Helabima

නව වසරේදී ආණ්ඩුව හෙල්ලෙන ලකුණු

මෙවන් රිටිගල


කැවුම් කොකිස් නොවූ අලුත් අවුරුද්ද 

ප්‍රශ්ණ රාශියක් මධ්‍යයේ 2022 නව වසර උදා විය. කාලය ගෙවීමක් පමණක් සිදු වෙමින් ජනතාවගේ ජිවිත එකම තැනක පල් වෙන බවක් ඇස් පනාපිටම පෙනෙන්නට තිබෙන දෙයකි. ගෑස් පිපිරෙද්දී අතවශ්‍ය බඩු මිල අසීමිත ලෙස ඉහළ යද්දී කිරිපිටි ඇතුළු තවත් අතවශ්‍ය භාණ්ඩ හිඟ විය. නව වසර යනු නිවසක කිරි උතුරා කිරිබතක් අනිවාර්යෙන් ඉදෙන දවසකි. එමෙන්ම ඊට කැවුම් කෙසෙල් පිරුණු කැවිලි මේසයක් ද ලොකු කුඩා සෑම නිවසකම දක්නට ලැබෙන චාරිත්‍රයකි. නමුත් මෙවර කැවිලි කෙසේ වෙතත් කිරි දමා බතක් උයා ගැනීමට මෙන්ම නිකන් බතක් වත් උයා ගැනීමට නොහැකිව 2022 වසර ලාංකික අපට උදා වුයේය. රු. 2000ට තිබු බුමිතෙල් ලිප් වල මිල රු. 10,000ක මිලකට ඉහල යද්දී රු.500 අඩු මුදලකට තිබූ දර හොන්ඩරය රු. 2500-3000 අතර මිලකට පාවෙමින් තිබෙන්නේ තවත් බොහෝ කෑම බිම වල මිල ගණන් සේය.

නව වසර සැමරීමට  කිරිබත් සහ කැවිලි පෙවිලි ලබා ගැනීම සඳහා   රජයේ සහ පෞද්ගලික ආයතන ලබාදී ඇති ඇණවුම් බාර ගැනීම  හෝටල් සහ ආපනශාලා  සහ කැවිලි පෙවිලි නිෂ්පාදනය කරන ආයතන බොහොමයක් ප්‍රතික්ෂේප කර තිබිණි. සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පැවසුවේ ගෑස් හිඟය නිසා  හෝටල් ආපන ශාලා ඇතුළු ආයතනවලට  අකමැත්තෙන් වුව එම තීරණය ගැනීමට සිදුවී ඇති බවයි.

පවතින ආර්ථික තත්වය  සැලකිල්ලට ගෙන රජයේ සහ පෞද්ගලික ආයතන බොහොමයක් කිරිබත්, කැවිලි පෙවිලි ඇතුළු ආහාර ද්‍රව්‍ය මෙවර ඇණවුම් කර නැතැයිද රජයේ සහ පෞද්ගලික ආයතන බොහොමයක් නව වසර සැමරීමට කිරිබත් සහ කැවිලි පෙවිලි ලබා ගැනීම සඳහා කාලයක සිටම ඇණවුම් ලබා දුන්නේ ඒ ඒ  නගරවල හෝටල්වලට සහ ආපන ශාලාවලට බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි. මේ අතර ගෑස් හිඟය නිසා මේ වනවිට වැසීගොස් ඇති හෝටල් , බේකරි සහ ආපන ශාලා සංඛ්‍යාව 20,000ක් දක්වා ඉහළ ගොස් ඇතැයි  එම සංගමය පැවසුවේය.

උදා වූ නව වසර අලුත් හැඟීම් සමඟ සුබවාදී ව සහ අධිෂ්ඨානශීලී ව අනාගතය දෙස බැලීමට අපව නිතැතින් ම පොළඹවනු ලබයි. එබැවින්, අප 2022 වසර පිළිගනු ලබන්නේ දැඩි උද්‍යෝගයකින් සහ අපේක්ෂා සහගතව ය. ගෙවී ගිය වසර රටටත්, ජන සමාජයටත් එල්ල කළ බලපෑම දෙස අප ආපසු හැරී බැලිය යුතු ය. ඒ අනාගත සමෘද්ධිය උදෙසා වන අධිෂ්ඨානයෙන් යුතු ව බව මම විශ්වාස කරමි. යනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ 2022 නව වසරේ උදාව නිමිත්තෙන් නිකුත් කළ නිවේදනයේ දැක්විණි.

ජනාධිපති එසේ සුභ පතද්දී නව වසරට සෙත් පතා ඓතිහාසික කතරගම පූජා භූමියේ පැවැත්වෙන ආගමික වතාවත්වලට ජනධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එක්විය. එහිදී ජනධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා, කිරිවෙහෙර රජමහා විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගැනීමට පියවර ගත්හ. 

පිබීගේ ඉල්ලා අස්වීමේ රහස් ගොඩක් 

මෙසේ නව වසරට ජනාධිපති අගමැති සුදානම් වෙද්දී පසුගිය කාලයේදීම බෙහෙවින්ම කියවුණු කරුණක් බවට පත් වුයේ ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර ගේ ඉල්ලා අස්වීමයි. ඒ අනුව ඔහු විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමුකර ඇති සිය ඉල්ලා අස්වීමේ ලිපියෙහි අතිශය සංවේදී රහස් රැසක් සඳහන් කොට ඇති බව දැනගන්නට තිබේ. පිටු 04කින් සමන්විත මෙම ඉල්ලා අස්වීමේ ලිපියෙහි ආර්ථිකය සම්බන්ධ කරුණු කිසිවකට පසුගිය කාලයේ තමන් සහභාගි නොවුණු බවත්, ඒ කිසිවක වගකීම තමන්ට ගත නොහැකි බවත් පී.බී. ජයසුන්දර මහතා විසින් ජනාධිපතිවරයාට දැනුම්දී ඇති බව වාර්තා වේ.

එමෙන්ම මේ වන විට රට ඇතුළේ ක්‍රියාත්මක ව්‍යාපාරික මාෆියාවක් සම්බන්ධයෙන්ද අතිශය රහස් තොරතුරු රැසක් ජයසුන්දර මහතා විසින් මෙම ලිපිය හරහා ජනාධිපතිවරයාට දැනුම්දී ඇති බව සඳහන්වේ. එහිදී ව්‍යාපාරිකයන් තිදෙනකුගේ නම්ගම් ඊට ඇතුළත් කිරීමටද ජයසුන්දර මහතා පියවර ගෙන ඇති බව පැවැසේ. මීට අමතරව තමන්ට එරෙහිව චෝදනා නඟා ඇති මැති ඇමැතිවරුන් සම්බන්ධයෙන් තවත් තොරතුරු රැසක් මෙම ලිපිය හරහා ජනාධිපතිවරයාට දැනුම්දීමටද ජයසුන්දර මහතා කටයුතු කොට ඇති බව දැනගන්නට ඇත.

පසුගිය 26  වැනිදා සජිත් අලුත් කටයුත්තකට මුල පිරුවේය .ඒ නගරයෙන් නගරයට ගොස් ජනතාව හමුවන " මනුෂ්‍යත්වය චාරිකාව" වැඩ සටහනය. හම්බන්තොට පොල භූමියෙන් ආරම්භ කළ වැඩසටහන දින කිහිපයක්ම හම්බන්තොට කේන්ද්‍රගත කරගනිමින් පවත්වනු ලැබීය. ඔහු යන යන තැන සෑම තැනකින්ම අසන්නට දකින්නට ලැබුණේ මිනිස්සුන්ගේ දුක් අඳෝනවන්ය.

"මන්ත්‍රීවරයෙක් තියා ඇමතිවරයෙක්ටත් පාරට බැහැලා අපි ඉස්සරහට එන්න බැහැ මහත්තයෝ.අපි උන්නද මළාද කෑවද බීවද කියලා බලන්න කෙනෙක් නෑ.දිනුවත් පැරදුනත් හැමදාම අපි ළඟට ඇවිල්ල අපේ දුක සැප හෙව්වේ ඔබතුමා."පොළ භූමියේ සිටි බොහෝ දෙනෙක් සජිත් සමග කීවේය.

"අපිත් රැල්ලට රැවටිලා  පොහොට්ටුවට ඡන්දය දීපු මිනිස්සු.ජනතාවගේ දෙපා ළඟට එනවා කියලා ඔබතුමා එදා කියද්දී අපි ඔබතුමාට හිනා උනා.හැබැයි ඔබතුමා අද අපේ දෙපා මුලට ඇවිල්ල දුක අහනව.අපි අඬ අඬා ඔබතුමාට දුක කියනවා." මවක් ඇස් වල කඳුළු පුරවාගෙන සජිත් සමග කීවේය.

"ආණ්ඩුවේ සමහරු දැන් කියනවා " ජනතාව මීට වඩා කැපකිරීම් කරන්නලු." තිරෝද රථ රියැදුරෙක් සජිත්ට කීවේය.

"ඔව් ආණ්ඩුවේ තවත් පිරිසක් කියනවා ජනතාවට "ටිකක් කන්න කියලා.තව සමහරු කියනවා " එක වේලක් අඩු කරලා" කන්නලු.තව ටික දවසකින් කියයි " කන්න එපා."කියලා.ජනතාව කැපකිරීම්-ආණ්ඩුව සැපගැනීම්" සජිත් උත්තර දුන්නේය . "මේ ආණ්ඩුව ආව දවසේ ඉදලාම ජනතාව කළේ කැපකිරීම් කරන එක.හැබැයි ආණ්ඩුවේ උදවිය කළේ සැප ගැනීම.ආණ්ඩුවට දුකක් නෑ.ජනතාවට ඇපත් නෑ." දින හතරක් මුළුල්ලේ සජිත් මනුෂ්‍යත්වය චාරිකාව සිදු කළේ ය.විශාල උද්යෝගයකින් ජනතාව ඒවාට සම්බන්ධ වූ අතර ආණ්ඩුවට එරෙහිව ඇති අප්‍රමාණ කලකිරීම ජනතාව සිය හැඟීම් වලින් පිට කරනු ලැබීය.

අධ්‍යාපනයේ දෙවැනි නිදහස් අරගලයට සජිත් මුලපුරයි!

මේ අතර පසුගිය සතියේ බ්‍රහස්පතින්දා සජිත් තවත් සුවිශේෂී කටයුත්තකට මුල පිරුවේය. ඒ ඔහු විසින් ක්‍රියාත්මක කරනු ලබන "සක්වල" නවතම වැඩසටහනයි. සක්වල වැඩසටහන හරහා ඔහු  සිදුකිරීමට අපේක්ෂා කරන්නේ රටේ දුෂ්කර පාසල් වල දුවාදරුවන්ගේ පරිගණක සහ තාක්ෂණික දැනුම වර්ධනය කිරීමත් සුහුරු පන්ති කාමර ආරම්භ කිරීමත් ය.ඒ හරහා තෝරාගත් පාසල් වලට ඉතා විශාල ප්‍රමාණයෙන් ප්‍රමාණයේ පරිගණක ඩිජිටල් පුවරු , සුහුරු පන්ති කාමරයකට අවශ්‍ය පරිගණක ලබාදීමටද සජිත් කටයුතු කරයි. එහි පළමු නියමු ව්‍යාපෘතිය ආරම්භ වූයේ තණමල්විල බෝදාගම විද්‍යාලයෙනි. සජිත්ගේ මේ අලුත්ම කටයුත්ත පිළිබඳව සැලවූ බොහෝ දෙනෙක් සජිත්ට දුරකථනයෙන් අමතා ප්‍රශංසා කරන්ට පටන් ගත්හ. "ආණ්ඩුවක් කරන්න ඕනේ මේවා.හැබැයි ආණ්ඩුවෙ ලොකු ලොක්කෝ කරන්නේ සැප ගන්න ලෝකෙ වටේ යන එක."භික්ෂූන් වහන්සේ නමක් සජිත්ට කතා කොට එහෙම කීවේය."සී ඩබ්ලිව් ඩබ්ලිව් කන්නන්ගර මහත්තයා, මේ රටේ දරුවන්ට නිදහස් අධ්‍යාපනය දෙන්න පැය ගනං රාජ්‍ය මන්ත්‍රණ සභාවේ කතා කළා. එච්චර හොඳ වැඩෙත් නරකයි කියන්න උදවිය ඒ දවස්වල හිටිය.හැබැයි ඒ නිදහස් අධ්‍යාපනයේ  පළවෙනි සටන කන්නන්ගර මහත්තයා දිනුවා" උන්වහන්සේ සජිත් සමඟ කීවේය.

"අද මුළු ලෝකෙම අලුත් තාක්ෂණය ක් ඉස්සරහට යනවා.ඔන්ලයින් අධ්‍යාපනය අතින් අපේ රට මොනතරම් පසුගාමීව ද ඉන්න කියලා පහුගිය දවස්වල හොඳටම පෙනුනා.සාම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමය නෙවේ අද තියෙන්නේ.අද අධ්‍යාපනය නූතන තාක්ෂණයත් එක්ක යන්නේ.හැබැයි කොම්පියුටරයක් ඇහැට දැකපු නැති දරුවා මේ රටේ ඉන්නවා.එහෙම වෙලාවක ඔබතුමා කරන මේ වැඩේ වචනවලින් කියලා නිම කරන්න බැහැ" මහ ලේකම් රංජිත් , සජිත්ගේ අලුත්ම සංකල්පය ගැන එහෙම කීවේ ය.

"92%ත්, 97% අතර සාක්ෂර මට්ටමක් අප රටේ පවතින්නේ. ඩිජිටල් සාක්ෂරතාවය අද ආර්ථික සංවර්ධනයේ මිනුම් දණ්ඩක් වෙලා තියෙනවා. අපේ රටේ ජනතාවගේ ඩිජිටල් සාක්ෂරතාවය 2020 වර්ෂයේ 49% යි. පරිගණක සාක්ෂරතාවය 32.2%යි. අපේ රටේ භාගයකට ඒ හැකියාව නැහැ . අපගේ වගකීම තමයි ඩිජිටල් සාක්ෂරතාවය වර්ධනය වන පරිදි වැඩ කටයුතු කිරීම. අපි ඉන්නේ හතරවෙනි කාර්මික විප්ලවය ක්‍රියාත්මක වන අවස්ථාවේ. තවමත් අපි උපයෝගී කරගන්නේ පළවෙනි දෙවෙනි විප්ලව වල මෙවලම් සහ ක්‍රියාදාමයන්. එය කනගාටුවට කරුණක්. වෙනත් රටවල් වල  හතරවෙනි කාර්මික විප්ලවයට අදාළව තොරතුරු තාක්ෂණය , ජෛව තාක්ෂණය, ජාන තාක්ෂණය, ස්වයංක්‍රියකරණය, රොබෝ තාක්ෂණය යන ඒවා භාවිත කරයි. මේවා තමයි අනාගත රැකියා උත්පාදන සඳහා අලුත් දැනුම. විද්‍යා, ගණිත සහ ඉංජිනේරු මෙන්ම ඩිජිටල් තාක්ෂණය වැනි විෂයන් වලට අපි උනන්දුවෙන් අවධානය යොමු කරන්න ඕනේ. රටක් වශයෙන් ඉදිරියට යන්න අපි මේවායේ රැඩිකල් වෙනසක් ඇති කරන්න ඕනේ. " සජිත් සිය වැඩසටහන පිළිබඳව මන්ත්‍රීවරුන් සමග කීවේ එහෙමය.

"සක්වල" නියම වැඩසටහන පැවැත්වුණේ තණමල්විල බෝදාගම විද්‍යාලයේදීය.අති නවීන පරිගණක පංති කාමරය දුටු දරුවන්ගේ මුහුණු මත සිනා මල් පිපෙනු දැකිය හැකි විය.එය අතිශය සංවේදී මොහොතක් බවට පත්විය. "මේ වගේ දුෂ්කර ප්‍රදේශ වලට කොම්පියුටරයක් තියා data card එක දාගන්න වත් දරුවන්ට සල්ලි නැහැ.එහෙම ප්‍රදේශයකට මේ කරපු පිංකම වචනවලින් කියලා නිම කරන්න බැහැ" විද්‍යාලයේ ගුරු මණ්ඩලය සජිත්ට ස්තුති කළේ එහෙමය.

"මේක අපේ ජීවිතයේ ඉතාම සතුටුදායක වෙලාවක්.පරිගණක පුවරුවක් , නවීන කොම්පියුටරයක් , සුහුරු පන්ති කාමරයක් අපිට හීනයක් වෙලා තිබුණේ.ඉතාම කටුක දුෂ්කර ජීවිත තමයි අපි ගෙවන්නේ.එහෙම තැනකට ඇවිල්ලා ඔබතුමා මෙහෙම පරිත්‍යාගයක් කරලා අපිට අලුත් ලෝකයකට දොරටු ඇරලා දුන්නට ගොඩක් පින්" පාසලේ දරුවන් සජිත්ට කීවේය.

"රට ගොඩනගන්න නම් නිදහස් අධ්‍යාපනයක් තිබිය යුතුයි කියන සටනට කන්නන්ගර මැතිතුමා  නායකත්වය ලබාදුන්නා. උසස් පැලැන්තිය කිව්වා නිදහස් අධ්‍යාපනයක් ආවොත් අපේ වතුවල පොල් කඩන්නවත් කවුරුත් නැති වෙයි කියලා. ශ්‍රීමත් කන්නන්ගර මැතිතුමාගේ මැදිහත්වීමෙන් නිදහස් අධ්‍යාපන අරගලය ජයග්‍රහණය කළා. ඒ නිදහස් අධ්‍යාපනයේ පළමු වැඩසටහන. සක්වල වැඩසටහන මං හඳුන්වන්න කැමතියි නිදහස් අධ්‍යාපනයේ ඊළඟ යුගයට ගෙන යන සටනක් හැටියට. දෙවන පියවර හැටියට."සජිත් සභාව අමතා එහෙම කීවේය.

 



Copyright © 2014-2022 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us