Helabima

මේ ලක්ශන තියෙනවා නම් පිළිකාවක් වෙන්න පුලුවන්

බිනරි ඇතුගල


පිළිකාව කියන වචනෙ ඇහුනත් කලබල වෙන බහුතරයක් හිතන්නෙ පිළිකාව සනීප කරන්න බෑ කියලා . පිළිකාවට මේ වෙද්දී ප්‍රතිකාර ක්‍රම ගණනාවක් තියෙනවා . පිළිකාව සනීප කරන්න අමාරුවෙන්නෙ හදුනාගැනීම ප්‍රමාද වෙන නිසා . ඇත්තෙන්ම පිලිකාවේ රෝග ලක්ශන හරි ම සරලව පේන නිසා බොහෝ දෙනා එය ගනන් ගන්නෙ නෑ . ඉතින් පිළිකාව හදුනා ගන්න වෙන්නෙ ගොඩාක් කල් ගිහින් . එතකොට ඒ අක්‍රමවත් සෛල පොකුර සිරුර පුරාම පැතිරිලා ඉවරයි. ඒ නිසා වැදගත් ම දේ පිළිකාව කල් තියා හදුනා ගැනීම . අපි බලමු පිළිකාවක් වැලදුනා කියලා හදුනා ගන්න පුලුවන් විදියට ශරීරයෙන් පෙන්වන පෙර නිමිති .

නියපොතු වලින් පෙන්නන රහස්

සාමාන්‍යයෙන් නිරෝගී නියපොත්තක ලාක්ශනික පැහැය ලා රෝස පාට. අපිරිසුදු නොවුණු කහට නොබැදුනු පිරිසිදු කල අතක නියපොතු වල දුඹුරු , කලු , නිල් පැහැයෙන් ඉරි හෝ තිත් වැටිලා තියෙනවා නම් එය චර්ම පිලිකාවක පෙර නිමිත්තක් වෙන්න පුලුවන් . ඒවගේම නියපොතු ලාක්ශනික රෝස පැහැයෙන් තොරව සුදුමැලි වී හෝ නිල් පැහැයට අලු පැහැයට හැරී තිබීම අක්මා පිලිකාවේ ලක්ශනයක්

හිටිහැටියේ බර වෙනස් උනා ද ?

මිනිස් සිරුරේ සාමාන්‍ය බර අඩු වීමකට ජීවන රටාවේ වෙනසක් අත්‍යවශ්‍යයි . ඔබ අලුතින් ආහාර පාලනය කිරීමක් නොකර ව්‍යායාම සිදු නොකර එකවර ශරීරයේ බර අඩු වීම බරපතල තත්වයක්. බඩවැල් ආශ්‍රිත පිලිකා වලදි ඔබට නොදැනුවත්ව ආහාර රුචිය අඩු වෙලා ආහාර ගන්නා ප්‍රමානය අවම වී ඔබේ බර අඩු වීම සිදු වෙනව . ඒ නිසා එකවර බර අඩු වුවහොත් අනිවාර්යයෙන් වෛද්‍ය උපදෙස් ගන්න .

By twenty20photos / Envato

ගිලින්න අමාරු නම්

සෙම්ගෙඩි හෝ සෙම් තත්ව කොරෝනා දැඩි සේ කෑගැසීම් සිදු කල අවස්ථා වලදී ගිලීමේ අපහසුතාවක් ඇතිවීම ස්භාවිකයි. ඒත් ඒ කිසිවක් නැතිව කල් පවතින ගිලීමේ අපහසුතා උගුරේ කට්ටක් සේ දැනීම භයානක පෙර නිමිත්තකි. උගුර ආශ්‍රිත පිලිකා තයිරොයිඩ් ග්‍රන්ථි ආශ්‍රිත පිලිකා වලදී මේ ලක්ශනය පහල වේ ඒ නිසා සති තුනක් ඉක්මවූ ගිලීමේ අපහසුතාවට හැකි ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න .

හති වගේ ද

පෙනහලු පිලිකා වැළඳුණු බොහෝ අය රෝගය හදුනා ගැනීමට පෙර නිරන්තරයෙන් කෙටි හුස්ම වැටීමෙන් එනම් හති දැමීමෙන් පීඩා විද තිබුනා. පෙනහලු පිලිකා වැළඳීම දුම් පානය කරන්නන්ට පමනක් යැයි සිතා සිටියත් මේ වෙද්දී වායු දූශනය නිසා කිසිදා දුම් පානය නොකළ අයත් පෙනහලු පිලිකා වලට ගොදුරුව සිටිනවා. මෙය ඇදුම රෝගයේත් ලක්ශනයක්. ඒ නිසා මේ දෙක වෙන්ව හදුනා ගැනීම වෛද්‍ය වරයකුට පමනක් කල හැකි බව අමතක කරන්න එපා

නිතරම කහින අයට රතු එලියක්

සෙම් ආසාදනයක් නොමැතිව සති තුන ඉක්මවූ වියලි කැස්සක් පැවතීම ඒ සමග පපුවේ වේදනාවක් දැනීම ලියුකේමියාවේ හා පෙනහලු පිලිකාවේ ලක්ශන වේ .ඇතැම් විට මේ කැස්ස සති තුනක් පැවතී ටික කලක් අතුරුදන් වී නැවත ආරම්භ විය හැක. . එබදු කැස්සක් සමග ඇතැම් විට ලේ පිටවීමක්ද සිදුවිය හැකි බැවින් කැස්ස සුලු කොට නොතැකීමට වග බලා ගන්න

කිහිලි ඉකිලි වල වෙනස් කම්

කිහිලි හා ඉකිලි ප්‍රදේශ වල වසා ගැටිති ඉදිමීමක් හෝ අසාමාන්‍යතාවක් නිරීක්ෂණය වීම වසා පද්ධතියේ අක්‍රමවත් බව දැනුම් දෙන ලක්ශනයකි. බෙල්ලේ හා කිහිල්ල ප්‍රදේශයේ වේදනා රහිත එබදු ඉදිමීම් ලියුකේමියාවේ ලක්ශනයකි. වේදනා සහිත ගැටිති වලට වඩා වේදනා රහිත ගැටිති වලට ඔබ අවධානය යොමු කල යුතුයි .

නිතරම උණ හෙම්බිරිස්සාව නම්

ලියුකේමියාව රෝගයේදී ශරීරයේ සුදු රුධිරාණු වේගයෙන් ඉහල යෑම සිදුවේ. එවිට ප්‍රතිශක්තිකරණය පහල යන නිසා නිරන්තරයෙන් උණ හෙම්බිරිස්සාව රෝගයට ලක් වීම සිදුවේ. බොහෝ ලියුකේමියා රෝගීන් තමා පිළිකාවකින් පෙළන බව හදුනා ගන්නේ නිරන්තර අසනීප වීම් පිලිබදව අවධානය යොමු කිරීමේදීයි.

මළපහ කිරීමේදී රුධිරය පිට වෙනවා නම්

මළපහ කිරීමේදී ලේ පිටවීම අර්ශස් යැයි සිතා ගනන් නොගෙන සිටින බහුතරයකගේ රෝගය මහ බඩවැල ආශ්‍රිත පිලිකාවයි. මළවල රුධිරය මුසුවී තිබීම නිරීක්ෂණය වුවත් ඔබ ඒ වහාම ප්‍රථිකාර ගත යුතුයි . එය මුල් කාලයේ හදුනා ගැනීමෙන් සුව කල හැකි වුවත් බොහෝ දෙනා මෙය නොසලකා අවසන් කාලය වනතුරු සිටීමෙන් රෝගය භයානක ලෙස පැතිරීම සිදුවේ.

කට ඇතුළ පරික්ශාවෙන් බලන්න

මුඛය තුල දීර්ඝකාලීනව පවතින සුදු හෝ රත් පැහැති ලප , සුව නොවන තුවාල පිලිකාවක පෙර නිමිති වේ. එමෙන්ම දිව චලනය කිරීමේ අපහසුවක් මුඛය විවෘත කිරීමේ අපහසුවක් ඔබට පවතී නම් අනිවාර්යයෙන් වෛද්‍ය අධීක්ෂණයට ලක් විය යුතුයි . නිතරම බුලත් කන අය දුම්පානය කරන අය නිරන්තරයෙන් මුව පරික්ශා කර මේ ලක්ශන සැක හැර දැන ගන්න .

මුත්‍රා කිරීමේ වෙනසක් නිරීක්ෂණය උනාද

වෙනදාට වඩා නිතරම මුත්‍රා පිටවීම, මුත්‍රා පිට නොවීම මුත්‍රා කරද්දි ධාරාව පවත්වාගෙන යාමේ අපහසුව මුත්‍රා පිටවී අවසන් වුවත් අවසන් හැගීම නොදැනීම නිතරම රාත්‍රියේ මුත්‍රා කිරීමට සිදුවීම මුත්‍රා සමග රුධිරය පිටවීම පුරස්ථි ග්‍රන්ථියේ පිලිකාවක මූලික ලක්ශන විය හැක. සති තුනකට වඩා මේ ආබාධ පවතී නම් ඔබ අනිවාර්යයෙන් වෛද්‍ය උපදෙස් ලබා ගන්න . මේවා වකුගඩු සම්බන්ධ අක්‍රමිකතාව ක් වීමටත් විශාල ඉඩකඩක් පවතින බවත් එයත් පිළිකාව හා සමානම දරුණු රෝගයක් බවත් අමතක නොකරන්න

කසනව නම් බලා ඉන්න එපා

ලිංගාශ්‍රිත ප්‍රදේශ වල ඇතිවෙන කැසීම් සමාජ රෝග අවධානමක් යැයි බොහෝ අය සිතුවත් ඇතැම් පිලිකා තත්ව වලටද කැසීම් රෝග ලක්ශනයක් වේ. තුවාල සිදු වෙමින් හෝ නොවෙමින් සාමාන්‍ය කැසීම් ප්‍රතිකාර වලින් සති කිහිපයක් යනතුරු සුව නොවෙන කැසීමක් පිලිබදව අනිවාර්යයෙන් අවධානය යොමු කරන්න

පියයුරු ගැන ඔබ අවධානයෙන්ද

නිතැතින්ම පිලිකා වලට පහසුවෙන් ගොදුරු වන ස්ථානයක් සේ පියයුරු හැදින්විය හැක. මෙය ස්ත්‍රීන්ට පමනක් නොව පුරුශයින්ටද අවධානමක් පවතින රෝගයකි. ඔබ නිරන්තරයෙන් පියයුරු ගැන අවධානය යොමු කල යුතුයි . මසකට වරක් වත් ස්වයං පියයුරු පරික්ශාවක් කරන්න . හැඩයේ වෙනස් වීමක් ගැටිත්තක් තුවාලයක් දොඩම් ලෙල්ලක මතුපිට බදු ස්භාවයක් තනපුඩුව ඇතුලට ගිලුණු ස්භාවයක් හෝ ශ්‍රාවයක් පිටවීමක් නිරීක්ෂණය වුවහොත් වහාම වෛද්‍ය උපදෙස් ගත යුතුයි . සුවනාරී සායන හරහා වයස 35 ඉක්මවූ කාන්තාවන්ට මේ පරික්ශාවන් නොමිලේම සිදුකරගත හැකියි. එයට ඔබ ඔබේ පළාතේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය හමු වන්න. තනපුඩු වලින් විවිධ ශ්‍රාවයන් පිටවීම හෝමෝන අක්‍රමිකතා නිසාත් සිදු වන බැවින් ඔබට ඇති තත්වය පිලිබදව වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට පෙර කලබල නොවීම වැදගත් වේ..

ඔසප් වීමේ වෙනසක් දැනෙනවද

කාන්තාවන්ගේ ශරීරයේ නිරෝගී රෝගී භාවය සම්බන්ධ බොහෝ ලක්ශන ඔසප් වීමෙන් විද්‍යාමාන වේ දින 28-35 ක් අතර කාල සීමාවක් තුල ක්‍රියාත්මක වී දින කිහිපයක් රුධිර වහනය වීම සාමාන්‍ය ස්භාවයයි . එකිනෙකාගේ ඔසප් චක්‍ර ඉතාමත් වෙනස් වන අතර තම චක්‍රයේ යම් වෙනසක් තමාට නිරීක්ෂණය වී නම් ඒ ගැන අවධානය යොමු කිරීම ඉතා වැදගත් වේ. ගර්භණී භාවය ආර්තවහරනය ආතතිය ඩිම්භ පිට නොවීම එන්ඩමෙට්‍රියොසිස් තරබාරු බව නිසා මෙන්ම පසුගිය සමයේ සිනොෆාර්ම් එන්නත නිසාත් ඔසප් චක්‍ර වෙනස්වීම් වාර්තා විය. එසේ භාහිර සාධකයකින් තොරව ඔසප් ප්‍රමාදය අධික වේදනාව අධිකව රුධිරය පිටවීම ඔසප් නොවීම හෝ නොනවත්වා රුධිරය පිටවීම ගර්භාශයේ අක්‍රමවත් බවක් ප්‍රජනක පද්ධතියේ දෝශයක් පිළිඹිබු කරයි. එයද ඔබට සුවනාරී සායනයකින් පරික්ශා කරවා ගත හැක.

By nd3000 / Envato

ගොඩාක් මහන්සි නම්

නිසි නින්දක් නිසි විවේකයක් නිසි පෝශනයක් ලබන පුද්ගලයකු නිරන්තරයෙන් වෙහෙසට පත්වීම සාමාන්‍ය නැත. පඩිපෙලක් නැගීම කෙටි දුරක් ගමන් කිරීම වැනි දෙයකින් හෝ ඔබ වෙහෙසට පත්වේ නම් තෙහෙට්ටුවට පත්වේ නම් ලියුකේමියා හෝ මහා අන්ත්‍රය සම්බන්ධ පිලිකා සදහා පරික්ශාවක් කල යුතුයි

පිලිකා වනාහී අක්‍රමවත් සෛල ගොනුවක වර්ධනයකි. එය වේගයෙන් නව අක්‍රමවත් සෛල වර්ධනය වී නිරෝගී සෛල අභිබවා සිරුර පුරා ව්‍යාප්ත වේ. මූලික අවස්ථාවෙ මෙය හදුනා ගැනීමෙන් නිසි ප්‍රතිකාර ලබා දීමෙන් පිළිකාව සුව කල හැක. එයට මුලදීම පිළිකාව හදුනාගත යුතුයි . ශරීරයේ සිදුවන මේ සුලු වෙනස්කම් ගැන අවධානයෙන් සිට වෛද්‍ය ප්‍රතිකාර ගැනීමෙන් පිළිකාව නිට්ටාවටම සුව කරගැනීමට අවස්ථාව ලැබෙනු ඇත.

 

 



Copyright © 2014-2022 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us