Helabima

රටම කලඹවන ගෑස් මිල ඉදිරියේ අපි කල යුත්තේ කුමක්ද

මෙවන් රිටිගල


ගෝලීය කොරෝනා ව්‍යසනය සමග උඩු යටිකුරු ව සිටින ලෝකයේ දැවැන්ත රටවල් පවා බල ශක්තිය ඉදිරියේදී දන නමා ඇත. කුඩා ආර්ථිකයක් ඇති මෙරට ජනතාව මේ වෙද්දී ඉවුම්පිහුම් සදහා භාවිත වන ගෑස් මිල දරාගත නොහැකි මට්ටමින් ඉහල යාම පිලිබදව දැඩි කැළඹීමට පත්ව සිටිති.

ඉහල ගිය ගෑස් මිල විහිලුවට ගනිමින් ආඩපාලි කියමින් රජය පෙරලන්නට පිඹුරුපත් සකසමින් සමාජ මාධ්‍ය වල කාලය ගෙවුවත් අපි සියලුම දෙනා මුලුතැන්ගෙයට වැද උයා පිහාගත යුතුමය. තිබෙන ගෑස් වැඩි කාලයක් කාර්‍යක්ශමව භාවිත කල හැකි ක්‍රම සෙවිය යුතුමය. ගෑස් මිල ඉහල ගියත් නැතත් බලශක්තිය සුරැකීම අරපිරිමැස්මෙන් භාවිත කිරීම අපගේ යුතුකමකි. විශේෂයෙන්ම පුනර්ජනනීය නොවන බල ශක්තින් භාවිතයේදී අපි පිරිමැසුම්කාරී විය යුතුමය.

ඉදින් ස්ථිර පිළියමක් නො වුවත් අප පුද්ගලික කුටුම්භයන් මේ ගැටලුවට මුහුණ දීමට සූදානම් විය යුතුමය. පුද්ගලික මට්ටමෙන් පිරිමැසුම්දායී ලෙස ගෑස් පරිභෝජනය කරන ආකාරය ගැන මේ ලිපියෙන් සොයා බලමු

1 හැකිතාක් පිසීම් අනවශ්‍ය සහ අඩු කාලයකදී පිසින ආහාර වලට යොමු වීම

 

pexels.com

ඔබේ ආහාර වේල විශාල කාලයක් තිස්සේ උයමින් සැකසූ ආහාර වලින්ම පුරවා ගැනීමෙන් වැලකීම මෙයින් සාකච්ඡා වේ. අමුවෙන් ආහාරයට ගත හැකි එලව්ලු වර්ග හැකිතාක් සලාද සම්බෝල ආදි ලෙස පිලියල කිරීම හොඳ විකල්පයක් විය හැක. ලංකාවේ ප්‍රචලිත නොවුනත් බොහෝ එලව්ලු වර්ග රසය ගුණය පැහැය ආරක්ශා වන සේ සලාද ආකාරයට පිලියල කිරීම ලොවපුරා ජනප්‍රිය ක්‍රමයකි. එය බලශක්ති ගැටලුවට පිළියමක් මෙන්ම ඔබට ඉතා ඉහල පෝශන ගුණයක් දායක කරයි.

වට්ටක්කා රාබු ගෝවා මුගුනුවැන්න කතුරුමුරුංගා කැරට් පතෝල කරවිල කැකිරි ආදී බොහෝ එලව්ලු වර්ග අමුවෙන් සලාද සේ ආහාරයට ගත හැක. එමෙන්ම ඉවුම් කාලය අවම වන ආහාර වලට හුරු වීමත් යම් සහනයක් බලාපොරොත්තු විය හැකි සාර්ථක විකල්පයක් වනු ඇත

2 සැලසුම් සහගතව තොග වශයෙන් ඉවීමේ ක්‍රමය

මෙය ලාංකිකයන් පෙර කල නිතරම අනුගමනය කල ක්‍රමයකි. පිසූ ආහාර කල් තබා ගැනීමට මෙරට වැඩියන්ට හොඳ හැකියාවක් ඇත. එහෙත් මෙම ක්‍රමයේ තවත් පැතිකඩක් වන ආහාර පිස අධිශීත කිරීම ඇතැම් ලාංකිකයකන් ප්‍රතික්ෂේප කලත් විදේශයන්හී ඉතා බහුලව සිදුවන කාර්‍යබහුල ලාංකිකයන් වේගයෙන් හුරු වෙමින් සිටින ක්‍රමයකි. මේ ක්‍රමය ගෑස් පිරිමැසීමට අමතරව කාලය සමග තරගයක යෙදෙන ඔබට මහත් සහනයක් වනු ඇත.

දිනපතාම තුන් වේලම කුඩා ප්‍රමාන වලින් පිලියල කිරීමට වඩා සතියක තුන් වේල ආහාර සැලස්මක් පිලියල කර එක දිනකදී බල්ක් ක්‍රමයට එනම් සතියටම අවැසි සේ එක දිනක පිස නිවැරැදි සේ අසුරා කල් තබා ගැනීම හෝ අධි ශීත කල හැක.

උදාහරණයක් වශයෙන් ඔබට සතියකට අවශ්‍ය මාලු ඇබුල්තියල් පොලොස් ඇඹුල් සීනිසම්බෝල වැනි ආහාර සතියකට කිහිප වරක් පිසිනවාට වඩා එකවර පිස සතියකට සෑහෙන සේ ගබඩා කක හැක. එමෙන්ම බොහෝ ව්‍යාංජන වර්ග සතියකට අවශ්‍ය සේ පිස නිවැරැදි ක්‍රමානුකූලව අධිශීත කර භාවිත කල හැක. මේ අධිශීත කිරීම සිදුකිරීමට පෙර එය හිතුමතයට සිදු නොකර එය අධ්‍යනය කර අවශ්‍ය ඇසුරුම් සහ නැවත රත් කිරීම් ගැන සොයා බලා සිදු කල යුතුය .එකම ආහාරය සතියකට කිහිප වරක් පිසිනවාට වඩා ප්‍රමානය වැඩි උනත් ගෑස් ඉතිරි කිරීමේ හැකියාව ඇති බව මෙය සිදු කිරීමෙන් ඔබට පැහැදිලි වනු ඇත.

 

3 ගෑස් උදුන් වෙනුවට වෙනත් ඉහුම් පිහුම් උපකරණ වලට හුරු වෙමු

Pexels.com

මෙහිදී ඕනෑම අයෙකුට මුලින්ම සිතට නැගෙන්නේ ඉවුම් පිහුම් සදහා දර භාවිතයයි. ලංකාවේ දැනටමත් බහුතරයක් දර උදුන් භාවිත කරති. එය හොඳ පිළියමක් වුවත් කාර්‍යබහුල දිවියක් ගෙවන අයට එතරම් නොගැලපේ. එහෙත් කාර්‍යබහුල නොවන දර සපයාගත හැකි අයට මෙය හොඳ විකල්පයක් වනු ඇත.

පීඩන උදුන් භාවිතය අඩු කාලයකින් වේගයෙන් උයාගත හැකි ක්‍රමයකි. ප්‍රවේසමෙන් දැනුවත්ව භාවිත කරන අයට ඉවීමට වැඩි වෙලා ගතවන ආහාර පවා පහසුවෙන් සකසා ගැනීමේ අවස්ථාව ලැබේ

මල්ටි කුකරයත් එකවර ආහාර කිහිපයක් උයාගත හැකිවීම වාසියකි. රයිස් කුකර් එකට ලැබෙන ස්ටීමර් එක මගින් ඔබට අවශ්‍ය බොහෝ දෑ බත සමගම තම්බා ගැනීමේ අවස්ථාව උදා වේ. වැඩි පිසුම් කාල සහිත එලව්ලු එහි තමා තම්බාගෙන කෙටි කාලයක් ලිප තබා උයා අවසන් කලහැක. එමෙන්ම ඔබේ මස් මාලු වර්ග හතු ඇතැම් එලව්ලු රස ගැන්වීමක් සිදු කර පොල්කටු අඟුරු භාවිතයෙන් බාබකියු කිරීමෙන් ඔබට නව අත්දැකීමක් සමග ගෑස් ඉතුරුවට සහනයක් බලාපොරොත්තු විය හැක. බොහෝ පවුල් වල සාමාජිකයන් මේ ක්‍රමය සතුටෙන් භාරගනු නියතය

පුනර්ජනනීය සූර්‍ය පැනල භාවිත කර එ මගින් විදුලි උදුන් වලින් පිසීම බේක් කිරීම ද විකල්පයක් වනු ඇත. එසේ වෙනස් අයුරින් ආහාර සැකසීම ඔබට හොඳ විවිධත්වයක් ලබා දේ..

4 ගෑස් ලිපේම අඩු කාලෙකින් ඉවීම

Envato

මෙම කිසිම විකල්පයක් භාවිත කල නොහැකි අවස්ථා සදහා ගෑස් ලිපම පිරිමැසුම්දායී ලෙස භාවිත කිරීමට ගතයුතු පියවර සලකා බලමු.ඔබේ ගෑස් ලිප කාබන් නොබැදෙන මලකඩ වලින් සිදුරු අවහිර නොවූ හොදින් ක්‍රියාත්මක වන උදුනක් වීම අනිවාර්‍යයි. ඔබේ උදුනේ දැල්ල නිල් නොවන වෙනත් පැහැයක් ගනී නම් උදුනේ කාර්‍යක්ශමතාව ඇත්තෙ අවම මට්ටමකය. ඒ නිසා නිතර ලිප පිරිසිදු කර නිල් දැල්ලෙන් ඉහුම් පිහුම් කරන්න .ඉක්මනින් රත් වන ලෝහයකින් තැනූ පිසුම් බදුන් භාවිත කරන්න .පියනකින් වසා ඉවිය හැකි දෑ වසා පිසීමෙන් අඩු කාලයකදී ඉවීමට හැකියාව ලැබේ.ඔබේ මුලුතැන්ගෙයට සුලං ඇතුල් වී ගෑස් ලිපේ දැල්ල චලනය වේ නම් ඉවුම් කාලය දීර්ඝ වේ. . ආහාරයක් ලිප තැබීමේදී අවශ්‍ය සියලුම දෑ සූදානම් කර තැබීමෙන් ලිප නිවමින් ඒවා සූදානම් කිරීමට කාලය වැය නොවේ. එම නිසා උයන අතරතුර එක් කිරීමට සිදුවන තෙම්පරාදු පොල්කිරි ආදිය සූදානම් කර බදුන් ලිප තබන්න .

ඇතැම් රටවල මේ වෙද්දී 600% කින් ගෑස් මිල ඉහල ගොස් ඇත . එබැවින් අනුන්ට ඇගිල්ල දිගු කරමින් නොසිට මේ කෙටිකාලීන අභියෝගය ජයගන්න ඔබත් සූදානම් වන්න..

මෙවන් රිටිගල



Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us