Helabima

රජ පවුල දණ ගැස්සුව ඩයනා කුමරියගේ හිතුවක්කාර කම් හෙළි වේ

බිනරි ඇතුගල


බ්‍රිතාන්‍යයේ රජ පවුලේ රැජිනට වත් හිමි නොවන තරම් වචනයේ පරිසමාප්තියෙන්ම මිහිතලයේම ජනප්‍රියත්වය දිනාගත්, එහෙත් තම හීන්දෑරි එකොළොස් අවුරුද්දක් වැඩිමල් සැමියාගේ හිත දිනාගන්න අසමත් වූ, ලොවම දිනූ ඒත් පැරදුණු ගැහැනියක් ලෙස ඩයනා ස්පෙන්සර් කුමරිය හැදින්විය හැකියි. අවුරුදු 19 යේදී ලොවම කලඹපු එතෙක් මෙතෙක් පැවති උත්කර්ෂවත් ම සුරංගනා මංගල්‍යයේ සාඩම්බර මනාලිය වීමට වාසනාව ලැබුවත් මංගල දිනයේදි වත් සිය සැමියාගේ සිතේ කිරුල මොහොතකට හෝ දරාගන්න ඩයනාට හැකි වුනේ නෑ . නිල්පාට තරු ඇස් යුවලක් කෙටි රන්වන් කෙස් කළඹක් සුන්දර සිනහවක් දරා ගත් ආදරේ උතුරන ඒ මහා හදවතේ හිමිකාරිය හිරු නොබසින අධිරාජ්‍යයේ රැජින ඇතුලු රජ පවුලම කලඹවන ක්‍රියාකාරකම් බොහොමයක් සිදු කලා. ජනතා මුදලින් යැපෙන රාජකීයන් සාමාන්‍ය මිනිස්සු බව ලොවට ඔප්පු කරන්න ඇය කරපු හිතුවක්කාර ක්‍රියා ඇගේ ජීවත ගමන කෙටි කරන්න ඉවහල් වුවත් ඒ කෙටි ජීවිතේ ඈ ලොව පුරා ජන හදවත් ලක්ශ ගණනක් දිනා ගත්තා. රජ පවුල හෙල්ලිලා යන විදියට ඩයනා කඩ කරපු චාරිත්‍ර වාරිත්‍ර කිහිපයක් අද ඔබට ඉදිරිපත් කරන්න අපි සූදානම්

මංගල මුදුව

රාජකීය විවාහ මංගල්‍යන්ට ආභරණ තැනීමේදී මාලිගයට ස්වර්නාභරණ නිර්මාපකයින් කැඳවා ඔවුන්ටම වෙන් වූ ආභරණ නිර්මානය කරවා ගැනීම එංගලන්තයේ රජ පවුලට ඩයනා කුමරිය සම්බන්ධ වෙනතෙක් පැවති ඉපැරණි සිරිතයි. එහෙත් රජ පවුලට සම්බන්ධ වීමට පෙරම දහ නව වියැති ලාබාල යුවතියකව සිටි ඩයනා මේ සිරිත බිද හෙලා Crown jeweller garrard නම් ආයතනයේ කැට්ලොග් පතකින් සිය මංගල මුදුව තෝරාගෙන මිලදී ගත්තාය. කැරට් 12 ක ශ්‍රී ලාංකික නිල් මැනිකක් වටා සුදු දියමන්ති 14 ක් ඔබවා තැනූ මේ මුදුව එවකට පවුම් 30000 ක මිලකින් අලවි විය. මේ වන විට එම මුදුව ඩයනාගේ ජ්‍යෙෂ්ඨ පුත් ඔටුන්න හිමි විලියම් කුමරුගේ බිරිද කැතරීන් කුමරියගේ අත සරසයි. නමුත් ඩයනාට තවමත් ආදරය කරන එංගලන්තයේ ජනතාව පවසන්නේ ඩයනා ජීවතුන් අතර සිටියා නම් තම අසාර්ථක විවාහයේ සාප ලත් මුදුව කිසි සේත්ම තම ලේලියට නොදෙනු ඇති බවයි. ඩයනාගේ මරණයෙන් පසු හැරී කුමරු සතුව තිබූ මේ මුදුව සිය මනාලියට පැලදවීමට විලියම් කුමරු විසින් හැරීගෙන් ලබාගන තිබේ.

ඉටු නොකළ මංගල චාරිත්‍ර

එංගලන්තයේ රජ පවුලේ චාරිත්‍ර වලට අනුව ඔටුන්න හිමි කුමරු සමග විවාහ වන කුමරිය තම ස්වමියාට අවනත වනබවත් ඔහු අකමැති කිසිම දෙයක් නොකරන බවත් මංගල දිව්‍ය පූජාවේ සියලුම දෙනා ඉදිරියේදී ප්‍රතිඥා දිය යුතුයි . නමුත් ඩයනා කුමරිය මේ චාරිත්‍රය ප්‍රතික්ෂේප කලා. විමතියට කරුණ වන්නෙ ඩයනා චාල්ස් විවාහයෙන් 30 වසකකට පසු පැවත්වූ විලියම් කේට් විවාහ මංගල්‍යේත් මෙම චාරිත්‍රය ඉටු කෙරුණේ නෑ

මංගල දින රාත්‍රියේ ඩයනාගේ කෝපය

චාල්ස් ඩයනා විවාහයට ස්වල්ප කලකට පෙර සිට චාල්ස් කුමරු කැමිලා නම් වැන්දඹුවක හා හාදව සිටි බව ඩයනා දැන සිටි අතර එය ඇගේ දැඩි ශෝකයට හේතු වී තිබිණි. සියවසේ මංගල්‍ය ලෙසින් නම් ලද ඔවුන්ගේ මංගල දින රාත්‍රියේ පැවැත්වූ සාදයටද කැමිලා සිය පුත්‍රයා සමග සහභාගි වෙද්දී චාල්ස් පැළඳ සිට ඇත්තේ CC යන අකුරු වලින් සැදුණු කැමිලා විසින් පිරිනැමූ කෆ්ලින්ක්ස් යුවලකි.එහි සී අකුරු දෙකෙන් චාල්ස් කැමිලා යන්න නිරූපණය වේ. එය දුටු ඩයනා කුමරිය දැඩි සේ කිපී චාල්ස් කුමරුගේ ඇදුම් සකස් කරන්නා වහාම සේවයෙන් පහ කර මංගල්‍යට පසු දිනයේම රජ මැදුර කලඹවා තිබේ.

දරු ප්‍රසූතිය

සාමාන්‍ය රාජකීයකු වත් දරු ප්‍රසූතිය සදහා රෝහල්ගත නොවී බකිංහැම් මාලිගයේ හෝ තමා සිටින මාලිගයකට සෞඛ්‍ය සේවකයින් කැඳවා දරු ප්‍රසූතිය සිදු කිරීම රජ පවුලේ සම්ප්‍රදාය වේ. හිතුවක්කාරියක වූ ඩයනා කුමරිය රාජකීයන්ගේ මෙම මාන්නාධික හැසිරීම අභියෝගයට පත් කරමින් එංගලන්තයේ අනාගත රජු බිහි කිරීමට රෝහල් ගතවූවාය . ඒ අනුව 1982 විලියම් කුමරු සහ 1984 රේ හැරී කුමරු එංගලන්තයේ සාන්ත මේරි රෝහලේදී මෙලොව එළිය දිටීය. තම නැන්දම්මා අනුව යමින් විලියම් කුමරුගේ බිරිද සිය දරුවන් ප්‍රසූත කළේද සාන්ත මේරි රෝහලේමය

 

Photo: © Getty Images

දරුවන් පාසල් යැවීම

රාජකීය දරුවෝ පාසල් නොයති. නිවසට පැමිණෙන ගුරුවරුන් ගෙන් උගනිති. එහෙත් ඩයනා අනෙක් දරුවන් හා ගැටී සමාජය ගැන ඉගනිය යුතුය යන අදිටනින් එංගලන්තයේ අනාගත රජු වූ විලියම් ව ජේන් මෙයිනර් පෙරපාසලට සහ ලන්ඩනයේ වෙදර්බි ප්‍රාථමික පාසලට යොමු කළාය. හැරී කුමරුද සිය සොයුරා සමගින් මෙම පාසලටම ගියේය . මේ වන විට ලොවේම ප්‍රසංසාවට බදුන් වෙමින් විලියම් සහ හැරී කුමාරවරුන් සාමාන්‍ය ජනයා සමග එක්ව හැසිරෙමින් සිය මවගේ අඩිපාරේ යාමට මූලාරම්භය වූයේ ඩයනාගේ මෙම තීරණය වේ

වැලදගැනීම් සහ හාදු

රාජකීය විවාහ මංගල දිනයේදී නව යුවල ජනතාව ඉදිරියේ සිප ගැනීම සිදු කලත් රාජකීය යුවල් හා දරුවන් ප්‍රසිද්ධියේ වැලදගැනීම් සිප ගැනීම් සිදු නොකරති. එහෙත් මේ නීතිය කඩමින් ඩයනා චාල්ස්ට ප්‍රසිද්ධියේ හාදු දුන්නාය. කුමාරවරුන් දෙදෙනා මාධ්‍ය ඉදිරියේ ජනතාව ඉදිරියේ සිප වැළඳ ගත්තාය.

එපමනක් නොව කිසිදු රාජකීයෙක් සිදු නොකළ සේ ඇය රාජකීය ගමන් චාරිකා වලට සිය දරුවන් කැටුව ගියාය. ඇගේ මෙම හිතුවක්කාර ක්‍රියාව අද වනවිට රජ පවුලේ සාමාන්‍ය දෙයක් බවට පත්වී රාජකීය දරුවෝ සිය දෙමාපියන් සමගම ගමන් බිමන් වල යෙදෙති. රාජකීයෝ තම දරුවන් වැළඳ ගනිති

අත්මේස් පැලදීම

රාජකීයෝ නිතරම අත්මේස් පළඳින අතර සාමාන්‍ය ජනයාට අතට අත දීමේදී අනිවාර්යයෙන් අත්මේස් පැළඳිය යුතු යැයි චාරිත්‍රයක් ද මාලිගාවෙහි පවතී. මේ නීතියට අභියෝග කල ඩයනා පැවසුවේ එවිට සාමාන්‍ය ජනතාව සහ රජ පවුලේ අය අතර දුරස් බවත් ඇති වන බවයි. එම නිසා ඇය අත්මේස් නොපැලඳ ජනතාවට අත දුන්නාය ,සාමාන්‍ය දරුවන් වඩාගෙන සිප ගත්තාය උකුල මත තබා සුරතල් කළාය. සාමාන්‍ය ජනතාව වැළඳ ගත් මුල්ම රාජකීයයා ඩයනා වන අතර ඇගේ දරුවෝ දැන් ඈ අනුව යමින් ජනතාව වැළඳ ගනිති .විශේෂයෙන් හැරී කුමරු නිතරම මෙය සිදු කරයි

රාජකීය දික්කසාදය

රජ පවුලේ අය අතර දික්කසාදයක් නොමැත. එහෙත් විවාහයට පෙර සිට පවති චාල්ස් ගේ අනියම් සබදතාව දුරදිග යාම මාලිගාවේ නීති බිදිමින් ඩයනා සිදුකල හැසිරීම් සමග පවුල අභ්‍යන්තරයේ සිදුවූ ඝට්ටන ආදිය හේතුවෙන් 1992 වෙද්දී ඩයනා සහ චාල්ස් වෙන් වුහ. ඔවුන් 1997 දී රජ මාලිගාවේ චාරිත්‍ර උඩුයටිකුරු කරමින් දික්කසාද වූහ. දික්කසාද වූයේත් අනාගත රජු වීම නිසා මෙය දැඩි ආන්දෝලනයක් ගෙනදුන් මාලිගාව ලද අතුල් පහරක් විය

Joao Silva/AP Images

වෙන්දේසිය

කිසිදු රාජකීයෙකු කිසිදා නොකළ ලෙස ඩයනා සිය මරණයට මාස දෙකකට පෙර තමාට අයත් ඇදුම් 79 ක් ප්‍රසිද්ධ වෙන්දේසියේ අලවි කළාය. එවකට මෝස්තර ලොව රැජිනක් සේ දිලුනු ඇයගේ ඇඟලුම් ඩොලර් මිලියන 5.6 කට අලවි වී තිබේ. ඩයනා එම අවසාන ඩොලරය දක්වා ඒඩ්ස් වලින් සහ පියයුරු පිළිකාවෙන් පීඩිත ජනයා උදෙසා වැය කලේ කිසිදු රාජකීයෙක් කිසිදා නොකළ ප්‍රසාදයක් අත්පත් කර ගනිමිනි.

ප්‍රංශයේ උමං මගකදී බ්‍රිතාන්‍යයේ රෝස කුසුම වයස අවුරුදු 36 දී ලොවටම අභිරහසක් ඉතුරු කර දෙනෙත් පියා ගත්තේ කෙටි කාලයක් තුල රජ පවුල තුල කුණාටුවක් බදු සුළඟක් මවා සියල්ල උඩුයටිකුරු කරමිනි. අනාගත රජුන් තැනිය යුත්තේ සාමාන්‍ය ජනයා අතරේ සාමාන්‍ය දරුවෙකු විලස බව ක්‍රියාවෙන් ඔප්පු කල ඩයනාගේ පුතුන් දෙදෙනා අද වෙද්දී මවගේ මග යන මානව හිතකාමී ජනතා මිතුරන් බවට පත්ව ඇත . ඩයනාගේ මරණය බ්‍රිතාන්‍යය එක හඩින් හැඩවූ අතර බකිංහැම් මාලිගය අසල අති විශාල භූමියක් ඈ වෙනුවෙන් ගෙන ආ සුදු රොස මලින් වැසී ගියේ ජනතාවගේ කුමරියක් බවට සාක්ශි සපයමිනි. අවසානයේ ඇගේ දේහය රැගත් අවමංගල ‍රථයට හිරු නොබසින අධිරාජ්‍යයේ මහා රාජිනිය හිස නවා ආචාර කල ආකාරය ලෝක මාධ්‍ය උනුසුම් කල පුවතක් විය. එහිදී එලිසබත් රැජින කිසිවෙකු වෙනුවෙන් නොනැමූ හිස ඩයනා වෙනුවෙන් නැවූයේ පොලවේ පය ගැසූ කුමරියකට කල ගෞරවයක් ලෙස නොව ජනතාව වෙනුවෙන් කල ගෞරවයක් ලෙසින් බව එකල මාධ්‍ය වාර්තා පවසා සිටියේය

                                   

 



Copyright © 2014-2022 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us