Helabima

ශ්‍රී ලාංකේය මංගල උත්සව සංස්කෘතිය උඩු යටිකුරු කල අලුත් අංග

බිනරි ඇතුගල


දෙමාපියන් ඇසුරේ හැදී වැඩුනු කුල දියනියක හා කුල පුත්‍රයකු පෙම් දමින් බැදී හෝ වෙන අන් ක්‍රමයකින් පති පතිනි වරම් ලැබ නව දිවියට පිවිසීම අනාදිමත් කලක පටන් මෙරටදී උත්සවාකාරයෙන් සැමරිනි. රටේ රාජධානි අනුව ජාති ආගම් ඇති හැකි සමාජ මට්ටම් අනුව නානාප්‍රකාර වෙනස් වීම් වලට බදුන් වෙමින් විවිධ සංස්කෘතින් වල ලක්ශන මුසු වෙමින් අද වනවිට මංගල උත්සව වෙනස්ම හැඩයක් ගෙන තිබේ.

ගතවූ වසර දහය පහළව තරම් වේගයෙන් මෙරට මංගල උත්සව වලට අලුතින් අංග එක් වූ තවත් කාල වකවානුවක් නැති තරම් ය. පෙර කල වැඩිහිටි ඇවස්ස ඥාතීන් ගේ ප්‍රධානත්වයෙන් අනෙක් නෑ හිතවතුන් පිරිවරා සිදුකළ මංගල උත්සව වල මූලික  ස්තානය මෙ වෙද්දී වැඩිහිටියන් අතින් ගිලිහී තරුණ පරපුර අතටම පත්ව ඇත.

පෙර ආදර බත ලාදර බත කෑදර බත යෝදර බත මගුල් බත ආදී පස් උත්සව පවත්වා මංගල උත්සව සංවිධානය කලත් මේ වෙද්දී එයින් උකහා ගත් යම් ලක්ශනත් සමග ඉතා සුන්දර අවස්ථා රැසක් එක්ව මංගල උත්සව පැවැත්වේ.

ගෝධූලි මුහුර්තයෙන් කමතේ පුවරුවක් මතට තරුණයකු හා තරුණියක නංවා අත්පැන් වත් කර අශ්ටක ගයා කල මංගල උත්සව කෙමෙන් වෙනස් වූවාක් මෙන් මේ කාලයේ වේගවත්ව වෙනස් වීම සිදුවනු දැක එයට කිපීම හෝ පරිභව කිරීමෙන් බැහැරව එහි සතුට පමනක් අපි විදිය යුතුය. මන්ද සංස්කෘතිය යනු වෙනස් වීමම වන හෙයිනි..

ප්‍රීශූට් එක

unsplash.com

විවාහ ප්‍රාර්ථ යුවල විවාහය දිනයේදී කෙලින්ම කැමරාවට මුහුණ දීමේදී වන අපහසුතා වැලැක්වීමේ අරමුනින් කැමරා කරුවන් විසින් විවාහයට පෙර දිනක ඔවුන් දෙදෙනා කැමරාට හුරු කිරීම සදහා ගත් ප්‍රයන්තය ප්‍රීශූට් ලෙස වර්ධනය වී ඇත.  බොහෝවිට පෙම් දමින් බැදි යුවලක් නම් ඔවුන් දෙදෙනා මුණගැසුණු ආකාරය පෙම් කල තැන් වලදී මෙම රූගත කිරීම් සිදුවේ. ඇතැම් යුවල් සිය රැකියාවට අනුකූල ඇදුමින් සැරසීද මෙම අවස්ථාවට මුහුණ දෙති. පාසල් ඇදුමින් සැරසී ,බස් නැවතුම්පලවල් පන්සල් දුම්රිය ස්ථාන වල පවා මෙම රූගත කිරීම් සිදු කරන අතර ඇතමුන් මුහුදු වෙරළ දියඇලි ගංගා ද  විදේශ රටවල් වලට පවා ගමන් කර එහි ස්ථාන තෝරා ගනිති. සැහැල්ලු ඇදුමින් සැරසී හෝ නිල ඇදුම් වලින් සැරසී හෝ ඕනෑම ආකාරයෙකින් කෙරෙන ප්‍රීශූට් එක චායාරූප ශිල්පියාටද තම දස්කම් අලුත් අදහස් හැකියාවල් පෙන්වීමට ලැබෙන අවස්ථාවක් සේ සැලකේ..  මෙහිදී ලබාගන්නා චායාරූප වීඩියෝ දර්ශන මංගල දිනයේදී ශාලාවේ පුලුල් තිරයක් මත ප්‍රදර්ශනය කෙරේ.

යමෙකුගේ මංගල්‍ය ළඟ එන බව මංගල්‍යට ආරාධනා නොලබන හිතවතුන්ට දැන්වීමේ උපක්‍රමයක් ලෙස මෙහිදී ලබාගත් පින්තූර මංගල්‍යට  දින කීපයකට පෙර සමාජ මාධ්‍ය ගත කිරීම සිරිතක් ව ඇත..

මිතුරියන්ගේ උත්සවය bride to be

Envato.com

පෙර විවාහ අපේක්ශිත තරුණයාගේ මිතුරන් එක්ව මනාලයා  තනිකඩව ගත කරන අවසන් රැය සමරා  කල බැචුලර් පාටි හී ස්ත්‍රී ස්වරූපය මෙසේ හැදින්වේ. මනාලියගේ මිතුරියන් එක්ව යුග දිවියට පිවිසෙන තම මිතුරිය පුදුමයට පත් කරමින් මෙම සාදය සංවිධානය කරයි. තරුණියන් පමනක් රැස් වන කුඩා උත්සවයක් ලෙස මෙය දැක්වේ. බොහෝවිට මනාලිය වීමට සිටින්නී කුඩා ටියාරා ඔටුන්නකින් වේලයකින් සරසා මල් පොකුරු ත්‍යාග ලබාදීම මෙහිදී සිදුවේ. මංගල්‍යේදී ඇගේ දෙවන මනාලියන් සේ පෙනී සිටින්නියන්ද මෙයට සහභාගි වෙති. Bride to be ලෙස සදහන් පටියක් මනාලියගෙ  පපුව මතින්  පැළඳවීම එ වෙනුවෙන් සැකසූ කේක් එකක් කැපීම රසකැවිලි කෙටි ආහාර අනුභවය සිදු කරමින් තම මිතුරිය මෙනවියක් සේ පෙනී සිටින අවසන් දින සමරති.

 මනාලියට මධු සමයේදී ඇගලීම පිනිස සරාගී නිදන ඇදුම් තෑගි කිරීම සුවඳ විලවුන් ආදී මධුසමය වර්ණවත් කරන ත්‍යාග ලබාදීම මෙහිදී සිදු කෙරේ . මිතුරියන් ඇයට නොදන්වා මේ උත්සවය සංවිධානය කරති වැඩිහිටියන් හෝ පුරුශ පක්ශය මෙයට සහභාගි නොවෙති

එක් දින මංගල උළෙල  ( one day )

පෙර හතර වරිගයේ නෑයින් රැස්ව මනාලිය ගේ නිවසට මනාලයා ගොස් එහිදී විවාහප්‍රාර්ථ වී එදිනම ඈ කැන්දාගෙන මධු සමය සදහා පිටත්ව දිනක් හෝ කිහිපයක් ගත කර නව යුවල මනාලියගේ නෑයින් පිරිවරාගන මනාලයාගේ නිවසට දෙවැනි ගමන ගිය සංස්කෘතිය දැන් බහුතරයක් තැන් වලදී වෙනස්ව ඇත.

කාර්‍යබහුල ජීවන රටා ආර්ථිකය පහසුව ආදී සියලුම කරුණු සලකා දැන් බොහෝ මංගල උත්සව එක දිනකදී අවසන් වේ. බොහෝවිට මේ උත්සවය ඉහත දින දෙකේ උත්සව වලට වඩා වැඩි කාලයක් පැවැත්වෙයි. දෙපාර්ශවයම මංගල උත්සව ශාලාවකට රැස්ව එහිදී විවාහ වී පෝරුවට නැග චාරිත්‍ර පවත්වා පසුව යුවල පිටව යද්දි මනාලිය මංගල ඇදුමින් මිදී දෙවන දිනටට අදාල රතු පැහැ ඇඳුමකින් හෝ ඇයට රිසි වෙනත් සුන්දර වතකින් සැරසීම මෙහිදී සිදුවේ. මනාලයාද ඊට අනුකූල සේ සිය ඇදුම් වෙනස් කරයි. සීමිත පිරිසක් මනාලියගේ උදෑසන ඇදුමින්ම මධු සමය සදහා පිටවීම සිදු කරයි. ගොයින්ග් අවේ විලාසිතාව ලෙස මනාලිය සම්පූර්ණයෙන් වෙනස් ඇඳුමක් ඇදීම හැදින්වේ. එය බොහෝවිට උත්සවය ප්‍රාණවත් වීමක් ලෙස විචිත්‍රවත් වීමක් ලෙස හැදින්වේ..එසේ යුවල පිටත්වූ පසු මංගල උත්සවය නිමා වන අතර මධුසමය ගතකර පැමිනෙන යුවල මනාලයාගේ නිවසට යන්නේ මනාලියගගේ පාර්ශවයෙන් ලගම ඥාතීන් කිහිප දෙනෙකු සමගය.

එහිදී එම නිවැසියෝ අවස්තානුකූලව සංග්‍රහයක් කර මනාලිය පිළි ගනී..

මෙහිදී චායාරූප සැරසිලි මනාලියගෙ සැරසිලි ඇදුම් ආදියේ මිල දෙපාර්ශවය සමසේ දරා ගැනීමත් තම පාර්ශවයේ  අමුත්තන් ගනන අනුව උත්සව ශාලාවේ ගාස්තු ගෙවීමත් සිදු කරයි. මෙය මංගල්‍යක් පැවැත්වීමෙ උචිතම ක්‍රමයක් ලෙස මේ වෙද්දී සැලකේ

කිරිබත් කැපීම සහ සශ්‍රීක මේසය

පිටරටින් ආ අංග වලින් ලාංකේය මංගල උත්සව වෙනස් වෙද්දී හෙළ සිරිත උත්කර්ශයට නැංවීමේ වෑයමක් සේ මෙම අවස්ථාව හැදින්විය හැක.

බොහෝ ලාංකික යුවල් උඩරට මුල් ඇදුමින් සැරසී විවාහය සිදු කිරීමට මේ වෙද්දී  දැඩි කැමැත්තක් දක්වයි. එහිදී ඒ සමහ මෙම සශ්‍රීක මේසයේ චාරිත්‍රය අලුතින් නිර්මානය වී ඇත..

මින් පෙර තට්ටු ගනන් උසැති මංගල කේක් ආකෘතියක ඇති කේක් කැබැල්ල කැපීමේ සිරිතෙන් මෙය බිහි විය.

මේයයක් මත සුභ යැයි සම්මත මංගල වස්තූන් තබා එය මත අලංකාරව සැකසූ කිරි බතක් තැබීම මෙහිදී සිදුවේ රතු සහල් සුදු සහල් ආදියෙන් කිරිබත් උයා එය කේක් එකක් සේ සුන්දරව සැරසීම කරයි. එම් මේසය සශ්‍රීක එකක් විය යුතුය. ධාන්‍ය වර්ග පලතුරු තැබිලි මීකිරි පැනි,  කැවුම් කොකිස් ආදී කැවිලි වලින් එය අලංකාර කරයි. නොපිපුන පොල් මලක කොපුව ගැලවිය හැකි සේ සකසා මුට්ටියක බහා මේ මේසයේ තබයි. යුවල කිරිබත් කපා එම පොල් මල් කොපුව ගලවති එහිදී පොල් මල සුන්දරව පිපේ..   කිරි මුට්ටි වත් කිරීමත් එහිදී සිදු වේ.

ශැම්පේන් ටවර් නම් බටහිර අංගයේ සිංහල හැඩය කිරි මුට්ටි වත් කිරීමයි. කේතු ආකාරයෙන් තබා ඇති කිරි මුට්ටි වල ඉහළම මුට්ටියකට කෙන්ඩියෙන් කිරි වත් කිරීම මෙහිදී සිදුවේ. එවිට ඉහල මුට්ටිය පිරී කිරි වෑස්සී පහල මුට්ටි පිරී සුන්දර දසුනක් මැවේ.  එම මුට්ටි තුලට ඩ්‍රයි අයිස් නොහොත් ඝනීභවනය කල කාබන් ඩයොක්සයිඩ් තබා ඇත . කිරි වත් කිරීමේදී ඉන් දුමාරය පිටවී  යයි

පුදුම කිරීමේ නැටුම ( surprise dance )

Envato.com

මෙය ක්‍රම කිහිපයකටම සිදුවේ. මනලයා පුදුම කිරීම සදහා මනාලිය සිය මිතුරියන් සමග මංගල සභාවේ රංගනයක් සිදු කරයි. එසේ නැතිනම් යුවලම පති පතිනි ලෙස තම පලමු රංගනය මංගල සභාවේ රඟ දක්වති. ඇතැම් මනාලයෝ මනාලිය පුදුම කරනු වස් සිය  මිතුරන් සමග නර්තනයේ යෙදීමද සිදු කරයි. සමහර අවස්ථා වල නව යුවල පුදුම කිරීමට මිතුරු මිතුරියන් එක්ව රංගනයයේ යෙදෙති. මෙය මංගල උත්සවයක් විචිත්‍රත්වයෙන් පුරවන අංගයකි. එසේම ඇතැම් අවස්ථා වල මනාල මනාලියන් සිය විශේෂ දක්ශතා නව ඥාතීන් හමුවේ ප්‍රදර්ශනයට ද මෙය අවස්තාව කර ගනිති

මෙම අංග අඩු වැඩි වශයෙන් දැන් වෙද්දී මංගල උත්සව වලට ඇතුල් වී ඇත. ඒ හරහා සිතාගත නොහැකි තරම් රැකියා අවස්ථාද උත්පාදනය වී ඇති අතර බොහෝ දෙනා තම සුන්දර දිනය මෙමගින් තවත් සතුටුදායක කර ගනිති. කෙසේ උවත් තම හැකියාව තත්වය කැමැත්ත මත මේ දේවල් තම දිනයට යොදා ගැනීම හෝ නොගැනීම සිදු කල යුතුයි ..වැදගත් ම කරුණ වන්නේ මොන ක්‍රමයකින් හෝ යම් යුවලක් මේවා කිරීමට තීරණය කර ඇති නම් ඔවුන්ගේ දිනය ඔවුනට අයත් බව සිතා එයට බාධා කිරීම් පරිභව කිරීම් නොකර ඔවුන්ගේ සතුට අපේත් සතුට බවට පත්කර ගැනීම යි



Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us