවා කියලා මෙහෙම කෑමක් නම් දැක්කේ නැහැ කාගෙන්වත්. අනික ලොක්කන්ට පෙන්නම තියෙනවා ඩොකියුමන්ට්ස් එක්කම. අනේ මන්දා ඇයි මෙහෙම ඉන්නේ කියලා " තවකෙනෙක් කිවේය. "ඩලස් කෙළින් මහදයි මිනිහා .. හදයි බලමුකෝ ... , ඔව් ඉතින් හැදුවොත් හොදයි ... එසේ කියමින් ඔවුන් එතැනින් නික්මුනේය.. 

කෙසේ වෙතත් අදාල ආයතන එක දිගට පාඩු ලබද්දී ඔවුන්ට ලබා දී ඇති වරප්‍රසාද ද අයුතු ලෙස භාවිතා කරන බවට එම ආයතන වල විගණන වාර්තා වලින් හෙළි වී තිබේ. තෙල් ලබා දී ඇති ප්‍රමාණයට වඩා වැඩියෙන් එක් සභාපතිවරයෙක් භාවිතා කර තිබිණි. එම වැඩි වූ තෙල් වල වටිනාකම ලක්ෂ 11කි.කෙසේවෙතත් ඉක්මණින් සුද්දාකරණය සිදුවනු ඇති බව පක්ෂ විපක්‍ෂ සියල්ලොමත් රියදුරාගේ සිට ලොකු පොඩි සැවොමත් ඩලස් දෙස බලා සිටිති. ලොකුපුටුවල සිටි අය දැනගෙනත් නොදන්නා සේ සිටි නිසා ඩලස්ගේ සුද්දාකරණය පැසසුමට ලක්වෙමින් තිබේ.

සතොසේ සිදුවන දූෂණ වංචා සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ මන්ත‍්‍රීවරු  පසුගිය සතියේදී වැඩි අවධානයක් යොමු කර තිබුණේය. 

‘‘රේගුව මගින් රාජසන්තක කරන ආහාර ද‍්‍රව්‍ය සතොස හරහා ජනතාවට ලබාදීමට තමයි ආණ්ඩුවෙන් කැබිනට් පත‍්‍රිකාවක් ඉදිරිපත් කරලා අනුමැතිය අරගෙන තියෙන්නේ. ඒත් සතොසේ ලොක්කෝ එකතුවෙලා මේවා ව්‍යාපාරිකයින්ට විකුණනවා’’මනුෂ නානායක්කාර මන්ත‍්‍රීවරයා කීවේ තමන්ට සතොසේ ඉහළ නිලධාරීන්ගෙන් ලැබුණ ලේඛනත් ඉදිරිපත් කරමිනි. ‘‘මේ ගැන පාර්ලිමේ්න්තුවේදී අවධානය යොමු කරන්න ඕන"’සජිත් කීවේය.

‘‘ඔව් සර්. සුදුළූණු වගේම උදුත් පුද්ගලික සමාගමකට විකුණලා. ජනතාවට සහන මිලට බඩු දෙනවා කියලා කැබිනට් අනුමැතියක් අරගෙන දැන් පුද්ගලික අංශයට ලාභ ගන්න වැඩපිළිවෙලක් තමයි ක‍්‍රියාත්මක වෙන්නේ’’ මනුෂ තවත් කරුණු පැහැදිළි කළේය.

පාර්ලිමේන්තුවේදී  විශේෂ ප‍්‍රශ්ණයක් යොමු කරමින් සජිත් පේ‍්‍රමදාස සුදුළූණු වංචාව ගැන ප‍්‍රශ්ණ කළේය.

‘‘වෙළදපොලේ සුදු ළූණු කිලෝ එකක් රුපියල් 350ට විකුණනවා. ඒත් ව්‍යාපාරිකයෙක්ට රුපියල් 135කට ලබාදෙන්නේ. එහෙම අඩු මිලට සුදුළූණු අලෙවි කළේ කොහොමද? කාගෙන්ද ඒකට අනුමැතිය ලබාගත්තේ? මෙවැනි සුදු ළූණු ගනුදෙනුවක් වංචාසහගත ලෙස විෂයභාර අමාත්‍යවරයා හෝ සතොස ආයතනයේ ප්‍රධාන නිළධාරීන් නොදැනුවත්ව සිදු වූයේ කෙසේ ද? මහජන මුදලින් වැටුප් ලබන අධ්‍යක්ෂ මණ්ඩලයක් සහ සභාපතිවරු කිහිප දෙනෙකුගෙන් සහ අමාත්‍යවරයෙක් මෙවන් වංචාවක් එක් කෙටි පණිවුඩයක් මගින් අනාවරණය වන තෙක් නොදැන සිටියේ මෙම ආයතනයේ ඉහළ සිට පහළට මෙම වංචාවේ කොටස්කරුවන් සිටින නිසා ද’’සජිත් ප‍්‍රශ්ණ කරන විට කෙටි පිළිතුරක් දුන් බන්දුල ගුණවර්ධන ඇමැතිවරයා ප‍්‍රශ්ණයට පිළිතුරු දීමට තවත් දිනයක් ඉල්ලා ගත්තේය.

වැස්සේ තෙමිතෙමී ගොවි හදගැස්මට ගිය සජිත් 

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය සතියේ ආරම්භ කළේ අලුත් වැඩසටහනක් සමගය.ඒ "ගොවි හදගැස්ම" ය.ගොවි හදගැස්ම හරහා සජිත් කළේ රට පුරා විසිරී සිටින ගොවි ජනතාව මුහුණ දෙන ප්‍රශ්න පිළිබඳව ගොවි බිමට ගොස් සාකච්ඡා කිරීමටය.එහි දෙවැනි පියවර ලෙස සජිත් කළේ   හම්බන්තොට තිස්සමහාරාමයේ බෙරලිහෙල අතිරේක බෝග වගා කරන ගොවීන් හමුවීමට යාමය.එදින උදෑසන ඉතා හොඳ කාලගුණ තත්ත්වයක් තිබූ අතර යොදාගෙන තිබූ පරිදිම ප්‍රදේශයේ  මුං  වගාකරන ගොවීන් හමුවීමට සජිත් පැමිණියේය.

ඒ වන විටත් විශාල කුඹුරු යාය මැද සෑහෙන  ගොවීන් ප්‍රමාණයක් රැස්ව සිටියේ ය.සජිත් ඔවුන් අතරට ගොස් ඔවුන් මුහුණ දෙමින් සිටින ප්‍රශ්න පිළිබඳව සාකච්ඡා කරන්නට විය.

පොහොර පිළිබඳ ප්‍රශ්න,අස්වැන්න අලෙවි කර ගැනීමට ඇති අපහසුතා පිළිබඳ ප්‍රශ්න,කල් තබා ගැනීමට හැකියාවක් නැතිකම පිළිබඳව ප්‍රශ්න ගොවි ජනතාව සජිත්ට ඉදිරිපත් කළහ.

අනපේක්ෂිත ලෙස වර්ෂාවක් කඩාගෙන වැටෙන්නට පටන් ගත්තේ ඔය අතරය.ආසන්නයෙන් නිවසක් නොතිබූ නමුත් වැස්සෙන් ආවරණය වීමට ආරක්ෂක නිලධාරියෙක්  සජිත් වෙත කුඩයක් රැගෙන ආවේය.

"එපා එපා ඕක පැත්තකින් තියන්න.මෙතන මේ අය සීයක් විතර වැස්සේ තෙමෙනවා." සජිත් කීවේය. මුං වැපිරූ කුඹුරුවල සිටි ගොවීන් තෙමෙමින් සිටින අතරේ  සජිත් ද මහ වැස්සේම  පිරිස සමග රැදුනේය. කෙසේවෙතත් සමහරු මේ ගැන විවේචනය කරමින් සිටින බව සජිත්ට දැනගන්නට ලැබුණේය.

"මම කරපු දේට හිනාවෙලා ,ඒකට උපහාස කරලා කාට හරි හිත රවට්ට ගන්න පුළුවන්.හැබැයි මට හිනා උනා කියලා මේ රටේ ප්‍රශ්න වලට උත්තර හම්බ වෙන්නේ නෑ.එක පැත්තකින් පැන්ඩෝරා එකෙන් ලංකාවේ නමට කළු පැල්ලමක් එකතු වෙලා.අනෙක් පැත්තෙන් මුළු රටම කඩාගෙන වැටිලා.මම ගොවි හද හදගැස්ම අරගෙන ගොවියෝ ළඟට යන්නේ ඒ අයගේ ජීවිතය මොන තරම් දුෂ්කර ද කියලා දැනගෙන.එහෙම ගම්වල ගොවියන්ගෙන් දුක සැප බෙදා ගන්න කොට ඒකට කවුරු හරි හිනා වෙනවා නම් ඒක ඒ හිනාවෙන මනුස්සයගෙ අමානුෂික කම."

වර්ෂාවේ තෙමීම සම්බන්ධයෙන් තමන්ට කියන අයට සජිත් කිව්වේ එහෙමය. "ලෝකේ නායකයෝ ඕනතරම් ඔහොම තෙමීගෙන මිනිස්සු එක්ක ඉදලා තියෙනවා.ඒ ස්ක්‍රිප්ට් වලට. මේක ස්ක්‍රිප්ට් එකක් නෙවෙයි.එහෙම වෙලත් මඩ ගහනවා." එහෙම කීවේ නලින් ය.

"මෙහේ සමහරු කරන්නෙම රගපෑම.දේශප්‍රේමී කියලා පපුවට ගහගන්නවා.ටයි කෝට් ඇදගෙන හොරකම් කරනවා.රට රකිනවා කියලා රට විකුණනවා.අන්න ඒවයි රගපෑම්.එහෙම නැතිව මිනිස්සු එක්ක එකට මහපොලවේ වැඩ කරන එකට නෙවේ" , අශෝක් අබේසිංහ කීවේය.

පැන්ඩොරා පේපර්ස් ගැන කිසිවෙක් නොකී කතාවක් සජිත්ගෙන්

පැන්ඩෝරා වාර්තා මගින් නිරූපමා රාජපක්ෂ හිටපු ඇමැතිවරියට හා ඔහුගේ සැමියාට ඇති වත්කම් ගැන හෙළිදරව් කිරීමත් සමග ආණ්ඩු පක්ෂයේ කලබලයක් ඇතිව තිබුණේය. ඒ අතරම විපක්ෂයේ මන්ත‍්‍රීවරුද මේ ගැන සොයා බලන්නට වූහ. පාර්ලිමේන්තුවට පැමිණි මන්ත‍්‍රීවරු වැඩි දෙනෙක් අවධානය යොමු කළේ මේ ගැනය. ‘‘මේ තවම එක්කෙනාගේ නමයි එළියට ඇවිත් තියෙන්නේ. තවත් නම් අනූවක් විතර එළියට එන්න තියෙනවා කියලා තමයි අපිට ආරංචි’’රාජිත සේනාරත්න මන්තී‍්‍රවරයා කතාව ආරම්භ කළේය.

‘‘මේ දූගේ වත්කම් විතරයි. බාප්පලාගේ, මහප්පලාගේ, ඒ අයගේ දරුවන්ගේ වත්කම් තවම එළියට ආවේ නෑ. ඒව නම් තව කොච්චර තියේද’’නලින් බණ්ඩාර ඇසුවේ සියලුදෙනාම සිනා ගන්වමිනි. ‘‘පැන්ඩෝරා පේපර්ස් වලින් නම් හෙළිවුනාම ඉන්දියාවත්, පකිස්ථානයත් වහාම ක‍්‍රියාත්මක වෙලා පරීක්ෂණ කරන්න ගත්තා. මේක ගැන ස්වාධීන පරීක්ෂණයක් කරලා වත්කම් සොයාගත් ආකාරය අනාවරණය කරගත යුතුයි. ඒ විතරක් නෙවේ ස්කොට්ලන්‍ඩ්‍යාඩ් හරි ගෙනල්ලා මේ වැරදිකරුවන් ගැන විමර්ශනය කරන්න ඕන’’සජිත් යෝජනා කළේ ඊට අමතරව විශේෂ බලතල සහිත විශේෂ විමර්ෂණ කමිටුවක්ද පත් කළ යුතු බව අවධාරණය කරමිනි.

"කිසිම කෙනෙක් මෙහෙම ඉල්ලීමක් කරලා නෑ.නායකතුමාගේ අදහස ඉතාම වටිනවා" කිරිඇල්ල කීවේ සජිත් ස්කොට්ලන්‍ඩ්‍යාඩ් පරීක්ෂණ ඉල්ලූවිටය.

‘‘මේවා ගැන සොයන්න කියලා ජනාධිපතිවරයා අල්ලස් කොමිසමට නියෝගයක් කරලා තියෙනවාලු’’ගයන්ත කරුණාතිලක මන්ත‍්‍රීවරයා කීවේ ඔහුට ලැබුණ කෙටි පණිවුඩයක් පෙන්වමිනි.

‘‘ජනාධිපතිවරයාට අල්ලස් කොමිසමට නියෝග දෙන්න බෑ. අල්ලස් කොමිසම ස්වාධීන කොමිසමක්. අර නීතිපති දෙපාර්තමේන්තුව ඇවිත් නඩු නිදහස් කරගත්තා වගේ අල්ලස් කොමිසමත් ලොන්ඩරියක් බවට පත් කරගන්න හදනවාද දන්නේ නෑ’’එස්.එම්. මරික්කාර් මන්ත‍්‍රීවරයා පැවසුවේය. ‘‘මේ සල්ලි කාගේද, මේවා කොහෙන්ද ආවේ කියලා සෙයලා බලන්න ඔ්න. ඒ නිසා සමගි ජන බලවේගයේ මන්ත‍්‍රිවරු විදියට අල්ලස් කොමිසමට ගිහින් පැමිණිල්ලක් කරන්න’’මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර උපදෙස් දුන්නේය.

‘‘නිරූපමා මේ වත්කම් තමන්ගේ වත්කම් බැරකම් ප‍්‍රකාශවල ඉදිරිපත් කරලා තියෙනවාද කියලා සොයා බලන්න තොරතුරු දැනගැනීමේ පනත යටතේ මැතිවරණ කොමිසමට අයදුම්පත‍්‍රයක් යොමු කරමු. සමගි තරුණ බලවේගය විදියට අපි ඒක යොමු කරන්නම්’’මයන්ත දිසානායක මන්ත‍්‍රීවරයා කළ යෝජනාව කාගේත් පැසසුමට ලක්විය. ඒ අනුව පසුදාම අල්ලස් කොමිසමට මන්ත‍්‍රීවරු පැමිණිලි කළ අතර සමගි තරුණ බලවේගයේ කණ්ඩායම මැතිවරණ කොමිසමට ගොස් තොරතුරු පත‍්‍රිකාව ඉදිරිපත් කළේය.

හරින් සුව අතට

හදවත් සැත්කමකට ලක් කර සිටි හරින් ප‍්‍රනාන්දු මන්ත‍්‍රීවරයා මේ වන විට සුවය ලබමින් සිටී. අමුත්තන් හමුවීම සීමා කර තිබේ. එහෙත් කෙටි පණිවුඩ මගින් හා වට්ස් ඇප් ඔස්සේ ඔහු පණිඩුව යොමු කරමින් තමන් ගැන තොරතුරු හිත මිතුරන්ට දැනුම් දුන්නේය. ඒ අතර ඔහුට සුවය පතා ගංගාරාම විහාරස්ථානයේදී ආශිර්වාද බෝධිපූජා පිංකමක් පැවැත්වූවේය. සජිත් ගංගාරාම විහාරස්ථානය තුළට පැමිණියේ ගයන්ත කරුණාතිල මන්ත‍්‍රීවරයා සමගය. ගංගාරාම විහාරවාසී කිරින්දේ අස්සජි හිමියන් ප‍්‍රමුඛ සංඝරත්නය විසින් හරින්ට සෙත් පතා බෝධිපූජාව පැවැත්වූවේය

 

‘‘ජීවිතයේ තීරණාත්මක කඩයිම්වලදී මේ වගේ ආශිර්වාදාත්මක කටයුතුවලින් ලැබෙන ශක්තිය අදහාගන්න බැරි තරම්. ඒකට ඇත්තටම අත්විදින්න පුලුවන් වෙන්නේ එයට මුහුණදුන් විටයි. මිතුරුතුමෝ දුක සැප දෙකෙහිම පැවතී - බිතු සිතු රූ මෙන් පිටු නොපාවතී’’ යන්න මේ අත්දැකීමෙන් මම තහවුරු කරගත්තා’’ ආශිර්වාද බෝධි පූජාවෙන් පසුව රෝහලේ සිටම හරින් පණිවුඩයක් එවමින් සදහන් කර තිබුණේය.

පාර්ලිමේන්තුවේ අලකලංචි 

පසුගිය දින පහේම එක දිගට පාර්ලිමේන්තුව පැවැත්වූ අතර පාර්ලිමේන්තුවට එමින් සිටියදී එකවරම ලක්ෂ්මන් කිරිඇල්ල ඇඳ වැටුණි. 

"අයියෝ මන්ත්‍රී තුමා මොකද ? කියමින් එතන සිටි අනෙක් ඇය ඔහුව උස්සන්නට විය. "නැහැ නැහැ අමාරුවක් නැහැ නිකන් කකුල ලෙස්සුවා.. එසේ කියමින් නැගිට්ට ලක්ෂ්මන් ට කිසිදු ආපදාවක් නොවූ බව දුටු කෙනෙක් "මම භය වුනා අපිටත් හෙට PCR කරන්න වෙයිද කියලා" .. 

සියල්ලෝම සිනාසෙමින් එතනින් නික්මිණි. 

සජිත් නිකන් කහින්න එපා - ගොඨාගෙන් සජිත්ට කණේ පාරක් 

පසුගියදා පොහොර ගැටලුව සම්බන්දයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ මැති ඇමතිවරු පිරිසක් රැස් විය.

"විපක්ෂෙ නිතරම කෑ ගහනවා. මිනිස්සුන්ට මේකෙන් වැරදි අවබෝධයක් යනවා "ඇමතිවරයෙක් පැවසිය.

"ඒක තමයි මම මේක කෙළින්ම සජිත්ගෙන් අහන්නම් "කියූ ජනපති එසැණින්ම සාකච්චාව නැවත සජිත් ට ඇමතුමක් ගත්තේය. 

"මොකද්ද සජිත් ඔබතුමා නිතරම පොහොර ප්‍රශ්ණයක් කරගෙන කෑගහන්නේ. කබනිම පොහොර වගාවට ලෝකෙම කැමති වෙද්දී ඔබතුමාලා බොරුවට කෑ ගහනවා. ඔබතුමාලගේ විරෝධතාවයට හේතුව මොකද්ද ?

"ඇයි ජනාධිපතිතුමා ඔබතුමා එකපාරම ඔහොම දෙයක් ඇහුවේ ? සජිත් පෙරලා ඇසුවේය..

"ඔබතුමාගේ ප්‍රකාශ වලින් අපිට එහෙම දෙයක් පෙනී යනවා" එකයි අහන්නේ .. ජනපති කිවේය.

"කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් දීපු රිපෝර්ට් එකක තියෙනවා ඔය වැඩේ සුදුසු නැහැ කියලා. එකයි මම එහෙම කියන්නේ"සජිත් එහෙම කියද්දීම ජනාධිපති ඇමතුම කට් කර කලින්ම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියෙක්ට ඇමතුමක් ගත්තේය.

"මොකද්ද මේ කාබනික පොහොර ගහලා තියෙනවා කියන එක රිපෝර්ට් එක? ජනපති ඇසුවේය. එසේ අසා හරි බලල කියන්නයි කියමින් ඔහු කෝල් එක කට් කළේය. නැවත ටික වෙලාවකින් අදාළ නිලධාරියාගෙන් ජනපතිට ඇමතුමක් ආවේය. "අමාත්‍යංශයෙන් වත් දෙපාර්තමේන්තුවෙන් වත් කොහෙන්වත් එහෙම රිපෝර්ට් එකක් නිකුත් වෙලා නැහැ ජනාධිපතිතුමා" නිලධාරියා පැවසුවේය. 

එසැණින්ම ජනපති නැවතත් සජිත්ට කෝල් එකක් ගත්තේය. "මම චෙක් කළා. එහෙම රිපෝර්ට් එකක් නිකුත් වෙලා නැහැ. මේවගේ ජාතික වැඩකදී දේශපාලන පටු අරමුණ තියාගෙන හැසිරෙන්න එපා" කියමින් ජනපති කෝල් එක කට් කළේය.

දින කිහිපයක් රටින් පිටව සිටි ජනපති හමුවෙන්න ගිය යුරෝපා සංගමයේ නියෝජිතයින් ජනපති හමුවුයේ ඔහුගේ මිරිහානේ පිහිටි නිවසේදීය. මෙතරම් විශාල නිල නිවාසයක් තිබියදී මුදල් වියදම් කරමින් ආගන්තුකයන්ට උත්සව සුදානම් කල හැකිව තිබියදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙලෙස ජිවත් වන සරල ජීවිතය ගැන ඔවුන් පැසසුමට ලක් කර තිබිණි. එමෙන්ම ඉදිරි වසර කිහිපය තුලදී වැඩ කල යුතු බවත් කළහැකි සියල්ල සිදුකරන බවටත් ජනාධිපති ඉහල නිලධාරීන්ට රතු එළියක් නිකුත් කරමින් දන්වා ද තිබිණි.

දේශපාලන කොලම - අශන්ති වරුනසුරිය 



Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us