Helabima

හෝටලයකට ගිහින් නතර වෙන්න බයෙන් ඉන්න ඔබටයි මේ

බිනරි ඇතුගල


තරු හෝටලයක නිවාඩුවක් ගත කරන්න අකමැති කෙනෙක් නෑනේ . ඒක ඇත්තෙන්ම වෙනස්ම අත්දැකීමක්. නිවාඩුවට කැලෑ වලට , කෑම්ප් වලට කදු නගින්න වන්දනා ගමන් යන්න කැමති වගේම විවිධ හෝටල් වලට ගිහින් ඒ අත්දැකීම් ලබාගන්න සත්කාර විදින්න කැමති අයත් ඉන්නවා . නිවාඩුවකට නැතත් තමන්ගේ ප්‍රදේශයෙන් බැහැර උනාම නැවත ගෙදර එන්න බැරි නම් හෝටලයක නවාතැන් ගන්න ගොඩාක් අය පෙළඹෙනවා.ඒත් බොහෝ අය හැකියාව තිබුනත් හෝටලයක නවාතැන් ගැනීමට යම් චකිතයක් දක්වනවා. එහි හැසිරීම ස්භාවය තේරුම් ගන්න බැරි වෙයිද භාශා භාවිතයේ ගැටලුවක් එයිද කියලා සමහර අය යම් පැකිලීමක් දක්වනවා. ඒත් මූලිකවම ලංකාව තුල හෝටල් වල සේවකයන් ලාංකිකයන්ම වන නිසා ඔබට භාශාව පිලිබදව කලබල වෙන්න අවශ්‍ය නෑ . ඒවගේම සාමාන්‍ය සමාජ ජීවිතයේ ශිශ්ඨ යැයි සම්මත ගති සිරිත් ඔබට තියෙනවා නම් කිසිම විටක ඔබ හෝටලයකදි අපහසුතාවට පත් වන්නෙ නෑ . ඇත්තෙන්ම එහි කාර්‍යමන්ඩලය ඉතා සුහදශීලී මෙන්ම ඔබට අවශ්‍ය ඕනෑම දෙයක් පැහැදිලි කරන්න ඔවුන් සූදානම් .

By DragonImages/Envato

හෝටලයට ගිය ගමන් මොකද කරන්නෙ

බොහෝ හෝටල් වල වාහන ගරාජය වෙනම ඇති බැවින් ඔබ පැමිනි වාහනයෙන් ඔබ බැසගත් පසු හෝටල් සේවකයකු එය ඔවුන්ගේ භාරයට ගෙන සුදුසු ස්ථානයක ගාල් කරනු ඇත. ඔබ ඒ වන විට හෝටලයේ ලොබියෙහි ඇති පිළිගැනීමේ ස්ථානයට යා යුතුයි. එහි ඔබට අසුන් ගැනීමට ඉඩ සලසා ඇති අතර හෝටල් සේවකයන් එහෙදී ඔබව හෝටලයට ලියාපදිංචි කිරීමට අවශ්‍ය ලිපි ලේඛන ඔබට භාර දෙනු ඇත. ඔබ විසින් එහි තොරතුරු සම්පූර්ණ කර ලබා දිය යුතුයි . එහිදී ඔවුන් ඔබට ලබාදෙන කාමරයේ යතුරු කාඩ්පත ලබාදීමට සූදානම් කරන තෙක් ඔබ ඔබේ බඩු බාහිරාදිය සමග ලොබියේ අසුන් ගෙන සිටිය යුතුයි . එහිදී ඔවුන් පිළිගැනීමේ පානය සමග සිසිල් කර මෘදු සුවඳ විලවුන් සහිත මුහුණ පිසින තුවා ඔබට ලබා දෙනු ඇත. ඒවා සදහා මුදල් අය නොකෙරේ. ඔබේ ලියාපදිංචි කිරීමෙන් අනතුරු ව ඔබේ කාමරයේ අංකය සදහන් යතුරු ඉලෙක්ට්‍රොනික කාඩ් පත හෝ යතුර හෝ මේ දෙකම ඔබට පිරිනමයි. අමුත්තන් පිරී එම ස්ථානය කාර්යබහුල නම් ඔබේ ගමන් මලු වලටද කාමරයේ අංකය අඩංගු ටැග් එකක් අමුනනු ලැබේ. එසේ නැත්නම් සේවකයකු ඔබේ කාමරයට ඔබ සමගම ඒ ගමන් මලු ඔසවාගෙන පැමිණෙනු ඇත. ඔවුන් කාර්යබහුල නම් එම පැලදූ අංකය සහිත ඔබේ ගමන් මලු ඔවුන් විසින් ස්වල්ප වේලාවකින් ගෙනැවිත් භාර දෙනු ඇත

By romankosolapov/Envato

කාමරේ කොහොමද

බොහෝ හෝටල වල මේ වෙද්දී ඉලෙක්ට්‍රොනික කාඩ් පතකින් දොරවල් විවෘත කෙරෙන අතර ඇතැම් හෝටල් තවමත් යතුරු භාවිත කරයි. නමුත් ඔවුන් ඔබට ඉලෙක්ට්‍රොනික කාඩ් පතක් යතුර සමග පිරිනමනු ඇත. කාමරය තුලට පිවිස එහි දොර අසල බිත්තියේ ඇති කුඩා පොකට්ටුවට ඔබ එම කාඩ් පත ඇතුල් කල යුතුය. කාමරයට විදුලි සම්බන්ධතාව ලැබෙනුයේ ඉන් පසුවයි.

ඔබේ කාමරය තුල ඔබ ඉල්ලීම් කල පුද්ගලයන් ගණනට සෑහෙන ඇදක් එයට අවශ්‍ය කොට්ට මෙට්ට රූපවාහිනියක් වායු සමීකරනයක් ඇදුම් අසුරන කබඩ් එකක් ආදී ගෘහ භාණ්ඩ පවතී. තමා යාමට බලාපොරොත්තු වන කාමරයට අයත් උපාංග ඔබට යෑමට පෙරම හෝටලයේ වෙබ් අඩවිය මගින් දැන ගැනීමට හැකිවේ. බොහෝ කාමර තුල මිනි බාර් එකක් අඩංගු වේ . එය භාවිත කරන්නේ නම් ඔබට අමතර ගෙවීම් සිදු කීරීමට වේ. ඔබට ලැබෙන කබඩ් එක තුල ආරක්ශක සේප්පුවක් අන්තර්ගත වේ.ඔබ එයට මුර පදයක් ලබා දී ඔබේ වටිනා භාණ්ඩ එහි තැබිය යුතුයි. එම කබඩ් එක තුල හෝටලයේදී ඔබට අවශ්‍ය තුවා , නාන කාමරය සදහා අවශ්‍ය සෙරප්පු සහ බාත් රොබ්ස් නමින් හැදින්වෙන ඇගලුම බහා තිබේ. ඔබට මිලක් ගෙවීමෙන් තොරව එය භාවිත කල හැක. කාමරය තුල ඔබට තේ කෝපි සාදා ගැනීමට අවශ්‍ය ක්‍රීමර් තේ කෝපි සහ හීටරය තිබේ. එහි එක දිනකට අවශ්‍ය තේ කෝපි බහාලුම් පවතින අතර ඔබ දින එකකට වඩා හෝටලයේ රැඳෙන්නේ නම් එය නැවතත් සපයන ලෙස ඉල්ලීම් කල හැක.

By FabrikaPhoto/ Envato

ඔබට යාබද නාන කාමරය තුලද එක දිනකට අවශ්‍ය ශැම්පු කන්ඩිශනර් බොඩි ලෝශන් ,වැසිකිළි කඩදාසි ,හිස් ආවරණ තබා තිබෙනු ඇත. ඒවාට වෙනම අය කිරීමක් නොකෙරේ. ඔබ එක දිනකට වඩා හෝටලයේ රැඳීමට බලාපොරොත්තු වේ නම් ඒවා නැවත ලබාදෙන සේ දෙවන දිනයේදී කාර්‍යමන්ඩලයයෙන් ඉල්ලීමක් කරන්න . එසේම නාන කාමරයේ සුදු පැහැ තුවායක් තබා තිබෙන අතර එය නාන කාමරය සහ නිදන කාමරය අතර බිමට එලා නිදන කාමරයයේ බිම තෙත් වීම වලක්වා ගත හැක.. බොහෝ හෝටල් වල මේ වෙද්දී දොරටුව අසල ඇතුල් පැත්තේ Do not disturb හෝ House keeping ස්විච ක්‍රියාත්මක වේ . පෙර මේ සදහා භාවිත වූයේ දොර හැඩලයේ එල්ලන කාඩ් පතකි. Do not disturb බොත්තම එබීමෙන් ඔබේ කාමරයට පිටතින් දැල්වෙන සංඥාවකින් ඔබට බාධා නොකළ යුතු බව හඟවන දැන්වීම පළවේ. එසේම එක් දිනකට වඩා හෝටලයේ රැදෙන විට ඔබේ කාමරය අපිරිසුදු වුවහොත් හවුස් කීපින් දැන්වීම මගින් සේවකයන් ලවා කාමරය පිරිසිදු කරගැනීමේ අවස්ථාව ඔබට හිමිවේ.

By Rawpixel/ Evvato

හෝටලේදී කෑම කන්නෙ කොහොමද

ඔබ හෝටලයට ඇතුල් වන පිලිවල අනුව ඔබේ ආහාර තීරණය වේ. ඔබ ෆුල් බෝඩ් ක්‍රමයට ඇතුල් වී නම් ඔබට වේල් තුනටම අදාල ආහාර හෝටලය මගින් ලබා දේ. ඔබ රැඳෙන්නේ හාෆ් බෝඩ් ක්‍රමයට නම් රාත්‍රී හා උදෑසන ආහාර ඔබට ලැබේ. ඔබ බෙඩ් ඇන්ඩ් බ්‍රෙක්ෆස්ට් ක්‍රමයට හෝටලයට ඇතුලත් වුවහොත් ඔබට ලැබෙන්නේ උදෑසන ආහාර පමණි. හෝටල් වල ආහාර පිරිනමන ක්‍රම කිහිපයකි

බුෆේ ක්‍රමය

මෙය ඉතාමත් ජනප්‍රිය ආහාර ක්‍රමයයි. අමුත්තන් 30 ක් ඉක්මවා සිටින අවස්ථාවේ හෝටලය බුෆේ ක්‍රමයට ආහාර ඉදිරිපත් කරනු ඇත. එහිදී ඉතා විශාල ආහාර වර්ග ප්‍රමානයක් ඔබට රස බැලීමේ අවස්ථාව ලැබේ. ඔබ මුලින්ම බුෆේ එකේ ඇති ආහාර නිරීක්ෂණය කර බෙදා ගැනීම අරඹන්න. ඔබට ඕනැතරම් වතාවක් ආහාර බෙදාගැනීමට හැකි වන අතර ඒ සෑම අලුත් බෙදා ගැනීමකදීම නව පිගානක් භාවිත කල යුතුය. හෝටල් සේවකයන් ඔබ අවසන් කල පිඟාන ඔබේ ස්ථානයෙන් ඉවත් කරනු ඇත. මෙහිදී අසෝබන අයුරින් විශාල ප්‍රමාන වලින් බෙදා නොගෙන කැමති වතාවක් ගොස් ආහාර බෙදාගන්න ආචාරශීලී විය යුතුයි .මෙහිදී ඔබ ෆුල් බෝඩ් හාෆ් බෝඩ් ක්‍රමයට නේවාසික අමුත්තෙකු නම් ඒ ලැබෙන ආහාර වේල් සදහා ඔබ බුෆේ එකට මිල ගෙවා අවසන් වේ. ඔබ නේවාසික නොවී හෝටලයෙන් විමසීමක් කරද බුෆේ එක සදහා සහභාගි විය හැක. එහිදී යම් නිශ්චිත නම් කල මුදලක් ගෙවා සියලුම ආහාර රස විදීමේ අවස්ථාව ඔබට හිමි වේ

ආ ලා කාර්ට් ක්‍රමය.

මෙය 1830 හේ සිට ක්‍රියාත්මක වන ක්‍රමයකි. මෙහිදී මනු පතකින් ඔබ කැමති ආහාර තෝරා ගත යුතුයි . ඒ ඒ ආහාරය සදහා ඔබ වෙනම ගෙවීම කල යුතුයි. මෙහිදී ඔබ තෝරා ගන්නා ආහාර පමනක් ලැබෙන නිසා ආහාර වල විවිධත්වය විදීමේ අවස්ථාව ඔබට හිමි නොවේ. ඔබ ආහාරයක් ඇනවුම් කර විනාඩි 20 ක් තුල එය ඔබට ලබා දීමට සේවකයෝ බැදී සිටිති. ඔබ හාෆ් බෝඩ් බෙඩ් ඇන්ඩ් බ්‍රෙක්ෆස්ට් ක්‍රමයට හෝටලයේ ලැගුම් ගනී නම් ඔබේ ක්‍රමයට අදාළ නොවන ආහාර වේල් සදහා හොටලයේ අවන්හල් වලින් මෙසේ ආහාර මිලට ගත හැක. එය ඔවුන් ඔබේ කාමර අංකය සහිත බිලට එක් කරනු ඇත.

By ArtRachen / Envato

සෙට් මෙනූ

මෙහිදී හෝටලය විසින් සැකසූ මෙනුවකට අදාලව ආහාර පිරිනැමේ. මෙනුවටම එක මිලක් ගෙවිය යුතුයි . ඔබට මෙනූ කීපයක් ලබාදෙන අතර එකක් තෝරා ගැනීමට ඔබට සිදුවේ. ඔබ නේවාසික අමුත්තකු නම් සෙට් මෙනූ ක්‍රමය ක්‍රියාත්මක වේනම් ඔබේ ලැගුම් ගැනීමට අදාල මෙනු සෙවකයන් විසින් ඔබට පෙන්වාදුන් පසු තෝරා ගැනීම කල හැක.

කෝසස් ක්‍රමය

මෙයත් ඔබට ආහාර වර්ග ගණනාවක් රස විදීමට ලැබෙන ක්‍රමයකි. ආහාරය කොටස් වලට වෙන් කර ඔබේ මේසයට ලැබේ. කෝසස් 3 ක් ලබාදීම අවම ක්‍රමයත් කෝසස් 10 ක් ලබා දීම උපරිම ක්‍රමයත් වේ. මුලින්ම සලදය ඉන්පසුව සූපය ප්‍රධාන ආහාරය සහ අතුරුපස ලෙස කොටස් 4 ක් මූලිකවම ඔබට ලැබේ. එ කෝසස් සියල්ලටම ඔබ එක නිශ්චිත එක මුදලක් පමනක් ගෙවිය යුතුයි. එහිදී එක එක කොටසට අදාළ විය යුත්තේ කුමක් දැයි තෝරා ගැනීමේ අවස්ථාව ඔබට හිමිවේ.

හෝටලයකට යාමට බොහෝ අය පැකිලෙන්නේ හැදි ගෑරප්පු පරිහරණය කිරීමට ඇති අපහසුතාව නිසයි. නමුත් ඔබට කිසිදු පැකිලීමකින් තොරව අත පාවිච්චි කර ආහාර ගත හැක. එහිදී හෝටල් සේවකයකුට එය දැන්වූ විට මද උනුසුම් වතුර බඳුනක් ඔබට සපයනු ඇත. එහිදී මුලින්ම ඔබට ලබාදෙන සර්වියට් එක ඔබ ඔබේ උකුල මත දිග හැර ගත යුතුයි . පිඟාන අසල සිට පිටතට විහිදෙන සේ ඔවුන් හැදි ගෑරප්පු පිහි තබා ඇති අතර පිගාන අසලින්ම ඇති හැදි ගෑරප්පු වලින් පටංගෙන ක්‍රමයෙන් පිටතතට යන සේ එවා භාවිත කලහැක.

By micens/ Envato

නාන තටාකය

හෝටලයක වැදගත් ම අංගයක් වේ. මෙය සියල්ලෝම පොදුවේ භාවිත කරන බැවින් ඉතා විනයානුකූලව සහ ශිශ්ඨ සම්පන්නව භාවිත කිරීමට වග බලා ගන්න .බොහෝ හෝටල් නාන ඇඳුමක් හිස් ආවරණයක් රහිතව තටාකයට බැසීමට අවසර ලබා නොදේ. එමෙන්ම ඔබ තටාකයට බැසීමට පෙර ඒ අසල ඇති ශවර් එකෙන් පිරිසිදු විය යුතුයි . මුලින්ම තටාකයේ සදහන් ගැඹුර නිරීක්ෂණය කර ඔබට සුදුසු ගැඹුරක් ඇති ස්ථානයෙන් තටකයට බැසිය යුතුයි. බොහෝවිට ජීවිතාරක්ෂක තටාක භාර නිලධාරී වරයකු ඔබේ ආරක්ශාවට එහි රැදී සිටිනු ඇත. ඔහුගේ උපදෙස් අනිවාර්යයෙන් පිලිපදින්න. බොහෝ හෝටල් වල තටාකයට ආහාර රැගෙන යාමට ඉඩ නොදුන්නත් ඇතැම් හෝටල් තටාකයේදී ආහාර පිලිගැන්වීම සිදු කරයි. ඔබ සමග යන දරුවන් වෙනුවෙන් ළදරු තටාකයක් ඇති අතර දරුවන් වැඩිහිටියන් සදහා වන තටාකයට රැගෙන නොයා යුතුය. ඔබ නාන තටාකයට බැසීමට පෙර සිරුරේ බරවල් නිදහස් කිරීම කල යුතුයි. එය තටාකයේදී සිදු කිරීම ඉතා අශිශ්ට ක්‍රියාවක් සේ සැලකෙන අතර ඉන් ඔබ ලැජ්ජාවට පත් වීම සිදුවනු ඇත. මෙහිදී ඇතැම් හෝටල් වල තටාකය අසල තුවා සැපයීම සිදුවේ. නැති නම් ඔබේ කාමරයට ලබා දී ඇති කබඩ් එක තුල තටාකයට අවශ්‍ය තුවායක් තැම්පත් කර තිබේ. ඔබට එය රැගෙන භාවිත කල හැක. බොහෝවිට හෝටලයක නේවාසිකයන් සදහා තටාකය නොමිලේ භාවිත කිරීමේ අවස්තාව උදාවේ. තටාකය විවෘත කරන වසා දමන කාලයන් අනුගමනය කිරීමට ඔබ පුරුදු විය යුතුයි .

පිටවීම

ඔබ හෝටලයෙන් පිට වීමේදී නැවත වරක් පිළිගැනීමේ ලොබියට පැමිණිය යුතුයි .එහිදී ඔබේ යතුරු කාඩ්පත භාර කල විට ඔවුන් ඔබගේ බිල සකසනු ඇත. ඔබ අමතරව ලබාගත් ආහාර හෝ පහසුකම් ඔබේ කාමරයට අලාභහානි වී ඇතිනම් ඒ මුදල් මිනි බාර් එක භාවිත කර ඇතිනම් ඒ බිල් ඒ සමග එක් කර අවසන් බිල්පත ඔබට ලැබේ. ඒ සියල්ල ගෙවීමෙන් පසු ඔබට සතුටෙන් පිටව යා හැක. හැකි උපරිමයෙන් හෝටල් කාර්යමන්ඩලය සමග සුහදව කටයුතු කිරීම ඔබට පහසුවක් වේ. ඔබ කිසිදා හෝටලයකට ගොස් නැතත් සාමාන්‍ය සමාජයේ හැසිරෙන මූලික ආචාරශීලී ක්‍රමය පමණක් දැන සිටීම සම්පූර්ණයෙන් සෑහේ..



Copyright © 2014-2022 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us