Helabima

සිය ගණනක් පිරිමින් අතින් දූශනය වූ තරුණියක් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයකට පත් වූ අනුවේදනීය කතාව

රුවන්තිකා මධුශානි


1963 නේ අගෝස්තු 10 ඉන්දියාවෙ උත්තර ප්‍රදේශයේ ගොර්කා කපුර්වා ගම්මානයේ අන්ත දුගී පවුලක පිපුණු මල යන තේරුම් ඇතිව පුලාන් දේවී යැයි නම් ලද බිලිදිය අවාසනාව දෝතින් දරාගන පහත් යැයි සම්මත කුලයේ ශාපයත් සමගින් මෙලොව එළිය දුටුවාය. ගැහැනු දරුවන් බරක් යැයි සිතූ සම්ප්‍රදායික දෙමාපිය යුවල ඔවුන් දරන්නාවූ සමාජ පීඩනය ගැහැනු දරුවන් පිටින් මුදා හැරීමට කටයුතු කල අතර ස්වකීය දෙවන දියනිය නිරන්තරයෙන්ම එහි ගොදුරක් බවට පත් කලහ. දැඩි ශාරීරික වද හිංසා මැද ගැහැනු දරුවාගෙන් ගැලවිය හැකි එකම මග ලෙස ඔවුන් දත් විවාහය පුලාන් දේවි වෙනුවෙනුත් තෝරාගත් ඔවුහු එකොළොස් වියැති සිය දියනිය 33 වියැති බුත්තිලාල් නැමැත්තාගේ දෙවන බිරිය ලෙස පාවා දී කිරි එළදෙනක් ත්‍යාග සේ ලබා ගත්හ. නිවසක කුදු මහත් සියලුම රාජකාරි වල නියැලී එහි ස්වල්ප හෝ ප්‍රමාදයකදී ලේ එන තුරු ගුටිබැට කෑමත් රාත්‍රියේදී දරුණු ලිංගික හිංසන වලට මුහුණ දී බුත්තිලාල් අතින් දූශ්‍ය වීමත් පුලාන්දේවිගේ දින චර්‍යාව විය. මේ හිංසා ඉවසාගත නොහී ඇය එම නිවසින් පැනගොස් සිය පියාගේ නිවසට පැමිණියාය. ගැහැනු දරුවන් බරක් සේ සැලකූ එම දෙමාපියන් විවාහය බිඳගෙන ආ දියනිය අල්ලා නැවතත් ගුටිබැට දී බුත්තිලාල් ගේ නිවසටම ගෙනගොස් දැමුවත් බුත්තිලාල් ඇයව ප්‍රතික්ෂේප කලේය. අවසානයේ නැවත ගමට රැගෙන ආ පුලාන්දේවි භාර ගැනීමට ඇගේ පියාගෙ සොයුරා ඉදිරිපත් විය . ඒ යටි අරමුණක් සහිතවය. සිය මහප්පාගේ නිවසට ගිය පුලාන් දේවිය බුත්තිලාල් ගේ නිවස හොද යැයි සිතෙන තරමට දරුණු වේදනා විඳින්නට සිදු විය. තම රුධිර බැම්ම පවා අමතක කල මහප්පා දිනපතා ඈ දූශනය කලේය බුත්තිලාල් ගේ නිවසේදී මෙන් දිනය පුරා ගෙදර වැඩත් රාත්‍රිය පුර දූශනය වීමත් ඇගේ උරුමය විය. එයද ඉවසීමට නොහැකි ව ඈ එම නිවසින් පැනගොස් බුත්තිලාල් ගේ නිවසටම පිවිසුණු අතර ඒ වෙද්දී ඔහු විවාහ වී සිටි බැවින් ඇයට නැවතත් සිය පියාගේ නිවසට යාමට සිදු විය.

ලේ ගලන තුවාල හිසටත් ඉහලින් පැටවුනු නිවසේ වැඩ වලින් පීඩා විදිමින් සිටි ඇයට සිහින් වසන්තයක් උදා වන්නේ මේ අතරය. කෛලාශ් නම් විවාහක තරුණයකු ඇය හා පෙමින් බැදෙන්නේ මෙහිදීය. කෛලාශ් සමග ඇය අඹුසැමියන් සේ දිවි ගෙවීම ඇරඹූ අතර උදාවූ ඒ වසන්තය රැඳුණේ ටික කලකි

ඇය මහප්පාගේ නිවසේ රන් බඩු මුදල් රැගෙන පලා ගිය බව පවසා මහප්පා උත්තර ප්‍රදේශ් පොලිසියට පැමිණිලි කර තිබිණි. දුප්පතා ඉදිරියේ කාර්‍යක්ශම වන ඉන්දීය පොලිසිය නිවසට පැමිණ එම අභූත චෝදනාව ට ඈ අත්තඩංගුවට ගත් හ. දින 14 ක් පුර දිවා රැයක් නොමැති ව 14 හැවිරිදි දැරිය පොලිස් නිලධාරීන් අතින් දූශනය වූවාය. වේදනාව ඉවසාගත නොහී මර හඩ තලද්දී ගුටි බැට කමින් මාරුවෙන් මාරුවට එන පොලිස් නිලධාරීන් ගේ විවිධ විකෘති ආශාවන් සැපිරීමට ඇයට සිදුවිය . මහප්පා ගෙ මිතුරු පොලිස් භටයන් ඇයට හිතාමතාම පීඩා කලහ. අවසානයේ කෛලාශ් ඇප දී ඇය නිදහස් කරගෙන එම බිහිසුණු භූමියෙන් යලි ගමට රැගෙන ගියේය

ඇගේ අති මහත් පාපය තවමත් ගෙවී නොමැති බව දක්වමින් ගොර්කා කපුර්වා ගම් වැසියන් ගම් මායිමට රැස්ව සිටියහ. තමන්ගේ ම රැහේ එකියක මේ සා විපතට පත් වද්දී ඇයව ලිපෙන් ගිනි වලකට ඇද හෙලමින් ඔවුහු උද්ඝෝෂණ කලේ සිර ගතවූ කතක් යලි ගමට නො ආ යුතු බව කියමිනි.. අවසන කෛලාශ් ගේ මිතුරු පිරිසක් ඇය වෙනුවෙන් ඉදිරිපත් වුහ.

ඇගේ ජීවිතේ නව පරිච්ඡේදයක් ඇරඹුණේ ආලෝකය කිසිදා ඈ වෙත නොඑන බව ප්‍රත්‍යක්ෂ කරමිනි. එම මිතුරෝ මල්ලා නම් හොර කල්ලියක සාමාජිකයන් වූහ. පුද්ගලයින් පැහැරගෙන මරා දැමීම කප්පම් ගැනීම මංකොල්ල කෑම ඔවුන්ගේ ජීවිකාව විය. හොර නඩයේ නායක බාබු නැමැත්තා පුලාන් තවමත් වද විද අවසන් නැති බව ඇයට ප්‍රත්‍යක්ෂ කිරීමට ඉදිරිපත් විය. දිවා රෑ නොමැතිව ඇය ඔහු අතින් දූශනය වූයේ වියලි කැලෑවකදීය. ඇය වේදනාවෙන් නගන හඩ සවන් වැකීමෙන් ඉකි බිදින හදවතක් සොර මුලෙහි සිටින බවට පුලාන් දේවියට හැගී ගියේය . ජීවිතේ පුරා ආදරයක් දයාවක් නොලැබූ ඈ ඔහුට නතු විය . වික්‍රම් එම සොර මුලේ දෙවැනි ප්‍රධානියා විය. ඔහු හා පුලාන්දේවි පෙමින් බැදුනු බව ඇසූ සැනින් කෝපාවිශ්ට වූ බාබු ඔවුන් මැරීමට උත්සාහ කරද්දි වික්‍රම් අතින් බාබු මරනයට පත් වූයේ ඔහු හොර මුලේ නායක තනතුර ට පත් කරමිනි.

පුලාන් දේවිගේ ජීවිතේ මල් සමය ඇරඹිණි. වික්‍රම් ගේ ආදරය මැදින් ඇය ඔහු දත් සියලුම ශිල්ප හදාලාය. තුවක්කු හැසිරවීම මංකොල්ල කෑම අත් පා හරඹ ඉගනගනිමින් සිටි ඇයට යන්තම් වයස 18 වද්දී සොර මුල් අතර ගැටුමකින් වික්‍රම් මිය ගියේය . ඇයගේ ජීවිතේ ඇය ලද දරුණුම වේදනාව වික්‍රම් අහිමි වීම බව ඇය පසුව පවසා සිටියාය. සියලුම ශිල්ප දත් 18 වියැති පුලාන් දේවී මල්ලා කල්ලියේ නායක ධූරයට පත් වූවාය.

පිරිමින් මිස කාන්තාවන් මූලික නොවිය යුතු යැයි සිතන ඨාකූර් නම් මල්ලාවරුන්ට වඩා උසස් යැයි සම්මත කුලයේ පිරිසක් මේ නායක කම නොඉවසීය. ඨාකූර් වරු එක්ව 18 වියැති චෞර රැජින පැහැරගෙන සිය ගමට රැගෙන ගියහ. ඇගේ ජීවිතේ දරා ගැනීමට අසීරුම දින විසි එක ඉන් ඇරඹිණි. ඨාකූර් කුලවතුන් විසි ගණනක් අතින් සමූහ දූශනය වෙමින් පුලාන් ට දින 21 ම ගත කිරීමට සිදු වූයේ නිරුවතිනි. ඇයට නිරුවතින් එම ගම පුරා ඇවිදිනතුරු පහර දීමට එම කුලවත් සංගමය ක්‍රියා කලහ. පුලාන් දේවිය දෑත් ඔසවා මරණය යැද්දාය. ඇය අවසානයේ සිරුරේ නූල් පටක් හෝ රහිතව එක අදුරු රැයක ඨාකූර් ගමෙන් පලා විත් මල්ලා කල්ලියටම එක් වූවාය.

පලිගැනීමේ හෝරාව ඇරඹිණි . 1981 ලොවම පෙම්වතුන් ගේ දිනය සමරද්දී පුලාන්දේවි සිය කල්ලිය හා ඨාකූර් වරුන්ගේ ගමට ඇතුල් වූවාය කෝපය පහ වනතුරු තමාට වින කල උන්ට වදදුන් ඈ ඔවුන් 24 දෙනාගෙන් 22 ක්ම සියතින්ම මරා දැමුමාය. ඇගේ වෛරයේ ගිනිදැල් ඉන් පසු යොමු වුයේ මධ්‍ය ප්‍රදේශ් පොලිසිය වෙතයි. යුක්තිය වෙනුවෙන් ස්ත්‍රීත්වය උදුරාගත් පොලිස් නිලධාරීන් එකා ගානේ සියතින්ම මරා දැමීමට ඈ සමත් වූවාය. ඇයට මේ ඉරණම අත් කර දුන් බුත්තිලාල් ඇගේ තුවක්කු උණ්ඩයක් මගින් නිසල කිරීමට ඇය අමතක නොකලාය.

දුශ්කර කැලෑ වල සැඟවෙමින් මල්ලාවරුන් සමග ජීවත් වූ ඇය තමාව ඉන්දීය පොලිසිය සොයන බව තේරුම් ගත්තාය. පොලිස් නිලධාරීන් 3000 ක් ඇය සෙවීමේ මෙහෙයුමට සහභාගි වූ අතර 20 වියැති කෙල්ලකට ඉන්දීය පොලිසිය පරාජය වූ බව ලොවට කියමින් ඇයම පොලිසියට භාර වීමට තීරණය කරන තුරු ඇය ග්‍රහණයට ගැනීමට පොලිසිය අසමත් විය.

නඩුව ඇසිණි . ඇය බන්ධනාගාර ගත කෙරිනි. 1993 නේ උත්තර ප්‍රදේශයේ සිදුවූ දේශපාලන පෙරළියක් සමග පුලාන් දේවී නිදහස් විය. ඇය තමා ඉන්දියාව පුරා ජනප්‍රිය කාන්තාවන්ගේ දැඩි ප්‍රසාදය දිනාගන සිටින අයෙකු බව දැන ගත්තේ ඉන් පසුය. තමාව දූශනය කල අයගෙන් පලිගත් කාන්තාව ස්ත්‍රීත්වය නිසාම පීඩා විදින සුවහසක් ඉන්දීය ගැහැනුන්ගෙ ගැලවුම්කාරියක වී තිබිණි. එය එසේ සිදු වූයේ කල්‍යාන් මුකර්ජී නම් මාධ්‍යවේදීයකු ඇය බන්ධනාගාරයේ සිටියදී ඇයගේ සම්පූර්ණ කතාව පුවත් පත් මගින් පල කල නිසාය. ඒ අතරතුර ඈ මහත්මා ගාන්ධි සහා දුර්ගා දේවතාව ඉදිරියේ සිය ආයුධ බිම තබා හොර කල්ලි දිවියෙන් සමු ගන්නා බව පොරොන්දු වූවාය.

ඒ කාලයේ ශේකා කපූර් නම් චිත්‍රපට අධ්‍යක්ෂක වරයා Bandit queen නමින් පුලාන් දේවියගේ ජීවිත කථාව චිත්‍රපටයක් මගින් ප්‍රතිනිර්මාණය කලේය. ලොව පුරා වේගයෙන් ප්‍රචාරය වූ එම චිත්‍රපටය සමග පුලාන්දේවිගේ ජීවිතේ විදි දුක් ගැහැට ලෝක ප්‍රසිද්ධ විය. එම චිත්‍රපටයේ සීමා බිස්වාන් නම් නිළිය පුලාන්දේවිගේ චරිතය නිරූපණය කල අතර ඨාකූර් ග්‍රාමයේ පුලාන්දේවි නිරුවත් කර ගම පුරා ප්‍රදර්ශනය කල ආකාරය නිරුවතින් ඇය රඟ පෑ ආකාරය දැඩි කතා බහට ලක් විය.

පුලාන්දේවි චිත්‍රපටය පුරා දූශනය වද්දී අන් රටවල රසිකයින් කම්පනය වූ අතර එම දර්ශන අවස්ථාවේ ඉන්දීය ප්‍රේක්ෂකයන් විසිල් ගසමින් අත්පොලසන් දුන් ආකාරය අනුව ඉන්දියාවේ කාන්තාවන් ගේ ඉරනමේ භයානක කම ලොව පුරා පැතිරිණි. සීමා බිස්වාන් මෙම රඟපෑම වෙනුවෙන් ෆිල්ම් ෆෙයාර් සම්මානයට දිනා ගැනීමට සමත් වූවාය.

මෙසේ ඉන්දීය කතුන්ගේත් පීඩිත කුල හීන යැයි සම්මත පුද්ගලයන්ගේ කැමැත්තෙන් ඉන්දීය පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වූ පුලාන්දේවි පාර්ලිමේන්තු අසුනක් දිනා ගත්තී පාර්ලිමේන්තුවේ දී නිරන්තරයෙන් ළමා විවාහ ඉන්දීය කතුනට සිදුවන අතවර කුල භේදය වෙනුවෙන් පෙනී සිටියාය. ඇය ඒ වෙද්දී උදේශ් සිංග් නැමැත්තා සමග විවාහ වී සිටි අතර ලමා කාලයේ පටන් සිදුවූ සිය ගණනක් දූශනය වීම් නිසා දරුවෙකුට සුව යහනක් තැනීමේ හැකියාව ඇගේ ගර්භාෂය ට අහිමිව තිබිණි. එහෙත් ඇය ඉන්දීය පීඩිත දරුවන් වෙනුවෙන් ඉදිරිපත් වූවාය.

මෙලොව කිසිම ගැහැනිය නොවිදිය යුතු අපා දුකින් පිරි දිවියක් ගෙවා ඒ තුළින්ම නැගී සිටි ඕ තොමෝ 2001 ජූලි 25 වැනිදා සිය නිවස ඉදිරියේදීම වෙඩි වර්ශාවකට ගොදුරුව සිදුරුව ගිය හිසින් යුතුව මරු වැලදගත්තාය. එවිට ඇය ගෙවමින් සිටියේ සිය කටුක දිවියේ 37 වෙනි වසරයි. ඨාකූර් ගම්මානයේ 22 නෙක් මරා දැමූ පලිය ඇගෙන් ගත් බව පසුව කල පරීක්ෂණ වලින් අනාවරණය වී තිබේ..

 



Copyright © 2014-2022 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us