Helabima

කිරිපිටි පෝලිමේ රස්තියාදු නොවී ගෙදරදීම හදාගන්න පුලුවන් කිරි වර්ග

රුවන්තිකා මධුශානි


 

මේ වනවිට මෙරට උද්ගතව ඇති දහසකුත් එකක් ප්‍රශ්න අතර කිරිපිටි හිගය ඉහළින්ම වැජඹේ. උදෑසන අවදි වූ විට කිරි වීදුරුවක් හෝ කිරි තේ කෝප්පයක් පානය කිරීමට හුරුවී ඇති බහුතරයක් ලාංකිකයන් ඒ සදහා භාවිත කරන්නේ කිරිපිටි වර්ගයි. එහෙත් කිරි පිටි හෝ සත්ව නිශ්පාදනයක් නොවන ඉතා පෝශදායි ශාකමය කිරි වර්ග ලෝකයෙ අනික් රටවල ඉතා ජනප්‍රිය වේ. එම රටවල පානයට සැකසූ එම කිරි වර්ග වෙළඳපොළේ අලවි වන අතර අපි මේ ලිපිය හරහා එම කිරි වර්ග ගෙදරදීම සාදාගන්නා ආකාරය ඔබට ගෙන එන්නෙමු. මෙම කිරි වර්ග ඉතා පෝශ්‍යදායී වන අතර දින කිහිපයක් කල් තබා ගැනීමට හැකි වේ . විවිධ රසයන්ගෙන් රස කල හැකි නිසා ඔබට දිනපතාම විවිධත්වයෙන් යුතු උදෑසන කිරි වීදුරුවක් රස විදීමේ අවස්ථාව ලැබේ. අප අවට ඇති බොහෝ දේ වලින් මෙම කිරි සැකසීමට හැකි වීම ඔබ විමතියට පත් කරනු ඇත.

By Nadianb/ envato

ඕට්ස් කිරි

මේවන විට ශරීරයේ බර අඩු කරන ආහාර පාලනය කරන අය අතර ඕට්ස් භාවිතය ඉතා ජනප්‍රිය වේ. ලාංකිකයන් අතරද ඕට්ස් භාවිතය ඉහලින්ම සිදුවන අතර ඉතා අඩු මිලකට ඕට්ස් මිලදී ගත හැක

අවශ්‍ය ද්‍රව්‍ය

ඕට්ස් කෝප්ප 1, වතුර කෝප්ප 3 යි , රස ගැන්වීමට ඔබ කැමති රසයක්.

ඕට්ස් කෝප්පයට වතුර කෝප්ප තුන දමා හොදින් පෙගෙන සේ පැයක් පමන තබා ගන්න . මෙය රස ගැන්වීමට ඔබට වැනිලා කුරුදු චොකලට් පවුඩර් තේ මයිලෝ නෙස්ටමෝල්ට් ආදී ද්‍රව්‍ය මෙන්ම පලතුරු ද භාවිත කල හැක. මෙයින් වර්ග කිහිපයක් උනත් ඔබට අත් හදා බලන්න පුලුවන් . ඕට්ස් සමග පලතුරු මිශ්‍ර කිරීමෙන් සම්පූර්ණ ආහාර වේලක් උනත් සකසා ගන්න ඔබට හැකියාව ලැබේ. කෙසල් , ස්ට්‍රෝබරි අඹ , කිවි ඔබට රසවත් මුසුවක් වනු ඇත.මේ ඕට්ස් සහ රස ගැන්වීම් ද්‍රව්‍ය බ්ලෙන්ඩර් කප් එකකට දමා හොදින් බ්ලෙන්ඩර් කර ගන්න .විනාඩි 3 ක් පමණ මෙසේ බ්ලෙන්ඩර් කිරීමෙන් සුදුපැහැ උකු ද්‍රාවණයක් ලැබේ . එය සියුම් රෙද්දක් ආධාරයෙන් පෙරා ගන්න . එය පැණි රස ගැන්වීමට මීපැණි හෝ අවශ්‍ය නම් සීනි භාවිත කරන්න පුලුවන් මෙය දින කිහිපයක් ශීතකරනයේ තබා භාවිත කර හැකි අතර භාවිත කිරීමේදී හොදින් බෝතලය හොදින් සොලවා පාවිච්චි කරන්න

සහල් කිරි

ශ්‍රී ලාංකිකයන් ට අලුත් අත්දැකීමක් වුවත් සහල් කිරි ලොව රටවල ඉතා ජනප්‍රිය වේ. මෙය ක්‍රම දෙකකට සකසයි

අවශ්‍ය ද්‍රව්‍ය

සහල් කප් එකක්,  වතුර කප් 4 ක්

1 ක්‍රමය - සහල් හොදින් සෝදා බදුනකට දමා ජලය එක් කර තම්බා බත් සකසා ගන්න .එම බත් මෙන් 4 ගුණයක් ජලය එකතු කර බ්ලෙන්ඩර් කර ගන්න. මෙම දියරය සියුම් රෙද්දක් ආධාරයෙන් පෙරා ගන්න . එයට ලුණු ස්වල්පයක් මෙන්ම පෙර පරිදිම වැනිලා ,කුරුදු ,චොකලට් , ආදියෙන් රස ගන්වා භාවිත කරන්න පුලුවන් . මීපැණි වලින් එයට පැණි රසක් ලබා දිය හැකි අතර අවශ්‍ය නම් සීනි භාවිත කරන්න පුලුවන් . මෙය දින කිහිපයක් ශීතකරනයේ තබා පාවිච්චි කිරීමට හැකි වීම ඔබට වාසියක් වනු ඇත.

2 ක්‍රමය සහල් හොදින් සෝදා පැය 24 ක් පොගවා ගන්න . නැවත ජලය ඉවත් කර පෙරාගෙන එය රත් වූ පෑන් එකක ආධාරයෙන් බැදගන්න. බැදගත් සහල් බ්ලෙන්ඩර් කප් එකට දමා සහල් මෙන් 4 ගුණයක් ජලය එක් කර බ්ලෙන්ඩර් කර සියුම් රෙදිකඩකින් පෙරා ගන්න . එයත් පෙර පරිදිම රස ගැන්වීම සිදු කල හැකියි. අනිවාර්යයෙන් ලුණු ස්වල්පයක් එක් කල යුතු අතර මෙයත් නිසි ලෙස ශීත කිරීමෙන් දින කිහිපයක් භාවිත කල හැක.

By furmanphoto / envato

පොල් කිරි

මිත්‍යාමත දැරීමට කැමති ලාංකිකයෝ පොල් කිරි පානය උදරාබාධ ඇති කරන බව විශ්වාස කලත් බොහෝ විදෙස් රටවල පොල්කිරි අතිශය ජනප්‍රිය පානයක්. මෙරට ජනතාව කුඩා ක්ශනික කිරි පැකට් පාවිච්චි කරන ආකාරයට විදේශිකයන් පොල්කිරි පැකට් පානය කරති. පොල් කිරි සාදා ගන්නා ආකාරය නොදන්නා ශ්‍රී ලාංකිකයකු නැති බැවින් එය නොලියා පානයට සූදානම් කිරීම ගැන ඔබට පවසන්නෙමු. පොල්කිරි ලුණු බිඳක් එක් කර නිකම්ම පානය කිරීම චොකලට් කෝපි වැනිලා එක් කර පානය කිරීම ඉතා රසවත් අත්දැකීමක් වනු ඇත. මීපැණි හෝ සීනි මගින් එය පැණිරස ගැන්විමෙන් ඔබට තවත් රසයක් භුක්තිවිදීමට අවස්ථාව ලැබේ. පොල්කිරි වලින් සැකසූ චොකලට් මිල්ක්ශේක් ස්ට්‍රෝබරි ආදී පලතුරු මික්ශේක් ද ඉතා රසවත් පානයන් වේ.

ආමන්ඩ් කිරි

ආමන්ඩ් අපිට ඒතරම් හුරුපුරුදු දෙයක් නොවුනත් ලංකාවේ මේ වෙද්දී මිලදී ගැනීමට හැකියාව ඇති මදක් මිල අධික බීජයකි. ආමන්ඩ් ආනයනිත ඇට වර්ගයකි. එය තද දුඹුරු පොත්තකින් යුතු වේ. ආමන්ඩ් රැයක් පෙගවීමෙන් පොත්ත ලේසින් ඉවත් කල හැක. පොත්ත සමග වුවත් කිරි සැකසිය හැක. ආමන්ඩ් ඇට සහ එහි ප්‍රමානය මෙන් තුන් ගුණයක් ජලය බ්ලෙන්ඩර් කප් එකට එක් කර හොදින් බ්ලෙන්ඩර් කරගැනීමෙන් ආමන්ඩ් කිරි ලැබේ. එය සියුම් රෙද්දකින් පෙරා ගත යුතුයි . මෙහිදී රෙද්දේ ඉතිරි ආමන්ඩ් අවශේශ ඔබට කුකීස් තැනීම ආදී බේකරි නිශ්පාදන සදහා භාවිත කල හැකි වේ.. ආමන්ඩ් කිරිත් ඔබ කැමති රසකින් රසවත් කල හැකි වේ

By FabrikaPhoto / envato

රටකජු කිරි

රටකජු ලංකාවේ ඉතා සුලභ වන අතර පෝශදායී ඇට වර්ගයක් වේ. රටකජු රැයක් හොදින් පොගවා තම්බා ගන්න . එම ඇට මෘදු වූ පසු වතුර පෙරා රටකජු මෙන් තුන් ගුණයක් ජලය එක් කර බ්ලෙන්ඩර් කර ගන්න . හොදින් බ්ලෙන්ඩර් කර ගත් රටකජු ද්‍රාවණය රෙදි කැබැල්ලකින් පෙරාගන්න. මෙයත් ඔබ කැමති ආකාරයෙන් රස ගැන්විය හැකි වේ. මෙහි පෙරාගත් අවශේශද ඔබගේ බේකරි ආහාර සදහා භාවිත කල හැක

By Olena_Rudo / envato

සෝයා කිරි

මෙය කලක පටන් ලංකාවේ ජනප්‍රිය කිරි වර්ගයකි. සෝයා කිරි වලින් නිමවූ අයිස්ක්‍රීම් ලංකාවේ ඉතා සුලභ වන අතර දරුවන් ඉතා ප්‍රිය කරන ආහාරයකි. සෝයා ඇට ඔබට ඉතා සුලු මිලකට ග්‍රොසරි ද්‍රව්‍ය අලවි කරන ස්ථාන වලින් මිලට ගත හැක. සෝයා කිරි නිපදවීම මේ අනෙක් කිරි වලට වඩා වෙනස් ආකාරයක් ගනී. සෝයා ඇට රැයක් දියෙන් පොගවා අතින් අතුල්ලමින් පොතු ඉවත් කරගන්න . එවා බ්ලෙන්ඩර් එකකින් හොදින් බ්ලෙන්ඩර් කරගන්න . මේ ද්‍රාවණය පෙරා හෝ පෙරීමෙන් තොරව බඳුනක බහා හැදි ගාමින් නටන තෙක් පිස ගන්න .එය කර වීමේ අවධානමක් ඇති බැවින් හොදින් හැදිගෑ යුතු වේ. අනතුරුව මෙය සියුම් රෙද්දකින් කිහිප වරක් පෙරා ගන්න මෙහි අවශේශයද බිස්කට් වර්ග සෑදීමට භාවිත කල හැක. සෝයා කිරිත් ඔබට කැමති රසයකින් රස ගැන්විය හැකි අතර දින කිහිපයක් ශීත කල හැක.

By nblxer / envato

කජු කිරි

ඉතා අනර්ඝ වූ රසවත් කජු අස්වැන්නකට හිමිකම් කියන ලාංකේය බහුතරයක් නොදනුවත් වුවත් බොහෝ රටවල ජනතාව කජු වලින් නිමවූ කිරි පරිභෝජනය කරති. එය ඉතා රසවත් වේ. කජු ඇටය වෙන් කර ගැනීම ඉතා අපහසු කාර්යකි. දුඹුරු පැහැ කුරුට්ටද ඉවත් කරගත් පිරිසිදු කජු පැය 6 ක් පමන දියෙන් පොගවා එය බ්ලෙන්ඩර් එකක් මගින් කජු කිරි බවට පත් කිරීමට හැක. එහිදීද ඉතුරු අවශේශය බේකරි ආහාර සදහා භාවිත කල හැකි අතර කජු කිරි දින කිහිපයක් කල් තබාගෙන භාවිත කිරීමට ඔබට හැක. කජු කිරි වලට ත් විවිධ රස වර්ග එක් කර රස ගන්වා අත් හදාබැලීමට ඔබට අවස්ථාව ලැබේ.

බාර්ලි කිරි

සිසිල් කාරක ගුණයෙන් පිරි බාර්ලි ඇට පොගවා තම්බා එහි ජලය පානයට ලාංකිකයෝ හුරුව සිටිති. එහෙත් බාර්ලි කිරි අපිට ආගන්තුක වේ. මෙය ආකාර දෙකකට සැකසිය හැක

1 ක්‍රමය

බාර්ලි ඇට හොදින් පොගවා එය වැඩි ජල පරිමාවක තම්බා සාමාන්‍ය බාර්ලි වතුර සූදානම් කරගන්න එවිට එම ඇට තැම්බී මහත් වී තිබේ. ඒම ජලයෙන් බාර්ලි ඇට බ්ලෙන්ඩර් කර ගැනීමෙන් ඔබට බාර්ලි කිරි පානය සාදා ගත හැක. එය පෙරා ගැනීමට සියුම් රෙදි කඩක් භාවිත කරන්න

2 ක්‍රමය

බාර්ලි ඇට පොගවා කබලේ බැදගන සියුම්ව කුඩු කරගන්න . එම කුඩු පිරිසිදු බඳුනක අසුරා කල් තබා ගත හැක. ඔබට බාර්ලි කිරි අවශ්‍ය වු විට ඉන් හැන්දක් සහ සීනි බදුනකට දමා උනු වතුර එක් කරමින් කැටි නොගැසෙන සේ හැදි ගාමින් බාර්ලි කිරි සාදා ගත හැක. එයද කුරුදු වැනිලා ආදී ඔබේ අභිමත රසයකින් රසවත් කර ගුණවත් පානයක් සාදා ගැනීමට ඔබට අවස්තාව උදාවේ.

මේ සියල්ල නිර්මාංශ හෝ වීගන් ජීවන රටා ගෙවන්නන්ටද භාවිත කල හැකිය. රසායනික ක්‍රියාවලි වලට බදුන් කල කිරිපිටි වලට වඩා හැම අතින්ම ගුනදායී මෙම කිරි වර්ග ඔබේ සෞඛ්‍ය මෙන්ම පසුම්බියට ද හිතකර වෙ. එමෙන්ම විවිධ ආහාර පාන අත් හදාබැලීමට කැමති ඔබට මෙය අනගි අත්දැකීමක් වනු නොඅනුමානය.



Copyright © 2014-2022 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us