Helabima

ලෝක ගුවන් සේවා ඉතිහාසය තම දිවිය පුදා උඩු යටිකුරු කළ හිරිමල් කෙල්ල නිර්ජා

රුවන්තිකා මධුශානි


බිහිසුණු ත්‍රස්ත ප්‍රහාරය 

ඒ 1986 යේ සැප්තැම්බර් 5 වෙනිදායි. සුපුරුදු පරිදි මුම්බායි සිට නිවුයෝක් දක්වා පියාසර කිරීමට නියමිත ව තිබූ Pan AM Flight 73 මගී ගුවන් යානය මගීන් 353 දෙනෙකු සහ කාර්‍ය මන්ඩළය 10 දෙනෙකුන් සමග මුම්බායි නුවරින් සිය පියා සැරිය ඇරඹීය. ගුවන් යානය සිරිත් පරිදි කරච්චි නින්ජ ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ගොඩ බා ස්වල්ප වේලාවකින් යලි පිටත් වීමට නියමිත ව තිබිණි. යානයට ගොඩවන මගීන්ට අසුන් පැනවීමෙහි කාර්‍යබහුල වූ ගුවන් සේවක කාර්ය මන්ඩලයේ ප්‍රධානී එනම් Puser තනතුරේ වුන් සුරූපී ගුවන් සේවිකාව තම සවන වැකි අසාමාන්‍ය ශබ්දය කුමක්දැයි හිස ඔසවා යානයේ වීදුරු කවුලුවකින් පිටත බැලුවාය. ගුවන් තොට ආරක්ශකයින් සේ සැරසුණු සිව් දෙනෙක් ස්වයංක්‍රීය ගිනිඅවි වලින් හතර අතට වෙඩි තබමින් ගුවන්‍ යානයට පිවිසෙනු ඈ දුටුවාය.

නියමුවෝ ඉවත පැන යති 

තත්පර දශමයක් වත් අපතේ නොහළ ප්‍රධාන ගුවන් සේවිකාව වහා ගුවන් යානයේ අභ්‍යන්තර ඉන්ටර්කොම් දුරකථනයෙන් රහස් කේතයක් මගින් යානයේ නියමු මැදිරිය දැනුවත් කළාය. ක්ශනිකව ක්‍රියාත්මක වූ ඇමරිකානු ජාතික ගුවන් නියමුවා සහය නියමුවා සහ ගුවන් ඉංජිනේරුවරයා රහස් දොරකින් යානයෙන් පිටතට පනිද්දී ත්‍රස්තවාදීන් ගුවන් යානයට පිවිස මගීන් බිය ගැන්වීම අරඹා තිබිණි.

එසේ ගුවන් යානය තුලට පිවිස යානය අත්පත් කරගත්තේ ලිබියානු අබු නිදල් නම් මරාගෙන මැරෙන ත්‍රස්ත කල්ලියක ත්‍රස්තවාදීන් සිවු දෙනෙකි. ත්‍රස්ථයන්ගේ සැලැස්ම වූයේ ගුවන් නියමු කුටියට කඩා වැඩී තුවක්කු බලෙන් නියමුවන් ලවා තමාට රිසි ස්ථානයකට ගුවන් යානය ධාවනය කර යානය පැහැර ගැනීමයි. එහෙත් ඔවුන් යානයට පිවිසෙද්දීම ජේ‍යශ්ඨ ගුවන් සේවිකාවගේ ක්‍රියාත්මක වීම නිසා ඔවුන්ගේ එම උත්සහය ව්‍යර්ථ විය. ඉන් වියරු වැටුණු ත්‍රස්තයෝ භීතියෙන් ඇළලී සිටින මගීන්ගේ විලාප මැද කිහිප දෙනෙක්ම වෙඩි තබා ඝාතනය කෙරුනු අතර ගුවන් සේවක පිරිසෙන් 9 දෙනෙකු අසුන් වලට තබා ගැට ගැසූහ. ප්‍රධාන ගුවන් සේවිකාව සීක් ජාතික යුවතියක වු බැවින් ඇයව ගැට නොගැසූ අතර ත්‍රස්තවාදීන් ඇයගේ ලාබාල පෙනුම නිසා ඇය බියපත් ව ඔවුන්ට අවනත වේ යැයි සිතූහ. ඇයට එතැන් පටන් වැඩ අධික විය. බියපත් මගීන්ට ඇය සිනහවෙන් සංග්‍රහ කරමින් කෝපි සහ ආහාර සැපයූවාය. බියපත් මගීන් අස්වසන්නට දරුවන් වැළඳ ගන්නට ඈ කටයුතු කළාය.

indianvisionaries by Wiki Commons

ඇමරිකානු මගින් 41ක් මරු අභියස 

මේ වෙද්දී ත්‍රස්ථයෝ පාකිස්තාන රජයට බල කරමින් යානයට අවශ්‍ය නියමුවන් ලබා දෙන්නැයි ඉල්ලමින් මගීන් ප්‍රාණ ඇපයට තබාගෙන සිටි අතර පැයෙන් පැය එම ඉල්ලීම ඉටු නොවෙද්දී ඔවුහු කෝපයට පත් වූහ. මේ වෙද්දී ඇමරිකානුවන් කෙරෙහි තද වෛරයකින් පසුවන ත්‍රස්ථයෝ ඇමරිකානු මගීන් හදුනාගෙන මරා දමනු වස් සියලුම මගීන්ගේ ගමන් බලපත් එකකු කරන ලෙස ප්‍රධාන ගුවන් සේවිකාවට අණ කලහ. මෙහිදී තත්වය තේරුම් ගෙන ඉතා බුද්ධිමත් ව කටයුතු කල ඇය ඇමරිකානු මගීන් ගේ බලපත් යානයේ කාපට් අතරත් කුණු බදුන් වලත් සැගවීමට සමත් වූ නිසා ඇමරිකානුවන්ගේ ජීවිත ආරක්ෂා විය. ඇය කෙමෙන් තවත් උපක්‍රමයක් ක්‍රියාත්මක කිරීම ඇරඹුවාය. මගීන් අධ්‍යනය කර කාය ශක්තියෙන් සහ මානසික අතින් දැනුවත් බවින් ඉහළින්ම සිටි මගියා තෝරා ගැනීමට ඇය සමත් වූවාය. ගුවන් යානයක ඇති හදිසි පිටවීම් දොරටු විවෘත කරන ආකාරය සදහන් පත්‍රිකාවක් සඟරාවක් තුලට බහා උපක්‍රමශීලිව එය ඉහත මගියා අතට පත් කිරීමට ඇය ක්‍රියා කළාය.

wikipedia

''Get out run''

මේ වනවිට යානය මගීන් සමග ප්‍රාණ ඇපයට ගෙන පැය 16 ක් ගතවී තිබිණි. යානනේ ඉන්ධන අවසන් ව යානයේ විදුලිය විසන්ධි විය. ත්‍රස්ථයෝ කලබල වූහ. අදුරේ ඔවුනට නොපෙනන සේ ක්ශනිකව එක හදිසි පිටවීම් දොරටුවක් විවර කර රබර් දෝනාවක් පහලට යොමු කල ඇය මහ හඩෙන් " Get out run " යැයි කෑ ගසමින් මගීන් එම රබර් දෝනාවට තල්ලු කරමින් ගුවන් යානයෙන් එලියට යැවීමට කටයුතු කළාය ඉන් ඇතිවූ කලබලය මැද ඉහත සදහන් ශක්තිමත් මගියාද අනෙක් දොරටුව විවර කර රබර් දෝනාව පහලට යොමු කරන ලදී..

ලොව නිර්භිතම  කාන්තාව 

ඇය එනම් ඒ ගුවන් සේවිකාව ලෝකයම ගරු කරන වීරවරියක බවට පත් වන්නේ මෙතැනිනි. හදිසි දොර විවර කල සැනින් මුලින්ම එලියට පැන දිවි ගලවා ගැනීමට හොදටම හැකියාව තිබියදී ඇය අවසන් මගියාද යානයෙන් පිට කරන තුරු එලියට නොබසිමියි අදිටනින් සියලුම මගීන් එලියට යැවීමට ක්‍රියා කළාය. ඒ ඒ වෙද්දී වියරු වැටී හුන් ත්‍රස්තවාදීන් හතර අතට වෙඩි තබද්දී වෙඩි තම සිරුර පසාරු කරගෙන යද්දීය. මගී දරුවන් තිදෙනෙක් සිය ගතින් ආවරණය කරගෙන එලියට තල්ලු කිරීමට උත්සාහ කරද්දි ඇගේ සිරුර පුරාවටම වෙඩි වර්ශාවක් පතිත වූ අතර ඇය අඩපණ වූවාය. එකල්හිම යානාවට පිවිසි පාකිස්තාන කමාන්ඩෝ භටයන් ත්‍රස්තවාදීන් මරා දැමීමට කටයුතු කරන ලදී. මගීන් 19 කට දිවි අහිමි වී තිබිණි. සිදුවීම ඇරඹි මොහොතේ පටන් ක්ශනික බුද්ධිමත් තීරණ ගනිමින් රාජකාරිය දේව කාරියකට එහා සලකා දිවි පරදුවට තබා තමා කිසිදිනක නොහදුනන මිනිසුන් පිරිසක් වෙනුවෙන් කැපවූ ඇය ශ්‍රේශ්ඨ වීරවරියක ලෙස නෙත් පියා ගත්තාය..

ඇය කව්ද

සිය රාජකාරිය එතැනින් එහා ගොස් මනුශ්‍ය වර්ගයා වෙනුවෙන් දිවි පරදුවට තබා ඇය කල මෙහෙවර ලොව නන් දෙස පැතිරිණි. ඉන්දියාවේ සිවිල් පුද්ගලයකුට පිදෙන ඉහළම ගෞරව සම්මානය වන අශෝක චක්‍රය ඇයගේ නාමය වෙනුවෙන් ඇගේ පියා වන හරිශ් භානට් ට සහා මව වන රාමා බානට් ට .පිරි නැමිණි. ඇය අශෝක චක්‍රයෙන් පිදුම් ලද ඉන්දියාවෙ මුල්ම කාන්තාව වේ. එමෙන්ම ඉන්දියාවේ එම ගෞරවය දිනූ ලාබාලතම පුද්ගලයාද ඇයයි. 1963 නේ සැප්තැම්බර් 7 වැනිදා උපන් ඇය නිර්ජා බානට් නම් විය. ත්‍රස්ත ප්‍රහාරය හමුවේ මියයන විට ඇය 23 හැවිරිදි වූවාය. මේ සිදුවීම සිදුවූයේ ඇගේ 23 වන උපන්දිනයට දින දෙකකට පෙර වීම විශෙර්ශත්වයකි.

යානයේ ගමන් කල ඇමරිකානු මගීන් වෙනුවෙන් ඈ කල අනගි මෙහෙවර ගැන නිව්යෝක් ටයිම්ස් හී කතු වැකියක් පවා ලියැවුනි. බ්‍රිතාන්‍ය රජයේ ගුවන් ආරක්ෂක පදනම ( Flight safety foundation ) මගින් පිරිනැමෙන Herasm Awards 1887 සම්මානය සහ Justice for crime සම්මානය නිර්ජා බානට් ගේ නමට පිරිනැමිනි. පාකිස්තානය ද කම්බා ඊ ඉසානියාත් (මානව වර්ගයා වෙනුවෙන් දැක්වූ අප්‍රතිහත කරුණාව අගයමින් ) ලබාදෙන සම්මානය පුදකලහ. එංගලන්තය ඇය වෙනුවෙන් භාරත් වීර් සම්මානය පුද කලේය . 2004 වසරේදී ඈ වෙනුවට ඉන්දීය රජය තැපැල් මුද්දරයක් නිකුත් කරන ලදී. 2016 වසරෙ මේ වීර දියණියගේ පුවත අලලා නිර්ජා නමින් චිත්‍රපටයක් එලිදැක්විනි. එය වාර්ථා බිද හෙලමින් තිරගත වූ අගනා නිර්මාණයක් වූ අතර සෝනම් කපූර් නිර්ජාගේ භූමිකාව රඟ දැක්වූවාය.

indiatoday

කටුක විවාහයක තනිවූ ඇය 

ඉන්දියාවෙ චන්දිගර් හී ගුරුවරයෙකු වූ පියෙකුට දාව උපන් නිර්ජා අතිශය රූමත් විය. ඇය සිය පවුල සමග මුම්බායි වෙත සංක්‍රමණය වී මුම්බායේ ශාන්ත සේවියර් සරසවියෙන් උපාධිය ලබා ගත්තාය. අගනා රූ සපුව නිසාම නිරූපණ ශිල්පිනියක වීමට ආරාධනා ලදතත් සාමාන්‍ය ඉන්දීය තරුණියකගේ ඉරණමට මුහුණ දී ඇය 1985 හේ මාර්තු 21 යෝජිත මනාලයකු හා විවාහ වූවාය.

දෙමසක කටුක විවාහයකින් පසු ඈ පෙරලා නැවත සිය පියාගේ නිවසට පැමිණෙන්නේ ඇයගේ දෑවැද්ද සැමියාගේ පාර්ශවයට ප්‍රමානවත් නොවීම නිසායි.එහිදී නිර්ජාට නැවතත් නිරූපණ ශිල්පය සදහා ආරාධනා ලැබුනු අතර ඇය එය භාර ගත්තාය. ඒ ඇසූ නිර්ජාගේ සැමියා ඒ සියල්ල නවතා තමාගේ කොන්දේසි වලට එකග නම් නැවත තමා වෙත පැමිනෙන්නැයි නිර්ජාට පැවසුවත් ඇගේ පවුලේ අය එසේ කොන්දේසි වලට යටත් වීමට සූදානම් නොවූ හෙයින් නිර්ජා සැමියාගෙන් දික්කසාද වුවාය.

ගුවන් සේවයට 

මේ අතරේ පෑන් ඈම් ගුවන් සේවය සුරූපී ඉන්දියානු තරුණියන් ගුවන් සේවිකාවන් ලෙස බඳවා ගැනීමෙ තීරණයක් ගෙන තිබූ අතර නිර්ජාද එයට අයැදුම් කළාය. එයින් සමත් වූ ඇය ඇමරිකාවේ මියෑම් හී ගුවන් සේවිකා පුහුණුවට සහභාගි වී එහිදී ප්‍රදර්ශනය කල සුන්දර රූපය දැනුම දක්ශතා මත ප්‍රධාන ගුවන් සේවිකා (purser) තනතුරට පත් වූවාය.

ඇය තුරුලේ දිවි ගලවා ගත් දරුවා 

ඇය අවසානයේ වෙඩි වරුසා මැද ඇමරිකානු දරුවන් තිදෙනෙක් එකට සිය සිරුරට තුරුල් කරගෙන වෙඩි වලට තම ගත සිදුරු වෙද්දී ඒ දරුවන් ආරක්ෂා කලා. දෛවයේ පුදුමාකාර සිදුවීමක් ලෙස එම ඇයගේ තුරුලේදී දිවි ගලවා ගත් එක දරුවෙකු අද ලෝකයේ ප්‍රධානතම ගුවන් සමාගමක ගුවන් කපිතාන් වරයකි. ඔහු තම දිවි බේරා දුන් නිර්ජා නිති සිහි කරන බව පවසයි. හදිසි දොරටුව විවෘත කරමින් Get Out Run යනුවෙන් නිර්ජා කල කෑ ගැසීම යානයේ සිට දිවි ගලවා ගත්තෝ අදටත් තම සවන්හි නිම්නාද වන බව පවසති.



Copyright © 2014-2022 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us