Helabima

දරුවො මරණ මවු වරු බිහි කරන සාම්ප්‍රදායික දුර්මත

බිනරි ඇතුගල


 

ඉතා පැරණි අතීතයකට උරුමකම් කියන ශ්‍රී ලංකාව සංස්කෘතික හර පද්ධතීන් රැසකින් නිර්මිත සමාජීය වටපිටාවක් සහිත දකුණු ආසියාතික රටකි. බොහෝ පුද්ගලයින් දැනුමෙන් යාවත්කාලීන වීම අවමය. එසේම වැඩිහිටි ප්‍රජාව දැඩි මතධාරීන් වන අතර වසර විස්සකට තිහකට පෙර පැවති සමාජය හා දැන් ඇති සමාජය තේරුම් ගැනීමට හැකියාව තිබියදීත් ඔවුන් බහුතරයක් එය හිතාමතාම තේරුම් නොගෙන සිටිති. මෙය බරපතල සමාජ අර්බුධයක් වන අවස්ථා කිහිපයක් ම දැකිය හැක. ඉන් භයානක ම අවස්ථාව ලෙස අලුත දරුවන් බිහිකළ කතුන් ගොදුරු වන පසු ප්‍රසව විශාදය හැදින්විය හැක. මෙහි අවසානය සියදිවි නසා ගැනීම් සහා බිළිඳු ඝාතන දක්වා දිව යාම අති භයානක කරුණකි. දරුවෙක් බිහි කිරීම කාන්තාවක් කායිකව මානසිකව මෙන්ම සමාජීයවද උඩු යටිකුරු වන අවස්ථාවක් වේ. දරු උපත සමග අලුත් දරුවෙක් මෙන්ම අලුත් මවක්ද බිහිවේ. දැඩි කායික වේදනාවක් සමග අලුත් දරුවෙකුගේ වගකීම නැමති මානසික බරත් සමග සිදුවන හෝමෝන ක්‍රියාකාරිත්වය නිසා ඈ දැඩි මානසික පසුබෑමකට ලක්වේ. කාන්තාවක හැකි සෑම විටම පීඩාවට පත් කිරීම සමාජයේ බහුතරයක් අයගේ පරම සතුට වන බැවින් බොහෝ අය නව මව සිය එම පහත් දුශ්ඨ ආශාව වෙනුවෙන් භාවිත කරති. මෙහි අවසානය විශාදයට ගොදුරු වූ මවක් මෙන්ම ආබාධ සහිත දරුවෙක් හෝ මිනී මැරුමක් කල මවක් සහ මියගිය දරුවෙක් විය හැක. ලංකාවේ ළමා හා මාතෘ සෞඛ්‍ය පිලිබදව රාජ්‍ය දායකත්වය ද ඉතා ඉහල අතර හොඳ සේවාවක් ලබා දේ. ඒ මගින් මවු වරු නිරන්තරයෙන් දැනුවත් කරන අතර නමුත් මව කොයිතරම් දැනුවත් වුවත් පෙරකී පීඩක පිරිසේ මිත්‍යා මත සමග ඇයට දැඩි අදහස් ගැටීමකට මුහුණ දීමට සිදුවේ.

දුම් ඇල්ලීම

එපිස් කැපුමේ ශල්‍ය මැහුම් යොදා මසා ඇති විටදීත් දරුව බිහි කල මවගේ එම තුවාලයට විවිධ ශාක කොටස් වර්ග පුලුස්සා දුම් අල්ලන මෙන් ඇතැම්හු උපදෙස් දෙති. ඉබේ දියවන මෙම මැහුම උශ්නත්වයට සංවේදී වන අතර එමගින් මැහුම් දියවීමේ විශබීජ ඇතුල් වීමේ අවදානමක් පවතී. සායන හරහා කොතෙක් දැනුවත් කලත් මෙය සිදු කරන මෙන් වැඩිහිටියන් ගෙන් නිරන්තර ඉල්ලීම් ඉදිරිපත් වේ. නමුත් බැරිවීමකින් හෝ මැහුම් දියවීම විශබීජ ඇතුල් වීම සිදුවුවහොත් එහි විපාක දැඩි බව ඔබ තේරුම් ගත යුතුයි .

රත කල්ක

ඉපදී මාස 6 ක් පමනක් මවුකිරි පමණක්ම නිර්දේශ කලත් බොහෝ සාම්ප්‍රදායික වැඩිහිටියන් රත කල්කය පෙවීමට කැමැත්තක් දක්වති. මවුකිරි පෙරීමට සැකසුණු වකුගඩු ආහාර ජීරණ පද්ධතියට ඉන් වන බලපෑම අසාත්මිකතා ගැන නොසිතා ඇතමුන් මෙය දරුවාට ලබා දෙති. සියල්ල වාණිජමය පරමාර්ථ වූ මෙලොවේ නිශ්පාදනය ගැන සහතිකයක් නොමැති නිසි වට්ටෝරුවක් නොමැති නිශ්පාදනය කරන ආකාරය පිලිබදව අවබෝධයක් නැති එවැනි දේ බිලිදාට ශරීර ගත කිරීමට පෙර බුද්ධිමත් දෙමාපියන් වගකීම් සහගතව හැසිරිය යුතුයි

කිරි මිරිකීම

බොහෝ වැඩිහිටියන් අලුත උපන් දරුවාගේ පියයුරු වල ඇති හෝමෝන නිසා හට ගන්නා ශ්‍රාවයක් මිරිකා හැරීමට උපදෙස් ලබා දේ. එය ඉතා වේදනාකාරී ක්‍රියාවකි. ඇතැම් දරුවන් පියයුරු වල ගැටති හා ආසාදන සහිතව රෝහල් ගත කර ශල්‍යකර්ම වලට ලක් කිරීමට සිදුවෙන තරම් මෙම ක්‍රියාව අහිතකර වෙ. අලුත් මාපියන්ට මෙය සිදු නොකරන ලෙස උපදෙස් ලබාදෙන අතර කවරෙකු හෝ එසේ සිදු කිරීමට උත්සාහ දරයි නම් එය වැලැක්වීමට පියවර ගැනීමට දෙමාපියන් උත්සුක විය යුතුයි

By StiahailoAnastasiia / Envato 

ගම්මිරිස් පිඹීම

නහවා අවසන් වූ පිරිමි දරුවන්ගේ වෘශන කෝශ වලට ගම්මිරිස් පිඹීමේ චාරිත්‍රයක් ඇතමුන් ක්‍රියාත්මක කරති. ගම්මිරිස් ඇට හපා එම ඇටවල සැර එම ස්ථානයට වදින සේ මුවින් පිඹීමේදී ගම්මිරිස් කැබලි සිරුරේ තැවරීම මුඛයේ ඇති විශබීජ බිඳිති දරුවාගේ සිරුර මත පතිත වීම සිදුවේ. ගම්මිරිස් තැවරී ඇතිවෙන දැවිල්ලෙන් ඇතැම් පොඩිත්තෝ දැඩි වේදනාවක් උසුලති.

බකල් ඇරීම

නව මසක් ගර්භාෂයක ගුලිවී විටින දරුවා බිහිවන්නේ ඉතා සංකීර්න පද්ධති රාශියක් සපිරි සොබාදහමේ විශිෂ්ඨතම නිර්මාණයක් ලෙසයි. එතරම් සංකීර්න මිනිස් සිරුර අන් අයට අඹරා මිරිකා අතගා යලි සැකසීමට අවශ්‍ය නොවන අතර විශේෂ ආබාධයක් නැති නම් සියලුම දරුවෝ නිවැරැදි අගපසගින් යුතුව බිහිවෙති. බොහෝ පිරිස් එසේ ඉපදෙන දරුවා කෙලින් සිට ගැනීමටත් පෙර ඔහුගේ අගපගස ගැන අනවශ්‍ය සේ කලබල වී ඒවා අදිමින් මිරිකමින් අඹරවමින් සකසන ලෙස දෙමාපියන් පීඩාවට පත් කරති. දරුවන් බහුතරයක් ඇවිදීම ආරම්භ කල විට මේ සියලුම ගැටලු වලින් නිදහස් වෙති. එසේ නොවන විකලාංග ඇත්නම් ඒවා හදුනාගත් හැක්කේ වෛද්‍ය වරුන්‍ට වන අතර ඒවාට නිසි ප්‍රතිකාර මිස ඉහත කී ඇඹරීම් ඇදීම් වලින් ප්‍රතිඵල ලද නොහැක.

පිම්බුනු කම්මුල්

උපන් අලුත දරුවෙකු දිගින් දිගටම මවුකිරි බීම සිදු කරන අතර කම්මුල් වල මාංශපේශීන් එකදිගට ක්‍රියාත්මක වී කම්මුල් පිම්බීම සිදුවේ. එය ටික කලකින් ක්‍රමයෙන් පහව යනු ඇත. ඇතැයි පුද්ගලයින් මෙය දරුවා සිප ගැනීම නිසා සිදුවන දෙයක් සේ සලකා සිප නොගන්නා ලෙස දෙමාපියනට උපදෙස් ලබා දේ. තම දරුව එලෙස සිප ගනිමින් දරු සුරතල් විදිය යුතු සමය එවැනි මිත්‍යා නිසා අහිමි කර නොගත යුතුයි. කම්මුල් පිම්බීම සහ හාදු දීම අතර කිසිම සබදතාවක් නැති බව දෙමාපියන් තේරුම් ගත යුතුයි ..

බාලගිරි දෝශය

අලුත උපන් දරුවෝ මවු කුසින් නිදහස්ව මෙලොවට පැමිණීම සමග නුපුරුදු ලොවකට විවර වේ. ආලෝකය සීතල උණුසුම අපහසුතා ආදී විවිධ හේතු නිසා දරුවා හඬයි. නිසි ලෙස ගුඩුස් නොයැවිමෙන් උදරය තුල වාතය පිරී ඇතිවන කෝලික් තත්වයත් හැඬීමට බලපාන ප්‍රධාන හේතුවක් වේ. එම නිසා දරුවෙකු අසාමන්‍ය සේ හඬයි නම් එම තත්වයන් පිලිබදව විමසා වෛද්‍ය උපදෙස් ගන්නවා මිස නව මව අපහසුතාවට පත් කරවමින් බැන වදිමින් ඇයට පීඩනයක් වන සේ පරිසරය නිර්මානය කිරීමෙන් වැලකිය යුතුයි.

පබලු මාල මොට්ටු

ඇතැම් පුද්ගලයින් අලුත උපන් දරුවාගේ ගෙල අත් ඉන ආදී ප්‍රදේශ වල පබලු වැල් සිලිකන් වලලු විවිධ නූල් එල්ලීම සිදු කරයි. මෙය අධි අනතුරු දායී ක්‍රියාවක් වන අතර මේ හේතුවෙන් දිනපතාම අනතුරේ වැටෙන බිළිඳුන් සංඛ්‍යාව විශාලය. ඇතැම් පුද්ගලයින් එක අතකට වලලු හතක් දැමිය යුතු බව පවසමින් දරුවන්ට ආභරණ පලදවති. එවා කැඩී කුඩා කොටස් මුව ට ඇස් වලට කන් වලට නාසයට ඇතුල් වීම , එම නූල් වල දාඩිය කුණු අපද්‍රව්‍ය රැදී සමේ ආසාදන ඇතිවීම නූල් වලට කැපීම ආදී අනතුරු වලට දරුවන් පත් වීම මෙමගින් සිදුවේ. එමෙන්ම නිදහසේ නොසිට අනවශ්‍ය දෙයක් පැළඳීමට සිදුවීම දරුවාට අපහසුවක් විය හැක. සායන මගින් මේවා පැලදවිම නොකරන්නයි දැනුම් දෙන අතර නව දෙමාපියනට ඒවා කරන ලෙස ඇතැම්හු බල කරති. මොට්ටු තැබීමත් එබඳුම වන අතර මොට්ටු යැයි පවසන සංයෝගය මගින් සංවේදී ළදරු සමට හානි වූ අවස්ථා බොහෝය.

By TrendsetterImages  /  

ඩයපර් භීතිකාව

අලුත් මවට ඉතා විශාලතම පීඩාවක් දෙන අවස්ථාවක් ලෙස ඩයපර් භීතිය හැදින්විය හැක. බොහෝ නූතන මව් වරු නිරන්තරයෙන් තෙත්වන අපිරිසුදු වන රෙදි නැපි වෙනුවට ඩයපර් ඇන්දවීම සිදු කරයි. තෙමුනු විට තෙත් වීමක් සිදු නොවන නිසා දරුවා විටින් විට අවධි නොවී නිසි නින්දක් ලබයි.මවටද එය විශාල පහසුවකි. ශ්‍රීලංකාවේ ඩයපර් ප්‍රසිද්ධ වීම ඇරඹුණේ මෑතකදී උවත් වෙනත් රටවල එය දශක ගණනාවක සිට භාවිත කර ඇත. තම දරුවාට මනාව ගැලපෙන ඩයපර් වර්ගයක් තෝරාගෙන නිසි වෙලාවට එය ඉවත් කර නිසි ලෙස පිරිසිදු කිරීමෙන් කිසිදු අහිතකර තත්වයක් උදා නොවෙන අතර දරුවා සුවපහසුව තබා මවත් පහසුවෙන් සිටීමේ සම්පූර්ණ වාසිය දරුවා හිමි කර ගනී..

දරුවා කොට් එකේ තැබීම

ඔබ රජයේ රෝහලක දරුවා බිහි කලත් පුද්ගලික රෝහලක දරුවා බිහි කලත් දරුවා උපන් මොහොතේ පටන් මවගේ ඇඳෙන් වෙන් කර තැබීමට කොට් එකක් ලබා දේ. මවුකිරි ලබා දීමෙන් පසු දරුවා තොටිල්ලේ නිදි කිරීම ආරක්ශිතම නිවැරැදි ම ක්‍රමයයි. ඉන් මවට යටවීමෙන් ලදරු වාගේ දිවි අහිමි වීම වැලකේ. දරුවා ස්වාධීනව තනිව නිදියාගැනීමට හුරු වේ.මවටද ඉන් ප්‍රමානවත් නින්දක් ලැබීමේ අවස්ථාවක් හිමි වන නිසා දහවල් කාලයේ අපහසුතාවෙන් කලකිරීමෙන් තෙහෙට්ටුවෙන් ගත් කිරීමෙන් වැලකී ප්‍රබෝධමත්ව සිටීමට අවස්ථාව ලැබේ

මෙවැනි තවත් නව දරුවන් මවු වරුන් සම්බන්ධ මිත්‍යා රාශියකි. ඒවා සිදුනොකිරීමට වෛද්‍ය උපදෙස් ලැබුනද බොහෝ අයගේ දැඩි පෙළඹවීම නව මව මානසිකව බිද වැටීමට තරම් ප්‍රභල වේ. ඉන් ඇතිවන පසු ප්‍රසව විශාදය ඉතා භයානක වන අතර මාරාන්තික විය හැක. ඔබ අසල අලුත් මවක් සිටී නම් ඇය මෙම මිත්‍යාවලින් මුදවා ගැනීමට ඔබට සමාජ වගකීමක් ඇති බව ඔබ සිතට ගත යුතුයි



Copyright © 2014-2022 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us