Helabima

ලොවක් වසග කල මොනාලිසාගේ ගුප්ත සිනාවෙන් සැඟවූ අභිරහස්

රුවන්තිකා මධුශානි


මීට අවුරුදු 500 කට පෙර තුනී පොප්ලර් ලී පුවරුවක තෙල් සායමින් ඇදුනු ඒ සුරූපී ගැහැනු රුව ලොවේ වටිනාම මිල කල නොහැකි සිතුවම වේ යැයි එය ඇදි ලියනාඩෝ ඩා වින්සි මොහොතකට වත් සිතන්නට නැතුව ඇති. එදා මෙදාතුර ලොව ජනප්‍රිය ම සිතුවම වන මොනාලිසා සිතුවම මේ වෙද්දී ප්‍රංශයේ ලූවර් කෞතුකාගාරයේ දැඩි ආරක්ශාව යටතේ ප්‍රදර්ශනය වේ. මෙහි අඟලෙන් අගලට සැඟව ඇති ගුප්ත රහස් වලින් අද වද්දී අනාවරණය කරගෙන ඇත්තේ ඉතා සුලු ප්‍රමාණයකි. තාක්ශනය නොදියුණු ඒ අවධියේ මේ සා තාක්ශනයකින් හෙබි නිර්මානයක් බිහිවීම ගැන අදටත් විද්‍යාඥයෝ මවිත වෙයි. එසේ කලේ කෙසේදැයි නැගෙන ප්‍රශ්නයට පිලිතුරද මේ සිතුවමේම සැඟව ඇති බව සිතුවමේ ඩාවින්සි ගේ අත් අකුරින් කල සටහනක් පවසයි. ඒත් අද වනතුරු ඒ රහස සොයා ගැනීමට කිසිවෙක් සමත්ව නැත.. නිර්මාපකයා දක්ශ වන තරමට නිර්මානය සංකීර්න වන්නා සේම ඉංජිනේරුවෙක් ගෘහ නිර්මාන ශිල්පියෙක් දාර්ශනිකයක් ආදී එකිනෙකට වෙනස් හැකියාවලින් පරිපූර්ණ ඩා වින්සි තම විවිධ පරාස වල විහිදුනු දැනුම කැටි කර මොනාලිසා නිර්මානය කර තිබේ.

මොනාලිසා රුව අධ්‍යනය කරද්දි කාන්තාවට පිටුපසින් ඇති පාලමේ ඩාවින්සි සිය අත් අකුරින් සටහන් කර ඇත්තේ රහස මෙහිම පවතින බවයි. එහෙත් අදටත් එම රහස කුමක්දැයි රහසක්වම පවතී.මේ සිතුවමට මේ සා වටිනාකමක් හිමිවීමට බලපෑ කරුණු රාශියක් තිබේ.

මෙය ඇදීම ඇරඹුණු 1503 වන විට මිනිස් සිතුවම් වල සිතුවම් කරන ලද්දේ මුහුණේ එක් පැත්තක් පමනක් දර්ශනය වන සේ ඇදුනු චිත්‍ර පමණි. ඒ අනුව කෙලින් බලා සිටින මුලු මුහුනම දර්ශනය වන සේ ඇදුනු ලොව මුල්ම සිතුවම මොනාලිසා වේ. ඔබ කුමන ස්ථානයක සිට මොනාලිසා චිත්‍රය දෙස බැලුවත් ඇය සිටිනුයේ ඔබ දෙස බලාගෙනය.. මොනාලිසා සිතුවමේ සිටින කාන්තාවගේ දෑසින් සතුටත් දෙතොලින් ශෝකයක් පිළිඹිබු වීමද එබඳුම තවත් විශ්මය දනවන රහසකි.

මොනාලිසා සිතුවමේ සිටින කාන්තාව ගේ දකුණු ඇස සුපර් සූම් කිරීමට ලක් කල විට එහි L V අකුරු දෙක ලියා තිබෙනු දැකිය හැකි විය. එය ලියනාඩෝ ඩා වින්සි ගේ නමේ මුල් අකුරු වන අතර ස්භාවයෙන්ම ගුප්ත පුද්ගලයකු වූ ඩාවින්සි තමා ඇදි සිතුවමේ තම අනන්‍යතාවය සැගවීමට උත්සාහ කිරීම පුදුමයට කරුනකි. වම් ඇසේ ඇති CV අකුරු දෙක සොයා ගත්තේ මෑතකදීය. නමුදු එහි තේරුම අදටද නිරවුල් කරගෙන නැත

ඩාවින්සි කැඩපත් ප්‍රතිභිම්භ ක්‍රමයට අකුරු ලිවීමට දැඩි දක්ශයකු වූ අතර ඔහුගේ දිනපොතද රචනා කර තිබුනේ ප්‍රතිභිම්භයකින් බැලිය යුතු ආකාරයටය. එම නිසා මොනාලිසා තුළත් කැටපත් ප්‍රථිබිම්භ සංසිද්ධියක් ක්‍රියාත්මක වෙතැයි සැලකූ විද්වතුන් මොනාලිසා ප්‍රථිබිම්භ පරික්ශාවකට ලක් කලහ. ප්‍රථිබිම්භ අතර සැඟවූ පිටසකවල ජීවියකු මතු වන්නේ මේ සමගය. ඒ අනුව පාලමේ සටහන් රහස එම පිටසකවල ජීවියාදැයි පිරිසක් විශ්වාස කරති.

මොනාලිසා සිතුවමේ පෙනී සිටින්නේ කවුදැයි පිලිබදව තවමත් විවාද පවතී ඒ ගැන ප්‍රකටම මතය නම් මේ ඉතාලියේ ෆ්ලොරන්ස් හී ධනවත් සේද ව්‍යාපාරිකයකුගේ තුන්වෙනි බිරිද වන එවකට 27 හැවිරිදි රූප සුන්දරියක වු ලිසා ඩෙල් බවයි. මේ සිතුවමට නම් තැබූ ඩාවින්සි ගේ මිතුරකු වන වසාරි ජියෝ , ලිසා මහත්මිය යන තේරුමෙන් යුතුව සිතුවම මොනා ලිසා සේ නම් කලේය. ඉතාලි බසින් මොනා යන්න කාන්තාවකට යොදන ගරු පදයකි. එකල ඉතාලි යුවතියන් හිසකේ ගොතා බැද සිටි නිසාත් හිසකේ ලෙහාගෙන සිටියේ ගණිකාවන් පමනක් නිසාත් ඇතමුන් මේ ගනිකාවක ලෙසද හඳුන්වයි. එමෙන්ම ඇයගේ අත් තබාගෙන සිටින ස්වරූපය සහ දුහුල් විනිවිඳ පෙනෙන කලු ගවුමෙන් ඈ ගැබිනියක යැයි පැවසෙන බව ඇතමුන් පවසති . එකල කලු දුහුල් ඇදුම් ඇද තිබෙන්නේ ගැබිනියෝය. සේද වෙළෙන්ඳාගේ බිරිද ලිසා මහත්මිය දරුවන් 5 දෙනෙකුට මවු ව ඇති බැවින් නිතරම ගර්භණී ව හිදිනට ඇත. එ නිසා මෙයත් සත්‍ය වීමට ඉඩ තිබේ.තම බිරිඳගේ රූපශ්‍රීය ලොවටම පෙන්වීමේ අරමුනින් ඩා වින්සි ලවා මේ සිතුවම නිර්මානය කර ගැනීමට සේද ව්‍යාපාරිකයාට අවශ්‍ය වුවත් ඩාවින්සි ගෙන් ඔහු සිතුවම කිසිදා මිලට ගෙන නැත. ඩාවින්සි මෙය තම කලාගාරයේ මුල්ලකට විසි කරතබා තිබුණත් ප්‍රංශයේ පලමු ෆ්‍රැන්සිස් රජුගේ ආරාධනයෙන් ඉතාලිය අත් හැර ප්‍රංශයට යන ගමනේදී ඔහු රැගෙන ගිය සිතුවම් අතර මෙම සිතුවමද තිබී ඇත. එම නිසා ඩාවින්සි මෙයට යම් විශේෂයක් දක්වා තිබෙන බව ඉන් ගම්‍ය වේ. ඩාවින්සිගේ සමීපතම ශිශ්‍ය සලේ ගේ වාර්තා වලට අනුව 1507 දී ඩාවින්සි ප්‍රංශයට යද්දී රැගෙන ගොස් ඇත්තේ අසම්පූර්ණ මොනාලිසා සිතුවමකි. ඩාවින්සි ට දැඩිසේ ආදරය කල ෆ්‍රැන්සිස් රජු සිය රජ මාලිගාව අසලින්ම මාලිගාවක් ඩාවින්සි වෙනුවෙන් වෙන් කල අතර එය මේ වෙද්දී ඩාවින්සි කෞතුකාගාරයයි. එම මැදුරේ තිබී මොනාලිසා සිතුවමේ අඟුරු වලින් කඩදාසි මත නිර්මානය කල පිටපතක්ද සොයාගෙන ඇති අතර එහි ලිසා මහත්මිය සිටිනුයේ උඩුකය නිරුවතිනි. "මෝනාවන්නා" යැයි නම් ලද එම සිතුවම අද ලූවර් කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කෙරේ .

 

UIG via Getty Images

ඇතමුන් පවසන්නේ මොනාලිසා යනු ඩාවින්සි ගේ හිතෛෂිම ශිශ්‍ය සාලේ බවයි. සමලිංගික නැඹුරුවක් දැක්වූ ඩාවින්සිගේ සහකරු වූයේද නිරූපණ ශිල්පියා වූයේද සාලෙ ය. ඩාවින්සි ඔහුට දැක්වූ ප්‍රේමය නිසාම ඔහුව සිතුවම් කල බව ඇතැම් අයගේ මතයයි. කෙසේ වෙතත් ප්‍රංශයේදී 1519 මැයි 20 ඩාවින්සි ෆ්‍රැන්සිස් රජුගේ දෑත් මත මියගිය පසු සාලේ මෙම සිතුවම රන් පවුම් 1000 කට ප්‍රංශයේ වර්සල්ස් මාලිගයයේ උන් ප්‍රංශ රජුට විකුණා තිබේ. 1789 දී ඇතිවූ ප්‍රංශ විප්ලවයේදී 16 ලුවී රජු මරා වර්සල්ස් මාලිගය සතුරු හමුදා අතට අත්පත් වීමෙන් පසු එහිතිබු වටිනා සිතුවම් ලූවර් කෞතුකාගාර භාරයට පත් විය. නමුත් 1911 දී පිරිසිදු කරන්නෙකු සේ වෙස් වලාගන පැමිනි වින්සන්සෝ පෙරගියා නැමැති ඉතාලියානුවා සිතුවම සොරකම් කලේ එය ඉතාලියට අයත් බව සිතූ බැවිනි. මෙම සොරකම සම්බන්ධයෙන් ඔහුගෙනුත් ප්‍රශ්න කෙරුනත් ප්‍රංශ පොලිසිය ට සිතුවම ගැන හෝඩුවාවක් නොලැබිණි. 1913 දෙසැම්බර් මාසයේ ඉතාලි පුරාවිද්‍යාඥයකු වූ ඇල්ෆනෝ ගෙරීට ලිපියක් ලැබිණි. එහි සදහන් වූයේ මොනාලිසා සිතුවම අලවි කිරීමට කැමති බවයි. එහි අත්සන් තබා තිබුනේ ලියනාඩෝ ඩාවින්සි වීම පුදුමයට හේතුවක් වූ අතර සිතුවමේ වටිනාකම හොදින් දත් ඇල්ෆනෝ ප්‍රංශ කෞතුකාගාරය දැනුවත් කිරීමට කටයුතු කලේය. ඒ අනුව ප්‍රංශ හා ඉතාලි පොලිසි ඒකාබද්ධව කල මෙහෙයුමකින් වින්සෙන්සො පෙරගියා අත්තඩංගුවට ගෙන සිතුවම යලි ලූවර් කෞතුකාගාර භාරයට පත් කරන ලදී.

මොනාලිසාගේ ගුප්ත සිනහව බොහෝ පුද්ගලයින් මෙම සිතුවමට වශී වීමට හේතුවක් වී ඇත. 1852 පැරිසියෙ ජීවත් වූ ප්‍රකට චිත්‍ර ශිල්පියෙකු තමා රැදී සිටි හෝටලයේ 4 වෙනි මහලෙන් පැන සියදිවි නසා ගත්තේය. ඔහු මියයාමට පෙර ලියු සටහනේ දැක්වූයේ මොනාලිසාගේ සිනහවේ තමා අතරමං වී ඇති බැවින් දිවි නසා ගන්නා බවයි.එසේම 1910 යේ මොනාලිසාගේ රසිකයකු ලූවර් කෞතුකාගාරයේ ඇගේ සිතුවම ඉදිරියේ හිසට වෙඩි තබාගෙන සියදිවි නසාගත් අතර ඔහුද ඇගේ සිනාවෙන් වශීව සිටි බව පවසා ඇත. කෙසේ උවත් එදාමෙදාතුර ලොව ජනප්‍රිය ම අගනාම අමිල සිතුවම වන්නේ මොනාලිසා ය. නිතරම එයින් සොයා ගන්නා රහස් සංකේත ප්‍රමානය ඉහල යන අතර කවදා හෝ එහි සැඟවුණු රහසත් හෙළි වනු ඇත

 



Copyright © 2014-2022 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us