Helabima

සිතුවමක රැදි රහසක්

රුවන්තිකා මධුශානි


 

" එන්න මැණික මං ඉතින් ගොඩාක් බලන් හිටියා ඔයාව බලන්න .. කෝ බලන්න ෆොටෝ වල ඉන්නවා ට වඩා ලස්සනයි පුතේ ඔයා "

සුනෙත් මල් පෙත්තක් අල්ලනව වගේ සිනිදුවට තරිනිගේ නිකටෙන් අල්ල ඔලුව ට අත තිබ්බ . තරිනි එහෙම්ම දණ ගහල වදිද්දි සුනෙත්ට පුදුම බැඳීමක් දැනුණා. තරිනි ලගින් මොකක්ද සුපුරුදු සුවඳක් හමන බව සුනෙත් ට හිතුන

" මාත් වදින්න ඕනිද අප්පච්චි " පහන් හිනා වෙවී අහද්දි සුනෙත් සුපුරුදු විදියට පහන්ගෙ කන මිරිකුවා.

" මං මේ කෙල්ල ඉන්න හංද ඉවසනව පලයන් යන්න " පහන් අවුරුදු විසි හතක් වෙලත් පොඩි එකෙක් වගේ සුනෙත්ගෙ කරේ එල්ලිලා හුරතල් වෙන්න ගත්ත . සතුට ආදරය රැකවරනය සිහින් මීදුමක් වගේ තරිනිගෙ පපුවට දැනුණා. ඒ එක්ක නැගුනු සිහින් මදහස දුටු සුනෙත්ට තරිනිව තුරුල් කරගන්න තරම් දරු  සෙනෙහසක් දැනුනා.

තාත්තා යි පුතයි විතරක් ඉන්න ගෙයක් උනත් හරි ලස්සනට තේ මේසේ සූදානම් කරලා තිබ්බ . කෙල්ල මුලින්ම ගෙදර එන දවසේ කෑම වේලක් දෙන්න ඕනිමයි කියලා සුනෙත් කිව්වත් තරිනියි පහනුයි වැඩ ඉවර කරලා එද්දී හවස් වෙනව කිව්ව නිසා සුනෙත් තේ මේසයක් ලෑස්ති කරා.

තරිනිගෙ තාත්තා පොඩිකාලෙ ම නැති උනා කියලා ත් අම්මයි තරිනියි විතරයි ඉන්නෙ කිව නිසාත් සුනෙත් කිසිම විස්තරයක් අහන්න ගියේ නෑ . අම්ම ගැන නොදන්නා කෙනෙක් අහද්දි පහන් ගෙ මූනට නැගෙන දුක්මුසු පෙනුම දන්න නිසා අම්ම තාත්තා නැති දරුවන්ගෙ විස්‍තර හාරවුස්සන්න සුනෙත් හරි බයයි

මේසෙ ලෑස්ති කරලා තිබ්බට තරිනියි පහනුයි වාඩිවෙලා නම් කෑවෙ නෑ . මුලින්ම කෝල ගතියක් පෙන්නුවත් තරිනි පස්සෙ හරි පුරුදු කාරියක් වගේ ගේ පුරාම ඇවිදින්න ගත්ත . කෝට් යාඩ් එක ලගම තියන කාමරේ ගාවට ගිය පහන් කාමරේ දොර ඇරියා

By howtodiscuss

" මෙන්න අප්පච්චි ගෙ චිත්‍ර කාමරේ. අප්පච්චි පේන්න නැත්තං එයා ඉන්නෙ මෙතන "

තරිනි හරි ආසාවෙන් කාමරේට පැන්න . තරිනිගෙ හිත නිවන භාවනාව චිත්‍ර . හරි ම ලස්සනට අදින්න දක්ශ උනත් අම්මට ඕනි උනේ තරිනිව අයි ටී පැත්තට යවන්න . පොඩිකාලෙ ඉදලා ම තරිනි කොයිතරම් දක්ශ උනත් චිත්‍ර අදින්න ඉඩක් ලැබුන්නෑ. ඉවස ගන්න බැරි තින්ත සුවදේ තනිකර කලාගාරයක් උනු සුනෙත් ගේ චිත්‍ර කාමරේ චිත්‍ර එකින් එක බලන්න පටං ගත්ත . සුනෙතුත් තරිනිගෙ පස්සෙම වැටිලා චිත්‍රෙන් චිත්‍රෙ ලස්සනට පැහැදිලි කලා.

" ඉතින් අප්පච්චි මං මෙහෙ ආවම නම් අප්පච්චි ට තනියම චිත්‍ර අදින්න දෙන්නෑ. මාත් ආසයි චිත්‍ර අදින්න "

තරිනි සමහර චිත්‍ර අතගානවා. පින්සල් නහයට ලං කරලා සුවද බලනවා. සුනෙත්ට හරි සතුටක් දැනුණා. ජීවිතේ සම්පූර්ණ උනා වගේ දැනුණා. චිත්‍රයක් ඉස්සර නිවෙන්න පුලුවන් කෙල්ලෙක් එක්ක ජීවිතේ ගෙවන එක භාවනාවක් වගේ කියලා සුනෙත් දන්නවා . ඒ වාසනාව පහන්ට උදා උණ එක ගැන සුනෙත්ට පුදුම සතුටක් දැනුණා.

" ඔව් දෝනි මං ඔයාටත් ස්ටෑන්ඩ් එකක් ගේන්නං අපි දෙන්නම අදිමු. අපි නිවාඩු වෙලාවට ලස්සන වීව් තියන තැන් වලට ගිහින් චිත්‍ර අදිමු හොඳේ. ඉතින් ඔයා ඉක්මනින් ලස්සන මනමාලියෙක් වෙලා මෙහෙ එන්නකො මුලින්ම "

එවිටම පහන් තේ හදලා ට්‍රේ එකේ තියාගෙන කාමරේට ආවා. අම්මෙක් නැති ගෙදර ඕනිම වැඩක් කරන්න අප්පච්චියි පුතයි දක්ශයි. සුනෙත් ගෙයි තරිනි ගෙයි කතාව පහන්ටත් ඇහුනා

" අපෝ ඔයත් ලෑස්ති වෙන්නෙ අප්පච්චි එක්ක චිත්‍ර අදින්නද . මටනම් පේන්න බෑ ඔය චිත්‍ර "

කොල්ලා හිනා වෙවී කිව්ව . කෙලින් ඉරක් වත් ඇදගන්න බැරි පහන් එලි වෙනකං ගිටාර් එක ගගහා සිංදු කියන්න ආසයි . සුනෙත් චිත්‍ර අදිනකම් පහන් සින්දු කියනවා. . තේ එක අතට අරං ආයමත් කාමරේ ඇවිදින තරිනිට හිතුනේ ගෙදර තියන ලොකු ම කාමරේ මේක කියලා . ඇත්තෙන්ම සුනෙත් කාමර දෙකක් එකතු කරලා මේ කාමරේ ලොකු කරලා තමයි කලාගාරයක් වගේ ලස්සනට මේ කාමරේ හැදුවෙ.

තේ එක අරං කාමරේ පුරා ඇවිද ඇවිද හිටපු තරිනි එකවරම ගල් උනා .. යන්තම් දුහුල් සලුවකින් විතරක් ගත නොවැහෙන ගානට වහගෙන ඉන්න යුවතියකගෙ සිතුවමක් කාමරේ එක තැනක තියෙනවා . මුදු මුදු ඉනට දිග තද කලු කොන්ඩේ ඒ ඇස් ඒ නහය ඒ දෙතොල් ජීවමානයි වගේ . දුහුල් සලුවෙන් යාන්තමින් වැසුණු නොවැසුනු ගානට වැහුනු දකුණු පියයුරේ උපන් ලපයක්. ගෙලේ බැදි රන් පාට මාලේ ලැම උඩ නිදහසේ තියන්නෙ නිල්පාට ඕවල් හැඩේ මැණිකක් එල්ලෙන පෙන්ඩන්ට් එකක් එක්ක ..චිත්‍රෙ සෑහෙන පරනයි කියලා බැලු බැල්මට පේනව

තරිනිගෙ මුලු ඇගම සීතල උනා ඇය වෙව්ලනව කියලා ඇයට දැනුණා මුලු ලෝකෙම නතර වෙලා වගේ ඇයට දැනුණා.. මේ චිත්‍රය ඇදල තියන්නෙ නිරූපිකාව සම්පූර්ණයෙන් නිරුවතින් ඉද්දි දුහුල් සලුවකින් විතරක් ආවරණය කරලා කියලා අමුතුවෙන් හිතන්න දෙයක් නෑ ..මේ ගැන විස්තර සුනෙත් ගෙන් අහන්න හොදටම උවමනා උනත් තරිනිට චිත්‍රෙ විලාසය එක්ක අප්පච්චි ගෙන් අහන්න හිතුනෙ නෑ .

ඒ එක්කම සුනෙත්ගේ දුරකතනය නාද උනා. සුනෙත් දුරකතනය ගන්න එලියට ගිය ගමන් තරිනි ලගට ආව පහන් ක්ශනිකව ඇය වැළඳ ගත්ත . පහන්ගෙන් ලැබෙන අනපේක්ෂිත සිපගැනීම් වලට හරි ලස්සනට ප්‍රතිචාර දක්වන්න තරිනි නිතරම සෑදි පැහැදි ඉන්නවා . වෙනදාට නම් මේ වෙද්දී ඇය සියුම් කෙදිරියකින් හරි ප්‍රතිචාර දක්වලා. ඒත් කවදාවත් නැතුව තරිනි පස්සට උනා .

" අප්පච්චි එයි පහන් . මේ ගෙදර ."

ඇගේ මුහුනෙ තිබ්බෙ නොරිස්සුමක් කියලා පහන් දකිද්දී ඔහුට පුදුම හිතුනා.

"තාත්තා ආදරේ ගැන අපිට වඩා හොඳට දන්නවා තරිනි එයා එහෙම නෑ අනික මේ ගෙදර නේ"

පහන් එහෙම කිව්වත් තරිනිගෙ මුහුනෙ තිබ්බෙ වෙනදා දකින අඩුම ගානේ මේ කාමරේට එද්දී තිබ්බ ප්‍රහර්ශය නෙවෙයි කියලා කොල්ලා තේරුම් ගත්ත . තේ කෝප්ප ටික ට්‍රේ එකෙන් තියාගත්ත පහන් කාමරෙන් එලියට ගියේ තරිනිව චිත්‍ර කාමරේ තනි කරලා .වහාම ක්‍රියාත්මක උනු  තරිනි ඇයව අන්ද මන්ද කල චිත්‍රෙ පැහැදිලි ෆොටෝ කිහිපයක් ම ගත්ත . පියයුරේ තියන උපන් ලපේයි පෙන්ඩන්ට් එකේයි පැහැදිලි ෆොටෝ කිහිපයක් ම ගන්න ඇයට හැකි උනා .

ගිරවියෙක් වගේ සතුටෙන් හිටපු තරිනි එකවරම ගෙදර ගියේ ඇයි කියලා සුනෙත්ට ත් හිතාගන්න බැරි උනා . තරිනිව ගෙදර එක්ක ගිය පහන් ගෙදර ආව ගමන් සුනෙත් ඇහුවා. පහන් ටත් වෙනස හොදටම දැනුනත් තරිනිගෙන් ඔහු ඒක නැවත නැවත අහන්න උත්සාහ කලේ නෑ .

" මං ආට් කාමරේදි කිස් එකක් දුන්නා කියලා නෙ අප්පච්චි ඔය තරහ ගියේ. වෙනදාට එහෙම නෑ අප්පච්චි එයි කියලා බය උනා මහිතේ"කොල්ලා සැහැල්ලුවෙන් කිව්ව නිසා සුනෙත් ඒක විස්වාස කලා. කට කොනකින් හිනාවෙලා සුනෙත් නැවතත් කාමරේට ගියා .

තරිනි තවමත් සිහිනෙන් පා වෙනව වගේ . වෙන්නෙ මොනවා උනත් ඒ දේට මුහුණ දෙන්න තරිනි හිත තද කරගන සූදානමින් උනා . පහන් ගෙ කාර් එකෙන් බැහැල පූර්වාරාම පාරෙ පයින් යන තරිනිට සිහිනෙන් ඇවිදිනව වගේ දැනුනා. තරිනිගෙ ෆෝන් එක රිං වෙන්න ගත්ත . හිතුවා වගේම කෝල් එක අරං තිබ්බෙ ජීවන්ති. අද තරිනි පහන් ලගෙ ගෙදර යනව කියලා කියද්දි ඉස්ඉස්සල්ලා බදින්න ඉන්න කොල්ලගෙ ගෙදරට තනියම දුව යන එක ගැන ජීවන්තිගෙ හිතේ තිගැස්මක් ඇති උනත් පහන්ගෙ ගැන ඇගේ හිතේ තිබුණු පැහැදීම නිසා ඇය තරිනිට යන්න ඉඩ දුන්නා... එක අතකට පුහු සංස්කෘතික මත ඔළුවෙ තියන් නැති පවුලක් තමන්ගේ දුවට ලැබුනු එක ගැන ජීවන්ති සතුටු උනා . රෑ වෙනකං වත් කෙල්ල ගෙදර නොඑයිද කියලා ජීවන්තිට හිතුන නිසා තමයි ඇය තරිනිට කෝල් එකක් ගත්තේ.

" අම්මි.. නෑ අම්මි මං මේ ගෙදර යනව .. ඉක්මනින් ආවා අම්මි. දැන් පන්සල ගාව. අම්මි ඉක්මනින් ගෙදර එනව නේද . නෑ නෑ මුකුත් නෑ අම්මි නිකම් ඇහුවෙ. හරි අම්මි එහෙනම් එන්න මං තේ හදන්නම්"

සතුටෙන් ඉපිලෙන කටහඬක් බලාපොරොත්තු උනත් තරිනිගෙ හඩේ වෙව්ලීමක් ජීවන්තිට දැනුණා. ලයේ කොනක් කට්ටකින් සීරුවා වගේ බයක් ඇගේ හිතේ ඉපදුනා.. ඒ එක්කම ඇගේ මුහුණ ළඟින් ඉගිල ගිය රන්වන් පාට සමනලයා දැක්කම ජීවන්තිට මද සහනයක් දැනුණා. කොට්ටාවෙ ජනාකීර්ණ ටවුම මැද හවස් වෙන්න ලං වෙලා රන් සමනලයෙක් දැකීම පුදුමයක් කියලා ජීවන්තිට හිතුනා. කොහොම උනත් අවැඩක් දුකක් වෙන එකක් නෑ කියලා ඒ දේවතා සලකුණ ජීවන්තිට කිව්වා.

ගේට්ටුව ඇරගෙන පුලුවන් ඉක්මනින් ගෙට දුවපු තරිනි බෑග් එක සැටියට විසි කරලා ඇගේ එල්ලෙන නිකීට කතා කරන්න වත් පරක්කු නොවී අම්මගෙ කාමරේට දිව්වා. ඒ වෙල්වට් පෙට්ටිය තියන්නෙ අල්මාරියෙ ලාච්චුවෙ ඇතුළෙ තියන හොර ලාච්චුවෙ. ඒ ලාච්චුවෙ වෙන කිසිම දෙයක් නෑ ඒ පෙට්ටිය විතරමයි තියන්නෙ ...

හංගලා තියන යතුර අරං තරිනි ලාච්චුව ඇරියා . කලුපාට පුංචි වෙල්වට් පෙට්ටිය ලාච්චුවෙ බොහොම පරිස්සමට තියෙනවා . තරිනි පරිස්සමට පෙට්ටිය ඇරලා විදුලි පහන යටට ගියා .. ෆෝන් එකේ තිබ්බ ඒ ෆොටෝ එක තෝර ගත්ත . මාරුවෙන් මාරුවට පෙට්ටියෙ තියන පෙන්ඩන්ට් එකයි ෆෝන් එකේ තියන රූපෙයි බැලුවා.. මේ ඒ මාලෙම තමයි . ඔලුවට පොල්ලකින් ගැහුව වගේ සීතලක් මුලු සර්වාංගෙම වෙලා ගනිද්දී තරිනි ආයමත් වෙව්ලනව ..

අම්මා මේ පෙට්ටිය අරං මේකෙ ඇතුළෙ තියන නිල්පාට ඕවල් හැඩේ පෙන්ඩන්ට් එකක් තියන මාලෙ දිහා බලා ඉන්නවා තරිනි නිතරම දකිනවා. මගුල් ගෙවල් උත්සව කීයකට ගියත් ඒ කිසිම දේකට අම්ම මේක පලදිනවා තරිනි දැකල නෑ ..

By New-Fashion-Choker

ගේට්ටුවේ කොක්ක වැටෙන සද්දෙ එද්දී තරිනි ඉක්මනින් පෙට්ටිය අල්මාරියට දාලා වහල සාලෙට ගියා .අම්ම දිහා බලන්න බැරි හැඟීමක් ඇයට දැනුණා. ඒක ලැජ්ජාවක්ද කෝපයක් ද බයක්ද කියන්න තරිනිට තේරුන්නෑ. පුතේ කියාගෙන ගෙට ගොඩ උනු ජීවන්ති ඇගේ බෑග් එක ත් එහෙම්ම දාලා සැටියට බර උනා

" පුතේ ඇයි වේලාසනින් ආවෙ. මං හිතුව ඔයා ගොඩාක් වෙලා එහෙ ඉදී කියලා .ඉතින් කොහොමද එහෙ"

ජීවන්ති තරිනි දිහා බලාගන ම අහද්දි කවදාවත් බලාපොරොත්තු නොවුන අමුතු අඳුරක් දුවගෙ මූනෙ තියෙනවා ජීවන්ති හොදටම දැක්ක . ඇයට සියුම් බයක් මෝදු උනා

" අවුලක් නෑ අම්මෙ මං ඉතින් ඉක්මනින් ආවා. තේ හදන්න ද අම්මේ" තරිනි ජීවන්තිට මුහුණ නොදී ගෙතුළට ගියා. ඒක තේරුම් නොගන්න තරම් ජීවන්ති දුවට දුරස් අම්මෙක් නෙවෙයි . තරිනි කියන්නෙ ගිරා පැටික්කියෙක් මිස බකමූනියකුත් නෙවෙයි . මේ ඇගේ විලාසයත් නෙවෙයි .හිතට නැගුනු බය එක්ක පහන්ගෙ ගෙදරට දුවට යන්න දුන්න එක ගැන පසුතැවීමක් එක්ක ජීවන්ති තරිනි ගාවට ගියා .

කීපවතාවක්ම ගෙදර ඇවිල්ල ජීවන්ති එක්ක කතා කරලා ජීවන්ති ගෙ හිත දිනාගෙන හිටපු පහන් ගැන වරදක් හිතන්නත් ජීවන්ති ඉක්මන් උන්නෑ. තරිනි ජග් එක පුරවන්න ටැප් එක ඇරලා ජග් එක පිරිල ඉතිරිලා වතුර ගලාගෙන යනව . ජීවන්ති කරාමය කරකවා වහද්දි වත් තරිනි සිතුවිලි වලින් මිදිල නෑ ..

තරිනි අතින් ජග් එක අරං පැන්ට්‍රිය උඩින් තියලා ජීවන්ති දුවව දෙවුරෙන්ම අල්ලන් තමන්ගේ පැත්තට හරව ගත්ත .

" ඇයි රත්තරන් , ඇයි පුතේ මේ.. ඔයාට මොකද උනේ ඇයි ඔයා බයවෙලා . අම්මට කියන්න පුතේ මොකද උනේ"

ජීවන්ති දිහා ඇහිපිය නොහෙළා බලා හිටපු තරිනි එකපාරට මහ හඩින් හඩාගන අම්ම බදා ගත්ත . ජීවන්ති ගෙ පපුවට ගින්නක් ඇවිලුනා වගේ දැනුණා. මොන දේ උනත් තමන් දුවගෙ පැත්තෙ දූ වෙනුවෙන් ඉන්නවා කියලා අවුරුදු විසි හතකට කලින් දුව අතට ලැබුනු වෙලේ හිතුව හැටි ජීවන්තිට එකවරම සිහි උනා .

" කියන්න පුතේ ඕනිම දේකට අම්ම ඉන්නවා ඔයා ඇයි අඩන්නෙ මොකක්ද උනේ අම්ම බය නොකර කියන්න පුතේ"

ජීවන්ති කියද්දි තරිනි ඇඩිල්ල නතර කරලා ජීවන්ති දිහා බැලුවා.. "අම්මා අම්මා ටිකක් එන්න . "

තරිනි අම්මගෙ අතින් අල්ලං කාමරේට ගියා.. ජීවන්තිත් යාන්ත්‍රකවම ඇය පස්සෙ ගියා . ඇද උඩ තිබ්බ ෆෝන් එක අතට අරං තරිනි ෆොටෝ ගැලරිය තෝරන්න ගත්ත .

" අම්මා මේ ෆොටෝ ටික බලන්න "

තරිනි ෆෝන් එක අම්මට දික් කරා.. කැරලි කොන්ඩෙ ඉන ගාවට තියන විනිවිද පේන දුහුල් සලුවක් විතරක් ඇගේ පටලවන් නිල් ගල තියන පෙන්ඩන්ට් එක දාගෙන ඉන්න සම්පූර්ණ ගෑනු රූපෙ දැක්ක ගමන් ජීවන්ති එහෙම්ම ඇදේ වාඩි උනා . ඇය අතින් ෆෝන් එක වැටුණා. ජීවන්ති උණ ලෙඩෙක් වගේ වෙව්ලන්න ගත්තා ඇය අසිහියෙන් වගේ වෙවුලද්දි තරිනි හොදටම බය උනා . එකවරම තරිනි දිහාට හැරුනු ජීවන්ති " කොහෙන්ද ඔයාට මේක " කියලා ඇහුවා..

හොදටම බයවෙලා හිටපු තරිනි වෙව්ලන ස්වරයෙන් හඩ අවධි කලා " පහන්ගෙ තාත්තා ගෙ චිත්‍ර අදින කාමරේ චිත්‍ර ගොඩාක් එක්ක මේ චිත්‍රෙ තිබ්බෙ අම්මා. මං මං මේක දැකල බයවෙලා ෆොටෝ එකක් අරං ඉක්මනින් ගෙදර ආවා අම්මා"

තරිනි ඒ වචන ටික කියද්දි ම බිම තිබ්බ ඇගේ ෆෝන් එක රින් වෙන්න ගත්ත තිරයේ දිස් උනේ පහන්ගේ රූපේ. කෙල්ල ගෙදර ගිහින් කෝල් එකක් නුදුන් නිසායි පහන් කෝල් එකක් ගත්තෙ. තරිනි ෆෝන් එක ගන්න නැවෙද්දිම පැනපු ගමන් ෆෝන් එක ගත්තු ජීවන්ති තප්පරයක් වත් පමා නොවී ෆෝන් එක බිත්තියට ගැහුවා. සීසීකඩ ගිය ෆෝන් එක නිහඩ වෙද්දී වෙන දේ හිතාගන්න බැරුව තරිනි හිටියෙ ගල් ගැහිලා . තාත්තා ත් නැති දරුවා කියලා සැරෙන් වචනයක් වත් නොකිය හදපු දුවගෙ ගවුම් කරෙන් අල්ලලා කවදාවත් නැති තරම් සැරෙන් ජීවන්ති කෑ ගැහුවා " උඹ මේ දැන් ම ඔය සම්බන්ධෙ නතර කරන්න ඕනි. මේ දැන් ම "

" ඒත් අම්මෙ "

" ඒත් නෙවෙයි මේ දැන් ම නතර කරපං තරිනි . මං නොකිව්ව කියන්න එපා " තරිනිව අතෑරපු ජීවන්ති මහ හඩින් අඬන්න ගත්ත . ජීවන්ති නැවතත් තරිනිව වැළඳ ගත්ත එක පොකුරට දෙන්නම අඩ අඩා ම කාමරේ බිමම වාඩි උනා . කොයිතරම් වෙලාවක් ඇඩුවද දෙන්නම දන්නෑ.

මේ අතරෙ පහන් හිටියෙ හොදටම බයවෙලා . තනියම නිසා ගේ ගාවින් වාහනෙන් බස්සන්නෙ නැතුව පාර ගාවින් තරිනිව බැස්සුව එක ගැන පහන්ට පසු තැවීමක් දැනුණා. හවස් වෙනකම් ඉන්න ආව කෙල්ල එකපාරටම ගෙදර දිව්ව .කෝල් එකක් දුන්නෙත් නෑ . ෆෝන් එක රින් වෙද්දී කට් උනා .දැන් දුරකතනයෙන් ප්‍රතිචාරයක් නෑ . අම්මගෙ ෆෝන් එක ආන්ස කරන්නෙත් නෑ .මේ ඔක්කොම එක්ක පහන්ට නුහුරු බයක් දැනුණා. පහන් සුනෙත් ලගට ගියා

" අප්පච්චි තරිනි ගෙ ෆෝන් එක රින් වෙවී තිබිල කට් උනා . අම්මගෙ ෆෝන් එක ආන්ස කරන්නෙත් නෑ . ගියා කියලා කිව්වෙත් නෑ එයා ගියෙත් අමුතු වෙලා මට බයයි අප්පච්චි ."

සුනෙත්ගේ මූනෙත් ප්‍රශ්නාර්ථයක් නැඟුණා. " පුතා ඔයා ඒ ගෙදර දන්නවා නේද අපි යං" සුනෙත්ට ඇතිවුණ සිහින් තිගැස්ම පහන්ට නොපෙන්වා ඇදිවත පිටින් ම වාහනේ යතුර අරං පහන් එක්ක එලියට බැස්සා..

අඩල අඩලා හෙම්බත් වෙලා හිටපු ජීවන්තිටයි තරිනිටයි ගේට්ටුව ගාවට ආව වාහනේ හඩවත් ගේට්ටුව ඇරෙන හඩවත් ඇහුනෙ නෑ . අම්මගෙ කටින් වචනයක් වත් අහගන්න බැරුව අතරං වෙලා හිටපු තරිනි ඉස්සර දොර ළඟින් ඇහුනු පහන්ගෙ කට හඩින් නැගිටුනා. . ඇය ඉස්සරහට යන්න හදද්දී ම ජීවන්ති ඇයව අල්ල ගත්ත . දොරකඩ පහන් අරං දීපු තරිනිගෙ රෝසපාට සෙරප්පු යුවල දැක්කම පහන්ගෙ ඇගට ලේ ටිකක් ඉනුවත් ගේ ඇතුලෙන් කිසිම හැල හොල්මනක් නැති වෙද්දී කොල්ලා නැවතත් බය උනා . කරන දෙයක් හිතාගන්න බැරුව දොරකඩ ඉදන් තරිනි තරිනි කියන පහන්ව පැත්තකට කරලා ඇතුගෙට ඇතුල් වුනු සුනෙත් තරිනි පුතේ කියද්දී ම ජීවන්ති මෙච්චර වෙලා හිර කරන් හිටපු හැඩුම මහ හඩින් පුපුරා ගියා

සුනෙතුයි පහනුයි එක පොදියට ඇඩුම ඇහුනු කාමරේට දිව්වා. ජීවන්ති ඇදේ වැටිල මූන වහගෙන අඬනව . තරිනි බයවෙලා හිටගෙන අඬනවා. සුනෙත් තාත්තා එක්ක කාමරේ දොරකඩ නතර උනා . ඔවුන් දුටු වහාම තරිනි අඩ අඩා පස්සෙන් පස්සට ගිහින් බිත්තිය අසලටම ගියා . පහන් තරිනී ඇයි කියාගෙන එතනට යනව හදද්දී ම හිතාගන්න බැරි වේගෙන් නැගිටපු ජීවන්ති පහන්ව තල්ලු කරලා දැම්මා. "එන්න එපා යන්න යන්න ඔයාගෙ පුතාවත් අරං යන්න සුනෙත් "

ජීවන්ති අඩාගෙන ම කියද්දි සුනෙත්ගෙ ඇස් උඩ ගියා . " මගෙ දරුවගෙ ජීවිතේ විනාස නොකර යන්න සුනෙත්. ඔයාගෙ පුතයි මගෙ දුවයි අතරෙ අදින් පස්සෙ මුකුත් නෑ " ජීවන්ති කෑ ගහහා අඬනවා. සුනෙත් ගල් ගැහිලා. තරිනි වෙවුලමින් අඬනවා. පහන් බයවෙලා බලා ඉන්නවා .

ඇසිපිය නොහෙළා සුනෙත් තරිනි දිහා බලා හිටියා . ජීවන්තිගෙ ඇඩුම කෑ ගැහීම ඔක්කොම මැදින් සුනෙත් අඩියෙන් අඩිය තිය තිය තරිනි ලගට ගියා . ඔහු එකවරම තරිනි වැළඳ ගත්ත . " අනේ මගෙ දුවේ...."

" ඔව් සුනෙත් ඔයාගෙ දුව තමයි . ඔයාගෙයි මගෙයි දුව. ඔයා මට ජීවිතේට දීපු තෑග්ග . අනේ මට මගේ දුව නැති නොකර ඔයාගෙ පුතා අරං යන්න සුනෙත් අවුරුදු විසි පහක් මං තනියම විදෙව්වා. ආදරේ කරලා මං විදපු දුක මගෙ දරුවට නොදී යන්න සුනෙත් මේක වෙන්න බෑ කියලා ඔයාට තේරෙනව නේද අනේ යන්න සුනෙත් "

තමන්ගේ ම නංගි එක්ක පෙමින් බැඳිලා කියලා තේරුම් යද්දි පහන්ට මුලු ලෝකෙම අදුරු වෙනව දැනුණා . කපා හෙලූ ගහක් වගේ පහන් ක්ලාන්තවෙලා වැටුනා . තරිනි කෑ ගහගන ඔහු ලගට ආවත් තවදුරටත් ඔහු තමන්ගේ අයියා මිසක් පෙම්වතා නෙවෙයි කියලා මතක් වෙද්දී උපන් කම්පනෙන් ඇයත් බිමට පාත් උනා . කාමරේ තිබ්බ වතුර වීදුරුවෙන් සුනෙත් පහන්ගේ මුහුණ තෙමුව . පහන් ඇස් ඇරියා. ලෙඩෙක් ගානට අඩපණ වෙලා හිටපු පහනුත් ඔහේ බලාගන ඉන්නවා . තරිනිත් ඔහු දිහා ඔහේ බලාගන ඉන්නවා .

අවසානෙ සුනෙත් ජීවන්ති ලගට ගියා ..

" ජීවන්ති . . මං ඔයාව ලංකාවේ හොයන්න තියන හැමතැනම හෙව්ව ඔයා කොහෙද හිටියෙ ඇයි ඔයා ගියේ"

" දැන් ඒව වැඩක්නෑ සුනෙත් මගෙ දරුවගෙ ජීවිතේ නාස්ති නොකර ඔය දෙන්න යන්න .තාත්තෙක් නැතුව අවජාතක කතා අහ අහා දූට මං දුකක් නොදී හැදුවෙ එයාට මේව දරාගන්න බෑ . ඒ දරුවා ලෙඩ වෙයි"

" ඔයා හිතන් ඉන්න දේවල් වැරදි ජීවන්ති . තරිනි මගෙ දූට එහෙම වෙන්නෑ එයාට එහෙම වෙන්න මං ඉඩ තියන්නෑ. අනේ ඇයි මේ කවදාවත් එලිනොවෙන්න හංගපු රහස් මෙහෙම එලි කරන්න වෙන්නේ.."

සුනෙත් එකවර අඬන්න ගත්ත ..

" ජීවන්ති ඔයා එදා මාව බදින්න රෙජිස්ටර් ගාවට එනකම් මං බලා හිටියා හවස් වෙනකම්ම බලා හිටියා ඔයා ආවෙ නෑ . බැරිම තැන මං වික්‍රමලා එතන තියලා ඔයාලගෙ ගේ හොයාගෙන ගියා . ඔයාල ඒ ගෙයින් අයින් වෙලා ගිහින් . මගෙ දරු පැටියත් කුසේ දරන් ඔයා මගෙන් හැංගිලා ම ගිහින් . මං අවුරුදු ගාණක් ඔයාව හෙව්වා. "

" අපි බදින්න හිටපු දාට කලින් දා ඔයාගෙ තාත්තා ඇවිල්ල අපේ ගෙදර අයව බය කරලා අපි ව එලව්ව සුනෙත්. අපි ගොඩාක් දුරට ගියා . දුවට අවුරුදු 10 ත් උනාම තමයි අපි මේ ගෙදර ආවේ."

"අන්තිමට තාත්තාගෙ නංගි ගෙ දුවව මට බදින්න ම උනා . ඒ වෙද්දී අපේ තාත්තා බිස්නස් වලින් හොදටම වැටිලා . ආය ගොඩ එන්න නම් නැන්දලා එක්ක බිස්නස් පටං ගන්නම ඕනි. සින්න වෙන්න යන අපේ ගෙදර , ,ගෙදර ඉන්න නංගිලගෙ අනාගතේ තිබ්බෙ මගෙ අතේ. මං අන්තිමට සත්‍යාව බැන්දේ එහෙමයි ජීවන්ති . සත්‍යා මාව බදින්න කලින් එයාට දරුවෙක් හිටපු බව මං දැන ගත්තෙ බැදලා මාස ගානකට පස්සෙ. එ දරුවගෙ තාත්තා ඇවිල්ල දේපළ ඉල්ල ඉල්ල කරපු රංඩුවක් අතරෙදි සත්‍යා නැති උනා . ඒ මිනිහා පැනල ගියේ දරුවව අපේ ගෙදර දාලා . ඒ අහිංසකයා අරං ඒ අප්‍රසන්න පරිසරෙන් අයින් වෙලා මං රට ගියා ජීවන්ති . දරුවා මං ගාව ලොකු උනා ..මේව මං කිසිම දාක කියන්න හිටපු දේවල් නෙවෙයි . ඒත් මට ඔයාවයි දුවවයි ආය නැති කරගන්න බෑ ජීවන්ති . "

ඇස් ලොකු කරන් තමන් දිහා බලාගන අවුරුදු විසි පහකට කලින් හිටියා වගේම ජීවන්ති ඉන්නවා සුනෙත්ට දැනුණා. ඔහු ජීවන්තිවයි තරිනි වයි අප්‍රමාණ සෙනෙහසින් වැළඳ ගත්තා. විසි පස් වසක් තිස්සෙ අහිමිව තිබ්බ ඒ සුපුරුදු සුවදට ජීවන්ති ත් කවදාවත් නොවිදපු පිය සෙනෙහසට තරිනිත් එක පොදියට තුරුල් උනා . නිමේශයක් ගෙවෙද්දී ඔවුන් තුන් දෙනාම බැලුවෙ ඇහෙන ඉකි බිදින හඩ දිහා.. පවුලක් එක් වෙද්දී එකවරම ලෝකෙම අහිමි වූ  පහන් හැඩුම් දරාගන්න ලොකූ උත්සහයක් ගත්ත .

"තරිනිට දැන් අම්මත් ඉන්නවා තාත්තා ත් ඉන්නවා මට එතකොට අම්මත් නෑ තාත්තා ත් නැද්ද අප්පච්චි "

තරිනි ලස්සනට හිනා වෙලා පහන් ගාවට ගියා

" ඇයි ඔයාට මං ඉන්නේ .." තරිනි අම්ම තාත්තා ඉස්සරහ ම පහන්ව වැළඳගෙන නලල මතින් දෙතොල් රැදෙව්වා...

‌" මේ චිත්‍ර කාමරේදි දෙන්න බැරි උණ එක හොඳේ " තරිනි කියද්දි සුනෙතුයි ජීවන්ති යි ඇවිල්ල නව යුවල ආදරෙන් වැළඳ ගත්ත



Copyright © 2014-2022 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us