Helabima

වාරි ව්‍යාපාර හා බැදුනු හෙළ ආහාර සංස්කෘතිය

රුවන්තිකා මධුශානි


වැවයි දාගැබයි ගමයි පන්සලයි ප්‍රසිද්ධ සංකල්පය ශ්‍රීලාංකේය සංස්කෘතියේ විශාල පතිකඩක් ආවරණ කලා.  මූලික වශයෙන් රජ රටේ වැවු සිය දහස් ගණනක් තිබ්බත් අනික් ප්‍රදේශ වලත් වැව් නොතිබුනාම නෙවෙයි .කලා වැව පරාක්‍රම සමුද්‍රය මහකනදරාව තිසා වැව වගේ අති දැවැන්ත වාරි ව්‍යාපෘති හැරුනම රජරට ගමක් ගමක් ගානෙම සුලු සහ මධ්‍යම පරිමාණ වැව් දැකබලා ගන්න පුලුවන් . මහනුවර යුගයේ කන්ද උඩරට රාජධානියට අයත් ප්‍රදේශ වෙන්කරද්දි රජරට හැදින්වුයෙ නුවරකලාවිය කියලා . නුවර වැව කලා වැව පදවිය වැව කියන අති විශාල  වැව් තුන යටතේ පෝශනය වෙන කියන අදහසින් තමයි ඒ නුවර  කලා විය කියන වචනේ නිර්මානය උනේ.
වර්ථමානය වෙද්දී රටේ වැව් විශාලත්වය අනුව මූලිකව කොටස් දෙකකට බෙදල තියෙනවා. මහා වාරි ව්‍යාපාර වාරිමාර්ග දෙපාර්තමේන්තුව  යටතෙ මධ්‍යම රජය මගිනුත්  සුලු වාරි ව්‍යාපාර ගොවි සංවිධාන යටතේ ගොවිජන සේවා දෙපාර්තමේන්තුව මගිනුත් පාලනය වෙනව . මේ රාජ්‍ය මැදිහත් වීම නිසා ඒ ඒ වැව් වලට අදාල නීති පද්ධතියක් හදුන්වා දී තියනව..

වැවක් තනි ඒකකයක් විදියට ජලය රැස් කරන තැනක් වගේ දැනුනට ඇත්තෙන්ම වැවක් කියන්නෙ වෙනම සංස්කෘතියක්.වැවේ අංග වැවෙන් පෝශනය වෙන කුබුරු වැව නිසා ගම පුරා ගලන ඇළවේලි ,වැවු පිටිය , මිරිදිය මත්ස්‍ය කර්මාන්තය , ස්නානය සදහා වැව භාවිතය ,  වැව සමග බැදුනු පුද පූජා වත් පිළිවෙත් , වැවේ ආරක්ෂාව භාර නිලතල රාජකාරි , වැව තුලින් බිහිවු මානව සබදතා ,වැව සමග බැදුනු සාහිත්‍ය , මේ සියල්ල එක් කළාම කතා කරලා අවසන් කරන්න බැරි තරම් විශාල සංස්කෘතියක් වැව වටේ ගොඩ නැගිල තියෙනවා .

ඒ මහා සංස්කෘතියෙන් පුංචි කොටසක් අරං මේ ලිපියෙන් කියන්න බලාපොරොත්තු වෙන්නෙ වැව තුලින් අපේ ආහාර සංස්කෘතිය පෝශනය උනු ආකාරය ගැන .
අපේ පැරන්නන්ට මුලු බත් පතම ලැබුනෙ වැව් කරවපු රජ දරුවන්ට පින් සිද්ධ වෙන්න කියලා අදටත් රජරට වැසියො පින් දෙනව .
වැවක මූලිකම කාර්‍ය උනේ කුබුරු ගොවිතැන් වලට අවශ්‍ය ජලය ලබාදීම .අපිට බත ලැබුණේ වැව නිසා . ගමේ හදවත විදියට ජනතාව වැව් ආරක්ෂා කලේ මේ නිසා.  
වැව කියද්දි ආහාරයට මූලිකවම ලැබෙන දේ තමයි වැව් මාලු. කොරලි ලූලො හුංගො කනයො අන්ගුට්ටො තිත්තයො බුරම්පි  කාවයියො ආදො වගේම මිරිදිය ඉස්සොත් ඇතැම් වැව් වලින් ලැබුණා. ගෙහිමියා ගිහින් ගෙදර අයට කන්න ඇති වෙන්න මාළුවෙක් දෙන්නෙක් බිලී බාගෙන එන එක රජරට ට බොහොම සාමාන්‍ය දෙයක් . ඒවගේම සමහර පුද්ගලයන් විවිධ දැල් භාවිත කරලා ත් වැව් වල මාලු ඇල්ලිම කරනව  . කරක කියන කෝටු වලින් හදපු කූඩෙන් වැව් මාලු ඇල්ලිමත් ජනප්‍රිය ක්‍රමයක්. ඒකට නම් හොඳ පුහුණුවක් අවශ්‍ය වෙනව .කරක නැත්තං කරක් ගෙඩිය කියන්නෙ ඉතා සවිමත් කෝටු වලින් තැනූ කූඩුවක් වගේ දෙයක් .මාලු ගැවසෙන තැන්වල ඒ කූඩෙ එකවර මඩට සවි වෙන්න ගහනවිට මාලු ඇතුළෙ හිර වෙනව . කරක මුදුනෙ තියන සිදුරෙන් අත දාලා ධීවරයා මාලු අතින් අරං වැලේ අමුනනවා. වැව් වාන් දමන කාල වලට පිටවාවෙන් වතුර ගලා යද්දී වැවේ ඉදලා වානෙන් එලියට යන්න උඩට පනින මාලු අල්ලන්න ත් මේ ජනතාව හරි සමත්.වැව් බාගෙට හිදීගෙන එද්දී මහ කන්නෙට කලින් එකවර දවසක් දෙකක්  වහින මහා වැස්සට වැවේ පෝශන දියමං වලින් වැවු පිටිය මැදින් වතුර ගලා එන්න ගන්නකොට වැවේ ඉන්න මාලු ඒ දිය මං ඔස්සෙ උඩට බඩගාන්න පටන් ගන්නවා . ඒ වැස්ස ක්ශනිකව නතර වෙලා දිය මං හිස් වුනාම ඒ මාලු වැව් පිටියෙ අතරමං වෙනව . ඒ නිසා කාලයක් පායලා එකවර වහිද්දි වැස්ස නොතකාම වැවුපිටි ජනාකීර්ණ වෙනව මාලු අහුලන්න .ඒවගේම අවුරුදු ගාණක් මඩ යට හැංගිලා නොමැරී  ඉන්න ලූලො හුංගො වගේ මාලුන්ව මතුපිට  වියලි මඩ තට්ටුව ගලවලා ලබා ගන්නවා

තෙප්පිලි/ජපන් කොරළි - Facebook වැව් මාළු Page


මේ අල්ලන මාලු මිරිස් අඩංගු ව්‍යංජන විදියට සකස් කිරීම බොහෝවිට සිදු වෙනව . තෙප්පිලි .. වගේ මාලු මිරිසට ලූල් මාලු කිරට තිත්තයො ඇබුලට වගේ එක එක ක්‍රම වලට සකස් වෙද්දී අංගුට්ටා මාළුව හැදෙන්නෙ වෙනස් ක්‍රමේකට . අංකුට්ටා හම ගහල කහ ලුණු අතගාලා කෙසල් කොලේක ඔතල බිම වලක් හාරලා වලට බාගයක් වැලි දාලා අර මාලු පාර්සලේ ඒ වලට දාලා නැවත වැලි පුරවනව. ඒ වැලි උඩ ලොකු ගිනි ගොඩක් ගැහුවම වැල්ලෙ උනුසුමට මාලු තැම්බෙනවා.. තිත්තයො ලැබෙන කාලෙට නම් තිත්තයො ඇබුලට උයල ඒ එක්ක රොටී කන එකත් හරි රසවත් සංයෝගයක්. වැලි ගොව්වො මාලු තම්බල සැමන් වගේ සම්බෝල හදලා කන්නත් පුලුවන්. වැව් මාලු ගැන කතා කරද්දි වැව් කරවල අමතක කරන්න ම බෑ . වැව් කරවල කියන්නෙ අතිශය රසවත් ආහාරයක් . මේක ක්‍රම දෙකකට හදනව.එකක් තමයි කොරලි වගේ මාලු දෙකට පලා ලුණු අතගා අව්වෙ වේලීම අනික තමයි ලූලො වගේ මාලු සුද්ද කරලා දුම් ගැහීම .. මේ දෙකෙන් මේ දුම් කරවල අතිශය රසවත්. රජරට ජනතාව එලව්ලු සමග හාමුවට වැව් කරවල උයනව. වම්බටු මෑ බන්ඩක්කා වැටකොළු වගේ කටුසර බෝග උයද්දි වැව් කරවල ත් එක් කරනව. වැව් කරවල විතරක් ම තනිකර ත් තෙල් දමා ආහරයට ගන්නවා ..

 

දැන් හැරෙමු වැවේ හැදෙන බතට රස දෙන ශාක දිහාවට . නෙලුම් මල් බුදුන්ට නෙලුම් ඇට කොල්ලන්ට නෙලුම් අල අම්මල ට කියලා ප්‍රසිද්ධ කියමනක් තියෙනවා . නෙලුම් මල් පිපිලා පරවෙලා ගියාම ඉතුරු වෙන මලේ මැද බීජ ඉතා රසවත් ආහාරයක්. වැව් ලාවට හිදීගෙන එද්දී පොහොර උර ගනන් නෙලුම් බට්ටො කඩාගෙන එන පුරුද්ද අදත් රජරට පොඩ්ඩො අතරින් සමු අරං නෑ .නෙලුම්  මලේ මැද තියන ඇට වේලෙන්න පෙර  අරං ඇටෙ මැද කොලපාට මොටයිය අයින් කරලා කනකොට  කජු කනව වගේ. ටිකක් මෝරපු ඇට තම්බල කන්නත් පරිප්පු වගේ උයලා කන්නත් පුලුවන් ඉතා රසවත් ආහාර .


ඊලගට නෙලුම් අල. මඩ යට තිරස් අතට පැතිරිලා තියන නෙලුම් අල ගලවන්නෙත් වැව් හිදීගෙන එද්දී . කිරට තෙලට බැදුමට සලාදෙට නෙලුම් අල කියන්නෙ අනර්ඝ ආහාරයක්.
වැව පුරාම සුදුපාට කොකු වගේ පේන කෙකටිය එන්නෙ නම් වැව් පිරෙන කාලෙට. අම්මල නාන්න ගියාම කෙකටිය දඩු කඩාගෙන ඇවිල්ල වේලපු වැව් කරවල එක්ක තෙල් දානව . ඒක පුදුම රසවත් කෑම. ඕලු ගගේ මලෙන් පස්සෙ එන ගෙඩියෙ ඇතුළෙ තියන පුංචි ඇට වලින් ඕලු හාල් බත් ඕලු පිට්ටු හදා ගන්නවා . ඕලු මලේ නටුව ඕලු කෝටුවත් අබ පුච්චල තෙලට උයන රජරටට ආවේනික කෑමක් . කිරි දෙන මව් වරුන්ට කිරි වඩවන්න වේලපු ලූල් කරවල එක්ක ඕලු කෝටු උයල දෙනව .මේ ඕලු ඇට ළපටි කාලෙ පොල්කිරි සීනි එක්ක පොඩි දරුවන්ට කන්න දෙනව . ඕලු ඇට වලින් හදන කැද පෝශනයෙන් සපිරි බර ආහාරයක්.

වාන - Facebook

 

වැවේ හැදෙන දිය කොච්චි මිටක් කඩා ගත්තොත් අනිවාර්යයෙන් වැව් තාවුල්ලෙන් පලා මිටක් නෙලාගෙන ඉස්සර අම්මල අමතක කලේ නෑ . වැව් තාවුල්ල කියන්නෙ වැවට අයිති ජල පෝශක කැලෑබද කොටස. කැලේ හෝදාගෙන එන කොළරොඩු රැදිල අධික පොහොර සහිත සාරවත් තාවුල්ල පලා විමානයක්. මුගුනුවැන්න ,කංකුන් , දිය මෙනේරි ගොටුකොළ විතරක් නෙවෙයි හොඳ සරු කොහිල ගාල් පවා මේ කොටසෙ දකින්න ලැබෙනව .කිරට කොහිල දලු කඩාගෙන ඇබුලට කොහිල අලයක් උදුරන් පලා මිටකුයි දිය කොච්චියි කඩා ගෙන ගෙදර යද්දී දුමේ වැව් කරවල වේලෙනව. ඒක කොයිතරම් රසවත් ගුණවත් සංයෝගයක් ද කර වෙන්න පායලා නිකිනි මාසෙ වෙද්දී වැව් හිඳිලා ඉරි තැලිල තියද්දී එකපාරට අකුණු ගහල නිකිනි පාලු වැස්ස වැටිලා ආය පායන්න ගන්න උදෑසනවල් වල ඔන්න ආයමත් වැව් පිටි ජනාකීර්ණ වෙනව . පොලවේන් ලැබෙන මහානර්ඝ තෑග්ගක් උනු හතු ජාති ජාති වැව්පිටි පුරා පිපෙනව.එක යායට ලා රතුවට පිපෙන රත් කැවිල්ල ලොකුවට වට්ටි පිරෙන්න කඩා ගන්න තවලම් හතු එකක් දෙකක් අතන මෙතන පිපෙන මහවැලි හතු වයිරං වලින් හැඩ වුනු මොනර හතු එක යායට චූටි බින්දු වගේ පිපෙන හීන් වැලි හතු පවුලටම එකක් ඇතිවෙන්න පිපෙන කිලෝ එකක් දෙකක් බර ඌරු හතු කඩේ පැකට්වල ටින් වල හතු වලට ලං කරන්න වත් බැරි තරම් රසවත් . එවගේ ගැමි ලියෝ හතු දුමේ වේලලා ඉදිරියේ එන වැහි කාලෙට ගන්න අරං තියාගන්න ත් අමතක කරන්නෙ නෑ ..

තවලන් හතු - Facebook

 

වැව තියන්නෙ මිනිස්සුන්ට විතරක් නෙවෙයි . අදටත් වැව් හිදීගෙන එද්දී ගවයන්ට මී ගවයන්ට බොන්න වතුර මදි වෙයි කියලා මිනිස්සුන්ට වැවට බැහීම තහනම් කරනව. මං කලින් කිව වගේ වැව් තාවුල්ලෙ වැව් පිටියේ සරුවට වැවෙන කොල වර්ග කාලා කිරි එරවා ගන්න බටු එලදෙන්නු උදේට බොන්න කිරි ටික ලෝබ නැතුව දුන්නා .මී දෙන්නු දෙන කිරි වලින් මීකිරි මිදෙව්වා.
ඒවත් වැවෙන් ම ලැබුනු තෑගි කියලා තමයි හදුන්වන්නෙ

මේ දැන් අපිට හොයාගන්න පුලුවන් අපිට පේන වැවෙන් ලැබෙන ආහාර වලින් බොහොම  ටිකක් විතරයි .ඇත්තෙන්ම තවත් ආහාර වර්ග ගණනාවක්ම වැවෙන් ලබාගන්න ඉස්සර මිනිස්සු වාසනාවන්ත උනා . අභාග්‍යකට දැන් අපිට ඒ ගැන මූලාශ්‍ර වත් හොයාගන්න නැති තරම් . මිනිස්සු ක්ශනිකව කෑම වලට හුරු වෙලා ලෙඩ්ඩු වෙන්න කලින් ගල් කනු දාගැබ් හදපු පැරැන්නො බඩ පුරවා ගත්තෙ කොහොමද කියලා දැනෙද්දි වත්මන් කෑම රටා ගැන ඇත්තෙන්ම ශෝකයක් දැනෙනවා.. හැකි අයුරින් අනාගත පරපුරට මේ දේවල් දායක කරන්න උත්සුක වෙන්න කියලා ඔබට ආරාධනා කරනවා



Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us