Helabima

2023 අලුත් ආණ්ඩුවක් - රට ගොඩ නගන්න TNA ජනපති සමඟ එකතු වෙලා

මෙවන් රිටිගල


රට තුළ මතුවී ඇති ඉන්ධන පෝලිම හමුවේ කඩදාසි හිඟය තවදුරටත් උත්සන්නවී ඇත . ඒ, පවතින ඩොලර් හිඟය හේතුවෙනි. කඩදාසි ආනයනය අතිශය සීමා සහිත වීමත් සමඟ වෙළඳපොලේ කඩදාසි තොග ඉතා අවම මට්ටමක පවතී. එමෙන්ම ඒවායේ මිලද දිනෙන් දින ඉහළ යන අයුරු දැක ගැනීමට ඇත. දැඩි කඩදාසි හිගය සහ අසීමිත ලෙස මුල ඉහළ යාම නිසා විශේෂයෙන්ම පුවත්පත් මුද්‍රණය සම්පූර්ණයෙන්ම නවතා දැමීමට සිදුවන තත්වයක් පවතින අතර හෙට නිකුත් කිරීමට තිබුණු දිවයින පුවත්පත නිකුත් නොකරණ අතර ලේකස් හවුස් ප්‍රකාශනයක් වූ සරසවිය පුවත්පතේ පසුගිය කලාපය අත්හිටුවා තිබිණි.

“රට ගොඩනැගීම සඳහා එක්ව කටයුතු කරමු” යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දෙමළ ජාතික සන්ධානය සමග පවසා ඇත. තමා සමස්ත රටවැසියන්ගේ නායකයා ලෙස සියලු ජනතාව කෙරෙහි එක ලෙස අවධානය යොමු කරන බවත් දෙමළ ජාතික සන්ධානය සමඟ පැවති සාකච්ඡාවේදී ජනාධිපති සඳහන් කර තිබේ. දීර්ඝ කාලයක් රඳවාගෙන සිටි සැකකරුවන් මුදාහැරීම, නඩු සහ චෝදනා ගොනු කර නැති සැකකරුවන් පිළිබඳ ඉදිරි කටයුතු කිරීම, සත්‍ය සෙවීමේ යාන්ත්‍රණය ඇරඹීම, ත්‍රස්ත විරෝධී පනත සංශෝධනය කිරීම, අතුරුදන්වූවන් පිළිබඳ ගැටලු විසඳීම ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධයෙන් රජය ක්‍රියා කරමින් ඇති බව මෙහිදී ජනාධිපති පවසා තිබේ. 

තවදුරටත් එක්ව කටයුතු කිරීමෙන් උතුරු – නැගෙනහිර ඇතුළු රටේ සමස්ත ජනතා අරමුණු ඉටු කර, රට සංවර්ධනය කරා ගෙන යා හැකි බවද එක්සත් ශ්‍රී ලංකාවක දේශපාලන විසඳුමක් සමඟින් රට සෞභාග්‍යය කරා යාම තම අපේක්ෂාව බව ද දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් පවසා ඇති අතර රටක් ලෙස අප එකතු විය යුතු බවත් එක රටක්, එක ජාතියක් ලෙස ක්‍රියා කරමින් පවතින තත්ත්වයෙන් රට මුදා ගැනීම සියලු පාර්ශ්වයන්ගේ වගකීම බව සම්බන්ධන් මෙහිදී සඳහන් කර ඇති අතර ශ්‍රී ලංකාව පෙරදිග ස්විස්ටර්ලන්තය බවට පත් වනු දැකීමට තමන් කැමැත්තෙන් පසුවන බව ද සම්බන්ධන් වැඩි දුරටත් මෙහිදී සඳහන් කර තිබේ.

දීර්ඝ කාලයක් අත්අඩංගුවට ගෙන රැඳවුම්භාරයේ සිටින පිරිස් සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි පියවර, දීර්ඝ කාලයක් වගා සඳහා යොදා ගත් ඉඩම් ඒ සඳහා නිදහස් කිරීම, අතුරුදන් වූ පුද්ගලයන් පිළිබඳ විමර්ශනයක් සිදු කිරීම, නව ව්‍යවස්ථාව දෙමළ සහ සිංහල භාෂාවන්ට පරිවර්තනයෙන් පසු ඊට එක් විය යුතු සංශෝධන සාකච්ඡා කිරීම, උතුරු – නැගෙනහිර සංවර්ධන අරමුදලක් පිහිටුවීම යන කරුණු සම්බන්ධයෙන් මෙම සාකච්චාවේදී අවධානයට යොමු වී ඇත.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, චමල් රාජපක්ෂ, අලී සබ්‍රි, ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන්, චාල්ස් නිර්මලනාදන්, සිවඥානම් ශ්‍රීදරන්, ශානක්‍යයන් රාජපුත්‍තිරන්, තවරාජා කලෙයි අර්සන්, සෙල්වම් අඩෙයිකලනාදන්, එස්. නොහාර්තලිංගම්, කෝවින්දන් කරුණාගරන් යන මහත්වරු මේ අවස්ථාවට එක් ව සිටියහ.

කෙරවළපිටියත් වහලා 

ප්‍රමාණවත් ඉන්ධන තොග සහ ජල විදුලි බලය නිපදවන ජලාශවල ජල මට්ටම සීඝ්‍ර ලෙස පහත බැසීම හේතුවෙන් මේ වන විට ක්‍රියාත්මක වන දිනකට පැය හය හමාරක් වන විදුලි කප්පාදුව ලබන සතිය වන විට දිනකට පැය දහයක් විය හැකි බව විදුලිබල මණ්ඩල ආරංචි මාර්ග සඳහන් කරයි. විදුලිබල මණ්ඩල ප්‍රකාශකයෙකු කියා සිටියේ මේ වන විට දිවයිනේ සියලු ම ජල විදුලි බලාගාර ආශිත ජලාශවල ජල මට්ටම් සීඝ්‍රයෙන් පහත වැටී ඇති බවය. ඇතැම් ජලාශවල ජල මට්ටම් අනුව විදුලි බලය නිපදවීම සිදු කළ හැකි වන්නේ තවත් දින ගණනාවක් පමණක් බවයි ඔහු සඳහන් කළේය.

මේ අතර දිවයිනට අඛණ්ඩව ඩීසල් සැපයුම් සිදු නොවන තත්ත්වයක් මත ඩීසල් සහ දැවි තෙල් භාවිත කරමින් ක්‍රියාත්මක කෙරෙන විදුලි ජනන යන්ත්‍ර භාවිතයත් අත්හැර දමන්නට සිදු වී තිබේ. අද දින කෙරවලපිටිය දැවි තෙල් බලාගාරයේ විදුලි බල උත්පාදන කටයුතු තාවකාලිකව අත්හිටුවන්නට සිදු වූයේ එම විදුලි බලාගාරයට අවශ්‍ය කරන දැවිතෙල් ප්‍රමාණවත් තොග නොලැබීම හේතුවෙනි.

ඉක්මනින් 113 අහිමි කර උද්දච්ච ආණ්ඩුව ගෙදර යවනවා – විමල්…

මෙවැනි උද්දච්ච –අවලස්සන ඇමරිකානුවකු මුදල් අමාත්‍ය ධුරයෙහි තබාගෙන මේ රටට තවදුරටත් ඉදිරියට යා නොහැකි බවත් තමන් ඇතුළු පක්ෂ 11ක එකමුතුව ඉතාම ඉක්මනින් මේ ආණ්ඩුවට තිබෙන 113ක බහුතරය නැතිකර, මේ උද්දච්ච පාලනය අවසන් කරන බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා අවධාරණය පැවසුවේය. විමල් වීරවංශ මහතා මෙසේද සඳහන් කළේය. පවතින ආර්ථික අර්බුදයෙන් එළියට ඒමේ මාවතක් ‘මුළු රටම හරි මගට’ නමින් අපි ආණ්ඩුවට පෙන්වා දුන්නා. එහි ප්‍රතිඵලයක් වශයෙන් අමාත්‍යවරුන් දෙදෙනෙක් ආණ්ඩුවෙන් ඉවත් කෙරුණා. අපි එය සතුටින් භාරගත්තා. පක්ෂ 11ක එකමුතුව විදිහට ඉහත කී ‘මුළු රටම හරි මගට’ ජාතික වැඩපිළිවෙළ මහනාහිමිවරුන්ට පිළිගැන්වීමටයි අද දින මහනුවරට පැමිණියේ. එමගින් අපේ ඉදිරි වැඩපිළිවෙළ මහනාහිමිවරුන්ට අපි ඉදිරිපත් කරනු ලැබුවා.”

“ආණ්ඩුව පත්ව ඇති අර්බුදයෙන් ගොඩඒමට හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යොදාගන්නා බවක් ඊයේ සර්ව පාක්ෂික සමුළුවේදී දැකගත හැකි වුණා. ? පිළිතුර:- රනිල් වික්‍රමසිංහ මහත්තයාව පාවිච්චි කරනවාද, එහෙම නැත්නම් රනිල් වික්‍රමසිංහ මහත්තයා කැමැත්තෙන් පාවිච්චි වෙනවාද, කියන එක මෙතැන වැදගත් නැහැ. කොහොම නමුත් එම සර්ව පාක්ෂික සමුළුවේදීත් මුදල් අමාත්‍යවරයාගේ හැසිරීමෙන් පෙන්වූ දෙයයි වැදගත්. සර්ව පාක්ෂික සමුළුවක් කැඳවන්නේ හැමෝම එකතු වෙලා, සමගි වෙලා වැඩ කරන්න. එකතු වෙලා, සමගි වෙලා වැඩ කිරීම කෙසේ වෙතත් හිටපු අග්‍රාමාත්‍යවරයකුට ‘ඔයා’ කියා කතා කරන්න තරම් තමන් උද්දච්ච මිනිහෙක් බව මුදල් අමාත්‍යවරයා එහිදී පෙන්වූවා. එතැනදීත් මුදල් අමාත්‍යවරයාට අවශ්‍ය සමගිය නොවෙයි ගැටුම. මෙහෙම අවලස්සන, උද්දච්ච ඇමරිකානුවකු තියාගෙන අපේ රටට ඉදිරියට යන්න බැහැ. අපි ඉතාම ඉක්මනින් මේ ආණ්ඩුවට තිබෙන 113ක බහුතරය නැති කරනවා, ඔය උද්දච්ච පාලනය අවසන් කිරීමට.

විපක්ෂයේ ඇතැමුන් ඔබතුමන්ලාට චෝදනා කරනවා, ‘එයාලා කොන්ත්‍රාත්තුවක් ඉටු කරන්නේ. බැසිල් රාජපක්ෂට ගහලා 2025 දී නාමල් රාජපක්ෂව ගෙන එන්නයි හදන්නේ’ කියා…

පිළිතුර:- අනේ මේ ඔය මොන රාජපක්ෂ කෙනෙක්වත් මේ රටේ පාලනතන්ත්‍රයට ගෙනඒමට අපි නම් ජීවිතේට කඩේ යන්න බලාපොරොත්තුවක් නැහැ. අපි මෙහෙම ක්‍රියාමාර්ගයක් ගැනීම නිසා විපක්ෂයේ ඇතැමුන් තමන්ට තිබෙන ‘මාකට් ෂෙයා’ එකට පහර වදීවි කියා බිය වී සිටින නිසයි එහෙම බොරු පද හදන්නේ. අපි මේ රටට ආදරේ නිසයි දේශපාලනය කරන්නේ, අපේ තනතුරු ගැන වද නොවෙන්නේ, තනතුරු අත්හරින මානසිකත්වයක් අපට තිබෙන්නේ.

මේ රට වෙනත් රටක කොලනියක් වෙන්න – මේ රටේ සම්පත් ටික විජාතිකයන්ට බිලි දෙන්න ඉඩ දී අපට නිහඩව සිටීමට බැහැ. ඒ නිසයි අපි මේ අවංක ක්‍රියාමාර්ග ගන්නේ. එහෙම ක්‍රියාමාර්ග ගනිද්දිත් කවුරුහරි ඔය වගේ ගොන් කතා කියනවා නම් ඒ අයගෙන් ඇසිය යුතුයි, ‘ඇයි ඔයාලා ඔය තරම් ගොන්?’ කියා.

2019 ජනාධිපතිවරණ වේදිකාවේදී කියූ දේවල්වලට ඔබතුමන්ලා ජනතාවගෙන් සමාව ඉල්ලන්න ඕනේ නේද?

පිළිතුර:- ජනතාවගෙන් සමාව ඉල්ලන්න ඕනේ මේ වැරැද්ද දැකදැක ඔහේ සිටියානම්. ඒ වැරැද්දට එරෙහිව නැගිටපු අපට සමාව ඉල්ලන්න අවශ්‍යතාවක් නැහැ. අපි එදත් කිව්වා, අපි පත් කරන ආණ්ඩුව වැරැද්දක් කළොත් ඊට එරෙහිව හිටගන්නවා, කියා. එහෙම කියලා ඒක නොකර හිටියොත් තමයි සමාව ගත යුත්තේ. සජිත් ප්‍රේමදාස හදන්න ගිය ‘සුරංගනා ලෝකයට’ වඩා මේ හැදිච්ච සුරංගනා ලෝකය භයානකකමින් අඩුයි. එයා හදන්න ගිය සුරංගනා ලෝකය හැදුණා නම් මෙහෙමවත් රට ඉතිරි වෙන්නේ නැහැ.”

රටේ ඉහල පෙලේ දේශපාලන පවුලක සාමාජිකයෙක් ඉහල තනතුරක් ඉල්ලලා. මෙලෙස ඉල්ලු තනතුර සම්බන්දයෙන් පසුව ඔහු පවුලේ අය සමඟ කතා කර ඇති අතර ඊට කේන්ති ගිය පවුලේ සාමාජිකයෙක් තමන්ට අයිති ගිණි අවියෙන් අහසට ගිණි තබා ඇති බවත් වාර්තා වේ. මේ රටේ සිටින ප්‍රබල පෙළේ ව්‍යාපාරිකයෙක් ප්‍රධාන පක්ෂයක් සමඟ පොදු අපේක්ෂකයෙක් ලෙස දේශපාලන කරළියට පැමිණීමට නියමිත බව සඳහන් වේ. එලෙස ඔහු ඉදිරිපත් කළ යෝජනාව එම පක්ෂය පිළිගෙන ඇති බවත් ඒ අනුව ඔවුන් සංධානයක් ලෙසින් ඉදිරි ජනාධිපතිවරණයට එළැඹීමට නියමිත බවත් වාර්තා වේ.

පසුගියදා සමඟි ජනබල වේගය සංවිධානය කළ විරෝධතාවය ගැන ඔවුන් සමාලෝචනයක් කිරීමට සුදානම් වූ බව පක්ෂ ආරංචි මාර්ග පැවසුවේය. එලෙස පැවැත්වූ විරෝධතාවේදී පාඨලී චම්පික රණවකට කතාවක් නොදී සිටීමට සජබේ නායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කර තිබු අතර ඒ ගැන මෙම සමාලෝචන රැස්වීමේදී සාකච්චා වී තිබිණි. එම අවස්ථාවේ රාජිත සේනාරත්න "අපි අරගලයක් කරනවා නම් එකට අරගල කරන්න ඕන.එක්කෙනෙකුට කතාවක් දෙනවා. තව කෙනෙකුට කතාවක් දෙන්නේ නැහැ. එහෙම කරන්න බැහැ. හැමෝටම කතාවක් දෙන්න ඕන. සිංහල විතරක් නෙමෙයි දෙමල මුස්ලිම් ජනතාව නියෝජනය කරන අයටත් කතාවක් දෙන්න ඕන. අපි මොනවා හරි කරනවා නම් ප්‍රජාත්‍රන්තවාදීව කටයුතු කළ යුතුයි. ප්‍රජාත්‍රන්තවාදයක් නැත්නම් මම මේ වගේ තැනක ඉදලා වැඩක් නැහැ. රාජිත සේනාරත්න මේ විදිහට පවසා ඇත. 

ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකේ ඉවත් වීමේ සුදානමක් ඇති බව මේ දින වල වාර්තා වේ. ඒ අනුව සමහර මන්ත්‍රීවරුන් ප්‍රසිද්ධියේ එළියේ විවේචන ඉදිරිපත් කරමින් සිටින අතර මෙලෙස විවේචන ඉදිරිපත් කරන මන්ත්‍රීවරුන්ටත් ඉක්මණින්ම ධූරයෙන් ඉවත් වීමට සිදු විය හැකි බවද වාර්තා වේ. 

 



Copyright © 2014-2022 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us