Helabima

ගෙදරට එන අමුත්තන්ට ස්මාට් විදියට සංග්‍රහ කරමු

බිනරි ඇතුගල


කොවිඩ් වසංගතය එක්ක ගෙවල්වල හිරවෙලා කිසිම සැමරීමක් නොකර කාලයක් ගත කරලා මේ උත්සව සමයේ බොහෝ අය අමුත්තන් ලෙස නෑ හිතවතුන් බලන්න යනව . ඉතින් එහෙම ලොකු කාලෙකට පස්සෙ නෑයො ගෙදර එද්දී ලස්සනට පිලිවලට සූදානම් වෙලා අමුත්තො පුදුම කරන සංග්‍රහහයක් සූදානම් කරන්න අපි කවුරුත් කැමති . ඒත් සමහර අයට පිලිවලට අමුත්තන් පිළි ගන්න විදිය ගැන ඒතරම් දැනුමක් නෑ .ඒ නිසාම සමහර අය අමුත්තො එනවටත් බයයි . අමුත්තො එද්දී කඩෙන් ඕඩර් කරපු දෙයක් පිලිගන්වලා ඉන්න පුලුවන් උනත් තමන්ගේ හෘදයාංගම හිතවතුන්ට ඒ සුහද කම සමීප බව දැනෙන්න නම් තමන් අතින්ම සංග්‍රහයක් සූදානම් කිරීම හරි වටිනව . ඉතින් අපි බලමු කොහොමද මේක කරන්නෙ කියලා . බොහෝවිට මේව්ගේ අවස්ථා වලට අමුත්තන් කලින් දන්වා පැමිණෙන නිසා ඔබට මේ ක්‍රම අනුගමනය කරන්න පහසුයි.

කවුද එන්නෙ කීයටද එන්නෙ

මුලින්ම බලන්න ඕනි කව්ද එන්නෙ. ඔබේ අමුත්තො කොයි වයස් වල අයද කොයි වගේ පරිසරයක කොයිවගේ සංග්‍රහයකට කැමති වෙන අයද ඔවුන්ගේ විශේෂ ලැදියාවන් මොනවද වගේ කරුණු මතත් ඔබේ අමුත්තො පැමිණෙන වෙලාව අනුවත් ඔබට සූදානම් වෙන්න පුලුවන් . ඔබට එන අමුත්තන් වයස්ගත වැඩිහිටියන් නම් ඔවුන් බොහෝවිට සම්ප්‍රදායික ආහාර වලට කැමති වේවි පැණිරස අඩු තෙල් අඩු සැර කරි සහිත ආහාර වේලක් ඔවුන් වෙනුවෙන් ඉහුම් පිහුම් කිරීම කල යුතුයි. ඔබේ අමුත්තන් තරුණ වියේ අය නම් ඔබට බොහෝ අත් හදා බැලීම් කරන්න අවස්ථාව ලැබෙනව. ලාංකික උත්සව මෙනුවේ එන ආහාර වලට අමතරව ඉතාලි ආහාර මෙන්ම ඉංග්‍රීසි පන්නයට සැකසුනු ආහාර ත් මේ අයට ගැලපෙනවා . පැණි රසට බර චීන ක්‍රමයට සැකසූ ඩෙවල් වර්ග රයිස් වර්ග පැස්තා වගේ ආහාරත් ඔබට පිලිග්න්වන්න පුලුවන් . ඔබේ අමුත්තන් නිර්මාංශ ආහාර රටාවක් අනුගමනය කරන අයද යන්න ඔබ විශේෂයෙන් සොයා බැලිය යුතුයි . එමෙන්ම අමුත්තන් බහුතරයක් විශේශිත ආහාරයක් ප්‍රතික්ෂේප කරනවාද යන්නත් සොයා බැලිය යුතුයි . උදාහරණයක් වශයෙන් ඇතැම් පිරිස් ඇතැම් මස් වර්ග මාලු වර්ග ආහාරයට ගන්නෙ නෑ . ඒවගේ තත්වත් සොයා බැලීම වැදගත් . අමුත්තන් පැමිණෙන වේලාව අනුව ඔබට සංග්‍රහය සූදානම් කිරීමට සිදුවෙනවා. පිළිගැනීමේ පානයක් ලබා දෙන්වාද , ඒ පානය සමග කෙටි ආහාරයක් ලබා දෙනවාද එමෙන්ම මත්පැන් වලින් සංග්‍රහ කරනවාද යන්න මත ඔබේ මෙනුව සූදානම් කර ගත යුතුයි. ඔබ ඔබේ ආහාර වෙල සහ අමුත්තන් අනුව අතුරුපස ලබා දීමත් තීරණය කල යුතුයි .

By vladans/ Envato

මෙනුව

ඔබ පිරිනමන ආහාර තීරණය කර සම්පූර්ණ මෙනුව සකසා ගැනීම සිදු කල යුතුයි. එයට අමුත්තන් පැමිණි අවස්ථාවේ සිට පිටව යන තෙක් සංග්‍රහ කරන සියල්ලම ඇතුලත් කල යුතුයි. මේ මෙනුවේ ඔබ කලින් සැකසිය යුතු කලින් සැකසිය හැකි ආහාර ,ඉක්මනින් පිලුනු වන හෝ යම් වෙනස් කම් වලට භාජනය වන එවෙලේ සැකසිය යුතු ආහාර , කලින් සූදානම් විය යුතු ආහාර ආදි ලෙස ආහාර වර්ග කල යුතුයි . ඔබ මීට පෙර සකසා අත් හදා බලා නැති ආහාර කිසිම විටක අමුත්තන් සදහා මුලින්ම පිලියල කරන්න එපා . ඔබට සැකසීම සදහා හොඳ විශ්වාශයක් ඇති ආහාර සැකසීමට සූදානම් විය යුතුයි. ඔබේ මෙනුවෙ සියලුම කොටස් එකිනකට ගැලපීම අනිවාර්යයෙන් සිදු කල යුතුයි. පිළිගැනීමේ පානය හා ඒ සමග වන කෙටි ආහාර , මත්පැන් සමග හෝ රහිතව පිලිගන්වන කට ගැස්ම , ප්‍රධාන ආහාර වේල , අතුරුපස මෙහිදී ඔබ සූදානම් කර ගත යුතුයි .

කොහොමද ලෑස්ති වෙන්නෙ

ඔබ මෙනුව සකසා ගැනීමෙන් පසු ඒ එකින් එකට ඔබට අවශ්‍ය වන අමු ද්‍රව්‍ය සූදානම් කරගත යුතුයි..ඔබ අමුත්තන් පිලිගන්නා දිනයට පෙර අවශ්‍ය සියලුම ද්‍රව්‍ය සූදානමින් තබාගන්න . කලින් සැකසිය හැකි අධි ශීත කල හැකි ආහාර පෙර සකසන්න . කලින් සූදානම් කර තැබිය හැකි ආහාර සූදානම් කරන්න උදාහරණයක් වශයෙන් මස් මාලු මැරිනේට් කර ශීත කිරීම එලවලු පිරිසිදු කර ඇසිරීම පිටිමෝලි අනා තැබීම ඉඟුරු සුදුළූණු තලා තැබීම ආදිය ඔබට සිදු කල හැකිය. කට්ලට් පැටිස් රෝල්ස් ආදිය දින කිහිපයකට කලින් උවත් සකසා අධි ශීත කල හැක. ඔබ කලින්ම ශීත කල පාන සකසා තැබීම අතුරුපස සූදානම් කිරීම සිදු කරන්න . එමෙන්ම අමුත්තන් ඒමට පෙර දිනයේ වත් නිවස සම්පූර්ණයෙන් අමුත්තන් පිළිගැනීමට උචිත සේ සකසන්න. ඉහුම් පිහුම් වලට අවශ්‍ය විශාල භාජන සපයාගෙන පිරිසිදු කරගෙන සූදානම් වෙන්න. එමෙන්ම පිලිගන්වන බදුන් හැදි ගෑරප්පු තසිම් පිඟන් පීරිසි අතුරුපස බදුන් වීදුරු බන්දේසි අත් පිස්නා ආදිය කලින්ම සූදානම් කරගන්න . මේ සූදානම් වීම් අමුත්තන් එන දිනයේ සිදු කිරීමට නම් කල් ගන්න එපා . එමෙන්ම ස්මාට් ගෘහනියක් ලෙස ඔබ අනිවාර්යයෙන් අමුත්තන් පිළිගැනීමට ඔබ අදින ඇදුම කලින් සූදානම් කරන්න . ඉදුල් දාඩිය තැවරුනු ඇදුමින් අවුල් හිසෙන් යුතුව ඔබ අමුත්තන් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනව නම් එය ගැලපෙන දෙයක් නෙවෙයි ඒ නිසා ඔබ ඒ අවස්ථාවට සුදුසු ඇදුම කලින් පිලියල කර තැබිය යුතුයි .

අමුත්තන් එන දවසේ.

ඔබ මුලින්ම වැඩි වේලාවක් ගතවන කරි ආදිය පිලියල කල යුතුයි. පෙර සූදානම් වී සිටීම නිසා ඔබට එය ඒතරම් විශාල ගැටලුවක් නොවනු ඇත. මස් කරි මාලු කරි ආදිය මුලින්ම පිස ගැනීමෙන් එය තවත් රසවත් වනු ඇත. අනෙකුත් ව්‍යංජන ඔබේ තෝරා ගැනීම අනුව නිසි වේලාවට සකසා ගන්න . ඔබට බේක් කිරීමට අවශ්‍ය දෙයක් තිබේ නම් අමුත්තන් එද්දී බේක්වන සේ තැබීමෙන් ඔබේ නිවස මනරම් සුවදකින් පිරී යනු ඇත. එමෙන්ම ශීත කල පිලිගන්වන සලාද වර්ග පලතුරු ආදිය කපා පොලිතින් එකකින් ආවරණය කර ශීතකරනයේ තබා ගන්න . ඔබ බරපතල වැඩ අවසන් කර කුස්සිය පිරිසිදු කර ඔබ සූදානම් වී කට්ලට් බැදීම කේක් කැපීම සලාද වර්ග සෑදීම වැනි සරල වැඩ වලට යොමු වෙන්න . අනිවාර්යයෙන් ඔබේ ආහාර වලට පුංචි ගානිශ් එකක් ලබා දී එය සුන්දර කරන්න . ඔබ සිසිල් බීමක් පිලියල කරන්නේ නම් එය නිකම්ම ලබා නොදී කස ඇට මින්ට් කොල දෙහි පෙති අයිස් කැට විවිධ පලතුරු වලින් අලංකාර කරගන්න . කෙටි ආහාර පිළිගන්වන්නේ නම් ඒ සමග කුඩා බදුන් වල තක්කාලි සෝස් මයෝනෙස් සෝස් යෝගට් තැවරුම් ආදිය පිළිගැන්වීමෙන් ඔබේ ආහාරයට විශාල වටිනා කමක් එක්වේ. එම තැවරුම් වලට සිහින්ව කැපූ කොච්චි මින්ට් කොල ලූනු එක් කිරීමෙන් වෙනස්ම රසයක් ලබා ගත හැකි වේ.

By twenty20photos / Envato 

මේසය පිලියල කරද්දි හය දෙනෙකුට වඩා පැමිණෙන්නේ නම් ආහාර බදුන් දෙක බැගින් තබන්න . ඉන් ඔබට නිරන්තරයෙන් බදුන් පිරවීමට කාර්‍යබහුල නොවී එම අවස්ථාවට සහභාගි විය හැක. අමුත්තන් පැමිනි පසු ඔවුන් සමග ගත කිරීම අත් හැර මුලුතැන්ගෙයට වැද උයමින් සිටීම සිදු නොවන සේ සංවිධානය කරගන්න . ඔබ අනිවාර්යයෙන් ඔබේ නිවසේ අයටත් ඔබේ සැලැස්ම දැනුවත් කර ඔවුන්ගේ සහය ලබා ගන්න .



Copyright © 2014-2022 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us