Helabima

සැකය නිසා ගිනි වැදුණු මහා ධන කුවේරයකුගේ මන්දිරය රිච්මන්ඩ් කාසල්

රුවන්තිකා මධුශානි


එය 1910 වසරේ මැයි නව වෙනිදායි. කලුතර පුරවරය මංගල ශ්‍රීයෙන් ඇළලී ගොසිනි. නගරය පුරා තැන තැන ගොක් කොලින් බදින ලද තොරණම දහ අටකි. ඉතා වටිනා ඇදුම් ආයිත්තම් වලින් සැරසුණු සුදු නිලධාරීන් ඔවුන්ගේ බිරින්දෑවරු සමග පැමිණ තිබේ. එංගලන්තයේ කිරීටය නියෝජනය කරමින්ද නියෝජිතයන් පැමිණ සිටිති. ඉන්දියාවේ මහ රාජා වරුද ඒ අතර වෙති. ලාංකික ප්‍රභූ පවුල් රාශියක්ද පැමිණ සිටිති. රජයේ අනුග්‍රහයෙන් කොළඹ කොටුවේ සිට විශේෂ දුම්රියක් අමුත්තන් සදහාම යොදවා ඇත. සිරිලක මෙතෙක් නොවූ විරූ මහා මන්දිරය දෙවු විමනක් සේ සරසා තිබේ. එහි මැද නෘත්‍ය ශාලාවේ අඩි 20 ක් උසැති කේක් ගෙඩියකි. මෙකල මෙන් රිජිෆෝම් වලින් තනා අයිසින් වලින් වැසූවක් නොව අඩි 20 ම තනිකර කේක් වලින්ම නිමවා ඇත. එය වටා කුඩා පිරිමි දරුවන්ගේ පිලිරූ සමූහයකි.අස් රිය වලින් මුලු කලුතර ම පිරී ඇත.

 කලුතර ජනතාව ම ඇවිසූ කුහුඹු ගුලක් මෙනි. සියල්ලම සූදානම් ව ඇත්තේ සිරිලක කලුතර දිසාව භාර මහ මුදලි නානායක්කාර රජ වාසල අප්පුහාමි ලාගේ දොන් ආතර්ද සිල්වා විජේසිංහ සිරිවර්ධන පඬිකාර මුදලිදුගේ විවාහය සහ අභිනව මන්දිරයට ගෙවැදීම වෙනුවෙනි..

දොන් ආතර්ද සිල්වා විජේසිංහ සිරිවර්ධන පඬිකාර මුදලිදුගේ විවාහය

කොල්ලුපිටිය ඉසබෙලා මැදුරේ වැසි පෞලිස් සිල්වා මහතාගෙත් ඉසබෙලා සිල්වා මැතිනියගේත් දෙවනි පුතු මේ ආතර්ද සිල්වා මුදලිදුය. ධනයෙන් ආඩ්‍යව ඉසුරෙන් පිරී දිදුලන පෞලිස් සිල්වා මැති බද්දේගම උපන් දුගී ගොවිගම මිනිසෙකි. එහෙත් අප්‍රතිහත ධෛර්ය හා වාසනාව නිසාම අසීමිත ධනයක් අත්පත් කරගෙන ධනවත්ව සිටියි. ඒ මහතාට දරුවන් දෙදෙනකි. පුතුන් දෙදෙනෙකු හා දුවකි. පිරිමි දරුවන් දෙදෙනා වැඩිදුර අධ්‍යාපනයට එංගලන්තයට පිටත් කලේය.. ඉන් දෙවනි පුත්‍රයා ආතර් මනා කඩවසම් රුවක් හිමි ඕනෑම කෙනෙක් ආකර්ශනය කර ගන්නා ඒ සමානවම උගත් බුද්ධිමත් තරුණයෙකි. හෙතෙමේ එවකට එංගලන්තයේ රජ පවුල සමගද සබදතා ඇති කර ගැනීමට මේ ගමනේදී සමත් විය. ඉන්දියාවෙ මහරාජා වරුන්ද ඔහුගේ සමීප මිතුරන් අතරේ විය . අධ්‍යාපනය අවසන් කල ලංකාවට පැමිණි ආතර් තරුණයාට ඉංග්‍රීසි රජය කලුතර දිසාවේ පඩිකාර මුදලි තනතුර නම් එවකට ඉහලම තනතුර පිරි නමා ගෞරව කලේය . ඔහු යටතේ තවත් මුදලි වරු 12 දෙනෙකු සේවය කලේය. 40 කගෙන් යුත් ලස්කිරිඥ්ඥා හමුදාවක්ද මුදලි සතු විය. මැණික් පතල් මිනිරන් පතල් වැවිලි ඉඩම් රේන්ද හිමිකාරිත්වය මගින් මුදලිඳු දිනෙන් දින ධනවත් විය.

පලමු ලෝක යුද්ධයෙන් එංගලන්තය අසරණ වූ අවස්ථාවේ මුදලි සිය පුද්ගලික ධනයෙන් රුපියල් 2000 ක් එංගලන්තයට යැවීය. එහි වත්මන් වටිනාකම කෝටි ගණනාවකි. කලුතර තේක්ක බංගලාවේ තරුණ මුදලි වරයා හුදකලාවේ පදිංචි ව සිටියේය . එම භූමිය දැන් කලුතර පොලිස් අභ්‍යාස විද්‍යාලය ඇති බිමයි. මේ අතරතුර කලුතර ප්‍රධාන විනිශ්චයකාර ධූරය දැරුවේ උඩරට රදල පෙලපතින් පැවත එන සූරිය බංඩාර නම් රදලයෙකි. රාජකාරි සදහා ඔහු හමුවට යන තරුණ මුදලිඳු විනිසුරුවරයා ගේ දියනිය ක්ලැරිස් මෝට් මැටිල්ඩා සූරියබන්ඩාර මෙනවිය දැක පිලිබද සිත් ඇති කර ගත්තේය. කඩවසම් තරුණ මුදලිගැන මැටිල්ඩා ද සුපහන් සිත් ඇත්තීය. මුදලිඳු සුදුසු පුද්ගලයකු අත මංගල යෝජනාව විනිසුරු මැදුරට යැවීය..

උපතින් ධනවත් නොවූ ගොවිගම පාතයකුට සිය දියනිය දීමට උඩරට රදලයන් වූ සූරියබන්ඩාර පවුල අකමැති විය. මෙයින් මුදලිගේ සිත තදින් පෑරිනි. ඒ දිනවලම එංගලන්තයේ දී මිතුරු වූ ඉන්දීය මහරාජා වරයකු වූ රවින්ද්‍රනාත් මහරාජාගේ පුතු වන රාම් රාජ් නම් ධනවත් මිතුරාගෙන් මුදලිට ආරාධනාවක් ලැබිණි. ඉන්දියාවට ගිය මුදලි මහරාජා ගේ මැදුර දැක වික්ශිප්ත විය. එය මනරම් සුවිසල් මැඳුරකි. ආතර් මුදලි ඊටපෙර එබන්දක් දැක නොතිබිනි. සූරියබන්ඩාර පවුලට සිය ධනය පෙන්වීමට නම් මෙවනි මැදුරක් ඉදි කල යුතු යැයි සිතූ මුදලි එම මාලිගයෙ සැලැස්ම තමාට දෙන මෙන් මහරාජා ගෙන් ඉල්ලීය. ලාංකියයන් අවඥාවට ලක් කරමින් මහරාජා " ලංකාවේ මිනිස්සු කොහෙද මාලිගා හදන්නෙ " යැයි බිනීය. ඉන්ද තැවුලට පත් ආතර් මුදලි ලංකාවට පැමිණ කුඩලිගම පදිංචි ගෘහ නිර්මාන ශිල්පීන් දෙදෙනෙකු කැඳවා රවීන්ද්‍රනාත් මහරාජා ගේ මාලිගාව දැක බලා එන්නැයි ඉන්දියාවට පිටත් කළේය.

වත්මන් කලුතර නගරයේ ඔරලෝසු කනුව අසලින් වමට හැරී පලාතොට පාරේ පැමිණ කෙත් හේන පාරට පිවිස එහි කලුගගට මායිම්ව මනරම් කදු ගැටයක අක්කර 42 ක පොල් වත්තක් මිලට ගත් මුදලි ගෘහ කර්මාන්තය ඇරඹීය. මැදුර තැනීමට අවශ්‍ය අමුද්‍රව්‍ය ලොව පුරා රටවල් වලින් ඇනවුම් කෙරිනි. ඉන්දියාවෙ බැංගලෝරයෙන් උලු හා ගඩොල් ද පිඟන් ගඩොල් ඉතාලියෙන්ද රවුම් චීනචට්ටි තරප්පු පෙල සහ සිවිලින් තහඩු එංගලන්තයෙන්ද මාබල් ස්කොට්ලන්තයෙන්ද ඇනවුම් කෙරිනි. බුරුමයෙන් තේක්ක ලී නැව් 3 ක් ඇනවුම් කල අතර දැවැන්ත තේක්ක ගස් මැදුරේ නෘත්‍ය ශාලාවේ කනු 12 සදහා වෙනම ඇනවුම් කලේය. ඔස්ට්‍රේලියාවෙන් ඕක් ලී ඇනවුම් කෙරිනි. ජනෙල් සදහා වීදුරු ඉතාලියෙනි. නාන කාමර සදහා උපාංග ප්‍රංශයෙන් ආනයනය කෙරිනි.මුහුදින් පැමිණි භාණ්ඩ කොළඹ වරායට ගොඩබා ඉන්පසුව නැව් මගින් කලුතරටත් බත්තල් මගින් කලුගග දිගේ මැදුර ඉදි කරන භූමියටත් රැගෙන ඒමට කටයුතු යෙදිණි.

වලව්වක් නම් එහි සිට බලන්නෙකුට වලව්වේ වහල දිස් විය යුතුය . එසේ වහල දින් නොවේ නම් එය මැඳුරකි. ලොව අනගිතම ගොඩනැගිලි ද්‍රව්‍ය උපයෝගී කර ගනිමින් ඉන්දියාවේ මහරාජා මැදුරක භාහිර පෙනුමෙන්ද රෝම ලන්දේසි ග්‍රීක ගෘහ නිර්මාන ශිල්පයෙන් උකහා ගත් දැනුමෙන්ද මහනුවර යුගයේ සැරසිලි වලින්ද සපිරි මැදුර ඉදිකිරීම ඇරඹිණි. එය දෙමහල් ය. කාමර 14 කි උලුවහු 99 කි ජනේල 38 කි. පහත මාලය නිදන කාමර 5 කින්ද පින්තූර කාමරයකින්ද කන්තෝරු කාමර 2 කින්ද නෘත්‍ය ශාලාවකින්ද මැදමිදුලක් පෝටිකෝවක් හා මැද සාලයකින් යුතු වේ. ඉහල මාලයේ කාමර නවයකි විශාල ශාලාවකි. මෙම කාමර වල බිත්ති අතර ලී පටි වලින් රාමු තනවා වායු රික්තකයක් සහිතව නිමවා ඇත්තේ කාමර වල ශබ්ද පිටතටත් පිටත ශබ්ද කාමර වලට ත් නො ඇසීමටය. එබැවින් බිත්ති අඩි 2 ක් පමන පළල් වේ. කලු ගගේ සුලං දිශාවට අනුව ඉඳිකළ නල මගින් ගෙන එන සිහිල් සුලං ධාරා අත්තිවාරම සිදුරු කර මැදුර තුලින් ගොස් නෘත්‍ය ශාලාව තුලින් මතු වී නිරන්තරයෙන් මැදුර ස්භාවික සීතලකින් පුරවයි. මැදුරේ වහලයෙන් වැටෙන වැසි දිය මැටි නල මගින් මැදුර යටින් ගමන් කරවා කලු ගගට ඇදෙන සේ නිමවා ඇත්තේ වැහි දියේ සිසිල ලබා ගැනීමට යි. මැද මිදුලේ සිංහ රූ 4 කින් ජලය වෑස්සෙයි. එයින් නැගෙන සිසිල මැදුර පුරා පැතිර යයි. වහලය නොපෙනෙන සේ රෝම ලන්දේසි ක්‍රමයට ගරාදි තනවා ඇත. නෘත්‍ය ශාලාවේ තනි තේක්ක කඳන් වලින් නිමැවූ සුවිසල් කනු 12 කි. එවා වසර සිය ගණනක් පැරණි වීත් කිසිදු උපද්‍රවයකට ලක්ව නැත. නෘත්‍ය ශාලාව සරසන මල් කම් ලියකම් මහනුවර යුගයට නෑකම් කියයි. මැදුරේ ඉහල මාලයේ නානකාමර වලට ජලය ගෙන ගොස් ඇත්තේ ගැල්වනයිස් බට මගිනි. මෙම මැදුරේ තවත් විශේෂත්වයක් වන්නේ කළු ගගේ ආරම්භක ස්ථානයත් අවසන් ස්ථානයත් යන දෙකම මෙම මැදුරට දර්ශනය වීමයි. එනම් මැදුරේ ඉහල මාලයට ශ්‍රී පාදස්ථානයත් කළු ගග මුහුදට වැටෙන ගං මොයත් දිස් වේ . එබදු නිර්මාණයක් ලංකාවේ වෙනත් ස්ථානයකින් වාර්තා වී නැත

රිච්මන්ඩ් කාසල් මැදුර

ඉදින් කලුතර පුරවරය කම්පනය කරමින් ඉදිවන මේ මැදුර දුටු විනිශ්චයකාර සූරියබන්ඩාර මැතිදු පෙර තීරණය වෙනස් කර තම දියනිය මැටිල්ඩා ලමාතැනී ට සුදුසු ම පුරුශයා නම් මොහුයැයි සිතා මංගල්‍ය තීන්දු කිරීමට උත්සුක විය. මහත් සතුටට පත් ආතර් මුදලිඳු තම මැදුරට ගෙවැදීමත් විවාහයත් එක ම දිනක සූදානම් කලේය . ඉහත පැවසූ ලෙස කලුතරම එකලු කරමින් සූදානම් වූයේ ආතර් මැටිල්ඩා එවකට ලක්දිව පැවති දැවැන්තම විවාහ මංගල්‍යයි. විවාහයට රවින්ද්‍රනාත් මහරාජාද ඇරයුම් ලබා පැමිණියේය. ඔහු විමතියෙන් මාලිගය නරඹන චායාරූපයක් අදද මැදුරේ ඇත. අවසානයේ සිය මැදුරට වඩා මුදලිඳු ගේ මැදුර සුන්දර විශාල මෙන්ම අගනා බව ඔහු පිළි ගත්තේය .

ධනය බලයෙන් උගත් කමින් රූපයෙන් අඩුවක් නොමැතිව යුවල දිවි ගෙවූවත් ඔවුන් කරා සතුට පැමිණියේ නැත. මුදලිඳු පිරිමි දරුවන්ට මහත් සේ ඇලුම් කලේය විවාහ මංගල කේක් එක සැරසුනේද පිරිමි දරුවන්ගේ පිළිම වලිනි. මැටිල්ඩා ආතර් යුවලගේ සයනාගාරය ඉදිරියේද කිරි ගරුඩින් නිමවූ පිරිමි දරුවන් 7 කගේ සහ පිරිමි දරුවකුට කිරිදෙන මවකගේ ප්‍රථිමා නෙලා ඇත. මැදුරේ උද්‍යානයේ ද පිරිමි දරුවන් 12 දෙනෙකු මැදුර දෙස බලා සිටින ග්‍රීක ලන්දේසි සම්ප්‍රදාය ට අයත් ප්‍රථිමා ය.

ඒතරම් පිරිමි දරුවන් ප්‍රිය කලත් ඔවුනට කිසිදු දරුවෙකු නොලැබිණි . ඒ සියල්ල මැද ඔවුන් තිස් වසරක විවාහ දිවියක් ගෙවූහ. මේ අතර මැදුරට බඳවා ගත් කලමනාකාරවරයකු මේ යුවල ගැන දැඩි ඊර්ශ්‍යාවෙන් පසුවූ අතර ලමාතැනී ගැන මුදලිගේ සිත බිඳවීමට කෙමෙන් ඔහු සමත් විය. මැදුරේ සේවකයකු හා ඇයට අනියම් සබදතාවක් ඇතැයි මුදලිට ඒත්තු ගැන්වීමට ඔහු සමත් විය. තිස් වසරක් මන්දිරයේ දිවි ගෙවූ යුවල වෙන් කරන්න ට ඔහු සමත් විය. මුදලි මැටිල්ඩා ලමාතැනී නැවත සිය මාපියන්ගේ නිවසට ඇරලවීය .එවිට ඇයට අවුරුදු 50 කි.ඉක්බිති 1941 කේ ජූලි 4 දින S.J.S කදිරගාමර් නොතාරිස් හමුවට ගිය මුදලි එවකට රුපියල් 350000 ක වටිනාකමක් ඇස්තමේන්තු ගත අක්කර 42 ක මන්දිරය සහ භූමිය , එවකට රුපියල් 125000 ක් වටිනා ගම්පහ හේන්ගම අක්කර 82 ක ඉරහදයාය පොල්වත්ත ශ්‍රීලංකා මහ භාරකාර දෙපාර්තමේන්තුව භාරයට පත් කලේය. ඒ විශේෂ ඉල්ලීමක් පිටයි. මැදුර අසරණ අනාථ පිරිමි දරුවන්ට රැකවරණය දෙන මධ්‍යස්ථානයක් බවට පත් කර ඉඩම් ආදායමින් දරුවන් රැකිය යුතුයි . දෙවැන්න මැටිල්ඩා ලමාතැනී අවිවාහකව හිදිනතාක් මාසිකව රුපියල් 300 ක් සහ පොල්ගෙඩි 250 ක් ඇයට යැවිය යුතුයි . අවසානයේ මහා ධන්ස්කන්ධයක් රාජසන්තක කල මුදලි සියල්ල හැරදා මහනුවර ක්වීන්ස් හෝටලයට ගොස් එහි අප්‍රකට ව ජීවත් වූයේය. වසර 9 ක් හෝටලයේ පදිංචි ව සිටි මුදලි තුමා 1947 ජූලි 8 දින ලේ කැටියක් සිරවී මියගියේය. රජුන් පැරදවූ ධනවතෙකුගේ අවසානය එසේ විසදුනේ කලමනාකාරවරයා ලමා තැනියට එල්ල කල අභූත චෝදනා නිසා යැයි තතු දන්නෝ පවසති. කෙසේ වෙතත් මේ වෙද්දී මුදලිඳු ගේ අවසන් කැමැත්ත පරිදි මැදුරේ කොටසක පිරිමි දරුවන් රැකබලා ගන්නා ස්ථානයක් සහ පෙර පාසලකි. එහෙත් වගකිවයුත්තන් ගේ නිසි අවධානයක් ලබා නොදීම නිසා මැදුර ජරා වාස වෙමින් පවතී. මුදලිදුගේ නමෙහි කොටසක් හෝ නැතුව මැදුර රිච්මන්ඩ් කාසල් වූයේ කෙසේදැයි බොහෝ දෙනෙක් විමතියට පත් වෙයි. එකල ඔහුගේ ධනය දැක පෝසත් මිනිසාගෙ මන්දිරය රිච් මෑන්ස් කාසල් යන නමින් හදුන්වා පසුව භාවිතයෙදී රිච්මන්ඩ් කාසල් බවට පත්ව තිබේ..

 



Copyright © 2014-2022 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us