Helabima

යක්කුන්ගෙන් පවා වැඩ ගත් තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ගේ අප්‍රකට කතා

රුවන්තිකා මධුශානි


ඒ කෝට්ටේ යුගයයි. එනම් සිංහල සාහිත්‍යයේ ස්වර්ණමය යුගය යැයි හැදින්වෙන සමයයි. සාහිත්‍යට රාජ්‍ය අනුග්‍රහය ලැබුනු එකල තොටගමුවේ විජයබා පිරිවෙන ආසියාවේ දැවැන්තම පුස්ථකාලය හිමි පිරිවන යැයි වැජඹුනි. ඒ වනවිට ලොව භාවිතයේ ඇති සියලුම පොත්පත් එහි විය. භාරතයේ සිටද පඬිවරු නිතරම තොටගමු පිරිවනට පැමිණි අතර ශාස්ත්‍රීය සාකච්ඡා වාද විවාදාදියට කෙම් බිමක් විය.

දිනක් එක් ඉන්දීය බමුණෙකු මහත් වූ පොත් මල්ලක්ද කර තබාගෙන විජයබා පිරිවනට පැමිණ සාකච්ඡා කරමින් සිට විජයබා පරිවේනාධිපති වීදාගම හිමිට අභියෝගයක් කලේය . තම මල්ලේ අගනා පුස්ථක රත්නයක් ඇති බවත් එය ලොව වෙන කොතනක හෝ නොමැති බවත් වහසි බස් දෙඩීය.බමුණා පැමිණ ඇත්තේ අභියෝග කර විජයබා පිරිවෙන පහත් කිරීමට ම යැයි වටහා ගත් වීදාගම හිමියෝ බමුණා ඇමතීය " බමුණ ඔය පොත දුටු පමණින් එය ඇතැයි කීම අසීරුය. එම නිසා පොත හඩ නගා කියයව " යැයි අණ කෙරිනි. මුග්ධ බමුණා මහ හඩින් පොත කියවීම ඇරඹීය . පොත නතර කිරීමට ඉඩ නොදී දිගටම කියවීමට නියම කලේය. අවසානයේ හඩ අවදි  කල වීදාගම හිමි " බමුණ ඔය පොත අප සතුව ඇත. තවමත් කලු මැද නැත තොප කැමති නම් අපිට එය දැක්විය හැකයි" දැන්වීය. වික්ශිප්ත වූ බමුණා පොත බැලීමට කැමති බව පැවසූ අතර වීදාගම හිමි ඇතුල් ගැබ හුන් රාහුල තෙරුන් අමතා කලු මැද නැති පොත් අතර ඇති එම පොත ගෙන ඒමට නියම කලේය. බමුණා අතට පොත ලබා දිනි. ඔහු ඉමහත් කම්පනයට පැමිණ පරාජය පිළිගෙන පිටව ගියේය . බමුණා ළඟ පමනක් තිබූ ඒ පොත හදිසියේම පිරිවනට ආවේ කෙසේද ? බමුණා පොත කියවද්දි රාහුල හිමියෝ වහා පුස්කොල වල පොත පිටපත් කලේය. උන්වහන්සේට එබදු වේගවත් ආස්චර්‍යමත් ලිවීමේ හැකියාවක් පැවතිණි .

වරක් යන්ත්‍ර මන්‍ත්‍ර තන්ත්‍ර විශයෙහි තෙර පැමිණි බමුනෙක් විජයබා පිරිවනට විත් ශ්‍රී රාහුල හිමි මුණගැසුනේය. තමා සතුව අහසින් යා හැකි රහස් ඖෂධයක් නිර්මාණය කිරීමේ හැකියාවැති වට්ටෝරුවක් පවතින බවත් තම දැනුම සහ රාහුල හිමිගේ දැනුම අත්දැකීම් භාවිත කර එම බෙහෙත තනවා අඩක් රාහුල හිමිට දෙන බවට පොරොන්දු වීය. තම දැනුමින් ප්‍රයෝජනයක් ගැනීමට සිතූ රාහුල හිමිද එයට සතුටුව රහස් බෙහෙත සෑදීමට සුදුසු රහස් කුටියක්ද පිලියල කර දී බෙහෙත සැකසීම ඇරඹූහ. ඇඹරුම් ගලක් මත තබා බෙහෙත් ඇඹරීම ඇරඹිණි. ගල රතු පැහැවී චලනය වීමට පටන් ගත්තේ බෙහෙත පදමට නිර්මාණය වූ බව ගම්‍ය කරමිනි. ඇසිල්ලකින් සියලුම බෙහෙත් අතට ගත් බමුණා පොරොන්දුව කඩ කර අහසට නැග ගමන් කිරීමට පටන් ගත්තේය. ක්ශනිකව ක්‍රියාත්මක වූ රාහුල තෙරුන් පේවී කහ දියෙන් සුවඳ දුමින් පවිත්‍ර කර නොකිලිටිව බෙහෙත් ඇඹරූ ඇඹරුම් ගල ඔසවාගෙන ගොස් වැසිකිළි වලට අත් හලේය. බලය බිදිණි . තොටගමුවෙන් පිටත්ව අහසට නැග ඉන්දියාව බලා යාමට මුහුද තරණය කරමින් සිටි බ්‍රාහ්මණයා බෙහෙතෙහි බලය බිදී මුහුදට වැටී මිය ගියේය

තොටගමුව විහාරයද එකල ජේතවනාරාමය මෙන් දෙවු මිනිස් සේනා ගැවසි ගුප්තමය පුද බිමක් විය. ඒ වටා සිදුවූ විද්‍යාවට ගෝචර නොවන්නා වූ සිදුවීම් රාශියකි . සවස් යාමයේ විහාරයේ මල් අසුන මත සමන් පිච්ච කැකුළු නෙලා පැන් ඉස තැන්පත් කිරීම රාහුල හිමිගේ සිරිතකි. එවිට පසුදා අලුයම සුවඳ විහිදෙමින් පිපී සුදු පැහැයෙන් බබලන සමන් පිච්ච මල් උදෑසන දැකගත හැකිවේ. රාහුල හිමි අලුයම මේ දසුන විදිමට පැමිණේ. දිනක් පැමිණෙද්දී රාහුල හිමි දුටුවේ විකසිතව ගිය කුසුම් නොව කිසිවෙකු තලා පොඩි කල සමන් පිච්ච මල් රැසකි. පිට පිට තෙදිනක් මෙය ඉවසූ උන්වහන්සේ මේ දුශ්ඨ ක්‍රියාවේ යෙදෙන්නා අල්ලා ගනු වස් මල් අසුන අසල සැගවී බලා හුන්නේය. පෙර යම අවසන් වෙද්දී අහසින් බට අයෙක් පැමිණ මලසුන මතට නැග හරිබරි ගැසී නිදන්නට වන. ඔහු නින්දට වැටුණු විට කිට්ටු කර බැලූ තෙරුන්ට පෙනුනේ ඇග පුරා චර්ම රෝගයක් හටගත් සිද්ධ විද්‍යාධරයෙකි. ඔහු සුරතේ ගුලි කරගෙන හුන් ගුලි දෙක දැක කරුණු අවබෝධ කරගත් තෙරුන් එම ගුලි දෙක ගෙන සිය කුටියට පිවිසුනි . පසුදා අලුයම විහාර ගෙය අසල අඩා වැලපෙන හඩින් එහි ගිය රාහුල තෙරුන් ගුලි දෙක නැතිව අහසට ඉගිල යා ගත නොහී හඩා වැලපෙන සිද්ධ විද්‍යාධරයා අමතා දෙවු ලොව තතු පවසන්නේ නම් ගුලි දෙක දෙන බැවු පැවසීය. විද්‍යාධරයා දෙවුලොව තතු කීම අරඹද්දීම රාහුල හිමි වේගයෙන් සටහන් කර ගත්තේය. දීර්ඝ විස්තරයක් ලබා දුන් විද්‍යාධරයා ට ගුලි දෙක ලද සැනින් හෙතමේ රාහුල හිමි අතැති සටහන් ද උදුරාගෙන අහසට පැන අතුරුදන් විය. වටිනා සටහන් රැසක් රාහුල හිමිට අහිමි විය. එහෙත් උදෑසනම රාහුල හිමි හා සංවාදයේ යෙදෙන්නේ කවුදැයි බැලූ වැත්තෑවෙ හිමියෝ සම්පූර්ණ සාකච්ඡාවට සවන් දී ධාරණය කර ගත්තේය . උන්වහන්සේ පසු කලක ගුත්තිල කාව්‍යයේ දෙවු ලෝ වැනුම ලීවේ එම තොරතුරු මගින් බව පැවසේ.

කෙසේ වෙතත් ශ්‍රී රාහුල හිමිත් උන්වහන්සේ ගේ ගුරු හිමි වන වීදාගම හිමිත් අතර පැවතියේ සීතල යුද්ධයකි. ගුරුවරයාගේ දැනුම අභිභවන ගෝලයකු ලෙස රාහුල හිමි ප්‍රකටව තිබිණි. දෙදෙනාම නක්ශාස්ත්‍රයේ සහ භූත මන්ත්‍ර තන්ත්‍ර වල පරතෙර ස්පර්ශ කල අය වුහ. වරක් මේ දැනුම උරගා බලනු වස් තරගයක් පැවැත්වීමට සූදානම් විය. ගලක ඉන්නක් පැල කිරීම තරගය විය. දෙදෙනාම එකම වේලාවක් ඊට සුදුසු බව තම නුවණින් දැක තිබිණි. දිනය උදා විය. මේ ගැන පුවත් ඇසූ ජනතාව සීනිගම වෙරළ ආසන්නයේ ගල් තලාව මත රැස්වූහ. රාහුල හිමි වැටකේ ඉන්නක්ද වීදාගම හිමි අරලිය ඉත්‍තක්ද තෝරා ගත්හ. රාහුල හිමි ඉන්න පා ඇගිලි කරු අතරත් වීදාගම හිමි අතේත් තබාගෙන සිටි අතර සුභ මොහොතේදී රාහුල හිමි ඉන්න ගල තුලට එබූ සේක. වීදාගම හිමි ඉන්න ඔසවා ගලෙහි එබුවද එය නොරැදිනි. ඉන්න එසවීමට වැය වූ කාලය හේතුවෙන් සුභ මුහුර්තය මග හැරුනු බව රාහුල හිමි පැවසූහ. ගුරුවරයා ගෝලයාට පැරදුනේය . එම වැටකේ පඳුර අදත් සීනිගම දෙවොල අසල ගල් පරයක දක්නට ලැබේ.

ඒ සිතේ කහටින් යුතුව තවත් තරගයක් සංවිධානය කිරීමට වීදාගම හිමිට අවශ්‍ය විය. එවර පොල්පැල දෙකක් තෝරා ගැනිණි. වැඩියෙන්ම පල දරන නැකත හිමිවන්නාට දිනුම ලැබේ. වීදාගම හිමි උදෑසන යෙදුනු සුභ නැකතින් පිරිවෙන ඉදිරියේ පොල්පැළය සිටවූ අතර සවස්වරුවක යෙදුනු නැකතකින් රාහුල හිමි දංගෙය පිටුපස තම පැළය සිටුවීය. ඉදිරිපස පැලය දිනෙන් දින සරු වද්දී පිටුපස පැලය දිනෙන් දින කනාටු වීය. ඉදිරිපස පැලයට සාත්තු කිරීමට පිරිස් බහුල වූ අතර පිටුපස පැලයට දන් ගෙයින් ඉවතලන දෙයක් පමණි. ඉදිරියේ ගුරු හිමියන්ගේ පැලය පීදිනි .ගොබය වටා පොල් වලු බරවී ඇත . එහෙත් අනෙක් පැලය පීදෙන ලකුනකුදු නොමැත. ගලේ සිටුවා ජය ගත්තත් රාහුල හිමිට පල දරන නැකතක් ලැබී නැතැයි පිරිසගේ මතය විය. ගුරු හිමිගේ පැලයේ පොල් පැසී ඇති බැවින් එහි ගෙඩි කැඩීමට දිනයක් තෝරා ගන්නා ලදී. එම පුවත අසා ජනතාව ද දායකයෝද පැමිණ විහාර භූමියේ පිරී ගියහ. ගුරු හිමියන්ගේ ගසින් කැඩූ පොල් වලින් ආවාසය ඉදිරියේ බිම වැසී ගොසිනි. ගෙඩි 200 ඉක්මවයි. ඉක්බිති ගුරු හිමි රාහුල හිමි දෙසට හැරී අපහාස මුවින් ' රාහුල ගෙ ගහෙත් කඩමුද ' යැයි ඇසීය. සියල්ලෝම පුදුම කරවමින් රාහුල හිමි ඔවුන් පිටුපසට කැදවීය. සිය අතවැසියා අමතා පොල් මුල හෑරීමට නියම කලේය. ආස්චර්‍යකි. පොල් මුල වටේටම පොල් වලු හටගෙන ඇත. එවා පැසී හොඳ පදමින් ඇති බැවින් අතවැසියා ලවා සියල්ල කැඩවීය පොල් ගෙඩි 500 ඉක්මවයි. පරිවේනාධිපති ගුරු හිමියෝ යලි පරාජය භාරගෙන සිය කුටියට වැඩම කලහ. තොටගමුවෙ ශ්‍රී රාහුල නමින් පැවිදි කිරීමට පෙර ගිහි රාහුල හිමිගේ හදහන බලා " මේ කුමාරයා මහණ උවත් රජකම් කරනවා' යැයි පැවසූ අනාවැකිය සිතමින් ගුරු හිමියෝ අතීතය සිහි කලහ.

‌ක්‍රිස්තු වර්ශ 1408 දී ප්‍රාදේශීය රජෙකු වූ වික්‍රමබාහු ඈපානන්ට දාව කීරවැල්ල සීලවතී බිසව ගේ කුසින් මෙලොව එළිය දුටු දෙමටාන ජයබාහු වීරසුන්දර කුමරු ඉතා ප්‍රභල හෝරාවකින් මොලොව එළිය දුටු කුමරෙකු ලෙස ප්‍රකට විය. එහෙත් දෛවඥයන් ගේ මතය වූයේ කුමරුගෙන් මවට අපල බවත් පියා රටින් පිට වන බවත් මහණ වූවත් කුමරු රජවන බවත් ය. සිතූ අයුරින් ම එය සිදු විනි. කුමරු බිළිඳු වියේදීම කීරවැල්ල බිසව මියගිය අතර ඉන් කලකිරුනු වික්‍රමබාහු ඈපාණෝ කුමරා සිය බිසවගේ සොයුරියට පවරා සභ්‍රහ්මචාරී වික්‍රමබාහු තෙර නමින් පැවිදිව මහණ දම් පිරුමට සියම බලා යෑමට නැවු නැගීය. දරුවා භාර ගත් සුලු මව කෝට්ටේ රජ කල 6 වන පැරකුම්බා රජුගේ අග බිසව විය. එබැවින් බාල වියේ සිටම ඉතා හුරුබුහුටි චතුර වූ දෙමටාන ජයබාහු කුමරු කෝට්ටේ රජවාසල පැරකුම්බා රජුගේ පුත්‍ර තනතුරේ වැඩිනි. එම මාලිගයේම පනික්කල හස්ථි සේනාධිපතිගේ පුතුන් වූ සපුමල් කුමරු සහ අම්බුලුගල කුමරුද පුත්‍ර තනතුරේ වැඩිනි. එයින් ජයබාහු කුමරු ශාස්ත්‍රීය විශයෙහි අති දක්ශයකු ලෙසත් සපුමල් කුමරු යුධ කාර්‍යයෙහි දක්ශයකු ලෙසත් වැඩුනි. පසුවට ඇතිවිය හැකි උවදුරු ගැන මුල සිටම තීරණය කර එවකට ශාස්ත්‍රීය විශයෙහි දක්ශයා වූ 15 හැවිරිදි දෙමටාන ජයබාහු කුමරු තොටගමුව විජයබා පිරිවනෙහි පදිංචි කරවා තවදුරටත් ශාස්ත්‍රීය හැදෑරීම් කරන්නට ඉඩ සලසා දිනි. තොටගමුවෙ විජයබා පිරිවනේ පොත් ගුල ප්‍රතිසංස්කරණය පිණිස කුමරු තොටගමුවට කැදවන බව කී අතර එයට කීරවැල්ල බිසව ( සුලු මව) ලෝකනාථා කුමරිය ඇතුලු රාජකීය කාන්තාවෝ නොපහන් වූහ. එහෙත් කුමාරයා තොටගමුවෙ නතර කෙරිනි. තම දැනුම වර්ධනය කර ගනිමින් පොත්පත් ප්‍රතිසංස්කරණය කිරීමට කුමරු උත්සුක විය. දිනක් පරිවේනාධිපති වීදාගම හිමියෝ බැහැර වැඩම කරවා සවස් යාමයේ විවේකයෙන් වැඩ සිටියදී හඬමින් ආ කොලුවෙකු තොටගමුවෙ විජයබා පිරිවනට එවූ මීකිරි හට්ටියක් සහ කෙසල් ගෙඩි දෙකක් සොරා කෑ බව පවසා හඩා වැලපෙමින් සමාව ගත්තේය . මගදී කල සොරා කෑම කෙසේ ආරංචි වීදැයි වීදාගම හිමි විමසූහ. සිදුව ඇත්තේ මෙයයි. වෙනත් විහාරයකින් මීකිරි හට්ටියක් සහ කෙසල් ගෙඩි 10 ක ඇවරියක් තොටගමුවෙ විජයබා පිරිවනට ඉහත කොලුවා අත "පුන් සඳ හා දසවක එවමි භාරගත මැනවැයි" ලියූ තල්පතක්ද සමග එවා ඇත. කොලුවා මගදී මීකිරි හට්ටියෙන් භාගයක් ද කෙසල් ගෙඩි දෙකක්ද කා තිබේ. වීදාගම ඟුරු හිමි නොසිටි අවස්තාවේ හුන් දෙමටාන ජයබාහු කුමරු තල්පත කියවා හිස් කිරි බඳුන දැක " අඩසද සහ අටවක ලැබිණි. පින් දෙමින් භාර ගතිමි " යන වැකිය තල්පතක ලියා යවා තිබේ. අකුරු නොදත් කොලුවා එය තම විහාරයට ගොස් භාර දී සොරකම අසුව ගුටිකා ඇත. දෙමටාන ජයබාහු කුමරුගේ තවත් සමත්කම් රැසකි. 

 මෙම ලිපියේ  දෙවන කොටස   



Copyright © 2014-2022 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us