Helabima

නීතිපති අධිකරණයට සැඟවූ අලි පැටවුන් ජාවාරමේ සැබෑ තත්ත්වය

සජීව චාමිකර


වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනතට අනුව කැලයෙන් අලි - ඇතුන් අල්ලා ගෘහාශ්‍රිත කිරීම නීති විරෝධී ක්‍රියාවකි. එසේ අල්ලා ගනු ලබන සතුන් නීත්‍යානුකූලව ලියාපදිංචි කිරීමේ හැකියාවක් ද නොමැත. මෙවන් නීතිමය තත්ත්වයන් ගොඩනගා ඇත්තේ ස්වාභාවික වාසස්ථානවල අඛණ්ඩ ක්‍රියාකාරීත්වයට සුවිශේෂී කාර්යය භාරයක් ඉටු කරන අලි - ඇතුන්ගේ පැවැත්ම සුරක්ෂිත කිරීමට ය. එමෙන් ම වාසස්ථාන විනාශය හේතුවෙන් අලි - ඇතුන්ගේ ස්වාභාවික ගහනය සීග්‍රයෙන් අඩු වෙමින් පවතී. ඒ තත්ත්වය මැඩපැවැත්වීම මෙන් ම ස්වාභාවික ගහනයේ පැවැත්මට බලපෑම් එල්ල කරන වෙනත් ක්‍රියා වැළැක්වීම මෙම නීති ගොඩනැංවීමේ අරමුණය.

එපමණක් නොව මෙරට වියළි කලාපයේ වනාන්තර පද්ධති සංරක්ෂණය අලි - ඇතුන් පදනම් කර ගෙන ගොඩනැංවී තිබීම නිසා වියළි කලාපයේ බොහෝ ජල පෝෂක වනාන්තර ප්‍රමාණයක් සුරක්ෂිත වී ඇති අතර ඒ මත කෘෂිකර්මාන්තයේ සුරක්ෂිතතාවය තහවුරු වී ඇත. නමුත් පසුගිය දශක දෙකක කාලය තුළ මේ තත්ත්වයන් සියල්ල සම්පූර්ණයෙන් ම උල්ලංඝනය කරමින් ස්වාභාවික වාසස්ථාන වලින් නීති විරෝධීව අලි පැටවුන් අල්ලා විකිණීමේ දැවැන්ත ජාවාරම ක්‍රියාත්මක විය.

දැනට තහවුරු කළ වාර්තාවලට අනුව 2000 වසරෙන් පසුව අලි පැටවුන් ජාවාරම්කරුවන් විසින් කැලයෙන් අල්ලා ගත් අලි පැටවුන් ගණන 51 ක් පමණ වේ. ඒ අතුරෙන් අලි පැටවුන් 39 ක් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ ගෘහාශ්‍රිත අලින් ලෙස ව්‍යාජ ලේඛන භාවිතා කර නීති විරෝධීව ලියාපදිංචි කර ඇත. ලියාපදිංචි නොකර නීති විරෝධීව රඳවාගෙන සිටි අලි පැටවුන් ගණන 12 කි.

විවිධ පුද්ගලයන් භාරයේ නීති විරෝධීව රඳවාගෙන සිටිය දී අලි පැටවුන් 39 ක් අත් අඩංගුවට ගෙන තිබේ. ඒ අතුරෙන් සතුන් 15 ක් අධිකරණ නියෝග මත නීති විරෝධී භාරකරුවන් වෙත නැවත භාර දී ඇත. මෙතෙක් අත් අඩංගුවට නොගෙන නීති විරෝධී භාරකරුවන් සන්තකයේ තබා ගෙන සිටින සතුන් ගණන 3 කි. කැලයෙන් අල්ලාගත් අලි පැටවුන්ගෙන් තිදෙනෙකු මිය ගොස් ඇති බවට තහවුරු වී ඇති නමුත් කූට ලේඛන භාවිතා කර නීති විරෝධීව ලියාපදිංචි කළ අලි පැටවුන් 6 ක් පිළිබඳ ව කිසිදු තොරතුරක් නොමැත. එම සතුන් ද මියගොස් ඇති බවට අනුමාන කළ හැකි ය.

 

මිය ගිය අලි පැටවුන්

කැලයෙන් අල්ලාගත් අලි පැටවුන්ගෙන් පළමු ව මිය ගියේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් 2002 වසරේ දී නීති විරෝධී ව සෙවණගල ප්‍රදේශයෙන් අල්ලා ගන්නා ලද වයස අවුරුදු එකහමාරක් පමණ වූ වාසනා නම් ඇත් පැටවා ය. 2007 වසරේ දී රත්නපුර දෑල ඔයේ ගැට ගසා සිටිය දී ඔයේ ජල මට්ටම වැඩි වීමෙන් දියේ ගිලී මෙම අලි පැටවා මිය ගියේ ගෘහාශ්‍රිත අලි - ඇතුන් නිසි පරිදි රැක බලා නොගන්නා බවට සාක්ෂි එක් කරමිනි.

කැලයෙන් අල්ලාගත් අලි පැටවුන්ගෙන් දෙවනුව මිය ගියේ බලන්ගොඩ, රිචඩ් ගෝනකුඹුර මහතා භාරයේ, ඉතා ම දුර්වල තත්ත්වයේ සිටි වයස මාස 6 ක් පමණ වූ අලි පැටවා ය. මෙම අලි පැටවා ව ඔහුගේ නිවසේ නාන කාමරයේ රඳවා සිටිය දී වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන උඩවලව ඇත් අතුරු සෙවණේ රඳවා සිටිය දී මන්දපෝෂණය හේතුවෙන් මිය ගියේ ය. මීට අමතර ව කැලයෙන් අල්ලා ගෙන, නීති විරෝධීව ලියාපදිංචි කළ වරුණ ලංකා කන්නංගර විජේසිංහ මහතා භාරයේ සිටි සීවලී නම් අලි පැටවා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පසු අධිකරණ නියෝග මත උඩවලව ඇත් අතුරු සෙවණේ රඳවා සිටිය දී පාචනය හේතුවෙන් මිය ගියේ ය.

මෙම අලි පැටවුන්ගේ මරන තහවුරු වූ ඒවා වන නමුත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචි කර තිබූ අලි පැටවුන් 6 ක් පිළිබඳ ව කිසිදු සාධකයක් නොමැත. කැලයෙන් අල්ලාගෙන ඇති මෙම අලි පැටවුන් ජේ. ඒ. අයි. කමල් කිත්සිරි, සිසිර ජිනේන්ද්‍ර පරණගම, ඩී. කේ. කුමාරපේලි, ඩබ්ලිව්. ඒ. රංජිත් විජේසිංහ, කේ. කේ. පණ්ඩුල ප්‍රියන්ත හා පියසේන අමරතුංග යන මහත්වරුන් භාරයේ සිට ඇති බවටත්, නීති විරෝධීව ලියාපදිංචි කර ඇති බවටත් සාධක ඇති නමුත් එම සතුන් මේ වන විට සොයා ගැනීමට නැත. ඒ හේතුවෙන් මෙම අලි පැටවුන් ද මිය යන්නට ඇති බවට අනුමාන කළ හැකි ය.

 

ලියාපදිංචි නොකර අලි පැටවුන් සන්තකයේ තබා ගැනීම

කැලයෙන් අල්ලාගත් අලි පැටවුන් නීති විරෝධීව හෝ ලියාපදිංචි නොකර සන්තකයේ තබා ගෙන සිටි පුද්ගලයින් සත්දෙනෙකු මේ වන විට හඳුනාගෙන ඇති අතර ඔවුන් නම් එන්. ජී. රාජපක්ෂ, උපුල් දිසානායක, නෙවිල් වන්නිආරච්ච්, දේවාලේගම ධම්මසේන හිමි, කමතේගෙදර තිලකරත්න, හේවාවසම් ගමගේ සුනිල් හා උඩුවේ ධම්මාලෝක හිමින් වේ. කමතේගෙදර තිලකරත්න නම් හස්තිපාලක (ඇත්ගොව්වා) භාරයේ සිටිය දී අත් අඩංගුවට ගත් මිහිල නම් අලි පැටවාගේ සැබෑ භාරකරු වන්නේ තුෂාන් යශෝධ වෑකඩපොල මහතා ය. කිසිදු භාරකරුවකු හෝ ලියාපදිංචියක් නොමැති කැලයෙන් අල්ලාගත් අලි පැටවුන් තිදෙනෙක් විවිධ ස්ථානවල රඳවා සිටිය දී අත් අඩංගුවට ගෙන තිබේ. උඩවලව, කොළඹගෙආර, ගල්පාය ප්‍රදේශයේ, පැල්මඩුල්ල හා රත්නපුර ප්‍රදේශ වලින් එම සතුන් අත් අඩංගුවට ගෙන තිබේ. මෙම සතුන් උඩවලව ඇත් අතුරු සෙවණේ හා පින්නවල අලි අනාථාගාරයේ මේ වන විට රඳවා සිටී.

 

නීති විරෝධීව රඳවාගෙන සිටින අත් අඩංගුවට නොගත් අලි පැටවුන්

වනාන්තරයෙන් අල්ලාගෙන, නීති විරෝධීව රඳවාගෙන සිටින මෙතෙක් අත් අඩංගුවට නොගත් අලි පැටවුන් තිදෙනෙක් වෙති. ඉන් එක් සතෙකු ඌරුමුත්ත වත්ත, ඌරුමුත්ත, අකුරැස්ස ලිපිනයේ පදිංචි අමරදේව මල්වත්ත මහතා භාරයේ සිටී. ගංගා නමින් හඳුන්වන මෙම ඇතින්න හුණුපිටිය, ගංගාරාම විහාරස්ථානයේ විහාරාධිපති ගලබඩ ඥානේස්සර ස්වාමීන්වහන්සේ භාරයේ රඳවා සිටී. අලි - ඇතුන් ලියාපදිංචිය හා සම්බන්ධ දූෂණ හා අක්‍රමිකතා සොයා බැලීමට පත් කළ විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නිමල් එඩ්වඩ් දිසානායක මහතාගේ 2016 මැයි මස 25 වන දින දරන විමර්ෂණ කමිටු වාර්තාවේ ගංගා නම් මෙම අලි පැටවා ලියාපදිංචි කිරීම සඳහා කූට ලේඛන භාවිතා කර ඇති බවට තහවුරු කර ඇත.

මිහින් රාජා සහ රෝහණ රාජා හෙවත් අභය රාජා නමින් හඳුන්වන අලි පැටවුන් දෙදෙනා මාතර, පාලටුව, උපුල් දිසානායක මහතා භාරයේ හා වීරකැටිය, මැදමුලන, අත්තනයාය, පෝරේ වත්තේ පදිංචි නෙවිල් වන්නිආරච්චි මහතා භාරයේ රඳවා සිටී.

මිහින් රාජා නම් ඇත් පැටවා 2012 වසරේ දී නිරාජ් රොෂාන් විසින් උඩවලවෙන් අල්ලාගෙන තිබේ. ඒ වන විට වයස අවුරුදු එකහමාරක් පමණ වූ ඇත් පැටවෙකි. එම ඇත් පැටවා සංඛ නමින් හඳුන්වා ඇති අතර 2013 වසරේ අප්‍රේල් මාසයේ දී මෙම අලි පැටවා සැබෑ භාරකරු වෙත විකුණා තිබේ. අභය රාජා හෙවත් රෝහණ රාජා නම් ඇත් පැටවා 2014 වසරේ දී නිරාජ් රොෂාන් විසින් හම්බන්තොට ප්‍රදේශයෙන් අල්ලාගෙන තිබේ. ඒ වන විට අවුරුදු 3 ක් පමණ වූ මෙම ඇත් පැටවා මිහින් රාජාගේ සැබෑ භාරකරුවා වෙත ප්‍රදානය කර තිබේ. නමුත් මෙම සතුන් දෙදෙනා ම මේ වන විට ව්‍යාජ භාරකරුවන් යටතේ රඳවා සිටී.

හුණුපිටිය, ගංගාරාම විහාරස්ථානයේ පූජ්‍ය ගලබඩ ඥානේස්සර ස්වාමීන්වහන්සේ භාරයේ සිටින ගංගා නම් අලි පැටවා 2009 වසරේ දී උඩවලවෙන් අල්ලා ගනු ලැබූ සතෙකි. මාතර, ධර්මේ නම් දක්ෂ හස්තිපාලකයා විසින් මෙම සතාව අල්ලා ගෙන ඇති අතර ඒ වන විට මෙම අලි පැටවාගේ වයස අවුරුදු 3 ක් පමණ විය.

 

අලි පැටවුන් නීති විරෝධීව රඳවා ගෙන සිටි පුද්ගලයන්

වනාන්තරයෙන් නීති විරෝධීව අල්ලා ගත් අලි පැටවුන් විවිධ පුද්ගලයන් මිල දී ගෙන හා ප්‍රදාන වශයෙන් ලබා ගෙන විවිධ පුද්ගලයන් භාරයේ තබා ගෙන සිටි අතර නීති විරෝධීව කැලයෙන් ඇල්ලීම සිදු කළ පුද්ගලයන් භාරයේ ද අලි පැටවුන් කිහිපදෙනෙකු සිටිය දී අත් අඩංගුවට ගෙන තිබේ. ඒ අනුව නීති විරෝධීව අලි පැටවුන් සන්තකයේ තබා ගෙන සිටි සැකකරුවන් 44 දෙනෙකු හඳුනාගෙන තිබේ. ඒ අතර භික්ෂූන්වහන්සේලා හයනමක් ද වෙති.

දැනට සැකකරුවන් ලෙස හඳුනාගෙන ඇති පුද්ගලයන් වන්නේ ප්‍රේමසිරි කළුආරච්චි, එස්. එච්. උචිත නිශාන් ධම්මික, ඩබ්ලිව්. එම්. බී. සමන්ත උදය විජේමාන්න, වරුණ ලංකා කන්නංගර විජේසිංහ, අමරදේව මල්වත්ත, ඩිෂාන් වික්‍රමරත්න ගුණසේකර, පළිහපිටිය ගමගේ ජයලත්, සුනෙත් චතුරංග වීරසිංහ, සංඛ විරාජ් නවරත්න, රොමේෂ් මාලක දීපාල් කළුආරච්චි, භාරත දේශප්‍රිය අමරතුංග, ඩබ්ලිව්. ජී. එච්. දීප්ති කුමාර, ඉරුගල් බණ්ඩාරගේ කමල් කිත්සිරි, ප්‍රදීප් සංජය මියනපලාව, අජිත් සිසිර කුමාර ගාල්ලගේ, ඩබ්ලිව්. එම්. බී. සමන්ත උදය විජේමාන්න, බුද්ධික දේශප්‍රිය නිරිහැල්ල, හසන්ති චම්පිකා සමරසේකර කරුණාරත්න, එන්. ජී. රාජපක්ෂ, උපුල් දිසානායක, නෙවිල් වන්නිආරච්චි, කිත්සිරි කහටපිටිය, සී. ඩබ්ලිව්. සනත් හපුආරච්චි, ඩබ්ලිව්. එම්. ඩී. පී. සඳමාලි විජේමාන්න, සමරප්පුලි හේවගේ නිරාජ් රොෂාන්, දේවාලේගම ධම්මසේන හිමි, තුෂාන් යශෝධ වෑකඩපොල, කමතෙගෙදර තිලකරත්න, හේවාවසම් ගමගේ සුනිල්, ගම්පහ ආරච්චිගේ රෝලන්ඩ්, පී. යූ. ඒ. විජයන්ති පෙරේරා, ජගත් පින්නගොඩ විතාන, උඩුවේ ධම්මාලෝක හිමි, ගලබඩ ඥානේස්සර හිමි, මහ දිසානායක බණ්ඩාරගේ චන්ද්‍රරත්න යටවර, හෙල්පාගොඩ ගමගේ තිලිණ සජෝත වින්සන්ට්, කොළොන්නාවේ සිරි සුමංගල හිමි, සචින් වාස් ගුණවර්ධන යන මහත්ම මහත්මීන් හා භික්ෂූන්වහන්සේලා ය.

මීට අමතර ව නීති විරෝධී අලි පැටවුන් සන්තකයේ තබා ගෙන සිටිය දී සැකකරුවන් බවට පත් වී ඇති නමුත් මේ වන විට මියගොස් ඇති පුද්ගලයින් ගණන 5 කි. ඒ අතර භික්ෂූන්වහන්සේලා දෙනමක් ද වේ. එනම් බ්‍රාහ්මනගම රතනසිරි හිමි, ධරණාගම කුසලධම්ම හිමි, සමරප්පුලි හේවගේ නන්දදාස, සිරිසේන අමරතුංග හා ඒකනායක මුදියන්සේලාගේ අසේල ඒකනායක ය.

නීති විරෝධීව අලි පැටවුන් සන්තකයේ තබා ගැනීම හා විකිණීමේ ජාවාරමට එක ම පවුලේ වැඩි ම පිරිසක් දායක වී ඇත්තේ සමරප්පුලි හේවගේ නිරාජ් රොෂාන් මහතාගේ පවුලේ අය ය. ඔහුගේ පියා වන දැනට ජීවතුන් අතර නොමැති සමරප්පුලි හේවගේ නන්දදාස, ඔහුගේ සොහොයුරා වන එස්. එච්. උචිත නිශාන් ධම්මික සහ ඔහුගේ මාමණ්ඩියකු වන පළිහපිටිය ගමගේ ජයලත් යන මහත්වරුන් අලි පැටවුන් නීති විරෝධීව සන්තකයේ තබා ගැනීම හේතුවෙන් මේ වන විට සැකකරුවන් ලෙස හඳුනාගෙන තිබේ. මොවුන් විසින් මහරගම, ශ්‍රී විපශ්‍යාරාම විහාරය (පුවක්පිටිය විහාරය) සහ කොළොන්නාවේ සිරි සුමංගල හිමි සම්බන්ධ කර ගෙන කැලයෙන් අල්ලා ගන්නා අලි පැටවුන් ලියාපදිංචි කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම හා අලි පැටවුන් විකිණීමේ ජාවාරම ක්‍රියාත්මක කිරීම සිදු කෙරින.

 

අධිකරණයෙන් නිදහස් කළ කැලයෙන් අල්ලාගත් අලි පැටවුන්

කැලයෙන් අල්ලාගෙන, කූට ලේඛන සකස් කර නීති විරෝධීව ලියාපදිංචි කර විවිධ පුද්ගලයන් භාරයේ සිටිය දී අවස්ථා කිහිපයක දී අත් අඩංගුවට ගත් අලි පැටවුන් 16 දෙනෙකු මහේස්ත්‍රාත් අධිකරණ තුනක නියෝග මත නිදහස් කර තිබේ. එසේ නිදහස් කළ එක් සතෙකු පමණක් පසුව ලබා දුන් අධිකරණ නියෝග මත උඩවලව අලි රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා සිටී. ඉතිරි සතුන් පසළොස්දෙනා ම නීති විරෝධී භාරකරුවන් සතු කර ඇත.

කැලයෙන් අල්ලා ගෙන, කූට ලේඛන සකස් කර නීති විරෝධීව ලියාපදිංචි කළ, මතුගම, ජගත් පින්නගොඩ විතාන මහතා භාරයේ සිටින සංජු නම් අලි පැටවා පළමු ව හෝමාගම දී අත් අඩංගුවට ගෙන නිදහස් කර ඇති අතර නැවත දඹුල්ලේ දී වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත යොමු කර ඇති අතර අධිකරණ නියෝග මත නැවත භාරකරු වෙත ලබා දී තිබේ. අලි - ඇතුන් ලියාපදිංචිය හා සම්බන්ධ දූෂණ හා අක්‍රමිකතා සොයා බැලීමට පත් කළ විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නිමල් එඩ්වඩ් දිසානායක මහතාගේ 2016 මැයි මස 25 වන දින දරන විමර්ෂණ කමිටු වාර්තාවේ මෙම අලි පැටවා ලියාපදිංචි කිරීම සඳහා කූට ලේඛන භාවිතා කර ඇති බවට තහවුරු කර ඇත.

කොටුව, ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නීති විරෝධීව රඳවාගෙන සිටි අලි පැටවුන් සම්බන්ධයෙන් විමර්ෂණය කෙරෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පවත්වාගෙන යන බී23073/01/15 දරන විමර්ෂණ නඩුවට අනුව 2021 සැප්තැම්බර් 6 වන දින නීතිපති දෙපාර්තමේන්තුවේ හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කරුණු ඉදිරිපත් කිරීම මත අලි පැටවුන් 14 ක් නීති විරෝධී  භාරකරුවන් වෙත ලබා දීමට නියෝග නිකුත් කෙරින.

එම නියෝගය මත 2014 ජූලි මස 22 වන දින හා 2014 ඔක්තොම්බර් 17 වන දින දරන විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් සිදු කරන ලද නීති විරෝධීව රඳවා සිටි අලි පැටවුන් සම්බන්ධ විගණන විමසුම් වාර්තාවලට අනුව කැලයෙන් අල්ලා ගෙන, කූට ලේඛන සකස් කර නීති විරෝධීව ලියාපදිංචි කළ බවට නිගමනය කර ඇති සතුන් සත්දෙනෙකු නිදහස් කිරීම සිදු කර ඇත. එනම් මීගොඩ, භාරත දේශප්‍රිය අමරතුංග භාරයේ සිටි චූටි මැණිකේ ඇතින්න, බියගම, ඩබ්ලිව්. ඩී. එච්. දීප්ති කුමාර භාරයේ සිටි සුරනි ඇතින්න, කොට්ටාව, ඉරුගල් බණ්ඩාරගේ කමල් කිත්සිරි භාරයේ සිටි පංචාලි ඇතින්න, කොළඹ, ශ්‍රී සම්බෝධි විහාරයේ රඳවා සිටි අලි දෙදෙනා, හෝකන්දර, අජිත් සිසිර කුමාර ගාල්ලගේ භාරයේ සිටි දිනුක නම් අලියා සහ ඕපාත, හසන්ති චම්පිකා සමරසේකර කරුණාරත්න භාරයේ සිටි හිරුණි ඇතින්න නැවත නීති විරෝධී භාරකරුවන්ට ලබා දීම සිදු කර ඇත.

නිමල් එඩ්වඩ් දිසානායක කමිටු වාර්තාවට අනුව නීති විරෝධී ලේඛන භාවිතා කර ලියාපදිංචි කර ඇති බවට නිගමනය කර ඇති සතුන් 13 ක් මෙලෙස නිදහස් කිරීම සිදු කර තිබේ. එම සතුන් දහතුන්දෙනා අතර විගණකාධිපති දෙපාර්තමේන්තුවේ විගණන විමසුම් වාර්තාවලට ලක් කළ සතුන් හත්දෙනා ද ඇතුළත් වේ. ඒ අනුව නිමල් එඩ්වඩ් දිසානායක කමිටු වාර්තාවෙන්, කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් නිදහස් කිරීමට නියෝග කළ තවත් සතුන් හයක් නීති විරෝධීව ලියාපදිංචි කළ සතුන් බවට නිගමනය කර තිබී ඇත. එම සතුන් නම් මාතර, ඩිෂාන් වික්‍රමරත්න ගුණසේකර භාරයේ සිටි බවට සඳහන් භාණු අලියා, හොරණ, වරුණ ලංකා විජේසිංහ කන්නංගර භාරයේ සිටි සීදේවි ඇතින්න, පන්නිපිටිය, සමරප්පුලි හේවාගේ නිරාජ් රොෂාන් භාරයේ සිටි සුද්ධි නම් ඇතින්න, අමිතිරිගල, ඩබ්ලිව්. එම්. බී. සමන්ත උදය විජේමාන්න භාරයේ සිටි අලියා, මාවෙල, බුද්ධික දේශප්‍රිය නිරිහැල්ල භාරයේ සිටි සුදු මැණිකේ නම් ඇතින්න සහ අලව්ව, සුනෙත් චතුරංග වීරසිංහ භාරයේ සිටි සුජීවා නම් ඇතින්න නැවත ලබා දීමට නියෝග කර තිබුණි. නමුත් උඩවලව අලි රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා සිටින සුජීවා නම් ඇතින්නට පැටවකු ලැබී ඇති බැවින් අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීම මත එම ඇතින්න හා පැටවා නීති විරෝධී භාරකරුවන් වෙත නැවත ලබා දීම අත්හිටුවා ඇති නමුත් ඉතිරි සතුන් සියල්ල ම නීති විරෝධී භාරකරුවන්ට ලබා දීම අවසන් කර තිබේ.

මීට අමතර ව 2021 සැප්තැම්බර් මස 6 වන දින කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග මත එන්. ජී. රාජපක්ෂ මහතාට අයත් ත්‍රිකුණාමලය ප්‍රදේශයෙන් අල්ලා ගෙන ලියාපදිංචි කර නොමැති ව රඳවා සිටි 2015 ජනවාරි මස 31 වන දින පින්නවල අලි අනාථාගාරයට භාර දී තිබූ චාරිකා නම් ඇතින්න ද නැවත නීති විරෝධී භාරකරුට නිදහස් කිරීමට නියෝග කර ඇත. නමුත් එන්. ජී. රාජපක්ෂ මහතා වෙනුවෙන් මේ ඇතින්න භාර ගෙන ඇත්තේ රත්නපුර, පැල්මඩුල්ලේ චානක ජයසේකර මහතා විසිනි. දෙනියායේ විහාරස්ථානයකට රැගෙන ගොස් ඇති මෙම ඇතින්න තුසිත රණවක මහතා භාරයේ සිටින බවට මේ වන විට තොරතුරු ලැබී තිබේ.

2021 සැප්තැම්බර් 6 වන දින මාතලේ මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වූ බී941/14 දරන විමර්ෂණයට අනුව කැලයෙන් අල්ලා ගෙන නීති විරෝධීව රඳවා ගෙන සිටි උකුවෙල, කමතේගෙදර තිලකරත්න මහතා භාරයේ සිටිය දී අත් අඩංගුවට ගත් මිහිල නම් අලියා ව ද අධිකරණයෙන් සිදු කළ ඉල්ලීමකට අනුව නිදහස් කිරීමට නියෝග කෙරින. ඒ අනුව එම සතා ද නීති විරෝධී භාරකරු වෙත නිදහස් කර තිබේ.

 

නීතිපති හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නීති විරෝධීව අධිකරණයට කරුණු සැඟවීම

2021 සැප්තැම්බර් මස 6 වන දින නීති විරෝධීව රදවාගෙන සිටිය දී අත් අඩංගුවට ගත් අලි පැටවුන් නිදහස් කිරීමට අදාළ ඉල්ලීම අධිකරණය වෙත ඉදිරිපත් කිරීමේ දී නීතිපති දෙපාර්තමේන්තුවේ හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයට කරුණු සැඟවීම සිදු කර තිබේ. විගණකාධිපති දෙපාර්තමේන්තුවේ විගණන විමසුම් වාර්තා දෙකක් මගින් හා විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නිමල් එඩ්වඩ් දිසානායක කමිටු වාර්තාවට අනුව කූට ලේඛන භාවිතා කර නීති විරෝධීව ලියාපදිංචි කර ඇති, කැලයෙන් අල්ලා ගත් අලි පැටවුන් බවට නිගමනය කර ඇති සතුන් හා වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනතට අනුව පොදු දේපලක් ලෙස සැලකෙන අලි - ඇතුන් නැවත වරක් නීති විරෝධී සන්තකය දැරූ පුද්ගලයන්ට භාර දිය නොහැකි බවට කරුණු ඉදිරිපත් කර නොමැත.

1944 වසරේ නීතිපතිට එදිරිව පනිකම් නඩුවේ තීන්දුවට අනුව බලපත්‍ර නොමැතිව අල්ලා ගත් අලියකු රජය සතු දේපලක් වන අතර එම සතා ව රඳවාගෙන සිටි පුද්ගලයාට නැවත ලබා දීමට අධිකරණයට බලයක් නොමැති බව දක්වා තිබේ. නමුත් මෙම කරුණු කිසිවක් නීතිපති දෙපාර්තමේන්තුවෙන් අධිකරණය වෙත ඉදිරිපත් කර නොමැත.

දණ්ඩ නීති සංග්‍රහයේ දහ අට වන පරිච්ඡේදයේ 452 වන වගන්තියට අනුව වංචාවක් කිරීමේ අදහසින් අයතා ලේඛන සකස් කිරීම කූට ලේඛන සැකැසීම ලෙස හැඳින්වේ. මෙම අලි පැටවුන් ලියාපදිංචි කිරීම සඳහා මෙලෙස සකස් කළ කූට ලේඛන භාවිතා කර ඇති බවට වාර්තා තුනකින් තහවුරු කර ඇත. මේ තොරතුරු නීතිපති හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් දැනගෙන සිටිය ද ඒ පිළිබඳ ව තොරතුරු සඟවා කරුණු ඉදිරිපත් කිරීම දණ්ඩ නීති සංග්‍රහයේ එකොළොස්වන පරිච්ඡේදය යටතේ බොරු සාක්ෂි දීම හා මහජන යුක්ති ධර්මයට විරුද්ධ වැරදි කොටසේ 189 වන වගන්තියට අනුව අසත්‍ය ප්‍රකාශ අධිකරණමය නීති කාර්යයක දී සාක්ෂි වශයෙන් ඉදිරිපත් කර තිබේ. වැරදි අදහසක් ඇති කරවාලිය හැකි ආකාරයෙන් අදහස් ඉදිරිපත් කිරීම ද සිදු කර ඇත. පනතේ 190 වන වගන්තියට අනුව මෙවැනි අසත්‍ය ප්‍රකාශ අධිකරණය වෙත ඉදිරිපත් කිරීම වසර 7 ක් දක්වා බන්ධනාගාර ගත කිරීමකට හා දඩයකට යටත් කළ හැකි වරදකි.

එපමණක් නොව දණ්ඩ නීති සංග්‍රහයේ දහ හතර වැනි පරිච්ඡේදයේ සඳහන් සදාචාරය පිළිබඳ වැරදි කොටසේ 289 වන වගන්තියට අනුව ව්‍යවස්ථාපිත යුතුකමක් ඕනෑවට ම නොකර හැරීම, යම් පනතකින් හෝ ආඥාපනතකින් සඳහන් නීතියකින් තමා වෙත පැවරුණු යම් යුතුකමක් ඕනෑවට ම නොකර හරින අවස්ථාවක දී දඩුවම් කළ හැකි ය.

මේ අනුව නීතිපති හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් සිදු කර ඇත්තේ නීතියේ ආධිපත්‍යය බිඳ දැමීම හා අධිකරණය හෑල්ලුවට ලක් කිරීමකි. බී23073/01/15 අංක දරන විමර්ෂණ නඩුව 2021 සැප්තැම්බර් මස 23 වන දින කැඳවූ අවස්ථාවේ දී නීතිපති වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ඩිලාන් රත්නායක විසින් උඩවලව අලි රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා සිටින සුජීවා ඇතින්න හා පැටවා නීති විරෝධී භාරකරුට ලබා දීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටි අවස්ථාවේ දී ඉදිරිපත් කළ කරුණු සැලැකිල්ලට ගෙන කොටුව, ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයාගෙන් විමසා ඇත්තේ ඔබ පෙනී සිටින්නේ නීතිපති වෙනුවෙන් ද නැතහොත් අලි භාරකරුවන් වෙනුවෙන් ද බව ය. ඒ අනුව මහේස්ත්‍රාත්වරයාට පවා නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ජාවාරම්කරුවන් වෙනුවෙන් පෙනී සිටින බවට අවධාරණය වී ඇත. මේ මගින් නීතිපති දෙපාර්තමේන්තුව කෙරෙහි ජනතාවට ඇති විශ්වාසය සම්පූර්ණයෙන් ම බිඳ වැටෙමින් පවතී.

 

ලේකම් පාලිත ප්රනාන්දු අලි ජාවාරමට හවුල් වීම

පසුගිය වසර 20 ක කාලය තුළ නිරාජ් රොෂාන් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණු අලි පැටවුන් ජාවාරම සඳහා විශාල පිරිසකගේ සහයෝගය ලැබී තිබේ. දේශපාලඥයන්, නීතිවේදීන්, මහේස්ත්‍රාත්වරුන්, පශුවෛද්‍යවරුන්, වනජීවී නිලධාරීන් ඇතුළු විශාල පිරිසකගේ සහයෝගය මත මෙම ජාවාරම අඛණ්ඩව සිදු කෙරින. අද වන විට මෙම ජාවාරම සඳහා නීතිපති වරයාගේ සහයෝගයට අමතර ව වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යංශයේ ලේකම්, විශ්‍රාමික මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු මහතාගේ සහයෝගය ද ලැබෙමින් පවතී. අලි පැටවුන් ජාවාරම්කරුවන්ට සහයෝගය ලබා දීමට නීති විරෝධීව කැලයෙන් අල්ලාගත් අලි - ඇතුන් ලියාපදිංචි කිරීම සඳහා මෙන් ම අලි - ඇතුන් සෆාරි සංචාරක කර්මාන්තය සඳහා යෙදවිය හැකි වන පරිදි නියෝග ඇතුළත් 2021 අගෝස්තු මස 19 වන දින අංක 2241/41 දරන ගැසට් නිවේදනය වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනත උල්ලංඝනය කරමින් ප්‍රකාශයට පත් කිරීමේ පුරෝගාමී පුද්ගලයා ලෙස කටයුතු කළේ ද පාලිත ප්‍රනාන්දු මහතා ය.

එපමණක් නොව නඩු භාණ්ඩ ලෙස රඳවා සිටින අලි පැටවුන් නිදහස් කිරීම සඳහා ලැබුණු අධිකරණ තීන්දුව පාදක කර ගෙන පින්නවල අලි අනාථාගාරයෙන් හා උඩවලව ඇත් අතුරු සෙවණින් අලි පැටවුන් නීත්‍යනුකූල නොවන ක්‍රමවේද යටතේ නිදහස් කිරීමට අවශ්‍ය සියලු කටයුතු සම්බන්ධීකරණය හා නිලධාරීන්ට බලපෑම් එල්ල කිරීම ඇතුළු සියල්ල සිදු කරනු ලැබූවේ අමාත්‍යංශයේ ලේකම් පාලිත ප්‍රනාන්දු මහතා ය. වනජීවීන්ගේ රැකවරණය වෙනුවෙන් නොව ජාවාරම්කරුවන්ගේ පැවැත්ම වෙනුවෙන් පෙනී සිටින මෙම පුද්ගලයන් ද ඉදිරියේ දී අධිකරණය ඉදිරියට පැමිණ විය යුතු ය. එසේ නොවුනහොත් සිදු වන්නේ වැරදි පූර්වාදර්ශ ලබා දීමට තව තවත් අවස්ථාව ලබා දීම තුළින් මෙරට වනජීවීන්ගේ රැකවරණය අහිමි කර දැමීමට ඉඩහසර විවර කිරීමකි.

 

කැලයෙන් අල්ලාගත් අලි පැටවුන් අධිකරණ නියෝග මත රඳවා තබා ඇති ආකාරය

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ෂණ මගින් අලි පැටවුන් 14 ක් හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ෂණ මගින් අලි පැටවුන් 25 ක් වශයෙන් අලි පැටවුන් 39 ක් අත් අඩංගුවට ගෙන තිබේ. එම සතුන් අතුරෙන් එක් සතෙක් උඩවලව ඇත් අතුරු සෙවණේ රඳවා සිටිය දී මිය ගියේ ය. ඉතිරි සතුන් තිස් අට දෙනා අධිකරණ නියෝග මත පින්නවල අලි අනාථාගාරයේ අලි පැටවුන් 19 ක්, උඩවලව ඇත් අතුරු සෙවණේ හා අලි රැඳවුම් මධ්‍යස්ථානයේ අලි පැටවුන් 18 ක් සහ රිදියගම, සෆාරි උද්‍යානයේ එක් පැටවකු වශයෙන් රඳවා තැබිණි.

කොටුව, ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ අංක බී23073/01/15 දරන හා මාතලේ මහේස්ත්‍රාත් අධිකරණයේ බී941/14 අංක දරන නඩුවලට අදාළ ව 2021 සැප්තැම්බර් 6 වන දින අධිකරණ නියෝගවලට අනුව අලි පැටවුන් 14 ක් මෙම ස්ථානවලින් නීති විරෝධී භාරකරුවන්ට නැවත භාර දී ඇති බැවින් මේ වන විට පින්නවල අලි අනාථාගාරයේ අලි 11 ක් සහ උඩවලව ඇත් අතුරු සෙවණේ හා අලි රැඳවුම් මධ්‍යස්ථානයේ අලි 13 ක් වශයෙන් නීති විරෝධීව කැලයෙන් අල්ලාගත් අලි පැටවුන් 24 ක්  රඳවා සිටී. ඉතිරි සතුන් දහ හතර දෙනා නීති විරෝධී භාරකරුවන් සන්තකයේ මේ වන විට රඳවා සිටී.

 

අලි පැටවුන්ට ස්වාභාවික පරිසරයේ ජීවත් වීමට ඇති අයිතිය සුරක්ෂිත කළ යුතු

අත් අඩංගුවට ගන්නා කාල සීමාවේ දී අලි පැටවුන් ලෙස හැදින් වූ මෙම සතුන් අද වන විට තරුණ අවධියේ පසු වේ. කැලයෙන් අල්ලාගත් අවස්ථාවේ සිට ම මෙම සතුන්ට ස්වාභාවික පරිසරයේ ජීවත් වීමට ඇති අයිතිය අහිමි කර ඇත. අලි - ඇතුන් නඩු භාණ්ඩ ලෙස විවිධ ස්ථානවල රඳවා තැබීමෙන් සිදු වන්නේ එම සතුන්ට ස්වාභාවික පරිසරය තුළ සිදු කළ සියලු කාර්යයන් අහිමි කිරීම ය. මෙම සතුන් පොදු දේපලක් වන නිසා හා එම සතුන්ට පරම අයිතියක් කිසිදු පුද්ගලයකුට නොමැති නිසා එම සතුන් නඩු භාණ්ඩ ලෙස රඳවා තැබීම වෙනුවට ස්වාභාවික පරිසරයට මුදා හැරිය යුතු ය.

අලි පැටවුන් ජාවාරමේ නිරත කණ්ඩායම් සිදු කළ හානියට ම සමාන හානියක් එම සතුන් නඩු භාණ්ඩ ලෙස ස්වාභාවික පරිසරයෙන් පරිභාහිරව රඳවා තැබීමෙන් සිදු කර ඇත. මේ තත්ත්වය වහා ම වෙනස් කළ යුතු ය. අජීවී නඩු භාණ්ඩයක් රඳවා තබන ආකාරයට ම ජීවී සතෙකු නඩු භාණ්ඩයක් ලෙස රඳවා නොතැබිය යුතු ය. ඕනෑ ම ජීවියකු ස්වාභාවික පරිසරය තුළ සිදු කරන ප්‍රධාන කාර්යයන් දෙකකි. එනම් උපරිම ආයු කාලයක් ජීවත් වීමට උත්සාහ කිරීම හා එම කාලය තුළ උපරිම ප්‍රමාණයක් තම වර්ගයා බිහි කිරීමට උත්සාහ කිරීම ය. එය ඕනෑ ම ජීවියෙකුගේ කාර්යයභාරය වන අතර ඒ කාර්යය සිදු කරන අතර තුර ස්වාභාවික පරිසර පද්ධතියක පැවැත්මට බොහෝ මෙහෙයක් ඉටු වේ. එම කාර්යය සිදු කිරීමට ඇති අවස්ථාව ජාවාරම්කරුවන්ට අහිමි කළ නොහැකි ආකාරයෙන් ම නඩු භාණ්ඩ ලෙස අලි - ඇතුන් රඳවා තැබීමෙන් එම සතුන්ට අහිමි නොකළ යුතු ය. එම නිසා නඩු භාණ්ඩ ලෙස රඳවා ඇති සියලූ ම අලි පැටවුන් නැවත ස්වාභාවික පරිසරයට මුදා හැරීමේ ක්‍රමවත් වැඩපිළිවෙලක් සකස් කළ යුතු ව ඇත.

ඉන්දියාවේ දිල්ලි මහාධිකරණයේ විභාග වූ ගෘහාශ්‍රිත ව රඳවා සිටි අලියකු සම්බන්ධ සද්ධම් එදිරිව ඉන්දිය රජය නඩුවට අදාළ නඩු තීන්දුව 2020 වසරේ දී ලබා දෙමින් විනිසුරුවන් සඳහන් කරන්නේ සතෙකුට තම අදහස් ප්‍රකාශ කිරීමට නොහැකි වන හෙයින් සතුන්ගේ අයිතිවාසිකම් රැක ගැනීම සඳහා අධිකරණයට යුතුකමක් ඇති බවයි. අලියෙකුට ප්‍රමාණවත් තරම් ජලය හා තෘණ භූමි අවශ්‍ය බව අධිකරණය පිළිගන්නා බැවින් ඒ සඳහා හොඳම ස්ථානය ස්වාභාවික වාසස්ථානය බව නඩු තීන්දුවේ සඳහන් වේ. එපමණක් නොව අලියාට හස්තිපාලක (ඇත්ගොව්වා) නොමැතිව ජීවත් විය නොහැකි බව තහවුරු කිරීමට ලේඛන සාක්ෂි නොමැති අතර හස්තිපාලකට හිමිකාරිත්වය තහවුරු කිරීමට ලේඛන සාක්ෂි තිබුණ ද අලියකුගේ අයිතිවාසිකම් හා අවශ්‍යතාවලට හොඳම පරිසරය වනාන්තරය බව එම නඩු තීන්දුවේ වැඩිදුරටත් විග්‍රහ කර තිබේ. තව ද අලියාගේ අයිතීන් සහ ඇත්ගොව්වාගේ අයිතීන් අතර ගැටුමක් ඇති වුවහොත් අලියාගේ අයිතීන් සඳහා ප්‍රමුඛතාවය ලබා දීමට සිදු වන බව ද අධිකරණයේ අදහස බව එම නඩු තීන්දුවේ සඳහන් වේ.

මීට අමතර ව ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වූ ඉන්දියානු සත්ත්ව සුභසාධන මණ්ඩලය එදිරිව නාගරාජා නඩුවේ ගවයින් භාවිත කර සිදු කරන සාම්ප්‍රදායික ජල්ලිකුට්ටු ක්‍රිඩාවට අදාළ තීන්දුව 2014 වසරේ දී ලබා දෙමින් විනිසුරුවන් සඳහන් කරන්නේ රජය අනාථ දරුවන්ගේ භාරකාරත්වය දරන ආකාරයට ම සතුන්ට ද එම භාරකාරත්වය ලබා දිය යුතු බව ය.

මේ අනුව වනාන්තරයෙන් අල්ලා රඳවාගෙන සිටින අලි - ඇතුන් තිස්අට දෙනා ම නැවත ස්වාභාවික පරිසරයට මුදා හැරිය යුතු ය. විවිධ නම් වලින් හඳුන්වමින් රඳවාගෙන සිටින පොඩි කදිරා, සාලිය, සුමනා, සීවලී, භාණු, සහයෝග, සීදේවි, සුජීවා, සුද්දි, චූටි මැණිකේ, සුරනි, පංචාලි, වස්තු, සඳලි, පාරමී, සමාධි, සුදු මැණිකේ, සකුරා හෙවත් චූටි මහත්තයා, හාමු, දිල්කි, සන්දුල, සිගිති, දිනුක, හිරුණි, චාරිකා, මිහිල, දෙව්මිණී, සංජු, ගංගා, මිහින් රාජා සහ රෝහණ රාජා හෙවත් අභය රාජා ඇතුළු අනෙක් සියලූ ම අලි පැටවුන් නැවත වනයට මුදා හැරීමට කටයුතු කළ යුතු ය. ඒ සඳහා ක්‍රමවත් වැඩපිළිවෙලක් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මැදිහත්වීමෙන් සකස් කළ යුතු ය. එම සතුන් තවදුරටත් පින්නවල අලි අනාථාගාරයේ රඳවා සිටීමෙන් සිදු වන්නේ පෞද්ගලික භාරකරුවන් සන්තකයේ සිටිය දී සිදු වන අනර්ථය ම ය.

අලි පැටවුන් ජාවාරමෙන් සිදු වන නීති උල්ලංඝනය කිරීම

වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනතේ 20 වන වගන්තියට අනුව අලි - ඇතුන් අල්ලා ගැනීම හෝ ඒ සඳහා උපක්‍රම භාවිත කිරීම තහනම් වේ. එවන් ක්‍රියාවකට වරදකරුවකු වන පුද්ගලයකු මහේස්ත්‍රාත් අධිකරණයකින් වරදකරුවකු කරනු ලැබූ විට රුපියල් ලක්ෂ එකහමාරත් ලක්ෂ පහත් අතර දඩයකට හෝ වසර 2 ත් 5 ත් අතර සිරදඩුවමකට හෝ මෙම දඩුවම් දෙකට ම යටත් කළ හැකි ය. එපමණක් නොව එම අලියා හෝ ඇතා යම් නිලධාරියකුගේ සන්තකයට හෝ ආරක්ෂාවට භාර දීමට අධිකරණයට හැකියාව ඇත.

අලි - ඇතුන් සම්බන්ධයෙන් සිදු කරන යම් වරදක් ඇපදිය නොහැකි වරදක් විය යුතු අතර එවැනි වරදක් සම්බන්ධයෙන් 1997 අංක 30 දරන ඇප පනතේ විධිවිධානවලට සහ 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය පනතේ විධිවිධානවලට අදාළ විය යුතු ය.

වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනතේ 22අ වගන්තියට අනුව හීලෑ අලි - ඇතුන් නියමිත පරිදි වාර්ෂික ව ලියාපදිංචි කළ යුතු ය. ලියාපදිංචි නොකළ සතුන් සන්තකයේ තබා ගැනීම වරදකි. එවන් වරදකට මහේස්ත්‍රාත් අධිකරණයක් ඉදිරියේ වරදකරුවකු වන පුද්ගලයකු රුපියල් ලක්ෂයත් ලක්ෂ දෙකත් අතර දඩයකට හෝ වසර 2 ත් 5 ත් අතර බන්ධනාගාර ගත කිරීමකට හෝ මේ දඩුවම් දෙකට ම යටත් කළ හැකි ය. ලියාපදිංචි කර නොමැති අලි - ඇතුන් නීති විරෝධීව අල්ලා ගත් සතුන් ලෙස අනුමාන කළ යුතු අතර පොදු දේපලක් ලෙස සලකණු ලැබේ. ඒ අනුව 1982 අංක 22 දරන පොදු දේපල පනතේ විධිවිධානවලට අනුව කටයුතු කළ යුතු ය. පනතේ 23(1) වගන්තියට අනුව නීති විරෝධීව අලි - ඇතුන් සන්තකයේ තබා ගෙන සිටින පුද්ගලයන් වරදකරුවකු වේ. ඒ සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් අධිකරණයක් ඉදිරියේ වරදකරුවකු කරනු ලැබූ විට රුපියල් ලක්ෂයත් ලක්ෂ දෙකත් අතර දඩයකට හෝ වසර දහයත් විස්සත් අතර බන්ධනාගාර ගත කිරීමකට හෝ මේ දඩුවම් දෙකට ම යටත් කළ හැකි ය.

මෙම පනතේ 59 වන වගන්තියට අනුව යම් වරදක් සිදු කිරීමට ආදාර අනුබල ලබා දෙන තැනැත්තෙකු ද එම වරද ම කරනු ලබයි. පනතේ 67ආ1 උප වගන්තියට අනුව අලි - ඇතුන් සම්බන්ධ සියලු වැරදි සංඥ්ය වැරදි වේ. ඒ අනුව වරෙන්තුවක් නොමැතිව අත් අඩංගුවට ගත හැකි අතර පනතේ 67ඈ1 උප වගන්තියට අනුව සංඥේය වැරදි සඳහා අපරාධ නඩු විධාන සංග්‍රහය පනතේ විධිවිධාන ක්‍රියාවේ යෙදවිය යුතු වේ.  

 

අලි පැටවුන් කැලයෙන් අල්ලාගත් බව සනාථ කිරීම

නීති විරෝධීව කැලයෙන් අල්ලාගත් අලි පැටවුන් කූට ලේඛන සකස් කර නීති විරෝධීව ලියාපදිංචි කිරීමේ දී මිය ගිය සතුන්ට දාව උපන් පැටවුන් බව සඳහන් කරමින් මෙම සතුන් ගෘහාශ්‍රිත ඇතින්නියන්ට දාව උපන් පැටවුන් බව සනාථ කිරීමට අලි පැටවුන් ජාවාරමේ නිරත පිරිස විශාල උත්සාහයක් ගනිමින් සිටී. අපගේ අධ්‍යයනවලට අනුව තහවුරු වී ඇත්තේ කැලයෙන් අල්ලා ගෙන ගෘහාශ්‍රිත කර ඇති බවට හඳුනාගෙන දැනට අත් අඩංගුවට ගෙන ඇති අලි පැටවුන් සියල්ල ම 2000 වසරෙන් පසුව ඉපදුණු සතුන් බව ය. එසේ නම් ගෘහාශ්‍රිත අලි - ඇතුන් විශාල ප්‍රමාණයකට දාව මෙම සතුන් ඉපදීම සිදු විය යුතු ය.

ඇතින්නියක් මාස 22 ක් පමණ වන ගැබ් කාලයක් ගත කර පැටවුන් බිහි කරන අතර 2000 වසරේ සිට 2015 වසර දක්වා කාලය තුළ අලි පැටවුන් මෙතරම් ප්‍රමාණයක් ලියාපදිංචි කිරීමට නම් මෙම කාලය තුළ ජීවත් ව සිටි සියලූ ම ගෘහාශ්‍රිත ගැහැනු සතුන්ට පැටවුන් බිහි විය යුතු ය. නමුත් එම කාලය තුළ කිසිදු ඇතින්නියකගේ ගැබ් ගැනීමක් පිළිබඳ ව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වාර්තාවල සඳහන් වී නොමැත.

අලි පැටවුන් ජාවාරමේ නිරත පුද්ගලයන් සඳහන් කරන ආකාරයට පැටවුන් බිහි කළ සියලූ ම මව් පිය සතුන් මිය ගොස් ඇත. එම සතුන් ජීවත් ව සිටියේ නම් රුධිර සාම්පල් මගින් ඩී.එන්.ඒ. පරීක්ෂාවක් සිදු කර එම සතුන්ගේ මව් පිය සතුන් නිවැරදි ව හඳුනා ගත හැකි ව තිබුණි.

අපගේ අධ්‍යයනවලට අනුව තහවුරු වී ඇත්තේ 2000 වසරෙන් පසුව මිය ගිය අලි - ඇතුන් ප්‍රමාණය 22 ක් පමණ වන බව ය. (නමුත් සමහර වාර්තාවල මෙම අගය මීට වඩා ඉතා ඉහළ අගයක් ගන්නා බව සඳහන් වේ.) ඒ අතුරෙන් දහසය දෙනෙක් පිරිමි සතුන් වන අතර හතර දෙනෙකු ගැහැනු සතුන් වේ. එම ගැහැනු සතුන් ද වයස අවුරුදු 65 ත් 75 ත් අතර වයස් සීමාවල දී මිය ගිය සතුන් වේ. එසේ මිය ගිය සතුන් නම් අතුල, චන්ද්‍රෘ, සෙල්ලරාජා, ලංකා, දිවුලා, සිංහරාජා, අභය, කපිල, නවම් රාජා, වාසනා, සමන් රාජා, හේමන්ත, කණ්ඩුල, ටිකිරි, අප්පුහාමි පැටියා, රන් අම්මා, මැණිකේ, රාජා, මැණිකා යන නම් වලින් හැඳින් වූ අලි - ඇතුන් හා ඇතින්නියන් ය.

ඒ අනුව 2000 වසරෙන් පසුව අලි පැටවුන් 51 ක් පමණ ගෘහාශ්‍රිත සතුන්ට දාව ඉපදුණු බවට තහවුරු කළ හැකි සාක්ෂි නොමැත. මෙතරම් අලි පැටවුන් ප්‍රමාණයක් ඉපදීමට තරුණ වයසේ පසුවන ඇතින්නියන් විශාල ප්‍රමාණයක් වර්ෂ 2000 ත් 2015 ත් අතර කාලය තුළ ජීවත් ව සිට මිය යාම සිදු වී තිබිය යුතු ය. නමුත් එතරම් විශාල ප්‍රමාණයක් තරුණ වයසේ පසු වූ ගැහැනු සතුන් මිය ගිය බවට වාර්තා නොමැත. වර්ෂ 2000 ත් 2015 ත් අතර කාල සීමා ව තුළ මෙතරම් ප්‍රමාණයක් තරුණ වයසේ පසු වූ ඇතින්නියන් මිය යාමට ලක් වී ඇත්නම් ඒ පිළිබඳ ව විශේෂ පරීක්ෂණයක් සිදු කළ යුතු අතර ඒ මත පදනම් ව ගෘහාශ්‍රිත ව ඇලි - ඇතුන් රඳවා තබා ගැනීම පිළිබඳ ව ප්‍රතිපත්තිමය තීරණයක් ගත යුතු ය. මේ සියලු තත්ත්වයන්ට අනුව මේ වන විට කූට ලේඛන භාවිත කර ලියාපදිංචි කර ඇති අලි පැටවුන් ගෘහාශ්‍රිත අලි - ඇතුන්ට දාව ඉපදුණු බවට සඳහන් කරන ප්‍රකාශ සියල්ල සම්පූර්ණයෙන් ම අසත්‍ය බව තහවුරු වේ.

ගෘහාශ්රිත සතුන්ට දාව ඉපදුණු බවට සාධක ඇති අලි පැටවුන්

මෙතෙක් ඉතිහාසයේ ගෘහාශ්‍රිත අලි - ඇතුන් හා ඇතින්නියන් යොදා ගෙන පැටවුන් බිහි කර ඇත්තේ අවස්ථා තුනක දී පමණි. එනම් කෑගල්ල, රන්දෙනියේ ජීවත් වූ නැසීගිය සෑම් සමරසිංහ මහතාගේ මැදිහත්වීමෙන් ගාමිණී ෆොන්සේකා මහතාට අයත් ව සිටි ලක්ෂ්මි නම් ඇතින්න හා කිවුල්පනේ රන්බණ්ඩා මහතාට අයත් ව සිටි කණ්ඩුල නම් අලියා යෙදා ගෙන සිදු කළ බෝකිරීමේ ක්‍රියාවලියෙන් ජූජා නම් ඇතිනි පැටවකු බිහි කර තිබේ. එම පැටවා ඉපදී ඇත්තේ 1986 අගෝස්තු මස 05 වන දින ය. දැනට වයස අවුරුදු 35 ක් පමණ වන මෙම ඇතින්න සෑම් සමරසිංහ මහතාගේ පුතනුවන් වන සංජිත් සමරසිංහ මහතා භාරයේ සිටී.

කොට්ටාවේ පදිංචිව සිට නැසීගිය ජේ. පී. අයි. පියදාස මහතාගේ මැදිහත්වීම මත හීලෑ අලි - ඇතුන් යොදා ගෙන අලි පැටවුන් දෙදෙනෙකු බෝ කර තිබේ. කුමාරි නම් ඇතින්න හා පස්ගම රජ මහ විහාරයට අයත් කදිරා නම් අලියා ව යොදා ගෙන 1989 වසරේ දී ජයතු නම් අලි පැටවා ව බිහි කර ඇත. එම සතා 1998 වසරේ දී හස්තිපාලකගේ නොසැලකිලිමත්කම හේතුවෙන් අරණායක දී හදිසි අනතුරකින් මිය ගොස් තිබේ. ඉන් පසුව පින්නවල සිටි නීලා නම් අලියා සහ කුමාරි නම් ඇතින්න යොදා ගෙන සිදු කළ බෝ කිරීම මඟින් 1992 ඔක්තොම්බර් 13 වන දින බණ්ඩාර නම් අලි පැටවා බිහි කර ඇත. පියදාස මහතාගේ පුතනුවන් වන ජේ. පී. අයි. කමල් කිත්සිරි මහතා භාරයේ සිටි මෙම අලියා මේ වන විට බණ්ඩාරගම ප්‍රදේශයේ හස්තිපාලකයකු භාරයේ සිටී. මෙම සතුන් තිදෙනා හැර වෙනත් කිසිදු අලි පැටවකු ගෘහාශ්‍රිත සතුන්ට දාව ඉපදුණු බවට කිසිදු පිළිගතහැකි වාර්තාවක් නොමැත.

ගෘහාශ්රිත අලි භාරකරුවන්ගේ අලි ඝාතන

ගෘහාශ්‍රිත ව රඳවා සිටින අලි - ඇතුන් සෆාරි සංචාරක කර්මාන්තය සඳහා යෙදවීම හා දැව ප්‍රවාහනය සඳහා යෙදවීම වැනි ක්‍රියාවල ප්‍රතිඵලයක් ලෙස ශාරීරික ව හා මානසික ව දුර්වල වන මෙම සතුන් කෙටි කාලයකින් මරණයට පත් වේ. විශේෂයෙන් හස්තිපාලකයන්ගේ කෲර ක්‍රියා නිසා හා නිසි පරිදි මෙම සතුන් පෝෂණය නොකිරීම නිසා ගෘහාශ්‍රිත බොහෝ අලි - ඇතුන් අකාලයේ මිය යාම සිදු වේ.

පසුගිය වසර 20 ක කාලය තුළ දී ගෘහාශ්‍රිත ව රඳවා සිටි අලි - ඇතුන් විශාල ප්‍රමාණයක් කෲර ලෙස ඝාතනය කර තිබේ. ඒ අතුරෙන් හුණුපිටිය, ගංගාරාම විහාරස්ථානයේ අලින් දෙදෙනෙකු හස්තිපාලකයන්ගේ නොසැලකිලිමත්කම නිසා මිය යාම සිදු විය. 2001 වසරේ දී අතුල නම් අලියා මිය ගියේ හස්තිපාලකගේ පහරදීම්වලට ලක් වීමෙනි. 2011 ජූලි මස 11 වන දින නවම් රාජා නම් හස්තියා මිය ගියේ විහාරමහා දේවි උද්‍යානයේ එක ම ස්ථානයේ දීර්ඝ කාලයක් ගැට ගසා රඳවා සිටීම හේතුවෙන් ඇති වූ ආතරයිටිස් නම් රෝගී තත්ත්වය හේතුවෙනි.

බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ සිටි චන්ද්‍රෘ නම් හස්තියා රත්නපුර සමන් දේවාලයට රැගෙන යාමෙන් පසුව එහි සිටි හස්තිපාලක විසින් මෙම සතාට දරුණු ලෙස පහර දීම නිසා 2000 නොවැම්බර් මස 6 වන දින මිය ගියේ ය.

වර්ෂ 1991 සැප්තැම්බර් මස 24 වන දින පින්නවල අලි අනාථාගාරයෙන් මාවනැල්ල, කෙරමිණිය විහාරස්ථානයට ලබා දුන් සෙල්ලරාජා නම් හස්තියා අකුණුසැර වැදීමෙන් 2013 මාර්තු මස 18 වන දින මිය ගියේ ය. මෙය වළක්වා ගත හැකි ව තිබූ තත්ත්වයකි. නමුත් නොසැලකිලිමත් ව රඳවා සිටීම නිසා මෙම සතාට එම ඉරණම අත් විය.

පින්නවල අලි අනාථාගාරයෙන් 1994 අප්‍රේල් මස 1 වන දින කෝට්ටේ රජමහා විහාරයට ලබා දුන් ලංකා නම් හස්තියා මිය ගියේ හස්තිපාලකගේ පහරදීම්වලට ලක් වීමෙනි. 1982 ජූලි මස 24 වන දින පින්නවල අලි අනාථාගාරයෙන් මෙම විහාරස්ථානයට ලබා දුන් දිවුලා නමින් හැඳින්වෙන හස්තියා 2010 සැප්තැම්බර් මස 9 වන දින මිය ගියේ මිනිසෙකු ඝාතනය කිරීම හේතුවෙන් හස්තිපාලක විසින් මෙම අලියාට ජලය පානය කිරීමට නොදීමෙන් ඇති වූ විජලන තත්ත්වය හේතුවෙනි. එපමණක් නොව 1996 ජනවාරි 30 වන දින පින්නවල අලි අනාථාගාරයෙන් මෙම විහාරස්ථානයට ලබා දුන් හේමන්ත නම් හස්තියා 2016 මාර්තු මස 16 වන දින මිය ගියේ හස්තිපාලකගේ හෙණ්ඩු පහරවලට ලක් වීමෙනි.

පින්නවල අලි අනාථාගාරයෙන් 2002 පෙබරවාරි මස 7 වන දින කොල්ලුපිටිය, ශ්‍රී ලංකා රාමඤ්ඤනිකායේ පොල්වත්ත විහාරස්ථානයට ලබා දුන් සිංහරාජ නම් හස්තියා මහින්ද ගලප්පත්ති මහතා විසින් ගිරිඋල්ල, උදාර වත්තේ රඳවා සිටිය දී 2004 අප්‍රේල් මස 12 වන දින විදුලිසැර වැදීමෙන් මිය ගියේ ය.

පින්නවල අලි අනාථාගාරයෙන් 1995 අගෝස්තු මස 5 වන දින දෙව්න්දර දේවාලයට ලබා දුන් අභය නම් හස්තියා අලව්ව, සුනෙත් වීරසේකර මහතා භාරයේ සිටිය දී දැව කොටන් ප්‍රවාහනයට යොදා ගන්නා අතරතුර ගෙලෙහි රඳවා තිබූ දම්වැලක් කැඩී ගෙලෙහි සිර වී උගුරුදණ්ඩට හානි සිදු වීමෙන් 2010 වසරේ දී මිය ගොස් තිබේ.

වර්ෂ 2003 ඔක්තොම්බර් මස 27 වන දින පින්නවල අලි අනාථාගාරයෙන් රාගම, වල්පොල, විමලරතනාරාම විහාරස්ථානයට ලබා දුන් කපිල නම් හස්තියා 2009 අගෝස්තු මස 28 වන දින මිය ගියේ මන්දපෝෂණය හේතුවෙනි.

උඩවලව ඇත් අතුරු සෙවණෙන් 2014 දෙසැම්බර් මස 4 වන දින කොස්හින්න රජමහ විහාරස්ථානයට ලබා දුන් අභය නම් හස්තියා 2020 ජුනි මස 13 වන දින මිය ගියේ හස්තිපාලකගේ පහරදීම් හේතුවෙන් දැඩි ශාරීරික හා මානසික ආතතියට ලක් වීමෙනි.

රත්නපුර, බී. බී. ජයසේකර මහතා භාරයේ සිටි වාසනා නම් හස්තියා හබරණ ප්‍රදේශයේ සංචාරකයන් පිට මත ගෙන යන සෆාරි සංචාරක කර්මාන්තය සඳහා යොදවා සිටිය දී හස්තිපාලකගේ පහරදීම් හේතුවෙන් දැඩි මානසික ආතතියට හා ශාරීරිකව පිරිහීමට ලක් ව සිටි මෙම සතා නැවත රත්නපුර ප්‍රදේශයට ලොරි රථයකින් ප්‍රවාහනය කිරීමෙන් පසුව මඳ වේලාවකින් මිය යාම සිදු විය.

පින්නවල අලි අනාථාගාරයෙන් 1990 ඔක්තෝම්බර් 21 වන දින තිස්සමහාරාම විහාරස්ථානයට ලබා දුන් සමන් රාජා හෙවත් තිස්ස සමන් නම් හස්තියා මෙම වසරේ දී මිය ගියේ හස්තිපාලක විසින් හෙන්ඩුවෙන් මෙම සතාගේ ශරීරයේ ස්ථාන 20 කට වැඩි ප්‍රමාණයක් දරුණු ලෙස තුවාල කර තිබීම හේතුවෙනි.

රන්දෙනිය, එලිෆන්ට් මිලේනියම් පදනමේ සිටි, ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමෙන්තුවෙන් මුතියංගන රජමහ විහාරස්ථානයට ලබා දී තිබූ කණ්ඩුල නම් හස්තියා මේ වසරේ දී මිය ගියේ හස්තිපාලක විසින් පොරවකින් හා පිහියකින් මෙම සතාට ඇන තුවාල සිදු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ය.

මේ ආකාරයෙන් කෲර ලෙස අලි - ඇතුන් ඝාතනය කරන අතරතුර තව තවත් අලි - ඇතුන් ගෘහාශ්‍රිත කර අලි විකිණීමේ ජාවාරම ද ක්‍රියාත්මක කිරීමට උත්සාහ දරමින් සිටී. මෙම උත්සාහයේ ප්‍රධාන අරමුණ සෆාරි සංචාරක කර්මාන්තය සඳහා අලි - ඇතුන් යෙදවීමෙන් මුදල් ඉපයීම ය. මෙය තවදුරටත් සිදු කිරීමට ඉඩ දිය යුතු නැත.

 

ගෘහාශ්රිත රඳවා සිටින අලි ඇතුන්ගේ ගහනය

මෙරට ගෘහාශ්‍රිත අලි ගහනය නිසි පරිදි රැක බලා නොගැනීම නිසා සීග්‍රයෙන් පිරිහීමට ලක් වී ඇති බව පැරණි දත්ත විශ්ලේෂණයෙන් පෙනී යයි. 1955 වසරේ පී. ඊ. පී. දැරණියගල මහතාගේ වාර්තාවලට අනුව ලංකාවේ ගෘහාශ්‍රිත අලි - ඇතුන් 670 ක් පමණ වාර්තා වී තිබේ. 1970 වසරේ ජයසිංහ සහ ජයිනුදීන්ගේ වාර්තාවලට අනුව ගෘහාශ්‍රිත අලි - ඇතුන් 532 ක් පමණ වාර්තා වී ඇත. 1982 වසරේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වාර්තාවලට අනුව ගෘහාශ්‍රිත අලි - ඇතුන් 344 ක් ද 1994 වසරේ ආචාර්ය චිඔන්ගේ වාර්තාවලට අනුව 316 ක් ද 1997 වසරේ ජයන්ත ජයවර්ධන හා එස්. රඹුක්පොතගේ වාර්තාවලට අනුව අලි - ඇතුන් 214 ක් ද 2002 වසරේ ජයන්ත ජයවර්ධනගේ වාර්තාවලට අනුව ගෘහාශ්‍රිත අලි - ඇතුන් 189 ක් ද වාර්තා වී තිබේ. 2013 වසරේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වාර්තාවලට අනුව මෙරට ගෘහාශ්‍රිත අලි - ඇතුන් ගහනය 205 ක් පමණ බව සඳහන් විය.

බුද්ධසාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා හා වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යවරයා විසින් ඒකාබද්ධව ඉදිරිපත් කළ 2021.03.12 වන දින දරන අමාත්‍ය මණ්ඩල සංදේශයට අනුව 2021 වසරේ දී ගෘහාශ්‍රිත අලි - ඇතුන් ගහනය 108 ක් දක්වා පහළ බැස ඇති බව සඳහන් වේ.

විවිධ පුද්ගලයන් භාරයේ ගෘහාශ්‍රිත ව රඳවා සිටින අලි - ඇතුන් නිසි පරිදි නඩත්තු නොකිරීම ඇතුළු බොහෝ හානි කර ක්‍රියාමාර්ග හේතුවෙන් සීග්‍රයෙන් එම ගහනය අඩු වෙමින් තිබේ. මේ නිසා ගෘහාශ්‍රිත අලි - ඇතුන් විවිධ පුද්ගලයන් භාරයේ තබා ගැනීම වෙනුවට සංස්කෘතික කටයුතු සඳහා යොදා ගැනීමට රජය භාරයේ නිවැරදි ව නඩත්තු වන අලි - ඇතුන් ගහනයක් පවත්වාගෙන යාම සුදුසු බව පෙනී යයි. ඒ මගින් සංස්කෘතික කටයුතු සඳහා යොදා ගැනීමට සිටින ගෘහාශ්‍රිත අලි - ඇතුන් ගහනය සීග්‍රයෙන් අඩු වීම පාලනය කර ගත හැකි වන අතර අලි - ඇතුන් ජාවාරම, අලි පැටවුන් කැලයෙන් අල්ලා ගැනීම හා අලි - ඇතුන් කෲර හිංසනයට ලක් කර ඝාතනය කිරීම වළක්වා ගත හැකි වනු ඇත. ඒ සඳහා ප්‍රතිපත්ති සකස් කිරීමට රජය පියවර ගත යුතු ව ඇත.



Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us