Helabima

ඔබව හිගන්නෙක් හෝ ධනවතෙක් කරන කුස්සියේ වාස්තු රහස්

බිනරි ඇතුගල


නිවසක හදවත කියන්නෙ මුලුතැන්ගෙයට . නිවසට අවශ්‍ය ආහාර පිළියෙල කරන මුලුතැන්ගෙය නිවසේ වැඩියෙන්ම ක්‍රියාකාරී වෙන ස්ථානයයි. ඔබව ධනවතෙක් බලවතෙක් උගතෙක් කරලා ඔබට සතුට දෙන්නත් ඔබව දුප්පතෙක් රෝගියෙක් දුබලයෙක් කරන්න ත් හැකියාව මේ කුස්සියට තියෙනවා . නිවසේ අනික් තැන් වලට වඩා කුස්සියේ වාස්තු දෝශ ක්‍රියාත්මක වීම ඉක්මන්. ඒවගේම නිවැරැදි කුස්සියකින් වාසනාව ලැබීමත් ඒවගේම ඉක්මන් 

නිවසක කුස්සියක් ස්ථානගත කරන්න සුදුසු ම දිශාව ගිණිකොණ. ගිනිකොන කුස්සිය ස්ථාන ගත කරන්න බැරිම නම් වයඹ දිශාව උනත් යොදාගන්න පුලුවන් ඒත් සුදුසු ම දිශාව ගිනිකොණ .නමුත් උතුර ඊසාන නැගෙනහිර දිශා වලට නම් කුස්සිය ඉතාමත් අහිතකරයි. ඔබේ කුස්සියේ පරිසරය ගැන අවධානය යොමු කරොත් කුස්සියේ අසලම හෝ කුස්සියේ ම නානකාමර වැසිකිළි තිබීම  ඉතාමත් අහිතකර ප්‍රථිපල ගෙන දෙන තත්වයක්. කිසිම අවස්ථාවක කුස්සියෙ වහල මත හෝ පෝරණුව මත ජල ගබඩා ටැංකි තැබීමෙන් වලකින්න .

කුස්සියේ ප්‍රධානම ස්ථානය ලැබෙන්නේ ලිපට. ලිප වාස්තු විද්‍යාවේ වැදගත් ම ස්ථානයක් හිමි කර ගන්නවා . කුස්සිය තුල ගිණිකොණ දිශාවේ ඔබේ ලිප තැබිය යුතුයි . එය මැටි දර ලිපක් වුවත් ගෑස් උදුනක් උවත් විදුලි ලිපක් වුවත් එය නොබිදුනු පිරිසිදු ලිපක් විය යුතුයි . ලිප් කිහිපයක් නිවසේ තිබීම නව ආදායම් මාර්ග පෑදීමට හේතුවක් . ඒත් ඒ සියලුම ලිප් දැල්වීම සිදු කල යුතුයි . ලිප් නොදල්වා තිබීම අවාසනාවට හේතුවක්. ඒ නිසා එකම ලිපකින් ආහාර නොපිස සියලුම ලිප් භාවිත කරන්න . ඔබ ලිපේ ආහාර පිසිද්දී මුහුණ ලා සිටිය යුත්තේ නැගෙනහිර ටයි. කිසිසේත්ම උතුරට හැරී බදුන් ලිප තැබීම සිදු කරන්න එපා .එමෙන්ම ඔබේ ලිප නිවසේ බිත්තියට හේත්තු කිරීමෙන් වලකින්න . ඔබ එසේ සිදු කලහොත් ඔබට ඔබ දෙදෙනා අතර රංඩු සරුවල් ඇතිවීම අත්දකින්න පුලුවන් .ඒවගේම මුදුන් ලී පරාල යටින් ලිප තියන්නත් එපා ඒක ත් අහිතකර තත්වයක්.

ඇතැම් මුලුතැන්ගෙවල් තුල වතුර බහින සේදුම් බේසම් එසේ නැත්තම් සින්ක් කිහිපයක් තියෙනවා . ඒක ඉතාමත් අහිතකර තත්වයක්.  හැකිතාක් ජලය එලියට ගලා යන ස්ථාන අවම කරන්න. ලිප අසල සින්ක් එක තබන්න එපා . සින්ක් එක තැනීමට උතුරු දිශාව ඉතා යොග්‍යයි. එසේම රාත්‍රිය පුරා සින්ක් එකේ ඉදුල් වලං පුරවා තැබීමෙන් නිවසට අවාසනාව උදා වෙනව ඒ නිසා හැකිතාක් සින්ක් එක පිරිසිදුව වියලිව තබා ගන්න ඒවගේම ජල නල කාන්දු වීම ඔබේ මුදල් කාන්දු වී යාම සංකේතවත් වෙනව ඒ නිසා නිතරම  ජලය කාන්දු නොවන සේ සකසන්න.

twenty20photos/ envato

මිරිස් ගලක් මේ වෙද්දී බොහෝ නිවැස් වල භාවිත නොවුනත් භාවිත කරනවා නම් එය ප්‍රවේශමෙන් පරිහරණය කල යුතු අයිතමයකි. මිරිස් ගලේ මිරිස් ඇබරීමේදි කිසිසේත්ම නිවස දෙසට ඇබරීම සිදු නොකිරීමට වග බලා ගන්න . එය නිවසට ඉතාමත් අසුබ බව පැරණි පොතපතේ සදහන්.

ඔබේ ආහාර ගබඩාව ගැනත් විශේෂ අවධානයක් යොමු කල යුතුමයි. හාල් සීනි තුනපහ කරවල වගේ වියලි ආහාර අඩංගු ගබඩාව ඔබ පවත්වාගෙන යා යුත්තේ   දකුණ නිරිත හෝ බස්නාහිර දිශාවේයි. ඔබ හැකිතාක් සෑම මසකම නව ආහාර පුරවද්දී කලින් අවසන් වූ අසුරන හෝ භාවිත කල නොහැකි ආහාර ඉවත් කල යුතුයි. ඇතැම් නිවැස් වල වසර ගණනාවක් පැරණි ඉතිරි තුනපහ පැකට් ඉතිරි සහල් සත්වයන්ට අභය භූමි වෙමින් පවතී.  එය ඔබගේ ආහාර ගබඩා තුල අසුභ ශක්තීන් වර්ධනය වී අවාසනාව ගෙන ඒමට හේතුවක් වේ. එම නිසා නිතරම ආහාර ගබඩා පිරිසිදුව තබා ගැනීමෙන් ඔබට නිතරම පිරුණු ආහාර ගබඩාවක් හිමි කර ගැනීමට වාසනාව ලැබේ.ආහාර ගබඩාවේ ආහාර දෙගුණ වනසේ එය තුලින් කැටපතක් තැබීමෙන් ඔබට සශ්‍රීකත්වය දෙගුණ වී ලැබේ. නමුත් කුස්සියේ බිත්ති වල කැටපත් එල්ලීම එතරම් සුභ නොවන නොකළ යුතු ක්‍රියාවකි. 

කුස්සියේ ඇති ලුණු වල වැදගත් කම ගැන අපි ඔබට වෙනමම ලිපියක් රැගෙන විත් තිබේ. (..) නිවසේ ලුණු බදුනට ඒතරම් ම වැදගත් කමක් දිය යුතු වේ. මේ වනවිට ප්ලාස්ටික් වීදුරු  ලූනු බදුන් භාවිත වුවත් පැරැන්නෝ ලුණු තැබුවේ පොල් කට්ටකින් කල බදුනකයි. යම් නිවසක එම පොල්කට්ට වටා ලුණු බැදී පිරී ඉතිරී යාම ඒ නිවසේ සෞභාග්‍යය කියාපාන සුභ සංකේතයකි. කිසිසේත්ම නිවසේ ලුණු අවසන් වීමට ඉඩ දෙන්න එපා නිතරම ලුණු බඳුන පුරවා අමතර ලුණු සංචිතයක් පවත්වාගෙන යන්න .ලුණු බඳුන ඉහිරී යාම ඉතා අසුභ බව ලොව පුරා ජනතාව ගේ පිළිගැනීමයි. එංගලන්තයේ මහරැජින පවා ලුණු බඳුන ඉහිරීම පිලිබදව  කනස්සලු වන අතර ජේසුතුමාගේ අවසාන රාත්‍රි බෝජන සංග්‍රහ චිත්‍රයේ එළඹීමට නියමිත නපුර සංකේතවත් කරමින් විසිරුණු ලුණු බඳුනක් සිතුවම් කර ඇත. ලුණු කහ අබ යන ත්‍රිත්වය අවසන් වීමට ඉඩ නොදීමට ගෘහණිය වග බලා ගත යුතු බවත් පැරැන්නෝ පවසති. 

ඔබේ ශීතකරණය නැවුම් එනම් ආහාර ගබඩාව නිරිත හෝ බස්නාහිර ස්ථාපිත කිරීමෙන් එය හිස්වීමේ වාර අවම කරගත හැකියි. වියලි ගබඩාව මෙන්ම පිරිසිදුව පැරණි ආහාර ඉවත් කර පිලිවලට පවත්වා ගැනීමෙන් ඔබේ ශීතකරනය අහිතකර ශක්තීන්ට තෝතැන්නක් වීම වලක්වා ගත හැකියි.

ඔබේ නිවස තුල තබන වතුර කලය ගුරුලේත්තුව හෝ වෝටර් ඩිස්පෙන්සර් එක කුස්සියේ උතුරු දිශාවෙන් තබා ගන්න . ජලයට සුභ දිශාව උතුරයි .ඉන් ඔබේ රැකියා වල දියුනුවට රුකුලක් වනු ඇත.  

කුස්සියේ බිත්ති පුපුරලා ඉරිතලා තිබීමත් හරිම අහිතකරයි. ඔබ  අනිවාර්යයෙන් ඔබේ නිවසේ කුස්සියේ එවැනි  බිත්ති තියෙනවා නම් ඒවා පිළිසකර කරන්න . කුස්සියේ බිත්ති අපිරිසිදු වෙනව කියලා තද පාට තින්ත ආලේප කරන්න නම් හිතන්නවත් එපා .සුදුපාට ලා කහපාට තමයි කුස්සියට ගැලපෙන්නෙ. කුස්සියේ දොරවලුත් හරිම වැදගත් .කුස්සිය ගෞරවනීය ස්ථානයක් නිසා අබලන් කැඩුණු ශබ්ද නැගෙන දොරවල් වෙනුවට ශක්තිමත් දොරවල් පාවිච්චි කරන්න . සමහර නිවැස් වල ඉදිරිපස සුන්දර විදුලි බුබුලු වලින් සැරසුනත් කුස්සියේ තියන්නෙ මද ආලෝකයක් දෙන අදුරු විදුලි බුබුලක්. දවල් කාලයෙත් ඒ කුස්සි හරි අන්ධකාරයි. එය ඉතාමත් අහිතකර තත්වයක් . දහවල ඔබේ කුස්සියේ ජනෙල් දොරවල් හැරලා හිරු එලියට කුස්සිය සිප ගන්න ඉඩ දෙන්න. රාත්‍රියේ කුස්සිය හොදින් ආලෝකමත් විදුලි බුබුළු දල්වන්න.

ඔබේ කුස්සියේ එලදෙනකගේ රූපයක් එල්ලුවොත් එය ඔබට ඉතාමත් සුභ ප්‍රතිඵල සෞභාග්‍යය ඉන් ලැබෙනු ඇත. පලතුරු විශේෂයෙන් දොඩම් ගෙඩි කිහිපයක පින්තූරය එල්ලීමත් ඔබට වාසනාව කැන්දයි.  කිසිම විටක කුස්සියේ අදුරු පැහැති නිසරු හෝ ශෝකාකූල චායාරූප එල්ලන්න එපා . ඇතැම් පුද්ගලයන් කුස්සියේ වැල් බැද තෙත් රෙදි වැනීම සිදු කරයි. එය ඔබ දුගියෙකු කර අවාසනාව කැදවන ක්‍රියාවකි.  ඇතැයි නිවාස වල ප්‍රථමාධාර පෙට්ටිය කුස්සියේ ස්ථාන ගතකර තිබේ. ඇතැම් අය කුස්සියේ ඖෂධ ගබඩා කරයි . එය නිවැසියන්ගේ සෞඛ්‍ය මට්ටම පහල දමන ඉතා අසුභ ක්‍රියාවකි. කුස්සියට වී කුස්සියෙ ලිප දකිමින් ආහාර ගන්නා තැනැත්තාට බොහෝ අපල උපද්‍රව පැමිණේ. නමුත් ඔබ රාහු හෝ කේතු අපලයෙන් පීඩා විදියි නම් කුස්සියේ ලිප අසල ආහාර ගැනීමෙන් එම අපල තත්වය පහව යනු ඇත.

By sonyashna / Envato

මේ වනවිට අසුභ දිශාවක පිහිටි කුස්සියක් හිමි අය අනිවාර්යයෙන් කනස්සල්ලට පත්ව ඇති. ඔබේ කුස්සිය ගිනිකොන හෝ වයඹ දිශාවට ස්ථාන ගතවී නැත්නම් කුස්සියේ ලිප සින්ක් එක වෙනස් කිරීමට නොහැකි සේ අසුභ දිශාවල ඇත්නම් උදාවන අපල වලක්වා ගැනීමට ඔබට පිලියම් තිබේ. ඔබ ඔබගේ නිවසේ හරි මැද මාලිමාව තබා ගිනිකොණ සොයා ගන්න ඉක්බිතිව රතු පැහැ විදුලි බුබුලක් එහි දල්වන්න. දවසේ පැය 15ක් වත් එය දල්වා තිබීමෙන් ඔබට යම් සහනයක් ලද හැක.

එසේම ඔබේ එම ගැටලුකාරී කුස්සියේ පිසෙන ආහාර වලින් කොටසක් අසරණ සතුන් වීදි සතුන් වෙනුවෙන් වෙන් කිරීමෙනුත් ඔබට එම අසුභ තත්වය අවම කරගත හැක. මුලුතැන්ගෙය නිවසේ හදවතයි . අපව ජීවත් කිරීමට අවශ්‍ය ආහාර සකසන මුලුතැන්ගෙය නිසි වාස්‍තු අනුව පවත්වාගන ඔබට දිනෙන් දින ලැබෙන දියුණුව ඔබම අත් විදින්න සූදානම් වෙන්න .

 



Copyright © 2014-2022 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us