Helabima

අයිෆල් කුලුණ විකිණීමට තිබේ

රුවන්තිකා මධුශානි


 

තරු හෝටලයක රහසේ කෙරුනු සාකච්ඡාව

මේ පුදුම හිතෙන ආරංචිය මුලින්ම අහන්න ලැබුණේ 1923 නේ එක්තරා දවසක ප්‍රංශයේ තරු පහේ ඉහල පෙලේ හෝටලයකට රැස්වුණු එරට විශාලතම ඉදිකිරීම් සහ ලෝහ සමාගම් 5 හේ බලය ලත් නිලධාරීන් 5 දෙනෙකුට . ඔවුන් මේ පුවතින් විශ්මයෙන් ඇළලී ගියා. ප්‍රංශයේ ඉහල ම රාජ තාන්ත්‍රිකයකු වූ විදුලි සංදේශ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂක වරයා සිදුකල මේ නිවේදනය පිළි නොගෙන ඉන්න තරම් සැකයක් ඔවුන්ට ඇති උනේ නෑ . එබදු රාජ්‍ය පාලන මට්ටමේ රහසක් ගැන කතිකා කිරීමට අවශ්‍ය සියලුම තොරතුරු වාර්තා රැගෙන පැමිණි අධ්‍යක්ෂක වරයා මුලින්ම ඉදිරිපත් කලේ ප්‍රංශයේ පළවුණු සාමාන්‍ය පුවත් වාර්ථාවක්. එහි කියැවුණේ අයිෆල් කුලුන නඩත්තු කිරීමේ වියදම් දැරීම ප්‍රංශ රජයට මහත් බරක් වී ඇති බවයි. ඉන්පසුව ඔහු පැවසුවේ අයිෆල් කුලුන කොටස් කර යකඩ වලට විකිණීමට ප්‍රංශ රජය තීරණය කල බවත් ප්‍රංශයට මහත් අභිමානයක් වූ ලෝක ප්‍රකට භූමි සලකුණක් විකිණීම ගැන විපක්ශය සහ ජනතාව නොසන්සුන් විය හැකි බැවින් ඒ ගනුදෙනුව ඉතා රහසේ සිදු කිරීමට රජය සූදානම් වන නිසා තමාව මෙසේ රහස් සාකච්ඡාවකින් එය කොන්ත්‍රාත්කරුවන් දැනුවත් කිරීමට යෙදවූ බවත් ය. ඒ වෙද්දී එම අධ්‍යක්ෂ වරයා ඉහත ආයතන 5ට පුද්ගලිකව ම ගොස් ප්‍රංශ රාජ්‍ය මුද්‍රාව සහිත කැදවීම් ලිපි පිරිනමා තිබූ බැවින් මෙය සැක කිරීමට කිසිදු කරුණක් නොයෙදිනි.මීටර් 324 ක් උස් මීටර් 125 ක් පලල වූත්, යකඩ කඳන් 18000 ක් භාවිත කර ඇණ මිලියන 2.5ක් යොදාගෙන කල ටොන් 10000 ක් බරැති ඒ මහා යකඩ කඳ තම ආයතනය සතු කරගන එම යකඩ මගින් උපයා ගත හැකි ලාභය පිලිබදව ආයතන හිමිකරුවෝ අතිශය ප්‍රීතියෙන් පිනා ගියහ.

වංචනික රාජ්‍ය නිලධාරියාගේ අල්ලස

ටෙන්ඩර් කැදවා වැඩිම ලංසුවට අයිෆල් කුලුන පිරිනමන බව ඔහු ප්‍රකාශ කලේය. මේ පස් දෙනා අතර සිටි ඇන්ඩ්‍රේ පොයිසන් අයිෆල් යකඩ කඳ තමා සතු කර ගැනීමේ නොනිත් ආශාවකින් පෙළුණු අතර නීතියට පිටින් වැඩ කිරීමේ දක්ශයකු හෙතෙමේ රහසින් ම ඉහත අධ්‍යක්ශක වරයා සමග සාකච්ඡාවක් සූදානම් කර ගත්තේය. එහිදී අධ්‍යක්ශක වරයාට ප්‍රංශ මුදලින් පවුම් 70000 ක අල්ලසක් ලබාදී අයිෆල් ටෙන්ඩරය තමාට ලබා දෙන්නැයි ඉල්ලූ අතර අධ්‍යක්ෂක වරයා ඊට කැමැත්ත පල කරේය.

ටෙන්ඩරය කැදවන දිනය දිනෙන් දින කල් යෑමත් සමග එම ආයතන පහ ප්‍රංශ රජයෙන් අයිෆල් කුලුන ගැන විමසීමක් කලහ . එහිදී විමතියට පත් රජය පැවසුවෙ අයිෆල් කුලුන කිසිම ආකාරයකින් ගලවා ඉවත් කිරීමේ තීරණයක් ගෙන නැති බවයි.

By Givaga / Envato

ලොව විශාලතම වංචාව

අයිෆල් කුලුන පැරීසිය මැද වැජඹෙද්දී එය මිලට ගැනීමට පවුම් 70000 ක අල්ලසක් ගෙවූ ඇන්ඩ්‍රේ එතෙක් මෙතෙක් ලොව සිදුවූ විශාලතම වංචාවට හසුවූ පුද්ගලයා විය. ඔහුට දැඩි අවමානයකට මුහුණ දීමට සිදුවිය. සියලුම දෙනා විදුලි සංදේශ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂක වරයා සෙවුවද එම තනතුරෙහි සිටියේ වෙනත් පුද්ගලයෙකි. මහා වංචාකරු ඉහල නිලධාරියෙකු සේ රගපා වංචාව සිදු කර ඔස්ට්‍රියාවට පැන ගොස් තිබිණි.එය එදාමෙදාතුර ලොව සිදුවූ විශාලතම වංචාව සේ සැලකේ.

අවුරුදු 20 කින් ගලවන්න හදපු අයිෆල්

1890 දී ප්‍රංශ විප්ලවයට වසර 100 ක් සම්පූර්ණ වීමත් ප්‍රංශයේ පැවැත්වූ ලෝක කාර්මික ප්‍රදර්ශනයටත් සමගාමීව ප්‍රංශයේ කාර්මික හැකියාව ලොවට ප්‍රදර්ශනය කරනු වස් ගුස්ටාච් අයිෆල් නම් සිවිල් ඉංජිනේරුවාගේ සැලැස්මකට අනුව අයිෆල් නිර්මාණය විය. සුපුරුදු සේම මේ යෝධ නිර්මානය වැදගැම්මකට නැති ධන විනාශයක් සේ හුවා දක්වමින් එවක රජයට විපක්ශ කන්ඩාම් බොහෝ විරෝධතා දියත් කලහ. නමුත් වසර දෙකක් තුල දී පැරීසිය මැදින් විරාජමානව අයිෆල් ඉදිවිනි. ලෝක කාර්මික විප්ලව ප්‍රදර්ශන භූමියට ඇතුල් වීමේ ද්වාරය පිහිටා තිබුනේ අයිෆල් කුලුන යටිනි. එය ඉදි කරේ සැබවින්ම වසර 20 කින් ගලවා ඉවත් කිරීමේ අරමුනිනි. නමුත් ඒ වෙද්දී ආරම්භ වූ පලමු ලෝක යුද්ධය සමග අයිෆල් කුලුනේ පෙර නොවූ විරූ වැදගත් කමක් මතුවිය. ඒ එහි ස්ථාපිත කෙරුනු සන්නිවේදන ඇන්ටනා නිසායි. පලවනි ලෝක සංග්‍රාමයේදි ප්‍රංශ රාජකීය යුධ නැව් අත්ලාන්තික් සාගරයේ රාජකාරි සිදු කරද්දි නිවැරැදි පැහැදිලි සංඥා ලබා දුන්නේ අයිෆල් කුලුනේ ස්ථාපිත පනිවුඩ සම්ප්‍රේෂක මගිනි. ඒ අනුව අයිෆල් මත අධි බලති ඇන්ටනා 120 ක් සවි කෙරිනි. 1910 දී අයිෆල් කිසි දිනක ගලවා ඉවත් නොකිරීමට ප්‍රංශ රජය තීරණය කරේ ගුස්ටාච් අයිෆල් ට මහත් සතුටක් අත්පත් කර දෙමිනි.

දවල්ට උස යන අයිෆල්

සූර්‍ය රශ්මිය හේතුවෙන් දහවල් කාලයේ ලෝහ ප්‍රසාරණය වී අයිෆල් කුලුන අඟල් 4 ක් උසින් වැඩි වෙයි. එහි පියගැට 1710 කි මහල් 108 කි. ඉන් ඇතැම් මහල් රේඩියෝ සම්ප්‍රේක්ෂක මධ්‍යස්ථාන , කාලගුණ විද්‍යා පරීක්ශනාගාර අවන්හල් වෙනුවෙන් වෙන් කර තිබේ. එක් මහලක ලොව සියලුම රාජ්‍යන්ට අයත් ජාතික කොඩි ප්‍රදර්ශනය කෙරේ. අයිෆල් හී සෝපාන ද්විත්වයකි. අයිෆල් කුලුන මළ බැඳීමෙන් වැලැක්වීම පිණිස යම් තින්ත වර්ගයක් ආලේප කරයි. එම තින්ත ආලේපණය කරන කාල සීමාවේ අයිෆල් සංචාරකයන්ට විවෘත වන්නේ නැත. මේ වසර 135 පුරාවට එහි 18 වාරයක් තින්ත ආලේප කර ඇති අතර ඒ සදහා තින්ත ටොන් 60 ක් වරකට වැය වේ.ලොව වැඩියෙන්ම සංචාරක ආකර්ශනය දිනාගත් ස්ථාන කිහිපය අතර අයිෆල් සිටී. මුලදී බොහෝ විරෝධතා මතු වුවත් මේ වෙද්දී පැරීරියේ සංකේතය අයිෆල් කුලුනයි. අයිෆල් කුලුන රහිත පැරීසියක් ගැන සිතීම පවා උගහටය.

By Givaga / Envato

ඉතින් මේ අයිෆල් වික්කේ කව්ද

හේ ලොව මෙතෙක් අහලවූ ලොකුම වංචාකරුය. 1890 ජනවාරි 4 චෙට් ජනරජයේ උපන් වික්ටර් ලස්ටින් අයිෆල් කුලුන විකුනන්නේ යැයි ඒ මහා බොරුව නිර්මාණය කල තැනැත්තා වේ. ඔහු ළමා කල ඉතා දක්ශ සිසුවෙකු ලෙස අධ්‍යාපනය හදාරා භාශා 4 ක් ප්‍රගුන කර වයස අවුරුදු 18 දී වැඩිදුර අධ්‍යාපනය සදහා ජර්මනියට ගොස් තිබේ. එහිදීද හොදින් අධ්‍යාපනය ලබමින් සිට සූදු ක්‍රීඩාවට යොමුවී ඉන් පැරදී දුප්පතෙකු වී තිබේ. අනතුරුව එම සූදු සෙල්ලම් කල සමාජශාලා වලට පැමිනෙන්නන් බොරුවෙන් මුලා කර මුදල් ලබා ගැනීම සිදු කර ඇත. ඔහු ඉතා නිර්මානශීලීව දක්ශ රංගනයක යෙදෙමින් බොරු කීමේ සමත්කමක් දක්වන අතර ඊට අසුවන පුද්ගල සංඛ්‍යාව කෙමෙන් ඉහල යත්ම වංචාව සිය මූලික ආදායම් මාර්ගය කර ගැනීමට වික්ටර් තීරණය කලේය. මේ කාලයේ එනම් 1920 ඇමරිකාවේ නැගී සිටීම ආරම්භ වූ අතර ධනවත් ජර්මන් ව්‍යාපාරිකයන් නැවු මගින් ඇමරිකාවට යාත්‍රා කිරීම ඇරඹූහ . ධනවතුන් බිලීබා ගනු වස් වික්ටර් ද නැවකට ගොඩවීය. ඔහු නැවේදීද විවිධ වංචා සිදුකරමින් සල්ලි කඩාවඩා හම්ගත් අතර කෙමෙන් ඇමරිකාවට සේන්දු විය.

සල්ලි මවන යන්‍තරේ

ජර්මනියේ තැබෑරුමකදී ඔහුට ලෝරන්ස් නැමැත්තකු මුන ගැසිණි. ඔහුගේ රැකියාව වූයේ ව්‍යාජ මුදල් නෝට්ටු අච්චු ගසන්නන්ගෙන් ඒවා ලබාගෙන ඒ ව්‍යාජ මුදල් සත්‍ය මුදල් සමග මිශ්‍ර වන සේ ජන ගත කිරීමයි. ඔහුව අධ්‍යනය කල වික්ටර් ලී පෙට්ටියක් මිලට ගෙන එහි වෙනස්කම් කිහිපයක් සිදු කලේය. පසුව ලෝරන්ස් හමු වූ වික්ටර් විමසුවේ වේ අනෙක් අය මුද්‍රණය කරන මුදලට අතරමැදියකු වී අඩු මිලක් උපයනවාට වඩා තමන්ම මුදල් මුද්‍රණය කර බෙදා හැරීමට කැමති දැයි යන්නයි. වික්ටර් බදුම නීත්‍යානුකූල නොවන වැඩට රුසියෙකු වූ ලෝරන්ස් එක පටින් කැමති වී වික්ටර් ගේ නවාතැනට ගියේ මුදල් මුද්‍රණය කරන යන්ත්‍රය නිරීක්ෂනයටයි. එයට එක පැත්තකින් මුදල් ඇතුලු කර පැය 6 කින් අනික් පසින් ඒ මුදලට සමාන මුදලක් මුද්‍රණය ව මුදල් දෙගුණ වන බව වික්ටර් ලෝරන්ස් ට ඔප්පු කලේය. ඒ ලැබෙන මුදල් බැංකුවකින් පරික්ශා කිරික්මේදී බැංකුව පවා ඒ මුදල් සත්‍ය බව ඔප්පු කලේය. මහත් සතුටට් පත් ලෝරන්ස් ඩොලර් ලක්ශ 3 ක විශාල මුදලකට එම යන්ත්‍රය මිලට ගත්තේය .

ඔහු එයින් මුදල් මුද්‍රණය ඇරඹුවේය පලමු දිනයේ කිහිප වරක් මුදල් ලැබුණත් දෙවන දිනයේ එක්වරම මුද්‍රණය ඇනහිටිනි. පසුව සොයා ගැනුණේ එය නිකම්ම ලී පෙට්ටියක් බවත් ඇමරිකාවේ වලංගු නීත්‍යානුකූල යම් මුදල් ප්‍රමානයක් පෙට්ටියේ තැන්පත් කර මුද්‍රණය වී පැමිණෙන ලෙස පෙන්වා ඇත්තේ එම තැම්පත් කල මුදල් බවත් ඒවා අවසන් වූ නිසා නැවතත් මුදල් දෙගුණ නොවූ බවත් ය. තමා විශාල වංචාවකට අසු වී ඇතිබව ලෝරන්ස්ට අවබෝධ වනවිට වික්ටර් ජර්මනියෙන් ඔස්ට්‍රියාවට පැන ගොස් තිබිණි. යලිකිසිදා ඔහු සොයා ගැනීමට නොහැකි විය.

දෙවන වරටත් අයිෆල් විකුනයි

ඔහු අයිෆල් කුලුනේ නඩත්තු වියදම් ඉතා ඉහල බව පුවතක් දුටුවේ එසේ ජර්මනියේ වාසය කරද්දි ය. ඔහු මුලින් සදහන් කල පරිදි ප්‍රංශයට ගොස් අයිෆල් කුලුන විකුණන බවට වංචා කර ටෙන්ඩරය ලබා දෙන බව පවසා විශාල අල්ලසක් රැගෙන යලි ඔස්ට්‍රියාවට පැමිණියේය. ඔහු එහිදී අවුරුදු 5 ක් වාසය කර නැවත ප්‍රංශයට ගොස් පෙර සේම තරු හෝටලයකට තවත් ආයතන කිහිපයක වගකිවයුත්තන් කැඳවා අයිෆල් කුලුන දෙවන වතාවටත් විකිනීමට උත්සාහ කරද්දි නීතියේ රැහැනට අසු වීය. මේ වංචා වලට අමතරව ඔහු විසින් සිදු කල සිය ගණනක් වංචා එහිදී චෝදනා සේ එල්ල වූ අතර වික්ටර්ව සිරගත කෙරිනි. ඔහු කිහිප විටක් සිරෙන් පැනීමට උත්සාහ කලත් එය ව්‍යර්ථ විය අවසානයේ මේ මහා වංචා කරු 1947 දී සිරකුටියේ දීම අවසන් හුස්ම හෙලීය.

 



Copyright © 2014-2022 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us