Helabima

කලකට පසුව හෙළි වූ රෝමියෝ ජුලියට් පෙම් පුවතේ ඇත්තම කතාව

රුවන්තිකා මධුශානි


ඒ ඉතාලියේ වෙරෝනා නුවරයි කැපියුලෙයිටි පව්ලට අයත් මන්දිරය දෙවු විමනක් සේ සරසා ඇත. බිත්ති මත රැදවූ ඉටිපන්දම් රඳවන මත දහස් ගනනින් ආලෝක සිලු නංවමින් එලි විහිදෙයි. රෝස මලින් සැරසුණු මන්දිරයේ ජනෙල් කවුළු අත් වැටවල් සොල්දර සිසාරා නැගෙන මනරම් සුගන්ධය නැවුම් රෝමාන්තික හැඟීමකින් හද පුරවයි. සිනිදු දිදුලන සැටින් රෙද්දෙන් කර ලේස් වලින් හැඩ දැමූ දිදුලන දිගු ගවුම් හැදි සුන්දර තරුණියන් සහ කතුන් සිය වල්ලභයන් ගේ තුරුල්ලෙහි නැලවෙමින් මධුර සියුම් සංගීතයට ආසක්ත වී නැලවෙති. ඒ අනර්ඝ ගවොම් වලින් නැගෙන සර සර හඩට මුසු සපත්තු අඩි හඩත් සංගීතයේ මියුරු නදත් සාදයේ ප්‍රබෝධය ඉහල දමයි. පිරවූ මධු විත අඩංගු කුසලාන රැගෙන සෙනඟ අතරින් යුහුසුළුව සංග්‍රහ මෙහෙයවන සේවකයෝද , රස මසවුලින් පිරුණු මේස වල අඩු ලුහුඬු සම්පූර්ණ කරන කෝකියෝද සාදය තවත් උත්කර්ෂවත් කරති. මේ හැම පරදවමින් කැපියුලෙයිට් වංශක්කාර සිටු පවුලේ සුන්දරත්වයේ සංකේතය ජුලියෙත්තා කුමරියගේ සිනහවේ සුරංගනීය ආශ්වාදය සාදය වෙලාගෙන තිබේ. උස් සිහින් පැහැපත් දේහය මටසිළුටු ය. බඩ ඉරිගු පැහැයෙන් දිදුලන සම තද නිල් පැහැ කාන්තිමත් නෙත් සගල සිහින් දිගැටි නාසය දුටුවන් රාගයෙන් මත් කරන රත් පැහැ තෙත් ලවන් සගල ,ඇපල් පල වල ලා රත් පැහැය සොරා ගත් සියුමැලි කම්මුල්, මනා සේ උස්ව සදවතද ඇයද සුන්දර යැයි සිතමින් බලා සිටින තුඩු උඩට හැරුනු පුන් පියයුරු සගල දුටුවෝ ඇය දෙවු දුවක්ද මිනිස් දුවක්ද යන්න සිතමින් මොහොතකට වික්ශිප්ත වෙති.

වෙරෝනාවේ වැජඹෙන සුප්‍රකට ධනවත් අති සොදුරු ජුලියෙත්තාගේ අත පතා සිටින පැරිස් සිටු කුමරුන් අමන්දානන්දයට පත්ව සිටී. සියලු ඉසුරෙන් සුන්දරත්වයෙන් නොකැලැල් බවින් පරිපූර්ණ මෙම දෙවු දුව තමා සතු වන බව දත් පැරිස් සිටු කුමරු ඉවසාගත නොහැකි සංතුශ්ඨිය මධුවිතෙන් දිය කරමින් සිටියි. මේ උළෙල ඔවුන් දෙදෙනාගේ මුල්ම මුනගැසීම වෙනුවෙනි.

මුලු වෙරෝනාවෙහිම වංශවත් පවුල් සියල්ල අද දින මේ උත්සව ශාලාවේය. ආරාධනා නොලැබුණේ එකම පවුලකටය. ඒ මොන්ටේගි වරුන්ටය. ඒ මොන්ටේගි පවුල ධනයෙන් බලයෙන් ගෞරවයෙන් අඩුවක් පෙන්වූ නිසා නොව. සත්‍ය වශයෙන්ම මොන්ටේගි පවුලත් කැපියුලෙයිට් හා සම වංශක්කාරයෝය. දෙපිරිස දෙපිරිස ට නොපරදින ධනයකට බලයකට උරුමැත්තෝය. මේ පවුල් දෙක අතර පරම්පරා ගණනාවක් තිස්සේ ශතවර්ශයකට අධික කාලයක් තිස්සේ පවතින දරුණු ආරවුලකි. එහි මූලාරම්භය කිසිවෙකු නොදනී. මුල සිදුවීම නොදත්තත් වෛරය දිගටම ගෙන යාමට දෙපිරිස ම කටයුතු කළෝය.

By LightFieldStudios / Envato

මොන්ටේගි වරුන්ට ආරාධනා නොලැබුණත් ජුලියෙත්තා පැරිස් යුවල එකිනකා මුණගැසීමේ සාදයට අනාරාධිතව ඇතුලු වූ මොන්ටේගි වරයෙකි. හේ උස් ය. පුලුල් උර මඩලින් ශක්තිමත් බාහු වලින් හෙබි සිරුර කඩවසම් ය. පැසුනු තිරිඟු පැහැති කෙහෙරැලි යොවුන් වියේ දීප්තියෙන් බලලන උවන සිප ගනී. පුලුල් නලලත කෙහෙරැල්ලෙන් වැසී ඇත සියුම්ව රැවුලු ගස් ඉතිරි වනසේ කැපූ රැවුල යුවතියන් සිත් මත් කරයි. ඒ මැද තදින් පියැවුනු දෙතොල් තාරුණ්‍යයේ නිරෝගී ශක්තිමත් බවට උදාහරණයක් වෙමින් රත් පැහැයෙන් තෙත්ව පෙනෙයි. ඝන දෙබැම යටින් අනග හීසර බදු බැලුම් හෙලන තියුණු නිල් දෑස කලබලකාරීය. සොයන්නේ රොස්ලින්වය. ඈ ඔහුගේ හද බැදගත් සුන්දරියයි. රොස්ලින්ගේ පවුල කැපියුලෙයිට් පවුලේ සාදයට ආරාධනා ලැබ සිටිතැයි දැනගත් මේ දගකාර හිතුවක්කාර මොන්ටේගි වරයා රහසේ සාදයට පිවිසුණේ සිය සුන්දරිය හා දැවටෙමින් රිසි සේ සාදයේ රංගනයේ යෙදීමටයි. එහෙත් සිදුවූයේ නොසිතූවකි. මනරම් සාදය මැද සඳක් මෙන් බබලමින් උන් ජුලියෙත්තා ගේ තරු දෑස එම දගකාර හිතුවක්කාර මොන්ටේගි වරයාගේ දෑස් හා පැටලිනි. අනග තෙමේ ඔහු සතු සියලුම හී සර එකවිට විද්දා මෙන් යොවුන් දෙහද පුරා ක්ශනිකව නැගුනු ප්‍රේමයෙන් දෙදෙනා බැදී ගියේය. අන් යුවතියක දැක ගැනුමට පැමිනි රෝමියෝ නම් එම මොන්ටේගි වංශිකයා තම පවුල සමග පරම්පරා ගත වෛරයකින් පසුවෙන කැපියුලෙයිට් කුමරිය ජුලියෙත්තා සමග පෙමින් බැදුනේ එලෙසය.

ඉක්බිති ඇරඹියේ අති භයානක වූත් සුන්දර සමයකි. ජුලියෙත්තා යන යන තැන් වල ඈ පසුපස යමින් සේවිකාවන් අත පෙම්පත් යවමින් රෝමියෝ ජුලියට් යුවල පෙම් කිරීම ඇරඹූහ . දෙවියන් විසින් එක් කල යුවලක් බදු ඔවුන් දෙදෙනා එකිනෙකාට දැඩි සේ පෙම් කලහ. ජුලියට් ගේ කුටියට එළිය වැටෙන්නේ හිරු බැස ගොස් අදුරු වැටෙද්දීය. උඩු මහලේ තිබුණු ඒ පුංචි කාමරයෙන් මාර්ගය දෙයට පැන්නුනු කුඩා සැදැල්ලකි. බිම සිට සැදැල්ල දක්වා ඇදී සිටින ශක්තිමත් මල් වැළකි. ප්‍රේමයෙන් උමතුවී ගිය දගකාර හිතුවක්කාරයා සෑම දිනකම අදුරු වැටෙද්දී මේ මල් වැල මතින් අඩි තබා ගොස් සදලුතලයට පිවිසේ. ඔහු පිළි ගන්නට ඒ සදැල්ලේ මිනිස් රූ ඇති දෙවගනකි. ජුලියට් ගේ සුසිනිදු කොපුල් රෝමියෝ ගේ රලු හාදු වලින් රත් පැහැ වෙයි. වෙලෙන පැටලෙන දෙදෙනාගේ දෙතොල් සෙමින් පෙම්බස් මුමුනයි. රෝමියෝගේ ලැම මත හිස තබාගෙන ජුලියට් සදලුතලයේ සඳ එළිය විඳින්නීය. තම තුරුලේ සුරතල් වන දෙවඟනක් හා සමාන යුවතියගේ පෙමින් රෝමියෝ මත් වන්නේය. දෙදෙනාම රිසි සේ පෙම් රස විඳිති. මෙසේ ස්වල්ප කාලයක් ගෙවිනි.

පවුල් විරසකය කිසිදින අවසන් නොවන බව දැන උන් මේ යුවල විවාහ වීමට තීරණය කලහ.ඒ ලොවටම රහසේය.ඔවුන් දෙපළ හොර රහසේ ඔවුන්ට හිතැති ලෝරන්ස් නම් දේවගැතිවරයා මුණගැසී රහසේම විවාහප්‍රාර්ථ වූහ. දෙවියන් ඉදිරියේ බැදුනත් එක වහලක්‍ යට හිදීමේ වරම් අහිමි යුවල විවාහයෙන් අනතුරු ව නැවත තම නිවැස් බලා ගියහ.

By wolfhound9111 / Envato

පවුල් දෙක අතර ආරවුල එසේමය. ඒ අතරේ ජුලියට් ගෙ සොයුරෙකු වූ ටයිබෙල්ට් සමග රෝමියෝ නගරයේදී ආරවුලක් ඇති කර ගත්තේය . පවුල් දෙක අතර අසමගිය නිසා කලහය වර්ධනය වී මාරාන්තික පොරයක් හටගති. අවසානයේ ටයිබෙල්ට් නම් කැපියුලෙයිට් වරයා එනම් ජුලියට් ගේ සොයුරා රෝමියෝ අතින් ඝාතනය විය. නගරය කැලඹිනි. රෝමියෝද වංශවත් පවුලක බැවින් ඔහුව හැකි ඉක්මනින් මන්තුවා නගරයට රහසේම පිටමං කෙරිනි. එසේ පිටවීමට පෙර අනිවාර්යයෙන් ජුලියට් සොයා නැවත එන බවට ඔහු ඈ හමුවී පිළිණ දුන්නේය . ඒ අතරේ ජුලියට් ට නොසිතූ ඇබැද්දියකට මුහුණ දීමට සිදු විය. යෝජනා කර තිබූ මනාලයාට ඇයව විවාහ කර දීමට වැඩිහිටියන් සූදානම් විය. ජුලියට් ගේ ළය ගිනි වැදිනි. ඇය වහා ඔවුන්ගේ විවාහය සිදු කල ලෝරන්ස් පියතුමා සම්මුඛයට ගියාය. සියලුම කරුණු වලට සවන් දුන් ලෝරන්ස් පියතුමා ඇතුලු ගැබකට වැදී කුඩා බෝතලයක් අතැතිව පැමිණියේය. " ආදරණීය ජුලියෙත්තා , දෙවියන් වහන්සේ එක් කල ඔබව මිනිස්සුන්ට වෙන් කිරීමට මම ඉඩ නොදෙමි. මේ මංජුසාව ගන්න . එහි රහස් බෙහෙතක් තිබේ. ඉන් සුගක් පානය කල විට ඔබ දෙදිනකට සිහි මුර්ඡා වී මිය ගියාක් මෙන් දිස්වනු ඇත. ඔබ විශ පානය කර මිය ගියා යැයි ඔවුන් සිතනු ඇත. ඔවුන් ඔබ පැරිස්ට විවාහ කර දීමට සැරසේ නම් මෙය පානය කරන්න . ඉතිරි කටයුතු මං සලසන්නම්"

ලෝරන්ස් පියතුමාගේ බසින් උද්දාමයට පත් අහිංසකාව දෝතින්ම එම මංජුසාව තුරුලු කරගෙන සිය නිවසට ගියාය. විවාහයට දින සූදානම් වීය . ජුලියට් අවසාන වරටත් සිය මාපියන් අභියස විවාහයට අකමැති ව හඩා වැටෙන්නී අවසානයේ මංජුසාව අතට ගෙන එය පානය කළාය. කැපුයුලෙටි මැදුර ගිනි වැදිනි. පරපුරේ සුන්දරත්වයේ සංකේතය මියගිය සොව දරා ගත නොහී සමීපතමයන් වැලපුනහ. ඔවුන් ඇයව සුන්දර මල් යහනක සතපවා පවුලේ සොහොන් ගැබෙහි තැන්පත් කලහ.

නගරය පුරා මෙම සිදුවීම ක්ශනිකව පැතිර ගියේය ලෝරන්ස් දේවගැති තෙමේ පණිවුඩ කරුවෙකු කැඳවා තමා ජුලියට් ට සිහි මුර්ඡා වන පානයක් ලබා දුන් බවත් ඉන් ඈ තාවකාලික සිහි නැති වීමකට පත් වූ බවත් ඇය මියගියා යැයි සිතා ඇයව සොහොනට ගෙනගොස් දැමූවිට ඈ රැගෙන යාමට පැමිණිය යුතු බවත් දන්වා රෝමියෝ වෙත පණිවුඩ කරුවෙකු පිටත් කලේය . අවාසනාවකට පණිවුඩ කරු කොල්ලකරුවන් ගේ ග්‍රහණයට පත් විය. රෝමියෝ ට පණිවිඩය නොලැබිණි . ඒ වෙනුවට වෙරෝනා හී කැපියුලෙයිට් වංශික සුන්දරිය සියදිවි නසාගත් පුවත තටු ලබා මන්තුවා වෙත ගොස් රෝමියෝ ගේ කන වැකිනි. ඔහු ශෝකයෙන් උමතුව වහා පැමිණෙද්දී සිය සුන්දර බිරිද ප්‍රාණය නිරුද්ධව සොහොන් ගැබේ සිටිනු දැක සිහි එළවා ගත නොහැකිව ගෙන ආ විශ බඳුන පානය කර ජුලියට් ගේ නිසල සිරුර අතෙකින්ද අනිත් අතින් මරණයද වැළඳගත්තේය..

දෙදිනක් සිහි නැතිව උන් ජුලියට් යලි සිහි ලබා අවදි වන්නී තමා වැළඳ මිය ගොස් සිටින තම පෙම්වතා දැක සියල්ල තේරුම් ගෙන ශෝකය වාවාගත නොහැකිව රෝමියෝ ගේ ඉන බැදි කඩුව ගෙන ඉන් තමා අතින්ම ළය සිදුරු කරගෙන මරු තුරුලට සැපත් වූවාය. ලෝරන්ස් දේවගැතිවරයා යැවූ පණිවුඩ කරු යලි පැමිණ තමාට සිදුවූ ඇබැද්දිය පැවසීට. වහා දේවගැතිවරයා ජුලියට් ගේ සොහොන බලා දිව ගියේ ඇය සිහි ලබද්දී ඇය බේරා ගැනීමට ය. එහෙත් ඒ වෙද්දී සියල්ල සිදුවී අවසන් ය. දුටු මතින් ඉපදී අපමණ කම්කටොලු බාධා මැදින් ගලා ගිය පෙම් පුවතක් එසේ නිමා විය. නොදන්නා හේතුවකට නිකරුණේ විරසකව උන් කැපියුලෙයිට් වරු සහ මොන්ටේගි වරු යලි සමගි වූහ.

1957 දී කෙටි සංචාරයකට වෙරෝනාවට ගිය විලියම් ශේක්ශ්පියර් ට මේ පුවත කන වැකිනි. ඔහු සිය පෑන් තුඩින් ඔවුන්ගේ පෙම් පුවත අමරණීය කලහ. ඒ ශ්‍රේශ්ඨ කාව්‍යත් සමග සත්‍ය ප්‍රේමයේ සලකුණක් සේ රෝමියෝ ජුලියට් පෙම් පුවත ලොව පුරා පැතිර ගියේය. ඒ සමග ලැබුනු වටිනාකම හේතුවෙන් ජුලියට් ගේ වෙරෝනාහී නිවස සිහිවටන කෞතුකාගාරයක් බවට පත් විය ඇගේ කාමරය ඔවුන් පෙම්කල සදලුතලය ඇගේ සොහොන් ගැබ නරඹා අදටත් දහස් ගනන් සංචාරකයෝ සංවේදී වෙති.එම නිවස ඉදිරියේ ලෝහයෙන් කල ජුලියට් ගේ ප්‍රථිමාවකි. ලොව නන් දෙසින් පැමිණෙන සංචාරකයෝ තම පෙම් බැදීම් වල ආරක්ශාව පතා ජුලියට් ගේ වම් පියයුර පිරිමදිති. එම නිවස ඇති වීදිය විලියම් ශේක්ශ්පියර් නමින් නම් කර ඇත. එම වීදි පුරාද ගොඩනැගිල්ලේ බිත්ති පුරාද පෙම්වතුන් තම නම් සටහන් කල අකුරු හා සටහන් ද ආදරය සිර කල ඉබි අගුලු වලින්ද පිරී ඉතිරි තිබෙ.



Copyright © 2014-2022 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us