Helabima

අදටත් නුවර කලාවිය තුම්මං හන්දි රකින ආදරනීය පුල්ලෙයාරේ

මෙවන් රිටිගල


ලංකාවේ උතුරුමැද පලාතට පිවිසෙත්ම සෑම තුම්මං හන්දියක් පාසාම පොළවට ආසන්නයේ සෑදූ කුඩා පූජාසන දක්නට ලැබේ. කොන්ක්‍රීට් වලින් නිමවා කිරි ගරුඩෙන් බැදි කුඩා කෝවිල් වල පටන් ගසක් යට සිලින්ඩරාකාර ගලක අදින ලද සිතුවමක් දක්වා විවිධ මට්ට්මේ පූජාසන මේ අතර වේ. මේවා හොදින් නිරීක්ෂණය කලොත් එහි නිතැතින්ම පූජා පවත්වන බවද පෙනී යන සලකුණු විද්‍යාමාන වේ. පුල්ලෙයාරේ පුල්ලයාර් අත්තප්පා වැනි ආදරනීය ආමන්ත්‍රනයන්ගෙන් නුවරකලාවිය ජනතාව විසින් අමතන ලබන නුවනනට අධිපති ධූරය දරන ගණ දෙවියන් මෙසේ තුම්මං හන්දි වල වඩා හිතුවා පුද සත්කාර කෙරේ. මෙසේ හන්දියක් පාසා පුල්ලෙයාරේ පිළිම තැබීමේ ඉතිහාසය සොයා බැලීමේදී එය දේව පුරාණය දක්වා දිවෙන රසවත් කතාවක් බවට හදුනාගත හැක..

ලොව එතෙක් මෙතෙක් පහල වූ සුන්දරතම කාන්තාව වන්නේ උමයංගනා හෙවත් පාර්වතියයි. කල්ප ගණනාවක් මහත් වූ දුශ්කර තපස් වෘත රැක ආධ්‍යාත්මික බලයෙන් අගතැන්පත් ව මහා බලයක් සහිතව සිටි ඕ තොමෝ මහා දෙවි හෙවත් ශිව ගේ බිරිද විය . ඇය රැකි දැඩි තවුස් දම් නිසාම ඇය තමා ස්නානය කරද්දි එම ස්ථානයට වෙනත් අය පිවිසෙනවාට අකමැති වී තම සැමියාගේ වාහන වූ නන්දිදේව නම් ගවයා කැඳවා ඇය ස්නානය කරන තෙක් නාන මංකඩ රකින්නැයි අණ කළාය.  නන්දිදේව ගව තෙමේ නිසි සේ සිය කාර්‍ය කලත් ශිව හෙවත් තම ස්වාමියාට උමයංගනාව ස්නානය කරන තැනට යාමට අවසර දී ඇත. එයින් උරන වූ උමයංගනාව වෙනත් ආරක්ශකයෙක්  යෙදවීමට තීරණය කර තිබේ. එහිදී ඇය රැකි තපස් වෘත නිසාම කැමති වරයක් ගන්න යැයි  පෙර කලක ලැබී තිබූ අවස්ථාවක් සිහි වී තම නලලේ ආලේප කර තිබූ කුංකුම සඳුන් වලින් ඉතා රූමත් කුමරුවෙකු අඹා ඉහත වරයෙන් එම ප්‍රතිමාවට පන දෙන ලදී.  මහත් බලවත් උමයංගනා විසින් නිර්මානය කර වරයකින් පන දුන් කුමරු තෙමේ ඉතා ප්‍රභල බලවන්ත ඥානවන්ත  සියලු ශිල්පයන්ට අග්‍ර හැකියාකින් යුතු අයෙක් වීය.  උමයංගනාව මේ ඕපපාතික පුත්‍රයාට දැඩි සේ ආදරය කළාය. මෙය නොදැන ශිව ඈ නාන තොටුපලට පැමිණ එහි යෑමට උත්සාහ කරද්දි කුමරුවා ඔහුට අවසර නොදී හරවා යැවීය.  එයින් කිපුනු ශිව කුමාරයා පලවා හැරීමට නන්දිදේව ගවයා එවීය. සේනා සහිතව ආ නන්දිදේව ගවයා ඇතුලු පිරිස කුමාරයා විසින් පැරදවූ අතර එතනට ආ සටන් කලාවේ අති දක්ශ ශිව විසින් කුමරුගේ හිස කඳින් වෙන් කලේය. ඒ ඇසූ උමයංගනා වාවාගත නොහැකි  දරු දුකෙන් සහ කෝපයෙන් කාලි අවතාර වේශයට පත්ව කිසිවෙකුටත් නතර කල නොහැකි නව මුරුගසන් වරුශාවක් මවා විශ්වය විනාශ කිරීමට පටං ගත්තාය. ඇය කාලි අවතාරය ලබා ගත් විට ඇයට ඇති බලය දන්නා විශ්නු හා මහා බ්‍රහ්මයා නාරද නම් මුනිවරයාව ඇය අස්වැසීම පිනිස පිටත් කලහ. තම දරුවා ට පන දිය නොහැකි වුව හොත් විශ්වයම නසන බවට කාලිය ගිගුරූ අතර එය අසා බිය පත් විශ්නු තම සේනාව යවා මියැදෙමින් සිටි සුදවි ඇත් පැටියකුගේ හිස ගෙනවිත් කවන්ධ සිරුරට සවි කර පන දෙනලදී. කාලියට ඇති බිය නිසාම දේව සභාව රැස් වී ඇය අස්වසා ඇගේ යලි උපන් පුතුට තමා සතු සියලුම ශක්තීන් තෑගි කර ඔහු බලවත් කලේය. නව ග්‍රහයන් පැමිණ එම දරුවා වන්දනා කරන අයට තමාගෙන් ග්‍රහ දෝශ ඇති නොකරන බවටද පොරොන්දු දුන්හ.  මෙහිදී තම බිරිද ගේ මෙම තත්වයෙන් පීඩාවට පත් මහා දෙවි ශිව හෙවත් ඊශ්වර එම කුමාරයාගෙන් සමාව අයැද මෙතැන් පටත් දේව සභාවේ නායකයා තමා නොව උමයංගනාවගේ පුත්‍ර ගනේශ යැයි නිවේදනය කලේය.

 

By twenty20photos Envato

ඒ අනුව ඔහු සියලුම දෙවු මිනිස් සුර අසුරයන්ට නායක දේව සභාවේ ප්‍රධාන මහා දෙවියා විය. මෙයින් කෙමෙන් කෝපය සංසිදුවා ගත් කාලී නැවතත් උමයංගනාව බවට පත් වුවාය. . ඉදින් උමයංගනාවගේ දැඩි මාතෘ ප්‍රේමයෙන් ඇළලී ගිය ගනේශ හෙවත් පුල්ලෙයාරේ අදටත් තුම්මං හන්දි වල රැඳෙමින් සොයනුයේ විවාහ වීමට සුදුසු මවට සමාන රූමතියකි. ලොව සොදුරු ම කාන්තාව උමයංගනා වන හෙයින් එබදු සුන්දරියක් නොමැතිව අදද ගනේශ තනිකඩ ය.

තම බැතිමතුන් සියලුම උපද්‍රව වලින් බේරා ගන්නා කාරුනික සමාව දෙන ආදරනීය සුරතල්  දරුවෙකු සමාන ගතිගුණ ඇති ගණ දෙවියන් උතුරුමැද පලාතේදී දැඩි වන්දනාවට පාත්‍ර වේ. ජනයා සිය සියලුම දුක් දොම්නස් වලදි මෙන්ම සිය ගොඩ මඩ වගා වල ආරක්ශාව පතාද පුල්ලයාර් ට පූජා පවත්වති. වාර්ශිකව පවත්වන කිරි ඉතිරුම් මංගල්‍ය පවත්වා පුල්ලෙයාරේ පුදන රජරට වැසියෝ ගොවිතැන් සහ සුභ වැඩ ඇරඹීමට ප්‍රථම පොල් ගෙඩියක් උස් ස්ථානයක තබා එය ගන දෙවියන්ට කැප කර කාර්‍ය සාර්ථක වූ පසු ඉන් කිරි බත් පිසීම හෝ පොල් ගැසීම සිදු කරයි. 

නුවණට අධිපති ලෙස සැලකෙන ගන දෙවියන්ට බොහෝ සිසුන් වන්දනා කරන අතර නුවර කලාවියේ ජනතාව ගේ  සහ ලොව  අනෙක් ගනදෙවි බැතිමතුන්ගේ වැඳුම් පිදුම් චාරිත්‍ර දැඩි වෙනසක් ගනී නුවරකලාවිය ජනතාව ගොවිතැන් සදහා භාර හාර වී තුම්මං හන්දි අසල ගනදෙවි පූජාසන ආසන්නයේ ලිප් බැද හකුරු , කජු , රට ඉදි පැනි මුසු කිරිබත් උයා භාර හාර කැප කර එම කිරිබත් අන් අයට ද බෙදා දෙති. එහිදී යම් ගාථා යාතිකා ගැයේ.. ලොව අන් ගනදෙවි බැතිමතුන් මුලින්ම මූල් මන්ත්‍ර කියා ගනදෙවි බැල්ම ලබාගන ස්ත්‍රෝත්‍ර ස්ලෝක ගයති . ඒ ශ්ලෝක අතර ගනේශා පන්චරත්න නම් ඉමිහිරි  ශ්ලෝකය මුල් තැන ගනී. ශන්කත නාශන ස්ත්‍රෝත්‍ර , ගයාත්‍රි මන්ත්‍ර භජන් ගී මෙන්ම ගනදෙවියන්ට සුභ පතා ගයන ඉමිහිරි සුප්‍රභාතම්ද ඒ අතර වේ. ගනේශා අභිශේක මංගල්‍ය හෙවත් ගනදෙවියන් ස්නානය කරවීම ගනේශා සහස්‍ර නාම් පූජාව ගනේශා එකසිය අට පූජාව ආදී පිදුම් වලින් ඔවුහු ගන දෙවියන් පුදති. එම බැතිමතුන් මූලිකවම ගන දෙවියන් ගේ උපන්දිනය වන ගනේශා චතුර්තිය සෑම වසරකදීම ඉහලින් සමරති.

By f9photos Envato

ගනේශා පුල්ලෙයාරේ යන නම් වලට අමතරව ගන දෙවිඳුන්ට නම් විශාල ප්‍රමානයක් පවතී. ඒ විග්නේෂ්වරාය , බාලචන්ද්‍ර , ලම්බෝදර ආදී ලෙස වන අතර විවිධ වෙසින්ද පහල වන බව පැවසේ.  එම වෙස් වලට අනුව විවිධාකාර සුන්දර ගනදෙවි ප්‍රතිමාද දක්නට ලැබේ. ලඩ්ඩු අතතිව මෝදක අතැතිව පොතක් අතැතිව ආදී විවිධ ස්වරූප වලින් ගන දෙවියන් ප්‍රති නිර්මානය කිරීමට කලා කරුවෝ උත්සුක ව ඇත. මුං පියලි පොල් පැනි එක් කර සහල් පිටියෙන් තනා කුඩා අත්තන ගෙඩියක් බදු මෝදකම් ගන දෙවි පූජාවට නැතිවම බැරි ගන දෙවියන් ප්‍රියතම කැවිලි වර්ගය වේ . කෙසල් පත්‍රයක් පූජාසනය මත එලා පූජාව පිලිගැන්වීම් ගන දෙවි වන්දනාවේ අංගයකි. බිදින ලද පොල් ගෙඩියක් නොකැපු පලතුරු , රසකැවිලි , මල් වර්ග ආදිය පූජා කරනු ලැබේ..

උමයංගනාව කාලි වේශයෙන් ඉද්දී දේව සභාව ග්‍රහ මංඩලය සහ සුර අසුර සේනා පොරොන්දු වූ ලෙස ගනදෙවියන් වදින බැතිමතුනට කිසිදු නපුරක් අසුභයක් දෝශයක් ලගා නොවන බව අදටත් සැලකේ. නුවණ ලබා ගැනීමේ අරමුනින් දරුවන් නිතැතින්ම ගනදෙවියන් නමදින අතර බාල ගනේශ ස්වරූපයෙන් දරුවෙකුගෙ ගතිගුණ දරමින් සිටින ගන දෙවියන් එසේ දරුවන් පූජාසනය අසල ගැවසීම ඉතා ප්‍රිය කරන බවත්  ජනප්‍රවාදයේ පවතී..

 



Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us