Helabima

ලොව පුරා විවිධ රටවල අලුත් අවුරුද්ද පිළිගැනීමට අනුගමනය කරන විවිධ වූ චාරිත්‍රයන්

තුශාරා බණ්ඩාර


2020 වසරේ මුල සිට ලෝකයම වෙලාගෙන සිටින කොරෝනා වසංගතය නොයෙක් ආකාර‍යෙන් තවදුරටත් සෑම රටකටම පාහේ බලපෑම් එල්ලකලත් එලඹෙන 2022 වසර සියළු කරදර බාධක දුරුවන අවුරුද්දක් වේයැයි බලාපොරොත්තුවෙන් සියළු දෙනාම පසුවනවා..

ශ්‍රී ලාංකික අප කිරි උතුරවා, කිරිබත් පිස , තමා අදහන ආගමට අනුව අදාල සිද්ධස්තානයකට ගොස් ආශිර්වාද ලබාගෙන නව වසර පිළිගැනීමටයි හුරුවී සිටින්නෙ..ඒ වගේම ලොව පුරා විවිධ රටවල ජනයාට ඔවුන්ටම ආවේණික වූ අලුත් අවුරුද්ද පිළිගන්නා විවිධ වූ චාරිත්‍ර තිබෙනවා ; විශේෂයෙන් එළඹෙන වසර වාසනාවන්ත වසරක් බවට පත්කිරීමට එම චාරිත්‍රයන් උපකාරි වන බවටයි ඔවුන් විශ්වාස කරන්නේ.

හෙළබිම අපි මෙම ලිපිය මගින් ලොව පුරා රටවල් කිහිපයක ජනයා අලුත් අවුරුද්ද පිළිගන්නා ආකාර ඔබවෙත ගෙන එනවා.

ජපානය 

සාම්ප්‍රදායික ජපන් ආහාරයක් වන toshikoshi soba නූඩ්ලස් සෑදීමට යොදා ගන්නා අමුද්‍රව්‍ය ලබාගන්නා buckwheat  නමැති ශාකය ආයු කාලය වැඩි ශාකයක් ලෙස ජපාන ජාතිකයන් සළකන අතර  නව අවුරුද්ද toshikoshi soba නූඩ්ලස් බදුණක් රසවිදිමින් පිළිගැනීමෙන් නව වසර සදහා ඔවුන්ගේ ශක්තිය සහ නීරෝගිබව වැඩිකරනා බවටයි ජපාන ජාතිකයන් විශ්වාස කරන්නේ. ඊට අමතරව ජපානයේ බෞද්ධ සිද්ධස්ථනයන් හි නව වසර උදාවීමට පෙර ඝණ්ඩාර 108 වාරයක් නාද කිරීම ආරම්භ කරන අතර අවසාන වාරය නව වසර උදාවීමත් සමගම නාද කරනවා..එම සෑම ඝන්ඨා නාදයක්ම මගින් සිතෙහි පවතින කෝපය, සැකය හෝ රාගය වැනි ලෞකික ආශාවක් මුලිනුපුටා දමා නව වසර සදහා මුහුණ දීම සංකේතවත් වනවා.

පිලිපීනය

පිලිපීන ජනයා නව අවුරුද්ද පිළිගැනීම සදහා ඩොට් ඇදුම්  ඇද සිටිනවා..එමගින් ඔවුන් විශ්වාස කරන්නේ එළඹෙන නව වසර වඩාත් වාසනාවන්ත වන බවටයි.

ඩෙන්මාර්කය

ඩෙන්මාර්ක් ජාතිකයන් දෙසැම්බර් 31වන දා මධ්‍යම රාත්‍රි 12ට පුටුවක් මතට නැග නව වසරේ දිනය උදාවන විටම බිමට පනිනු ලබනවා.මෙමගින් ඔවුන් වාසනාව ගෙන ඒමත් නරක ආත්මයන්ගේ බලපෑම පළවා හැරීමටත් හැකි බවට විශ්වාස කරනවා.

By lblinova / Envato

ස්පාඤ්ඤය

ස්පාඤ්ඤය ජාතිකයන් තම පැරණි සම්ප්‍රදායන්ට ගරු කරමින් සෑම වසරකම දෙසැම්බර් 31 වන දා මධ්‍යම රාත්‍රී 12 ට වාසනාව සහ සෞභාග්‍යය ලබාගැනීම සදහා මිදි ගෙඩි 12ක් ආහාරයට ගන්නවා..මෙම චාරිත්‍රය 19වන සියවසේදී ආරම්භ වී ඇති අතර වසර අවසානයේ මිදි අලෙවිය වැඩිකර ගැනීම සදහා ඔවුන් මෙය හදුන්වා දී තිබෙනවා..නමුත් වර්ථමානය වන සිට මෙය සියළු ස්පාඤ්ඤ ජනයාතුල ප්‍රචලිත අලුත් අවුරුදු චාරිත්‍රයක් වන අතර ඔවුන් මිදි ගෙඩි 12ක් ආහාරයට ගනිමින් නව වසර පිළිගනු ලබනවා.

ජර්මනිය සහ ඔස්ට්‍රියාව

ජර්මනියේ සහ ඔස්ට්‍රියාවේ ජනයා තමා ආදරය කරන පුද්ගලයන් හට අවුරුද්දේ පළමු දිනයේ වාසනාවන්ත සංකේත ත්‍යාග ලෙස ලබාදෙනු ලබනවා. ඒවා අතර ඌරන්, හතු, ක්ලෝවර් සහ චිමිනි ස්වීප් ආදිය ප්‍රමුඛ වනවා..විශේෂයෙන් නත්තල් සමයේ වෙළදසැල් තුල මෙවැනි සංකේතයන් විකිණීමට තිබෙනවා.

 රුසියාව

ලොව විශාලම මිරිදිය විල වන බයිකල්  විල වෙත ගොස් ස්පෘස් ගස් සැරසීම රුසියාවේ  අලුත් අවුරුදු පිළිගැනීමේ චාරිත්‍රයයි.සාමාන්‍යයෙන් දෙසැම්බර් අවසානයේ රුසියාවේ උෂ්ණත්වය ඉතා අවම අගයක් ගත්තද රුසියානු  ජනතාව එම උත්සවය සදහා සහභාගි වීමට පැමිණෙනවා. ඊට අමතරව අලුත් අවුරුදු සාදයේදි රුසියානුවෝ තම පාර්ථනාව කොළයක ලියා එය ඉටිපන්දමකින් පුළුස්සා එම අළු දමන ලද ෂැම්පේන් වීදුරුවක් පානය කරනවා. එමඟින් නව වසරේ දී ඔවුන්ගේ  ප්‍රාර්ථනාව ඉෂ්ඨ  වන බවට රුසියානු සංස්කෘතියේ විශ්වාසයක් තිබෙනවා.

 

බ්‍රසීලය

වාසනාව සහ සාමය සඳහා සියලු බ්‍රසීල ජාතිකයෝ අලුත් අවුරුදු දිනයේදී සුදු පැහැති ඇදුම් අදිනු ලබනවා..ඊට අමතරව නව වසර පිළිගැනීම සදහා බ්‍රසීල ජාතිකයෝ සුදු මල් සහ ඉටිපන්දම් සාගරයට දමනු ලබනවා..එය ඔවුන් වෙත වාසනාව සහ ආශිර්වාදය ගෙන එන බවටයි ඔවුන් විශ්වාස කරන්නේ..

By Sonyachny / Envato

ඇමරිකාව

31 වනදා මධ්‍යම රාත්‍රි 12 කණිසම නාද වන විට තමා ඉතාමත් ආදරය කරනු ලබන පුද්ගලයා සිප වැළද ගැනීම සිදුකරන අතර එයින් ඔවුන් එළඹෙන වසරේ තම ඉරණම තීන්දු කරන්නේ ඔහු හෝ ඇය බවට විශ්වාස කරනවා.

අයර්ලන්තය

අයර්ලන්ත ජාතිකයන් විශ්වාස කරන්නේ වසරක දෙසැම්බර් 31වන දින රාත්‍රියේ නිදා ගන්නා ඇදේ කොට්ටය යට mistletoe හෙවත් හොලි හෝ අයිවි අතු තැබීම මගින් නව වසරේ ඔබට හිමිවන අනාගත සහකරු පිළිබදව සුබ සිහින පෙනෙනා බවයි.

ඉතාලිය

ඉතාලි සංස්කෘතිය තුළ රතු වර්ණය සරුබව සමග සම්බන්ධව තිබෙන අතර අලුත් අවුරුද්ද පිළිගැනීම සදහා රතු පැහැති යට ඇදුමක් ඇදගෙන සිටීම මගින් ඉදිරි වසරේදි ගැබ් ගැනීමක් සිදුවනු ඇති බවට විශ්වාසයක් ඔවුන් තුළ වනවා.

ග්‍රීසිය

ග්‍රීක විශ්වාසයනට අනුව ලූනු යනු වාසනාවේ සහ සශ්‍රීකත්වයේ සංකේතයකි.එමනිසා වසර පුරාවටම දියුණුව අපේක්ශාවෙන් ඔවුන් අවුරුද්ද පිළිගැනීම සදහා  ඉදිරිපස දොරෙහි ලූනු එල්ලා තබනවා.

 

By twenty20photos / Envato

චිලී රාජ්‍යය

චිලී රාජ්‍යයේ අලුත් අවුරුදු දේව මෙහෙයන් දේවස්ථානවල නොව සුසාන භූමිවල පවත්වන අතර එමගින් තම පවුලේ මියගිය  සාමාජිකයන් ද අලුත් අවුරුදු සැමරුමට එක්කර ගන්නා බවට විශ්වාසයක් ඔවුන් තුල වනවා.

 සිංගප්පුරුව

සිංගප්පූරු ජනයා නව වසරේ අලුත් අවුරුදු විනෝදකාමීන්ගේ බලාපොරොත්තු සහ සිහින අඩංගු ප්‍රාර්ථනා ගෝලයන් මගින්  සිංගප්පුරු නදිය ආලෝකමත් කිරීම සිදුකරනවා.

ඩෙන්මාර්ක්

අලුත් අවුරුදු උදාවේදී ඔබේ මිතුරන්ගේ සහ අසල්වාසීන්ගේ ඉදිරිපස දොරට පිගන් වලින් දමාගැසීමෙන් ඩෙන්මාර්ක් ජාතිකයන් අලුත් අවුරුද්ද සමරනවා..එය නව වසරට පෙර ඔවුන් එකිනෙකා අතර වන  අමනාපකම් සහ ආරවුල් ඉවත දැමීමේ ක්‍රමයක් ලෙසයි ඔවුන් සළකන්නේ..එමෙන්ම තම දොර ඉදිරියේ ඇති පිගන් ප්‍රමාණය වැඩි වීම ඔවුන් ප්‍රීතියට පත්කරනු ලබනවා.

ජර්මනිය

ජර්මානු ජාතිකයන් අලුත් අවුරුදු උදාව සැමරීමට Bleigießen නැතිනම්  lead pouring යනුවෙන් හදුන්වන ක්‍රියාවක්  සිදුකරන අතර නව අවුරුදු උදාවේදී ඉටිපන්දමක් හෝ කුඩා ගිනි දැල්ලක් භාව්තයෙන් ඊ‍යම් කැබැල්ලක් හෝ ටින් ලෝහ කැබැල්ලක් උණු කර සීතල ජල බදුණකට වත් කරනු ලබනවා..එසේ වත්කිරීමේදි ජල බදුනේ සෑදෙන හැඩය අනුව ඉදිරි වසර සම්බන්ධයෙන් එම පුද්ගලයාගේ දෛවය සම්බන්ධයෙන් අනාවැකි පළ කරනවා.

චෙක් ජනරජය

නව වසර ඇරඹීමට පෙර දින රාත්‍රීයේ චෙක් ජාතිකයෝ තම පවුලේ සාමාජිකයන් එක්කරගෙන ඇපල් ගෙඩියක් කපනු ලබනවා..එහිදී ඇපල් ගෙඩියේ හරයේ ස්වරූපය අනුව එය වටා සිටින සියල්ලන්ගේ ඉදිරි වසර සදහා ඉරණම පිළිබදව අනාවැකි පැවසෙනවා.එය තරුවක හැඩැති නම් ඉක්මනින් ඔවුන් ප්‍රීතිමත් දෙයක්  සදහා සියලු දෙනාම නීරෝගි සුවයෙන් එක්වන බවත් කතිරයක හැඩැති නම් අලුත් අවුරුදු සාදයේ සිටින්නකු අසනීපයකට ගොදුරුවන බවටත් විශ්වාස කරනවා.

එස්තෝනියාව

එමෙන්ම 9 සහ 12 යන ඉළක්කම් ඉතා වාසනාවන්ත ඉලක්කම් ලෙසට සළකන  එස්තෝනියානු ජාතිකයෝ අලුත් අවුරුදු සාදයේදි ආහාර වර්ග 9ක් හෝ 12ක් ඔවුන්ගේ ආහාර වේලට එක්කර ගන්නා අතර එසේ කිරීමෙන් එළඹෙන වසර තුළ තමන්ට යහපත පමණක් සිදුවෙතැයි අපේක්ශා කරනවා.

තුර්කිය

තුර්කි ජාතිකයෝ අලුත් අවුරුදු පිළිගැනීම් සාදයේදී මධ්‍යම රාත්‍රී 12 කණිසම නාදවු විගස තමාගේ නිවසේ දොර ඉදිරිපස  ලුණු ඉසින අතර එමගින් නව වසර පුරාවටම සාමය සහ සෞභාග්‍යය තමා වෙත රැදීමට එය උපකාරි වන බවට විශ්වාස කරනවා.

 

 



Copyright © 2014-2022 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us