Helabima

ලොවක් මුලා කල දෙමෝදර නයින් ආර්ච් බොරුව

බිනරි ඇතුගල


ලංකාවේ  ප්‍රධානම සංචාරක මර්මස්ථානයක් වන ඇල්ල ප්‍රදේශයේ පිහිටා ඇති දෙමෝදර ආරුක්කු නවයේ දුම්රිය පාලම දෙස් විදෙස් සංචාරකයන් ගේ නොමද ආකර්ශනය දිනා ගත් ප්‍රකට සංචාරක ගමනාන්තයකි. කොළඹ කොටුවේ සිට උඩරට දුම්රිය මාර්ගයේ සැතපුම් 160 ක් ගිය පසු මෙම සුන්දර දසුන දැකගත හැක. ලංකාවේ අන් කිසිම දුම්රිය පාලමකට දෙවනි නොවෙන මේ සුන්දර පාලම අන් දුම්රිය පාලම් මෙන් යකඩින් නිර්මානය නොකර  කොන්ක්‍රීට් කලුගල් සිමින්ති ආදියෙන් නිර්මානය කර තිබේ.  වෘත චාපයක් මෙන් වංගුවක් ආකාරයට හැඩවී ඇති මෙය අති විශාල ආරුක්කු නවයකින් යුතුය. බැලූ බැලූ අත කොළපැහැ තේවතු මැදින් විරාජමානව හිදින මෙම පාලම දිගින් අඩි 400 ක්ද උපරිම උසින් අඩි 100 ක් ද වේ.  ශ්‍රීලංකා ඉංජිනේරු ආයතන වෙබ් අඩවියේ  පල කල ඇති හැරල්ඩ් කඩ්බර්ත් මාවුඩ් නම් දුම්රිය ඉංජිනේරුවා විසින් අදින ලද මේ පාලමේ සැලැස්මට අනුව මෙය අඩි 420 ක අරයක් ඇති වෘතයක  චාපයක් මෙන් නිර්මානය කර ඇත. එම ඉංජිනේරු වරයා එවකට එනම් ඉංග්‍රීසි පාලන සමයෙ ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ බන්ඩාරවෙල බදුල්ල අතර  මාර්ග ඉදිකිරීම් භාර විධායක ඉංජිනේරු ධූරය දැරූ පුද්ගලයායි. ඉංජිනේරු ආයතන වෙබ් අඩවියේ  සංරක්ෂණය කර ඇත්තේ පාලම ඉදි කිරීමට පෙර ඒ මහතා විසින් අදින ලද පාලමේ සැලැස්මයි

ඉදින් මෙම පාලමේ ඉතිහාසය ගැන අධ්‍යනය කල විට ලංකාවේ මෙන්ම දෙස් විදෙස් ජනතාව අතරද පැතිර පවතින්නේ  මෙය පී කේ අප්පුහාමි නම් ලාංකියයකු විසින් නිර්මානය කල බවයි. එය නිරන්තරයෙන්ම මෙරට පුවත්පත් මගින්ද වෙබ් අඩවි සහ බ්ලොග් අඩවි මගින්ද අදටත් ප්‍රචාරය කරන ලද ප්‍රවාදයකි... මහා දාගැබ් වැව් බැන්දා සේම අපේ රටේ අයෙක් මේ සා දැවැන්ත නිර්මාණයක් කලා යැයි පැවසීමෙන් ජාත්‍යාලයෙන් උදම් වීමට ඇති කැමැත්ත නිසාම බහුතරයක් ජනතාව දෙවරක් නොසිතා මෙම ප්‍රවාදය පිළි ගැනීමට සෑදී පැහැදී සිටිති.

මේ ආකරයෙන්ම මීට අතිශය සමාන කොන්ක්‍රීට් පාලම් එංගලන්තය ස්විස්ටර්ලන්තය ප්‍රංශය ආදී රටවල , දෙමෝදර පාලම ඉදි කිරීමට පෙරම ඉදිවූ නිසා විදේශිය ඉංජිනේරුවන් මෙම ස්තානයේ ලාංකිකයක ගැමියෙකු පාලමක් ඉදි කරන තෙක් සිටියේ මන්දැයි සාධාරණ සැකයක් මතු වේ.

 

සිලෝන් රේල්වේ  නම් ග්‍රන්ථයේ සදහන් ලෙස    1864 රේ කොළඹ සිට අඹේපුස්ස දක්වා ඉදි කරන දුම්රිය මාර්ගය 1894 සැප්තැම්බර් 13 වනවිට බන්ඩාරවෙල තෙක්ම සාදා අවසන් කර තිබිණි. . ඉන් ස්වල්ප කාලයකට පසුව  උඩරට වැවිලි කරුවන්ගේ සංගමය එක්ව මෙම දුම්රිය මාර්ගය බදුල්ල තෙක් දීර්ඝ කරන ලෙස ඉංග්‍රීසි ආණ්ඩුවෙන් ඉල්ලා සිටියත් ඒ වෙද්දී උතුරු සහ මුහුදුබඩ දුම්රිය මාර්ග වල වැඩ කටයුතු කරමින් පැවතුණු නිසා ඉංග්‍රීසි ආණ්ඩුව මේ පිලිබදව අවධාණය යොමු කලේ නැත. . 1905 ජනවාරි 14 වෙනිදා වැවිලිකරුවන් ගේ සංගමය බදුල්ල ආන්ඩුකාරවරයාට මේ ඉල්ලීම ඉදිරිපත් කරන අතර හෙතමේ එය මධ්‍යම රජයට ඉදිරිපත් කිරීම සිදු කර ඇත .ඉන් පසු  මේ ඉල්ලීම සලකා බලා1907 ජනවාරි 4 දින  බන්ඩාරවෙල සිට බදුල්ල දක්වා දුම්රිය මාර්ගය සදහා මැනුම් කටයුත්තක් ආරම්භ කර තිබේ.මේ මැනුම් කටයුත්ත අතර එවකට රාජ්‍ය මන්ත්‍රණ සභාවේ 1907  පෙබරවාරි 6 දින මෙම දුම්රිය මාර්ගය සම්බන්ධයෙන් විවාදයක්ද ඇතිව තිබේ . 1907 ඇරඹුණු මැනීම් කටයුතු 1910 වනවිට අවසන්ව ඇති අතර දුම්රිය මාර්ගය සම්බන්ධ සියලුම මිනුම් වියදම්  තක්සේරු  වාර්තාව එය සිදුකල ටී ඒ වයිලි මහතා විසින් රජයට භාර දී ඇත.

 

By LightFieldStudios Evanto

ඒ අනුව 1911හේ අප්‍රේල් මාසයේදි බන්ඩාරවෙල සිට බදුල්ල දක්වා දුම්රිය මාර්ග දිගුවේ වැඩ ආරම්භ කර තිබේ. එහි සැලැස්මට අනුව මේ කදුකර පෙදෙසේ දුම්රිය මාර්ගය සදහා ඉදි කිරීමට අවශ්‍ය සියලුම පාලම් ලෝහයෙන් නිමවා එංගලන්තයේ සිට නැව් මගින් මෙරටට ආනයනට ඉංග්‍රීසි රජය සූදානම් වුවත් දුම්රිය මාර්ගයේ වැඩ අරඹා තෙවසරකට පසු එනම් 1914 ජූලි මාසයේ ආරම්භ වූ පලමුවන ලෝක යුද්ධය හේතුවෙන් නාවුක ගමනාගමනය  ඇනහිට තිබේ. ඒ නිසා නැවතත් සැලසුම් වෙනස් කර යකඩින් ඉදි කිරීමට නියමිත ව තිබූ පාලම් කොන්ක්‍රීට් වලින් නිමවීමට තීරණය ගෙන තිබේ. එහිදී පෙර කී හැරල්ඩ් කට්බර්ත් මාවුඩ් නම් බන්ඩාරවෙල බදුල්ල අතර දුම්රිය මාර්ග  ඉදිකිරීමේ විධායක ඉංජිනේරු වරයා දෙමෝදර නිම්නය හරහා දුම්රිය ධාවනයට මෙම පාලම සැලසුම් කර තිබේ. බුරුමයෙන් ආනයනය කල තේක්ක ලී වලින් ආරුක්කු හැඩ වලට අවශ්‍ය ආධාරක නිමවා විශාල කම්කරුවන් පිරිසකගේ ශ්‍රම දායකත්වයෙන් ඉංග්‍රීසි ආණ්ඩුවේ සැලැස්මට අනුව මෙම පාලම ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව දේශීය කොන්ත්‍රාත්කරුවකුට භාර කර ඇතැයි සදහන් වුවත් ඔහුගේ නමක් ගැන විස්තරයක් සදහන් නොවේ.කොන්ක්‍රීට් අනන උපකරණයක් දොබකරයක් සහ ස්කොච් ඩෙරික්  දොබකර දෙකක් මේ සදහා භාවිත කර ඇති බවත් ඉතා විශාල කම්කරුවන් පිරිසක් මෙහි සේවය කල බවත් අතීත චායාරූප වලින් හෙළි වේ.

පලමු ලෝක යුද්ධය නිසාම මෙරටට මෙබදු සුන්දර පාලමක් හිමි වූ අතර මේ වෙද්දී  එය දිනෙන් දින ජනප්‍රිය වන ඉතා ජනාකීර්ණ සංචාරක ස්ථානයකි. කෙසේ වෙතත් ඕනෑම නිර්මාණයක් සැලසුම් කල තැනැත්තාට හිමි වන ගෞරවය  මේ සා දැවැන්ත සුන්දර   අදටත් නොසැලී පවතින නිර්මාණයක්  සැලසුම් කල හැරල්ඩ් කඩ්බර්ත් මාවුඩ් මහතාට හිමි නොවීම ඉතා අවාසනාවන්ත කරුණක් බව කිව යුතුමය

 



Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us