Helabima

ගෙදරදීම සබන් වර්ග 10 ක් හදාගනිමු ( Homemade soap )

රුවන්තිකා මධුශානි


එදා මෙදාතුර අප ජීවිතයේ සබන් කෑල්ලකට ගෙවිය යුතු ඉහලම මිල ගෙවීමට සිදුව ඇති සමයක් අප ගෙවමින් සිටිමු.පිරිසිදු බව අංක එක වූ වසංගතයක අදුරු සෙවනැලි අප අතරින් මැකී නොගිය පසු බිමක සබන් නොමැතිව ජීවත් වීම ගැටලුවක් ව ඇත. එම නිසා නිවසේදීම ඉතා පහසුවෙන් සබන් වර්ග ගනනාවක් සාදා ගන්නා ආකාරය ඔබට ගෙන එන්න අපි තීරණය කලා. සබන් නිශ්පාදනයේදී ඇග ගල්වන සබන් රෙදි සෝදන සබන් යන වර්ග දෙකේ නිපැයුම් ක්‍රියාවලියේ එක අමුද්‍රව්‍යක වෙනසක් ඇති අතර මේ වර්ග දෙකම ඔබට රැගෙන ඒම මේ ලිපියේ අරමුණයි

සබන් නිශ්පාදනයේ මූලික සබන් වට්ටෝරුව එසේ නැත්නම් සෝප් බේස් soap base එක සෑදීම අපි මුලින්ම කරමු. කිසිම අමතර ද්‍රව්‍යක් නැතිව සෝප් බේස් එක උනත් සේදුම් සදහා භාවිත කල හැකි වූවත් නිවසේදීම සපයා ගත හැකි ද්‍රව්‍ය වලින් වඩා ගුනාත්මක සබන් කැටයක් ලේසියෙන්ම සාදා ගන්න ඔබට පුලුවන් .

මූලින්ම සබන් සදහා අවශ්‍ය අමු ද්‍රව්‍ය ගැන දැනුවත් වෙමු

  • තෙල් - සබන් නිර්මානයේ පදනමට තෙල් වර්ගයක් අවශ්‍ය වේ. මෙයට සත්ව තෙල් ශාක තෙල් භාවිත කෙරේ. ඔබට ලේසියෙන්ම පිරිසිදු පොල්තෙල් භාවිත කල හැක. විවිධ සබන් වර්ග නිපදවීමට ඔලිව් තෙල් සූරියකාන්ත තෙල් එඩරු තෙල් ෆාම් තෙල් භාවිත කලත් ලංකාවේදී වඩා ලාභදායි වන්නේ පොල්තෙල් ය.
  • කෝස්ටික් සෝඩා - සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සංයෝගය හදුන්වන ප්‍රකට නාමය මෙයයි. මෙය ඕනෑම හාඩ්වෙයාර් අලවිසැලකින් ඉතා සුලු මිලකට මිලට ගත හැක
  • සෝඩියම් සිලිකේට් - රෙදි සෝදන සබන් detergent soap නිශ්පාදනයේදී මෙය භාවිත වේ. රෙදි හා බැදුනු කුනු ඉවත් කර රෙදි වලට සුදු දීප්තිමත් පැහැයක් ලබා දීමේ ගුනය මෙය සතු වේ.

මූලික සබන් කැටය හදමු ( soap base )

පොල්තෙල් 270g

කෝස්ටික් සෝඩා 50g

ජලය 120g

*ගනකම් ප්ලාස්ටික් බේසමකට වතුර සහ කෝස්ටික් සෝඩා එක් කර බීටර් එකක් හෝ ලී හැන්දක් හෝ ප්ලාස්ටික් හැන්දකින් හොදින් දිය කර ගන්න.මෙය දියවීමේ ප්‍රතික්‍රියාවේදී සෙල්සියස් අංශක 50 ක පමණ උශ්නත්වයක් උපදී. මෙම ද්‍රාවණය සිරුරේ නොතවරා ගන්නවා නම් යහපත් වේ. නමුත් තැවරූ විට දැවිල්ලක් මිස අන් ගැටලුවක් ඇති නොවේ. එය සෝදා හැරිය හැක. මේ මිශ්‍රනය සැකසීමට ඇල්මිනියම් බදුන් භාවිත නොකිරීමට ප්‍රවේසම් වන්න.

* ද්‍රාවණය පැය බාගයක් පමන නිවෙන්න තබා පොල්තෙල් ගෙන එය තවත් බදුනකට දමා සෙල්සියස් අංශක 50 ට පමණ රත් කරන්න . මෙය ඩබල් බොයිල් කරනවා නම් මේ උශ්ණත්වයට ලේසියෙන් පත් කර ගත හැක.

* පොල්තෙල් කෝස්ටික් සෝඩා බදුනට දමා විනාඩි 10 ක් පමණ බීට් කරන්න. ඔබට සුදු පැහැ උකු ද්‍රාවණයක් ලැබෙනු ඇත.

* ප්ලාස්ටික් බදුනකට පොල්තෙල් ආලේප කර මේ උකු මිශ්‍රණය එයට වත් කරන්න . කට ලගටම සම්පූර්ණයෙන් පිරෙන සේ නොදමා මදක් අඩුවෙන් දමා ගන්න.

* දින දෙකක් මෙය නොසෙල්වී තබා ගන්න දින දෙකකින් ඔබට සබන් අච්චුවෙන් ඉවත් කරගත හැකි වේ. නමුත් මෙහි රසායනික ක්‍රියාවලිය තවමත් අවසන් නැති හෙයින් කෝස්ටික් සෝඩා වල සැර ගතිය ඉවත් වීමට සති 2 ක් පමණ තබා භාවිත කරන්න .

මේ මූලිකම සබන් වට්ටෝරුවයි . ඔබට මෙය භාවිත කර ඔබ කැමති සබන් වර්ග ගනනාවක් සාදා ගත හැක.

රෙදි සෝදන සබන් detergent soap

රෙදි සේදුම් සබන් නිර්මානයත් ඉහත පරිදිම වේ ජලය කෝස්ටික් සෝඩා මිශ්‍රනයට රත් කල පොල්තෙල් යොදා බීට් කරන අවස්ථාවේ එයට පොල්තෙල් ස්වල්පයක දිය කල සෝඩියම් සිලිකේට් එක් කරන්න අනික් පියවර පෙර පරිදිමය.

පැහැපත් සමකට වෙනිවැල් සබන්

පුරාතනයේ සිට කතුන්ගේ රුව රකින ස්භාවික සත්කාරයක් ලෙස වෙනිවැල් භාවිත කල අතර වෙනිවැල් සබන් ඉතා ජනප්‍රිය වේ. නිවසේදීම ඉතා විශ්වාසවන්තව වෙනිවැල් සබන් සාදා ගමු.

වෙනිවැල් ගැට සියුම් කුඩු මේස හැදි 1

සුදු හදුන් කුඩු මේස හැදි 1

අමු කහ කුඩු මේස හැදි බාගයයි

පෙර සාදා ගත් සෝප් බේස් එකෙන් ග්‍රෑම් 250 ක්

සෝප් බේස් එක කුඩා කොටස් වලට කපා ගන්න. එය ඩබල් බොයිල් ක්‍රමයට රත් කරමින් උනු කර ගන්න. එය අවර්ණ දියරයක් ලෙස සම්පූර්ණයෙන් දියවූ පසු ඉන්පසුව ඉහත ඔසු කුඩු මිශ්‍රනය එයට එක් කර හොදින් කලතා ගන්න. පොල්තෙල් ආලේප කල ප්ලාස්ටික් අච්චු මතට දියරය වත් කරන්න. පැය දෙක තුනකින් සබන් සවි වන අතර ඔබට භාවිත කල හැක.

By rezkrr / Envato

කුරුලෑ ලප නසන කොහොඹ සබන්

සමේ ඇතිවන ආසාදන කුරුලෑ ලප කැලැල් වලට හොදම ඔසුව කොහොඹ ආලේපයයි. අහිතකර රසායනික ද්‍රව්‍ය අඩංගු කොහොඹ සබන් වෙනුවට ඔබේ අතින්ම කොහොඹ සබන් සාදා ගමු

කොහොඹ කොල

අමු කහ කුඩු

රෝස වතුර

සෝප් බේස්

කොහොඹ කොල වලින් කීපයක් ඉතිරි කරගෙන අනික් කොහොඹ කොල රෝස වතුරින් අඹරා ගන්න. එය හොදින් පෙරා එයට කහ කුඩු මිශ්‍ර කරන්න . සෝප් බේස් එක කුඩා කොටස් වලට කපා ඩබල් බොයිල් ක්‍රමයට රත් කරන්න සම්පූර්ණයෙන් දියවූ පසු කොහොඹ යුශ එක් කරන්න . සම්පූර්ණ කොහොඹ කොල කිකිපයක් මේ මිශ්‍රණයට එක් කිරීමෙන් එය ඉතා සුන්දර සබන් කැබලි නිර්මාණය කරනු ඇත. පෙර මෙන් අච්චු වලට වත් කර පැය දෙකතුනකින් සබන් පාර්සල් කරන්න පුලුවන් .මෙ සබන් කොල කහ මිශ්‍ර පැහැතිය. කැමති නම් මෙයට සුවද වර්ගයක් එක් කරන්නත් පුලුවන්

පැහැපත් සුසිනිදු සමකට කෝපි සබන්

කෝපි කුඩු තේ හැදි 2

ආමන්ඩ් තෙල් තේ හැදි 2

විටමින් E කරල් 2

සෝප් බේස් 100g

සෝප් බේස් එක කුඩාවට කපා ඩබල් බොයිල් කරන්න . කෝපි කුඩු ආමන්ඩ් තෙලෙහි දිය කර එයට විටමින් e කරල් වල තෙල් එක් කර ගන්න . දිය වූ සබන් බේස් බදුනට එය දමා ගන්න . කෝපි සුවද කාරකය හෝ වෙනත් සුවදක් මේ අවස්ථාවේ එක් කරන්න පුලුවන් . සුදු පසුබිමේ දුබුරු කෝපි කුඩු සහිත සබන් ඔබට කැමති නම් මෙය කෙලින්ම අච්චු වලට දමන්න. වෙනත් පැහැයක් අවශ්‍ය නම් ආහාර කලරින් එයට එක් කරන්න . අච්චු වලට දමා පැය 2 කින් පමන ඔබට මෙය පාවිච්චි කරන්න පුලුවන්

සමේ තෙතමනය සුරකින ඇලෝවේරා සබන්

මිසර ශිශ්ඨාචාරයේදී පටන් කෝමාරිකා ප්‍රසිද්ධ වූයේ සම සුරකින සමේ සුන්දරත්වය වැඩි කරන ආලේපයක් ලෙසයි. ඔබට සැබෑ කෝමාරිකා අඩංගු සබන් ඔබේ භාවිතය සදහා සකසා ගන්න පුලුවන් . .

කෝමාරිකා පිති දෙකක මදය

කොලපාට කලරින්

සුවද ද්‍රව්‍ය

සෝප් බේස්

කෝමාරිකා මදය බ්ලෙන්ඩර් කරගන හොදින් උකු ද්‍රවයක් සාදා ගන්න . සෝප් බේස් එක පෙර පරිදි කුඩාවට කපා උනු කර ගන්න එයට කෝමාරිකා යුශ කොලපාට කලරින් සහ සුවද ද්‍රව්‍ය එක් කර හොදින් මිශ්‍ර කර අච්චු වලට වත් කර පැය කීපයකින් භාවිත කරන්න පුලුවන් .

By Lana_M / Envato

පැහැපත් සුසිනිදු සුවදවත් සමකට රෝස සබන්

රතු පැහැ රෝස මල් පෙති

රෝස වතුර

රෝස පැහැ කලරින්

විටමින් ඊ කරල්

සෝප් බේස්

රෝස මල් පෙති වලින් වැඩි කොටසක් බ්ලෙන්ඩර් එකකට දමා රෝස වතුරෙන් අබරා පල්පයක් සාදා ගන්න . සෝප් බේස් කුඩාවට කපා ඩබල් බොයිල් කරමින් රත් කරන්න . එය සම්පූර්ණයෙන් දියවූ පසු රෝස පල්පය රෝස කලරින් සහ විටමින් ඊ කරල් එයට දමා කලතා ගන්න. මෙයට ඉතිරි කරගත් කුඩා රෝස පෙති දමා ගන්න. කලරින් නොදැම්මත් මෙය සුදු සහ රෝස මිශ්‍ර සුන්දර පැහැයක් දරයි. කැමති නම් කලරින් යොදා ගන්න . එය අච්චු වලට වත් කර පැය කිහිපයකින් භාවිත කරන්න පුලුවන් .

සියුමැලි තෙතමනය සහිත සමකට පපායා සබන්

ඉදුනු පැපොල් සමෙහි ආලේප කිරීමෙන් සමේ තෙතමනය ආරක්ශා වී නිරෝගි වී පැහැපත් වන බව දන්නා නිසාම බොහෝ අය පැපොල් සාරයෙන් යුත් සබන් වලට ඇල්මක් දක්වයි. නිවසේදී ඔබේ අතින් පහසුවෙන් පපායා සාරයෙන් යුත් සබන් හදාගන්නෙ මෙහෙමයි

ඉදුනු පැපොල්

රෝස වතුර

විටමින් ඊ කරල්

සුවද වර්ගයක්

සෝප් බේස්

ඉදුනු පැපොල් රෝස වතුර ස්වල්පයකින් බ්ලෙන්ඩර් කර පල්පයක් සාදා ගන්න . සුපුරුදු සේ සෝප් බේස් එක කුඩාවට කපා ඩබල් බොයිල් කර ගන්න . අවර්ණ ද්‍රාවනයක් ලද විට එයට පැපොල් පල්පය විටමින් ඊ කරල් සහ සුවද ද්‍රව්‍ය එක් කර කවලම් කරගන්න . අච්චු වලට වත් කර පැය දෙක තුනකින් භාවිත කරන්න පුලුවන් .

ලප කැලැල් නැති සමකට හිබිස්කස් සබන්

හිබිස්කස් එහෙම නැත්තම් පොකුරු වද ආයුර්වේදයේ එන සම සුරැකීමේ කාර්යට ඉතා ඉහලින් දායක වූ ස්භාවික ද්‍රව්‍යකි. මේ වෙද්දී රූපලාවණ්‍ය නිශ්පාදන සදහා හිබිස්කස් වැඩි වශයෙන් භාවිත වේ. අපි අද පොකුරු වද සාරයෙන් යුත් සබන් ගෙදර දීම සාදා ගමු

පොකුරු වද මල්

පිපිඥ්ඥා

සුවද කාරකයක්

සෝප් බේස්

සුපුරුදු සේ සෝප් බේස් හොදින් කුඩාවට කපා ඩබල් බොයිල් ක්‍රමයෙන් දිය කර ගන්න . පිපිඥ්ඥා ටික බ්ලෙන්ඩර් කර එහි යුශය ලබා ගන්න. වද මලේ පෙති කිහිපයක් ඉතිරි කරගෙන ඉතිරි පෙති පිපිඥ්ඥා යුශයෙන් අඹරා පල්පයක් සාදා ගන්න දිය කර් ගත් සබන් ද්‍රාවනයට හිබිස්කස් පල්පය දමා කැමති සුවද කාරකයක් එක් කර කලවම් කර අච්චු වලට වත් කරගන්න.

By Racool-Studio / Envato

තෙල් සහිත සමට ලෙමන් සබන්

ලෙමන් හෝ දෙහි ගෙඩි

වෙනිවැල් කුඩු

කහ

සුවද කොට්ටං කුඩු

සෝප් බේස්

ලෙමන් ගෙඩියේ පොත්ත සියුම්ව ගා ගන්න. එයින් මේස හැදි දෙකක් පමන අවශ්‍ය වේ. සෝප් බේස් එක කුඩාවට කපාගෙන එය ඩබල් බොයිල් කර දිය කර ගන්න . ඖෂධීය කුඩු වර්ග සහ ලෙමන් පොතු එක් කර හොදින් මිශ්‍ර කර අච්චු වලට වත් කර ගන්න . ඔබට මෙය පැය කිහිපයකින් භාවිත කරන්න පුළුවන් ..



Copyright © 2014-2022 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us