Helabima

කල්‍යාණි රන් පිවිසුමට විවෘත කිරීමට පෙර දින පාලම් පාරුව පෙරලී යාම කුමන්ත්‍රණයක් ද ?

මෙවන් රිටිගල


ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට අධිතාක්ෂණික කේබල් මත ඉදිකරන ලද කැළණි පාලම ජනාධිපති සහ අගමැති අතින් 24වනදා විවෘත විය. කැළණි ගඟ හරහා ඉදිකර ඇති මෙම පාලම දිගින් මීටර් 380ක්. මුළු පෑලියගොඩ නගරයම විවිධ වර්ණයන් ගෙන් ඒකාලෝක වී දකුණ සංවර්ධනයෙන් ඉහළට යද්දී උතුරේ සෝ සුසුම් හඬ රැව් දුන්නේය. 

ලංකාවේ තවම විදුලිය නැති ගම් ඕනෑ තරම්ය. ඩිජිටල් වූ අධ්‍යාපනය ලබා ගැනීමට නොහැකිවූ දරුවන් දහස් ගණනක් ඇත. ජනතාවගේ මේ අනෙක විධි දුක් වේදනා සෑමවිටම ඇසෙන්නේය. නමුත් අදාල ප්‍රදේශ වල සිටින ජනතා නියෝජිතයින්ට මේ මිනිසුන්ගේ දුක තේරුණා නම් ලංකාව සිංගප්පුරුවක් වී අවසන්ය. 

පලම්පාරුවට ගියොත් කින්නියා ඉදි කිරීමට යෝජිත පාලම දෙපසින් ඉදි කිරීම සිදුකර අතරමඟ නවතා දමා ඇති අතර එම පාලමේ දිග (වැඩ නිමවූ පසු) මීටර් 400කි. 2017 වසරේදීත් යහපාලන රජය සමයේ මෙම පාලම ඉදි කිරීමට මුල් ගලත් තැබුවේය. නමුත් එහි වැඩ නතර වී තිබිණි. එතෙක් පැවති අබලන් පාලම කඩා දැමීමත් සමඟ ජනතාවට එහා මෙහා යාමට විකල්පයක් නොමැතිවීමෙන් ජනතාව කළේ පුද්ගලිකව සාදා ගත් පාලම් පාරුවලින් ගමන් බිමන් යාමය. ගොඩබිම් මාර්ගයක් ඇතත් එය කිලෝමීටර් 4ක් ගෙවාගෙන යාම නිසා කාලය ඉතිරි කර ගැනීමට පාලම් පාරු භාවිතා කර මාස කිහිපයක් ගත වී තිබිණි.

මේ අවාසනාවන්ත කතාවේ මූසල දිනය නොවැම්බර් 23වනදාය. එදා පාලම් පාරුව පෙරලී ගියේය. හය දෙනෙක් මිය ගියේය. ආණ්ඩුව පැවසුවේ කොවිඩ් නිසා පාලමේ ඉදිකිරීම් කටයුතු නතර වූ බවකි. කින්නියා කුරින්ජන්කර්නි ප්‍රදේශයේදී පාලම්පාරුවක් පෙරළී යාමෙන් තුවාල ලබා නේවාසිකව ප්‍රතිකාර ලබන පුද්ගලයන්ගේ සුවදුක් බැලිම සදහා (25) පෙරවරුවේ කින්නියා රෝහලට ආණ්ඩුකාරවරිය අනුරාධා යහම්පත් ද ගොස් තිබිණි. 

දෙයක් වුවාට පසු ඊට අවශ්‍ය දේ කිරීම හෝ පැවසීමෙන් වගක් නොවේ. නමුත් අප මේ කරුණු මෙසේ වාර්තා කරන්නේ උතුරේ වුවත් දකුණේ වුවත් මෙවන් සිදුවීමක් නැවත සිදු නොවීමට වගකිවයුතු බලධාරීන්ගේ ඇස් කන් ඇරිය යුතු නිසාවෙනි. මෙවර දේශපාලන කොළමේ සටහනක් ලෙස මෙකී සිදුවීම සටහන් කරන්නේ මුළු මහත් ලංකාවේම හිත් පසාරු කරවන්නට මේ ඛේදවාචකය සමත් වූ බැවිනි. 

එදා මෙදා තුර උතුරේ දේශපාලන ඩීල් වෙනුවෙන්ම වෙන්විය. උතුරේ අහිංසක මිනිසුන්ගේ කඳුළු උතුරේ දේශපාලයකින් අවියක් කොට ගත්තේය. දේශපාලකයන් තම වාසිය උදෙසා උඩගෙඩි දුන්නා මිස ජනතාවට කල දෙයක් නම් නැත.  එසේ දෙයක් ඔවුන්ගෙන් වූවානම් අද මෙලෙස කතා කරන්නට සිදු වන්නේද නැත. 

නැගෙනහිර පළාතේ දැනට ක්‍රියාත්මක වන සියළු පාලම් පාරුවල ගුණාත්මකභාවය පරීක්ෂා කිරීම සඳහා විශේෂ කණ්ඩායමක් පිටත් කර යවන බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පැවසීය. එමෙන්ම පොලිසිය, පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරු අංශය සහ නාවික හමුදාව මෙම විශේෂ කණ්ඩායමට ඇතුලත් කිරීමට නියමිතය. සිදුවීම ගැන නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය "ලංකාවේ දිගම පාලම තියෙන්නෙත් නැගෙනහිර පළාතේ. මේ ස්ථානයේ පාලම හදන්න ප්‍රමාද වූයේ කොවිඩ් වලට වැඩ නැවතුණු නිසා. විකල්ප මාර්ගයක් තිබුණත් ජනතාව එය භාවිතා කරන්න කැමති වුණේ නෑ. දැන් අපි මේ සිදුවීම ගැන පරීක්ෂණයක් කරනවා.  එම වාර්තාව අද පස්වරුව වනවිට ලැබෙනවා. එම වාර්තාවේ අඩංගු නිර්දේශ මත අපි ඉදිරි ක්‍රියාමාර්ග ගන්නවා. එහි වැරදිකරුවන් සිටියොත් ඒ අයට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමටත් අපි කිසිදා පසුබට වෙන්නේ නෑ. වගකිම් පැහැර හරින්න කිසිම කෙනෙකුට පුළුවන්කමක් නෑ. කෙසේවෙතත් දැනට මේ ජනතාවට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් නාවික හමුදාව මගින් සිදු වෙනවා. ඊට අමතරව මෙම පාලමේ වැඩ කඩිනමින් අවසන් කරන්න රජයේ අවධානය යොමු වෙලා තියෙනවා“

ආපස්සට ගියහොත් තිබූ පරණ පාලම වසර 40ක් පරණය. ප්‍රදේශවාසියෙක් කියූ සටහනක් මෙසේ සටහන් කරන්නෙමු. "නැගෙනහිර මහා ඇමති නජිම් එම් මජිඩ් 1970දී දශකයේ ඉදිකර තිබූ පරණ පාලම ඉතා අබලන් වුණා. මිනිස්සු දිගින් දිගටම දේශපාලඥයින්ට කිවුවා මේ පාලම හදල දෙන්න කියල. අප්‍රේල් මාසේ මුල් ගල තියලා පාලමේ වැඩ පටන් ගත්තා. පරණ පාලම කඩා ඉවත් කළත් මිනිස්සුන්ට විකල්ප ගමන් මාර්ගයක් හදලා දුන්නේ නැහැ. පාලමේ වැඩ ඇණ හිටලා මාසයක් වෙනවා. විකල්පයක් හදලා නොදීම නිසා කිහිප දෙනෙක් එකතු වෙලා මුදලට මිනිසුන් එහා මෙහා කිරීමට පාලම පාරු සේවාව පටන් ගත්තේ.   රජයෙන් විකල්ප ගමන් මාර්ගයක් තිබ්බා නම් මේ ඛේදවාචකය වෙන්නේ නැහැ. 

මේ පාලම් පාරුව පුද්ගලික කෙනෙක් හදලා දාලා තියෙන්නේ ප්‍රමිතියකට නෙමෙයි. ඔරු 3ක් එකට කරලා බැරල් දාලා පිටත එන්ජින් එකක් සවි කරලා ධාවනයට එක් කරලා තියෙන්නේ. ඔය ඛේදවාචකය සිදුවෙන්න දින කිහිපයකට පෙරත් ඔය පාලම් පාරුව පෙරලෙන්න ගියා. දැනට හදාගෙන යන කුරුඥ්ඥන්කේනි පාලමේ දෙපැත්තේ පාලම් පාරු දෙකක් ක්‍රියාත්මක වෙනවා. ඒ එකක් තමයි මේ අනතුරට ලක් වුණේ. පිළිගත් රාජ්‍ය ආයතනයකින් ප්‍රමිතියට පාලම්  පාරු සේවාවක් දැම්මා නම් මෙවැනි විපතක් සිදුවන්නේ නැහැ. "ඔවුන්ගේ කතා වලින් උතුරේ තත්වය මනාව පෙන්නුම් වේ.

කින්නියා ප්‍රාදේශීය සභාවෙන් දමා තිබු පාලම් පාරුව අබලන්වීමෙන් කලකට ඉහතදී පැත්තකට විසිකර ඇත. සාමාන්‍යයෙන් දිනකට 20ක් 22ක් ගමන් කරල දැඩි වර්ෂාපතනක් සිදුවූ මෙම ඛේදවාචකය සිදුවූ දින 27ක් ගමන් කර ඇති බව අදාල අංශ පැවසුවේය. කෙසේවෙතත් තවත් අනතුරක් සිදුවීමට මත්තෙන් විකල්පයක් විසදුමක් දෙන්නැයි ප්‍රදේශවාසින් ඉල්ලති. 

ත්‍රිකුණාමල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කපිල නුවන් අතුකෝරල මෙසේ කීවේය. "වත්මන් අගමැතිතුමා කින්නියා ජනතාවගේ ඉල්ලීමට අනුව අදියර තුනක් යටතේ වැඩ ආරම්භ කෙරිණි. රුපියල් මිලියන 757ක් වෙන් වී ඇත. මෙහි ඉදිකිරීම් සමාගම උප සමාගමකට කොන්ත්රතුවක් භාර දීලා. කොහොම වුණත් මෙහි පාලමේ වැඩ ඉවර වෙනකල් කින්නියා ප්‍රාදේශීය සභාවට සහ නගර සභාවට අයිතියක් තිබුනා සේවාවක් විදියට පාලම පාරු සේවාව පවත්වගෙ යන්න. 

එසේ කියද්දී නැගෙනහිර ආණ්ඩුකාරිනී අනුරාධා යහම්පත් පාලම් පාරු සේවාවට අනුමැති දුන් කෙනා කවුද සහ නඩත්තු කරන්නේ කවුද යන්න සොයා බලන්නයි දැනුම් දී තිබිණි. ඒ අනුව ඒ සම්බන්දයෙන් තමන්ට වාර්තාවක් ලබා දෙන ලෙසට ඇය ඉල්ලා ඇත. මෙවෙලාවේ සන්සුන්ව ඉන්න කියලා මම ජනතාවගෙන් ඉල්ලීය. 

ලංකාව යනු කොළඹ යැයි සිතන දේශපාලකයන් මෙන්ම නිලධාරිහුද මෙරට සිටිති. කොළඹ ඇති පහසුකම් සියල්ල ගම්වලද ඇති යයි සිතන පිරිසක්ද වෙති. නමුත් එය එසේ නොවන බව මෙම සිදුවීම මනාව හේතු කොට පෙන්විය. අහිසක මල් කැකුළු ඇතුළු 6ක් මිය යද්දී 14 දෙනෙක් රෝහල් ගත කළේය. 4දෙනෙක්ගේ තත්වය බරපතල වේ. පාසල් යමින් සිටි රැකියාවට යමින් සිටි වුන යට අද එවන් තත්වයක් උදා වී ඇත. මඟීන්ගේ ජිවිත වලට එහි තිබු රක්ෂණය බරපතල ගැටලුවකි. මිය ගිය පිරිස් අතර මවක් සහ දියණියක් ද වේ. ඕනෑම අත්වරද්දකට වන්දි ගෙවන්න සිදුවන්නේ ජිවිත වලිනි. පාලම් පාරුවේ ගමන් ගන්න මගීන්ගෙන් මුදලක් අය කරයි ඒ ගැන අපගේ තර්කයක් නැත එය සාධාරණ විය හැකිය නමුත් ගමන් ගන්නා මගීන්ගේ ජීවිතාරක්ෂාව ගැන වගක් තිබී නැති වීම වගකිව යුත්තන් ඊට වග නොවීම ගැන අපිට ගැටළුවක් ඇත. ඔරු 3ක් යා කර සකස් කර ඇති පාලම පාරුව සීමිත පිරිසක් ගමන් ගත හැකි එකක් වුවත් අපට වාර්තා වන පිරිදි එදිට 33 දෙනෙක් ගමන් ගෙන ඇත. සමබරතාවය නොමැති වීමෙන් මෙම ඛේදවාචකය සිදු වී තිබිණි. 

අහිංසක මිනිසුන් අහිංසක කිරිකැටියන් අවසානයේදී සිය ජිවිතයෙන් වන්දි ගෙවා අවසන්ය. 

පාලම්පරුවට ප්‍රාදේශීය සභාවෙන් අවසර ගත යුතුව ඇත. කොන්දේසි ගණනාවක් ඒ අතර වේ. එය පළාත් පාලන ආයතනයේ මෙන්ම පොලිසියේ වගකීම වන්නේය. 

කෙසේහෝ දැන් ජිවත වලට පණ එන්නේ නැත. සංහාරයට පෙර සංරක්ෂණය ගැන දැන්වත් උතුරේ මිනිසුන්ගේ දුක විකුණන් කන දේශපාලයකින් මනාව සිහියට ගත යුතුය. පාලම ඉදිකිරිම 2017 වසරේදී නතර වුවත් පාලම වෙනුවට විකල්ප මාර්ගයක් හඳුන්වා දුන්නත් එය රවුමක් බැවින් අහිංසක මිනිසුන් පාලම් පාරුවට හුරු විය. පහසුව ගැන සිතීම මිනිසුන්ගේ හැටිය.   මිනිසුන් කඳුළු සලමින් සුසුම් හෙළමින් දෙස්දෙවොල් තබමින් සිටින්නේය. පාලකයන් දේශයකට තවත් ශාපයක් නොවී සිටීමට වගබලා ගත යුතුව ඇත. එදා එජාපය මෙන්ම ජවිපෙ පාලම් කන්නදැයි ප්‍රශ්න කළේය. නමුත් එදා ඒ අයුරින් සංවර්ධනයන් සිදු වීමට ඉඩ දුන්නා නම්, ආණ්ඩු මාරු නොවුණා නම්, නැත්නම් සිදුකළ සංවර්ධනයන් බලයට පත්වූවන් නිමා කරන්නට තරම් කුහක නොවුනානම් අද මෙවන් ඛේදවාචයක් ද නැත. 

ජනතාවගේ දුකට සංවේදී නොවූ , ඔවුන්ගේ අදෝනාවන්ට කන් නොදුන් උතුරේ දේශපාලනය නිසා උතුර තවමත් එකම තැනය. දැන්වත් කින්නියාව පමණක් නොව රටේ බොහෝ ප්‍රදේශවල මරුට අත වනමින් ජිවත්වන අපගේම ජනතාව ගැන සොයා බලා අවදානම් ඇති අදාල ස්ථාන ගැන අවධානයට ගැනීම අදාල නිලධාරීන් වගකීම වන්නේය. 



Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us