Helabima

එක දවසෙන් දිය ඇලි 8 ක් බලමුද..

රුවන්තිකා මධුශානි


පරිසරය රස විදින්න විනෝද වෙන්න චාරිකා යන්න අපි හැමෝම ආස උනත් කාර්‍යබහුල ජීවන රටාව ඒ ආසාවල් වලට වැට බදිනව. ඒ නිසා අපි හිතුවා එක දවසෙන් දිය ඇලි අටක් බලන්න පුලුවන් සංචාරයක් ගැන ඔබට කියන්න .

කොහෙද මේ පාරාදීසය

මේ සදහා මහනුවර දිස්ත්‍රික්කයේ වත්තෙගම පන්විල කියන්නෙ දියඇලි පාරාදීසයක් . ලංකාවේ අති සංවේදී පරිසර පද්ධතියකට අයත් නකල්ස් කදු මායිමේ පිහිටා තිබෙන මේ ප්‍රදේශය වෙනස්ම දේශගුනයකට වගේම සුන්දර පරිසරයකට හිමිකම් කියන මේ වෙද්දී සංචාරකයන් අතර ඉතා ජනප්‍රිය ගමනාන්තයක්. මූලිකවම මහවැලි ගගේ අතු ශාඛාවක් වන හුළු ගඟ ඇල්ලයි මොරගහ ඔයයි තමයි මේ දිය ඇලි නිර්මානය කරන්නෙ. නකල්ස් ගොම්බානිය කදු වලින් පෝශනය වෙලා පන්විල බඹරැල්ල ගෝමරේ ප්‍රදේශයේ දි එක එක තැන් වලදි එකිනෙකට ඉතාමත් වෙනස් සුන්දරත්වයක් ලබා දෙන මේ ඇලි බලන්න කොළඹ හෝ ලංකාවේ බොහෝ පලාත් වල ඉදලා එක දවසෙන් ඇවිල්ල යන්න පුලුවන් . ඒකට හේතුව තමයි මේ දිය ඇලි ඉතා කුඩා වපසරියක ස්ථාන ගත වෙලා තිබීම . මහියංගණ නුවර පාරෙ දිගන හන්දියෙන් මඩවල පාරෙ ගිහින් ඔබට ලේසියෙන්ම වත්තෙගම බඹරැල්ලට ලගා වෙන්න පුලුවන්

රහසෙන් වැටෙන රහස් ඇල්ල ( Rahas alla)

මහනුවර ඉදලා වත්තෙගම ට ගිහින් වත්තෙගම පන්විල පාරෙ ටික දුරක් ඒ කියන්නෙ කිලෝමීටර් 1ක් වගේ ගියාම රවන් ඇල පාලම අසල පාරෙ අයිනෙම ඔබට රහස් ඇල්ලට පිවිසෙන ස්ථානය දකින්න පුලුවන් . රාස් ඇල්ල කියලා ත් හදුන්වන්නෙ මේ ඇල්ලමයි. ගල් දෙබොක්කාවක් අස්සෙන් රහසෙන් වැටෙන මේ ඇල්ල කොටස් දෙකයි. දෙවන කොටස වැටෙන්නෙ පාලම යටින්. මේ ඇල්ල මීටර් 15 ක් විතර උස කුඩා ඇල්ලක් උනත් ඒකෙ ජල තටාකය ඉතා ගැඹුරු අන්තරාදායක ස්ථානයක් . රාජසිංහ රජතුමා සතුරු ආක්‍රමණ වලදි මේ ඇල්ලට ඉහල කැලේ සැගවී සිටි බවටත් සාක්ශි තියෙනවා ..

By Facebook / Ruwanthika Mdushani 

නගරයක් මැද තියන එකම දිය ඇල්ල හුලුගග ඇල්ල ( Hulugaga alla)

පන්විල ඉදලා කිලෝමීටර් 5 ක් ගියාම හුළු ගඟ ටවුන් එක මුනගැහෙනව. හරිම පුංචි පහසුකම් නැති ටවුන් එකක් . නිධානයක් උඩ ඔහේ බලාගෙන ඉන්න ටවුන් එකක් කියලා තමයි හිතුනේ. ඒ ටවුන් එක මැද තියන පාලම යටින් තමයි හුලුගග ඇල්ල වැටෙන්නෙ. ලංකාවේ නගරයක් මැද තියන එකම දිය ඇල්ල තමයි මේ. පාලම ළඟ තියන තැපැල් කන්තෝරුව ළඟින් පහලට යන්න හදලා තියන පඩි පෙලේ ගිහින් හුලුගග ඇල්ල නැරඹුම් මධ්‍යස්ථානයට යන්න පුලුවන් . ඒ වැටෙන් පැනලා ඇල්ල ගාවට යන්න ගොඩාක් අය පෙලඹිලා හිටියා ත් ඒ ලිස්සන සුලු ස්භාවය එක්ක ලොකු අනතුරක් වෙන්න පුලුවන් මීටර් 75 විතර උස මනස්කාන්ත හුලුගග ඇල්ල ඉතා පුලුල් ඇල්ලක්.

by amazinglanka

හුදකලා වූ කොස්ගම ඇල්ල (kosgama alla)

හුළු ගඟ ඇල්ල බලලා ඉවර වෙලා එතනින්ම තියන බබරැල්ල පාරෙ හරියට ම මීටර් 500 ක් යද්දී යටත් විජිත සමයේ හදවපු වානේ පාලම හමු වෙනව එතනින් පහලට බැහැල ගියාම කොස්ගම ඇල්ල බලන්න පුලුවන් . ඒ ප්‍රදේශයට කොස් ගම කියන නිසා තමයි ඇල්ලත් ඒ නමින් හදුන්වන්නෙ. මේක මීටර් 15- 20 ක් වගේ වෙන පොඩි ඇල්ලක්. ඒත් ඇත්තෙන්ම දැන් නම් ඇල්ලෙ තත්වය සෝචනීයයි. හේතුව තමයි මේ පාලමට යටින් තියන ඇල්ල පෝශනය කරන ජල මාර්ගය දෙකට බෙදලා ජල විදුලි ව්‍යාපෘතියක් සදහා පාවිච්චි කරන්න අරං . ඒ නිසා ඇල්ලට ලැබෙන්නෙ ඉතා සුලු ජල දහරාවක් විතරයි .. ලංකා දිය ඇලි කවුන්සිලයේ දිය ඇලි වාර්ථාවෙත් කොස්ගම ඇල්ල ගැන සටහනක් නෑ ..

 By Facebook / Thilini Hansika 

තේවතු අතරෙන් ගිහින් තලිය වැටුණු ඇල්ල ලගට.. ( Thaliya watunu alla)

හුලුගග ටවුන් එකේ ඉද්දි කිලෝමීටර් 2 ක් ගියාම තියන අලකොලේ වතු යාය හරහා කිලෝමීටරයක් විතර ගියාම ඔයාට අලකොලේ ඇල්ල හෙවත් තලිය වැටුණු ඇල්ල මුනගැහෙනව. ඔයාට ටික දුරක් පයින් යනව උනත් මේ තලියවැටුනු ඇල්ලෙ සුන්දරත්වය දැක්කම ඒ මහන්සිය අමතක වෙනව .මේ ඇල්ලත් කොටස් දෙකකට තමයි ගලා හැලෙන්නෙ. මේ ඇල්ලට යන මාර්ගය දැඩි බෑවුම් සහිත පටු පාරක් නිසා හරි පරිස්සමෙන් ධාවනය කරන්න ඕනි.

By Facebook / Thilini Hansika 

එක ළඟ ඇලි දෙකක් ගලන ජෝඩු ඇල්ල ( Jodu alla)

බබරැල්ලෙ ඉදලා ගෝමරේ හන්දියෙන් හැරිලා තවලන්තැන්න පැත්තට යද්දී පාර අයිනෙ ඉදලා ම බලාගන්න පුලුවන් විදියට තේ වතු මැදින් ජෝඩු ඇල්ල දර්ශනය වෙනව . එකම දිය පහරක් දෙපැත්තට බෙදිල හරියට නිවුන්නු දෙන්නෙක් වගේ සමානව අඩි 45 ක් විතර පහලට වැටිලා තමයි ජෝඩු ඇල්ල නිර්මානය වෙන්නෙ. තේ වතු මැද අඩි පාරෙන් ගිහින් ඇල්ල පාමුලටම යන්න පුලුවන් .ගමේ අය කියන්නෙ මොර ගහ ඔයේ වතුර තත්වෙ නිතරම වෙනස් වෙන නිසා ඇල්ල ළඟදි ප්‍රවේශමෙන් කියලා . පරණ රුපියල් 100 නෝට්ටුවෙ තියෙන්නෙ ත් මෙන්න මේ ජෝඩු ඇල්ල .

By Facebook 

සාරි පොටක් වගේ වැටෙන සාරි ඇල්ලෙ ලස්සන ( saree alla)

බබරැල්ල බස් නැවතුම ලගින් උඩට තියන කොන්ක්‍රීට් පාරේ  දිගේ කිලෝමීටර් එකක් විතර ගියාම පාරෙ අයිනෙම ඔයාට සාරි ඇල්ල බලන්න පුලුවන් .කාන්තාවකගෙ ඇගේ එතුනු සාරියක් පහලට වැටෙනව වගේ තමයි මේ ඇල්ල ඇත්තෙන්ම දර්ශනය වෙන්නෙ. ඇල්ල ලගටම කිසිම අපහසුවක් නැතුව ගිහින් සාරි ඇල්ලෙන් නාන්නත් පුලුවන් මොකද මෙතන කිසිම අවධානමක් නෑ .

By Facebook / Thilini Hansika 

වීසා නැතුව යමු ලෙබනන් ඇල්ල බලන්න (Lebanon alla)

හුලුගග ටවුන් එකේ ඉදලා පන්විල බබරැල්ල පාරේ ගියාම ඔයාට ලෙබනන් වතු යාය දකින්න පුලුවන් . මේ තේ වත්තෙ දි ඔයාට තවත් දියඇලි 2 ක් දකිනව ලැබෙනව . මුලින්ම දකින්න ලැබෙන ඇල්ල ලෙබනන් ඇල්ල අංක 1 කියලා හදුන්වනව. හුලුගග පෝශනය කරන මොරගහ ඔයෙන්ම තමයි මේ ඇල්ලත් නිර්මානය වෙන්නෙ. ටිකක් දුශ්කර මාර්ගෙක පා ගමනකින් පස්සෙ තමයි ඔයාට මේ ඇල්ල මුන ගැහෙන්නෙ.හැබැයි ගඟ අයිනෙන්ම වැටුණු පාරක් දිගේ ඇවිදගන යන සුන්දර අත්දැකීම ඔයාට විදින්න අවස්ථාව ලැබෙනව . අඩි 15 -20ක් වගේ උස පලලින් වැඩි ඇල්ලක් කියලා මේක හඳුන්වන්න පුලුවන් . අංක එක ඇල්ල පහු කරලා තව ටික දුරකින් ලෙබනන් ඇල්ල අංක 2 බලාගන්න පුලුවන් . මේක දෙවනියට තිබ්බත් පලවෙනි ඇල්ලටත් වඩා උසින් යුක්තයි. අඩි 30 විතර මේ ඇල්ල උසයි.

මේ ඇලි ඔක්කොම එක දවසින් පැය කීපයකින් බලාගන්න පුලුවන් . පන්විල බබරැල්ල හරි වෙනස් දේශගුණයක් තියන පරිසර කලාපයක් හරි වැහිබර කාලගුනයක් , කූඩැල්ලොත් එමටයි. ඒතරම් දියුනුවට පත් ප්‍රදේශයක් නොවෙන නිසා ඔයාට අවශ්‍ය දේවල් ආහාර පාන වගේ නම් එහෙන් බලාපොරොත්තු වෙන්න අමාරුයි. ඉතින් අපිට කලින් ගිය පරිසර රසවතුන් දිය ඇලි තියන තැන් ගූගල් මැප් එකේ හරියට ම සලකුණු කරන්න කාරුනික වෙලා නිසා ගූගල් ගෙ උදවු බය නැතුව ලබාගන පරිසරය විනාශ නොකර සතුටෙන් ගිහින් එන්න කියලා ඉල්ලනව..

 



Copyright © 2014-2022 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us