Helabima

යක්කුන්ගෙන් පවා වැඩ ගත් තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ගේ අප්‍රකට කතා ( 2 කොටස )

රුවන්තිකා මධුශානි


 මෙම ලිපියේ මුල්කොටස 

තොටගමුවෙ විජයබා පිරිවනේ වියතුන් ඇසුරේ හැදී වැඩුනු කුමරු එවකට විජයබා පිරිවනාධිපති තොටගමුවෙ වනරතන හිමියන් විසින් වාචිස්සර නමින් පැවිදි කෙරිනි. ඒ ඇසූ වීදාගම හිමිද තොටගමුවට වැඩම කල අතර ගුරු හිමිවරුන් දෙනමගේ අවවාද අනුසාශනා මැද වාචිස්සර හිමි දිනෙන් දින දැනුමින් වැඩුනේය. පරිවේනාධිපති උතුරුමූල හිමියන් සතුව ඉතා බලගතු රහස් තෛලයක් වන සරස්වති තෛලය තිබිණි. ඉන් බිඳක් අස් කෙන්දකින් දිව ගෑමෙන් මතක ශක්තිය වැඩෙන බව පැවසෙන ඉතා බලගතු රහස් තෛලයක් විය.දිනක් උත්තර මූල තෙරුන් සිය ගෝල හිමිවරු කැටිව ජලස්නානයට සීනිගම තොටට වැඩමවූ අතර කුඩා වාචිස්සර සාමනේර හිමි පිරිවනෙහි රැදී සිටියේය. මතක ශක්තිය වැඩි කර ගැනීමට මෙය හොදම වේලාව බව දත් රාහුල තෙරුන් ඖෂධ ගබඩා කර තිබූ රහස් කුටියට වැද සරස්වති තෛලය අඩංගු බඳුන කට තබා පානය කිරීමට පටන් ගත්තේය. අස් කෙන්දකින් තැවරීම සිදු කල යුතු බලවත් තෛලය ශරීරගත වත්ම එහි බලය දරාගත නොහී වාචිස්සර තෙරුන් සිහි සුන්ව ඇද වැටිණි.

පිරිවනේ රැදී වුන් සුරතල් ගිරවා මෙය දැක මහත් කලබලෙන් සීනිගම තොටට පියඹා " අන්න රාහුලයා තෙල් බීල මළා, අන්න රාහුලයා තෙල් බීල මළා" යැයි මහත් සේ කෑ ගසමින් කලබල කරේය.කරුණ වටහාගත් නාහිමි අනික් අයට නා පැමිණෙන ලෙස දන්වා වහා සිවුරු හැද විහාරයට වැඩි සේක. රාහුල හෙවත් වාචිස්සර හිමි බේරා ගැනීමට තන කිරි බෙහෙත් ඔරුවක පුරවා එහි සත් දිනක් උන්වහන්සේ සතපවා තිබු බව ප්‍රවාදයේ පවතී. වාචිස්සර හිමියන් වස්කවි මෙන්ම සෙත් කවියෙහි දක්ශය. නක්ශාස්ත්‍ර දැනුමින් ඉහලය . වයසේ වරද හේතුවෙන් දඟ කාරය. වරක් කතරගම දෙවියන් කෙරෙහි කැප වූ සන්නාසියෙකු ඉන්දියාවෙන් නැවු නැග කතරගම බලා පාද යාත්‍රාවෙන් ගමන් කරද්දි තොටගමුවෙ පිරුවනට ගොඩ වීය. ‍රිදී තැටියක් මත් කතරගම දෙවියන්ගේ රන් පිළිමයක් තබාගෙන එය තිරයකින් වසාගෙන ගමන් කරන මහත් ආඩම්බර කාර සන්නාසියා පිරිවනට පැමිණියත් පිළිමය පෙන්වීමට අකමැති විය. වාචිස්සර තෙරුන්ට එසේ වසාගෙන යන්නේ කුමක්දැයි දැනගැනීමේ මහත් කුහුලක් උපන. උන්වහන්සේ නිසි ලෙස බල පිහිටුවා හිටිවනම පහත කවිය කීහ

පනිඳු රුපු නැගී දද බැද තඹර සිලු

විරිදු දින අරණ තෙද නලිනි කල අලු

දිළිඳු නදනි දුනි මිහිකත තෙදිය මුලු

පසිඳු ඔබ සරණ දැකුමට මසිත ඇලු

කවිය අවසන් වද්දීම නැගුනු ගින්නකින් තිරය් අලු වී පිළිමය ප්‍රදර්ශනය විය. සන්නාසියා ඉන් කම්පනය වී පිළිමය තෙරුන්ට පිදූ අතර තෙරුන් යලි එය ඔහුටම භාර කලහ.

වාචිස්සර සාමනේර හිමි අවුරුදු 20 වයස් පිරුණු විට උත්තර මූල තෙරුන් උන්වහන්සේ උපදම්පදා සීලයෙහි පිහිටුවිමට කාලය පැමිණ ඇති බව පැරකුම්බා රජුට දැන්වීය. දියවන්නා ඔයේ බැදි උදකුක්ඛේප සීමාමාලකයේදී රාජ්‍ය අනුග්‍රහයෙන් පැවැත්වූ අති උත්කර්ෂවත් උළෙලකදී වාචිස්සර හිමි උපසම්පදා අධි සිල් ලැබූහ. ඒ වන විට ෂඩ්භාශා පරමේශ්වර ආසියාවේ සියලු වියතුන්ට සිලුමිණකව සිටි උන්වහන්සේ තොටගමුවේ ශ්‍රී රාහුල නමින් උපසම්පදා කෙරිනි. උන්වහන්සේ ගේ කීර්තිය ආසියාව පුරා පැතිර ගියේය.

රාහුල හිමි යකුන්ගෙන් පවා වැඩ ගත් බව පැවසේ.උන්වහන්සේ ගේ ගමන් බිමන් යකුන් විසින් ඔසවාගෙන යන දෝලාවකින් ගුවනින් සිදු කෙරී තිබිණි. මේ වනවිට විජයබා පිරිවනේ පරිවේනාධිපති ධූරය හොබවමින් සිටි රාහුල හිමි මහන වූවත් රජ වන බව පැවසූ අනාවැකිය සපථ කරවමින් අනියම් රාජ්‍ය ධූරය හොබවමින් සිටියේ රාජගුරු පදවි ලැබ පැරකුම්බා රජුගේ ප්‍රධාන උපදේශක වෙමිනි.මේ වනවිට රජ කිරුල වෙනුවෙන් ඝට්ටනයක් හටගෙන තිබූ අතර රජු හදාගත් අනෙක් දරුවා වූ සපුමල් කුමරු යාපනය පාලනය කරමින් සිටියේය. රාහුල හිමිගේ උපදෙස් පරිදි කෝට්ටේ පැරකුම්බා රජුගේ මරණයෙන් හිස් වූ කිරුල රජුගේ මුනුබුරු උලකුඩය දේවියගේ පුත් ජයබා කුමරුන්ට පළඳවා ඔහු රජ කරවීය. කිරුල සපුමල් කුමරුට හිමි විය යුතු බවට වීදාගම නාහිමි ඇතුලු පිරිසක් පවසද්දී පිරිසිදු සිංහල ලේ ධාතුවේ උරුමය වෙනුවෙන් තොටගමුවෙ ශ්‍රී රාහුල හිමි මැදිහත්ව ජයබා කුමරු රජ කරවීය. ස්වල්ප දිනකින් යාපනයේ සිට පැමිනි සපුමල් කුමරු ජයබාහු මරා දමා කිරුල පැහැර ගත්තේය. හේ බුවනකබාහු නමින් කෝට්ටේ රජ වීය. එය රාහුල හිමි අනියමින් අපවත් කලා හා සම ක්‍රියාවක් විය. මේ කිරුළු හුවමාරුව නිසා සපුමල් කුමරුට පක්ශපාත වීදාගම හිමිට සියලුම බලතල හිමි විය. බුවනකබාහු රජු සිංහල ලේ උරුමය ඇත්තෙක් නොවන නිසා රටපුරා කැරලි ඇතිවූ අතර ඒවා රාහුල හිමි විසින් මෙහෙයවතැයි බුවනකබාහු රජු සැක කලේය. අවුරුදු හතක් සිංහල සංගේදම නමින් මේ ගැටුම ක්‍රියාත්මක වූ අතර ඉන් රටට වන අවැඩ සලකා රාහුල හිමි වන ගත වීමට තීරණය කලහ.

උන්වහන්සේ මහවෙල ගොඩපිටිය අම්බලෙනට වැඩම කර ගම් වාසින්ගේ හා හුන්චින්නා නම් ආවතේව කරුගේ ආවතේව ලබමින් එහි වැඩ හිදිමින් භාවනා ප්‍රගුණ කලහ. මේ ඇසූ බුවනකබාහු රජු ආසියාවේ මහානර්ඝ පොත් පත් , දැනුම, කෞතුක වස්ථු , රහස් තෙල් බෙහෙත් වට්ටෝරු පුස්කොල සපිරි තොටගමුවෙ විජයබා පිරුවන රජුගේ හිතවත් ස්වාමීන් වහන්සේ නමකට පැවරීය. තොටගමුවෙ රජමහා විහාරයේ සහා මහා පිරිවන එයින් පටන් මිරිහෙමින් අපිරිමිත දැනුමක් සමග ලොවට අහිමි විය.

මේ අතර තම නක්ශාස්ත්‍ර දැනුමෙන් තම මරණය වන දිනය ගැන අවබෝධයක් ලබා ගත් රාහුල හිමි යකුන් ලවා ඉදුරුවේ ගල් ලෙන තුල ගලින් ඔරුවක් තනවා මිය ගියත් සිරුර විනාශ නොවනු පිනිස සිද්ධාලෝක රසායනය වලදා ඔරුවේ සැතපී අපවත් වූහ. ඔරුව ගල් කනු හතරක් මතත් ඒ කනු දිය බදුන් හතරක් තුළත් බහා තැබූ අතර ගල් ගුහාවේ ද්වාරය මන්ත්‍ර බලයෙන් කිසිවෙකුට ඇරිය නොහැකි සේ වසා දැමිය යුතු ආකාරය හුන්චින්නා ට උගන්වා තිබිණි. එකල ලංකාවේ බල පෙරළි රාශියක් සිදුවූ අතර මෙරට බලය පෘතුගීසින් අතට පත් විය. මේ මහානර්ඝ දැනුමින් පූර්ණව ඉදුරුවේ ගල් ගෙයි සැතපෙන තොටගමුවෙ ශ්‍රී රාහුල හිමිගේ දේහය සම්බන්ධ පුවත පෘතුගීසි ක්ශාවියර් ගේ කන වැකිනි. සේනා සහිතව විත් ගල් ලෙන සොයා ගත්තද එය විවෘත කිරීමට සමතෙක් සොයා ගැනීමට ඔවුනට නොහැකි විය. කෙසේ හෝ ඒ වනවිට භූත විද්‍යා විශාරදයකු සේ ප්‍රකටව සිටි හුන්චින්නා ව උපායෙන් අල්ලාගෙන ඔහු ලවා ගල් ලෙන හැරවීය. ගල් ඔරුවේ පියන් හැර මළ සිරුර ජීවමාන සේ කෙස් රවුලු වැඩෙමින් නරක් නොවෙමින් තිබෙනු දැක ඔවුන් හුන්චින්නා සමගම දේහය ගෝවට රැගෙන යන ලදී. මහත් දැනුම් සම්භාරයක් අද්විතීය කවීත්වයක් සෞරග්‍රහ මණ්ඩලයම අතැඹුලක් කරගන්නා ආකාරයේ නක්ශාස්ත්‍ර දැනුමකින් පරිපූර්ණ මහා වටිනා යුග පුරුශයකුගේ මළ සිරුරේ සාරයද ලක් පොළවට අහිමි වූයේ එලෙසිනි.

 



Copyright © 2014-2022 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us