Helabima

ආරක්ශිතව ඔන්ලයින් ශොපින් කරන ආකාරය ගැන ඔබ දැනුවත්ද?

සජිනි වික්‍රමසිංහ


කොරෝනා වසංගතයෙන් ආරක්ශා වීමට නිවසටම වී සිටීමට කියා සෞඛ්‍ය අංශ  නිරතුරු  උපදෙස් ලබාදෙන නිසා බොහෝදෙනා සෑමවිටම නිවසටම වී සිටීමටයි උත්සහ කරන්නේ.. නමුත් ආහාර,ඖෂධ, ඇඳුම් පැළඳුම් ආදී එදිනෙදා ජීවිතයට අත්‍යවශ්‍ය නොයෙකුත්  දෑ තිබෙන අතර ඒවා මිලදී ගැනීමට බොහෝවිට නිවසින් පිටතට යෑමට සිදුවනවා..මෙයට විසදුමක් ලෙස බොහෝ දෙනා ඔන්ලයින් ශොපින් හෙවත් අන්තර්ජාලය ඔස්සේ කරනු ලබන මිලදී ගැනීම් වෙත යොමුවී තිබෙනවා.කොරෝනා වසංගතය සමග කරලියට පැමිනි ජනප්‍රිය මාතෘකාවක් ලෙස ඔන්ලයින් ශොපින් (online shopping) හඳුන්වන්න පුළුවන්.

විශේෂයෙන් ඔන්ලයින් ශොපින් වෙනුවෙන්ම වෙන්වූ වෙබ් අඩවි සහ ජනප්‍රිය සන්නාමයන්, සුපිරි වෙළදසැල් ,ඖෂධසැල්, ඇඟලුම් අලෙවිසැල් ආදී බොහෝමයක් වෙබ් අඩවි පවත්වාගෙන යනවා.මෙම ක්‍රමයට ආහාරපාන ඇඳුම් පැළඳුම් ඖෂධ, ගෘහ උපකරණ, පොත්පත් වැනි ඕනෑම දෙයක් අන්තර්ජාලය හරහා ඇනවම් කර මිලට ගැනීම සිදු කරන්න පුළුවන් වගේම එම සේවා සපයන ආයතන බොහෝ විට ඒවා නිවසටම ප්‍රවාහනය කිරීමත් සිදුකරනවා..ඉතින් අවශ්‍ය වන්නේ මුදල් පමණක් කියා ඔබට සිතෙන්න පුළුවන්..

නමුත් කඩේට ගිහින් මිල ගණන් අසා, භාන්ඩය අතින් අල්ලා බලා මිලට ගැනීම තරම් විශ්වාසී හැගීමක් නොමැති නිසා ලංකාවේ බොහෝදෙනා ඔන්ල‍යින් මිලදී ගැනීම් කෙරෙහි එතරම් විශ්වාසයක් සහ නිර්භීතකමක් දක්වන්නේ නැහැ..නමුත් මේ වසංගත තත්ත්වය නිසා සහ තාක්ශණය දියුණු මේ කාලයේ රස්තියාදුවීමකින් තොරව නිවසටම භාන්ඩ ගෙන්නා ගැනීමට හැකිවීමත් නිසා ඔන්ලයින් ක්‍රමයට භාන්ඩ හා සේවා ලබාගැනීමට හැකිවීම ප්‍රයෝජනවත් ක්‍රමයක් ලෙස හැදින්විය හැකියි නමුත් 100%ක් ආරක්ශිතව ඔන්ලයින් ක්‍රමයට භාණ්ඩ මිලට ගැනිමේදී ඔබ සැලකිලිමත්විය යුතු කාරණා රාශියක් තිබෙනවා..

වගකීමක් සහිතවීම

ඔබ භාන්ඩ මිලට ගැනීමට පෙර අදාල වෙබ් අඩවියට හෝ ෆේස්බුක් පිටුවට ගොස් එම සන්නාමය හෝ ආයතනය පිළිබදවත් ලබාදෙන සේවාව පිළිබදව අනෙකුත් පාරිභෝගිකයන් දක්වා ඇති අදහස් චෝදනා ආදිය පිළිබදව දැනුවත් වීම කළ යුතුයි.ඒ වගේම ඔබ හොදින් විපරම් කර භාන්ඩ මිලට ගත්තත් ඒ භාන්ඩය සම්බන්ධයෙන් ගැටළුවක් ඇතිවූ විට ඒ සම්බන්ධයෙන්  පාරිභෝගික ගැටළු වෙනුවෙන්ම පිහිටුවා ඇති පාරිභෝගික සේවා අධිකාරිය වෙත පැමිණිලිකිරීමත් සිදුකල හැකියි.

අලෙවියෙන් පසු සේවාව

ඔන්ලයින් භාන්ඩ මිලට ගැනීමේදි වොරන්ටි එසේ නැතිනම් අලෙවියෙන් පසු සේවාව සැපයීම ඉතා අත්‍යවශ්‍ය කාරණයක්.එමෙන්ම ඒ භාන්ඩය සම්බන්ධයෙන් අලෙවි නියෝජිතගේ වගකීම ලැබෙනවාදැයි විමසා දැනගත යුතුයි.ඇතැම් භාන්ඩ සදහා අලෙවි නියෝජිතගේ වගකීම නැතිනම් ඔබ භාන්ඩය මිලට ගන්නා ඔන්ලයින් අලෙවිසැලෙන් හෝ වගකීම් සහතිකය ලබාගත යුතු වනවා.

ඔබ මිලට ගන්නා දෑ පිළිබද විස්තර

 චායාරූප‍යේ තත්ත්වය අනුව ඇතැම් භාන්ඩ ඉතා අලංකාර වුවත් එය නිවසට ලැබුණු පසු වෙනස්වන අවස්ථා තිබෙනවා..එමනිසා ඔන්ලයින් භාන්ඩ මිලට ගැනීමේදි චායාරූපයට පමණක් නොව භාන්ඩයට අදාලව වෙබ් අඩවියේ පළකර තිබෙන තාක්ශණික විස්තර සියල්ල හොදින් කියවිය යුතුයි.එසේ නොමැතිනම් භාන්ඩය සදහා මුදල් ගෙවීමට පෙර අදාල ආයතනයට දුරකතන ඇමතුමක් හෝ ලබාදී විස්තර හොදින් දැනගෙන භාන්ඩය මිලට ගත යුතුයි.

මිල ගණන් පිළිබද අවධානය

සෑමවිටම ඔන්ලයින් භාන්ඩ මිලට ගැනීමේදි එක්වරම ඔබට අවශ්‍ය භාන්ඩය මිලට ගැනීමෙන් වැළකිය යුතුයි..මන්ද ඔබට අවශ්‍ය භාන්ඩය වෙනත් වෙබ් අඩවියක ඊට වඩා අඩු මිලට තිබීමට ඉඩ තිබෙනවා..එමනිසා වෙබ් අඩවි කිහිපයක් විමසා භාන්ඩයේ තත්ත්වය, ගුණාත්මකභාවය, මිල ආදි කාරණා සසදා මිලට ගැනීම සිදුකල යුතු වනවා.

මුදල් ගෙවීම

බොහෝමයක් ඔන්ලයින් භාන්ඩ හා සේවා ලබාදෙන වෙබ් අඩවි කෑශ් ඔන් ඩිලිවරි ක්‍රමය භාවිතා කරන අතර ඔබ අන්තර්ජාලය ඔස්සේ ඇණවුම් කරන භාන්ඩය නිවසට ගෙන ආ පසු මුදල් ගෙවීමට හැකියාව තිබෙනවා.එමගින් ඔබ මූල්‍ය වංචා සදහා ගොදුරුවීමේ අවධානම පහත හෙලන අතර අන්තර්ජාලය ඔස්සේ භාන්ඩ මිලට ගැනීමට ඇති විශ්වාසි ක්‍රමයක් ලෙස එය හැදින්වීමට හැකියි. ඊට අමතරව ඔබට ණය කාඩ්පත් හෝ වීසා කාඩ්පත් හරහා ඔබ මිලට ගන්නා භාන්ඩ සදහා මුදල් ගෙවිය හැකි නමුත්  හැකි සෑමවිටම භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවා භාණ්ඩ මිලට ගැනීම ඔබට ආරක්ශිතවනවා. නමුත් ඔබ විදේශීය රටවල වෙබ් අඩවි මගින් භාන්ඩ මිලට ගන්නවා නම් ඔබට කෑශ් ඔන් ඩිලිවරි පහසුකම නොලැබෙන අතර බැංකු කාඩ් පත් මගින් මුදල් ගෙවීම සිදුකල යුතුයි.

බැංකු කාඩ්පත් විස්තර ඇතුලු කිරීමේදි සැලකිලිමත් විය යුතුයි

ඇතැම් වෙබ් අඩවි වෙළද උපක්‍රමයක් ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ තම වෙළද ප්‍රචාරණයන් සිදුකරනවා..නමුත් එවැනි දැන්වීමක් දුටු වහාම එය මිලට ගැනීම සදහා තම බැංකු කාඩ්පත් තොරතුරු ලබාදීම ආරක්ශිත වන්නේ නැහැ..ඇතැම් ව්‍යාජ වෙබ් අඩවි අන්තර්ජාලය ඔස්සේ බොහෝ වංචාවන් සිදුකරනු ලබන අතර එමනිසා ඔබ ඔන්ලයින් ශොපින් සදහා යොමුවනවා නම් ඊ - වොලට් සේවාවක් සදහා ලියාපදිංචි වීම වැදගත්වනවා..එමගින් බැංකු ගිණුම් . ක්‍රෙඩිට් කාඩ්පත් විස්තර ඇතුලත් නොකර ආරක්ශිතව මුදල් ගෙවීමට හැකියාව ලැබෙනවා.

වට්ටම් පිළිබද සැලකිලිමත් වන්න

බොහෝ අන්තර්ජාලය ඔස්සේ භාන්ඩ අලෙවි කිරීමේදි භාන්ඩ සදහා වට්ටම් ලබාදෙන බවට ප්‍රචාරණය කරනවා..නමුත් වට්ටමක් දෙන බව දුටු වහාම එම භාන්ඩය මිලට ගැනීමට නොයා මිල සැසදීම කළ යුතුයි..ඇතැම් විට වෙනත් වෙබ් අඩවියක ඔබ මිලට ගන්නා භාන්ඩයම ඊට වඩා අඩු මුදලට විකිණීමට තිබීමට ඉඩ තිබෙනවා,එමනිසා අන්තර්ජාලය හරහා මිලට ගැනීම් සිදුකිරීමේදි මිල ගණන් සැසදීම ඉතාමත් වැදගත් වනවා.

ඔන්ලයින් ශොපින් කිරීමෙන් ඔබට ලැබෙන ප්‍රයෝජන

පහසුව සහ කාලය ඉතිරිවීම

ඔන්ලයින් ශොපින් කිරීමේ ඇති ප්‍රධාන ප්‍රයෝජනය වන්නේ මිලට ගැනීමට වුවමනා භාන්ඩය සොයමින් කඩවල් වෙත යාමෙන් වැළකී කාලය නාස්ති කිරීමකින් සහ වෙහෙස වීමකින් තොරව නිවසේ සිට පහසුවෙන් භාන්ඩ මිලට ගැනීමේ ඇති හැකියාවයි.එමෙන්ම තමා මිලට ගන්නා භාණ්ඩය පිළිබද සියළුම තොරතුරු අන්තර්ජාලය හරහා අදාල වෙබ් අඩවි‍යෙන් දැනගැනීමටද හැකියාව ලැබෙනවා.

මුදල් ඉතිරිවීම

ඔන්ලයින් ශොපින් කිරීමේදි ඔබට ප්‍රවාහන වියදම් ඉතිරි කර ගත හැකියි..ඊට අමතරව අප යම් භාණ්ඩයක් මිලට ගැනීමට වෙළදසලකට ගියවිට අත්‍යවශ්‍ය භාණ්ඩයට අමතරව තවත් බොහෝ දේ මිලට ගනු ලබනවා..නිවසට පැමිණ බලන විට ඉන් බොහෝමයක් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය නොවන අතර අන්තර්ජාලය ඔස්සේ අදාල භාණ්ඩය පමණක් මිලට ගත හැකියි..නමුත් සැගවුණු ගාස්තු, ඩිලිවරි ගාස්තු ආදි වෙනත් සැගවුණු ගාස්තු තිබෙනවාදැයි සහ වට්ටම් සහ දීමනා පිළිබදව සැලකිලිමත් වී මිලදී ගැනීම් කලයුතු වනවා.

කොරෝනා වසංගතයෙන් ආරක්ශා විය හැකියි

මේ දිනවල අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ මිලට ගැනීමේ ඇති වැදගත් කරුණ මෙයයි..සමාජ දුරස්ථභාවය කොරෝනා වසංගතයෙන් ආරක්ශා වීමට ඇති සාර්ථකම ක්‍රමයයි.එමනිසා සෙනග ගැවසෙන ස්තාන මගහැරීමට ඔබට තෝරාගත හැකි සාර්ථක විකල්පයක් ලෙස ඔන්ලයින් ශොපින් හෙවත් අන්තර්ජාල මිලට ගැනීම හැදින්විය හැකියි.



Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us