Helabima

ලොව ජනප්‍රියම පානය “කෝපි” ගැන දැනගෙන පානය කරමු..

සජිනි වික්‍රමසිංහ


ජලයට පසුව ඇතැම් විට ලොව ජනප්‍රියම පානය කෝපි ලෙස හැදින්විය හැකියි..ඔබ මේ ලිපිය කියවන මොහොතේදීත් ලොවපුරා මිලියන ගණනක් ජනතාව කෝපි කෝප්පයක් රසවිදිනවා ඇති. දවසේ ඕනෑම අවස්ථාවක ඔබගේ සිරැරට ක්ෂණික උත්තේජනයක් ලබාදීමට කෝපි කෝප්පයකින් හැකියාව ලැබෙනවා..

කෝපිවල ඉතිහාසය

Image Credit - Envato

කෝපිවල ඉතිහාසය ක්‍රි.ව. 850 දක්වා ඈතට දිවයන අතර ඇතැම් අධ්‍යනයන්ට අනුව ඉන් පෙර කාලයේද කෝපි භාවිතා කල බවට සදහන් වනවා..එක් ජනප්‍රිය පුරාවෘත්තයකට අනුව "කාල්දි" නමැති ඉතියෝපියානු ගොපල්ලකු ඉදුණු කෝපි ඇට ආහාරයට ගත් පසු තම එළුවන් අසාමාන්‍ය ශක්තියකින් යුතු බව නිරික්ෂණය කර ඇති අතර පසුව ඔහු එම තොරතුර ආගමික පූජකයකු සමග හුවමාරු කරගැනීමෙන් පසු එම පූජකවරයා කෝපි ඇටවලින් පානයක් සාදා පානය කිරීමෙන් පසු වඩා වැඩි වේලාවක් ප්‍රබෝධයෙන් යුතුව අවධිව සිටීමට එය උපකාරි වන බව සොයා ගත් බවත් එය ක්‍රමයෙන් ව්‍යාප්ත වූ බවත් සදහන් වනවා. එසේම මුල් කාලීනව අරාබිය සහ අප්‍රිකාව ආශ්‍රිතව  කෝපි භාවිතා කලත් පසුව එය යුරෝපය සහ ඇමරිකාව කරා සීග්‍රයෙන් ව්‍යාප්ත වී ඇත.

කෝපිවල වර්තමානය

අද වන විට බ්‍රසීලය ගෝලීය වශයෙන් විශාලතම කෝපි නිෂ්පාදකයා වන අතර ඊට අමතරව වියට්නාමය, කොලොම්බියාව,ඉන්දුනීසීයාව, හොන්දුරාස්, පේරු සහ ඉන්දියාව යන රටවල් කෝපි නිශ්පාදනයේ පෙරමුණ ගෙන සිටිනවා.. .

Arabica සහ Robusta ලෙස කෝපි බීජයන් වර්ග දෙකක් ලොව ජනප්‍රිය අතර ඉන් අරාබිකා  බොහෝ කෝපි ලෝලීන් අතර ඉතා ජනප්‍රිය වී තිබෙනවා. එය කළු කෝපි පානයන් සදහා භාවිතා කරන අතර රොබස්ටා නමැති වර්ගය මිලෙන් අඩු අතර එක්ස්ප්‍රෙසෝ පානයන් සහ ක්ෂණික කෝපි වර්ග සැකසීමට භාවිතා කරනවා.

බ්ලැක්,ලැතේ,කැපුචිනෝ,ඇමරිකානෝ, එක්ස්ප්‍රෙසෝ, රෙඩ් අයි, මෝචා,ෆ්ලැට් වයිට්  සහ විවිධ වර්ගයන්ගෙන් යුතු  අයිස්ඩ් කොෆී ආදි වර්ගයන්ගෙන් කෝපි  ලොව පුරා කෝපි ලෝලින් රසවිදිනවා.නවතම පරීක්ශණයන්ගෙන හෙළිව ඇති ආකාරයට කෝපි පානය කිරීමෙන් ප්‍රබෝධයට සහ ක්ෂණික උත්තේජනයට අමතරව වෙනත් සෞඛ්‍යයට හිතකර ප්‍රතිලාභයන් රාශියක් ලැබෙන බවට සොයාගෙන තිබෙනවා

Image Credit - Envato

කෝපිවලින් ලැබෙන පෝශණය

කෝපි නිකන්ම පානයක් නොවන අතර එහි සිරැරට අත්‍යවශ්‍ය පෝශ්‍ය පදාර්ථ කිහිපයක් අන්තර්ගත වන අතර විශේෂයෙන් රයිබොෆ්ලැවින්, විටමින් B5, මැන්ගනීස්, පොටෑසියම්, මැග්නීසියම් සහ නියාසින් යන පෝශ්‍ය පදාර්ථ ඒ අතරට අයත් වනවා.

කෝපි පානය මගින් ඔබට ලැබෙන ප්‍රතිලාභ

ක්ෂණික උත්තේජනයක් ලැබීම

Image Credit - Envato

කෝපිවල අඩංගු කැෆේන් මගින් ඔබගේ මොළයේ ප්‍රතිෂේධාත්මක සම්ප්‍රේශකයන් වළක්වා ක්ෂ්ණික උත්තේජනයක් ලබාදෙන අතර මනෝභාවයන්, ශක්ති මට්ටම්, මොළයේ ක්‍රියාකාරිත්වය වැඩිදියුණු වීම සිදුවනවා.

අධික ආහාර රුචිය පාලනය

ඔබේ සිරැරේ බර අඩුකර ගැනීමට ඔබට අවශ්‍ය නම් ඔබ කල යුතු ප්‍රධානම ක්‍රියාව විය යුත්තේ ප්‍රමාණයකින් යුතුව සෞඛ්‍යයට හිතකර ආහාර ලබා ගැනීමයි...එසේ නොමැතිව සෑම ආහාර වේලකදීම ඉතා අධික ආහාර ප්‍රමාණයක් ගිල දැමීමත්, තෙල්,සීනි සහ පිෂ්ඨය අඩංගු කෙට් කෑම වර්ග නිතර භාවිතයත් මගින් ඔබගේ ශරීරයේ බර අධිකව වැඩි වනවා.නමුත් ඔබ ආහාර වේලට පෙර කෝපි කෝප්පයක් පානය කරනවා නම් එහි අඩංගු කැෆේන් මගින් ඔබගේ ආහාර රුචිය පාලනය වනවා..විශේෂයෙන් කැෆේන් මගින් කුසගිනි දනවන හෝමෝනය වන ග්‍රේලීන් (ghrelin) මට්ටම පාලනය කරනු ලබන අතර නිතර ආහාර ගැනීමට ඇති වුවමනාව ඉන් පාලනය වනවා.

පරිවෘත්තිය ක්‍රියා වේගවත් කිරීම

කෝපි පානයෙන් අත්වන සුවිශේෂ ප්‍රතිලාභය වන්නේ ඔබගේ සිරැරේ පරිවෘත්තිය ක්‍රියාවලිය වේගවත් කිරීමයි. නවතම අධ්‍යනයකින් හෙළිවී ඇති ආකාරයට කෝපි වල අඩංගු කැෆේන් මගින් BM දර්ශකය (Body mass index ) සහ පරිවෘත්තිය ක්‍රියාවලිය (metabolism system) වේගවත් වනවා.වේගවත් පරිවෘත්තිය ක්‍රියාවලියක් මගින් සිරැරේ  කැලරි දහනය වේගවත් වන අතර එමගින් සිරැරේ බර අඩුකර ගැනීමට හැකියාව ලැබෙනවා.

ඇල්සයිමර් රෝගය වැළඳීමේ අවදානම අඩු කිරීම

ලොව ප්‍රමුඛ පෙළේ මානසික රෝගි තත්ත්වයක් වන ඩිමෙන්ශියාව සදහා බලපාන  මූලික හේතුව වන්නේ ඇල්සයිමර් රෝගයයි (Alzheimer’s Disease).විශේෂයෙන් වයස්ගත පුද්ගලයන් වැඩිවශයෙන් මෙම රෝගයට ගොදුරුවන අතර මෙතෙක් නිශ්චිත ප්‍රතිකාරයක් හදුනාගෙන නොමැත..නමුත් දිනපතා කෝපි පානය මගින් ඇල්සයිමර් රෝගය වැළඳීමේ අවදානම 65% ක් දක්වා අඩුකරනු ලබන බව තහවුරු වී තිබෙනවා.

ආයුෂ වැඩි කිරීම

විශේෂයෙන් කෝපි පානය මගින් හෘදයාබාධ, ආඝාතය සහ දියවැඩියා රෝගයන් ඇතිවීම පාලනය කෙරෙහි ධනාත්මක බලපෑමක් එල්ලකරන අතර දිනපතා කෝපි පානය කිරීම දිගුකල් ජීවත් වීමට උපකාරිවන බවයි නවතම අධ්‍යනයන්ගෙන් අනාවරණය වී තිබෙන්නේ.ඊට අමතරව පාකින්සන් රෝගයෙන්, මහා බඩවැල ආශ්‍රිත පිළිකා ඇතිවීම පාලනයටත් කෝපි උපකාරි වනවා..එමෙන්ම ඔබගේ අවධානය වැඩි දියුණු කිරීමත් කෝපි පානය මගින් සිදුවනවා.

කෝපි පානයේ අහිතකර ප්‍රථිඵල

දිනකට කෝපි කෝප්ප 4ක් නැතහොත් කැෆේන් මිලිග්‍රෑම් 400ක් පමණ ලබාගැනීම සුදුසු වන අතර  ඕනෑම දෙයක් ප්‍රමාණය ඉක්මවා ලබාගැනීම ඔබගේ සෞඛ්‍යය තත්ත්වය කෙරෙහි අහිතකර බලපෑම් එල්ල කරනවා.. එය කෝපි සදහාද පොදු සත්‍යතාවයක්..විශේෂයෙන් ඔබ ගර්භනී කාන්තාවක් නම් දිනකට කෝපි කෝප්පයකට වඩා පානය නොකල යුතු අතර  අධික ලෙස කෝපි පානය කිරීම කිරීම මගින් නොසන්සුන්තාවය, නින්ද නොයෑම වැනි ගැටළු මතුවිය හැකියි.එමෙන්ම ඔබ පානය කරන කෝපි වර්ගය ගුණාත්මකබවින් සහ නිසි ප්‍රමිතියෙන් යුතු කෝපි වර්ගයක්දැයි පිළිබදව අවධානයකින් යුතුව පානය කිරීමත් ඉතාමත් වැදගත් වනවා.



Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us