Helabima

මිනී කුණු ගඳ හමා ගිය ලෙයින් තෙත් වූ රාජපක්ෂ වරුන්ගේ ඉඩම

බිනරි ඇතුගල


 

එකල වත්මන් ගෝල් ෆේස් පිටියේ සිට කොටුව දුම්රිය පොල තෙක් වන ඉඩම් වල අයිතිය දැරුවේ කුරුදු වගාවෙන් ලොවම දිනූ මහා ධනපතියන්ට සහ දානපතියන්ට සෙවන දුන් වැලිතර මහා කප්පින වලව්වේ රාජපක්ෂ මුදලි වරුන් ය.   (මැදමුලනේ රාජපක්ෂලා සහ මහා කප්පින වලව්වුවේ රාජපක්ෂලා පටලවා නොගත යුතුය ) එම ඉඩම් එකල කටු පදුරු වලින් ගහන කැලෑ විය. ගාලුමුවදොර ඉතිහාසය ලන්දේසි යුගය දක්වා දිව යයි. ලන්දේසි යුගයේ වත්මන් ගාලු මුවදොර පාවිච්චි වූයේ වධක භූමියක් ලෙසයි. එහි වූ ලී පෝරකයට නංවා ඝාතනය කල මිනිස් සිරුරු එහිම කුණු වීමට අත් හැර දැමුනු අතර සතුන් විසින් නිරන්තරයෙන් මළ සිරුරු කොටස් කඩා ගනිමින් අරගල ඇති කල බව 17 වන සියවසේ බෙල්ජියම් ජාතික වෛද්‍යවරයකු වූ එහිදියස් ඩාල්මාන්ස් ගේ වාර්ථා වල පැහැදිලි ව සදහන් ය . 1803 දී ඉංග්‍රීසීන් උඩරට ආක්‍රමණය කල අවාථාවේ උඩරැටියන් හමුවේ මරණයට පත්වූ ඉංග්‍රීසි සොල්දාදුවන් ගේ මළ සිරුරු වල දැමීමට ඔවුන් තෝරා ගත්තේද මෙම ගාලු මුවදොර පිටියයි. අනතුරුව පසුබැස කොළඹට ආ සොල්දාදුවන් අතර මැලේරියා වසංගතය පැතිර ගිය අතර යුද්ධයෙන් මියගියාට වඩා වැඩි සොල්දාදුවන් පිරිසක් මැලේරියාවෙන් මියගියේය. ඒ පිරිස් ඉතා විශාල වශයෙන් සමූහ මිනී වලවල් ලෙසත් භශ්මාවශේශ ලෙසත් මෙහි තැන්පත් කෙරිනි. ඉංග්‍රීසීන් ලන්දේසීන් වැලලූ කොටසේ සිය මළ සිරුරු තැම්පත් නොකල අතර දෙපිරිසේ සුසාන භූමි වෙන් කෙරුනේ උණබට පදුරු වැටකිනි.එය හැදින්වූයේ එරිසන් සෙමට්‍රි යන නමිනි.1815 වේ අප්‍රේල් 13 ත් ඉංග්‍රීසීන් මෙහි මිනී මැරීමක් සිදු කල අතර ඩ්‍රැනිශ් ඩේල් නම් ඉංග්‍රීසි සොල්දාදුවා ගාලුමුවදොර පිටියේදී ප්‍රසිද්ධියේ වෙඩිතබා මරා දමන ලදී.

20 වන සියවසේදී එනම් 1860 දී කොළඹ නගරයේ මුල්ම විවේක උද්‍යානය ලෙස ගාලුමුවදොර සංවර්ධනය කිරීම ඇරඹීයේ එහි මනරම් භූමියේ සුන්දරත්වය නිසාමය. පසෙකින් බේරේ වැවත් සුන්දර මුහුදු තීරයත් විය . ඉහල ඉංග්‍රීසි නිලධරයකුට අයත් නිල මැදුරක් එක අන්තයක විය. එම නිල මැදුර වත්මන් ගෝල් ෆේස් හෝටලය වන අතර ලක්දිව මුල්ම හෝටලය යන ගෞරවය දිනා ගන්නේද දකුණු ආසියාවේ මුල්ම හෝටල් කිහිපයෙන් එකක් වීමේ ගෞරවය ද දිනාගන ගාලුමුවදොර හෝටලය අදත් අභිමානවත්ව නැගී සිටියි.

එවක්ට බොරැල්ල කනත්ත ඉදිකර තිබූ නිසා විනෝද උද්‍යානයට තෝරාගත් භූමිභාගය කැනීම් කර මියගිය අයගේ භශ්මාවශේශ සහ මළ සිරුරු බොරැල්ල කනත්තේ ගෞරවනීය ලෙස තැන්පත් කෙරිනි. සංවර්ධනය කෙරුනු ගාලු මුවදොර 1865 අංක 22 දරන ගැසට් පත්‍රයෙන් රජයට පවරාගෙන තුරඟ තරග හා විනෝද උද්‍යානයක් ලෙස සංවර්ධනය කෙරිනි.

 

By lankapura 

1821 වසරේ ලංකාවට තුරඟ තරග හදුන්වා දී තිබුනු නිසා මේ උද්‍යානයේ පොලව මට්ටම් කර පස් පුරවා සැතපුම් එකහමාරක පමන තුරඟ ධාවන පථයක් නිර්මාණය කෙරිනි. මුලින්ම ඉංග්‍රීසි ලිපි කරුවෝත් පසුව සිවිල් හා මිලිටරි සොල්දාදුවෝත් අශ්වයන් පැදීම බෝට්ටු පැදීම ක්‍රිකට් ගැසීම ජල ක්‍රීඩා සදහා සහභාගි විය. කෙමෙන් කොලොම්තොට උසස් පවුල් වල වනිතාවෝ සිය අගනා ඇදුම් වලින් සැරසී සැදෑ සක්මන පිනිස ගෝල්ෆේස් පිටියට පැමිණීම ඇරඹූහ. ගෝල් ෆේස් පිටියේ එක් කෙලවරක ගඩොලින් කර ක්‍රීඩා මන්ඩපයක් ගොඩ නගා තිබිනි .එය පොල් අතු හෙවිලි කර තිබූ අතර රේස්කෝස් බංගලාව ලෙස හැදින්වූ colombo club සංගමයට අයත් මුල්ම ගොඩනැගිල්ල විය. අද එම ගොඩනැගිල්ල ටාජ් සමුද්‍රා හෝටලයයි..

1893 දී කුරුදුවත්ත ප්‍රදේශයේ අක්කර 100 ක් පුරා විහිදුනු හැවුලොක් පිටියට ගාලුමුවදොර තුරඟ තරග ධාවන පථය රැගෙන ගොස් එය සම්පූර්ණයෙන් ජනතාවට විවේක ගැනීමේ උද්‍යානයක් බවට පත් කරන ලදී. වර්ථමානයේ එය පෙර තිබූ සීමාවන්ගෙන් බැහැරව අඩු ඉඩකට කැටිව තිබේ. ගෝල්ෆේස් පිටිය අසල ශ්‍රැංගි ලා හෝටලය ඉදිකිරීම් සදහා කල පොලව කැනීම් වලින් වසර සිය ගනනක් පැරණි මිනිස් අස්ථි මතු විය. ඒ 1860 දී බොරැල්ලට රැගෙන නොගිය අස්ථි කොටස් වේ. වර්ථමානයේ ශ්‍රීපාදයට හැරුනු විට ජනතා පිවිසීම් වැඩිම සංඛ්‍යාවක් සිදු කර ඇති ස්ථානය ලෙස ගාලු මුවදොර පිටිය නොහොත් ගෝල්ෆේස් පිටිය නම් දරා ඇත..

By 24.siyatha

අතෙකින් රැලි නගන නිල් සයුර පසෙකින් ගෝල් ෆේස් හෝටලය ,ටාජ් සමුද්‍රා හෝටලය ,ශ්‍රැංගි ලා හෝටලය , ජනාධිපති ලේඛම් කාර්‍යාලය ලෝක බැංකු ද්විත්ව ගොඩනැගිල්ල ආදී සුපතල භූමි ලකුනු වලින් වටව පැය 24 පුරා සැනකෙලි සිරියෙන් බැබලුනත් ගෝල් ෆේස් පිටියේ අතීතය ලේ වැකුනු මිනී කුණු දුගදින් ගහන විලාපයෙන් පිරි එකක් බව ඔබට පසක් වනු ඇත.



Copyright © 2014-2022 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us