Helabima

මේවගෙ පෙම්වතෙක් අතෑරල දාන්න දෙපාරක් හිතන්න එපා

මේඝනා මන්දෝදරී


Image Credit - Envato

ජීවිතේ දෙවන උපත වෙන්නෙ විවාහය. මොන තත්වෙ තරාතිරමේ කාන්තාවක් උනත් විවාහය කියන තැන වරදවා ගත්තොත් ඒක ඇගේ ජීවිතේට බලපෑමක් වෙනව. සහකරුගේ විවිධාකාර ගති ලක්ශන නිසා දුක් කසාද ගෙවන සහ දික්කසාද වෙන කාන්තාවන් විවාහය අසාර්ථක උනු කාන්තාවන් ගෙන් සහකරුගෙ ඍනාත්මක ලක්ශන විවාහයට පෙර දැනුනෙ නැද්ද කියලා ඇහුවම 99% විතර තරුණියන් කිව්වෙ " යාලු වෙලා ඉද්දි තේරුණා පස්සෙ හරි යයි කියලා හිතුවා " එහෙම නැත්තං අහල පහත් අය නෑයො යාලුවො හිනා වෙන නිසා ලැජ්ජාවට අත් හැරියෙ නෑ කියලා ..

ඉතින් සමාජෙට ඇති බය නිසා හෝ පස්සේ හැදෙයි කියන හේතුව නිසා වැරදි දකිද්දී ම එම පෙම්වතා සැමියා කරගත් කාන්තාවන් අවසානෙ දික්කසාද වලට හෝ දුක් කසාද වලට උරුමකම් කිව්වා.

පෙම් සබදතාවක් ඇරඹී ගෙවෙන මුල් තුන් මාසෙ වත් බොහෝවිට මේ වැරදි ප්‍රදර්ශනය වෙන්නෙ නෑ . තමන්ට අවශ්‍ය දේ ලබා ගැනීමට දිවි හිමියෙන් වෙහෙස වීමත් එය අත්පත් කරගෙන කල් යද්දී ඒ අපහසුවෙන් ලබාගත් දේ සාමාන්‍යකරනය වීමත් පිරිමි පක්ශයට දුර අතීතයේ ඉදලා ම ලැබුනු දායාදයක් නිසා සබදතාවක් ඇරඹුණු මුලදි මේවා නිරීක්ෂණය කිරීම ටිකක් අපහසුයි.ඒත් ඔබ විවාහය දක්වා යන දීර්ඝ සබදතාවක් පවත්වනවා නම් අනිවාර්යයෙන් මේ රතු කොඩි එසවෙනවද කියලා සූක්ශමව බලන්න . අනාගතයේදි දුරට ගිහින් සිත් රිදවාගෙන හැරෙනවට වඩා තනිව දුක් විදිනවට වඩා මුලදීම පියවර ගැනීම ඔබට වාසි දායකයි.

අහේතුකව අධිකව සැක කරණ පෙම්වතුන්

Image Credit - Envato

සෑම මුනගැසීමකදීම දුරකතන පරික්ශා කරමින් ඔබේ සමාජ මාධ්‍ය ජාලා මුර පද ලබාගන දිගින් දිගටම ඔබේ පුද්ගලික සීමා භාවිත කිරීමට ඉඩ නොදීම , ඔහු හැර තම සහෝදරයන් ඥති පිරිමින් සමග පවා ඔබට පෙම් සබදතා ඇතැයි සිතීම , ඔබගේ සේවා ස්ථානයෙන් පැමිණෙන ඇමතුම් සහ එහි කාර්‍යන් හීදී පවා ඒවා ගැන කලබල වීම ,ඔබේ පෙර සබදතා සම්පූර්ණයෙන් අවසන් කර තිබියදීත් ඒ පිලිබදව අනවශ්‍ය සේ ප්‍රශ්න කරමින් හැසිරීම සැක කරන අය නිතරම පෙන්නුම් කරන ලක්ශන. එදිනෙදා වැඩ පවා ඔහුට දන්වා සිදු කිරීමට බල කිරීම එවැනි දේකදි අතපසුවීමක් සිදු වුනහොත් ඔබ පීඩාවට පත් කරමින් හැසිරීම සැකය ඇති අයගෙ ලක්ශනයක්. ඔබ දෙමාපියන් සමග ඔබ නිවසේ සිටියදි නොදන්වා නිවසට එන කෙනෙක් නිසා පවා ඔහු කලබල කාරී හැසිරීම් දැක්වීම සිදු කරනවා. නිරන්තරයෙන් වීඩියෝ කෝල් මගින් ඔබ සිටින තැන නැරඹීම ට අවශ්‍ය බව පැවසීම ඔබ කී දෙයක් පිලිබදව ඔබගේ සමීපතමයන්ට ඇමතුම් ලබා දෙමින් විමසීමත් මේ අයගෙ ලක්ශනයක්. ඇත්තෙන්ම මෙවැනි හැසිරීම් වලට හේතුව සැකය නැමැති මානසික ගැටලුව . මේ හැසිරීම් ආදරය නිසා කර්න සොයා බැලීම් ලෙස ඇතැම් තරුණියන් වරදවා වටහා ගන්නවා .. සමහර මිතුරු මිතුරියන් පිරිවරාගන ජීවත් වූ තරුණියන් පවා සබදතාවක් ආරම්භ කර ටික කලෙකින් සියලුම මිතුරු මිතුරියන්ගෙන් ඈත්ව තනි වෙන්නේද මෙවැනි සබදතා නිසායි. මේව්ගේ පෙම්වතුන් ඔබේ මිතුරියන් පවා සැක කරමින් ඔබේ ජීවිතේ ඔහු පමනක් බවට පත් කිරීමට සමත් වෙනව .. මෙවැනි අය සමග විවාහ දිවිය ගෙවීම් ඉතා කටුක අත්දැකීමක් . පිටස්තර පිරිමියෙකු නිකමට ඔබ දෙස බැලුවොත් අත්‍යාවශ්‍ය දේකට කතා කළොත් පවා ඔහු දින ගණනාවක් ඇදගෙන යන රංඩු සරුවල් වලට පෙළඹීම හෝ ක්ශනිකව කෝපයට පත්ව කලබල වීම සිදු කරයි. මෙබදු පෙම්වතුන් අනිවාර්යයෙන් දෙවරක් නොසිතා අත් හල යුතුයි

ඔබේ සමාජීය ජීවිතයට බාධා කරන පෙම්වතුන්

Image Credit - Envato

ඔබට කැමති ලෙස ඇදුම් පැළඳුම් තෝරාගැනීමට ඉඩ නොදෙන , ඔබේ විනෝදාංශ නැවැත්වීමට බල කරන , ඔබ කැමති පුද්ගලයන් ආස්‍රය නොකිරීමට හෝ අකමැති පුද්ගලයන් ආස්‍රයට බල කරන ඔබේ විශ්වාස ඔබ අනුගමනය කරන සංස්කෘතිය අත් හැරීමට බල කරන පෙම්වතුන් සමග ආදරේ වැඩි නිසා ඔබේ ආශාවල් වලට වැට බදිමින් සබඳතාවට පෙර කාලය ගත කලත් මේකෙටි ජීවිතේ දිගින් දිගටම ඔහු කැමති සේ පමනක් ජීවත් වීම ඉතා වෙහෙසකරයි. විවාහය තුළදි මෙසේ දිගටම ඔබේ ආසාවන් පාලනය කරමින් ජීවත්වීමේ පීඩනය වෙනත් ආකාරයකින් පවා පුපුරා යා හැකියි..ඇත්තෙන්ම ඔබ කැමති දේටම ඔහු කැමති වීම අත්‍යවශ්‍ය නැත. එසේ සර්ව සම්පූර්ණයෙන්ම අනෙකාගෙ කැමැත්තට තමාද කැමති යුවල් මේ තුන් ලොව නැත. එම නිසා සිදු විය යුත්තේ අනෙකාගේ කැමැත්තට ගරු කරන අනිකාගේ ආශාවල් ඉටු කර ගැනීමට උපකාර කරන යුවලක් වීමයි.ඔබේ පෙම්වතා ඔබේ කැමැත්තට ගරු නොකර දිගින් දිගටම ඔහුගේ කැමැත්තට පමනක් ක්‍රියාත්මක වේනම් ඔබ කැමති දේට වැට බදී නම් ඔහු තවදුරටත් තබා ගත යුත්තෙකු නොවේ

ඔබ පුද්ගලික ජීවිතේ සාර්ථකත්වය වළක්වන පෙම්වතුන් 

ගැහැනියක් ලබන ලොකුම දායාදය ඇගේ ඉගනීමයි. ඔබේ ඉගනීම නැවැත්වීමට උත්සාහ කරන පෙම්වතා අනිවාර්යයෙන් ජීවිතේට සුදුසු සහකරුවෙක් නොවේ. ඔහුට වඩා ඔබ ඉහල යතැයි සිතමින් ඔබේ ඉගනීම ,රැකියාව උසස් වීම් වලට බාධා කරන පෙම්වතා බොහෝවිට හීන මානයෙන් පෙලේ. ඔබේ පෙම්වතා ඔබේ විභාග පැවැත්වෙන කාල වල අනවශ්‍ය ආරවුල් නිර්මානය කරමින් ඔබව පීඩාවට පත් කරනව නම් ඔබේ රැකියාව කාර්‍යක්ශමව කරගෙන යෑමට බාධා වන සේ හැසිරෙනව නම් ඔහු ඔහු ගැනම විශ්වාසයක් රහිත හීනමානයක් සහිත අයෙක්. එමෙන්ම ඔබේ රැකියාව නතර කිරීමට ඔබට බලපෑම් කරන ලක්ශනයත් මේ පෙම්වතුන්ගේ ගුණයක්. ශක්තිමත් ගැහැනියක් වන්නට නම් එබදු පිරිමියෙක් සමග හැකියාවක් ඔබට ලැබෙන්නෑ. 

නම්‍යශීලී නොවන ප්‍රතිරූප නඩත්තු කරන අධිමානය සහිත පෙම්වතුන් 

තමා පමනක් නිවැරැදි යැයි සිතමින් ඔබව නිරන්තරයෙන්ම පහත් කරන ,කුමන ගැටලුවකදී උවත් ඔබට වරද පැටවීමේ හැකියාවක් ඇති ගැටුමකට පසු ඔබ ඔහු පසු පස ගොස් දින ගණනාවක් ඇවිටිලි කරන තෙක් අරවුල අමතක නොකරන දැඩි පුද්ගලයින් පෙම්වතෙකු ලෙස නොව මිතුරෙකු ලෙස වත් ඇසුරට සුදුසු නැත. ඔබ දැඩි ආදරය නිසා ඔහු පසුපස ගොස් නැවත සබදතාව පටන් ගැනීමට ඔබේ ගෞරවය පහල හෙලා කටයුතු කිරීම එවැන්නන්ට විශාල සතුටක් ගෙන දෙයි. යුවලක් සේ එක නිවසේ ජීවිතේ ගෙවන විට ඔහු පමනක් නිවැරැදි යැයි සිතමින් ඔබ පමනක් වරදකාරිය වෙමින් නිරතුරුවම පරාජය වෙමින් පසුපස ගොස් ආයාචනා කරමින් ජීවත් වීමට සිදුවීම ඉතා ශෝකජනක ඉරණමක් වනු ඇත.

පාලනය කල නොහැකි ඇබ්බැහි වීම් සහිත පෙම්වතුන් 

මෙය කොටස් කිහිපයක් යටතේ සාකච්ඡා කල හැක. මිනිස්සුන්ට ඇබ්බැහි වීම් ඇතිවීම ස්භාවිකයි. අපි සියලුම දෙනා යමකට ඇබ්බැහි වීම වැළැක්විය නොහැකි . නමුත් සාමාන්‍ය ජීවිතේ , පුද්ගලික දියුනුව සබදතා සියල්ල අමතක කර තමාට තමා පාලනය කර ගැනීමට නොහැකි වන සේ වන ඇබ්බැහි වීම් සබදතා වලට රතු එලියක්. නමුත් ඔහුගේ සාමාන්‍ය ඇබ්බැහි වීම් සහ පාලනයක් රහිත ඇබ්බැහි වීම් වෙන් කර හදුනා ගන්න ඔබ සමත් විය යුතුයි. වීඩියෝ ගේම් , නිල් චිත්‍රපට බැලීම් , මත් ද්‍රව්‍ය , බොරු කීම වැනි පුරුදු වලට ඇබ්බැහි උනු පෙම්වතුන් " හදාගන්න " ඔබ ඔබේ වටිනා යොවුන් දිවිය වැය කරන්න එපා ..

අනියම් සබදතා වල පැටලෙන පෙම්වතුන් 

අනියම් සබදතා යනු ඇබ්බැහි වීමක්. නමුත් එය පාලනය කල නොහැකි හැකි සේ වෙන් කිරීම නොකළ යුතුයි. බොහෝවිට වරක් ඔබට වංචා කල පෙම් වතෙක් දිගින් දිගටම ඒ වරද කිරීමට දැඩි ඉඩක් පවතී. එමෙන්ම පාළුව කාන්සිය් මකා ගන්න දුටු දුටු ගැහැනු සමග ප්‍රේම සංවාදයේ යෙදෙන පෙම්වතුන් ඔබේ දරුවාගේ පිය පදවියෙන් පිදීමට සුදුසු අය නොවේ.

මවට ඇබ්බැහි වූ පෙම්වතුන් 

මෙය ඉතාමත් සංවේදී සියුම් කාරනාවක් . අප සියලුම දෙනා ගෙ ජීවිතේ මුල් තැන මවයි. ඔබේ පෙම්වතාට වගේම ඔබට ත් එය පොදුයි. නමුත් මේ කියන්නෙ වැඩිහිටි භාවය ලබාත් මවට පිටින් ලෝකය දකින්න අකමැති අය ගැන යි. මොවුන් තම හැගීම් සියල්ල මවට අවශ්‍ය ලෙස පමනක් පවත්වාගන යන කොටසක්. මවගේ වැරදි තීරනයකදී එම වරද දුටුවත් මව කී නිසාම වරදත් හරි සේ සිතන මවගේ දැඩි මානසික ග්‍රහණයට අසු වූ පිරිසක් ලෙස මොවුන් දැක්විය හැකි. නැන්දම්මා ලේලි ගැටලුව හේතුවෙන් පීඩාවට පත්ව දික්කසාද දක්වා මානසික රෝහල් දක්වා යාමට තරම් අවාසනාවන්ත වෙන්නෙ මේව්ගේ පෙම්වතුන් අත් නොහල පෙම්වතියනටයි. නැන්දම්මා ලේලිය ගැටුමකදි ඔහු කිසි විටකවත් සාදාරනයේ පැත්ත ගන්නෙ නෑ . වරද කොතන උනත් ඔහු ගන්නෙ ඔහුගෙ මවගේ පැත්ත. තම මව හැර ලොව අන් සියලුම ගැහැනුන් පහත් කිරීමත් මෙබදු පිරිමින් නිතරම සිදු කරන දෙයක් .විවාහයෙන් පසු විශේෂ හේතුවක් නැත්නම් මහ ගෙදර ම පදිංචි වීමට අවශ්‍ය බව කියමින් අම්ම නැතුව ඉන්න බෑ කියමින් හඩා වැටෙන පෙම්වතුන්ට මව හා ඇති සබදතාව දිගටම රැක ගැනීමට ඉඩදී වෙන්ව යාම ඔබ ගන්නා හොඳ තීරනයක් වනු ඇත.

දියුණු වෙන්න අනාගත සිහින දකින්න අකමැති නාස්තිකාර කම්මැලි පෙම්වතුන් .

මේ කියන්නෙ දුප්පත් පෙම්වතුන් ගැන යැයි වරදවා වටහා ගත යුතු නෑ. ඔබේ පෙම්වතා අද සතයක් නැති දුප්පතෙක් උවත් ඔහු දියුණුව පිනිස වෙහෙසෙන අධ්‍යාපනය ලබන නැත්නම් රැකියාව ඉතා සාර්ථකව කිරීමට උත්සාහ කරන මහන්සි වී වැඩ කරන කෙනෙක් නම් ඔහු මෙයට අදාළ නෑ.

ඔබේ පෙම්වතා කෝටිපතියකු උවත් නාස්තිකාර ඉපයීමට උනන්දු නොවන කම්මැලි අයෙකු නම් දියුනුවට අකමැති නම් දෙමාපියන් ගෙන් හෝ යම් ක්‍රමයකින් ඉබේ දියුණු වීමේ කෙටි ක්‍රම අත් හදා බලන්නෙකු නම් ඔබ ඔහු සමග දිගටම ජීවත් වීම ඔබේ අහිංසක දරුවන් පවා අනතුරේ දැමීමක්.. ඔබේ දෑවැද්ද ගැන නිතරම සොයා බලන එයින් ව්‍යාපාර ඇරඹීමට පිඹුරුපත් සකසන එය ලද පසු දියුණු වීමට සිතන මෙවැන්නන් ඔබට විවාහයට පෙරම හදුනාගත හැකීයි

ඔබට ශාරීරික හිංසා කරන පෙම්වතුන් 

Image Credit - Envato

ඔබට ශාරීරික හිංසා කරන තුවාල සිදු කරන අයෙක් සැමියා ලෙස තෝරා ගැනීම ඔබේ මරන සහතිකය ලියා ගැනීම බදුයි. ගුටිබැට දීම කම්මුල් පහර දීම් දැඩි සේ අත් ආදිය මිරිකමින් කොනිත්තමින් කෝපය පිට කරන පෙම්වතා යම් දිනක බිරිද මරා දැමූ සැමියාගේ තනතුර ට පත් වීමට බොහෝ ඉඩකඩ තිබේ. එමනිසා නිකරුණේ ගෘහස්ත කායික හිංසනයට පත් වන බිරිඳක් නොවී ඔබේ දෙමාපියනට ඔබෙව අහිමි වන තැනට කටයුතු නොකර එබදු පෙම්වතුන් අත් හැරීම නුවණට හුරුයි

විවාහය කියන බැරෑරුම් තීරණය නිවැරැදිව ලබාගන සතුටු ප්‍රීතිමත් බිරිඳක් වන්න ඔබ සිහින දකිනව නම් මෙබදු විශ සහිත පෙම් වතුන්ගෙන් ඈත් වෙන්න දෙපාරක් හිතන්න එපා කියලා මං නැවතත් ඔබට සිහි කරන්න කැමති . මෙම රතු සලකුණු දැක දැක නිකරුණේ ඔබේ දිවිය අදුරු කරගන්න එපා ..

- මේඝනා මන්දෝදරී-

 



Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us