Helabima

ධන්‍ය සෞභාග්‍යය ලබාගන්න ඕනි නම් නිදන කාමරේ මෙහෙම තියාගන්න .

මේඝනා මන්දෝදරී


අපේ ජීවිතේ නිදහස්ම මොහොත අපි ගත කරන්නෙ නිදන කාමරේ . මුලු රැයක්ම ඔබ සුවසේ සැතපෙන ස්ථානයට ඔබේ ජීවිතේ ගමන් කරන මාවත තීරණය කරන්න පුලුවන් ගුප්තමය ශක්තියක් තියෙනවා . ජීවිතේ සුභ ශක්තින් සමග සෞභාග්‍යය වෙත ගමන් කිරීමත් අසුභ ශක්තිය එක්ක අභාග්‍යට ගමන් කිරීම ත් නිදන කාමරයේ ස්භාවය අනුව තීරණය වෙනව .

ඔබේ නිවසේ මධ්‍ය ලක්ශයේ මාලිමාවක් තියලා නිරිත දිශාව සොයා ගන්න . නිවසේ මූලික යුවල වාසය කරන ප්‍රධාන නිදන කාමරය ස්ථාන ගත විය යුත්තේ නිරිත දිශාවටයි. ඊසාන හෝ ගිණිකොණ දිශා කිසිම නිදන කාමරයකට සුදුසු නොවේ.. ඊසාන හෝ ගිනිකොණ නිදන කාමර වල වෙසෙන යුවල් අතර නිරන්තර රංඩු සරුවල් රෝගාබාධ වලට ගොදුරු වීම් දැකිය හැක. ඔබේ දරුවන් වෙනම කාමර වල වාසය කරන්නේ නම් ඔවුන් වයඹ හෝ නැගෙනහිර දිශාවල රැදවීමෙන් අධ්‍යාපනයට අවශ්‍ය මානසික ඒකාග්‍රතාව ලැබෙනුඇත.

නිදන කාමරය තුල යාබඳ නාන කාමරයක් ඇත්නම් එය නිදන කාමරයට විවෘත වන්නේ නම් අනිවාර්යයෙන් එම නාන කාමරයේ දොර නිතරම වසා තබන්න .. නාන කාමර තුල උපදින අයහපත් ශක්තිය නිදන කාමරයට ඒම වැලැක්වීම ඉන් සිදුවෙ. තට්ටු නිවසක් නම් ප්‍රධාන නිදන කාමරටය ඉහලින් හෝ පහලින් නාන කාමර හෝ කුස්සිය ස්ථාන ගත නොවිය යුතුයි. නිදන කාමරයේ වහලය පිලිබදව ත් සැලකිලිමත් විය යුතුමයි.. ඔබගේ නිදන ඇදට ඉහලින් බාල්කයක් තිබේ නම් ඇදේ සිටින දෙදෙනා මැදින් ගමන් කරන පරාලයක් තිබේ නම් එම ස්ථානයෙන් ඇද ඉවත් කල යුතු බරපතළ අසුභ පිහිටීමකි.

නිදන කාමරයේ වැදගත් ම භාණ්ඩය නිදන ඇදයි. ඇද නිරන්තරයෙන් ලී වලින් නිමවා තිබීම ඉතා යහපත් වේ. ප්‍රමාණයෙන් විශාල ගාම්භීර ඇදක නිදා ගැනීමෙන් ඔබේ පෞර්ශය ඉහල යයි. ඇදේ දිග පලල සමාන වීම ඉතා අයහපත් තත්වයකි. ඇද ශක්තිමත් විට්ටමකින් යුතු විය යුතුය.එමෙන්ම ඇද මත මෙට්ට දෙකක් තබා නිදා ගැනීමද අයහපත් වේ. ඇතැම් නිවැස් වල ඇදවල් දෙකක් එක් කර විශාල ඇදක් සකසා ගනී. එය යහන් පූට්ටුව නම් බරපතල දෝශයක් බව වාස්තු විද්‍යාවේ සදහන් වේ..ඇදන් දෙකක් එකම කාමරයක තබන්නේ නම් ඒ ඇදන් අතර අඩි 1.5 ක්වත් දුරක් තිබිය යුතු වේ... පෙරදිග වාස්තු විද්‍යාව අනුවත් චීන වාස්තු ශාස්ත්‍රය අනුවත් ඇද යට විවිධ දෑ තිබීම ඉතා අයහපත් වෙයි. ඇද යට සම්පූර්ණයෙන් හිස්ව පිරිසිදුව පැවතිය යුතුය. ඇද යට පරණ බඩු ගබඩාවක් සේ භාවිත නොකළ යුතු අතර නවීන ඇදවල් වල ඇද යට කබඩ් ලාච්චු ආදිය නිර්මානය කර ඇති අතර එය භාවිතයට ඒතරම් සුභ නොවන ගෘහ භාන්ඩයක් වේ. නිතරම ඇද ලා පැහැ ඇතිරිලි වලින් ආවරණය කර තැබිය යුතුයි . ඇද අසල කිසිම විටක දර්පන නොතැබිය යුතුය. එයින් අපේ රූපයම පරාවර්තනය වී දිස්වීම ඉතා අහිතකර තත්වයකි. එයින් රාත්‍රී නින්දේදී අප සිරුරෙන් පිට වන අහිතකර කිරන යලි අප කරාම කැඳවයි. අනියම් සබදතා ඇති බහුතරයක් යුවලවලට අයත් නිදනකාමර පරික්ශාවේදී ඔවුන්ගේ යහන කැඩපතින් පරාවර්තනය වන බව අනාවරණය විය

 

By twenty20photos / Envato

නිදන කාමරය සුදු පැහැ හෝ රෝස පැහැයෙන් පින්තාරු කිරීම ඉතාමත් සුභ වේ. රතු සහ රෝස වර්ණ මල් පොකුරු සැරසිලි ඉටිපන්දම් ආදියෙන් නිදන කාමරය සැරසීම දෙදෙනා අතර සබදතා ශක්තිමත් කරයි. පියෝනි මලේ රූපයක් මැන්ඩරින් තාරා යුවල් යුගල වශයෙන් සිටින රූප ආදිය නිදන කාමරය සැරසීමට ඉතා සුදුසු වේ. නමුත් කිසිම විටක නපුරු සතුන් හුදකලා තනි පුද්ගල රූප හෝ ප්‍රථිමා නිදන කාමරයේ තබා නොගත යුතුය. දිය ඇලි මුහුදු ගංගාවල චායාරූප නිදන කාමරයට නුසුදුසු වේ.

නිදන කාමරයේ ශීතකරණ රූපවාහිනී පරිගණක ආදී විද්‍යුත් උපාංග තබා නොගත යුතුය. මාලු ටැංකි හෝ ස්භාවික පැල නිදනකාමරයට අසුභ ශක්තිය කැඳවයි . ආගමික රූප හෝ කිසිම දේව ප්‍රතිමාවක් නිදන කාමරයේ තබා නොගත යුතු වේ. එසේ තබා ගැනීමට සිදුවේ නම් එය තිර රෙද්දකින් ආවරණය කල යුතුය. කැඩුණු බිඳුණු පලුදු වුනු භාන්ඩ තබා නොගත යුතුය. ඔබ විවාහක නම් ඔබගේ පෙර බිඳුණු සබදතා වලට අදාළ සිහිවටන ඔබේනිදන කාමරයෙන් ඉවත් කල යුතුය.ඔබේ යහනේ විට්ටම එනම් හිස දමන පැත්ත ශක්තිමත් බිත්තියකට යොමු විය යුතු අතර එම බිත්තියේ ජනෙල් නොතිබිය යුතුය. එම බිත්තියෙන් අනෙක් පස කුස්සිය හෝ නාන කාමර තිබීම ඒතරම් සුභ නැත.කාමරයේ දොර කෙලින්ම ඇද නොතැබිය යුතු වේ.

ඇතැම් පුද්ගලයින් ආහාර ගැනීමට රූපවාහිනී නැරඹීමට දවල් කාලයේ අල්ලාප සල්ලාපයේ යෙදීමට නිදන කාමරය භාවිත කරයි. එය ද නොකළ යුතු ක්‍රියාවකි. නිදන කාමරය භාවිත කල යුත්තේ නිදා ගැනීමට පමණි. එමෙන්ම ප්‍රධාන නිදන කාමරය පිටස්තරයන්ට විවෘත නොකළ යුතු වේ. ප්‍රධාන නිදන කාමරයේ ඇද මත පිටස්තර අයට අසුන් ගැනීමට ඉඩ දීමෙන් වැලකිය යුතු වේ. නිදන කාමර බඩු වලින් පිරුණු අදුරු තැනක් නොවිය යුතුය . කාමරය උදෑසන හිරු එළිය වැටෙන වාතාශ්‍රය හුවමාරු වෙන ආලෝකමත් ස්ථානයක් විය යුතු අතර ඉර බැසීමට ප්‍රථම නිදන කාමරයේ කවුළු වසා දැමිය යුතු වන්නේ බහින හිරු රශ්මියෙ අහිතකර බලයන් ගෙන් නිදන කාමරය ආරක්ෂා කර ගැනීමටයි .

නිදන කාමරය සදහා ස්භාවික මල් භාවිත කරන්නේ නම් පර මල් ඉවත් කර නිතරම නැවුම් මලින් සැරසිය යුතුය. මුහුදෙන් ගන්නා ලුණු වතුරින් නිදන කාමරය මොප් කිරීමෙන් අහිතකර ශක්තිය පලවා හැරීමට හැකි වී සුභ ශක්තිය ට දොර විවර වේ. ඔබේ සුව යහන සහිත නිදන කාමරයට සුභ ශක්තිය කැඳවා ගැනීම තුලින් නිරෝගී බව සබදතාවේ ශක්තිමත් බව සතුට සෞභාග්‍යය ධනය ඔබ කරා වේගයෙන් ඇදී එනු ඇත..

 



Copyright © 2014-2022 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us