Helabima

අවුරුදු මේසේ සරසන කැවිලි වර්ග 50 ක්..

බිනරි ඇතුගල


සිංහල හින්දු අලුත් අවුරුද්ද දොරකඩටම ඇව්ල්ල තියන මේ වෙලාවෙ අවුරුද්දෙ වැදගත්ම අංගයක් ගැන විස්තරයක් ඔබට අරං එන්න අපි තීරණය කරා. ඒ තමයි අවුරුදු රස ගන්වන කැවිලි වර්නනාව. ඉතා පොහොසත් ආහාර සංස්කෘතියක උරුම කරුවො උනු ශ්‍රී ලාංකික අපේ බක්මහ මංගල්ලය හැඩ කරන්න කැවිලි වර්ග ගනනාවක් තියනව. ඒව නිවැරැදි ව පිලියල කර ගත්තොත් ශරීරයට අවශ්‍ය සියලුම ශක්තිය පෝශනය ලැබෙන විදියට තමයි ඒ වට්ටෝරු සැකසිලා තියන්නෙ. මේ බොහෝ කැවිලි වලට ඉන්දීය ආභාශය ලැබී තියනව ඒවගේම ලංදේසි පෘතුගීසි ද්‍රවිඩ මුස්ලිම් සියලුම සංස්කෘතීන් වල ආභාශයෙන් අපේ කැවිලි මේස වර්ණවත් වෙලා

කැවිලි වල අග රැජිණ තනතුර ලැබෙන්නේ කොන්ඩ කැවුම් වලට .කැවුම් වර්ග ගනනාවක් අතරේ කිරුල දැරූ කොන්ඩ කැවුම් වලට තියන්නෙ දීර්ඝ ඉතිහාසයක්. බුද්ධ කාලයට පෙර දක්වාම කැවුම් ඉතිහාසය දිව යනව . කුස රජු ඔහුගේ පෙර භවයක රහතන් වහන්සේ කෙනෙක් ට කැවුම් නොදී අපහාස කිරීම , උම්මග්ග ජාතකයේ මහොශධ පන්ඩිතයා අමරා දේවීගෙ ඉහුම් පිහුම් හැකියාව නිරීක්ෂණය කිරීමට කැවුම් උයන්නැයි අණ කිරීම , කැවුම් ගැන අපිට තියන පැරණිම සාක්ශි. පන්ඩුකාභය කුමරු උපන් දිනයේම මාලිගයෙන් පිට කර යැව්වේත් කැවුම් කූඩයක සගවායි. ඒවගේම ථූපවංශයේ රුවන්වැලිසෑයේ ඉදිකිරීම් සේවකයන්ට අතුරු පසට කැවුම් දුන් බව සදහන් වීම හෝපිටිගම සෙල් ලිපියේ රජ මාලිගයේ රාජකීය වට්ටෝරුවේ කැවුම් අඩංගු බව පැවසීම , කැවුම් ගැන සදහන් ලිඛිත සාක්ශි වේ

කැවුම් ගැන ලංකාවට පැමිණි මුල්ම බටහිරයන්ගේද සාක්ශි පවතී. ඕලන්ද කරුවෝ ලක් දිවට පැමිණි විට ඔවුන්ට කැවුම් පිලිගැන්වූ බවත් එය කා ප්‍රීතියෙන් පිනා ගොස් මේවා නම් මිනිස් අතකින් සෑදිය නොහැකිය . මේවා ගසකින් නෙලා ගත්තේදැයි ඇසූ බව පැවසේ.රොබට් නොක්ස් ද සිය ග්‍රන්ථයේ සිංහල කැවිලි වලට වෙනම පරිච්ඡේදයක් වෙන් කර ඇත

කැවුම් වරුණ 

ඉතින් බලමු මේ කැවුම් වර්ග ගැන .සහල් පිටි පැනි සමග මුසු කර සාදා ගන්නා උකු දියරය සෙමින් පැහෙන තෙල් තාච්චියකට වත් කර කූරකින් කොන්ඩය ගනිමින් ඉතා සීරුවට කොන්ඩ කැවුම් බැදිය යුතුය . කොන්ඩ කැවුම් පිසීමේ හැකියාව කාන්තාවකට ආභරණයක් බව පෙර කල පිලි ගැනිනි. එය ඉවසීම හිස අත දෙකම එකට මෙහෙයවමින් කල යුතු කර්තව්‍යයක් ලෙස සැලකේ. කොන්ඩා කැවුම් මිශ්‍රනය කොන්ඩය නොසිටින සේ වත් කර තනන්නේ හැදි කැවුම් ය. කැවුම් මිශ්‍රනයට බැදගත් තල දැමූ විට එය තල කැවුම් වේ. පැනිපොල් අති රස මිශ්‍රනයෙහි මැදි කොට බැද ගැනීමෙන් පොල් කැවුම් සාදනු ලැබේ.

වර්තමානයේ කොන්ඩා කැවුමෙහි කොන්ඩය ගැනීමට නොදන්නා අය කොන්ඩය ඇති අච්චුවකට කැවුම් මිශ්‍රනය වත් කර අච්චු කැවුම් සාදයි. තවත් රසවත් කැවුම් වර්ගයක් නම් තල් කැවුම් ය. තල් වැවෙන ප්‍රදේශ වල ජනයා ඉදුනු තල් ගෙඩියේ යුශය පිටි සමග මුසු කර තෙලෙන් බැද ඒවා තනයි.බොහෝ විට උතුරු මැද පලාත් ආශ්‍රිතව බහුල වේ.

කොන්ඩ කැවුම් මිශ්‍රනයට තවත් සහල් පිටි එක් කර ඝන භාවයට පත් කර ඉන් කුඩා කොටස් ගෙන පැතලි කර බැද ගැනීමෙන් අතිරස කැවුම් සාදාගනී. මේ පිලිබදව රොබට් නොක්ස් ගේ ග්‍රන්ථයේද සදහන් වේ. අති රස කැවුම් බැදීමට පෙර එහි සවු ඇට අතුරා ගත් කල එය බකිණි නම් වේ.. කොන්ඩා කැවුම් සේම මුන් කැවුම්ද ජනප්‍රිය වේ. බැදගත් මුං ඇට පිටි හාල් පිටි සමග පැණි මුසු කර මුං කැවුම් තනා ගනී. ඒවා චතුරස්‍ර හැඩයට කපා බැද ගන්නා අතර ඉහත හාල්පිටි මුංපිටි මුසුව කුඩා ගුලි ලෙස සාදා බැද ගැනීමෙන් මුං ගුලි තනා ගනී. බැදගත් මුං පියලි පැණි පොල් සමග මුසු කර ගුලි ගසා උකු පිටි මිශ්‍රනයක ගිල්වා බැදගැනීමෙන් තනන්නේ නාරං කැවුම් ය. මුං කැවුම් වට්ටෝරුවටම මුං පිටි වෙනුවට බැදගත් කවුපි පිටි යෙදීමෙන් කවුපි කැවුම් තනා ගනු ලැබේ.. මෙනේරි වනේ ලා කොටා පැනි හා මුසු කොට තනා ගන්නේ මෙනේරි කැවුම් ය.

By .theasianparent

හිත අලවා කමු අලුවා 

සිංහල අවුරුදු මේසයේ අලුවා වර්ග රැසකි. ඉන් මුල් තැන කජු අලුවා වලට හිමිය. සිහින්ව අඹරා හලාගත් සහල් පිටි බැදගෙන පැනි සමග මුසු කර යහමින් කජු දමා තනන්නේ කජු අලුවාය. කජු වෙනුවට තල ඇට යෙදුවොත් එය තල අලුවා වේ. පොල් පැණි කිතුල් පැනි වෙනුවට සීනි වලින් සෑදූ පැණියෙන් සාදා ගන්නා අලුවා සීනි අලුවා වේ.සහල් දුඹුරු පැහැ වනතුරු බැද සාදා ගන්නේ මීගමු අලුවාය .කිරි අලුවා පොල් කිරි සහ සීනි කකාරා එයට මදක් පාන්පිටි මුසු කර තනා ගනී. මෙකල මිල්ක්මේඩ් අලුවා නම් අලුත්ම වර්ගයක් ද දක්නට ලැබේ. එය ටින් කල උකු කිරි වලින් සාදා ගනී. බැදගත් රුලං සහ පොල් , පැණි හා මුසු කර තනා ගන්නේ රුලං අලුවාය.

සිංහල අලුත් අවුරුදු මේසය සරසන අපිටම ආවේනික ඉතිහාසයක් සහිත කැවිල්ලක් ලෙස වැලිතලප හදින්විය හැක. ලොව මුල්ම වරට ආහාර වට්ටෝරුවක් කවියෙන් ඉදිරිපත් කරන්නේ වැලිතලප වට්ටෝරුව යැයි සිතේ.කැකුලු සහල් පිටියෙන් සහ කිතුල් පැණියෙන් වැලිතලප සාදා ගනී. වැලිතලප වලට ඇතැමුන් සවු දොදොල් යැයි ව්‍යවහාර කලත් සවු දොදොල් සුදුපැහැ වැලිතලප විශේශයකි.තල දෝසි පැණි මුසු නොකර සීනි සහ බැදගත් තල මගින් සාදාගනී. ඒවා කොටු කැපූ කල තල දෝසි ලෙසත් ගුලි කල විට තල බෝල ලෙසත් හදුන්වයි.. එහෙත් තල කැරලි අමු තල කිතුල් හකුරු සමග වනේ ලා කෙටීමෙන් සාදනු ලැබේ. පොල් දෝසි ඇතමුන් පොල් ටොෆී ලෙසත් හදුන්වයි. එය වර්නවත් නිසා අවුරුදු මේසය විචිත්‍රවත් කරයි. අල දෝසි තැම්බූ අර්තාපල් වලින්ද දන්දිල දෝසි තැම්බූ දන්දිල වලින්ද සාදා ගනී. කිරි දෝසි හෙවත් කිරි ටොෆී වර්ග කිහිපයකි .පොල් කිරි සීනි සමග කකාරා පොල් කිරි දෝසිත් උකු කිරි සීනි සමග කකාරා කිරි ටොෆිත් එලකිරි සීනි සමග කකාරා එලකිරි ටොෆීත් සාදනු ලැබේ. ඒවා නිසි පදම දැන සෑදිය යුතු කැවිලි වේ. ඉගුරු දෝසිත් මේ අතර අමතක කිරීමට නොහැක. ඉගුරු පල්පය පැනි සමග කකාරා ඉගුරු දෝසි සාදයි.

කරුස් කුරුස් කමුද කොකිස් 

කොකිස් නැති අවුරුදු කෑම මේසයක් ලංකාවේ නැත. කොකිස් පහසුවෙන් තැනිය හැකි රසවත් කැවිල්ලකි.සහල් පිටි කිරෙන් මුසු කොට කොකිස් අච්චුවක් භාවිතයෙන් එය සාදයි. ස්කැනේඩියානු රටවල රොසෙට් කුකීස් ලෙස හදුන්වන කැවිල්ල ලන්දේසීන් ගේ ආගමනය සමග කුකීස් කොකිස් වී ලංකාවේ කැවිලි මේස සරසයි. මේ වෙද්දී කරපිංචා කොකිස් කුරක්කන් කොකිස් මිල්ක්මේඩ් කොකිස් ලෙස කොකිස් වර්ග කිහිපයක්ම අපි අතර පවතී..මුරුක්කුත් සහල් පිටි කඩල පිටි ආදී පිටි වර්ග කැකෑරූ පොල් කිරි වලින් අනා අච්චුවෙන් තෙලට මිරිකා පැණි රසට මෙන්ම මිරිස් රසටද සාදා ගන්නා කැවිල්ලකි. වාශ්පයෙන් තැම්බූ පාන්පිටි පොල් කිරෙන් අනා අච්චුවෙන් මුරුක්කු සේ තෙලට මිරිකා වර්නවත් පැනියෙන් හැඩ කර සාදන්නේ සිල්ලරයි. පාන් පිටි වතුරින් අනා ඒවා ඉතා තුනී කර පතුරු සේ නවා බැද ලොන්ඩ පතුරු සාදන අතර ඒවා වෛවර්ණ පැණි වලින් රසවත් කරනු ලබයි. හැලප අවුරුදු කෑම මේසයේ මෙන්ම එදිනදා තේ මේසය සරසන සුලභ කැවිල්ලකි. කුරහන් පිටි පැනිපොල් මුසුවක් වන මෙහි විශේශත්වය බොහෝ කැවිලි තෙලෙන් බදිද්දී හැලප වාශ්පයෙන් තැම්බීමයි. හැලප කැන්ද කොලයෙන් එතීමෙන් එහි ලාක්ශනික රසය සුවද ආරක්ෂා උවත් කැන්ද නැති ප්‍රදේශ වල කෙසල් කොල මිදි කොල එයට භාවිත වේ. සහල් පිටි පැනි මුසු කර මදක් පැසවීමට සලස්වා ඒ දියාරු මිශ්‍රනය පොල් කටු මත ඇතුරූ කැන්ද කොල මතට වත් කර වාශ්පයෙන් තම්බා වන්ඩු ආප්ප සාදයි. එයත් නිතරම උදෑසන ආහාරය පිනිස භාවිත වන කැවිල්ලකි. සීනක්කු වට්ටෝරුවත් එයට ඉතා සමාන වන අතර එයට හකුරු භාවිත කරයි.එම වන්ඩු ආප්ප මිශ්‍රනය බඩ ඉරිගු පිටියෙන් සාදා ඉහත පරිදි තම්බා සාදන්නේ පුස්නාම්බුය. එය පොල් බහුල වන සේ මිශ්‍රනය තනා ඉදුනු කොස් කොල වලින් තැනූ ගොටු තුලට පුරවා ඒවා වාශ්පයෙන් තම්බා සාදන්නේ ගොටු පිට්ටු ය. වර්ථමානයේ පොල්කේක් වට්ටෝරුවට ඉතා සමානවන සේ සාදන සිංහල කැවිලි වර්ගය බිබික්කන් ය. පොල්කේක් වලදී බිත්තර යෙදුවත් බිබික්කම් සෑදීමට බිත්තර භාවිත නොවේ.

By twitter / Ranjan Mallawa

තවත් ජාති 

ආස්මි.. සිංහල අවුරුදු මේසයේ ඉතා සුවිශේෂී තැනක් උසුලයි. ආස්මි අවුරුදු මේසයේ මෙන්ම සිංහල කැවිලි සංස්කෘතියේ විශාලතම කැවිල්ලයි. එය සාදා ගන්නා ක්‍රියාපටිපාටියේ අසීරු බව නිසාම එයට ලැබී ඇති වටිනාකම ඉමහත් වේ. ඉතා සියුම්ව හලාගත් සහල්පිටි දවුල් කුරුදු නානු සමග මුසු කර ආස්මි සාදා ගනී. හාල්පිටි පැණිපොල් සමග අනා හිස් 6 ක් සිටින සේ අමුතුම හැඩේකින් සාදන කැවිල්ල කොමලවටා හෙවත් මුකුලු ය. මුං ඇට පියලි අඩංගු පැනිපොල් පිරවුමක් පිටි යෙන් තැනූ පිටවැස්මකින් ඔතා උඩ බැලුම් සාදන අතර එය ආහාරයට ගන්නේ උඩ බලාගෙන වීම විශේශයකි. පාන් පිටි පොල්කිරි ඊස්ට් මගින් පැසවා උඩින් යටින් උශ්නත්වය දී අඩ සාදා ගනු ලබයි. දමිල සංස්කෘතිය ට නෑකම් කියන පැණිවලලු හෙවත් උදුවැල් උදු ඇට අඹරා එයින් සාදාගත් මිශ්‍රනය තෙලට මිරිකා බැද උනුවෙන්ම පැණියෙහි බහා සාදයි. .

සීනි පැනි පොල්කිරි හාල් පිටි සමග කකාරා දොදොල් සෑදීම ඉතා වෙහෙසකර වුවත් අවුරුදු මේසයට අගනා වටිනාකමක් දෙන කැවිල්ලක් ලෙස දොදොල් දැක්විය හැක.. අග්ගලා මෙකල කැවිල්ලක් උවත් පැරැන්නෝ එය වේලක් පිරිමසන ආහාරයක් ලෙස දිගු ගමන් වලදී භාවිත කලහ. සිරිපා වැදීමට ගිය බොහෝ අය අග්ගලා රැගෙන ගිය අතර විවිධ අග්ගලා වර්ග රාශියක් හදුනාගත හැක. මේ ලියූ කැවිලි ප්‍රාදේශීය වශයෙන් හදුන්වන නම් බොහෝ වෙනස් විය හැක. එමෙන්ම ඔබ දන්නා තවත් අප්‍රකට කැවිලි රාශියක් පැවතිය හැක.. කමෙන්ටු තීරුවේ ඒවාද සටහන් කරන මෙන් ඉල්ලා සිටිමු..



Copyright © 2014-2022 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us