Helabima

ඉතිහාසයෙන් සැඟවුණු දස්කොන් ගේ සැබෑ පෙම්වතියගේ අනුවේදනීය අවසානය

රුවන්තිකා මධුශානි


කන්ද උඩරට යනු බලය වෙනුවෙන් නින්දිත සහ අවමානනීය කුමන්ත්‍රණ වැඩිම සංඛ්‍යාවක් ක්‍රියාත්මක වූ යුගයයි. විදේශික ආක්‍රමණ ස්වදේශීය කැරලි පාවා දීම් වලින් ගහන උඩරට කිරුළ වෙනුවෙන් නිරපරාදේ දිවි දුන් අහිංසකයෝ රැසකි. ඔවුන්ගේ කථා අනුවේදනීය වේ. හෙළ කිරුල වෙනුවෙන් පිරිමින්ගේ අතින් අත ගොස් තම දියණියන් දෙදෙනාද තම සැමියා අතින් දූශණය වනු දුටු කුසුමාසන කුමරිය තම සැමියාගේ රාජ පාක්ශික භාවය වෙනුවෙන් අකාලයේ කෲර ඉරණමකට මුහුණ දුන් ඇහැලේපොල කුමාරිහාමි ගැන අපි මින් පෙර සාකච්ඡා කළෙමු. බල අරගලයකට මැදිව අකාලයේ දිවි පිදූ තවත් උඩරට ශෝකාන්තයක් මේ ලිපියෙන් කියවමු.

කඩවසම් සරාගී ප්‍රංශ අසරුවා

ඒ 1672 වසරයි. ඒ වෙද්දී ලංකාවේ මුහුදුබඩ පලාත් වල පාලන බලය ලන්දේසීන් අත්පත් කරගෙන සිටි අතර කන්ද උඩරට රාජ්‍ය කරවූයේ දෙවන රාජසිංහ රජු ය. ප්‍රංශයේ සිට ප්‍රංශ අද්මිරාල් ද ලාහේ ගේ ප්‍රධානත්වයෙන් පැමිණි නෞකා කණ්ඩායමක් මුහුදේදී ලන්දේසීන් හා සටන් වැද ඔවුන් පරදවා ගෝකන්න තොටුපලින් ලංකාවට පිවිසි බව ඇසූ ලන්දේසි විරෝධී රාජසිංහ රජු ඔවුන් උඩරටට කැඳවා ආගන්තුක සත්කාර කරවීය. නෞකාවේ දෙවන නිලධාරියා වූ ගැස්කොන් මහනුවර දී දුටු නෙස්ක්‍රිඥා නම් පෘතුගීසි තරුණියක හා හාද වී කන්ද උඩරට ම රැඳුණු අතර නෞකා කන්ඩායම දිවයිනෙන් පිටත් විය. ගැස්කොන් නෙස්ක්‍රිඥා යුවලට උපන් දරුවා පේද්‍රෝ දි ගැස්කොන් විය. දරුවා කුඩා කල පටන් ශිල්ප ඉගනුමට පිරිවනට යැවිණි. රාජසිංහ රජුගේ මුනුබුරු නරේන්ද්‍රසිංහ කුමරුද ගැස්කොන් හා සම වයස් වීයෙන් ඔවුන් දැඩි සේ බැදුනු මිතුරන් බවට පත් වෙමින් යොවුන් වියට එළඹුනහ. පෘතුගීසි මවකගේ ප්‍රංශ පියකුගේ පැහැපත් සම ජාතීන් දෙකක සම්මිශ්‍රනයෙන් හිමිවූ මනා ආරෝහ පරිනාහ දේහය පිරිවෙනින් ප්‍රගුන කල කවීත්වය රාජ පාක්ශික භාවයෙන් ඔප් නැංවූ තේජසින් යුක්ත පේද්‍රො දි ගැස්කන් අසු පිට නැගී සෙංකඩගල සරමින් නිරන්තරයෙන් සිය කවීත්වය ප්‍රගුණ කරමින් ශාස්ත්‍රීය රචනයේ යෙදුනේය. ශ්‍රී නාමය නමින් ඔහු නරේන්ද්‍රසිංහ කුමරු වර්ණනා කර ලියූ කවි පොත කයේ නැටීම ආදී කාව්‍ය ග්‍රන්ථ ඔහු අතින් රචනා විය.

කෝන් ගහ මුල සිටි දරුවා කාගෙද

ඉහත දැක්වූයේ පේද්‍රෝ දි ගැස්කොන් ගේ උපත පිළිබඳව පිලිගත් මතයයි. එහෙත් ඇතම් තැනක පැවසෙන්නේ පෘතුගීසින් කන්ද උඩරටට පැමිණි අවස්ථාවේ සිංහල කාන්තාවකට කල බලහත්කාරකමකින් පිළිසිඳගැනීමට ලක් වූ දරුවෙකු බිහි කිරීමෙන් අනතුරුව ඇය එම දරුවා කෝන් ගසක් පාමුල තබා ගිය බවයි. පෘතුගීසි පියාගෙන් ලද සුන්දර පෙනුම හේතුවෙන් රජ මාලිගයට රැගෙන ගිය දරුවා සම වියේ උන් කුමරු සමග ඇතිදැඩි වී දැඩි මිත්‍රත්වයකින් කටයුතු කල බවත් ඇතැම් තැනක දැක්වේ. කෝන් ගස පාමුල උන් දරුවා ගස් කෝන් බවට පත් වූ බව එහි පැවසේ

By Haru1 / Envato

සෙල්ලම් නිරිදු

1707 දී දෙවන විමලධර්මසූරිය රජුගේ මරණයෙන් පසු කිරුලේ උරුමය පිලිදව ගැටලු පැන නැගුනත් රජුට දාව අග බිසවට දරුවන් නොසිටි බැවින් යකඩ දෝලියක සහ සිංහල කුමරියක වු වත්තේගම මුතුකුඩ වලව්වේ මුතුකුඩ කුමාරිහාමි ට උපන් පුත් නරේන්ද්‍රසිංහ කුමරුට කිරුළ හිමිවිය. මවු පිය දෙපාර්ශවයම සිංහල ලෙයින් යුත් අවසන් රජ උරුමක්කරු ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ නමින් කිරුළු පලදිද්දී 17 වියැතිය. රජ වීද මිතුරු කම් අත් නොහැරිනි.ගැස්කන් රජුගේ සෙවනැල්ල විය. නරේන්ද්‍රසිංහ රජු යොවුන් මදයෙන් මත්ව නිරන්තරයෙන් ක්ශනික දැඩි තීරණ ගනිමින් කෙලි දෙලෙන් අධික ලෙස ස්ත්‍රී ඇසුරට යොමු වෙමින් මග තොට දකින ස්ත්‍රීන් පවා බලහත්කාරයෙන් යහනට කැඳවා ගනිමින් මත්පැන් පානය කරමින් රජෙකුට නුසුදුසු පාලනයක් සිදු කිරීම නිසා හේ සෙල්ලම් නිරිදු නමින් ප්‍රකට විය.

කන්ද උඩරට සසල කල සුන්දරිය ප්‍රමිලා

1708 දී ඉන්දියාවේ මධුරා පුරයේ ප්‍රාදේශීය රජෙකු වූ පිට්ටි නායක්කාර් ගේ අති සුන්දර දියණිය සිය පවුල පිටින්ම කන්ද උඩරටට කැඳවූ රජු ඇය අග බිසව කර සරණ පාවා ගත්තේ උඩරට රදලයන්දේ සංඝ්‍යා වහන්සේලාගේ දැඩි විරෝධය මධ්‍යයේයි. ඇය ප්‍රමිලා නම් විය. ප්‍රමිලා සමග ඇගේ දෙමාපියන් ළදරු සොහොයුරා ඇතුලු ඥාතීන් අති විශාල පිරිසක් නැවු නැග කන්ද උඩ රටට පැමිණි අතර ඔවුන් එතෙක් කලක් කන්ද උඩරට පැවති හෙළ සිරිත් අභියෝගයට ලක් කර වත්මන් බූවැලිකඩ ප්‍රදේශයේ කුමාරුප්පු වීදිය හෙවත් මලබාර් වීදිය නමින් නම් කරවාගෙන එහි පදිංචි වූහ.

ප්‍රමිලා ගේ ඒ ළදරු සොයුරා පසු කලක උඩරට කිරුල දරා ශ්‍රී විජය රාජසිංහ නමින් රජවූ බව කිව යුතුමය .

කැරැල්ලක්

රජුගේ කිරුළු පැළඳීම සිදුවී දෙවසරක් ගත වද්දී ඉන්දීය වඩුග රදලයින් නිසා දැඩි සේ පීඩාවට පත්ව උන් සිංහල රදලයින් තුළින්ම කැලැල්ලක් මතු විය. රජු මැරීමට කිහිප වරක්ම උත්සාහ ගැනිණි. වරක් මහවැලි ගගේ රජු දියට පැන නාන තොටුපලේ උල් සිටුවා රජු මරණයට පත් කිරීමට උත්සහයක් දැරුනි. රජුගේ මිතුරු පේද්‍රෝ ගැස්කොන් නිසා එය වැලකිනි. වරක් සෙංකඩගල මහ මළුවේ සංවිධානය කල ඇත් පොරයකදී රජු මැරවීමට තැත් කලත් එය ව්‍යාර්ථ විය. අවසානයේ එවකට මහ අධිකාරම් යාල්ගොඩ මහ දිසාවේ රජ මාලිගය වටලා රජු මැරීමට කල කැරැල්ල සාර්ථක ව මැඩ පැවැත්වීමට පේද්‍රෝ ගැස්කොන් සමත් විය.

දස්කොන් මහ අධිකාරම

රජුගේ මහ අධිකාරම් යාල්ගොඩ නිලමේගේ කුමන්ත්‍රණය හෙලිවී හිස් ගැසුම් කෑ නිසා ඔප්පු කරන ලද මනා රාජ පාක්ශික භාවය විශ්වාසනීයත්වය නිසාම පේද්‍රෝ ගැස්කොන් මහා අධිකාරම් ධූරයට පත් කෙරිනි. වඩුගයන් රාජ්‍ය පාලනයට කරන ඇගිලි ගැසීම් වලින් පීඩිතව සිටි සිංහල නිලමේවරුන්ට ප්‍රංශ අසරුවා මහ අධිකාරම් ධූරයට පත් වීම ඉවසිය නොහැකි පහරක් විය. එබැවින් දස්කොන් ගේ කොනක් අල්වා ගැනීමේ මෙහෙයුම භාරව සිටියෝ බොහෝ වූහ

සක්මන් මලුවේදී බැදි හාද

සෙල්ලම් නිරිදුන්ට මාලිගා තුනකි. හඟුරන්කෙත කුන්ඩසාලේ සහ සෙංකඩගල මාලිගා තිබූ අතර හගුරන්කෙත මාලිගයේ අග බිසව ප්‍රමිලා ඉතා ශෝකයෙන් තනිව වාසය කරද්දී සෙල්ලක්කාර නරේන්ද්‍රසිංහ රජු සෙංකඩගල මාලිගයේ වාසය කලේය . ඇයගේ දුක සැප බැලීමට නිරන්තරයෙන් මාලිගා අතර ගමන් කිරීමට සිදු වූයේ රජුගේ අතිශය හිතෛෂී ගැස්කොන්ටමය. ගැස්කොන් කවියෙකි සෞන්දර්‍යවේදියෙකි. කඩවසම් දේහදාරී තරුණයකි. රජුට දාව මොණරවිල වලව්වේ කුමාරිහාමිට යකඩ දෝලියකට මෙන්ම සාමාන්‍ය ගැහැනියකටත් රජුට දාව දරුවන් උපන්නහ. රජු දුටු දුටු ගැහැණිය සමග යහන් ගත වෙමින් සෙල්ලක්කාරී දිවියක් ගෙවද්දී තනි වූ ප්‍රමිලාවට තම ශෝකය වචන වලට පෙරලීමට සිටියේ ගැස්කොන් ය.

යලිත් කුමන්ත්‍රණයක්

යාල්ගොඩ බන්ඩාර ඇතුලු රදලයන් මරා දමා අධිකාරම් ධූරයට පත් වූ පේද්‍රෝ ගැස්කොන් පිළිබඳවත් නායක්කාර් වංශිකයින් පිළිබඳවත් උඩරට රඳළයන්ගේ තිබූ දැඩි අකමැත්ත පුපුරවා යැවීමට තැනක් ලෙස ඔවුන් තෝරා ගත්තේ රජුගේ නියමයෙන් ප්‍රමිලාගේ සුවදුක් බැලීමට එන දස්කොන් ගේ ගමනයි. ප්‍රමිලා දස්කොන් අයථා සම්බන්ධයක සුව විදින බව රජුට කනෙන් කොනෙන් ආරංචි වීමට සලස්වා බීජයක් තැන්පත් කිරීමට ඔවුහු උත්සුක වූහ. මෙහි මූලික සැලැස්ම වැලිවිට සරණංකර හිමිගේ ගුරු හිමියන් වූ සූරියගොඩ හිමියන්ගේ වූ අතර ක්‍රියාත්මක කෙරුවේ දෙවන අධිකාරම් ධූරය දැරූ ලෙවුකේ බන්ඩාරයි.

කන්ද උඩ ගිනි ඇවිලවූ මල් බලිය

අනෙකුත් යකඩ දෝලියන් ගැබ්බර වෙද්දී රන් දෝලිය හිස් වූ කුසින් යුතුව මාසයෙන් මාසයට කඳුළු සැලුවාය. ප්‍රමිලාවගේ මවුපියන් ගෙ මතය වූයේ ඇයට ඇති අපලයක් ගෙවීමට බලි යාතු කර්මයක් කල යුතු බවයි. අනාගත ඔටුන්න හිමි කුමරු බිහි කරවීමට සූදානම් වන යාතු කර්මය ඉහලින්ම සංවිධානය විය. එම යාගයට බොහෝ පිළිම ඇඹිය යුතු විය. ආතුරයා වූ ප්‍රමිලාවගේ සර්ව් සම පිලිමයක්ද ඇඹීම ඇරඹිණි. රජුගේ හිතෛෂියා වශයෙන් සහ සෞන්දර්‍යවේදි කලාකරුවෙකු වූ ගැස්කොන් නිරන්තරයෙන් මේ ඇඹීම් බැලීමට පැමිණියේය. එහිදී ප්‍රමිලාව හා සමව නිර්මිත මල් බලියේ කලවයක් මත උපන් ලපයක් සලකුණු කිරීමට ඔහුගෙන් උපදෙස් ලැබිණි.

By Haru1 / Envato

සක්මන් මළුව පාලු වූ වගයි

රදලයන් විසින් රජුගේ හිතේ සියුම්ව තැන්පත් කල සැකයේ බීජය පුපුරා යන අවස්ථාව උදා විනි. මල් බලියේ කලවයේ උපන් ලපය ගැස්කොන් ගේ නියමයෙන් ඇදුනු බව ඇසූ සෙල්ලම් නිරිදු කෝපාවිශ්ඨ විය ඒ ක්ශනිකව පේද්‍රෝ දි ගැස්කන් සිර කෙරිනි. සිරෙහි හුන් ගැස්කොන් තම නිර්දෝශී භාවය පිලිබදව පවසා නෝක්කාඩු මාලය රචනා කර රජුට යැව්වුවත් කුමන්ත්‍රණය සංවිධානය කල ලෙවුකේ බංඩාර එය තමා සන්තක කර ගත්තේය.

මෙ අතර පුන්නී නම් තරුණියක රජ වාසලට පැමිණ ප්‍රමිලා බිසව සහ දස්කොන් අධිකාරම් අතර කිසිදු බැඳීමක් නැති බවත් , තමා අන් කවරකු වත් නොව පේද්‍රෝ දි ගැස්කොන් ගේ ගතත් සිතත් අත්පත් කරගත් පෙම්වතිය බවත් දන්වා සිටියාය. මතින් මත්ව සිහි විකල්ව හුන් රජු ඇයව නිරුවත් කර නගරය මැදින් රැගෙන ගොස් මහලු රොඩියෙකුට පාවා දුන්නේය. ඒ වනවිට පේද්‍රෝ ගැස්කොන් ට දාව ඇය ගැබ් ගෙන සිටියාය. මේ සියල්ල අතරේ තම ලගම හිතෛෂියා බෝගම්බර වධක භූමියේදී හිස ගසා මරා දැමීමට නියෝග කෙරිනි. කලාත්මක හදවතක් තිබූ සුන්දර මිනිසාගේ හිස සෙංකඩගල පොලව සිපගත්තේය..

කුමන්ත්‍රණය හෙළි වෙයි

මල් බලියේ උපන් ලපය පිළිබඳ පුවතේ සත්‍ය අසත්‍ය රජුට දැනගැනීමට ලැබෙන්නේ මේ අතරය. ගැස්කොන් ගෙන් හිස් වු මහ අධිකාරම් තනතුරෙහි වෙසෙන්නේ කුමන්ත්‍රනයේ මෙහෙයුම් කරු බව රජු දැනගන්නේ නෝක්කාඩු මාලයත් රජු අතට පත්වී එය කියවීමෙන් අනතුරුවය . පේද්‍රො දි ගැස්කොන් කිසිදා විශ්වාසය කඩ නොකළ බවත් බිසවගේ නිර්දෝශී භාවයත් තේරුම් ගත් රජු යලිත් කෝපයෙන් උමතුවිය. කුමන්ත්‍රණය ඇති කල සූරියගොඩ උන්නාන්සේ හිස ගසා මරා දමා විහාර දේපළ රාජ සන්තක කෙරිනි. සූරියගොඩ හිමිගේ නෑ පරපුර සහ මහ අධිකාරම් ලෙවුකේ ජීවිතාන්තය දක්වා අලගල්ල කන්ද පාමුල මහ හෙල් ගම සිර කෙරිනි. රජු ඉතා කෙටි කලකින් මිය යන තෙක්ම ගැස්කොන් අහිමි වීමේ ශෝකයෙන් පීඩා විදි බව සදහන් වේ.

කලාකාමියාගේ පෙම්වතිය

තම පෙම්වතා ගේ නිර්දෝශී භාවය වෙනුවෙන් ඉදිරිපත් වී නගරය මැද නිරුවත්ව අවමන් විදි පුන්නී මහලු රොඩියෙකුට පාවා දී කුල කතකට කල හැකි උපරිම අවමානය සිදු කල බව පෙර පැවසීමි. මහනුවර ම ඈත දනව්වක රොඩීන් හා වාසය කල ඇය පෙර්ද්‍රෝ දි ගැස්කන් මහ අධිකාරම් ට දාව කුස ඔත් දරුවාද දරාගෙන රොඩී පිරිස සමග වත්මන් ගල්කිස්ස ට ගමන් කළාය. එහි රොඩී ගම්මානයක රැඳුණු ඈ නිසි මස් අවසානයේ ප්‍රංශ අසරුවාගේ පැහැපත් සමත් සුන්දර රූපයත් උරුම කරගත් දියණියක ප්‍රසූත කළාය. ඇය ලොවීනා නම් විය. ලංකාවේ ආණ්ඩුකාරවරයකු වූ තෝමස් මෙට්ලන්ඩ් ආණ්ඩුකාරවරයා මෝහනයට පත් කර ඔහු හා පෙමින් බැදුනු ලොවීනා වන්නේ එම දියණියයි.



Copyright © 2014-2022 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us