Helabima

කන්‍යා පටලය පරිස්සන් කරන්න ඔසප් සමයේ දුක් විදින ලංකාවේ තරුණියෝ

බිනරි ඇතුගල


අවුරුදු 12/13 වයස වනවිට බොහෝ දියණියන් ඇගේ ජීවිතේ ඉතා විශේෂ කඩ ඉමක් පසු කරමින් මල්වර වීම මුලු ලොවටම පොදු කරුණක්. එතැන් පටන් මාසිකව අවුරුදු 45/50 ක් වන තෙක් ඇය ඉතා අපහසු දින කිහිපයක් පසු කිරීම සිදුවේ. කිසිම අපහසුතාවක් නැතිව මෙන්ම එදිනෙදා වැඩ කරගැනීමට පවා නොහැකි ඇඳෙන් නැගිටීමට පවා අපහසු ඔසප් සමයක් ගෙවන යුවතියන් ලොව සිටිති. ඉදින් ඒ ස්භාවික අපහසුතා සමග පුද්ගලික සනීපාරක්ශාව සදහා එම සමයේ ඇය භාවිත කරන දෙයින් ඇය තවත් අනවශ්‍ය පීඩාවක් දරා ගත යුතු වේ. අතීතයේ ඔසප් සමයේ කතුන් පරන රෙදි කැබලි භාවිත කරත් මේ සමය වන විට සියලුම සනීපාරක්ෂක තුවා භාවිතය ජනප්‍රිය ව තිබේ. මේ ලිපියෙන් ඔබට ගෙන එන්නේ සනීපාරක්ෂක තුවා හේතුවෙන් සිදුවන අපහසුතා පවා වළක්වන ඔසප් සමයේ දැඩි සුවපහසුවක් ලබා දෙන මෙන්ස්ටෘවල් කප් හෙවත් ඔසප් කප් පිළිබඳවයි. ඇතැයි තැන්වල මෙය මූන් කප් ලෙසත් හඳුන්වන්නේ සදේ මේරීම දින 28 කට වරක් වන්නා සේ ඔසප් වීමත් බොහෝවිට දින 28 කට වරක් සිදු වන බැවිනි

එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලෙන් ලංකාව ඇතුලු ලෝකේ රටවල් ගනනාවකටම හදුන්වලා දුන්න මේ අයිතමය සිලිකන් හෝ ලේටෙක්ස් රබර් වලින් නිශ්පාදනය කරපු කුඩා පුනීලයක් වැනි නම්‍යශීලී දෙයක්. ලංකාවේ එතරම් ජනප්‍රිය නොවුනත් ලොව අනෙක් රටවල කාන්තාවො 1930 හේ විතර ඉදලා ඔසප් වීම වෙනුවෙන් භාවිත කරපු ටැන්පූන් එක වගේම මේ උපකරනයත් යෝනි මාර්ගය තුලට ඇතුල් කිරීමෙන් භාවිත කල හැකියි. ටැම්පූන් සහ සනීපාරක්ෂක තුවා වලින් ඔසප් රුධිරය උරා ගත්තත් මෙන්ස්ටෘවල් කප් එක මගින් සිදුවෙන්නේ කප් එක තුලට රුධිරය පිරවීමයි. මෙන්ස්ටෘවල් කප් එක හේතු ගණනාවක් නිසා ඉතා විශේෂ වටිනා නිර්මාණයක් වෙනව .

මූලික ම දේ වෙන්නේ එයින් ලැබෙන සුවපහසුව . සනීපාරක්ෂක තුවායක් භාවිත කිරීමෙදි දැනෙන දැඩි කටුක පීඩාකාරි ස්භාවය මේ මගින් සම්පූර්ණයෙන් අවසන් වෙනව . රුධිරය එලියට පැමිනීමක් නොවන නිසා සුවපහසු නින්දක් සුවපහසු අසුන් ගැනීමක් ක්‍රීඩා පිහිනුම් ආදී ඕනෑම කටයුත්තක යෙදිය හැයියි. කොටින්ම මේ උපකරණය පැලදීමෙන් පසු ඔබට සිදු කල නොහැක්කේ අභ්‍යන්තර ලිංගික ක්‍රියාකාරකම් පමනමයි. එමෙන්ම සනීපාරක්ෂක තුවා නිසා ඇතිවන සමේ ආසාත්මිකතා වලට පවා මින් තිත තැබෙනවා. කොටින්ම ඔසප් වෙමින් පවතින බව පවා අමතක කරන්න මේ උපකරණය සමත්.

සාමාන්‍ය කාන්තාවක් ජීවත කාලෙදි සනීපාරක්ෂක තුවා 6000 කට අධික සංඛ්‍යාවක් පාවිච්චි කරනව. මේ නොදිරන අපද්‍රව්‍ය මිහිතලයට දරාගත නොහැකි විශාල බරක්. සනීපාරක්ෂක තුවා බැහැර කිරීම සියලුම කාන්තාවන් ට අභියෝගයක් මෙන්ම ඇතැම් කතුන් එය පිලිස්සීම නිසා වායුගෝලයට එල්ල වෙන බලපෑමත් ඉතා ඉහල යි. මේ සිලිකන් කෝප්පය වසර ගණනාවක් නැවත නැවත භාවිත කල හැකි නිසා අපද්‍රව්‍ය බැහැර කිරීමේ ගැටලුව සම්පූර්ණයෙන් අවසන් වී යයි

සනීපාරක්ෂක තුවා මොනතරම් ජනප්‍රිය වූවත් එහි මිල දරා ගැනීමට නොහැකි කතුන් සිය දහස් ගණනක් වෙති. එම නිසාම ඔසප් සමයේ පාසල් නොයන දියනියන් ගනන අති මහත් ය. එමෙන්ම අපිරිසුදු රෙදි කැබලි ප්‍රයෝජනයට ගැනීමට නිසා ප්‍රජනන ප්‍රදේශ ආශ්‍රිතව ආසාදන වලට ලක්වන කතුන් සංඛ්‍යාවත් ඉමහත් ය. ඒ සියලු ගැටලු වලට මේ නැවත නැවත භාවිත කල හැකි හුරුබුහුටි අයිතමය පිලිතුරු සපයයි. වරක් මිලට ගත් විට එය වසර ගණනාවක් භාවිත කල හැක.

   By FabrikaPhoto Envato

මේ උපකරණය ඔබ මිලට ගත් විට එය නටන ජලයේ තම්බා ගත යුතුයි. ඉන් පසු නිවැරැදි සේ නමා යෝනිමාර්ගය ට ඇතුල් කල විට එය සිරුර තුලදී දිග හැරී රුධිරය පිටතට පැමිනීම සම්පූර්ණයෙන් අවහිර කරයි. නිවැරැදි ව පළඳින ආකාරය මෙන්ම මෙය ඇතුල් කිරීමට පෙර නවන ආකාරයද අන්තර්ජාල විඩියෝ හරහා අධ්‍යනය කල හැකියි. එය පැය 6/7 කින් ඉවත් කල යුතු අතර එහි ඇති කුඩා වලිගයෙන් ඇද ඉවත් කර පිරිසිදු කර උනුවතුරින් තම්බා නැවත භාවිත කල හැකියි.

මේ උපකරණය සම්බන්ධයෙන් මිත්‍යා මත රාශියක් සමාජයේ පැතිර පවතී

එමෙන්ම බොහෝ කාන්තාවන් මෙයට දැඩි බියක් දක්වති. ඔවුන් එයට මුලික ම හේතුව සේ පවසන්නේ මේ උපකරණය යෝනි මාර්ගයේ සිර වෙයිද යන්න පිලිබද ගැටලුවයි. මේ උපකරණය අඟල් 4 ක් පමන දිගු වන අතර එහි යටි කොටසේ කුඩා වලිගයක් දක්නට ලැබේ. ඔබට ඇගිලි තුඩු මගින් ඒ වලිගයෙන් ඇද මෙය එලියට ගත හැකි වන අතර ඉතා නම්‍යශීලී යෝනි මාර්ග බිත්ති මගින් මෙය එලියට වැටීමට හෝ ඇතුලට යාමට නොදී රදවා ගනී.මෙය ඇතුල් කිරීමේදී හෝ පිටතට ගැනීමේදී කිසිම වේදනාවක් නොදැනෙන අතර එය නිවැරැදි සේ නවා ගැනීම උගත යුතුයි . මෙමගින් යෝනි මාර්ගයේ ප්‍රමානය විශාල වීමක් වේදැයි ඇතැම් කතුන් බියක් දක්වයි. දරුවෙක් බිහි වීමෙන් අනතුරුව ඉතා විශාල ලෙස ඇදීමට ලක් වන යෝනි මාර්ග බිත්ති පවා යලි යථාවත් වේ. එසේම මෙය භාවිත කිරීමේදීත් එබදු කිසිම ගැටලුවක් ඇති නොවේ.

රුධිරය සිරුර තුල රැස්වී විශ සහිත තත්වයක් ඇති වේ යැයි ඇතැයි කතුන් බියපත් වේ . ඔබ ඔසප් සමයේ නින්දේ සිට අවදිවන විට නින්දේ සිටින පැය අටක පමන කාලයේ රුධිරය පිටතට නෑවිත් ඔබ අවදි වූ විට එකවර පිටවීමේ අත්දැකීම ඔබ විද ඇති. කප් එක මගින් රැස් වන රුධිරය විශ සහිත වේ නම් නනින්දේදී පැය ගණනාවක් රැස්වන රුධිරය ද විශ විය යුතුයි . නමුත් කිසිදා එබදු දෙයක් වාර්තා වී නැත.

By FabrikaPhoto ENVATO

මේ කප් එක භාවිත කල නොහැකි කාන්තාවන් පිරිසක්ද හදුන්වා දිය හැක. උපත් පාලන ක්‍රමයක් ලෙස ලූපය පැළඳ සිටී නම් එබදු කතුනට මෙය භාවිත කල නොහැකි . ස්භාවික දරු ප්‍රසූතියකින් පසුව වන රුධිර වහනයේදී මෙම උපකරණය භාවිත කිරීමේ හැකියාවක් නැති අතර ලංකාව වැනි රටවල අවිවාහක යුවතියනටද මෙය භාවිත කිරීමේ වරම් නෑ .

දකුණු ආසියාතික රටක් වන අප රටේ ඇති විවිධ සංස්කෘතික ගැටලු හේතුවෙන් සමාජයේ කාන්තාවන් විශාල ප්‍රමාණයකට මෙය භාවිත කිරීමට අවස්තාව ලැබෙන්නෑ. දැනුදු මෙරටේ විවාහයේදී මංගල රාත්‍රියේ ඉතා ප්‍රාථමික ක්‍රමයකට මනාලිය කන්‍යාවක්දැයි පරික්ශාවට ලක් වන නිසා මේ සුවපහසු , මූල්‍යමය අතින් වාසිදායක , පරිසර හිතකාමී අයිතමය භාවිත කිරීමට විවාහය වනතෙක් අවස්ථාව හිමි වන්නේ නෑ . කන්‍යාවක් යනු ලිංගික ක්‍රියාවක නොයෙදුනු කත යන අරුත දුන්නත් අපවැනි රටවල කන්‍යාභාවය සහිත යුවතියක් යනු කන්‍යාපටලය ඇති යුවතියක් පමනක් වීම නිසා කන්‍යාපටලය ට හානි වේ යැයි බියෙන් යුවතියන්ට මෙය භාවිත කිරීමේ අවස්තාව අහිමි වීම ඉතා කනගාටුවට කරුණක් වේ..                       

 



Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us