Helabima

ශ්‍රී ලංකාවේ ආහාර සංස්කෘතිය රසවත් කල කැලෑ බිම්මල්

රුවන්තිකා මධුශානි


දවස් දෙකතුනක් එකදිගට වැහැල පොලව තෙත බරිත වෙලා ඊලග දවසේ අව්ව පායනවා නම් අපේ පැරණි ගෘහණියෝ උදේට ඇතුල් පතත් අරං එලියට බහින්නෙ බිම්මල් කඩන්න යන්න . දැන් වගා ගෘහ වල කෘතිම පාරිසරික තත්ව යටතේ වගා කරලා පැකට් කරලා එන බිම්මල් වලට සමාන කරන්න බැරි රසක් තියන මේ කැලෑ බිම්මල් හා බැදුණු සංස්කෘතියක් අපිට තිබුනා. පසේ ස්භාවය අනුව පාරිසරික ස්භාවය අනුව විවිධ බිම්මල් වර්ග පිපෙන තැන් වෙනස්. යම් තැනක පිපෙන බිම්මල් වර්ගය අදාල පාරිසරික තත්ව උදා වෙද්දී දිගින් දිගටම ඒ ස්ථානයේ පිපෙන නිසා බොහෝ ගැමියෝ තමන්ගේ ගමේ අහවල් අහවල් තැන්වල මේ වර්ගය පිපෙනවා කියලා කියන්න පුලුවන් තරම් පරිසරය එක්ක බැදිල හිටියා .

බිම්මල් කියන්නෙ දිලීර ජාලයක්. බිම්මල පිපෙන්නෙ දිලීර ව්‍යාප්ත කරන්න අවශ්‍ය බීජානු නිපදවීමටයි. බොහෝ බිම්මල් පිපීම විශයෙහි වේයන් ඉතා විශාල සේවයක් සලසනවා. බොහෝ අය බිම්මල් ශාක විශේශයක් සේ වර්ග කලත් ශාකයක මූලික ලක්ශනයක් වුනු ප්‍රභාසංස්ලේෂණය බිම්මල් මගින් සිදු කරන්නෙ නෑ . බිම උප ස්ථරයක් ලෙස භාවිත කර පිපීම නිමිත්තෙන් බිම්මල යැයි නම් කලද බොහෝ බිම්මල් වර්ග පිපීමේ ස්ථරය වන්නේ දිරාගිය කොල රොඩු ලී හුඹස් පිදුරු කිරි සහිත ශාක කඳන් ආදියයි. බිම්මල පිපෙන ස්ථානයෙන් පෝශනය ලබාගෙන එන්සයිම පිට කරනව. ඒ නිසා බිම්මල් සත්ව ආහාර ගනයට අයිති වෙන්නෙත් නෑ . බිම්මල් අයිති දිලීර කියන ගනයට විතරයි . මේ වනවිට ග්‍රාමීය පරිසර වල පවා ස්භාවික හතු හිගවීමට හේතුව ත් මිනිසුන් දිරීර නාශක පසට එක් කිරීමයි.

By twenty20photos / Envato

ලොව පුරා බිම්මල් වර්ග දහස් ගණනක් පවතිනවා. ලංකාව ඇතුලු බොහෝ රටවල් ඒ ඒ රටවලට අයත් ස්භාවික බිම්මල් ආහාරයට ගන්නවා . ඒ අතරින් වර්ග 60 ක් විතර කෘතිම වගා ගෘහ වල වගා කෙරෙනව. බිම්මල් ආහාරයට ගැනීම ගැන අපිට බුදු සිරිතෙනුත් සාක්ශි ලැබෙනව . බුදුරජාණන්වහන්සේට අවසන් දානය පිලිගැන්වූ චුන්දකර්මාර පුත්‍රයා සූකරමද්දව නම් බිම්මලින් පිසූ ආහාරයක් පූජා කල බව සදහන්. පැරණි ඊජීප්තුවේ බිම්මල් රාජකීයන්ට පමණක් වෙන්වූ රාජකීය ආහාරයක්. ග්‍රීසියේ එය දෙවියන්ට වෙන්වූ ආහාරයක් ලෙසත් රෝමයේ යුද්ධ වලට යන සෙබලුන්ගේ ශක්තිය වඩවන ආහාරයක් ලෙසත් බිම්මල් භාවිත වු බවට සාක්ශි තියෙනවා .

ඉතින් හැරෙමු ශ්‍රීලාංකේය බිම්මල් සංස්කෘතිය දෙසට. දේශීය කැලෑ බිම්මල් වලට ලංකාවේ ආහාර සංස්කෘතිය තුල විශාල ස්ථානයක් හිමි වුනා . ඉදලෝලු, මහවැලි , හීන්වැලි, ලේන හතු ,ඌරු හතු ,රත්කැවිල්ල, තවලන් , පිදුරු හතු, කයිල ,කුකුල් බඩවැල් , ගොරකා හතු , කඳන් හතු , වේ හතු ,සූකිරි හතු , කම්බොක්කා හතු, මොණර හතු , රිට්ටා ආදී විශාල හතු ගබඩාවක් ලංකා පොලව සතුයි.

By liskinanora / Envato

හීන්වැලි හතු

ඉතා සියුම් විරිරුනු කිරි බිඳු සේ පෙනන මේ වර්ගය වැසි සමයෙන් පසු ඇතිවෙන පෑවීමේදී සෙවන සහිත වියලි කොල රොඩු දිරාපත් වූ ස්ථාන වල එක තැන ලක්ශ ගනනින් දක්නට ලැබේ. එය නෙලා ගැනිමට විශාල කාලයක් ගතවේ. වතුර අඩංගු නොකර තෙලෙන් පිසගැනීමෙන් ඉතා රසවත් ව්‍යංජනයක් සාදාගත හැක.

ඉදලෝලු හතු

ලංකාවේ ජනප්‍රියම ස්භාවික බිම්මල් වර්ගයයි. මාස් කන්නය සදහා වැසි වැටෙන සැප්තැම්බර් දෙසැම්බර් සමයේ අකුණු ගැසීමත් සමග වේ හුඹස් මතින් ඉදලෝලු පිපේ. එකම තුබස මත වාර්ශිකව ඉදලෝලු දක්නට ලැබේ.ප්‍රමාණයෙන් විශාල නිසා ඉදලෝලු වේලා පසුව ප්‍රයෝජනයට ගැනීමට ගබඩා කිරීමටත් ගැමියෝ උත්සුක වූහ .ඉදලෝලු බිම්මල් හතක් පිපී නැතිනම් එය කෑමට නොගනී.

පිදුරු හතු

කන්නයක ගොයම් පාගා වෙලේ පැත්තක අවු වැසි ලබමින් දිරා යන පිදුරු ගොඩවල් වල ඉතා ප්‍රනීත පිදුරු හතු වර්ධනය වේ. මෙය කෘතිමවද වගා කර ගැනීමට හැකි වී ඇති අතර ටින් කර වෙළඳපොළේ මිලට ගැනීමට හැකිවේ. කිරෙන් උයන පිදුරු බිම්මල් හොද්දත් මිරිසට හින්දවා සාදන පිදුරු බිම්මල් කරියත් ඉතා ජනප්‍රිය වේ.උදේ මෙන්ම සවස් යාමයේත් මෙය පිපේ

By composter-box / Envato

තවලන් හතු

වැසි කාලයට වතුරෙන් වැසී යන වැවු පිටිය රොන්මඩ තැන්පත් අති පෝශනීය සාරවත් පසකින් යුතු බිමකි. වැසි රහිත තත්ව යටතේ වැවු සිදී වැවු පිටිය වේලී ගිය කල මාස් කන්නය ආරම්භ කර වැටෙන වැස්සෙන් වැවුපිටි සිසාරා තවලම් හතු පිපෙන දසුන අතිශය සුන්දරය. අඟල් 6 ක් පමණ විශ්කම්භයක් සහිතව විශාලව පිපීම හේතුවෙන් සිත් පුරා විශාල අස්වැන්නක් ලබාගත හැක. එවා දුමේ දමා වේලා ඉතා රසවත් ව්‍යංජන සකසා ගනී.

ලේන හතු

කපා දැමූ රබර් ගස් මත විශාල වර්ශාවකට පසු ලේන හතු බහුලව වැඩේ. එය ලේනෙකුගේ අතක් මෙන් දිස් වෙන බැවින් ඒ නමින් හැදින්වේ. ඉතා සියුම් නිසා විශාල ප්‍රමනයක් නෙලා ගත යුතු වේ

මහවැලි හතු

මහවැලි මා වැලි නම් දෙකෙන්ම හැදින්වෙන මෙය හීන් වැලි හත්තේ විශාලිත රූපයක් මෙන් දිස් වෙයි. මහවැලි හතු වෙනත් වර්ග මෙන් එකතැන බහුලව නොවැඩෙන අතර තැන් තැන්වල තනිව වැඩේ. ලංකාවේ බොහෝ දේශගුනයන් තුලදී මහවැලි හතු දැක ගත හැක. පිපුණු ඉදලෝලු සහ මහවැලි හතු පෙනුමෙන් සමාන වුවත් එය වෙනස් වන්නේ ඉදලෝලු නටුව මත ඇති දුඹුරු පැහැ වලල්ල හෙතුවෙනි.

කයිල

මෙය වසර 8/10 කට වරක් පිපෙන දුර්ලභ වර්ගයක් වනුවේ එය පිපීමට නම් දැඩි නියං සමයක් අවශ්‍ය බැවිනි . දරුණු ඉඩෝරයක් කෙලවර වැටෙන වර්ශාවෙන් පසුව කයිල හට ගනී. කුඹුරු වල මෙය දක්නට හැකිවේ

ඌරු හතු

වර්ශාවකට පසු පොල් ගස් වල මුල් මත දක්නට ලැබෙන බර කිලෝ එක ඉක්මවූ දැවැන්ත හත්තකි. පවුලකට එකක් සෑහේ. එය නොවේලා ඉවූ කල ඌරු මස් බදු නිසා ඒනමින් හැදින්වේ.

මෙම බිම්මල් වර්ග ඉවීමේ ක්‍රම ගණනාවකි. එකල බිම්මල් ව්‍යංජන සාරවත් බොජුන් මේසයක අංගයක් වී තිබේ. මස් උයන ආකාරයට මිරිස් තුනපහ වලින් රස ගන්වා ඉදලෝලු , පිදුරු හතු ,තවලන් පිසින අතර ලිපේ නටන ඉදලෝලු මාලුවකින් නැගෙන උශ්නය රාජ උශ්ණයට සමාන යැයි ප්‍රවාදයක් පවතී. ලේනහතු උයන ක්‍රම ගණනාවකි. එය කරියක් මෙන්ම මැල්ලුමක් බැදුමක් මෙන්ම ලුණු මිරිසක් ලෙසද පිලියල කෙරේ. ලූනු උම්බලකඩ කරපිංචා කොච්චි සමග ලේන හතු ගලේ අඹරා පොල් තෙලින් තෙම්පරාදු කර එය සාදයි. එය දේශීය අනන්‍යතාවය සහිත රසවත් ආහාරයකි. බොහෝ බිම්මල් භාවිතයට පෙර තම්බා දිය හැරීම අත්‍යවශ්‍ය වේ. පෙර නිවැස්වල දුම් මැස්සේ පන් මල්ලක දුම් වදිමින් පවතින බිම්මල් මල්ලක් අනිවාර්ය විය. රෝග රැසකට මනා ගුන දෙන සොබාදහමෙන් ලැබෙන අගනා ත්‍යාගයක් සේ බිම්මල් හැදින්විය හැක.



Copyright © 2014-2022 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us