Helabima

හෙළ කිරුළේ ලේ උරුමය නිසා අතින් අත ගොස් අකාලයේ මිලිනවූ සිංහලේ අවසන් රැජිණ

බිනරි ඇතුගල


 

දැල්වෙන විලක්කු එලි වල කපුරු තෙල් සුවඳින් කුටිය සුවඳවත් වී ඇත. ඇයගේ ඉකි බිදුම් හඩ විටින් විට වැඩි වද්දී දෙවුර ගැස්සෙයි . අවුල් වූ හිසකෙස් විසිරුණු සළුපිළි ලේ වැකි දෙතොල් තැලුනු කොපුල් මීට මොහොතකට පෙර සිදුවූ ඒ මහා විනාශයට සාක්ශි දරයි. උඩරට රාජධානියේ හෙළ කිරුළේ සුපිරිසිදු ලේ උරුමය සිවුරු හල සල්ලාලයකුට බිලිවී තවමත් ගතව ඇත්තේ සුලු මොහොතකි. හෙට වන විට ඇය එම සල්ලාල බල ලෝභියා සමග විවාහ විය යුතුය. සාඩම්බරයෙන් හිස දැරිය යුතු කිරුළම බිළිඳු වියේ සිටම ඇයට සාපයක් විය. එය තවමත් කෙලවර වී නැත. උදෑසන එළඹිණි. කන්ද උඩරට සිසාරා වැයෙන මංගල බෙර හඩ ඇයට අවමංගල්‍යයක්ම විය.. සෙනරත් සමග විවාහවී තම උඩරට සිංහල කිරුලේ තම හිමිකාරිත්වයෙන් ඔහු රජ වන තුරු කුසුමාසන දේවියට බලා සිටීමට සිදු විය. ඇස් පනාපිට පෙනන තම ස්වාමියා පලමු විමලධර්මසූරිය රජුගේ අභිරහස් මරණයෙන් වැඩි කලක් ඉක්ම ගොස් නැත. හෙළ කිරුලේ උරුමය අවැසි කෙනා අත්පත් කරගත යුතු දැනට ඉතිරි එකම රාජ්‍ය උරුමක්කාරිය කුසුමාසන දේවී හෙවත් කුසුම් අස්ථාන ලෝකනාථා මහබිසෝ බණ්ඩාර දේවී තම මියගිය සැමියාගේ ඥාතියකු අතින් කෙලෙසීමට ලක් වූයේ ඒ කිරුල වෙනුවෙනි. ඇයව කෙලෙසා බලහත්කාරයෙන් විවාහ කරගෙන සෙනරත් උඩරට රජු ලෙස කිරුල පැලැන්දේය.

කුසුමාසන දේවී බිළිඳු වියේ සිටම බල අරගල රාශියකට මැදි වුවාය. උඩරට රජ කල කරල්ලියද්දේ බණ්ඩාර රජුගේත් ගලඋඩ අස්ථාන දේවියගේත් දෙවන දියණිය ලෙස ඇය උපන්නාය. රාජ්‍යත්වයේ උරුමය වෙනුවෙන් ලාබාල වියේම කුසුමාසන දේවියගේ සොයුරිය දෝන මාගරීටා කුමරිය කෝට්ටේ රාජධානියේ ධර්මපාල රජුට බිසෝ කොට විවාහ කරවීය. අවාසනාවකට කෝට්ටේ ධර්මපාල රජුගේ පලමු බිසව වූයේ කරලියද්ද බන්ඩාරගේම නැගනියයි. ඒ අනුව තම නැන්දනියගේ ස්වාමියාටම බිසව වීමට මාගරීටාට සිදු වූයේද හෙළ කිරුලේ ලේ උරුමය නිසාමය.

එය ලක්දිව පෘතුගීසින් ට යටත්ව තිබූ යුගයයි. උපායෙන් සිංහල රාජ පරම්පරා රාජධානි ඝට්ටනය කරවා මිස යුද්ධයෙන් මෙරට අධිපතීත්වය ලබා ගැනීමට නොහැකි බව දත් පෘතුගීසින් උපායෙන් රාජධානි තුන අතර භේද ඇති කලහ. එහි ප්‍රථිපලයක් ලෙස සීතාවක රාජසිංහ රජු ඔහුගේ සෙනවියකු වූ වීරසුන්දර බණ්ඩාර සහ වීරසුන්දර බණ්ඩාර ගේ පුත් කොනප්පු බණ්ඩාර කැටුව උඩරට රජකළ කරල්ලියද්දේ බණ්ඩාර ට විරුද්ධව කැරල්ලක් ඇති කලේය. එයින් බේරීමට කරල්ලියද්දේ බණ්ඩාර තම දේවී ගල උඩ අස්‍ථාන බිසවත් බිළිඳු කුසුමාසන දේවියත් බෑණා වූ යමසිංහ බණ්ඩාර ත් රැගෙන ත්‍රිකුණාමල පෘතුගීසි බලකොටුවට ගොස් සැගවුනි. ඔවුන් ඉන් නික්ම මන්නාරම් තොට බලකොටුවට ගිය අතර සරම්ප වැළඳී රජු හා දේවිය මිය ගියේ කුසුමාසන බිලිදිය මෙලොව තනි කරමිනි.

උඩරට කිරුලේ පිරිසිදු උරුමක්කාරිය ගේ අගය දත් පෘතුගීසින් කුසුමාසන කුමරිය දෝන කතිරිනා ලෙසත් යමසිංහ බණ්ඩාර දොන් පිලිප් ලෙසත් බෞතීස්ම කර ගෙබ්‍රියල් කුලාසු හා කැතරිනාද ආබෘ යුවලට හදා වඩා ගැනීමට භාර කෙරිනි. දෝන කතිරිනා ලෙස ඇය පෘතුගීසි ආරයට ක්‍රිස්තියානි දැරියක ව වැඩුනාය.

මේ අතර කරල්ලියද්දේ බණ්ඩාර ට විරුද්ධව කැරලි ගැසූ සීතාවක රාජසිංහ රජුගේ පයේ පෙතන්ගොඩ උයනේදී ඇනුනු උණ කටුවකින් හටගත් තුවාලය උඩු දුවා දැඩිසේ දුක් විද මිය ගියේය . ඊට පෙර රාජසිංහ රජු තමන් හා එක්ව උඩරට ආක්‍රමණය කිරීමට ගිය වීරසුන්දර බණ්ඩාර උපායකින් බොරුවලකට වට්ටා මැරවීය. ඉන් කෝපයට පත් ඔහුගේ පුත් කොනප්පු බණ්ඩාර සීතාවකින් පැන විත් පෘතුගීසින් ට එක් විය. ඔහු පෘතුගීසින් හමුවේ දොන් ජුවන් ලෙස බෞතීස්ම ලැබීය.

මේ අතර උපායශීලී පෘතුගීසින් දෝන කතිරිනා හා හැදී වැඩෙන කුඩා යමසිංහ බණ්ඩාරව කැඳවා කොනප්පු බණ්ඩාර සමග උඩරට රාජධානියට පිටත් කර යවා ඔහු එහි රජ කරවීය. ගත වූයේ සය මසකි. කුමන්ත්‍රණයකින් යමසිංහ බණ්ඩාර මරණයට පත් වීය. එහි චෝදනාව එල්ල වූයේ කොනප්පු බන්ඩාරටය. කොනප්පු බණ්ඩාරව පාලනය කිරීමට පෘතුගීසින් උත්සාහ දැරු අතර ඔහු මහනුවර ජනතාව හා එක්ව පෘතුගීසින් ට විරුද්ධව කැරලි ගැසීය. විදේශ පාලනයෙන් හෙම්බත් ව සිටි ජනතාව ඔහු වටා රොද බැදුනහ. පෘතුගීසින් සහ කොනප්පු බංඩාර දන්තුරේදි දරුණු ලෙස ගැටිනි. පෘතුගීසින් පැරදී පසු බසින්නට විය. පසු බැස යන පෘතුගීසි නඩයක ඔවුන් මහානර්ඝව රැකි උඩරට රාජ්‍යත්වයේ උරුමය කුසුමාසන දේවියද සිටියාය. කුසුමාසන දේවිය සිංහල සේනාව භාරයට පත් විය. පෘතුගීසින් ගේ වසර ගණනක උත්සහය අපතේ ගියේය. ඉන් උපන් කෝපයෙන් යුතුව හුන් පෘතුගීසි ලේඛකයෙකු එය පොතක සටහන් කරද්දි "දොන් ජුවන් ( කොනප්පු බණ්ඩාර ) 14 හැවිරිදි දෝන කතිරිනා සිය භාරයට පත් වූ මොහොතේ සියලුම දෙනා ඉදිරියේ ඈ දූශණය කර උඩරට රාජ්‍ය හිමිකම ලබා ගත්තේය" යැයි පවසා ඇත. එය වෙනත් කිසිම ස්ථානයක නොලියුනු ද්වේශ සහගත අසත්‍යයකි.

දොන් ජුවන් කොනප්පු බණ්ඩාර වී දෝන කතිරිනා යලි කුසුමාසන දේවිය වී චාරිත්‍රානුකූලව විවාහ වී උඩරට රාජ්‍ය යලි ස්ථාවර කරහ. කොනප්පු බණ්ඩාර ... විමලධර්මසූරිය නමින් උඩරට රජ විය. රජ දෙපලගේ මුල්ම කාර්‍ය වුයේ එවකට ආරක්ෂාවක් නොමැතිව තිබූ දළදා වහන්සේ මහනුවරට කැඳවා රජ මැදුර අසලම මහගු මාලිගයක දළදාව තැන්පත් කර පුද සත්කාර කිරීමයි. එම දළදා වහන්සේ තැන්පත් කල දින කුසුමාසන දේවී පූජා කල මැණික් බුද්ධ ප්‍රථිමාව අදද දක්නට ලැබේ.

එම යුවලට දාව දරුවන් සිවුදෙනෙකු බිහි වූහ. මහා අස්ථාන හා කුමාරසිංහ කුමාරවරුන් දෙදෙනාත් සූර්ය අදසින් හන්තානා අදසින් කුමරියන් දෙදෙනාද එම දරුවෝය.මේ අතර කුමාරසිංහ කුමරු ලාබාල වියේම මරණයට පත්විය. එයින් දේවිය දැඩි කම්පනයට පත්වූවාය. ඒ අතර

කලක් පැවිදිව සිට සිවුරු හල සෙනරත් නම් විමලධර්මසූරිය රජුගේ පුංචි අම්මාගේ පුතා මේ වනවිට විමලධර්මසූරිය මාලිගයට පැමිණ අර්බුධ නිර්මානය කරමින් සිටියේය. . පුත්‍ර වියෝවෙන් මෙන්ම සෙනරත් කෙරෙහි පිලිකුලෙන් පසු වූ කුසුමාසන දේවියගේ හිතසුව පිණිස විමලධර්මසූරිය රජු වර්තමාන කෑගල්ලේ වැලිමනංතොට දර්ශනීය භූමියක ඇයට මාලිගයක් ඉදි කලේය . කුසුමාසන දේවී සේවක සේවිකාවනටද ඉතා කරුණාබරව එහි සුවසේ කල්ගෙවුවාය.

ඇගේ අවාසනාව අවසන් නොවිනි. රජු පෘතුගීසින් හමුවට ගොස් සාකච්ඡාවක් පවත්වද්දී එහි පෘතුගීසි නිලධාරියකු රජු ඉදිරියේ කුසුමාසන දේවියට අනවශ්‍ය වදනක් කීයෙන් රජු හා සිංහල සේනාව කිපී එහි ගැටුමක් නිර්මාණය විය. රජුගේ අග බිසවට එවැනි වදනක් කිම පිණිස ඔහු මෙහෙයවූයේ සෙනරත් බව පසුව ප්‍රත්‍යක්ෂ විය. එම ගැටුමෙන් කපිතාන් වරයකු මරණයට පත් වූ අතර එම ස්ථානයෙන් පිටත්ව මාලිගාවට එමින් සිටි රජු මගදී ගිලන් විය. වේදනාව ඉවසා ගත නොහැකිව රජු ජල තටාකයක බැස සිටි බව සදහන් වේ.. නැවත උඩරට අරාජික කරමින් විමලධර්මසූරිය රජු මරණය වැලදගත්තේය. මරණය පුදුම සහගත විය. උඩවත්ත රාජකීය ආදාහන මළුවේ ආදාහන කල රජුගේ දේහයේ හදවත නොදැවිනි. ඒ පුවත එකල පැතිරුණේ රජු හොඳ හදවතක් ඇත්තෙකු බැවින් එසේ වූ බවයි . එහෙත් නූතන වෛද්‍ය විද්‍යාත්මක මතය අධික ලෙස යකඩ අඩංගු විශක් ශරීර ගතවූ කල්හී එසේ සිදුවන බවයි. එසේනම් පෘතුගීසින් අතර හමුවේදී රජුට විශ ශරීර ගතව තිබේ..

පුත්‍ර වියෝවෙන් පීඩිත දේවිය සැමියාගේ වියෝවෙන්ද දැඩි සේ පීඩාවට පත් විය. මේ අතර රාජ්‍ය උරුමය ඇති කුසුමාසන දේවියගේ දරුවන් තවම කුඩා හෙයින් ඔවුන් වැඩෙන තුරු තමා රාජ්‍ය විචාරන බව සෙනරත් පෘතුගීසින් ට දැන්වීය . උඩරට රාජ්‍යත්වය නිල වශයෙන් ලැබීමට නම් උරුමය හිමි කුසුමාසන දේවී හිමි කර ගත යුතු බැවින් සෙනරත් බලහත්කාරයෙන් ඇය දූශනය කර විවාහ කර ගත්තේය. සෙනරත් බලලෝභියකු විය .කුසුමාසන දේවි බියපත් කරමින් ඔහු ඔටුන්නේ නියම හිමිකරු මහා අස්ථාන කුමරුට හිරිහැර කලේය. අහස පොලොව නුහුලන අපරාධයක් සිදුවෙමින් පැවතිණි. කුසුමාසන දේවියගේ දියණියන් වූ සූර්ය අදසින් හන්තානා අදසින් කුමරියන් සෙනරත් අතින් අපයෝජනය වෙමින් සිටියහ. ඔවුන් මව් බිසවට පිටුපා සෙනරත්ට නතු වූහ. සෙනරත් එසේ කලේද කුසුමාසන දේවිය මෙන්ම එම කුමරියන්ටද ඇති රාජ්‍ය උරුමය ගැන සිතමිනි. මේ අසම්මතයෙන් සහ දරුවන් පිටු පෑමෙන් කුසුමාසන දේවිය දැඩිව පීඩාවට පත් වී වැලිමනංතොට මාලිගයේ හුදකලාව පසු වූවාය.

සෙනෙරත් ගේ සැලසුම් ක්‍රියාත්මක විය. මහා අස්ථාන කුමරුට පිහිනුම් උගන්වන මුවාවෙන් මහවැලි ගගේ ගිල්වා මරා දැමීමට ඔහු සමත් විය. එය තමාගේ කුමන්ත්‍රණයක් සේ නොපෙනීමට උත්කර්ෂවත් ආදාහන මංගල්‍යක් කලේය .කුසුමාසන දේවිය සිහි විකල් වූවාය . ඇය දැඩි සේ ආදරය කල දරුවා අහිමි වීමෙන් උමතු වද්දී ඈ සෙනරත් නිසා ගැබ් ගෙන සිටියාය. ඇය දැඩි සේ රෝගාතුර විය. කුස ඔත් දරුවා බිහි කර ටික කලකින් වයස 36 දී ඇය අවසන් සුසුම් හෙලුවාය . ඇයගේ හිතෛෂී කුරුවිට රාල නම් තැනැත්තාට ඇය ඇගේ අවසන් ඉල්ලීම ඉදිරිපත් කර තිබිණි. ඔහු එය ඉටු කරමින් ඈ වඩාත් ප්‍රියකල වැලිමනංතොට මාලිගා භූමියේම ස්ථානයක මහා අස්ථාන කුමරුගේ භශ්මාවශේෂත් ඇගේ රෝස පබලු ජප මලයත් බයිබලයත් සමගින් ඇයව මිහිදන් කලහ. හෙළ කිරීටයේ උරුමය නිසා අප්‍රමාණ අසාධාරණයන්ට මුහුණ දුන් සිරිලක අවසාන රැජිණගේ ශෝකජනක භූමිකාව එසේ අවසන් විය.

ඇය මියගිය වහාම සෙනරත් ඇයගේ දියණියන් සරණ කර ගත්තේය. ඒ වනවිට සෙනරත් තමාව භාවිත කලේ කුමටදැයි වටහාගන සිටි කුමරියෝ දැඩි ශෝකයෙන් පසු විය. මව ගේ සැමියාටම බිරිය වීමට සිදුවූ ශෝකයෙන් සූර්ය අදසින් කුමරිය කිසිම දිනක ස්වර්නාභරණ නොපැලදි බව පැවසේ.

කුසුමාසන දේවිය මිය යාමට පෙර සෙනරත්ට දාව බිහිකළ දරුවා පසු කලක දෙවනි රාජසිංහ නමින් උඩරට රජ විය. සිංහල රාජ්‍යත්වය වෙනුවෙන් ඒ සා දුකක් විදි කුසුම් අස්ථාන ලෝකනාථා මහ බිසෝ බණ්ඩාර කුමරියට මරණින් වත් සැනසීම නොලැබිණි. පුරාවිද්‍යා කොමසාරිස් බෙල් මහතා විසින් පවා සංරක්ෂණය කරන ලද ඇගේ සොහොන් කොත් පසුගිය එජාප රජයේ මුස්ලිම් ඇමති වරු තිදෙනෙක් විසින් ගලවා ඉවත් කර සිය ජනතාවට බෙදා දී තිබේ.



Copyright © 2014-2022 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us