නිරුවත් පිරිමි පිළිම වලින් හැඩ වුන පරාජිත පෙම්වතාගේ උද්‍යානයේ සැඟවුණු කතාව
නග්න පිරිමි සිරුරක ඇති නිදහස් භාවය සහ සුන්දරත්වය එක්ක බැලූ බැලූ අත දිස් වෙන හරිත තුරු ගොමු , රූස්ස ගස්, පිය ගැට, පෙත් මං ,පොකුණු වලින් සමන්විත සියලුම ලොකු කුඩා සතුන්ට අභය භූමියක් වෙමින් තෙත් වනාන්තරයක අත්දැකීම කලුතර දිස්ත්‍රික්කයේ මවපු ඒ සුන්දර නිර්මානය බෙවිස් බාවා මහතාගේ බ්‍රිෆ් උද්‍යානයයි. එය ලංකාවේ තෙවන විශාලතම පුද්ගලික මල් උයනයි. අක්කර තිහක් පුරා පැතිරුණු මෙම මනරම් උයන තුලට වන් අයෙකුට එය සැබවින්ම තෙත් කලාපීය සදාහරිත වනාන්තරයක් මෙන් පෙනී යයි. මෙම උද්‍යානය අධ්‍යනය කිරීමට පැමිණෙන විශ්ව විද්‍යාලීය උද්‍යාන අලංකරණ විද්‍යාර්ථීන් පවසන්නේ උද්‍යාන අලංකරන හැදෑරීම් නොතිබුණු යුගයක නිර්මානය වූ මේ උද්‍යානයේ සමන්විත උද්‍යානය අලංකරන ලක්ශන සහ නීති අදටත් වලංගු බවයි.
Photo: wda delta / Alamy Stock Photo
දක්ශිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න පිවිසුමෙන් පිටත් වී අලුත්ගම දර්ගා නගරයෙන් මතුගම යටදොල මාර්ගයේ ගමන් කිරීමෙන් මේ උද්‍යානයට ලගා වීමේ හැකියාව ඔබට ලැබෙනවා. මෙයට පිවිසීමට රුපියල් 500/= ක ගාස්තුවක් අය කරනවා. ඇත්තෙන්ම කව්ද මේ බෙවිස් බාවා. ශ්‍රීලංකාවේ ජීවත් වූ දෙස් විදෙස් සුපතල මහා ගෘහ නිර්මාන ශිල්පී ජෙෆ්රි බාවාගේ වැඩිමහල් සොහොයුරා බෙවිස් බාවා යි. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව කණ්ඩලම හෝටලය ආදී ලොව පුරා ප්‍රකට අමුතුම ආකාරයේ අනර්ඝ නිර්මාන කල ජෙෆ්රි බාවා වෘත්තිය ගෘහ නිර්මාණ ශිල්පියෙක් වුවත් බෙවිස් බාවා නම් වෘත්තිය ලෙස තෝරා ගත්තේ හමුදා සේවය. ජෙෆ්රි බාවා ගෘහනිර්මාන ශිල්පය ගැන කිසිදු හැදෑරීමක් නොකර සහජයෙන් ආ කුසලතා මෙසේ එලි දැක්වූවා සේ බෙවිස්ද ගෘහ නිර්මාන උද්‍යාන අලංකරන චිත්‍ර මුර්ති ආදී සියලුම ශිල්පයන් සහජයෙන් දායාද කර ගත්තා . ඔවුන්ගේ මුලාරම්භය ඉතා පුදුමාකාරයි .
ප්‍රංශයේ ධනවත් ව්‍යාපාරිකයන් කණ්ඩායමක් නැවකින් ගාලු කොටුව හරහා යමින් සිටියදී එහි සිටි සංචාරකයෝ ගාලු කොටුව බැලීම පිණිස නෞකාවෙන් බැස පැමිණෙනවා.මේ අවස්ථාවෙ නෞකාවේ උන් වංශවත් තරුනියකුත් එසේ සිරි නැරඹීමට විත් ගාලු කොටුවේ කූඨ වෙලෙන්දෙකු ගෙන් මැණික් යැයි රැවටී වීදුරු බෝල මිලදී ගැනීමට සූදානම් වෙනව . ගාලු කොටුව අසල හෝටලයක කොරිඩෝවෙ අහුමදු බාවා නම් කඩවසම් තරුණයකු තේ කෝප්පයක් තොලගාමින් සිටියදී මේ තරුණිය මැණික් යැයි වීදුරු බෝල මිලට ගන්න ආකාරය දකිනවා . ඔහු වහාම ඉදිරිපත් වෙලා කූඨ වෙළෙන්දා පලවා හැර තරුණියට කරුණු පැහැදිලි කරනව. ඔවුන් දෙදෙනා දුටු මතින්ම පෙමින් බැදෙනවා. නැව පිටත් වීමට ආසන්න උනත් තරුණිය යලි නැව් නගින්නෑ ඇගේ ඥාතීන් දුකින් පිටත් වද්දී තරුණිය අහමදු බාවා සමග රැදෙනවා . ඔවුන් දෙදෙනා විවාහ වෙනවා. ඔවුන්ගේ එක දරුවෙක් වන බෙන්ජමින් බාවා දක්ශ නීතීඥයකු වෙනව ඔහු ටත් ඔහුගේ බිරිද මේතා බාවාටත් 1909 දි උපන් කුළුඳුල් දරුවා බෙවිස් බාවායි. බෙවිස් ඉපදී දස වසරකින් උපන් දරුවා ජෙෆ්රි බාවා වේ. ඉතා ධනවත් පුද්ගලයන් වූ බාවා පවුලේ වැඩිමහල් දරුවා වූ බෙවිස් තම සොයුරා සේම සහජයෙන්ම ලද නිර්මානශීලීත්වය තිබියදීම 1929 දී ශ්‍රීලංකා යුධ හමුදාවේ පාබල හමුදා මේජර් කෙනෙක් ලෙස සේවයට බැදෙනවා. ඔහු බැදෙන්නේ වැටුප් ප්‍රතික්ෂේප කරමින් සේවය පමණක් සැපයිමටයි. ඔහු ඒතරම් ධනවත් අයෙක් විය. ඔහු එවකට ආණ්ඩුකාර ධූර දැරූ සෝල්බරි සාමිගේ සහ හෙන්රි මුවර් ගේ පරිවාර සේවයට පත් කලා. ඔහු එම තනතුරට පත් වුයේ ඔහුගේ අඩි 6 යි අඟල් 4 ක ඉතා උස් වූ කඩවසම් පෙනුමයි. රාජකීය විද්‍යාලයේ දරුවෙක් ලෙස අධ්‍යාපනය ලබද්දී ඔහුට මහත් හිසරදයක් වූ එම උස පසුව ඔහුට ආභරණයක් විය. මේ අතරේ බෙවිස් බාවා ඉහල සමාජයේදී හමුවූ ඉතා සුන්දර තරුණියක හා පෙමින් බැදිනි. ඔහු ඇයට දැඩි සේ පෙම් කල අතර එකවරම ඇය ඔහු අතහැර ගියේය. ඉන් උපන් වියෝ දුක වාවාගත නොහැකි වූ බෙවිස් සිය රැකියාවෙන් පවා ඉවත්ව තම දෙමාපියනට අයත් එවකට අක්කර 200 ක රබර් වත්තක් වූ මෙම ඉඩමට විත් පදිංචි වෙනව . ඔහු එම ඉඩමේ කොටස් විකුණා වියෝ දුක තුනී කර ගනු වස් අනර්ඝ නිවසක් ඉදි කර එහි උද්‍යානය සිය දැනුම භාවිත කර මනරම් ව සකසනවා. ඔහු මේ ඉඩමේ සිටුවිමට අවශ්‍ය බොහෝ ගස් විදේශයෙන් ආනයනය කර තිබේ. ඒ නිසා ඇතැම් ගස් ලංකාවේ පවතින්නේ මේ උද්‍යානයේ පමනකැයි පැවසේ. ජෙෆ්රි බාවා මෙන්ම දක්ශ ගෘහ නිර්මාන ශිල්පියෙකු වූ බෙවිස් මේ උද්‍යානයේ ඇති ඔහුගේ නිවසත් ඔහුගේ දැනුමින් තනවනවා. ඒ නිවසේ අදටත් විදුලි පංකා නැත. තනිකර ස්භාවික ආලෝකයෙන් දහවල නිවස ආලෝකවත් වෙන්නෙ කණ්ඩලම හෝටලය සිහි කරමිනි. මේ නිවසේ කිසිදු දොරක් තිබී නැත. දොරවල් සවි කර ඇත්තේ මෑතදි.බෙවිස්ගේ ජීවිතේ වැදගත් ම අරමුණ වී ඇත්තේ නිදහසයි. සොබාදහම හා බද්ධ වෙමින් නිදහස සෙවූ හෙතමේ නිරුවත් පිරිමි පිළිම වලින් උයන සරසන්නේ ඒ දැඩි නිදහස සංකේතවත් කරමින් මිස ඇතැම් පුද්ගලයින් පවසන සේ ඔහු සමලිංගික වීම නිසා නොවේ.ඔහු දෙවරක්ම විවාහ වුවත් එම බිරියන් දෙදෙනාම කෙටි කාලයකින් අභාවයට පත්ව ඇත.
Photo: Robert Harding/Alamy
එම නිවසේ ස්නානය කරන ස්ථානය පවා කලු ගලින් සිංහ මුහුණකින් දිය වෑස්සෙන සේ තනා තිබේ. බෙවිස් බාවා එම රබර් ඉඩමේ කොටස් විකුණමින් නිතරම රට රටවල් වල සංචාරය කර ඇත. එහිදී බොහෝ පැල වර්ග රැගෙන විත් තිබේ. බෙවිගේ තවත් විනෝදාංශයක් වූයේ කාර් රථ මිලට ගැනීමයි. ඔහු නිරතුරුවම කාර් මිලට ගෙන තිබේ. එම කාර් එකතුවේ චායාරූප ඔහුගේ නිවසේ දක්නට ලැබේ.. මේ නිවස සම්පූර්ණයෙන් කලාගාරයකි. එහි මුර්ති චිත්‍ර කලා නිර්මාන රාශියකි. ඒ සියල්ල නිර්මානය වී ඇත්තේ ඔහු අතිනි. කොතරම් පිළිම රූප නිර්මානය වුවත් මේ කලාගාරයේ ඇත්තේ එකම ගැහැනු රුවකි. ඒ මේතා බාවා වූ සිය මවගේ රුව පමණි.
බෙවිස් බාවා ජීවත් ව සිටියදී කෙරුනු ඉල්ලීමකට අනුව ඔහු සිය අනගිභවනීය නිවස සහ උද්‍යානය 1970 වේ සිට මහජනයාට නැරඹීමට විවෘත කලේය. ප්‍රේමයෙන් පැරදී උපන් වියෝවෙන් සියදිවි නසා ගන්නා , අනිකාගෙන් පලි ගන්නා , ජීවිතය විනාශ කරගන්නා අය අතර ඔහු තෝරා ගත්තේ නිර්මානශීලීත්වය තුලින් දුක අමතක කිරීමයි. මේ උයන මේ වෙද්දී දෙස් විදෙස් පතල නිර්මාණයකි. මෙය නැරඹීමට විදේශිකයන් පවා නිරන්තරයෙන් පැමිණෙති. ඔහුට විශාල සේවකයන් පිරිසක් විය .කිසිම දිනක සේවකයන් යැයි ඔවුන් ආමන්ත්‍රන නොකළ බෙවිස් ඔවුන් හැඳින්වූයේ මගේ පවුල ලෙසයි . එම වචනය ක්‍රියාවෙන්ද ඔප්පු කර හේ සිය අවසන් කැමති පත්‍රයෙන් තමා සතු සියලුම වත්කම් සිය සේවකයන්ට බෙදීය. මේ අගනා නිවස සහ ඉඩම 1969 දී ඔහුගේ ළඟ කලමනාකරුවෙකු ලෙස සේවයට බැදුනු පුද්ගලයාට පවරා ඇත. එම නිවසේ වත්මන් හිමිකරු වීමට වාසනාවන්ත වී ඇත්තේ ඔහු ය.
Photo: Dawn S / Alamy Stock Photo
එම කලමනාකාර මහතාගේ දස වියැති කුඩා පුතු පාසල් යාමට පෙර අනිවාර්යයෙන් බෙවිස් බාවා ගේ නිවසට ගොස් නිදි ඇදේ සිටින බෙවිස් බාවාට හාද්දක් දී " ගුඩ් බායි" කීමට පුරුදු වී සිට ඇත. එහිදී ඔහු නින්දේ සිටියත් දරුවා එය අනිවාර්යයෙන් සිදු කර තිබේ. 1992 කේ සැප්තැම්බර් 18 වෙනිදාත් දරුවා සුපුරුදු සේම හාද්ද දී තිබේ. නමුත් ඒ වෙද්දීත් මේ මහා නිර්මාන ශිල්පියා සිය දිවියෙන් සමුගෙන සිට ඇත. ඔහු සිය යහනේදී නින්දෙන්ම අවසන් හුස්ම හෙලා තිබුනේ වයස අවුරුදු 84 දීය. ඔහුගේ සොයුරු ජෙෆ්රි බාවාද ඊට ස්වල්ප කලකින් මිය ගියේ අවිවාහකව වමය. මේ සා වටිනා නිර්මානශීලීත්වය ඔවුන් දෙපලගේ අභාවය සමග ලොවට අහිමි වීම ඉතා බලවත් පාඩුවකි. බෙවිස් බාවාගේ අවසන් කැමැත්ත පරිදි ඔහුගේ දේහය දැවූ භශ්මාවශේෂ බ්‍රිෆ් උයනේ ඇහැල ගහක් අසල තැන්පත් කෙරිනි. මේ වෙද්දී බෙවිස් ගේ අවසන් කැමති පත්‍රයට අනුව බ්‍රිෆ් උයන හිමිකාරිත්වයට පත්වූ කලමනාකාර මහතා එහි නඩත්තු කටයුතු කරමින් නිවස රැකබලා ගනියි. ඕනෑම කෙනෙකුට එයට පිවිසීමේ අවස්ථාව ඇති අතර එය නැරඹිය යුතුම සුන්දර ස්ථානයකි.
Copyright © 2014-2022 Helabima. All rights Reserved.