Helabima

අත්තම්මගෙ ශාපය

බිනරි ඇතුගල


" ඔව් ඉතින් මං ගැන කැක්කුමක් ඔය දෙන්නට නෑ කියල මං දන්නව .අරුන් නෙ ඔයාලගෙ දරුවො"

මුලු ගෙදරම හෙල්ලෙන හඩකින් කෑ ගහගෙන සිතුම් කාමරේට වැදිලා දොර වහ ගත්තෙ දොර ගැලවෙන තරම් වේගෙන් වහගෙන. මං මේවා ඉවසුවත් මාලතීට මේවා දරාගන්න බෑ කියල මං දන්නව. 

අපිට තුන් සරණෙට වගේ දරු තුන් දෙනෙක් ඉන්නව කියල දරුවො පුංචි කාලේ අපි දෙන්න කොයිතරම් සතුටු උනත් තුන් වෙනි පුතා ලොකු වෙලා මෙහෙම දරුවෙක් වෙයි කියල අපි හීනෙකින් වත් හිතුවෙ නෑ . කිසිම අසමාන කමක් නොකර තුන් දෙනාටම සමානව ආදරේ දුන්න. තුන් දෙනාටම එකම දේවල් එකම ආදරේ දුන්නත් එක දවසකින් පස්සෙ පොඩි පුතා වෙනස් උනේ අපිට දරාගන්න බැරි විදියට .

අදටත් ඒ වෙනසට හේතුව අපි නොදන්නව උනත් ඒ වෙනස එක්ක මායි මාලතියි ලොකු දරුවො දෙන්නගෙනුයි පොඩි පුතා දවසෙන් දවස ඈත් උනා . පුතා වැඩියෙන්ම ප්‍රතික්ෂේප කරේ මාලතීව. සසර  වෛරයක් ද කියල හිතෙන තරමට මාලතී පොඩි පුතාගෙ පස්සෙන් ආදරේ කර කර යද්දී පොඩි පුතා මාලතීව ප්‍රතික්ෂේප කලා.

ඒ එක්කම ඔයාගෙ ළමයිනේ කියල මාලතීට මූනටම කියලා ලොකු දරුවන් දෙන්නගෙනුත් පොඩි පුතා හිතාමතාම ඈත් උනා . අපි මොන දේ කරත් එයාට අපි අනිත් දරුවො තරමටම ආදරෙයි කියල ඔප්පු කරන්න අපිට බැරි උනා .

මේ දේවල් එක්ක පුතා හිතුවක්කාර වෙන්න වෙන්න ඉගනීමෙනුත් ඈත් උනා .

කාලෙ ගෙවුනා. මාලතී පස්සෙන්ම ඉදලා මෙහෙයවපු නිසා ලොකු  දෙන්නා කැම්පස් තේරුනත් පාඩම් කරන්න කියන වචනෙත් නුහුරට අරං කෑ ගහන පොඩි පුතාට යාන්තම් ඒලෙවල් පාස් වෙන්න පුළුවන් උනත් කැම්පස් යාම හීනයක් උනා . අපි හීනෙන් වත් නොහිතපු වෙලාවක පොඩි පුතා  බයාදූ මූනක් තියන හීන්දෑරි සුදු ගෑනු ලමයෙක් ගෙදරට එක්ක ඇව්ල්ල සාලෙ මැදින්ම කිසි ඇහිල්ලක් බැලිල්ලක් නැතුව එයාගෙ කාමරේ දිහාවට එක්ක ගියා . තුශ්නිම්බූත උන ලොකු දරුවො බලාගෙන ඉද්දි මාලතී ආයමත් අඩලා වැලපිලා සිතුම් වහල උඩ යන්න කෑ ගැහැවුවට පස්සෙ ඒ අරං ආපු ගෑනු දැරිවි තුන් මස් ගැබක් දරන බව අපිට දැනගන්න ලැබුනා. 

ගෙදර කැණි මඩල ගිනි ගත්තා කියල හිතුවත් ටික දවසක් යද්දි වෙනදාට වඩා හොදින් ප්‍රශ්න විසදෙයි කියන බලාපොරොත්තුව මට දැනුන. මොනව උනත් බඩ දරු අම්මෙක් නෙ කියල හිතලා මාලතී ඒ ගෑනු දැරිවිට ආදරේ කරන්න ගත්ත. අපේ අම්මගෙ ක්‍රියා කලාපෙයි ඒකාලෙ මගේ නෝන්ජල් කමයි එක්ක මාලතීට උරුම උනු දුක හිතෙන ගැබිනි සමය ඒ දුවට උරුම කරන්නෑ කියල මාලතී කියද්දි මං ඇගේ හිස අත ගෑවා.

හරියට ඉගනගන්න බැරි උනත් තමන්ගේ දරුවා කුසේ පණ ගහද්දි වගකීම් ටික ටික දැනිලා සිතුම් රැකියාවක් කරන්න ගත්ත . ඒ මොන දේ උනත් මාලතී එක්ක තිබ්බ වෛරය අමතක කරන්න සිතුම් ලෑස්ති උනේ නෑ .සතියකට දෙතුන්වතාවක් වත් අපි වැඩියෙන් ආදරේ ලොකු දරුවන්ට බව කියලා සිතුම් ආරවුල් ඇති කරා. 

හදක් වගේ කුස මෝරගෙන දවසින් දවස  මගේ මුනුබුරා එන දිනේ ලං උනා . ඒත් එක දවසක් නොහිතුව විදියට ඒ දුවට අමාරු උනා. ඒ හරියට සිතුම් ඉපදෙන වෙලාවෙ උනා වගේමයි. ලොකු දරුවෝ නියමිත දිනේට ස්භාවිකව මේ ලෝකෙට ආවට සිතුම් ලැබෙන්න ඉන්න අන්තිම දවස්වල හිතාගන්න බැරි විදියට මාලතීට අසාධ්‍ය උනා . අපි අදත් එදා වගේම පුදුම විදියට බය උනා පුලුවන් ඉක්මනින් රෝහලට දිව්වා. වෙනදට කොයිතරම් කේන්තියෙන් කෑ ගැහුවත් සිතුම් හිටියේ පුදුම විදියට බයවෙලා . තමන්ගේ බිරිද සූතිකාගාරයේ ඇතුලට ගනිද්දී  සිතුම් පුතාගෙ ඇස් වල කදුලු මං හොදටම දැක්ක . පැය ගානක් අපි දන්න දෙවි වරු යැද යැද හිතෙන් බාර හාර වෙවී ජීවිතේ දෙවන වරටත් අමාරුම පැය කීපයක් ගෙවුවා.. සිතුම් තාත්තා කෙනෙක් වෙලා පුතු පැටියෙක් ලැබුනු පුවත අහලා මගේ කොල්ලා ඇඩුවා. එයා වැලදගන සතුටු කදුලු හලන්න මාලතීට ඕනි උනත් එයාට බය හිතිලද මංද තනියම අඩ අඩා හිනා වෙනව මං දැක්ක .

අලුත් අම්මයි පැටියයි බලන්න අපි වාට්ටුවට ගියා සිතුම් ගොඩාක් ආඩම්බරෙන් පුතා අතට ගත්ත . මාලතී ලේලි ලගට ගිහින් ඔලුව අත ගගා "ගොඩාක් අමාරුද පුතේ.. ඉන්ජක්ශන් එක රිදුනද පුතේ මං දන්නව නේ ඒ වේදනාව මටත් දූට වගේම මැරෙන්න තරම් අමාරු වෙලා සීසෙරියන් කරන්න උනා එදා ඒක නොකල නම් අද සිතුම් නෑ ඉතින් මං ඒ වේදනා ඔක්කොම ඉවසුව මාස ගානක් ඒ තුවාලෙ ඉවසුව අදටත් ඒ ඉන්ජක්ශන් එකේ වේදනාව ඉවසනව. සිසේරියන් එකේ අමාරුව මං දන්නව පුතේ" කියල කිව්වා. උදරයේ අති විශාල කැපුමක් එක්ක වේදනාවෙන් ඒ දැරිවි මාලතී එක්ක හිනා උනා ." අම්ම ඒ වේදනාව දන්න එක මට හයියක් අම්මේ" කියල ඈ කිවා..

මේ අතරේ උනේ මගේ ජීවිතේ කිසිම දිනක මං බලාපොරොත්තු නොවුනු දෙයක්. පුංචිත්තා අතින් අරං හිටපු සිතුම් එකවරම දරුවා තොටිල්ලෙ තිබ්බ . " අම්මෙ ඒක ඇත්තද අම්මෙ ඔයා සීසෙරියන් එකේදිත් ගොඩාක් දුක් වින්දද අම්මෙ අනේ මට කියන්න අම්ම අයියයි අක්කයි ඉපදෙද්දි තරම්ම මං ඉපදෙද්දිත් අම්මට රිදුනද අම්මේ" කියල සිතුම් ඇහුවා. සිතුම් පුතාගෙ ඇස් වල කදුලු ගලනව එයා වෙවුලනව. මේ හදිසියේ මේ උන විපර්‍යාසෙ තේරුම් ගන්න බැරුව මාලතීත් වික්ශිප්ත වෙලා .සිතුම් ඉපදෙන්න  හදිසියේම අමාරු උන හැටි ජීවිතේ මරනෙ අතර සටන් කරද්දී වෛද්‍යවරුන් දරුවා සිසේරියන් කරන්න තීරණය කරපු හැටි ඒ වේදනාව මාලතී විස්තර කරා. සිතුම්ගෙ ලෙයින් උපන් දරුවා වෙනුවෙන් ඒ දුවත් ඒ වේදනාව ම වින්ද බව දෑසින් දැක්ක සිතුම් අනේ අම්මේ මට සමාවෙන්න කියාගෙන මාලතී පාමුල වැද වැටුනා..

"අත්තම්ම මට තේරෙන කාලෙ ඉදල  හැමදාම මට කිව්වෙ මාව ගත්තෙ සීස කරල නිසා අම්මට කිසි අමාරුවක් දැනුන්නෑ අමාරුවෙන් උපන් ළමයින්ට විතරයි අම්මල ආදරේ  බඩ කපලා ගත්තු ළමයි එක්ක අම්මට බැදීමක් නෑ කියල. ඉතින් මං හැමදාම හිතුවේ අම්ම මට ආදරේ නෑ ආදරේ අක්කටයි අයියටයි කියල අම්මේ..." 

සිතුම් පුතාගෙ ජීවිතේ ම වෙනස් කරේ කව්ද කියල තේරුම් ගනිද්දි අපි පරක්කු වැඩී කියල මට හිතුනා..ඒත් මගේ මුනුබුරාට එහෙම අනාගතයක් උරුම නොවීම වෙනුවෙන් මං මාලතීට ස්තූති වන්ත උනා ..

 



Copyright © 2014-2022 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us